Saturday, December 31, 2011

සිංහබාහු ක්‍රමයෙන් නව වසරට අනාවැකි!


මේ දවස්වල හැමෝම ඵලාඵල හොයනවනෙ අළුත් අවුරුද්ද නිසා. මාත් මගේම විශේෂ ක්‍රමයට හදපු ඵලාඵල විස්තරයක් දාන්න හිතුව බහුජන හිතාය බහුජන සුඛාය කියල.

මෙව්ව මේ අර බෝල කළුව වගේ හීනෙන් කුණ්ඩලනී වඩලවත්, නැත්තං අහක ඉන්න තරු ගණන් කරලවත් නෙමේ නියම විද්‍යාත්මක තියරියක් වෙච්චි සිංහබාහු ක්‍රමයේ අනාවැකි.එකම වෙනස ලග්නෙට නෙමෙයි කියන්නෙ තමංගෙ තරාතිරමට.

ඔන්න එහෙනං තම තමංගෙ තරාතිරමට අනුව ඉදිරිකල කොහොමද කියල බලාගෙන යනකොට පඬුරක් කැමති ගහක ගැටගහල යන්න පුළුවන්.


පාසැල් සිසුන්

හුවමාරුවෙන් කෙළවෙන්නේ වයිමාට
ඒ කෙළවිල්ලෙ පව් එන්නේ උඹෙ කරට
නව ඇමතියා ගෙන එන හැතිකරේට
ඕනෑ විදියටයි විභාගෙ නව වසට

ස්කෝර් අවුල තව තව තවත් වැඩි වෙනවා
ස්කෝර් කරන්නට රටටම ලණු දෙනවා
ස්කෝර් නැතිව දොස්තර කොංදෝ වෙනවා
හිස් කෝර් රටෙන් පැන රටවල උගණිනවා

ව්ශ්ව විද්‍යාල සිසුන්

ඇදුරෝ සැපෙන් නොව පඩි වැඩි කර නැත්තේ
අනයද්යනයටත් තව මොකවත් නැත්තේ
මොනවා නැතත් ජෙප්පෝ ටික එළිපත්තේ
අඳුරුයි පුතේ සරසවියේ නං තත්තේ

ප්‍රයිවට් හොඳවැඩේ ගොං විදියට ඒවී
ජෙප්පන් හප්පො වී හොඳටම උඩ යාවී
ත්‍රීමා හැඩයෙ උත්තර කිම නොගෙනේවී
සිහියෙන් හිටින් නැත්තං එය යළි වේවී


කම්කරුවන්

සීපා නිසා එන සිවුපා ගාල කඩන්
රිංගා යාවි උඹලා හට තිබෙන ඉඩෙන්
විකුනා දමා කණකර සහ ඉඩන් කඩන්
දැම්මම බලව් පිටවෙන්නට ඉතිං රටෙන්

එළවළු ලාභ නැත සීල්ද ඉතා ගනන්
ගන්න්ට බඩු නොවේ වෙනදා ගන්න කඩෙන්
කබලේ ඉන්න තොප හැම දෙන ලිපට බාන්
අල්ලපු රටෙන් එනවා හොඳ ගොන්නු බාන්


ගොවියන්

වවනා එකෙන් පන්නෙට ඒ තාලේට
කිසි ඵල ඵල නැතේ අද ඇති නව ලෝකේට
ගොවියා යවා කම්කරුවගෙ කලාපෙට
කොම්පැණි නව ලොවේ එනවා සමාජෙට

පුංචි ඉඩම් එක්කරලා විසාලෙට
ගොවිපල් තනා මහ අලි ලොකු ප්‍රමාණෙට
ගොවියන් නොවේ යන්තරයෙන් නවීනෙට
ගොවි තැන දියුණු වෙනවා නව විලාසෙට


මේ ඉන්නෙ ලිස්ට් එකේ ඉතුරු කට්ටිය.

උසස් වෘත්තිකයින්
විදේශ සේවා වෘත්තිකයින්
විපක්ශ දේශපාලකයින්
රජයේ දේශපාලකයින්
ජාත්‍යන්තර සබඳතා
පොදුවේ සැමට


මේ අයගෙ ඉතුරු ඵලාඵල විස්තර දෙවනිද. මොකද හෙට මෙහෙ නිවාඩු. මම නිවාඩු දාට බ්ලොග් නොබලන නිසා උත්තර සහ පත්තර දෙකම සමඟ නව වසරේ හමුවෙන තෙක්...

ඔබ සැමට සුභ නව වසරක්...!

Monday, December 26, 2011

හත් අවුරුද්දක්!



තවත් අවුරුද්දක් ගෙවිල.

අපේ ජීවිතවලට වැඩිම බලපෑමක් කරපු ඒ ස්වභාවික විපතට අදට අවුරුදු හතක්.

පුරුදු විදියටම මාමලගෙ ගෙදර සහ කඩේ අය්යලගෙ ගෙදර අද දානමය පිංකං. මාම කියපු විදියට දැන් දැන් හාමුදුරු ගොල්ල හොයාගන්න අමාරු නෑලු. මුල් අවුරුදු දෙක තුනෙදි දෙසැම්බර් විසි හය හාමුදුරුණනමක් වඩම්මල දානෙ දුන්නෙ හොඳම බලවත්තු විතරයි. මොකද පිංකං එච්චරට.

ඒත් මැරුණ උන් මත්තෙම නැහිල මොකටද කියල හිතල වෙන්නැති ගොඩක් අය දැන් දන් කඳ පන්සලට දීල එනවලු! එක අතකට ඒකෙත් වැරැද්දක් කියන්න බෑ. ඒත් අපිටනං පොඩි අක්කලවයි අර චූටි උන් දෙන්නවයි කොහොම අමතක කරන්නද!

මම ගිය අවුරුද්දෙ ලිව්ව වගේම අපේ පවුලෙ සුනාමියෙන් බේරිච්ච අයගෙ ජීවිත තාම ඒ විදියමයි. ඒ පරම්පරාව ඉවරවෙන තුරු එහෙමම තියෙයි. මොකද කරටිය කැඩුනෙ මහ ගහක නිසා.

පොඩි අක්කටත්, අය්යටත්, පුතාටත්, ලොකු තාත්තට සහ ලොකු අය්යගෙ පුංචි කෙල්ලො දෙන්නටත් ආච්චි අම්මාටත් එමෙන්ම සුනාමියෙන් මියගිය සියළු ලෝ වාසීන්ටත් නැවත එවන් රුදුරු මරණයක් උරුම නොවේවා..!

Saturday, December 24, 2011

වාද බයිල කියමුද?



අපි ඉස්කෝලෙ සාමාන්‍යපෙළට කලින් අවුරුදුවල ජනප්‍රියම අංගයක් තමයි වාද බයිල. ෆ්‍රී පීරියඩ් වල දෙතුන් දෙනා බෙදිල ටීම් හැටියට නැත්තං තනි තනිවත් බයිල කියනව. එව්ව මේ කෙල්ලො අනික් උන් ගැන කියෝන බයිල වගේ නෙමේ නියම වාද බයිල. හැබැයි මෙවා තොටලඟ කුසුම්පාලල, අඟුලානෙ ගුණසිරිලගෙ වගේ හිටිවන බයිල නෙමෙයි. කටපාඩමෙන් තමයි කියන්නෙ. අපේ පන්තියෙ හිටිය බයිල චක්‍රවර්ති තමයි "බන්ධුසේන". මිනිහගෙන් දහම්පාසලේදී තුන්දොර ඇහුවම බණමඩුවෙ දොරවල් දෙකයි බුදුමැදුරෙ දොරයි කිව්වලු. දෙවරක් චක්කරේ පාඩම් නෑ. ඒත් බයිල කියයි එළි වෙනකල්. ඒ කාලෙ මාත් තරමක බයිල කාරයෙක් ( දැං කියලත් මොන වෙනසක්ද? ).

ඔය වාදෙ රීතිය තමයි එක පාර්ශවයක් එකක් කිව්වම ඊළඟ පාර්ශවෙන් තව බයිල එකක් කියන්න ඕන. එකකට එකක් ගැලපෙන්නත් ඕන. අන්තිමට බයිල මතක නැති, නැත්තං ඉවර උන පාර්ශවය පරාදයි.

බයිල වාදෙ පටන් ගන්නෙ මේ වගේ පොඩි අරාධනාවක් එක්කම යන ගේමකින්.

බයිල කියන්නද ආවේ ඉඳා පුටූව…
පුටුව යටින් එවනව මගෙ අල්ලිස් කටුව…



විරුද්ධ පැත්තෙනුත් එනව ගැලපෙන කින්ඩියක්..

එකක් දෙකක් දැනගත්තට එපා බුරන්න..
ගෑණු ගහයි වළං කට්ට කරේ හිටින්න..



ඔහොම නැගගෙන එනකොට අනික් පැත්තෙ එකාව පොඩ්ඩක් පාච්චල් කරල දාන්න එනව මෙන්න මේ වගේ "ලයිට් කැපිලි"


අගල් දිගේ බකල ගගහ එනව කබරයා…
උඹටයි මටයි මොන බයිලද පළයං පරයා....



ඒවට උත්තර ටිකක් සැරයි. ඔන්න ගේම හැරෙනව පුද්ගලික අපවාද වලට...

ගේ කුරුල්ල බිත්තර දැම්මේ ගස් මුට්ටියේ..
උඹලැයි අම්ම උඹව හැදුවෙ කක්කුස්සියේ...


ඔන්න ගේම උපරිමේ..හරියට පාර්ලිමේන්තුව වගේ...

ඉඳා මල්ලි සත දහයක් කාපං අන්නාසී,
එහා වෙලේ පාසී..
බොලෑ අක්ක වේසී...


ගැළපෙන උත්තරත් තීනව

ඉඳා මල්ලි සත දහයක් බීපන් සෝඩා...
බයිල පොලේ රෙන්නෙ නැතුව අන්ගිඩිපෝඩා...


ඔහොම නැගල යන බයිල වාදෙ එක වෙලාවකදි එක පැත්තක බයිල අඩු වෙලා උත්තර පරක්කු වෙනකොට මෙන්න මේ වගී අමතර කැපිලිත් දානව හැබැයි මේව කවුන්ට් වෙන්නෙ නෑ.

මොකද මල්ලි මොකද මල්ලි බයිල පරක්කු
වෙදමහත්තය බොන්න කිව්වෙ පරණ අරක්කූ?


මේ බයිල වල ඉලක්කෙ අම්මල, තාත්තල අක්කල නංගිල විතරක් නෙමේ ගෙදර ඉන්න බල්ලො පූසො පවා වෙනව. ඒත් අන්තිමට ගුටිත් කෙලගෙන සතුටින් ගෙදර ගිහින් පහුවෙනිදට පුළුවන් උනොත් ආයිත් ගේමට සෙට් වෙනව. මොකද කවුරුත් බයිලවල කියන අපවාද පුද්ගලිකව ගන්නෙ නැති නිසා.



එහෙනං මොකද කියන්නෙ. කියමුද තරඟෙට?

තරඟෙට බයිලා මම කියනව ගොතලා
හරබර පද කියන්න වරෙන්කො හැපිලා


පලි.
මේ බයිල ගැන කකාත් කියල තිබ්බ. ඒත් එතනත් හැමදාම අහන බයිල මිස අලුත් එව්ව තිබ්බෙ නෑ!

පපලි.
නත්තල ගෙනාපු පෘතුගීසි අපිට දීපු තවත් දායාදයක් තමයි බයිල. අපි බයිල උන්ට වඩා හොඳට කියනව නොවුනත් ගහනවනෙ. ඒ වගේ නත්තලත් උන්ට වඩා හොඳට නොකෑවට විකුණනව.
සමරණ ඔබ සැමට සුභ නත්තලක්...

Tuesday, December 13, 2011

පොලු සහ ගෙඩි ගැන නව අර්ථකතනයක්.....18+



අළුත බැඳපු ජෝඩුවක් මනමාලයගෙ බුදු ෆිට් එකක් උන වයසක (ඔබා)මාම බලන්න නෑ ගං ගිහින්.

වෙනසකටත් එක්ක කට්ටිය ලන්ච් එකට සෙට් උනා මිදුලෙ. දෙකක් අනුමත උන මාමයි බෑණයි "වයින්" වෙච්චි නැන්දයි ලේලියි කෑම ඉවරවෙලා පොඩි චැටක් දාන්න ගත්ත.

පොඩ්ඩක් කන පාත්වේගෙන වගේ ආපු මාමයි බෑණගෙයි කතාව නිකං ඩර්ටි පැත්තට ඇදෙන්න ගත්තෙ මාමගෙ අත්දැකීම් ඇසුරෙන් බෑණගෙ අළුත් ජීවිතේට උපදෙස් දෙන්න ගත්තට පස්සෙයි. ගෑණු කියන්නෙ කවුද, කොහොමද, ඒ ගොල්ලො සොෆ්ට් මොනදේටද, හාර්ඩ් කොතනදිද අරවද මේවද කියල මාම උපදෙස් දෙනව.

මේ අස්සෙ තව පොඩ්ඩක් මිනිහව අවුස්සන්න හිතපු බෑණත් හිමීට එතන ඩෙසර්ට් එකට තිබ්බ කොමඩු කෑල්ලක් අතට අරන් "මාමෙ, මාමෙ මේ ගෑණුන්ගෙ තන් වලට ගෙඩි කියන්නෙ මොකද?"

මේ ගැන තිතට මත් වේගෙන ආපු මාමගෙ උත්තරේ ටිකක් සංකීරණයි.

"කොල්ලො ඔය ඔව්වා අවුරුදු විස්සෙදි විතර කොමඩු වගේනෙ. රවුමට පිරිල, හය්යට උඩ බලන් ඉන්නෙ. අවුරුදු තිහ හතලිහ වෙනකොට පෙයාර්ස් වගේ. මෙකද තාම ලස්සනයි, ඒත් ටිකක් එල්ලල වැටිල්ලනෙ. ඒත් ඉතින් පනහෙන් පස්සෙ ඔව්ව ළුනු වෙනවනෙ."

"ඒ කිව්වෙ මාමෙ" ළුනු කතාව නොතේරිච්ච කොල්ල අහනව...

"ඒ කියන්නෙ බං දකිනකොටත් ඇඬෙනව කියන එකනෙ."

මාමගෙ කතාවට නැන්දගෙ ෆ්ලවර් එක ජම්ප්.

වෙච්ච නෝන්ඩියෙන් ගැලවෙන්න අළුත ගෙනා මනමාලිත් හාල් පොතක් බලාල වගේ ගේමටම මෙහෙම අහපි නැන්දගෙන්.

"එතකොට ඔය පිරිමි අයගෙ අවයවේට "පොල්ල" කියන්නෙ ඇයි නැන්දෙ?

විලි ලැජ්ජාවෙ සන්තෝසෙන් ඇඹරිල හිටිය නැන්දත් දොඹෙන්ම උත්තරේ දුන්න මාමටයි බෑණටයි බිව් රංකිරි කටින් එන්න.

ඕකට පොල්ල කියන්නෙ බං මේ ලී වලට සමාන කරලනෙ. දැන් මෙහෙමයි දුවේ..අවුරුදු විස්සෙදි විතර නිකං හොර ගහ වගේ...පත සයිස්...කෙලිම්ම උසට...මහ හය්යයට..තිහෙදි හතලිහෙදි නිකං ළුණුමිදෙල්ල ගහ වගේ. කෙලින් උනත් තද නෑ නමුත් වැඩක් ගන්න ඇහැකි.....ඒත් ඉතින් පනහ වෙනකොට ඕක නිකං නත්තල් ගහ වගේ තමයි...


එහෙම කියල නැන්ද පුරුසයො දෙන්න දිහා බලල මහ කින්ඩි හිනාවක් දැම්ම.

"නත්තල් ගහ...ඒ මොකෝ නැන්දෙ? ටියුබ් ලයිට් වෙච්චි කෙල්ල...

මේකනෙ බං...ගහ මැරිල...ඩෙකරේෂන් එකට විතරක් බෝල එල්ලල තීනව ...





ඊයකින් ආපු කතාවක අනුවර්ථනයකි.
පින්තූරෙ මෙතනින්

Sunday, December 4, 2011

කොල්ලො උස්සගෙන ගිහින් දූෂනය කරන ගෑණු!




අහේතු කාලෙට කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙනවලුනෙ. මේත් එහෙම වැඩක්!

සාමන්‍යෙන් ලිංගික උත්තේජනය වැඩිවෙලා හරි මෝඩකම ඉහට ගහල හරි නැත්තං මත්වතුරෙන් අන්ධවෙලා හරි ඉන්න පිරිමි ගෑනියෙක් උස්සං ගිහින් දූෂනය කලා කියල අහල තිබ්බට කවුරුත් අහල තීනවද ලෝකෙ කොහෙවත් ගෑණු කල්ලි පාරෙ ඉන්න කොල්ලොන්ව උස්සන් ගිහින් පාළු තැනකදි ඒ කොල්ල එක්ක බලෙන් ලිංගිකව හැසිරෙන කතාවක් එහෙම.

වාසනාවකට හරි අවාසනාවකට හරි එහෙම සිද්ධි වාර්ථාවෙන්නව සිම්බාබ්වේ දේශයෙන්.

දූෂනය උන එක කොලුවෙක් සිම්බාබ්වේ රූපවාහිනියට තමන්ගෙ කතාව කියල තීනව.

පාරෙ බස් එකක් එනකල් හිටගෙන හිටපු තමන්ට ලිෆ්ට් එකක් දෙන්න කතාකරපු ගෑණු තුන්දෙනෙක් උන්න කාරෙකකට නැගල තීනව. පස්සෙ මේ අම්මන්ඩිල අර කොල්ලව පාළු තැනකට එක්ක ගිහින් "අධික ලිංගික උත්තේජනයක්" ඇතිවෙන බෙහෙතක් බලෙන් එන්නත් කරවගෙන ඉන් පස්සෙ මේ කොලුවට කියල මාරුවෙන් මාරුවට අර තුන්දෙනාම කීප සැරයක් තමන්ගෙ ආශාවන් සපුරගෙන. ඇති උනයින් පස්සෙ නූල්පොටක් ඇඟේ නැති මේ හාදයව පඳුරක් අස්සට තල්ලුකොරපු "ගෑණු" තුන්දෙනා පැනල ගිහින්.

කොහොම හරි අර දුන්නු බෙහෙතෙ සැර ඒත් අඩුවෙලා නැති නිසා ඉස්පිරිතාලෙ යවන්න වෙලා ප්‍රති විශ දීල කොල්ලව සාමන්‍ය තත්වෙට ගන්න.

කොහොමද කොඩි ගහ නග්ගන් ඉස්පිරිතාලෙ නර්ස්ලව බල බල හිටියෙ කියල හිතාගන්නත් අමාරුයි හැබැයි.

අන්තිමේ අර ගෑනු අල්ලල.

කොන්ඩම් සියගානක් කරෙකේලු. පොළිසියෙන් ඇහුවම කියල තීන්නෙ තමන් වෘත්තිමය ගණිකාවන් නිසා එව්ව ලඟ තිබ්බයි කියල.

කට්ටියට නඩු දාල මේ වෙනකොට. ඒත් රටෙ පොළිසිය පිලිඅරන් තීනව මුලු සිම්බාබ්වේ රාජ්‍ය පුරාම මෙහෙම කොල්ලො රේප් කිරීමේ සිදුවීම් වාර්ථා වෙනව කියල.

කොටිම්ම සමහරු දැන් බස්වල යන්නත් බයලු. අඳුනන්නෙ නැති ගෑණුන්ගෙ වාහනවලට නගින එක නොදන්න ගෑණු එක්ක කතාවට යන එක බොහොම පරිස්සමින් කියලත් පොළිසිය කොල්ලන්ට අවාද කරල.

වෙලාවට මෙව්ව වෙන්නෙ මේ සිම්බාබ්වේ වලමනෙ.

එහෙ ජොබ් තීනවද කියල හොයල බලන්නයි හදන්නෙ. කවුද එන්නෙ, මම හිතන් ඉන්නෙ බැචුලර් ස්ටේටස් විතරක් තීන ජොබ් වලට ඇප්ලයි කරන්න.

ඕනය, කරෝල හදමුද අලි මස් වලින්?

Saturday, November 12, 2011

නාන්න සෙට්වෙන්න මං ආ ගිය තැන්.



නාන්න ගිහින් ගහගෙන ගිය පුවත් බැළුවම තේරෙන්නෙ බහුතරයක් දෙනා නාන්න යන්නෙ හරි තැන නොදැන, එහෙම නැත්තං නාන විදිය නොදැන කියල. අවාසනාවකට රට වටේ මුහුදත්, රට මැද ගංගාවල් මහ ගොඩකුත් තිබ්බට අපේ රටේ ගොඩක් කොල්ලො කෙල්ලොන්ට පීනන්න බෑ, ඒත් ජම්මෙට වගේ වතුර වලක් දැක්කොත් පනිනව, පස්සෙ ගිලිල මැරෙනව.

