Saturday, June 29, 2013

අමරෙ අංකල්, ඔබට සුභ ගමන්!





කෝ පුතේ උඹේ බ්‍රැන්ඩි බෝතලේ කියාගෙන අපේ කන්තොරුවට ගොඩවී මා ඉදිරිපස හිඳ විමළසේන නම් වූ අපේ ආයතනයෙ කෝකටත් තෛලය කොහිදැයි සෙවූ අමරෙ අංකල් නොහොත් අමර හේවා මද්දුම මහතා ඊයෙ නික්ම ගොස් ඇත.

අමර හේවාමද්දුම මහතාගෙ අයියාගේ පුතා වූ නාලක සමඟ ඔහුගේ ආයතනයේ රාජකාරි කල කාලයේ මට හමුවී පසුව පවුලේ හිතවතකු වූ අමරෙ අංකල් මට හමු වූ ඉතාම සුන්දර මිනිසුන් කිහිප දෙනාගෙන් කෙනෙකි.

මාතර නූපේ ගොවි පවුලක උපතිස්ස සහ ධර්ම යන දෙබෑයන්ට මැදිව ඉපිද පරිපාලන ලොව දික් විජය කල මේ සොඳුරු මිනිසාගේ දින ගනනක් කියන්නට තරම් වන රස කතා, අතීත ඕපාදූප, ඉතිහාස කතා සහ දේශපාලන සිද්ධිවලින් ගහන මතක පොත ඇවිස්සීමට හොඳම ක්‍රමය තරමක් කෝප ගැන්වීම බව මා සොයාගත්තේ ඔහු අප හමුවන්නට ආ මුල් කාලයේදීමය.

අමරෙ අංකල්ගෙ කතා මල්ලෙහි එවකට රට කරවූ ලොක්කන්ගේ නොයෙක් පුද්ගලික තොරතුරු විය. ඔහු ඉතිහාසය පිළිබඳ උපාධිදරයකු නිසාම නොව, වඩා පොත පත ගවේෂනය කරන්නකු නිසා ඉතිහාසයෙ අඳුරු තැන් පිළිබන්ද තමාගේම විවරන තිබිනි. එමෙන්ම පාලි සිංහල, ඉන්ගිලිසි සහ සංස්කෘත මැනවින් හසුල භාෂා පරමේශ්වරයෙකු විය.

අමරෙ අංකල් දක්ෂ පරිපාලකයකු, හොඳ දිසාපතිවරයකු වීදැයි මම නොදනිනිමි. එය දන්නේ ඔහුගේ සමකාළීනයන් සහ සේවය ලබාගත්තවුන් පමණි. එහෙත් ඔහු හා ඇසුරු කල කාලය තුල මා හඳුනාගත්තේ අමර හේවාමද්දුම යනු අද රජයේ ඉහල නිළධාරියකුගෙන් දැකිය නොහැකි තරම් පුළුල් දැණුමකින් හෙබි, ඉතාම සොඳුරු සහ අහිංසක නිර්ව්‍යාජ නියම මාතර මිනිහකු බවයි.


ඒ සියල්ලටම වඩා පොඩි එකෙකු මෙන් රසවත් කතා කියමින් විනෝදකාමියකු විය. අමරෙ අංකල් 90 දශකය මුල වනතුරුම පාවිච්චි කලේ 5 ශ්‍රී පර්ජෝ කාරය වූ අතර ඉන්පසුව කුඩා ටර්සෙල් රථයකට මාරු විය. කළුබෝවිල නිවසේ තම ප්‍රාණ සම බිරිඳ සමඟ පසුව තනිවම විසූ අමර හේවාමද්දුමයන් ඉතාම විශාල සහ අනගි පුස්ථකාලයකට හිමිකම් කීය. ඒ අනගි පොත්ගුලෙහි ඉඳ හිට පහස ලබන්නට දුලභ අවස්ථාවක් ලද කිහිප දෙනාගෙන් එකකු වීමට මටද භාග්‍ය ලැබුනි. එහෙත් මේ වටිනා මිනිසාගේ තරම නෝතේරුනු ඔහුගේ පසු පරපුර ඒවාට කුමක් කරාවිදැයි ඇසිය යුත්තේ දෙවියන්ගෙනි.