මේ බ්ලොගේට මහ ගොඩක් එන්නෙ යන්නෙ නැති උනත් එන යන අය අතරෙ හරි මේ නාන්න පුළුවන් තොටවල් වෙරළවල් ගැන පොඩි කතාබහකට යන්න හිතුවෙ මෙන්න මේ නොදැන අමාරුවෙ වැටෙන අයට යම් උදව්වක් වෙන්නයි.

ඉස් ඉස්සෙල්ල හතරෙ පන්තියෙදි ගල්කිස්සෙ බීච් එකේ නෑවයින් පස්සෙ ලංකාවෙ මුලතිව් ඇර අනික් හැම දිස්ත්‍රික්කෙකම නාල තීනව කියල ආඩම්බර වෙන්න පුළුවන් උනේ මගේ වාසනාවකට ආරක්ෂාකාරීව නාන තොටවල් හොයා ගන්න පුළුවන් උන නිසා සහ මුහුදෙම්ම්ම නාල නාල ඉගෙනගත්තු පිහිනීමට පින් සිද්ධ වෙන්නයි.

මම මෙතන ලියන්නෙ මම නාපු ආරක්ෂාකාරී සහ පිරිසුදු තැන් විතරයි. ආරාක්ෂාකාරී නොවන හෝ මම නොගිය, අසා ඇති තැන් ගැන ලියන්න අදහසක් නෑ. ඒත් මේ හැරුනම තව හොඳ තැන් තියෙන්න පුළුවන් සහ ඒ ගැන ඔබේ අදහස් බෙදාගන්න එකතු උනොත් ආයෙ මටත් නිවාඩු ආපු වෙලාවක ට්‍රයි කරලවත් බලන්න බැරියැ :D

මම දන්න සහ මතක හැම තැනම එක පෝස්ට් එකකට දිග වැඩි හින්ද මේක දිස්ත්‍රික්ක වශයෙන් ලියවෙයි. ඒකත් එක දිගට මෙගාවක් විදියට නෙමෙයි වෙන පෝස්ට් අතරට ඉඩ තීන විදියට ලියන්නං.

ගඟක ඇලක දොලක මුහුදක නාන්න යනකොට මතක තියා ගන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තීනව. ඒ අතරින් මූලිකම දේ පමණට වැඩිය මත්පැන් නොබී සිටිය යුතු වීම සහ අනුන්ට පේන්න හෝ වැඩ පෙන්නීමට ඈතට යාම , කිමිදීම වගේ දේවල්. ගොඩක් ඔය වැඩ දාන්නෙ බිව්වමයි. අනික වැඩ කාරයො වෙන්නෙ අහල පහල කෙල්ලො ඉන්නව දැකපු ගැටව් තමයි.

මේ තීන්නෙ මම කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලත ආරක්ෂාකාරීව නාන්න පුළුවන් කියල හිතෙන තැන්.



වැල්ලවත්ත කිංරෝස් ක්ලබ් එක ඉදිරිපිට වෙරළ.


කොළඹ නගරෙ තිබ්බ ඉතාම හොඳ මුහුදු වෙරළ මේක උනත් පස්සෙ බම්බලපිටියෙ ඇළේ දියකඩනෙ හැදුවට පස්සෙ තත්වෙ තරමක් වෙනස් උනා. ඒ උනත් තාම ක්ලබ් එකේ ඉඳල ස්ටේෂන් එක පැත්තට යනකල් බීච් එක නාන්න බොහොම හොඳයි. අපි පිහිනීම සෑහෙන්න දියුණුකරගත්තට පස්සෙ වෙරළෙ ඉඳල කැඩිච්ච නැව කිට්ටුවටම පිහිනුව. ඒත් ඒ සීසන් එකට හෙවත් මුහුද රළු නොවන කාලෙට විතරයි. රළු කාලෙට වැළි නාල එනව මිස වැඩි දුර යන්න හොඳ නෑ.

ලංකාවෙ බටහිර වෙරලෙ සහ නිරිත වෙරළ ශාන්තවෙලා නෑමට සුදුසුම කාලෙ වෙන්නෙ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලෙයි. ඒ කාලෙට අපි කියන්නෙ මුහුද තට්ටෙ වෙනව කියල. මොක්ද වැළි පිටි වගේ සිනිඳුයි, වතුර හරිම පැහැදිලි යි ( රළ අඩු නිසා ) සහ මුහුදෙ ගැඹුර වෙරලෙන් මීටර් පණහක් පමන යනතුරුම අඩි හතර පහකට නො වැඩි නිසා.

මුහුදෙ නානකොට කාලෙ වගේම වෙලාවත් වැදගත්. උදේ ඉර නැග්ග වෙලාවෙ ඉඳල දවල් දොළහ විතර වෙනකල් තමයි හොඳ. ඉන් පස්සෙ මුහුද සැර වෙනව. ඒ නිසා පුළුවන් තරන් උදේට මුහුදට බහින්න. මේකෙ අනික් වාසිය තමයි උදේ අව්ව සැර අඩු නිසා හම පිච්චෙනවත් අඩුයි.


ගල්කිස්ස.

මේ තමා කොළඹ දිස්ත්‍රික්කෙ තීන හොඳම සහ ප්‍රසිද්ධම වෙරළ. කොච්චර හොඳ උනත් අවාසනාවට වගේ මෙතනත් සෑහෙන්න මරණ සිදුවෙනව. ඒකට මූලිකම හේතුව මත්වී නෑම සහ වැරදි දිනවල හෝ වැරදි තැන් නෑම.

මං කලින් කිව්ව වගේ මෙතනදිත් අර දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාළය තමයි නෑමට හොඳම. අනික් කාලවලදි උදේ වරුවෙ වෙරලෙ රැළි පෙරලෙන ගොඩ වගේ පරිස්සමින් නෑවට වැඩි ඈතට යන්න නරකයි.

ගල්කිස්සෙ නානකොට අනික් වැදගත් දේ තමයි තැන. ගොඩක් අය නොදන්න කමට මහ හෝටලය ගාව තීන බේ එකේ නානව.

හොඳම හරිය බෙර්ජයා මවුන්ට් රෝයල් හෝටලය ඉදිරිපිට මුහුද. එතැන සිට බෝට් ක්ලබ් එක ළඟට යනතුරු නෑමට සුදුසුයි. ඒත් ඉන් එහාට නාන්න මාරුයි. ලයිෆ් සේවින් ක්ලබ් එකෙන් එහාටනම් වෙරළෙ ඇවිදගෙන යන්නත් අමාරුයි පැල්පත්වාසි බට්ටො වල්ලල තීන නිසා.

ඔය පහල තීන්නෙ නාන්න හොඳ නැති ප්‍රදේශයෙ ගුවන් ඡායාරූපයක්.


ඔය පහල පිතූරෙ පේන තැන තමයිනෑමට නුසුදුසුම තැන.



මේ එතනම මුහුද සැර කාලෙ. පේනව නේද වැල්ලෙ රන් පාට වැඩිවෙලා මුහුදට තීන ආනතිය වැඩිවෙලා තීනව. ඒ තමයි මුහුද රළු සහ නෑමට නුසුදුසු ගැඹුරු වෙරළක් කියන එකේ සලකුණු.



ඉරිදට සහ සෙනසුරාද උදේ වරුවෙ මුහුද අනතුරු අඩු කාලෙට ලය්ෆ් ගාඩ්ලගෙ සර්විස් එක තීනව.




ඒ අය ඉන්නවනම් මෙන්න මේ වගේ කොඩි ගහල තීනව.


එහෙම කොඩි දෙකක් ගහල ඇති. ඒ දෙක අතරෙ නාන්න වග බලා ගන්න මොකද ඒ තමයි ඒ අය ආරක්ශාකාරී කියල හඳුනගත්ත ප්‍රදේශය සහ ඔවුන්ට කරදරයකදි පිහිටවිය හැකි සීමාව.

ඒත් මෙන්න මෙහෙම කොඩියක් ගහල තීනවනම් නාන්න අනතුරුදායකයි. ඒ කියන්නෙ ඉල්ලං කන්නැතිව රැල්ල පාගල ගෙදර යන්න තමයි තීන්නෙ.



තව සමහරු නොදන්න කමට මහ හෝටලය එහා පැත්තෙ ඒ කියන්නෙ ස්ටේෂන් එකෙන් රත්මලාන පැත්තට වෙන්න තීන හරියෙ නානව. ඒකත් අනතුරුදායක ඒරියා එකක්. හේතු දෙකක් හින්ද. එක තමයි ඒ හරියෙ මුහුද නෑමට සුදුසු නැති වීම. දෙක හොරු බහුල වීම. නාල එනකොට හොරු ඇවිත් කළිසං කමිස පරිස්සටම අරන්ගිහින් තියෙන්න පුළුවන්. මොකද ඒ පැත්තෙ ඒ තං මිනිස්සු ගැවසෙන්නෙ නැති නිසා.

ඔය කිව්ව තැන් දෙකට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙ ආරක්ෂාකාරීව මුහුදෙ නාන්න පුළුවන් තැන් මන් දන්න තරමින්නම් නෑ! දැන් කෙටියෙන් කියන්නං මිරිදිය නාන්න පුළුවන් තැන් කීපයක්.

කොළඹ තීන ලොකුම මිරිදිය ජලාෂෙ තමයි බොල්ගොඩ ගඟ. ඒකෙ අපි ඒ කාලෙ නාපු තැන් බොහොමයක් දැන් විනාසවෙලා, ජරාවාස වෙලා ගිහින්. ඉස්සර බොරුපන කරදියාන හරියෙ කොච්චර නෑවද. දැන් සේරම කුණු විතරයි, අර බේරෙ වැවේ වගේ.

ඒත් තව තැන් කීපයක් තීනව. ඒ අතරින් හොඳම තැනක් තමයි පුවක් අරඹෙ ගල ගාව.
මෙතනට යන්න තීන්නෙ මොරටුමුල්ලෙන් පුවක් අරඹ පාරෙ කෙළවර වෙන තැනින්. මේකට වෙන නමකුත් කිව්ව, ඒත් දැන් මතක නෑ. මෙතන ගඟේ මඩ අඩුයි, ගැඹුරත් නෑ, නාන්න බොහොම හොඳයි.

අනික් තැන තොටුපොළ හෝටලය. මෙතන ටිකක් වියදම්, මොකද නිකන් ගිහින් නාන්න බැරි නිසා. ඒත් මෙතනට ගිහින් බියර් බීල නිකන් එන්නෙ නැතිව කම්බිය දිගේ පහළට ගිහින් නාල එන්න වගේ විශේෂ පහසුකමුත් තීනව.

මෙයට අමතරව අළුතෙන් හදාපු හෝටල් කීපයක් තීනව කියල ඇහුවත් හරියට නොදැන යමක් කියන්න අමාරුයි.

දැන් කියන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙටම අයිති ඒත් ටිකක් දුර තීන තැන් දෙකක් ගැන.

කළු අග්ගල වක් ඔය.

මෙතන ගොඩක් වැහි කාලෙට නාන්න බෑ. මොකද ඔය දෙගොඩ තලා යනව. ඒත් අනික් කාලෙට බය නැතුව නාල කාල එන්නපුළුවන් තැනක්. කළුග්ගල හන්දියෙන් හැරිල වග පාරෙ ටිකදුරක් යනකොට තීනව පොඩි සුරුවමක්. එතනින් දකුණට හැරිල ගියාම වමට හම්බුවෙන පළවෙනි පාරෙ ච්ට්ටක් යනකොට ඇති වතුර ටැන්කියක්. මෙන්න මෙතනින් පේනව ලොකු විසාල බට වගයක්. මේ බට උඩට ගොඩවෙලා ටිකක් ඉස්සරහට යනකොට තමයි තැන.


හිතාගතෑකිනෙ වැඩි විස්තර.


කළු අග්ගල රන්මුදු ඇල්ල.

(පින්තූරෙ දිනමිණ පත්තරේ අනුග්‍රහයෙන්.)

මේක තීනෙත් කළුග්ගල වග පාරෙ කෙළවරට ගියාම හම්බුවෙන තුම්මෝදර පාළමෙන් වමට හැරිල උඩට ගියාමයි.

ඒත් මේ ඇල්ල ගාව මිනිස්සු නාල විනාස කරල නිසා ඇල්ලට හැරෙන්නෙ නැතුව ඒ පාරෙම තව ටිකක් උඩට ගියාම පාරෙ වම් පැත්තෙ කැලේ අස්සෙන් මෙන්න මේ විදියට ගල් අස්සෙන් සීතල වතුර පිරුණ ඔය ගලා බහිනව. නාන්න පංකාදු වතුර.


බීල ඉන්නවනම් ලෙස්සයිද කියල පරිස්සමින්. ගමේ පොරක් අල්ලගත්තනං මය්යොක්ක ටිකක් රා ටිකක් හොයා ගන්න බැරිවෙන්නෙ නෑ.

මීට අමතරව ලබුගම හා කළටුවාව ජලාශ දෙකත් නාන තැන් තීනව. ඒත් එව්ව පොදු ජනතාවට අකැප නිසා ලියල තේරුමක් නෑ.

කැළණි ගඟෙ මම දන්න තරමින් කොළඹට මායිම්වෙන් කිසිම ආරක්ෂාකාරී පීනල නාන පුළුවන් තොටවල් ඇත්තෙ නෑ.

පාළංතුන හන්දියෙත් ඉස්සර නෑව. තව අර බෙල්ලන්විල වතුරබටේ ලඟ, අත්තිඩියෙ බන්ටෙකට පහල, කව්ඩානෙ වෙළ ගොඩකරපු තැන වගේ ඉස්සර නාපු ඒ තැන් නං දැන් කකුළ හෝදගන්නවත් බැරිතරන් ජරාවෙලා!

ඉතින් මෙයිට අමතරව මේ පැත්තෙ නාන්න පුළුවන් තැන් තීනවනම් කියන්න, ආවම ට්‍රයිකරන්නවත් බැරියැ.

මීළඟට කළුතර දිස්ත්‍රික්කය.

Saturday, October 22, 2011

ගඩාෆි ගැන නොකියන කතාව!




පාරේ වෙළඳාම් කල උපාධිධාරී රැකියා වියුක්තිකයකුගෙන් ඇරඹි අරාබි ජන රැල්ල එහි කූඨප්‍රාප්තියට එළඹෙමින් තිබෙ.

මුලින් ප්‍රංසයේ හමුදා සහය පවා දෙන්නට පොරොන්දු වී “බෙන් අලි” ට කෙලවෙන විට අනික් පැත්ත හැරුනු සාර්කෝසි තම නොමේරූ විදේශ ඇමතිනියද පලවා හැර අත සෝදාගත්තේ කිසිවක් නුවූ විලසය.

අරාබි ලොව පමණක් නොව මුළු මහත් අප්‍රිකා අරාබි කලාපයේම ශක්තිමත් නායකයා ලෙස් විරුදාවලී ලත් ගඩාෆි එළවීමේ කුමන්ත්‍රනය කලක් තිස්සෙ රහසේ සැලසුම් කර සාර්කෝසිගේම ආශිර්වාදයෙන් බෙන්ගාසියෙන් එලි බැස්සේ ඉන් පසුවය.

බටහිර මාධ්‍ය අනුව යන අපේ ගොනුන්ද උම්බෑ කියමින් ගඩාෆි ඒකාධිපතියෙකුයැයි කියති. මානව හිමිකම් නොසලකා හැර, තම රට වැසියාට නොසැලකූ නායකයකුට මේ උන දේ මෙවන් අනික් උන්ටත් හොඳ පාඩමැකියි කියති.

මෙසේ කියන්නන්ට අමත වූ දෙය නම ඔවුන් මේ වමාරාන්නෙ බීබීසී, අල්ජසීරා හා සී එන් එන් කියන්නක්ම මිස ඉන් එහ සෙවූ බැලූ යමක් නොවන බවය (ලංකාව සම්භන්දයෙන් මුන් කල කී දෑ අමතකව ගොස් ඇති හැඩයි).

සමහරුන්ට ගඩාෆි මල එක හොඳය. ඒ ඔහු මහින්දගේ කරට අතා දමා සිටි, මේ ආන්ඩුවට සිටි අංක එකේ ෆිට් එකක් නිසාය. එතන ඇත්තේද කුහක කමකි. මහින්දට කෙළ වෙන්නෙ නැති එකේ යාළුවෙකුටවත් කෙළ උනානෙ යැයි සිතා ප්‍රීති වෙති.

නමුත් මේ සියල්ලෝම - බටහිර සහ නැගෙනහිර - ගඩාෆි යනු කවුද යන්න සහගඩාෆිගේ ලිබියාව යනු කුම්ක්දැයි නොදැන සිටි බව පැහැදිලිය.

ඇත්තවශයෙන්ම බටහිර ලොක්කන් මෙය දැන සිටීමම ඔහුගේ අවසානයට හේතු විය.



සදාම් හුසේන්ට විරුද්ධව ගෙන ආ ලොකුම තර්කයනම් ඔහු විසින් කරනු ලබන මානව හිමිකම් කඩ කිරීම් සහ මානව සංහතියට එරෙහිව නිපදවූ විනාශකාරී රසායනික අවි ගැන කතාවකි. මෙම සීනි බෝල තර්කය ඉදිරියට දමා සදාම් නසා දමා ඔහුගේ ඉරාකය විනාශ කල බටහිරයන් අද ඉරාක වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩම හිරගෙවල් වල අකේ පුරිමින් කියා දේ!

හුසේන්ගේ කාලයේ ඉරාක වැසියෝ ගැන මිස කුර්දි, ෂියා, සුන්නි මරාගෙන මැරෙන ඉරාක බෝම්බ කරුවන් ගැන අප අසා නොතිබුනි. එදා බැග්ඩෑඩයක් ගැන මිස ග්‍රීන් සෝන් එකක් යනුවෙන මඟුලක් නොතිබිනි. එහෙත් අද බටහිරයන් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් සුන්නි බෝම්බ කරුවො නිරායුධ ෂියා වන්දනාකරුවන් මරා දමති. ග්‍රීන් සෝන් එකෙන් එපිටට යෑමට ඇමරිකානු බ්ලැක් ඊගල් ආර්ක්ෂක බටයින්ට දහස් ගනන් ගෙවන ඉරාක ධනවතුන්, ව්‍යාපාර විනාසවී, ගෙවතු, ගොවි බිම් පාළු වූ අන්ත දුප්පත් ඉරාක ජනයා මහ මඟ, වෙළඳපොලවල් වල නිරායුධව මියයද්දී අහක බලාගෙන යති. එදා දහස් ගනන් සංචාරකයන් ඇද බැඳගත් යුප්‍රටීස් ටයිග්‍රීස් පුරාවස්තු පිරි බැග්ඩෑඩ් කටුගෙය අද කටුගෙට ගොස් ඇත. ඒ ඉරාකයට උදාවූ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයයි.

එහෙත් ඇත්තටම හුසෙන් එළවා දමා යැංකින් ඉරාකය අල්ලගත්තේ ඔය මොන කෙහෙම්මල් මානවහිමිකම් මඟුලක් නිසාවත් නොව ඔහු ඒ වනවිටත් ඩොලර් වෙනුවට යුරෝ වලින් තෙල් විකිනීමට ප්‍රංසය සමඟ වූ එකඟතාව බව අද බොහෝ ප්‍රසිද්ධ රහසකි.

තෙල්නොවිකිනෙන ඩොලරයට වෙන සන්තෑසිය හා එනිසාම තම රටට වෙන විපත ගැන නූලට ගනන් සෑදූ මානවහිතවාදි ඇමරිකානුවෝ කල් යල් බලා හුසේන් එළවා දමා තම තැන රැක ගත්තෝය.

හුසේන්ගෙන් පසු මැදපෙරදිග ඊළඟ කරදරකාරයා වූ ගඩාෆි හෙල්ලුනි. තම මිතුරකුම නුවූවත් සතුරකුද නොවූ හුසේන්ට බටහිරයන් එකතුවී ගහද්දී බල තුලනයක් නැති සහ ඒ වන විට කොන්ද කැඩී සිටි රුසියාවත් නින්දෙන් අවදිවෙමින් සිටි චීනයත් ඇමරිකානු පතුල් ලෙව කෑ ඉන්දියාවත් ගත් මඟ දුටු ගඩාෆි සිය සෘජු බටහිර විරෝදී පැහැය මදක් වෙනස් කොට ඔවුන් හා මිතුරු විය.

ලොකර්බි සිද්ඩියට සම්භන්ධ සැකකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාවේ යෙදවීම්ට උදව් දුන්නා පමණක් නොව එතෙක් බටහිරට වස තිබූ දොර කව්ළු හැර බ්ලෙයාර්ලා, බුෂ්ලා සහ ඔබාමලා සමග කෙබාබ් කන්නට පටන්ගති.

ගඩාෆි දිගුකල මිත්‍රත්වයෙ සුරත පිළිගනිමින්ම ඔහුට ගේම දෙන්නට ප්ලෑන් ගැසූ බටහිරයන්ට ගඩාෆිගෙන් වෙන්නට ගිය ලොකුම අනතුර ලෙස දුටුවේ ඔහු ගෙන ආ රන් ඩිනාරයේ සංකල්පයයි. ඉස්ලාම් තෙල් නිපදවන රටවල් සහ අප්‍රිකානු රාජ්‍යන් සමඟ ඩොලරයට එරෙහිව නිර්මානය කල මේ සංකල්පය ප්‍රංස ජනාධිපතිවරයා විසින් හැන්දින්වූයේ " මානව සංහතියේ මුල්‍යස්ථාවරත්වයට කරන ලද තර්ජනයක්" ලෙසයි.
මැලේසියාව, බෲනායි සහ අනෙකුත් උතුරු අප්‍රිකානු රාජ්‍යන් සමඟ එක්ව ගෙන එන්නට නියමිතව තිබූ මෙම රන් ඩිනාරයෙ සංකල්පය යම් හෙයකින් සාර්ථක් වුනි නම් මේ වන විට ඇද වැටෙමින් ත්බෙන යුරෝ සහ ඇමරිකානු ආර්ථිකයන් දණ නොව හාන්සිම වී යන බව කලින්ම ඉව වැටුන නැටෝව ගඩාෆිට විරුද්ද ගෝත්‍රිකයින් වූ "සුවය්යාහ්" වරුන් සමඟ කුම්න්ත්‍රනය ඇරඹුවේ 2010 සිට බව දැන් හෙලිවී තිබේ.

ලිබියාව යනු විවිධ ගෝත්‍ර අසූවකට ආසන්න ප්‍රමාණයක් ඇති විශාල භූමිප්‍රදේශයක් සහිත රටකි. මෙහි ගෝත්‍ර අතර සටන් ඉතිහාසය පුරාම දකින්නට තිබූ අතර ලිබියාව යටත් කරගෙන සිටි තුර්කින් සහ ඉතාලියනුවන් මෙම ගැටුම සමනය කර මේ ප්‍රධාන ගෝත්‍ර දෙක වන බටහිර ( ට්‍රිපොලි, බානි වලිද්, සර්ට් ) කේන්ද්‍රකරගත් “වාෆල්ලාහ්” සහ දකුණු සහ පෙරදිග කේන්ද්‍ර කරගත් ( බෙන්ගාසි, මිසුරාටා ) "සුවය්යාහ්" සමඟි කිරීමට දැරු සියලු උත්සාහයන් විනාස වී ගිය බව කියැවේ. එහෙත් එක්දහස් නමසිය හැට නමයේ කුමන්ත්‍රනයකින් බලය ලබා ගත් ගඩාෆි තම විරුද්ධ ගෝත්‍රයෙන්ද බිරින්දෑවකු සරණ පාවගෙන සැමට සම සැලකුම් සඳහා ඉස්ලාමීය සමාජවාදය" යන අදහසින් කටයුතු කරමින් එකසත් ලිබියාවක් ගොඩ නැංවීය. ඒ වනවිට මුළු මහත් අප්‍රිකා මැද පෙරදිග කලාපය පුරාවටම තිබූ විශාලතම ඇමරිකාණු ගුවන් කඳවුර වූ "ව්විලස් එයාර් බේස් " අකුලාගෙන ගෙදර යන්නැයි කී නිසා ගඩාෆි ආ දින සිටම බටහිර මිතුරෙකු නොවීය. ඇමරිකානු සහ ඉතාලි සමාගම් විසින් සොරා කමින් තිබූ තෙල් සම්පත ජනසතු කල ගඩාෆි එහි සියළු ප්‍රථිලාභ තම ජනතාවට ලබා දුනි.

ගඩාෆිට විරුද්ද්ධව බෙන්ගාසි කැරලි කරුවන් නැගී සිටින විට මුළු ලිබියාවේම තිබුනී නිදහස් සෞක්‍ය සේවයකි. ප්‍රාථමිකයේ සිට විශ්ව විද්‍යාලය තෙක්ද ඉන් නොනැවතී විදෙස් ටරක ලබන අධ‍යාපනයටද රජයෙන් ගෙව්වේඑ. මේ ඒවන් ගඩාෆි රජයේ තිබූ තවත් ප්‍රථිලාභ කිහිපයකි.

නොමිලේ ගෘහස්ථ පරිබෝජනය සඳහා විදුලිය.
පොළී රහිත ණය
සෑම සිසුවෙකුටම ඩොලර් 230ක මාසික දීමනාවක්
සියළු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් දායකත්වය රජය මඟිනි.
සේවා වියුක්තිකයන්ට ජිවත්වීමේ දීමනාවක්
සෑම විවාහක යුවලකටම නිවසක්
සියළු මෝටර් රථ බද්දෙන් නිදහස්
පාන්ගෙඩියක් ඩොලර් සත 05කි.
කාන්තාරයෙ සහ ගමමාණ වල විසූ සැමට පාණීය ජලය
උපදින සෑම දරුවෙකු සඳාම ඩොලර් පන්දහසක දීමනාවක්

මේ එකාධිපතියකුගේ වැඩවලින් තවත් කොටසකි.

ලොව එතෙක් මෙතෙක් නිමැවූ දීර්ඝතම කෘතිම ජල මාර්ගය හෙවත් මිනිස් අතින් නිමැවූ මහා ගංගාව ගඩාෆිගේ වැඩකි. එම ව්‍යාපෘතියට සමඟාමීව කාන්තාර හරහා එලූ මාර්ගවලින් මුළු ලිබියාවම යා කර සෑදූ ජාලයේම ආ පෙරදිග ලිබියානුවන් ගඩාෆි මරා දැම්මෝය.
ලිබියානුවන් 25% උසස් අධ්‍යාපනය ලැබූවන් වෙති. එහි සාක්ෂරතාව 82%කි. දරිද්‍රතාවයේ රෙඛාවට පහලින් සිටින්නේ ලිබියානුවන්ගෙන් සියයට පහක් වැනි සුළු පිරිසකි. පුරවැසියන් ලක්ෂයකට සිටින්නේ සිරකරුවන් හැට එකකි මෙය ඇමරිකාවේ හත්සියයකට වැඩිය!

එසේනම් උතුරු අප්‍රකාවේ තිබූ සමෘධිමත්ම රාජ්‍යයේ පාලකයා මෙසේ බෝක්කුවක් අස්සෙන් ඇද විත් මහමඟ වෙඩිතබා මැරුවේ ඇයි.

මෙයට හේතුව ඔහු බටහිරයන් කී ලෙසට නැටුවේ නැති බැවිනි. බටහිර මානව හිමිකම් විකාර සහ ප්‍රජාතන්ත්‍රවාදී බයිලා මීට වසර තිහ හතලිහකට, එනම් පරම්පරාවකට පෙර යන්තම් කූඩාරමෙන් එළියට ආ අරාබින්ට නොගැලපේ. ගල්ෆ් කලාපයේ සිටින්නේ තරමක් දුරට දියුණු අරාබි සමාජයක් වුවද අප්‍රිකාවේ සිටින්නන් තවම ඉන්නේ ඊට බොහෝ ඈතිනි.

මොවුන් පාළනයට දැඩි නීති මිස වෙන කිසිවක් නොසැහේ. මේ වග අපේ "හවුස් මේඩ්" කෙනෙකුගෙන් ඇසුවනම් සුද්ධ සිංහලෙන්ම දැනගත හැක. බටහිර ඔත්තුසේවා විසින් කාලයක් තිස්සේ ගැසූ ගැටය නියම ලෙස තද කරන්නට ටියුනීසියාවෙන් ආ රැල්ල පාවිච්චි කල අතර, අමන ගෝත්‍රිකයන්ගේ උගත්කම යටවී නැට්ට එළියට ආවේ කොටසක් ලිබියානුවන්ගේද සම්මා සතිය බටහිර මුලාවෙන් වැසී ගිය නිසාය. වැල යන අතට මැස්ස ගැසූ තව තවත් ලිබියානුවන් මෙයට එකතු විය.

ලොව පළමු වරට රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් අත ෆයි සීරෝ හා පැඩල් ගන් විය. උන් බෙන්ගාසියේ හමුදා කඳවුර බිමට සමතලා කල විට එහි ගිය ලිබියානු හමුදා සාමාන්‍ය වැසිය 420ක් මරා දැමුයේයැයි එක්සත් ජාතීන් කලබල විය. වහා යෝජනාවක් සම්මත කල එක්සත් ජාතීන් නේටෝවට බලය දුන්නෙ ලිබියානු ජනතාව බේරා ගන්නැයි කියාය.

අද ලිබියානුවන් තිස් දහසක් එලොව ගොස් මෙලොව සිටිනා උන්ට විමුක්තිය උදා කරදී තිබේ. එකතු නොවූ ගඩාෆි හිතවාදීන්ට අද ට්‍රිපොලි හි කුමක් වන්නේදැයි සෙවීමට නවී පිල්ලිය යැවිය යුතුය.

දැන් කොටි පුල්ලි පෙන්නමින් එංගලන්ත විදේශලේකම් පවසා ඇත්තේ අපට ලිබියාව ගොඩනැගීමේ අවස්තාව උදා වී ඇති බවත් තම ව්යැවසායකයින් ඒ දෙස උනන්දුවෙන් බලා සිටිනා බවත්ය.

ඩොලර් බිලියන දෙකක බොම්බ කට්ටිය එකතුවී ලිබියාවට දැම්මේ මේ නිසාය. නැතුව මොන ඒකාධිපතියකුවත් නිසා නොවේ.

මේ වනවිට සිරියාවේ බෂාර් අල් අසාද් විසින් දෙදහසකට අධික පිරිසක් මරා දමා තිබේ. අරාබි ලීගයද, ඇමරිකාව ප්‍රමුඛ නෙතොවද නිහඬය. ලිබියානු ඩොලර් බිලියන දහස් ගනනක මුදල් සිරකල ආකාරයට සිරියාට සම්භාධක පණවන්නේ නැත! චීනය හා රුසියාවද තම "විටෝ"ව පාවිච්චි කර එක්සත් ජාතීන්ගේ සම්භාධකද වලකා ඇත.

ඊයෙ පෙරේදා සවුදියෙ සිට සනීප වී ගෙදර ආ යේමනයේ “අලි අබ්දුල්ලා සලේ” මේ වනවිට දස දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මරා දමා තිබේ. නමුත් කාටවත් රුදාවක් නැත. මන්ද ලිබියාවෙ මෙන් බැරලය ඩොලර් එකට ගොඩ ගන්නට තෙල් යේමනයේ නැති නිසාය.

අවසානයේ කිව යුත්තේ පිස්සන් පාලනය කිරීමට පිස්සන් අතරින්ම බිහිවූ හොඳ පිස්සෙකු විනාස වී හමාරය. ලැබුනු බතත් මේ මඟුලෙන් පසු කෙලවෞන බව දැනගන්නා විට අවි අතදරා සිටින ලින්බියානුවන් යුරෝප සිහින් කුණු කූඩයට යවමින් තම තුවක්කු සුද්දන් දෙසට හරවනු ඇත. අපි එතෙක් බලා සිටිමු.

තම ජාතියට රටට අසීමිතව ආදරය කල නිසා අවසන් මොහොත දක්වාම සටන් කල ගඩාෆිද, තම පියාගේ අවසන් මොහොත තෙක් ඔහු සමඟම හිඳ නියම යුධ උපදේශකයකු සහ ප්‍රධාන ආරක්ශකයා ලෙස කටයුතු කල මුටාසිම්ටද මගේ නම් ඇත්තේ ගෞරවයක් පමණි!

මේ ගඩාෆිගේ කොලපාට සමාජයයි (සී ඒ චන්ද්‍රප්‍රේමගේ විකාර පොත නොවේ )

මේ මීට වසරකට පෙර ගඩාෆිගැන හොඳ කියූ යූ එන් එකේම නිල වාර්ථාවයි

Wednesday, October 19, 2011

කාටත් උරුම බෝතල් පහක්!





ඔබට අයිති නැති බෝතලය කුමක්ද?

ඒ කුමක් උනත් එය පාවිච්චි කර ඇති බවට ඔප්ප්පු කල හැක.

Sunday, October 9, 2011

ලංකාවේ (වි)ශිෂ්ඨතම රාජ්‍ය සේවකයා!


අප ප්‍රවීණ විද්‍යා ලේඛකයෙකු, පරිගණක ඉංජිනේරුවකු සහ රසවත් බ්ලොග් රචකයකු වන චානුක වත්තේගම මහතා විසින් මීට කලකට පෙර වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යනු නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රාජ්‍යනිළධාරියා යැයි හඳුන්වනු ලැබීය.

අමරහේවා මද්දුමයන් පුද්ගලිකවම දන්න හඳුනන, ඩී බී රම්පාලයන්, ලයනල් ප්‍රනාන්දු වැනවුන් ගැන බොහෝ දේ අසා ඇති අපට මෙය පුදුමයක් වූ මුත් මර්වින් සිල්වාට තමා දුටු ගැමුණු පරපුරේයැයිද, ජැක්සන්ට ජනාධිපතිතුමන්ද එම පරපුරේ යැයිද, පිටිදූවේ සිරිධම්ම ගෝල කමෙන් පහකල පසු දමා ගත් අලුත් නම තමා සකෘදාගාමී වූ නිසා වෙනස් කරගත්තායැයි පැවසූද, ඒජේ රණසිංහට ප්‍රේමදාස මහතාගේ සෙරෙප්පු සුප් වැළඳිය හැකි වූද, බුදුන් දින අනඳ හිමියන් වසඟ කල මන්ත්‍ර ඇතැයි පාරිභොගිකයන් මුලා කරමින් වශී දැන්වීම් පිටු ගනන් දමන වල්ලියන් සහ විල්ලියන් යහතින් ඉන්නා රටක එක අතකින් මෙය මහා අමුතු හෝ පුදුම විය යුතු දෙයක්ද නොවුනි.

අනෙක තම බත් පත සරි කර දෙන නිසා හෝ නැතිනම් උපතින්ම ඇස් නිල් නිසා සියල්ල නිලට හෝ නිළට පෙනෙනා නිසා කිව්ව්ද රචකයාගෙ මතය තහවුරු කල බොහෝ කමෙන්ට් එහි වූ නිසා මෙය එතුමාගේ පුද්ගලික අදහසක්ම පමණක් නොවුන බවත් මෙලෙස සිතන්නෝ තව බොහෝ වෙන බවත් පැහැදිලිය.

දැන් මේ පිළුනු වූ කතාව ආයි මතක් වූයේ අති විශිෂ්ඨ නිළධාරියකු යනු වශයෙන් එසේ බොහෝ දෙනා හංවඩු ගැසූ එතුමා ඊයෙ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ ඉතා හොඳ චරිතවත් පුද්ගලයකු ලෙස කීර්තියක් ඇති දුමින්ද සිල්වා මහතා බේරා ගැනීමට ජපුර රෝහලට ගිය බැවිනි.

රාජ්‍ය නිළධාරියකු සතුවිය යුතු විනය සහ අපක්ශපාතීබව ගැන රජයට සම්භන්ධ ආයතනවල අගුවේවත් නොසිටි අපට වඩා ආන්ඩුවෙන් කෑ බිව් උතුමෝ දන්නවා ඇත.

ඉතින් එවන් රජයේ නිළධාරියෙකු මේ ගමණ ගියේ තම ලොක්කාට වෙඩි වැඩුනු නිසා බලන්නටද නැතිනම් තම අතිජාත මිත්‍රයා අමාරුවේ වැටුනු විට උදව් වෙන්නද?

නැතිනම් රාජ්‍ය ආරක්ෂක ලෙකම් හැටියට තම රාජකාරිමය සේවය සැපයීමේ උතුම් අරමුණින්ද?

එහෙත් එහිදී මිය ගිය, එදා තම සොයුරාට කිසිවකුත් නැති කල චන්ද්‍රිකා නෝනාගෙන් බැණුම් අසමින්ම ඔහු අත නොහැර සිටි, හිත හොඳ චන්ඩියෙක් ලෙස ( දුමින්ද සිල්වාට සාපෙක්ෂව හොඳ මිනිසෙකු ලෙස සැලකෙන ) හෝ ඒ මොන මඟුලක් නොවුනත් අඩු තරමින් මල එකා නේද යන සිතිවිල්ලෙන්වත් අයි ඩී එච් එකට නොයෑමට වග බලා ගත්තේ මේ විශිෂ්ඨ නිළධාරියා විශිෂ්ඨ වූ තරමටම ශිෂ්ඨ නොවූ නිසාද?

අප සත්තිකුම්භ ජාතකයේ සිට අසා ඇත්තේ සහ දැක ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත්තේ නරක ඇසුරට වැටෙන්නෝද නරක උන් වන බවයි. ඒ නිසා මේ විශිෂ්ඨ නිළධාරියාටත් අධීක්ෂන මන්ත්‍රීගේ ඇසුර නරකට හිටියාදෝ!

අනේ එසේනම් කොළඹ ලස්සනත් හමුදාවේ ශක්තියත් නැතිවයාදෝ!

අඳෝමැයි...දෙදාස් දොලහේ විනාසය ෂුවර් බවට වෙන මොන කැටද? ( කැට ගොඩටත් කෙලවෙලා යයිද )

Sunday, October 2, 2011

කංකාණිගෙ පවුල රැකේ. මගේ පවුල?



මේක උනේ ඊයෙ ඉතාලියෙ ඉඳන් විකාශය කරන ශ්‍රී ටී වී එකේ ගිය ට්‍රැවල වැඩ සටහනේ.

ඒක කරන ප්‍රගීත් දක්ෂ නිවෙදකයෙක් නොවුනත් අළුත් යමක් කරන්න ට්‍රයි කරන දක්ෂයෙක් බව පේනව. මිනිහ ගොඩක් ඔය යුරෝපෙ තැන් තැන් වල විස්තර පෙන්වන සංචාරක වැඩ සටහනක් තමයි ට්‍රැවලර් කියන්නෙ.

පහුගිය දවස් වල මං හිතන්නෙ වැකේශන් එකකට ලංකාවට ඇවිත්ද කොහෙද දඹුලුත් ගිහින් තල ගොය්යෙක් මරා ගන්නත් කියල හිතන් වෙන්නැති නුවර එළිය පැත්තෙ සුන්දර ස්ථාන තේ වතු වල තේ වවන හදන හැටි ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරල.

මිනිහ ඒකෙ තේ වත්තක ඉන්න නොයෙක් සේවකයො නිළධාරීන් එක්ක කතා කර කර එන අතරෙ එක තැනක වත්තෙ කංකාණි එක්කත් පොඩි සම්මුඛ සාකච්ඡාවක් යනව.

කතාව මෙන්න මෙහෙමයි...

ප්‍රගීත්; මේ මහත්තය අවුරුදු කීයක්ද වත්තට ඇවිල්ල..

කංකාණි; මං දෙන් අවුරුදු අටක් විතර වෙනව මේ වත්තෙ.

ප්‍රගීත්; දැං පඩිය කීයක් හබුවෙනවද?

කංකාණි; දවට දෙසිය අසූ පායි..

ප්‍රගීත්; දරුවො එහෙම මේ රස්සාවට යොමු කරන්න අදහසක් නැද්ද?

කංකාණි; අපෝ නේ, මේකෙ වියදම වැඩියි... හාල් ඇටයි පිටි අනූඅයි ජීවත් වෙඬ හරී අමාරුයි..

ප්‍රගීත්; දැන් ඔබතුමාගෙ කීයක් ඉන්නවද ඔක්කොම පවුලෙ?

කංකාණි; තුන් දෙනයි...

ප්‍රගීත්; ආ..පවුලෙ තුන්දෙනයි, ඒ නිසා වියදම වැඩියි..!

කංකාණි; නේ නේ ...පවුල එක්කෙනයි...ළමයි තුන්දෙනයි,....


ප්‍රගීත්; හා හරි හරි බොහොම ස්තූතියි...


.......සාකච්ඡාව ඉවරයි....


අග ටිකේදි මට බකස් ගාල හිනා ගියෙ ඇයි කියල අපේ හාමිනේගෙ ටියුබ් එකට පයින් ගහනකල් තේරුනේ නැති හැටි...ඔක්කොම ගෑණු ඔහොමමද?

Monday, September 26, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස!



කතාවෙ මේ කොටස පරක්කු උනේ මෙහෙ රටේ තත්වෙ හොඳ නැති හින්ද කළින් ගෙදර යන්න උනානෙ. අපේ කර්මාන්ත්ශාලාව 4ට වැඩ ඉවරකරන නිසා අනික් උන් ගියාම මං විතරක් පහ මාර විතර වෙනකල් ඉඳල මේකට කොටල යනව, මොකද ගෙදර ගියාම ජාලෙට කොට කොට ඉන්නවට වඩා පොඩි උන් දෙන්න එක්ක සෙල්ළං දාන්න තීන හින්ද.

ඒත් පහුගිය දොහේ මේ චන්දයක් හින්ද කබ්බො ෆෝම් වෙලා පූර්ව සහ පශචාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා හැම තැනම. ඉතින් පාරවල් වහල මහ ලෙඩ ගොඩයි. අද තත්වෙ ටිකක් හොඳ හින්ද ඉඳල ලියලම යනව කියල හිතුව.

...............