අනුරාධපුරයේ දිසාපති, ලංගම සභාපති, අධිකරන අමාත්‍යාංශයේ උපදේශක යන මොන තනතුරු දැරුවද, පාසැල් කාලයෙන් පසු විසුවේ ගමෙන් පිටම වුවද ඔහුගේ දෙඩුම ඔහේලැයි මක්කටෙයි බසින් මිස සමහර දිසාපති හාමුදුරුවරුන්ගේ උද්දච්ච කැඩුණු සිංහලයෙන් නම්  නොවීය.


ඔහු මා ඉදිරිපස හෝ මට එහා මේසයේ සිටි නාලකගේ බිරිඳ ඉදිරිපස හිඳ ගත්විට ඒ පසුපස ගොඩ වදින්න විමලේ "සර් තෙකක් ගේන්නද" යැයි විමසන්නේ උවමනාවට වඩා පුරුද්දට මෙනි. "ඔව් ඔව්, මේ ලංකාවෙ හැම ගෑනිම මට දැන් තේ හදන්නෙ සීනි නැතුවනෙ, ඒ නිසා උඹවත් සීනි දාපු තේකක් ගෙනෙන් බං" යයි සුපුරුදු ලෙංගතු ස්වරයෙන් කියමින් පසුව විමලේ ගෙනෙන රසවත් තේ කෝප්පය තළු මරා රසවිඳ තරමක් වෙලා අප පිනවමින් රස කතා කියා පිටව ගිය ඒ සොඳුරු මිනිසා අද සදහටම නික්ම ගොසිනි.

අතිශය ඉන්දියානු විරෝධියකු වූ මා හට ඔහුම කී පරිදි තමන් ලංගමයේ සේවය කරන කල දුටු ඉන්දියානු කුවේරයන්ගේ ජීවිත ලොව අන් කවර රටකවත් ධනවතකුගේ ආඨ්‍යට සමකල නොහැකි බවත්, එනිසා තම එකම පැතුමද එවන් මැඳුරක යළි ඉපැදීම බවත් ය.

තමා දකින්නට එනවානම් ඉහල ගනයේ බ්‍රැන්ඩි බෝතලයක් රැගෙන මිස නො එන ලෙස තරවටු කර පසුව ගෙන ආවිට බියර් බෝතලයක්වත් භාර නොගන්නා, අවංකව රාජකාරියෙන් කීර්තියට වඩා යමක් උපයා නොගත් ඒ සොඳුරු මිනිසාට පැතූ සුව පිරි නව ආත්මයක් පතමි!

අමරෙ අංකල් නොහොත් රටම හැඳිනූ අමර හේවාමද්දුමයන් ගැන රස කතා සහ කියුම් බොහෝ ඇති මුත් ලියන්නට කාලයක් නැති කම පරහක් වී ඇත. මේ ලියා ඇත්තේ ඔහුගෙන්ඇසු එක රස කතාවකි. මෙයට වඩා රසවත් තව බොහෝ කතා එතුමන් නොකියාම රැගෙන ගොස් ඇති බව මා දනිමි. වියෝවක දුක එයයි.

අමරෙ අංකල්, අපි ආයි හම්බුවෙමු!

Sunday, June 23, 2013

තහනම් කල යුතු සිංහල ගීත! culture & vulture



අපේ ගීත කලාවෙ මහා පතාක යෝධයො කියාගන්න අය ලීව ඒත් හරියට බැලුවොත් මෙලෝ රහක් නැති ගීත බොහොමයි. විශෙෂයෙන් රටේ ජාතික ප්‍රභෝධයක් ඇතිවෙලා ගරු ජනාධිපතිතුමා සහ ලේකම් තුමා ප්‍රමුඛ අපෙ නානසාර හිමියන් කරගෙන යන ඒ බොදු විශුද්ධිකරන ව්‍යාපාරය යටතෙ මේ අසික්කිත ගීත ගැනත් අවධානය යොමිකරන්න කියල මම උන්නාන්සෙලාගෙන් ඉල්ලා සිටිනව.