ලියුම අතට දුන්න අර තඩි සරීරෙ සුටුස් ගානකොට සෙනඟ ගොඩ අස්සෙ වාෂ්ප උනේ ඇයි එන්න එපා කිව්වෙ කියල අහන්නවත් ඉඩක් නොදී.

මොකද බං සින් එක, වංගෙඩි මොකද කියන්නෙ?

හසිතයටත් දැන් ඉවසං ඉන්න බෑ, මට ඊඩත් වඩා ඉන්න බෑ. ඒත් ඉතින් මේ දෙනෝදාහක් යන එන තැන ඕක කියවන්න පුළුවනෑ! ඒ නිසා උන් දෙන්නවත් ඇදං නැග්ග පනස් හතරට, ඉස්කෝලෙට ගිහිම්ම හිමීට බලනව කියල.

වෙනද වගේම ගාට ගාට ආපු බස් එක හරියට වෙලාව පහු උනාමම ඉස්කෝලෙ ගාවට ආව කිය කිය බැන්නට ඉතින් ඌ මොකෑ කරන්නෙ අපි පරක්කු වෙලා ආපු බස් එකක නැග්ගට!
සාමන්‍යෙන් වෙන ප්‍රාමාදවීම් සඳහා ලැබෙන චාටර් කාල අපි leader උත්තම්යින්ගෙ කර පිටින් පන්තියටත් ආව. දැන් ඉතින් ඉන්ටවල් එක වෙනකල් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියෙ මේ මඟුල බලන්න. මොකද කවුරුහරි තරහකාරයෙක් ඕක හොරෙන් බලද්දි ඔත්තුවක් දුන්නොත් එහෙම ඉතින් කෙලින්ම තව රුපියල් සීයක් හොයාගන්න එපැ‍යි අර දෙහිවල ට්‍රැක්ටර් ඩ්‍රයිවරයට දෙන්න. මිනිහනෙ අපෙ මාම හෙවත් මගෙ භාරකාරය ඉස්කෝලෙට!

ඔන්න අර කණ පිනවණ සීනු නාදෙ දහයමාරට විතර ඇහුන විතරයි අපේ මුළු බාල්දිවත්තෙ කණ්ඩායමම විද්ද පිට්ටනියෙ ඈත කොනකට. ඒ වෙනකොට වෙලා තිබ්බ සීන් එක අන්තිම පේලියෙ හෙවත් බාල්දිවත්තෙ හැමෝම දැනං හිටියෙ. (අපේ මම, රැල්ල, , පොඩි මල්ලි, හසිය, බන්ඩ, වැලිකල, කෝසල වගේ කණ්ඩායමම හිටියෙ පන්තියෙ පස්සෙම පේළිවල. අපි අපිටම බාල්දිවත්ත කියාගත්තෙ මොන ලෙඩක් උනත් කොනක අපි ඉන්නව, සමහරවිට ඇත්තටම නොහිටියත් අපිව අනිවාර්යෙන්ම සැක කරල ඉහල උසාවි නග්ගනවම තමයි. ඉතින් අපේ වත්ත බාල්දි වලින් පිරිල නිසා බාල්දි වත්ත කියල තමයි නම තියල තිබ්බෙ.)


ඔක්කොම එකා වගේ ලියුම බලන්න සෙට්. සහෝදර ප්‍රෙමෙනෙ. ඒ නිසා අපි ඔක්කොම ඔය වගේ විශේෂ ලියුන් බලන්න ලියන්න සෙට් වෙන්නෙ කණ්ඩායමක් හැටියට තමයි ගොඩක් වෙලාවට.

එදත් එහෙම කට්ටියම මගෙ ගැන සහෝදර ප්‍රෙමෙන් වට වෙලා ඉන්දැද්දඉ මම අර සුදු ලස්සන කොලේ හිමීට දිගාරින්න ගත්ත.

පහට හයට නමල උඩින් අලවල තිබ්බ එක පරිස්සමින් දිගෑරියට කවුරුත් කියවන්නෙ සද්ද නැතුව.

මම එක පාරක් කියෙව්ව...තව පාරක් ආයිත් පාරක්..

වෙන්දට මේ වගේ එකක් කියවල ඉවරවෙනකොටම ඇරෙන කටවල් තාම වැහිල මොකද කියල හිතිල වටපිට බලනකොට... මෙන්න උනුත් තාම ආයි ආයි කියෝනවද කොහෙද!

කාටවත් හිතා ගන්න බෑ ලියල තීන දේ! ඇයි එයා ඇයි මට මෙහෙම කියන්නෙ!

"ආදරණීය ඉන්දික අය්යා වෙත,

මම මේ ලිපිය ලියන්නෙ රෑ එකට විතර ගෙදර හැමෝටම හොරෙන්. ඔයාට මෙහෙම ලිපියක් ලියන්න වීම ගැන මුලින්ම දහස් වාරයක් සමාවෙන්න.

අපි දවසක් පන්තිය් ඉවරවෙලා කතාකරර යනව කවුද දැකල අම්මට කියල. අම්ම ඒක ජයසේන අංකල්ට කියල එයා ඊයෙ මගෙ පස්සෙන් ඇවිත්. අපි දෙන්න මැලිබන් එක ගාව ඉඳන් බස් එකට නඟිනවයි එකට පිටිපස්සෙ ඉඳගෙන එනව, බැහල එනව ඔක්කොම බලන් ඉඳල. පස්සෙ අද උදේ මම ඉස්කෝලෙ ආවට පස්සෙ මේ ගැන අම්ම එක්ක කියල. අම්මට එක ඇහුම්වම අලන්තෙ දාලලු!
ඔයා දන්නවනෙ අම්ම මට මොන තරං ආදරේද කියල. එයා මුළු දවසෙම පිස්සුවෙන් වගේ ඉඳල තීන්නෙ. මං ඉස්කෝලෙ ඇරිල ආවම මගෙන් මේ ගැන ඇහුවම මම නෑ කිව්ව. එතකොට ජයසෙන අංකල්ට කතා කරල එයා ඔක්කොම කිව්වම මගෙ ඇඟ හීතල වෙලා ගියා. මට මුකුත් කියා ගන්න බැරුව හොඳටම ඇඬුන.
අම්ම එතකොට "ඇයි දුවෙ උඹ මට මෙහෙම කරේ කියල අඬ අඬ ඔළුව මහ හය්යෙ බිත්තියෙ ගහ ගත්ත. මම කෑ ගහල අම්මව අල්ලන්න හදනකොට එපා උඹ මාව අල්ලන්න එපා, මං මැරෙනව මීට හොඳයි කියල කෑ ගගහ එළියට යන්න හදනකොට ආයි ජයසේන අංකල් පැනල අම්මව අල්ලගත්ත. අම්ම ඊට පස්සෙ මහ හය්යෙන් පපුවට ගහගෙ ගහගෙන ගියා. ජසේන අංකල් අම්මව ආයි අල්ලගෙන සැටියෙ වාඩිකරල මහ හය්යෙන් බනින්න ගත්ත.
මමත් අඬනව, නංගිත් අඬනව අම්මත් අඬනව. පස්සෙ ජයසේන අංකල් මට ඔයා යන්න කාමරේට කියල එළවගත්ත. මායි නංගිගියි කාමරේට ගිහින් අඬ අඬ ඉන්නකොට අම්ම ආයි ටිකකින් එතන්ට ඇවිත් මට බැනල බැනල "ලොකු දුවේ උඹ ඕක නැවැත්තුවෙ නැත්තං මං අද රෑම ළිඳේ පැනල මැරෙනව කියල මහ හය්යෙන් ආයි පපුවට ගහ ගත්තා.
ඒ එක්කම ජයසේන අංකල් ආයි ඇවිල්ල අල්ලගත්තෙ හින්ද සිහි නැතිවෙලා ගිය අම්මව බිම වැටුනෙ නෑ. පස්සෙ අපි වතුර ගහල අම්මට සිහිය ආවමත් එයා මොනාදෝ තනියෙන් කියව කියව හිටිය මිසක් කාත් එක්කවත් කතා කරෙත් නෑ.
අපි ඔක්කොම අඬ අඬ කාමරවලට වෙලා හිටිය. හවස තාත්ත ආවම අම්ම ආයි අඬ අඬ ඔක්කොම එයා එක්කත් කිව්ව, ඒ කියද්දිත් කිවෙ මේකි මේක නතරනොකලොත් මම ළිඳෙ පැනල මැරෙනව ඇර වෙන කරන්න දෙයක් නෑ...අපි මෙච්චර ලොකු මහත්කරල මේ විභාගෙ ලියන්නත් කලින් මඟුල් නටන්න ගත්තම නංගිත් මොනා නොකරයිද වගේ මහ ගොඩක් කතා තමයි. පස්සෙ අම්මයි තාත්තයි හිමීට මොනා හරි කතා කරල ඉවරවෙලා තමයි කට්ටියම ඕගොල්ලඟෙ ගෙදර ගියෙ.

ඊට පස්සෙ එහෙ මොනා කිව්වද දන්නෙ නෑ. ඒත් ආවට පස්සෙත් කවුරුත් කතා කරේ නෑ. පස්සෙ මට නංගි කිව්ව අංකල් ඇවිල්ල කියල. මට හරි භයයි අය්යෙ. ඔයාට තාත්ත ගහන්න ඇති නේද. මේ ඔකොම මගෙ මෝඩකම වෙන්න ඇති, නැත්තන් අපේ නොලැබීම වෙන්න ඇති. ඇයි ඒ ගොල්ලො මෙච්චර අපි දෙන්නට වෛර කරන්නෙ කියල මට හිතා ගන්න බෑ.
තාත්ත ආයි පස්සෙ රෑ කාමරේටම ඇවිල්ල මට කතා කරා. එයාලගෙ ලොකුම බලාපොරොත්තුව මම හින්ද මේ කාලෙදි කොල්ලෙක් යාළු කරගෙන මගේ ඉගනීම කඩා කප්පල් වෙයි කියල අම්මට හරි භයයි වගේම දුකයි, ඒ නිසා එයා මොනා කරගනීද දන්නෙ නෑ වගේ මහ ගොඩක් දේවල් කිව්ව. ඒ අස්සෙ ආයි අම්මත් ඇවිල්ල මගෙ කොණ්ඩෙන් අල්ලගෙ " උඹ ඕක නැවැත්තුවෙ නැත්තං මගෙ දුවෙ හෙට උඹෙ අම්මව අර ලිංකටින් ගනිං කියල මහ හය්යෙන් මාව තල්ලු කරල පිස්සුවෙන් වගේ දිව්ව. අපි කෑ ගහගෙන එළය ගිහින් අම්මව අල්ලගත්ත. ඔයා එනකොට මේ සේරම වෙලා ඉවරයි. මීට පස්සෙ මට ගමේ අයට මූණ දෙන්නත් බෑ, ගෙදර අයගෙ මූණ බලන්නත් බෑ. ඒත් ඒ ඔක්කොටම වඩා මට අම්ම ගැන හරි භයයි අය්යෙ. එයා මොනාහරි කරගත්තොත් අපි ඉඳල වැඩක් නෑ. අනේ අය්යෙ අපි දෙන්නට විභාගෙන් පස්සෙ ආයි එකතුවෙන්න පුළුවන් වෙයි. ඔයා හොඳට විභාගෙ කරන්න ඒතකොට අපිට කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ නේද?
ඉන්දික අය්යෙ ඔයා මගේම විතරයි, ඒක වෙනස් වෙන්නෙ නෑ. ඒත් අපි ටික දවසකට මේක නවත්තමු. මට අපේ අම්මට මොණව හරි උනොත් ජීවත් වෙලා වැඩක් නෑ. අනික මම දන්නව අම්ම ගැන, එයා කිව්වොත් කරනවම තමයි.

ඒ නිසා මම ගොඩක් ආදරෙන් කියන්නෙ මට බනින්න එපා ඔයාට ද්‍රෝහි උනා කියල, මට ඔයා වගේම අම්මත් නැතුව බෑ. ඒ හින්ද අපි මේ අවුරුදු දෙක තුන ඉවසගෙන ඉමු. අපිට කවදහරි එක් වෙන්න ලැබෙයි කියල හිත හාදාගමු.

තව ලියන්න බෑ මගෙ ඔළුවත් රිදෙනව. අනේ අය්යෙ මාව තේරුන් ගන්න, මින් පස්සෙ විභාගෙ ඉවරවෙනකල් මට කතා කරන්නවත් මාව හම්බවෙන්නවත් හදන්න එපා.

මීට ඔයාගෙම ආදර ගිහාණි.



සුදු ඩ්‍රොවින් පොතකින් ඉරා ගත්තු කොල දෙකක් පුරෝල ලියල තිබ්බ ලියුම දෙතුන් පාරක් කියවල ඉවරවෙනකොට ඉන්ටර්වල් එකත් ඉවරවෙලා. කට්ටියම ආපහු පන්තියට ගියෙ කිසි කතාවක් නැතුව. උන් ඔක්කොටම තේරිල තිබ්බෙ මං හිටිය තත්වෙ!

දිග කතාවක් කෙටි කරන්නං මේක දිගට ලියන එක මට වෙහෙසක් නිසා.

ඔය ලියුමෙන් පස්සෙත් මම ගිහාණිව හම්බ වෙන්න කීප සැරයක්ම ට්‍රයි කරා, ඒත් එයා මාව දන්නෙ නෑ වගේ මඟ ඇරල ගියා. පන්ති ගියෙ අම්ම එක්ක නිසා, පන්සල් යාමක් නැති නිසා වගේ ගොඩක් හේතු නිසා මට එයාට තනියම කතාකරන්න ලැබෙන අවස්ථාවනුත් අඩු උනා. ඒ අතරෙ එයාගෙ යාළුවො අතේ යැව්ව පණිවුඩ වලටත් කියල තිබ්බෙ විභාගෙ ඉවරවෙනකල් එයාට කරදර කරන්න එපා කියල විතරයි. මං යැව්ව ලියුන් නොගෙනම ආපහු හරවල එවල තිබ්බ.

බොහෝ මෝඩයින් වගේ මාත් බීමට සිගරට් එකට හුරු උනා. ඕ ලෙවල් ෆේල් වෙන එක මම දැනං හිටිය පාඩං කියල බීච් එකට වෙලා උඩ බලන් හිටිය නිසා. ඒත් අම්මනං මගෙ රිසල්ස් ආව වෙලාවෙ හරිය ඇඬුව විතරක් නෙමේ ගිහාණිට, මගේ ආදරේට සාප කරා, පන්තියෙ මුල්ම පහ අතරෙ උන්න එකෙක් මේ වගේ තත්ට්වෙට ඇදල දැම්ම කියල.
විභාගෙ ෆේල් නිසා සහ නරක හැසිරීම නිසා ඉස්කෝලෙන් දෙන්නං කාසි වලට ඒ ලෙවල් කරන්න දෙන්න බෑ කිව්ව. මමම අස් වෙලා ජිනරතනෙ ඉලෙක්ට්‍රිකල් වැඩ ඉගෙන ගන්න ගියා. ( එතනදි වෙච්ච පොඩි සිදුවීමක් තමයි ඊට පස්සෙ මාව ආයි වෙනස් කරල මේ තත්වෙට ගත්තෙ. ඒක වෙනම ලියන්නං )
ඔය අතරෙ ගිහාණි ඕ ලෙවල් කරා, ඒත් මාව මඟ ඇරිය. තව ටික කාලෙකින් මට ආරන්චි උනා එයා ට්‍රෙලක් එහෙම තීන මට වඩා හැන්ඩි සහ වැඩිමල් එකෙක් එක යාළුවෙලා කියල. ඌට සල්ලි තිබ්බ හින්දද කොහෙද කමල ඇන්ටි සුවිසයිඩ් කරගන්නව කියල නොතිබ්බත් ඒ ගෙදරටත් ගිහින් වැඩේ නවත්තන්න වගේ දඟලල තීනව කියලත් ආරංචි උනා.
පස්සෙ ඒ ලෙවල් රිසල්ට්ස් එන්න කලින් ගිහාණියි අර යෝධයයි බැන්ද. මම ඒ වෙනකොට ඉහලට අධ්‍යාපනය ආයි පටන් අරන්. මට මඟුල් ගේවත් කියල තිබ්බෙ නෑ. තිබ්බත් මම යන්නෙත් නෑ.

තව ටික දවසකින් ආරන්චි උනා ගිහාණිට බබෙක් ලැබ්න්න යනව කියල. බැඳල මාස හයක් විතර යනකොට බබා ලැබුන කියලත් ඒ ගැන මිනිස්සු එක එක කතා කියනව කියලත් ආයි ආරන්චි උනා.

මම ඔය අතරෙ ඉබ්බ වගේ මගේ ඉලක්ක කරා එනකොට ඒ ලෙවල් ෆේල් වෙච්චි ගිහානි දරුවත් අරන් මොන්ටිසෝරි යනව පාරෙදි කීප දවසක්ම හම්බ උනත් මගෙ මූණවත් බැළුවෙ නෑ!

ඔහොම ගිහිල්ල මම රටිනුත් ඇවිත් අන්තිමට කාලයක් ගියාට පස්සෙ තමයි මල්ලි ඊයෙ පෙරේද අර sms එක එවල තිබ්බෙ. මම හැරෙන තැපෑලෙන් මිනිහට කෝල් එකක් ගත්තම තමයි කිව්වෙ "ගිහාණි වෙන මිනිහෙක් එක්ක යාළුයි කියල මහේන්ද්‍රගෙ ( ඇගේ සැමියා - අර ට්‍රෙල් බයික් කාරයා ) අතටම අහුවෙලා ඒකිට හොඳටම ගහලලු. කමල ඇන්ටිට ඒක ආරන්චිවෙලා තීන්නෙ ගමේ වෙන කෙනෙක්ගෙන්. ඒ ලැජ්ජාවටලු ඒදා රෑ ළිඳෙ පැනල තීන්නෙ කියල මිනිස්සු කියන්නෙ!

…………………

මට මේ කතාවම මුල සිට අගට යළි සිහිවී මා පොඩී ගෙන් අසන්නට හිතා පසුව නෑසූයෙ මෙයයි. “තාත්ත එදා කිව්ව හරි නේද?”

මා මගෙන්ම අසා ගත්තේ මෙයයි. “මගේ ආදරය බිලිදී අම්මාගේ ජීවිතය බේරාගත්තේ මේකටද?”

ප/ලි,
බහුතර ඉල්ලීම මත ප/ලි ය කපා හරින ලදි!

Tuesday, September 20, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...III


කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...II

පුංචි sms එකක් නිසා හිතට ආපු තිගැස්ම දන්නෙම නැතුව මහ දිග කතාවක් ලියන්න පටන් අරන්.
මෙගා එකක් බලන්න වගේ පිරිස නැතුවට හිතේ තීන අමුතු හැඟීම තුනීවෙන්නකල් හරි ලියනව කියල හිතුව.
මතක තියාගන්න මේක ආදරේ හිතෙන ආදර කතාවක් නෙමෙයි, වෙන මොකක් හරි එකක්..

මුල එපිසෝඩ් දෙක ඔන්න පහල තීනව, බැළුවෙ නැති අයට!

වෙනදටත් වඩා පරක්කුවෙලා අම්මගෙ කටේ සද්දෙට නැගිට්ට ඉස්කෝලෙ යන්න ලෑස්තිඋනේ හරකෙක් මස් මඩු ගෙනියන ගානට. වෙනදට උදේට බස් හෝල්ට් එකේ ගිහාණිගෙ සුන්දර මුහුණ දකින්න යන්න කොයිතරන්නං සැරසිලද එළියට බහින්නෙ. ඒත් අර හිත ගුටිකාපු හින්දද මන්ද ඇඟට කිසි ෆිට් එකක් නෑ.

තාත්ත කියපු කතාව ඇත්ත වෙන්න පුළුවන්ද? කොල්ලො පස්සෙ මට විහිළු කරයිද, මම නිකං මොඩයෙක් වෙයිද වගේ ප්‍රශ්ණ ගොඩක් අස්සෙ ගොළුමඩම හන්දියට ආවද එවුනද මන්ද.

බන්ඩාරයයි හසිතයයි මං එනකල් කෙල්ලොන්ගෙ ගවුංවල හැඩ බලනව.

මුන් දෙන්නට ඉස්කෝල් යන කෙල්ලොන්ට වඩා ඔෆිස් යන උන්නෙ පේන්න බැරි. අනික අක්කල මල්ලිලගෙ විහිළුවලට ඇඹරෙනවත් වැඩිනෙ, ඉති හැමදාම උදෙම්ම ඇවිත් ස්කූල් බස් එක එනකල්ම එක එක කෙල්ලොන්ගෙ බ්‍රෙසියර් වල හක් ගලවන විදියයි, කළිසම ඇඳන් චූ කරන හැටියි, හුළං වදින කියුලට් ගැනයි කියෝ කියෝ ඉන්න එක තමයි වැඩිපුරම කරන්නෙ.

වෙන්දට මුන්ගෙ වැඩ අස්සෙ පැණි පිරිච්ච පෙම් බැලුන් බල බල ගිහාණි පස්සෙන්ම එන මං තනියෙං මොකද කියල උන් අහනකල් මටවත් හිතුනෙ නෑ.

“එතකොට එයත් අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද…..?”

මගේ අවුල් වෙච්ච මූණ ටක්කෙටම බන්ඩ කියෙව්වෙ "ගිහාණිලගෙ අම්මට උඹලව මාට්ටුද" කියල!

“ගිහාණිලගෙ විතරක් නෙමෙයි බං අපේ තාත්තටත් මාට්ටු…..!”

“හුxxx...%#$%^$*&^%(^%(”

හසිතයගෙ සොඳුරු සුන්දර වදන් සෙට් එකට මුංගෙන් කිචිකවා ගන්න අක්කල දෙන්නෙක් මල කනේ ගහං හැරිල බැලුවට ඌට වගේ වගක් නෑ!

උඹ අම්බානෙකට කන්න ඇති එහෙනං. ඒකයි මූ මේ වැනි වැනි ආවෙ. කෝ කට ඇරපන් බලන්න දත් අඩුද කියල..

“කෑ ගහන්නෙ නැතුව හිටපන් හුxx...ගුටි කෑවෙ නෑ..”.

“අනේ පළ යකෝ බොරු නොකිය...උඹලගෙ තාත්තගෙන් මෙහෙම එහෙකට ගුටි නොකන්නනං ඉතින් අංකල්ට කොටියෙක් වෙඩි තියල අම්බානෙකට උන වෙන්න ඔනෙ...”

“නැත්තං උඹ ඊයෙ රෑ ගෙදර නෙමෙයිද හිටියෙ...”

දැං මු දෙන්නගෙ පැණ විසඳුම් මුළු හෝල්ට් එකේම උන් අහගෙන...ඇයි ඉතින් දෙන එක දෙන්නෙත් දොඹෙන්නෙ...ඒ උනාට හදිසියෙවත් මුන්ට රැස්වීමක කතා කරන්න කිව්වොත් චන්ඩි කියන ඒව ඇහෙන්න ඈම්ප් දෙක දෙක දාන්න ඕන..!

“මෙහෙම කියන්න බෑ...වරෙන් අපි ගල්කිස්සට යමන්කො සීන් එක කියන්න...”
කියල කිව්වෙ මේ සෙනඟ ගොඩේ මුන් එක්ක මුළු විස්තරේම කියෝන හරි නැතිවේගෙන යනබව තිරුන හින්දයි. තව හිටියොත් මින් පස්සෙ බස් එකට නගින්න කඳවල පාර ගාවට බඩගාන්න වෙනව ෂුවර්, මොකද අපේ කාඩ් අපිමනෙ ඉතින් මේ පොලේ ගහගන්නෙ කුඩු කරගන්නෙ..!

“හරි යමන්කො එහෙනං...”කිව්වට අපිට ඕන ඕන වෙලාවට් සීටීබී බස් තීනවැයි, අනික තිබ්බත් නවත්තන්නෙ උන්ට ඕන විදියට මිසක් අපිට ඕන විදියට නෙමෙයිනෙ.

“ඒ අන්න සයන්ස් එකේ බස් එක එනව ඒකෙ නැගල ගල්කිස්සට යමන්...”හසිතය පාරෙ එහා පැත්තෙ ලේන් එකේ ආව හිස් බස් එක දැකල කෑ ගැහුව විතරයි වැඩි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, සෙට් එකම ෆුල් ස්ටන්ට් පාරක් දාල දඩ බඩ ගාල එල්ලුනා..

බස් එකට නැග්ගට මොකෝ එක ඉස්කෝලෙ ළමයෙක් නෑ, ඔක්කොම පාට පාට සූට් ගහපු ලොකු අය්යල අක්කල...

ඒ අස්සෙ හිටපු කැහැටු පොරක් එකපාරට උගෙ රැවුල් හිටවන්නගත්ත මූණ පුප්පල කියපි... ”ආ..ආ මල්ලි මේක මෙඩිකල් කොලෙජ් බහින්න බහින්න...” කියල..

“හුටා මේක සයන්ස් නෙමෙයි මෙඩිකල්නෙ බං...”හසිතයට කියවුනෙ ඌ දැන් ඉඳල ඉවරයි අපි මේකෙන් බැස්සුවොත්නං කියල හිතල වෙන්නැති..
එකපාරටම මූ...

“හරි හරි අය්යෙ විද්‍යා විද්‍යාලෙ මොකද වෛද්‍ය විද්‍යාලෙ මොකද අකුරු දෙකේ වෙනසනෙ, ඔන්න ඔහේ දාගෙන යන්න...”

කියල කියපු විදියට මුළු බස් එකේම උන්ට හිනා..

අර අය්ය කාරය උගෙ කැහැටු මූණත් අරන් නිකං සජිකල් ස්ප්‍රීට් වගේ වාෂ්ප උනා.

හොඳ වෙලාවට බස් එක අවුල් නිසා අරුන් දෙන්නත් සද්දෙ වහගෙන හිටිය, මගෙන් මුකුත් ඇහුවෙ නෑ, මාත් අර වමාර කන ගොනා වගේ මුළු සීන් එකම රිවයින් කර කර බල බල ගල්කිස්සටම ගියා.

බස් එකෙන් බැහැපු ගමන් සුපර් මාර්කට් එක එහා පැත්තෙ නවත්තල තිබ්බ එකසිය පණස් හතරකට රිංගුවෙ සීන් එක නිදහසේ දිගාරින්න.

කතාව මුල ඉඳල අගටම අරුංගෙ ප්‍රශ්ණ, ගැටපද ලිහ ලිහ කියල ඉවර උන් ගමන් දෙන්නම දුන්නෙ එකම අවවාදය.

“උඹලගෙ තාත්තට පිස්සු බං. උඹට ඒකි ආදරේ එනං ඒකි උඹට ආදරේ නං වෙන මොනාද බං. අනික මේ කමල ඇන්ටිව උඹ කර උඩ තියන් ඉන්නවද. අනික ඔය පරණ කතා මොන මඟුලට ගනං ගන්නවද, පිස්සුද බං ඕගොල්ලො ඔහොම තමයි, මොන බයිල කිව්වත් අන්තිමට අපි සෙට් කරගන්න ඒවට කවදාවත් කැමතිවෙන්නෙ නෑ..ඕව ඔක්කොම හරියනව බං කාලෙත් එක්ක...අම්මල තාත්තල ඔහොමම තමයි උඹ කියපන් තාත්තටත් නැවැත්තුව කියල, ඒකිටත් එහෙමම කියන්න කියල ඕක සීක්‍රට් එකේ කරන්පලයන් පාර දිගේ පැණි හල හල චාටර් වෙන්නැතුව ...”

වගේ බොහොම සිත දිරිගන්වන, කළ්‍යාන මිත්‍ර උපදෙස් ටිකක් සහ අපේ තාත්තගෙ සහ සියළුම තාත්තලාගේ මොඩ වැඩ ගැන් දොෂාරොපන කිහිපයක් තමයි.

මගේ අතිජාත මිත්‍රයන්ගෙන් ලැබිච්ච වටිනා උපදෙස් නිසා හිතට ලොකු ගැම්මක් එක්ක මාර ගටක් ආවෙ.

“හරි..තාත්තටයි උන්ගෙ අම්මටයි xx ගන්න කියල මං මේක කරනව...”එහෙම කියල අපි සෙට් එක බස් එකෙන් බැස්ස යන්න කිට්ටු පනස් හතර සීටීබී එකකට නගින්න හිතං.

ඔන්න ඔය අස්සෙ එකපාරටම හරෝපු දෙසිය පනස් පහක ඉඳල බැහැල එන සුදු ගවුන් ගොඩක් දැකල අරුන් දෙන්න ස්ලෝ උනා, අර පුරුදු දණිස් අමාරුවටදත් මන්ද.

“ආ… ඉන්දික අය්යෙ...මේ...”

කවුද බොලේ ඇලිස් කියල බලනකොට මෙන්න ගිහාණිගෙ යාළුව සුමුදු මං ඉන්න පැත්තට පෙරළෙනව ඇස් බෝල කරකර. පොළව හොල්ලන් ආව අර තඩි සරීඉරෙ යන්තන් මං ගාව නැවතුනා...


කෝ ගිහාණි...

“එයා එනව...අද එහා හෝල්ට් එකෙන් බහිනව කියල පිටකොටු බස් එකක නැග්ග. ඔයාට මේක දෙන්න කිව්ව...දවල්ට එයා එනකල් ඉන්න එපා කියන්නත් කිව්ව...”

කියල පොඩියට නවපු ලස්සන සුදු කොළයක් අර වංගෙඩි කකුල් වහගත්ත ගවුමෙ සාක්කුවකි ඇදල අරන් දුන්න..

ලියුමෙ තිබ්බ ටික හෙට නිද්දට...බනින්න එපාල. අමෙහෙ ආයි කරදර...රෑ වෙන්න කලින් ගෙවල් වල යන්න ඕන...

ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස!

Wednesday, September 14, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...II




කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...I


තාත්ත හිටගෙන් ඉඳැද්දි මං කොහොමද ඉඳගන්නෙ. හිමීට ඇහුණෙ නැති ගානට ජනේලෙ උඩින් එන මදුරුවෙක් දිහා බලාගෙන ඔහේ උන්න.

පුටුවෙ කුෂන් තදවෙන සද්දෙන් තේරුනා තාත්ත ඉඳගන්න බව. මම තාම මදුරුවගෙ ගමන් මාර්ගය නිරීක්ෂනයෙ.

"ඇයි……." මාව ආයි ගැස්සුනා.. …“ගිහින් පොත්වල වැඩක් කරගන්නව”

බලනකොට මට නෙමෙයි ඒ නංගිට. “හොඳ වැඩේ, එනව මෙතන කෝප්ප හෝදන්න”...හිතුවට මම තාම කතා නෑ.

ලොකුපුතේ... මේව ගමට ඇහෙන්න කෑ ගහල කතා කරන්න පුළුවන් ඒව නෙමෙයි. ඒ හින්ද ඔහොම ඉඳ ගනින්... ඒ මාව දැපනෙ වැටනෙ අම්මගෙ වචන...

තාත්ත ඉස්සරහ තනි ලොකු පුටුවෙ මම ඉඳ ගත්තෙ අම්ම දිහා බලං...

"මොකද්ද ලොකු පුතේ මේ මිනිස්සු මේ කියන්නෙ? ඇයිඅපිට මේ වගේ කතා අහන්න දෙන්නෙ..ඔයා කොයිතරං තේරෙන ළමයෙද" අම්මගෙ හැම දාම මගෝඩියක් කලාට පස්සෙ කියවන රෙකෝර්ඩ් එක පටන් ගත්ත...

“ඔයා පොඩ්ඩක් කටපියා ගන්න" ටිකක් තදින් කිව්වට මොකද තාත්තගෙ හඬ අමුතුයි.

“ලොකුපුතේ….." කවදාවත් තාත්ත මට කතා නොකරපු අමුතුම ටෝන් එකක්..තවදුරටත් අහක බලන් ඉන්න හයියක් තිබ්බෙ නෑ, ඒත් කෙළින්ම මුණ බලන්න බැරි කමට තාත්තගෙ පළල් උරිස්ස ලඟින් පේන කණප්පුවෙ කැටයං දිගේ හිමීට උඩට බලං ආවෙ රකුසු මූණ දකින්න හිතං.

කවදාවත් නොදැකපු මහා පරාජයක්ද නැත්තං පහුගිය අවුරුද්දෙ අපි ඔක්කොම මරණව කියල තුණ්ඩුව ආව දවසෙවත් නොතිබ්බ බයක්ද මන්ද ඒ මූණෙ තිබ්බෙ!
කොහොම උණත් තාත්ත එහෙම ඉන්නව දැක්කම මට භයකට වැඩිය දරුණු මහ අමුතුම හැඟිමක් ඇති උනා.

“පුතේ...දන්නවනෙ කමල ඇන්ටි මොනාද කියල යන්න ඇත්තෙ කියල? මට ඔය වයසෙදි තේරුණාට වඩා ගොඩක් දේවල් අද ඔයාට තේරෙනව. මායි අම්මයි කසාද බැන්දෙ අපි දෙන්නගෙ තනි කැමැත්තට නිසාඅපි වින්ද හැම දුකක්ම සතුටක් විදියට භාර අරන් අද ඕගොල්ලොත් එක්ක සතුටින් ඉන්නව. අපි වින්ද දුක අපේ දරුවොන්ට දෙන්නෙ නෑ කියල හිතා ගත්තෙ උඹල උපදින්නත් ගොඩක් කලින්. ඒත් හිතාගන්න බැරි තරං ලොකු පවක් කරල හින්ද වෙන්න ඇති උඹ අද අපිට කැමතිවෙන්න බැරි කෙනෙක් එක්ක සම්භන්ධයක් පටන් අරන්. අම්ම මොනා කිව්වත් මම උඹ කරපු දේට විරුද්ධ වෙන්නෙ නෑ. ඒ උනාට මෙන්න මේක මතක තියා ගනින්. අද මගෙ දරුවො හැටියට උඹලට ලැජ්ජාවක් නැතිව ආච්චි කවුද සීය කවුද කියල මගේ ගමට ගිහින් හරි අම්මගෙ ගමට ගිහින් හරි බලන්න කතා බහ කරන්න පුළුවන්. අපේ නෑයො අහවල්ලු කියල ඕන කෙනෙක්ට කියන්න පුළුවන්.
අම්මයි මායි ගැන කිසි කෙනෙක් කිසි කතාවක් කියන්නෙ නෑ. මම අවුරුද්දට මාස තුනයි ගෙදර ඉන්නෙ කියල උඹලගෙ අම්මට කිසි කෙනෙක් නරක යෝජනා ගේන්නෙ නෑ. ඒ අපි ඉන්න විදිය ගැන හැමෝම දන්න නිසා. හෙට උඹ ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනාවොත් උඹේ යාළුවො ඒ ගෑණිගෙ අම්මට සැක නැතුව අඳුන්නල දුන්නෑකිද? උඹෙ මණමාලිව පෝරුවට නග්ගන්නෙ කමලගෙ මිනිහද නැත්තං අර පිටිපස්සෙ කාමරේ ඉන්න උඹෙ ඔය කෙල්ලට වියදං කරල උගන්නන දෙවනි මිනිහද? කවදහරි දවසක ඒ කවුද කියල උඹේ දරුවෙක් ඇහුවොත් මොකද්ද පුතේ දෙන උත්තරේ…?”

මගේ ඔළුව කැරකෙන්ට පටන් අරන්ද මන්ද! තාත්තට පේන මේ දේවල් නෙමෙයි මට පෙණුනේ ගිහාණිගේ සුන්දර මුහුණ විතරමයි. මම බඳින්නේ ගිහාණිව විතරක්ම විතරක් නෙමෙයි කියල දැන්ද එතකොට මට තේරෙන්නෙ....

“ලොකුපුතේ...උඹ ඕන කුලේක ඕන දිහාවකින් කැමති කෙනෙක් හොයල යාළුවෙයන්...”

මෙය තාත්තා කෙනෙකුගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන් වචනයක්ද? අපේ තාත්තා කලාතුරකින් හම්බවෙන අමුතුම මිනිහෙක් කියල අම්ම කියන්නෙ මේ හින්දද?

“හැබැයි උඹ් බඳින කෙල්ලගෙ වගේ පවුලෙ උන්ගෙත් චරිතෙ හොඳ නැත්තං උඹට හැමදාම වෙන්නෙ සැකෙන් බයෙන් ජීවත් වෙන්න. ලෝකෙන් වහං වෙලා හැංගිල ඉන්න. මිනිස්සු ඉස්සරහ මෝඩයෙක් විහිළු කාරයෙක් වෙන්න. ඉස්සෙල්ල මං කියපු දේවල් ගැනයි, උඹෙ ගෑණු ළමයගෙ අම්ම ගැනයි තාත්ත ගැනයි අර ජයසේන ගොය්ය ගැනයි මිනිස්සු කියන්නෙ මොනවද කියල හොඳට හොයල, ඒ අය ගැන කවුරුත් හොඳක් කියනවද බලන්න. ඉන් පස්සෙ ඔයාගෙ ගෑණු ළමයගෙන් අහන්න කවුද ජයසේන කියන්නෙ කියල? ඔය දෙකට හිත සතුටුවෙන් උත්තරයක් ඔයාටම හොයා ගන්න පුළුවන් උනොත් මං ඊළඟ නිවාඩුවට ආවම මට කියන්න. මේ මුළු ලෝකෙම උන් අකමැති උනත් මං ඔය දෙන්නට එදාට ආශිර්වාද කරනව. එහෙම සතුටු වෙන්න පුළුවන් උත්තරයක් ලැබුනෙ නැත්තං, ඔයා මං එක්ක මේ ගැන ආයි කතා කරේ නැත්තං මම හිතනව ඔයාට කරුණු කාරණා තේරිල මේ ගැන හරි තීරණයක් ගන්න ඇතියි කියල. එකක් මතක තියා ගන්න. ආයි ඔයා මේ ගැන මා එක්ක කතා කරනකල් අදින් පස්සෙ ආයි මේ ගෙදර කවුරුත් කතා කරන එකකුත් නෑ… ඔයා මම කියපු විදියට පිටින් ගියොත් ඉන් පස්සෙ කවුරුත් ඔයා එක්ක කතා කරන එකකුත් නෑ...එච්චරයි!”

දහයෙ වසරෙ අග හිටිය මට බොහොම වැඩිද මන්ද ඒ කියපුව! ඒත් මහා බරක් පිරිච්ච හඬකින් තාත්ත කියපුව මගෙ බොක්කටම වැදුන කියල තේරුනේ ඒදා රෑ මට නින්ද නොගිය හින්දමද නැත්තං රෑට කන්නවත්, අඩු ගානෙ රේඩියෝ එකේ කතාවක් සින්දුවක් අහන්නවත් හිතුනෙ නැති හින්දමද මන්ද!

ඒ දවටම අම්ම, නංගි පොඩී, චූටි, කවුරුත් කතා කරේ නෑ. හරියට මල ගෙයක් වගේ. මට කිසි කෙනෙකුට ට මූණ දෙන්න බැරි මහ ලැජ්ජාවක් උන් ගානයි. මටම හිතා ගන්න බැරි උනා මම මොනා කරන්ද කියල. කිසි දවසක බණ නොකියන තාත්තගෙන් පළවෙනි පාරම අරහෙම කතාවක් ඇහුවම දරා ගන්න පුළුවන් කාටද! මොලේ විකාර වෙලා මූණවත් හෝදන්නෙ නැතුව ඇඳ උඩ උඩ බලං හිටපු මට අන්තිමට නොකාම නින්ද ගිහින්.

ප/ලි.

අද සිංහබාහු ඉස් ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය දවස. විශේෂය ඉස්කෝලෙ යාමටත් වඩා ඒක මම මීට අවුරුදු ගාණකට කලින් අනූ එකේදි දැකපු හීනයක්, හදා ගත්ත ටාර්ගට් එකක් ඇචීව් කිරීමක් නිසා. ඒ ගැන විස්තර හෙට පත්තරේ.

කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...III

Saturday, September 10, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...


ලොකු අය්යෙ කමල ඇන්ටි ළිඳේ පැනල මැරිල!

උදේ පාන්දර පොඩී ඒවපු එස් එම් එස් එක කියවල එතනම ඉන්දවුනෙ, ඒ පණිවිඩෙන් මං මේ තරන් ෂොක් උනේ අවුරුදු විස්සක් ගිහිල්ලත් තාම ඒ මතකය හිතේ හිරවෙලා තිබ්බ හින්දද නැත්තං හිතවත් කෙනෙක් නැති උන දුකටම විතරක්ද.


….............

අපි ඕ ලෙවල් පන්තියෙත් නෑ එතකොට.

කමල ඇන්ටිගෙ ලොකු දුව එක පාරට හත්තක් වගේ පිපිල ආවෙ ගමේ කොල්ලො කාටවත් හිතාගන්න බැරි විදියට.

මුළු පලාතෙම අපේ වයසෙ කොල්ලො එකපාරට මේ අලුත් කෑල්ලට ට්‍රයි කරේ හරියට වෙන කෙල්ලො දැකල නෑ වගේ! ඒත් අල්ලපු වැටේ හිටපු මම ගේමට බැහැල හිටියෙ ඊට හුඟක් කලින්!

……….

ඒ ලොකු අය්යෙ මේ මෙහෙ එනව පොඩ්ඩක්......අපේ බාලය නොහොත් නමට නංගිගෙන් කැඳවුමක්..

ඇය් මොකෝ...මම මේ පොතක් බලනව පේන්නැද්ද.. කිව්වෙ කම්මැලි කමට වඩා ලොකු කමට වගේ...

ආ එහෙනං ඔතනම ඉඳං අහගන්නවකො...

කියනව ඉතින්...

මේ මට අර ගිහානි අක්කලගෙ පන්තිය ගාවින් යන්න බෑ හලෝ....

ඇයි මොක්ද උන් එතන චූ කරලද?

ඉකේ මෙයා කියන ඒව..ඒ කොල්ල ංගෙ ඉස්කෝල වල වෙන්නැති...අපි එහෙම කරන්නෑ මෝඩයො...

එහෙනං ඉතිං.

ඒ ගොල්ලො මාව පන්තියට ඇදන් ගිහින් ඔයා ගැන විසතර අහනව, එක එක ඒව කියවනව.

මොනාද බං ඒ වට්ටි අම්මලට මං ගැන කියවන්න තීන්නෙ?

ඔරොප්පුවට වගේ ඇහුවට මාර සතුටුයි හිත යටින්. ඇයි යකඩො කෙල්ලො ගොඩක් මා ගැන හොයනව කියන්නෙ!

තමුසෙ ගිහානි අක්ක එක්ක යාළුයිද?

හපෝ මේකිගෙ කට….……පොත දාල අඩි දෙකට ලඟට පැන්න බෝම්බෙ නිෂ්ක්‍රිය කරන්න හිතන්...

ඒයි හිමීට බූරුවො අම්මට ඇහුනොත් ඉඳල ඉවරයි...

හරි හලෝ..අම්ම ළිඳ ලඟ, ඇහෙන්නෙ නෑ. ඇත්ත කියනවකො ඉතින්...

තාම නෑ හලෝ මං තාම ට්‍රයි...මේකිව විස්වාස කරන්න බැරි බව මං දන්නෙ අද ඊයෙකයැ!

එහෙනං අර අක්කල කියන්නෙ..

ඒ උන් කිව්වට තාම ගිහානි මට කියල නෑනෙ...

හරි එහෙනං මං ඒ ගොල්ලන්ට කියන්නංකො අය්ය තාම එහෙම දෙයක් දන්නෙ නෑ කියල…..
මල කෙළියක් වෙයි වගේ...යන තැනකට යන්න රත්තරං කියල මං සද්ද නැතුව හිටිය.

ඔන්න දැන් සුන්දර පෙම් කතාව නොහොත් මගේ පළමු පෙම ( අපේ පළමු පෙම ) බස් පස්සෙ, පිට්ටනිය පාරෙ ගලාගෙන යනව.

මගේ අතිජාත මිත්‍රයො මිදි කඩා ගන්න බැරුවට ගහපු මඩ, දීපු ලණු වලින් අඩුවක් නෑ.

ඒයි මුගෙ බඩුවට මූට වඩා රැවුල තීනවනෙ බං...

ඒකි ඇවිදිනකොට නිකං ගමටම ගහන්න වගේනෙ එන්නෙ...

උඹට වඩා ඒකි උසද බං?

මොනාද යකෝ බාල අපරාධ කරන්නෙ, තාම ඒකි අටේ පන්තියෙ නේද?

මේ දැන් උඹල බඳිනකොට ඒකිව පෝරුවට නග්ගන්නෙ සුමනෙ අංකල්ද ජයසේන ගොය්යද?

මේ කියන්නෙ ඒ කෙල්ලටම ලියුන් දෙන්න ඉල්ලගත්ත මෝට බයිසිකල් වල පස්සෙන් ගිය උන්, බස් හෝල්ට් එකේ තැපපු අය්යල, තව ගිහානිගෙ යාළුවො යාළුවෙලා උන්න උංගෙ යාළුවො එහෙම. දැං මුන්ට පරණ ට්‍රයි අමතකයි, හදන්නෙ මට කෙළවන්න!

මොන බාධක ආවත් බයෙන් බයෙන් වගේ අතින් අල්ලං බස් එකේ කොනේ මුකුළු කර කර ගිය ප්‍රථම ප්‍රේමය නැගල යනව.

දවසක් මං නුගේගොඩ පන්ති ගිහින් හයට විතර ගෙදර එනකොට උඩ ගෙදර නිරෝෂනය එක්ක පොඩී ඉන්නව බෝ ගහ ගාව මං එනකල්.

ලොකු අය්යෙ තමුසෙ දැම්ම යන්න එපා...

ඇයි.???

තාත්තත් ගෙදර ඇවිත් ..

ඉතිං...මට මොකද...මොනා හරි කන්නත් ගෙනත් ඇතිනෙ හලෝ...

කන්න හම්බවෙයි...අන්න කමල ඇන්ටියි සුමණෙ අංකලුයි හවස ඇවිත් සීන් එක ඔක්කොම කියල...තාත්ත ඉන්නෙ තමුසෙ එනකල්...

කකුල් පණ නැතුව යනව තෙරුනෙත් නෑ, මව එහෙමම තාප්පෙට හේත්තු උනා..

හමුදා නිළධාරියෙක් වෙච්චි තාත්තගෙ සිනිදු සංග්‍රහය කාලෙකින් නොලැබුනාට කොහොම අමතක වෙන්නද.....

දවල්ට හරිකට කාලවත් උන්නං ගුටි කන්න ෆිට් එකක් තියෙන්න තිබ්බ...ඒකත් නෑ, කන්නෙ කොහෙද ඉස්කෝලෙන් පන්තිනෙ කෙලින්ම...

අද පුතෝ උඹ ඉවරයි... කමල ඇන්ටි පැය ගානක් අඬ අඬ විස්තරේ කියල තීන්නෙ..

නිරෝෂනයත් නිකන් හිටිය වගේ කියන්නෙ...මුං යකෝ මේ ඇවිලෙන එන්ජිමටමනෙ අඟුරු දාන්නෙ...පර බල්ලො....

ඒක අතකට කමක් නෑ...මිනිස්සු ආදරේ වෙනුවෙන් ජීවිතය පූජ කරල තීන්නෙ...වෙන මඟුලක් වෙන්නැතෑ..

කමක් නෑ පොඩී එනවකො යන්න...ගැහුවොත් අද විතර නෙ...

පොඩිත් පස්සෙන් වැටුනට මාත් ඌත් බයෙන් බයෙන් වගේ ගේ ලඟටම ආව.

සද්දයක් නෑ, එළියෙ ලයිටුත් දාල. හිමීට ගෙට වැදිනකොටම කාමරෙන් එළියට එන නංගි මාව දැක ආයි ඇතුලට වැදුනෙ ගුලට වැදුන තලගොයා වගේ!

එයා එක්කම මැසේජ් එකත් ඇතුලට ගිහින්ද කොහෙද මම කාමරේ පහු කරනකොටම...

ලොකුපුතේ මෙහෙ එනව...

තාත්තගෙ අර ගොර්හැඩි සද්දෙ..
දැං මුලින් කොයි කණට වැදෙයිද ෂුවර් නැතුව හැරුනට මොකද තාත්තගෙ මූණ හිතුව තරම්මනරක නෑ වගේ...

මෙහෙං ඉඳගන්නව........

පන්තියෙ එකෙක්ගෙ පැනසලක් හොරෙන් ගෙනත් උන්ගෙ අම්ම ඇවිත් කොම්ප්ලේන් කරාම කෙහෙල් ගහක බැඳල ගහපු, හොරෙන් තැඹිලි කඩල ඒ ගෙදර ඇන්ටි ඇවිත් කිව්වම අත පැලෙනකල් වේවැලෙන් ගහපු ඒ තාත්තමද මේ! ඉඳගන්නව කියන්නෙ, මං හිතුවෙ දැම්මම දොට්ට දායි කියල...


…………………..
දැන් ගෙදර යන්න තීනව...හාමිනේයි පොඩි උන් දෙන්නයි එනකල් බලන් ඉන්නව...ඉතුරු ටික හෙට අනිද්දට......

----------------------------------------------------

කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...II

Sunday, July 31, 2011

සිංහ බාහුගේ සිංහ ටෝක්!




අපේ ලොකු බාහුගෙ කතා වලින් මෙගා එකක් ලියන්න ඇහැක් වෙයි වගේ යන විදියට.

ඒත් ඉතින් නිකන් මොකටද හාමිනේගෙන් ලෙඩක් දා ගන්නෙ! මේව තැන් තැන් වල කියල ළමයටයි හොඳ නැත්තෙ කියල කිව්වොත්. ඒ හින්ද අද මේ කතා දෙකට පස්සෙ කාලයක් ලියන්න හිතන් ඉන්න ලිපි සේරීස් එක පටන් ගන්න බලනව.

ලොකු බාහු ගෙ මහලොකු කතා 1.

සාමාන්‍යෙන් අපේ සිකුරාද වේල කඩෙන්.

මොකද නෝන ඕෆ්! මම වැඩ ( සුද්ද කරන අස් කරන තණකොළ කපන, මල් ගස් වලට සාත්තු කරණ, වැසිකිළි හෝදන වගේ බර වැඩ )

පහුගිය සිකුරාදාවක ඔහොම මායි අපේ ලොකු බාහුයි දෙන්න රෙස්ටුරන් කඩේකට ගිහින් කන්න යමක් උස්සන් ආව පුරුදු විදියටම.

වෙනදට ගෙනා ගමං කනව උනත් එදා පුත්‍රය නාල නොහිටි නිසා අම්ම කිව්ව මෙයාව නාවලම ඉමු කියල. ඉතින් අරූට මල! කෑම කන්නමයි පොරේ. ටිකක් වෙලාවත් පැනල.

ඇත්තටම මාත් මිනිහගෙ පැත්තෙ තමයි. ඒත් සද්ද නැතුව උන්න (බඩට මිස කණට කන්නෙ මොකැයි කියල)

කොහොමහරි වදෙන් පොරෙන් නාවල ගත්ත බාහු ක්‍රීම උලල භාරදුන්න මට අන්දවන්න.

මූ බඩ ගින්නට එක එක විකාර කරනව, කලිසම කකුලට දාන්නම දෙන්නෙ නෑ. මටත් බඩගින්නෙ. හොඳම එකෙන් තද උන පාර අල්ල ගත්ත පොඩි අත් දෙකෙන්.

මම - ඉක්මනට මේක ඇඳගන්නවද නැත්ද?

බාහු; හිකිහිකි ... (කෑම කොහොමත් ඉල්ලපු වෙලාවට නොදීපු එකේ තව ටිකක් පරක්කු කරන්න කියල හිතල වගේ )

හිනා වෙලත් බෑ නොවිත් බෑ... ඒ විකාර මූණ නොබලම ස්ද්දෙ ටිකක දාල....

මම; දැන් ඉක්මනට මේක ඇඳගෙන කන්න ආවෙ නැත්තන් අද කෑම නෑ….මගෙන් මුලු දවසෙම ගුටි තමයි කකා ඉන්න වෙන්නෙ!

බාහු; එහෙනං ඉතින් තාත්තටත් කන්න වෙන්නෙ නෑනෙ!


මේ මොකාටද මූ එන්න හදන්නෙ. ඒ වෙලාවෙ ඇත්තටම තද උනා. ඇයි යකෝ අර කෑම එක සුවඳ ගගහ ඉන්දැද්දි මං කන එක මොකා නවත්තන්නද?

මම; ඒ මොකද ඒ. හුහ් ..

බාහු; ඇයි ඉතින් තාත්තට කන්න වෙන්නෙත් නෑනෙ..දවසෙම බබාට ගුටි කව කව ඉන්නකොට...

#@#%^%$*%^$&^%)&*(^)*&)(*&)(&*)



මහ ලොකු කතා 2.


මම දවල් කෑමට ගෙදර ගිය වෙලාවෙ මිනිහ දුවගෙන ඇවිත් දොර අරිනව අතේ පුංචි ජීප් පැට්ටෙකුත් තියාන.

ගෙට ගොඩවෙලා ඉඳගන්නත් කලින්

බාහු; තාත්තෙ, මොකද්ද තාත්තෙ මේ මේකෙ යට ලියල තීන්නෙ


මම; ඒ පුතේ හමර් H2 කියලනෙ.

බාහු; නෑ නෑ, මේ චූටියට මෙතන තීන්නෙ.

මම; ඒ ටීම් ජී එම් කියල..

බාහු; ඒක බබා දන්නව...මොකද්ද ටීඑම් ජීඑම් කියන්නෙ කියල අහන්නෙ?

මම: ටී එම් කියන්නෙ පුතේ ට්‍රේඩ් මාර්ක්...ජී එම් කියන්නෙ ජෙනෙරල් මෝටර්ස්..

මේ සමර් එකෙන් පස්සෙ අලුත් අවුරුද්දට හාදය ඉස්කෝලෙ යන්න පටන් ගන්න නිසා ඒ වැඩේට උනන්දුව වැඩි වෙන්නත් එක්ක කියල හිතල

"ඒකනෙ තාත්ත කියන්නෙ හැම තිස්සෙම බබාට ඉක්මනට ලොකුවෙලා ඉස්කෝලෙ යන්න කියල, ඉස්කෝලෙ ගියාම ඕව ඔක්කොම දැන ගන්න පුලුවං"

කියල මං තව සීනි ටිකක් අතිනුත් දැම්ම..

මගේ කතාව අහගෙනම පොඩි එකා දිව්ව කුස්සියට...ගිහින් මෙන්න මූ අම්මගෙන් අහනව..

"අම්මෙ අම්ම ඉස්කෝලෙ ගියෙ නැද්ද?"

අම්මත් ආදරෙන්..( මං කියපු කතාව උන්දැට ඇහෙන්න නැතුව වෙන්ටැ )

"ගියා මගෙ පුතේ..." කියල නලවලම කිව්ව..

එතකොට බාහු.."එහෙනං ඇයි අම්ම මේඑකෙ ටී එම් ජී එම් කියන එක දන්නෙ නැත්තෙ?"

කාල වරෙංකො...

(මේක කලින් අම්මගෙන් අහල දන්නෙ නැතුවට අම්මයි තාත්ත එනකල් ඉන්න කියල තීන්නෙ!)

අම්මව බේරගන්න පරම පවිත්‍ර සිතින් (එහෙමම විතරයි ඇත්තටම අප්ප ) මං ටක් ගාල මැදට පැනල කොල්ලට කිව්ව

"අම්ම ඉතින් තාත්ත තරම්ම ඉස්කෝලෙ ගිහින් නෑනෙ පුතේ"

$#@^$#@&^%$&^%&%^$&^%&)(*)_(+_+_((&^&$@#$@#$!@$

එදා දවල්ට කාල ගියෙ මොනාද කියල කැමති විදියට හිතා ගන්න!

Wednesday, July 27, 2011

ඕවත් වැඩද...මල්ලි ඕවත් වැඩද?



ඊයකින් ආපු කතාවක්. පරිවර්ථනය කරොත් රස මැරෙනව. ඒ නිසා එහෙමම දැම්ම!


"When a lady is pregnant, all her friends touch the stomach and saying "Congrats".
But, none of them come and touch the man's ..... and say "Good job".
Moral of the story:
"Hard work is never appreciated”

Saturday, July 23, 2011

පුතා තාත්තාට පැම්පර් ඇන්දවූ හැටි!



පොඩි උං ලොකු කතා කියන්න දස්සයිනෙ. සමහරවිට පොඩි ඈයො කියන කතා වලට ලොකු අපිට කට උත්තර නැතිව යනව. මේත් ඒ වගේ අපේ පොඩි බාහු මාව අන්තිම අමාරුවෙ දාපු අවස්ථාවක්.

මාසෙකට විතර ඉස්සෙල්ල දවසක් ලොකු බාහුයි මමයි කබඩ් එකක් අස් කරනකොට මෙන්න අම්මගෙ අර සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් බිම වැටුන!

බාහු; මේ මොකද්ද තාත්තෙ මේ? ( මිනිහට සාමන්‍යෙන් ඕන්නැති මඟුලක් නැහැනෙ )

මම; ඒ පුතේ මේ...

ඔන්න එතකොටම කොහෙද ඉඳල එතන්ට පොඩි එකාගෙ අම්ම කඩන් පාත් උනා.

හාමිනේ; මේ පුතේ අම්මගෙ ටිෂූ ජාතියක්….

ඒක අහල ලොකු බාහුට හෙන සතුටුයි..

බාහු; ආඃ එහෙනං මටත් ඒව ඕන...බබත් ඒවගෙන් තමයි එහෙනං පිහ දාන්නෙ...

වැඩේ පිට පොට යනබව තේරුණ නිසා මම මැදට පැන්න...

මම; නෑ නෑ පුතා ඒ ටිෂූ කිව්වට ටිෂූම නෙමෙයි, ඒව අම්මලගෙ පැම්පර්...

පොඩි උන්ට බොරු කියලදෙන්න බෑනෙ! මෙන්න එතකොට හාමිනේ මට රවාගෙන කාමරෙන් එළියට යනව...එක අතකට ඒක කොහොමත් ලොකු උදව්වක්නෙ.

අම්ම ගියාට පුතාගෙ ප්‍රශ්ණ ඉවර නෑ..

බාහු: ඇයි අම්මල පැම්පර් අඳින්නෙ?

දීපංකො උත්තර..!

මම: ඇයි පුතේ ඉතින් මල්ලිට කුක්කු දෙනකොට එහෙම අම්මට ටොයිලට් යන්න බෑනෙ, ඉතින් ඒ වගේ වෙලාවට තමයි ඕව අඳින්නෙ.

මං හිතුව මට ගණදෙවි ණුවන ආව කියල, මොන...

බාහු; ඉතිං ඇයි අම්මගෙ පැම්පර් පොඩි? අම්ම ලොකුයිනෙ බබාටත් වැඩිය? ( මේ ගල් ඇම්ඩ කතාව අස්සෙ අර පැකට් එක කඩල ...මේක දැක්කොත් මට අද පූසොත් එක්ක කාර් පාක් එකේ තමයි නිදියන්න වෙන්නෙ..)

මම; එහෙම තමයි පුතේ, අම්මල වගේ ඔක්කොම ගෑණු අය අඳින පැම්පර් පොඩියි...

බාහු: කවුද ගෑණු අය කියන්නෙ?

මිනිහගෙ ප්‍රශ්ණ ඇහිලි ඔහොමමනෙ, එකක් ඉවර වෙනකොට තව එකක්...

මම: ගෑණු කියන්නෙ පුතේ අම්මල, නැන්දිල, පුංචිල, අර චරිනිඅක්කල, ෂයිමි නංගිල වගේ අය තමයි ගෑණු කියන්නෙ...

වැඩේ යන පොට හරි නැති හින්දහ කොහෙද කුස්සියෙ ඉඳන් හාමිනේ කෑ ගහනව..

"පුතා මේ මේ එන්න මෙන්න පූසෙක් මිදුලෙ කක්ක දානවද කොහෙද"...මිනිහට පූසො වත්තෙ කැත කරනවට වඩා තදවෙන වැඩක් නෑ...ඉතින් දිව්ව කඩාගෙන බිඳගෙන කුස්සිය පැත්තට...

යන්තං ගැලවුනා කියල හිතල කරපු වැඩෙත් ඉවර කරල වෙන වැඩකට පැන්න...පස්සෙ ඉතින් එළියට පැනපු එකා ආවම අර කතා මතක නෑ...වැඩේ ගොඩ..

ඔන්න ඊයෙ අපේ මෙහෙ හිතවතෙක් එයාගෙ නෝනයි පොඩි දුවයි එක්ක ආව පොඩි බාහු හෙවත් අපේ අළුත් සාමජිකය බලන්න කියල.

කට්ටිය ඇවිත් බබාවත් විනාඩියක් දෙකක් බලල අර කෑල්ල මගේ මේ කෑල්ල නෝනගෙ අරව මේව කියල පොඩි එකාට දන්න අපහාස සේරමත් කරල එහෙම සෙට් උනා කුණු අතුල්ලන්න.

මාත් ඉතින් හිතවතා එක්ක හීනියට අඩියක් පොලේ ගහනව, ගෑණු දෙන්න හෝදනව, පොඩි උන් දෙන්න එළියෙ නැටිල්ල දාඩිය දාගෙන.

ඔහොම ගිහින් රෑ කෑමට සෙට්වෙන්න කියල අර මිතුරගෙ නෝන මහත්තය පොඩි කෙළීව එක්ක ගියා බාතෲම් එකට පොඩ්ඩක් හෝදං එන්න. අපේ ලොකු බාහුත් ඉතින් යාළුව පස්සෙම එතන්ටත් ගිහින් දොරකඩ ඉඳන් බලං ඉන්නව නංගිගෙ ඇඳුන් අයින් කරල නාවර හෝදන හැටියි, පස්සෙ කාමරේකට එක්ක ගිහින් පිහදල කරල වෙන ඇඳුම අන්දන හැටි එහෙම.

පොඩි නංගිගෙ කෝස් එක යන අතරෙම හාමිනෙත් බාහුවව වදෙන් පොරෙන් ඇදගෙන ගිහින හැව ඇරල ගත්ත කෑම මේසෙට. දැන් කට්ටිය කනව හීනියට, පොඩි බයිල රහ ගුණ වර්ණනා කර කර.

ඔය අස්සෙ අපේ ලොකු බාහු..

"තාත්තෙ ඇයි තාත්තෙ මේ නංගිටත් බබාගෙ ජාතියෙ පැම්පර් ඇන්දුවෙ"?

මූ මොකාටද එන්න හදන්නෙ..මගෙ කං රත් උනා..

“ඇයි පුතා පොඩි අය ඔක්කොම අඳින්නෙ එක විදියෙ පැම්පර් තමයිනෙ" ඒ අර මිතුරගෙ කටකාර නෝන. එයාටත් කට පියං ඉන්න බැරි හැටි...තාත්තගෙන්නෙ ඇහුවෙ අනික.

"එහෙනං එදා තාත්ත කිව්වෙ ගෑණු අය අඳින්නෙ අම්මගෙ වගේ පොඩි පැම්පර් කියල..මේ නංගි ගෑණු නෙමෙයිද එතකොට...?”

මේ වයස අවුරුදු හතරෙදි! තව ටික කලක් යනකොට කොහොමට හිටීද? මං වගේ අහිංසක පාටක් ගෑවිලාවත් නෑනෙ යකෝ බලනකොට...ඔන්න මට හිතුන ඒව..

Monday, July 11, 2011

ගෑණුන්ට බැන්නාට ගෑණිගෙන් තෑග්ගක්..!



දිනය..ජූනි විසි එකවන දින පාන්දර තුනට ආසන්නය..

තඩි ලේලන්ඩ් බස් නලාවක සද්ද සමඟ කුචිම කුචි කිහිල්ල හිල්වෙන්නට ඇණුනු පාරකින් මා උඩ නොගොස්ම බිමට වැටිනි.

“...මේ..මෙහෙ එනව....නැඟිටල එනව ...”

ලයිට් එලියට තවම ඇස් නිලංකාර වී ඇතත් නියොගය පිළි පැදිය යුතුමය.. ඒ නිසා ඔහේ අත ගා ගෙන හෝ යන්නට ( බිත්ති හොඳේ ) පස්සෙං වැටුනෙමි (ඇවිදං ).

“පේනවද?...බලනව මේ ලියල තීන ඒව..!”

ඇස් පෙනෙනට පටං අරන් තුබූ නිසා ගමණාන්තය වූයේ මේ ජාමේ මැද හීනෙනුත් නොසිතූ කම්පීතර රාජයා අභිමුඛව බව වැටහුනි. ඒත් කියන අණ්ඩර දෙමළනම් තාම තේරෙන්නේ නැති තරම්ය.....!

"හොඳට බලනව ඔය කබ කඩල...මොනාද අනේ මේ කියල තීන කතා..."

ඇස් පිසදමා බැලූ විට දේවයන් සිහිවුනි...දැන්නම් චාන්ස් එකක් ඇත්තේම නැති ගානය. වැඩේ කර මුලටම හිරවී ඇති නිසා කියන්නට කටට උත්තර එන්නේත් නැත.

“මට තව තප්පරයක්වත් මෙතන ඉන්න බෑ.. මාව දැම්මම එක්ක යනව..මේව බල බල මෙහෙම කටපියන් (මාර කට පියා ගැනීම ) හිටියොත් මට මොනවයින් මොනා වෙලා නවතීද දන්නෙ නෑ.. ඒ නිසා මාව වහාම ගිහින් දාන්න.."

ඉල්ලීම් නැති අණ කිරීමකි. එහි මටද ඉල්ලීම් වලට ඉඩක් නැතිබව දන්නා නිසා කට පියාගෙන ටොයිලට් එක පැත්තට ඇදුනේ කට රැකගන්නට දත් ටිකවත් මැදගෙන එන්නය.

“කෝ...මොකද ඔතන පැළ වෙලාද...ඉක්මනට එනව මෙහෙට.."

ආෆ්ටර් ෂොක් නම් එමටය..!

දත කෙසේ වෙතත කට නම් යන්තං මැද කාමරයට වැදී බිත්තියේ හේත්තු කර තිබූ ඩෙනිමට පැන්නෙමි. යන්තම් කොන්ඩයට පනාව පෙන්නා ටී ෂර්ටයත් සපත්තුත් දා විනාඩියෙන් එලියට පැන්නද කෙඳිරිය නම් අඩුවක් නැත..

“හා හා යං මෙතන හරියට එහෙ ගෑණු ඉන්නව වගේ මෙයාව ඉඹල පිළිගන්න"

මේව වචන නෙමි උල් කටු...මොනා කරන්නද..වරද මගෙනෙ...ඒ නිසා කටපියාගෙන මගේ දඬු පෝඩයේ දොර ඇයට ඇර දුන්නෙමි.

ගෙදර සිට මහ මගට යන පාරේ පළවෙනි හම්ප් එක පසුකලා පමණි..

“මොකද මේකෙ තව පොඩ්ඩක් හෙමින් යන්න බැරිද ඒ වගේ තැන් වල..”

උත්තරය යුත්තේ ඊළඟ හම්ප් එකේදි වැඩ පෙන්වීම බව අත්දැකීමෙන් දන්න නිසා තේක පීරිසියට දා බී හැකි පමණට ලාවට පන්න ගතිමි. ප්‍රශන්සා නැත. කමක් නැත් මන්ද ගෝසාද නැති බැවිනි..මට ඒ ඇතිය.

පාරේ බලු බල්ලෙක් නැතිය. මෙහෙ පාරවල් වල බල්ලෝ යනු ස්වදේශිකයන් මිස අපේ වැනි දඩාවතේ යන කකුල් හතරේ උන් නොවේ...පාන්දර හතරයි චුට්ටයි වගේ වනවිට ඇයට උවමනා තැනට ළඟා විය..

දොර ඇරියා පමණි ඇගේ සනුහරේ උන්ටික දිව විත් මා පැත්තකට දමා ඇයව බදා වැළඳගෙනම වාහනයෙන් පිටටහ්ට ගත්තෝය.

වාහනය දොරකඩි මෑත් කර නවතා දමා මමද පස්සෙන් වැටෙන්නට වීමි.

“ඔයා ඔහොම ඉන්න...ඇතුලට නාවට කමක් නෑ...” මේ පාර සනුහරේ එකියක්ය..

මේ සේරම මගෙම වැරදියයි කියා හිත හදාගෙන ඔහේ දොරකඩම නැවතුනෙමි..

කමක් නෑ ඒත් මෙතනින් නං එලෙව්වත් නොයමියි සිතා ඔහේ බලා උන්නෙමි.




පැයකට විතර පස්සෙ මෙන්න ඔය වගේ ලොකු දොරක් ඇරගෙන මල් සූට් එක ඇඳපු සිස්ටර් වීදුරු පෙට්ටියක් තියපු ට්‍රොලියකුත් තල්ලුකරන් එළියට එනව..

Congratulations..! this is your son..!

මිනිහෙකුට මීටත් වඩා සතුටදෙන යමක් අහන්නට තිබේද?

ජරා, සම තැන් ඉල්ලා කරදර කරන, තෝරා ගෙන මිස ලඟට නොගත යුතු, චපල ගැහැණු ජාතියේ මගේ බිරින්දෑ මා වෙනුවෙන් දස මසක් කුසේ දරා උන් මැණික පැය තුනකටත් වඩා වෙදනාවෙන් තටමමින් උත්සාහ කලද බැරි උන තැන සිය බඩ කප්පවා එළියට ගෙන මා වෙත එවා ඇත. සහතික ඇත්තය. ගෑණු නම් ජරාම ජාතියකි. ඒ උන් අම්මලා වන විට දින තමන් ගැන නොසිතන නිසාවෙනි.



මේ ඉන්නෙ අපේ කැදැල්ලෙ අලුත්ම සාමාජිකය වෙච්චි "තෙනුක් තේමිය" පුංචි පැටිය උපන් දවසෙ. ( කැමරාවෙ ලියවෙන දින ගැන හිතන්න එපා )



මේ අයිය මෙච්චර කල් ආසාවෙන් බලන් ඉඳපු මල්ලි බබාට තමංගෙ වැඩ පෙන්නනව.

ප/ලි

හාමිනේ මාව ඇහැරුවෙ එයාගෙ වෝටර් බෑග් එක ලීක් වෙන්න ගත්ත නිසා.

අර කොම්පීටරේ ගාවට ගෙනිහින් පෙන්නුවෙ මට කියන්න කලින් එයාම ගිහින් ඕපන් කරල බලපු "ඒ වගේ අවස්ථාවක මොකද කරන්නෙ" යන්න ගැන තිබ්බ සයිට් එකක්. ඒ අනුව අවශ්‍ය පියවර අරගෙන අපි වහාම රෝහලට ගියා.

Saturday, June 18, 2011

ගෑණු ජාතිය ජරා ජාතිය..එහෙම වෙන්නෙ කොහොමද?



ගෑණු ජාතියට මේ දවස්වල එලව එලව ගහනව. මෙහෙං කකා, එහෙං දුකා.
එහෙං කවිකාරි, මෙහෙං ලාවට වගේ මං.

අපරාදෙ කියන්න බෑ වැඩේ නැගල ගිය නිකං බටකැලේ ගිණිගත්ත වගේ.

සමහර මල් මාමල කූඹී එහෙම ස්ත්‍රී පක්ෂෙට සපෝර්ට් එකට පොඩ්ඩක් කෑ ගැහුවට මං ගනං ගනී ඕව.

තුන් යහලුවන්ගෙ කතාවයි, අරුණිගෙ ඒකට ඈඳුතු කතාවයි දැක්කම වෙන යමක් ලියන්න හිතට ආවත් මේ ටිකත් කියලම මගේ බමුණු කතා ඉවරකරනව කියල හිතුව.

කවුද කියන්නෙ ගෑණු ජාතිය ජරා ජාතිය කියල? අනිව උත්තරේ පිරිමි ( හොරාට ගෑණුත් එහෙම නොකියනව කියලද? ).

මට හිතුන පිරිමි පාර්ශවේ ඇයි එහෙම හිතන්නෙ කියල මට හිතෙන හැටි ලියන්න. මේ මට හිතෙන හැටි. ඔබට හිතෙන හැටි යට කොටල යන්න.


පළවෙනි හේතුව.

සමහර ගෑණු ළමයි මණුස්සකමට, හිතවත්කමට හිනා උනාම, හොඳට කතා කරාම ගොඩක් පිරිමි හිතනව "හරි මේක කොට මොඩල් තමයි... ට්‍රයි කරොත් අල්ලන්න පුලුවන් " කියල.

එහෙම හිතන අයගෙනුත් සමහරු ඉතිං පදිනව පැට්‍රල් පුච්චං පස්සෙන්. කොට මොඩල් එකක්නං සමහරවිට වැඩේ ගොඩ, ඒත් එහෙම නොවුනම ඉතිං මල.

අන්න එතකොට බනිනව..."ඕක මහ ජරා බඩුව...ඕකි මට කොකා පෙන්නල අරුත් එක්ක සෙට් උනා (බලනකොට ඌ තමයි මුල ඉඳංම සෙට් වෙලා ඉඳල තීන්නෙ ).. පස්සෙ මුළු ගෑණු සංහතියම ගාවගෙන කියනව “මුං මහ ජරා ජාතියක් බං..."

අහල තීනවද අර පුන්සිරි සොයිසගෙ සින්දුවකත් කියන්නෙ මේ ගැන ....බිඳුවක් ඉවසා අහන්න හිතවත… අහන්න හිතවත...


දෙවැනි හේතුව..

සමහර ලස්සන (සහ ලස්සන නොවෙන ) ස්ත්‍රී උදවිය ඉන්නව එක පුන්සඳෙන් විතරක් නොසෑහෙන.

එතකොට ඔය අහක ඉන්න හාල්පාරුවොත් අර පොඩි පෙන්ටෝච් අරං යනව මේ අඳුර නිවන්න.

රුපියල් අස්සෙ අලුක්කා ගහන්න එනව කියල අර ගෑණු උන්දැ එලෝ ගත්තම, අන්න ලෝකෙටම තෙල බෙදනව .."අර අච්චර හොඳ මිනිහෙක් ඉන්දැද්දි අරකි අරුත් එක්කත් යනවනෙ..මුං මහ ජරා ජාතියක් බං"

තුවැනි හේතුව..

සමහර ගෑණු (ළමයි ) මේ එකට කාමරේ ඉන්න, උදේ හවා පන්තියෙ ලඟ ඉන්න එකීට හොරෙන් ඒ යාළුවගෙම කොළුව හරි සහෝදරයෙක් එක්ක හරි හිමීට සෙට් වෙනව.

එහෙම නැත්තං තමංගෙ එකා උපාසක ඩයල්නං හිරිවාතෙට වෙනම පැත්තකින් ටෙම්පරියක් අදිනව. ( සාමන්‍යෙන් කොල්ලො මේවගේ ඒව තමංගෙ බොක්කට හොරෙන් කරන්නෙ නෑ එකම කරත්තෙ බෙදාගෙන දක්කනව වගේ වැඩ මිස. අනිකට හොරෙං මේක කරන ඒවත් දාන්නෙ ගෑණු වැඩ හැටියට )

ඒත් විරුද්ධ පාර්ෂවේ උන්දැල හංගං කරණ වැඩ ගැන පිරිමි කතා වෙන්නෙ "මු ං මහ ජරා ජාතියක්..සත පහකට විස්වාස කරන්න බෑ නෙ.."කියල ප්‍රසිද්ධියෙමනෙ...

හතරවෙනි හේතුව...

පිරිමි තමංගෙ මස්සිනා එක්ක හොඳට සෙට්වෙලා අඩියක් ගහල, බොහොම සාමෙන් සමාදානෙං ඉන්නව. ගෑණු තමංගෙම ජාතියෙ නෑනලගෙ අඩු පාඩු හොය හොය ඉරිසියාවෙ පැලි පැලි අනේ අර අහිංසක මිනිහටත් මල ඇනයක් වෙනව.

ඔය අස්සෙ දෙමස්සිනාල මේ ගැන කියන්නෙත් "ඔහොම තමයි බං...ඔය ජරා ගෑණු ජාතියෙ හැටිනෙ නිකං පූසො වගේ "


පස්වෙනි හේතුව..

මාමල බෑණල කිසිම අරෝවක් නැතුව ( දෙදෙනාගෙන් එකකු ගෑණු ඩයල් නොවේ නම් ) ෆුල් ආතල් එකේ සෙට් වෙන්ව.

නැංදම්මල ලේලිලට අනේ මගේ කොල්ල කන්න ආපු එකා කියල ළමයෙක් පරක්කු එකටයි, උයන පිහින එකටයි මොන මඟුලක්වත් නැත්තං ඒ නැති කමටයි කෙහෙවලු අල්ලං මල ඇනේ වෙනව.

අර මාමල බෑනලට දෙන්නත් ඉතිං හිත්ං හරි කියන්නෙම " ජරා ගෑණු මුං මොකට මරා ගන්නවද, මොනව බෙදා ගන්න බැරුවද"


කූඹිනං (දුකා මාරය වගේ හිතවතුන් ඇර, මොකද උන් දෙන්න මඩ එක්ස්පෝර්ටර්ලනෙ ) මේක බලල මට කියයි උඹ ඔහොම උනාට අපි නෑ. ඔය උඹලගෙ ගෙදර ගැන වෙන්නැති කියල තීන්නෙ අරවද මේවද කියල.

මං මීළඟට දාන්න ඉන්න සේරීස් එක කියෙව්වම ඒත් මොලේ ඇති උන්ටනං තේරෙයි ඇවිද්ද පය දහස් වටී කියල කියන්නෙ නිකම්ම නෙමෙයි කියල.

පලි. කොට මොඩල් දන්නෙ නැති අය මීට වඩා වාහන ගැන දැනගන්න වෙනව.

Wednesday, June 15, 2011

අවඥාසහගතම සිනහවන් නොහොත් ගැහැණුන්ගේ හතර හිනා!



බඳින්න හොඳ නැති ගෑණු ගැන කියල තිබ්බ කලින් පෝස්ට් එකේ වත් නගා අහල තිබ්බනෙ ගෑණුන්ගෙ චපල හිත් මනින්නෙ කොහොමද කියල.

ඒ අස්සෙ මෙන්න දුකත් දාල ගෑණු ජාතිය ජරා ජාතිය කියල. ඒ මදිවට මෙයා නැන්දම්මල ජරා ජාතියක් කියල ලියල!

වැල යන අතටම මැස්ස තව ටිකක් දික් කරන්න හිතුවමත් නෙමෙයි, ඒත් එහෙම නැතුවමත් නෙමෙයි!

මට බමුණ කියපු අයට පොඩි තල්ලුවක් දෙනව නෙමෙයි, ඒත් ඉතින් හොඳ බමුණො කියපුව ගොඩක් බලං යනකොට ඇත්තනෙ. ඇත්තටම මේ බමුණො මොකද මෙච්චර ගෑණු එක්කම තරහ කියලත් හිතෙනේව වෙලාවකට.

මේ කතාව මට කිව්වෙ බමුණෙක් නොවුනත් හොඳ පඬියෙක් වෙච්චි අමරෙ අංකල් නොහොත් අමර හේවාමද්දුම මහතා. ඒ කවුද කියල දන්නෝ දනිති, නොදන්නෝ හොයා ගනිති.

මේක කියන්න නිමිත්ත උනේ අපි 2002දි යාපනේ ගිය ගමණක්.

සටන් විරාමෙ ගහල පාර ඇරල මාසයක් විතර ඇතුය්ලත් කාලෙදි අපිට විජමු මහත්තයගෙ අනුහසින් අධි සුඛෝපබෝගී සාම චාරිකාවක් යන්න ලැබුන උතුරට, ඒ කිව්වෙ යාපනයට.

බොහොම සුන්දර මතකයන් පිරිච්ච ඒ ගමණ ගැන වෙනම දවසක ලියන්නං.

ඔය ගමන ගිය බස් රථ දෙකෙන් අපි ගිය එකේ ඉස්සරහට වෙන්න හිටිය අමරෙ අංකලුයි තව පැන්ෂන් ගිය මහාධිකරන විනිසුරුවරු දෙන්නෙකුයි, මාව ගමනට පූට්ටු කරපු නාලකයි එයාගෙ නෝනයි, රියදුරයි.

කට්ටිය ඉස්සරහ මඟ සිරි බල බල කතා කර කර යනව. බොහොම රසවත් ශාස්ත්‍රීය විවාද, අතීත මතක සටහන් අතරෙ හෙමිං හෙමිං බස් එක අනුරාධපුරේ ඉඳං වවුනියාව පැත්තට ගාටනකොට මෙන්න බොලේ එකපාරටම පිටිපස්සෙං මහා හිනාවක් නිකං කිකිළියෙක් බිත්තරයක් දැම්ම වගේ!

පිටිපස්සෙ හිටියෙ තුන්ලොවට සුන්දර එතකොට අධිකරන අමාත්‍යංශෙ උපදේශක කාරියක් කරණ වයසක නෝන කෙනෙකුයි එයාගෙ තරුනයි කියල හිතං උන්න දුවයි ඒ දුවගෙ පොෂ් කියල හිතං උන්න සැමීයි ළමයි දෙන්නයි තව ඒ ජාතියෙම තුං හතර දෙනෙකුයි.

ඉතිං ඒ පැත්තෙම උන්නෙ එකම පිරිමියෙක් නිසා හිනාව කාගෙන්ද කියල හිතා ගන්න බැරි උනාට අර මහිලා සමිතියෙ සභාපති තුමා කියපු යමකට තමයි කට්ටිය හිනා උනේ කියල මූණු වලින්නං පෙනුන.

රස කතාවක් කිය කිය හිටිය අර විනිසුරු උතුමෙකුට අසූ හාරනමදහස් අනූනමයට් නැගල මෙන්න ගෑණුන්ගෙ හිනාව ගැනයි ඒකෙ ප්‍රමිතිය තත්වය හඬ පාලනය ගැනයි මහ දේශනාවකට කර කර හිටිය කතාව හැරවුනා.

ඔන්න ඔය වෙලාවෙ තමයි අමරෙ අංකලුත් " ලෙස්ලි දන්නවද මොකක්ද හතර හිනාව කියන්නෙ?” කියල.
http://www.blogger.com/img/blank.gif
" ඔය මොකක් හරි කුණුහරුපය වෙන්නැති ඉතිං!" කිව්වම අමරෙ අංකලුත් හොක හොක ගාල හිනාවක් දාල මගෙ දිහාවට හැරිල "මෙන්න මිනිහ, උඹත් නොදන්න කුණුහරුපයක් නැහැනෙ, ආ කියහන් බලන්න හතර හිනාව කියන්නෙ මොකක්ද කියල?"

මම දන්න හතර හිනාවක් තීනවයැ! ඒත් ඉතිං එකපාරට නැහ් ගාන්න බැරි කමට " ඔය පරණ පඬියන්ගෙ කුණුහරුප මං දන්නෑ අංකල්, ඔයොගොල්ලො ඉස්කෝලෙ ගිය කාලෙ අහපුව දන්නෙ ඔයගොල්ලොනෙ, ඒ නිසා ඔයාම කියන්න" කියල පන්දුව නිදැල්ලේ කඩුළු රකින්න අතටම යැව්ව.

"ඕකනෙ කියන්නෙ" කියල අනං මනං පොඩි කැටයං ටිකක් එහෙම දාල ඉවරවෙලා පොර දැම්ම ලිස්ට් එක සබේට.

මේව මට පුරිෂෝත්තම වාදිය අරක මේක කියල අතේ තීන කෝප්පෙකින් ගහල යන්න ඒත් ඕගොල්ලො ගෙවල් වල ගිහිං ප්‍රශ්ණ ඇතිකරගන්නං එපාල!

1. බිං අල්ලි දෙකක් තීන එකා මහා ඉඩම් හිමියෙක් කියල උදම් අනින කොට මහී කාන්තාව නඟන සිනහව.

2. වේද පොතක් පාඩං කරන් මහා බුද්ධිමතෙක් කියල උදම් වෙන මිනිහ දිහා බලල සරස්වතිය නඟන සිනහව.

3. කහවණු පොදියක් තුරුලු කරන් මහා ධනවතෙක් කියල උදම් වෙන මිනිහ දිහා බලල ලක්ෂ්මිය නඟන සිනහව.

හතර නොහොත් වඩාම ක්‍රිටිකල් පොයින්ට් එක.

4. හවසට රාජකාරියෙ ඉඳල ගෙදර එන සැම්ය “අනේ මගේ පුතා” කියල දරුව වඩා ගන්නකොට බිරිඳැ නඟන සිනහව.


බට ලයිට් නං ඉතිං බහුස්‍රැතල කමෙන්ට් කරනකල් පොඩ්ඩක් ඉන්න!


ප/ලි; අපේ උන්දැ මේ බ්ලොග් කරුමාන්තෙට නැති හින්ද හොඳයි! උන්දැව දන්න කෙනෙක්වත් මේව කියවන්නෙ නැති එක වඩා හොඳයි.

Sunday, June 12, 2011

අන්ත්‍රාවයි! මෙන්න බඳින්න හොඳ නැති ගෑනු!




කතන්දර තුමා සතිස් පෙරේරගෙ අම්ම මහත තියරිය දාන්න දවසකට දෙකකට කලියෙන් මාත් කවදාවත් විවාහයකට තෝරගන්න සුදුසු නැති ස්ත්‍රී වර්ගවල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරනව කියල පිණි පලසෙ හරී නගාට පොරොන්දුවකුත් දුන්න!

මේ ලැයිස්තුව හැදුවෙ මීට අවුරුදු දහ අටකට විතර කලියෙන් එතකොට ටීන් ඒජ් එකේ අගම හිටි මායි මගේ අතිජාත මිත්‍රයෙක් වෙච්චි ජයම්පතියි එකතු වෙලා. හැබැයි ඒ වෙන්කොටත් කකා තුමානං නැන්දම්මගෙ තියරියත් දැනං කසාදෙ රහ බලනවත් වෙන්ටැ!

මේක ලැයිස්තුවක් කිව්වට අර එංගලන්තෙ ව්‍යවස්තාව වගේ ලිඛිතව නෑ, ඔක්කොම හිතේ තමයි. අර අලු ලෙනේ පුන්‍යකර්මෙ වගේ අද මෙතන මේක ලියල තිබ්බම අඩු ගානෙ අපේ සිංහබාහුවටවත් වැඩක් ගන්න බැරිවෙන්නැතෑ කාලෙ ආවම!

මතක තියාගන්න මෙතන තියෙන්නෙ මගෙයි ජෑමගෙයි පුද්ගලික අදහස මිස කාටවත් අපහාස කරන අදහසක් හෙම නෙවෙයි. ඒත් බලන අය සමහරවිට තමනුත් ඉවතලන කැටගරියෙ කියල හිතල කෑ ගහන්න එපා. මොකද සමහරු කැමති පැණි රසට තව සමහරු ලුණු රසට, එක එක්කෙනාගෙ රස වෙනස්නෙ!

1. කවුරුත් දන්න අම්ම මහත නම් දුව රිජෙක්ට් කිරීම. මේකට දැං ඉතින් අමුතුවෙන් අටුවා ලියන්න ඕනි නැහැනෙ.

2. පැහැයෙන් කළු මැණිකක් නොවිම. ඇත්තටම කවුද සුදු කෙල්ලන්ට අකමැති, අර ඇනස්ලිය හැර? මේක මේ එහෙම අද ගැන හිතල නෙමේ අනාගතය ගැන හිතල කියන දෙයක්. කළු ආච්චිලාට ඇන්ටිලාට වඩා සුදු ආච්චිලා ඇන්ටිලාගෙ ලොකු ඇට්‍රෑක්ටිව් ස්වීටි ගතියක් නැද්ද? වයසට ගියත් තමංගෙ බිරිඳ තමන්ටත් අනුන්ටත් ප්‍රිය දසුනක් වෙනවට කවුද අප්පේ අකමැති?

3. වයසින් අවුරුදු පහකටවත් අඩු වීම. බාල අපරාධ කරන්න කියනව නෙමෙයි. ඒත් අවුරුදු දා හතරෙදි දාසයෙදි විතර ගෑණු ළමයි අපිව පහුකරන් හරියට කෙහෙල් කඳන් වගේ උස මහත ගිහින් පාට වැටිල එනව. ඒ වගේම අවුරුදු තිස්පහ පනිනකොට ළමයි එහෙම හම්බුවෙලා නෝනල වැහැරෙනකොටත් මහත්තයල තව කසාදයක් බැඳගන්න පුලුවන් තරමෙ පොඩි කොල්ලො වගේ. ඒත් ඉතිං වයස පරතරය ටිකක් වැඩි උනානං මේ වෙනස ගානක් නැතිවම ෂේප් වෙනව. ඕකෙ තව පැත්තක් තීනව. ගෑනු උදවියට හෝදාපලුව නැතිවෙන හතලිහෙදි උවමනා එපාකම් ආයි පීක් එකට යනව උනාට පිරිමින්ට ඒක වෙන්නෙ හතලිස් පහේදි විතරනෙ. ඒ නිසා ඒතකොටත් ඉතිං තකට තක!

4. කුණු විළුඹෙ කතාව. ඒකත් කකා තුමාගෙ පෝස්ට් එකේ කමෙන්ට් එකක් විදියට තිබ්බ නිසා ආයි ඉතිං අමුතුවෙං කියන්න දෙයක් නෑනෙ!

5. කකුල් පැළුනු තරුණියන්. මේක මට කියල දුන්නෙ අපේ අම්ම. ඉස්සර ගම්වල මනමාලයොංගෙ අම්මල බලන දෙයක්ලු මේක (ඒ හින්ද වෙන්න ඇති චාතුර්යා පොතෙත් තිබ්බෙ ). කකුල් පැලෙන ගෑනු නපුරුයි සහ මූසලයි ලු! ඒත් දැං නං වැස්ලින් ටිකක් උදේ හවා ගාල ඕන පැලිල්ලක් හා කරගන්න බැරුවයැ, නැත්ද මෙයා?

6. රජයේ කන්තෝරුවල සේවිකාවන්ගෙ සහ විශේශයෙන් ටීචර්ලගෙ දූල. මේකනං තනිකරම ජෑමගෙ අදහසක්. මොකද උංගෙ අම්ම රජයේ සේවිකාවක්. ඉතින් කොච්චර හොඳ ගෑණු උනත් කම්මැලි අලි වෙන රජයේ සේවිකාවොන්ගෙ දූලත් ඒ වගේමයි කියල මිනිහ මට උංගෙ නෑදෑ පරපුරෙන් උදාහරනත් එක්ක අරං පෙන්නුව. මං දැකපු බහුතරයක් රජයේ සේවිකාවන්ගෙ දූලත් අම්මලත් ඇත්තටම කම්මැලි අලි තමයි. ටීචර්ලගෙ අවුල ඒගොල්ලන්ගෙ දූලත් අම්මල අනුව බොහෝවිට ට්ටිචර්ල වීම නිසා සහ එහෙම නොවුනත් අර අම්මල වගේම දැඩි පාලනයකට බර උන්දැල වීම. මේව දැං ටිකක් අවුට්ඩේටඩ් වෙන්ටැ, දැං ඉතිං ඉන්නෙ ෆුල් සෙක්සි ඉන්ට්‍නැෂනල් ටීචර්ලනෙ වැඩි හරියක්!

7. යටි තොලේ උපන් ලපයක් තිබීම සහ/ හෝ ඇහි බැම එකට යා වී ( නහය මුදුනෙන් ) තිබීම. උපන් ලප තීන අයනං ඉතිං කාට කාටත් උදව්වක් පදව්වක් කරං ඉන්න හිත හොඳ කට්ටිය උනාට ඇහි බැම හා වේච්චි ඈයොනං ගිණි බෝම්බ කියල අහල කියවල තිබ්බ. තම තමංගෙ අත් දැකීම් එක්ක සසඳල බලන්ටල.


දැං ඔය කිව්ව දේවල් ඇවිල්ල ඔය කොන්ඩෙ දිග දෑවැද්දට අක්කර සැරට ලැබෙන, පරපුරටම කෙළවෙච්චි වගේ සාමන්ය කරුණුවලට අමතරම බලපුව. ඒ ෆුල් ලිස්ට් එකම දාල තේරුමක් නෑනෙ ඉතින් ඒව හැමෝම දන්නව කොට.

ප/ලි

මම මේ ලිස්ට් එක මගේ බඳින්න කලින් වැඩකරපු බොසාට ( බොසීට ) කියල තිබ්බෙ. ඉත්ං මගේ ගැටගැහිල්ලට එන්න කාඩ් බෙදන්න අපි දෙන්නම ( බඳින්න කලිංම අපි එහෙම තමයි )

උන්දැලගෙ ගෙදර ගියාම දොර ඇරපු නෝනෙ බැලුව බැලිලක් මගේ වෙන්ට උන්දැ දිහා, මෙන්න ඉං පස්සෙ මාව බදාගෙන දුන්නෙ නැතේ මාර හගියක් පතකඩු පාර ටිකකුත් එක්ක, මට ආඩම්බරයි සතුටුයි අරවද මේවද ගගා! තව පොඩ්ඩෙන් මෙයාව තියල එයාව බැඳගන්න වෙනව මං ගෑනිගෙ හැටි කලින් කියල නොතිබ්බනං. පස්සෙ බලනකොට මොකද කියල, අර මං කියපුවගෙන් කීපයක් ( පාට, කකුල් වගේ ඒව ) එයත් බලල, මම හරිම තේරීම කරල කියල උන්දැට ආපු සතුටටලු!

උන්දැ එහෙම කිව්වට අම්මත් පිළිකාවක් හින්ද නැතිවෙලා තාත්තත් HBP හින්ද වකුගඩු නරක්වෙලා අකාලෙ මියැද්දිච්චි මට වැඩිය අවුරුද්දක් විතරක් බාල මගේ හාමිනේව උන්දැගෙ මලයට කියල පෝරුවට නග්ගගෙන් එක්ක ආවෙ ඔය මොන කෙම්මලක්වත් හින්ද නෙවී මාත් එක්ක ජීවිතකාලෙම ආදරෙන් එකට ඉන්න පුළුවන් කෙනෙක් කියන විස්වාසෙටයි කියල පස්සෙ මං පැහැදිලි කරල දුන්න.

අවාසනාවකට වගේ මේ ලැයිස්තුව හදාපු මගේ අනික් සගයට තාම මේ සේරටම හරියන එකෙක් හොයා ගන්න බැරුව ලංකාවෙං බැරිනං කැන්ගරුවෙක්වත් බලන්න කියල ගියා ඒත් මොන. තාම තනි අලිය!

ප/ප/ලි. මෙහෙ ඉන්න මගේ ලෝකල් යාලුවෙක්නං කිව්වෙ ලුවී විටෝන්, ගුසි සාප්පු ගාව ඉඳල ඒවට යන එන කෙල්ලොන්ගෙ ලිස්ට් එකක් හදල අම්මට දෙන්න ඕනිලු මුන්වනං බඳින්න මට බල කරන්න එහෙම එපා කියල. ( ඌ හරි ලෝභය තමයි හැබැයි අපි යාලුවො )

Sunday, May 29, 2011

රණවිරු රිඅල ස්ටාර් බැලුවෙමි!


ශ්‍රී ටීවී සැලා සමඟ ගැසූ අලුත්ම ගිවිසුමට පින්සිද්ද වෙන්නට රණවිරු රිඅල ස්ටාර් ලයිව් නරඹමින් සිටින්නෙමි.

මගේ තාත්තාද, සහෝදරියක්ද, බාප්පාද, තවද පළවෙනි පන්තියේ ඥාති සහෝදරයෙක් සහ දෙවනි තෙවනි පෙළ ඥාතී හමුදා නිළධාරීන් රැසක්ද, හමුදා නිලධාරී මිතුරන් රැසක් සිටින සහ සිටි බොහෝසෙයින් හමුදාකරණය වුනු පවුලක සාමාජිකයකු හැටියට මට හමුදා නිළ ඇඳුම ගැන තිබුනේ අභිමානයෙන් යුතු, විනයකින් හෙබි වීරයන් පිළිවෙලටකට හඳිනා ඇඳුමක චිත්‍රය මිස ගී ගයමින් වේදිකාව පුරා උඩ පැන නටනා කෝළමකුගේ අර බෝල වැටුන කලිසම හා බෝරිච්චි අත් හැට්ටය ගැන හැඟුම නම් නොවීය.

පොඩි කාලෙ තාත්තා මට මසා දුන් හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම හැඳ මා කෙතරම් අභිමානයකින් සිටියේද? එහෙත් මේ වේදිකාවේ වෙන දෙය දැක හමුදා සාමජිකයකු නොවුනද ඇති වන්නෙ දුකකි.

සැබෑ හමුදා වීරයන් යනු යුද්ධයේදී දක්ෂතා දකවනෝමය. එය එසේ නොවන්නේ ගැලවීමේ හමුදාවේ හෝ සාන්ත ජෝන්ගේ ගිලන් රථ හමුදාවේ පමණි.

අපේ ත්‍රිවිධ හමුදා සාමජිකයන්ගේ විශේෂ හැකියාවන් එළියට ගත යුතුය. උන්ටද තැනක් දිය යුතුය. නමුත් ඒ සම්පූර්ණ නිල ඇඳුමින් මෙලෙස වේදිකාවේ උඩ පන්නවා නොව තම හමුදාව නියෝජනය වෙන ගැලපෙන ඇඳුමකින් බව මගේ අදහසයි.

එමෙන්ම හමුදාවේ සිටින ගායකයන් පමණක් නොව වෙනත් නොයෙක් දක්ෂතා ඇත්තවුන්ද එළියට ගත යුතුය. කරණ වැඩේ නරක නැත, වරද ඇත්තේ එය කෙරෙන විදියේය.

සියල්ලට වඩා පිළිකුල් දනවන කාරණය වන්නේ විනිශ්චය මණ්ඩලය හා ඉදිරිපත් කරන්නන්ගේ විකාරයන්ය.

කමල් අද්දර ආරච්චි වීමට වේට්ටිය මෙන් දණිහ ගාවට සරම හැඳි කාන්චනට කිසිදිනක නොහැකි බව තේරුම් නොයාම ඔහුගේ උරුමය හා අපගේ කරුමය විය හැක! අහෝ මීට වසර ගනනකට පෙර තිබූ පිබිදෙන ගායක පරපුරේ නිවෙදනය මීට වඩා හොඳයැයි සිතෙන තරම් ඉහලින් තම ශූරකම් පෙන්වන නම නොදන්නා නිවේදිකාව තම වොකැබුලරිය නම් පෝෂනය කරගත යුතුමය.

විනිශ්චය මණ්ඩලය ජනපති හා ආරක්ෂක ලේකම් ඉදිරිපිට හිඳ හෝ ගා ලකුණු දමා ගනිමි සිටී. ජනමූල ජැක්සන් පුරුදු බයිලාවද, චම්පාගේ හින්දි ගී හා භාෂා දැනීම පෙන්වීමද, එඩ්වඩ් ජනපතිට යොජනා පිට යෝජනා කිරීමද තරඟයේ අලස ගතිය මඟ හැර පොඩි ජෝක් මූඩ් එකක් ගෙන ඒම විටෙක මල පැන්නද එක අතකට නරකම නැත.

මේවා දැක සිනහවෙනවාද මළ පැන රූපවාහිනියට පොල්ලකින් ගසනවාද? ඔබේ තේරීම 199 වලට ර.අල. යනුවෙන් ටය්ප් කර යටින් කැමති කුණුහරුපයක්ද ලියා ලියුමකින් දන්වන්න.

පළි. වෙසක් නාට්‍යක් සිහිකල මේ අනර්ඝ වේදිකා නිර්මාණය කල එකා මොකා වුව ඒකාටනම් කාළතුවක්කු උන්ඩයක් මත හිඳවා සම්මාණයෙන් පිදිය යුතුමය!

Thursday, May 26, 2011

මේ මඟුලට අවුරුද්දයි!


මීට අවුරුද්දකට කලින් වෙසක් පෝය දවසක පටං ගත්තු මේ මඟුලට දන්නෙම නැතුව අවුරුද්දකුත් උනා.

ලක්බිමේ තිබ්බ කතන්දරගෙ තිබ්බ ලිපියක් දැකල හොයාගෙන ආව බ්ලොග් අවකාශෙ අන්තිමට මමත් සාමාජිකයෙක් වෙලා දන්නෙම නැතිව. ආර්ථික අවපාතයට පින්සිද්ධ වෙන්න කලින් උන්න කොම්පැනියෙ වැඩ අඩුවෙන් ඇතිවෙච්ච කම්මැලි කම මකා ගන්න බ්ලොග් ලියන්න ගත්තට ටික කලකින්ම රස්සාව මාරු කරපු නිසා හිතපු තරම් හොඳින් මේ වැඩේ කරගෙන එන්න බැරි උනත් මේ විදියට හරි අවුරුද්දක් ඇදගෙන එන්න පුලුවන් වෙච්චි එක ගැනනං හරිම සතුටුයි.

අර දුමීත් කියල තිබ්බ වගේ කොමෙන්ටුවක් නැති පෝස්ට් එකක් හරියට මනමාලි නැති මඟුලක් වගේ තමයි.

මේ බ්ලොග් කෙරුවාවෙ ඉන්න වැඩි දෙනෙක් මෙතන රඳවල තියන විශ්වකර්ම බෙහෙත ඔය හොඳ සහ නරක අදහස් කියලයි මට හිතෙන්නෙ. ඒත් ඉතින් මගේ පෝස්ට් හතලිහටම ඒ හැටි මහ ගොඩක් නැතත් මේ තරමින් හරි යමක් කමක් කට්ටිය කියල තීන එක ගැන නං අවංකවම හරිම සතුටුයි.

ඒ වගේම මුලින්ම කොමෙන්ට් එකක් දාපු නිශාචරයටත්, මාව දිරිමත් කරපු මකර, හසිත මලය, දුකා, වත්, මාරය, වැම්පයර් සහ ඊයෙ පෙරේද ඉඳල නිතර මේ පැත්තෙ එන යන පිණිබිඳු නගා, අන්තිම පේලියෙ පිසාචය, හරී, ඕනය සහ අමතක කරන්නම බැරි කාලයක් වහං වෙලා උන්න මාතලං ගොය්ය, ඔබා ම වගේ නිතර මේ පැත්තෙ යන එන නම කියපු නොකියපු ඔය හැමෝටමත් මට මේ මඟුල ජෝඩු කරපු කතන්දර තුමාටත් මෙච්චර කල් දීපු සහයෝගයට බොහොමත්ම ස්තූතියි.

ඒ වගේම මෙතන කමෙන්ට් කරන හැමෝගෙම අඩවි වලට හොරෙන්ම ගොඩවැදිල ගොඩක් දවසට හිමින්ම පැනල යන්නෙ ලොග්වෙවී කමෙන්ට් කරන එක කන්තෝරුවෙ සහසක් ඇස් සහ දහසක් වැඩ මැද්දෙ කර ගන්න්න එක හරි අමාරු හින්දයි.

පෝස්ට් එකක් දාන්නෙ රෑ නමය හමාරෙන් පස්සෙ, ඒත් ගොඩක් වෙලාවට සති අන්තෙ බ්‍රහ්ස්පතින්ද. මොකද මේ මඟුලට ඉස්සෙල්ල කරගත්ත තව මඟුලක් තීනව ඒ ගැන බලන්න එපැයි ඉස්සෙල්ලම. අද මේ ලියනකොටත් 12.20යි, ඒත් තාම කන්වර්ටරේට කොටන මකණව, මොකෝ සිංහල ටයිප් කරන්න දන්න එකක්යැ වන් ෂොට් වර්ඩ් එකේ ඇදල අරින්න. ඒ අතිං බැලුවම එකේ උන්ටත් පින් දෙන්න එපැයි. මෙහෙම ගියාම මේක අර "මයික් ටයිසන් " ලගෙ ස්තූති කතා වගේ වෙන්නයි යන්නෙ, ඔන්න ඔහේ ඒ හින්ද ඔය ඇති!

මෙහෙම අමාරුවෙන් කොරගෙන යන හින්ද වෙන්න කතා කීයක් තීනවද කියල තාම ප්ලෑන් නොකරත් සෑහෙන්න ගානක් තීන බව දැනෙනව. ඉඩ තීන විදියට ඒව ගලපන්නං, එතකල් අපි හැමෝම "ඔහොම යං"

ඔය උඩ පින්තූරෙ ඉන්නෙ අපේ සිංහබාහු. හාදයට අවුරුදු හතරයි දවස් දෙකයි වෙනකොට තාත්තගෙ දෙවනි මඟුලට අවුරුද්දයි!

LinkWithin

Related Posts with Thumbnails