ඒ වගේම අර චිත්‍රපටි වාරණ මණ්ඩලේ වගේ එකක් ගීත වෙනුවෙන්ද පිහිටුවන්න මේ ගීත ටික දැක්කමවත් ඔබතුම්න්ලට හිතෙයි කියල මම විස්වස කරනව.

1. සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ

සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වඩ කර දෙන්නේ
සකල බුජං ............ අහිංසකයි
අහිංසකයි උනාට හරිම කඩිසරයි

සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්ක කියන්නේ
වයස අටයි......පොඩි කොල්ලා
පොඩි කොල්ලා උනාට වැඩට දස්සයා
ළමා ශ්‍රමය තනම් කරල මානව හිමිකම් ස්ථාපනය කරපු රටක් හැටියට මේ වගේ අවුරුදු අටක ළමයෙකුගෙන් වැඩ ගන්න සින්දු අපේ පොඩි උන්ට අහන්න දෙන එක ගැන ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕන. ඒ නිසා මේ සින්දුව තනම් කරන්නට හෝ වයස විසි පහයි යස කොල්ලා ලෙස පද වෙනස් කර නැවත ගැයිය යුතුය.


2. ගොවිඳුනි මේ සිරි යහනේ

විරහී වැලහින්නකි මා...

රතිකෙලි රමණී,

සිහිකර පැරණී,

යමුනා නදියද වැලපේ..



පියයුරු මඬලේ තැවරුන දෙතොලේ

සුවඳින් සැනහෙම් සොඳුරේ..

හීසර මෙන් හද දවමින්

තුරු සිදුරින් එයි සඳ කැන්

යොවුනන් නැළවෙන මේ රෑ

වියොවින් කැළඹෙයි රාධා..


මෙය ඉතාම රාගාන්විත, අශිෂ්ඨ පද පිරුණු, තරුණ දියනින්ට සිය මාපියන් සමඟ ඇසීමට පවා ලැජ්ජාව ඇතිකරන ගීයකි. එනිසා මෙවන් පියොවුරු, රති කෙළි ඈ අශීලාචාර වදන් වලින් පිරි මේ ගීය තනම් කර ගායිකාවට ජාතියෙන් සමාව ඉල්ලා සිටිම්මට බල කල යුතුය.
  
3. කුමරියක පා සළඔ සැලුනා වසා සිටි නෙතු පියන් ඇරුනා කුමර බඔසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුනා
උකුල ළැම හස මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වු දෙනුවන් රැහැන් ඇද මා අබියස මැවෙන තුසිතය සුරන් නැලවු සුයාමය


මේකත් අර ඉහල ගීතය වගේම කිසිම සදාචාරයක් නැති ගීතයක්. මොකද ඔය මලවි කරළිය කියන්නෙ අර කාන්තාවන්ගෙ රහසඟයි, නාභියයි අතර තියෙන කැලෑබද පෙදෙසයි කියලයි අපේ සිංහල ගුරුතුමා මේකෙ තේරුම ඇහුවම කියල දුන්නෙ. ඉතින් එහෙම දේවල් ගැන සින්දුවල ලියන්න, ඒ සින්දු ප්‍රසිද්ධියෙ කියන්න දෙන්න පුළුවන් කාලයක්ද මේ. ඒ නිසා අමරදේව මාස්ටර් ගමේ මිනිහ උනත් උන්දැටත් මේකට ජාතියට වන්දි ගෙවන්න කියන්නම වෙනව.

4.මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවානම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්
ලා සඳ පලුව ඇවිත් නිල් දිය මුදුනින් රන් තරු මාල බැඳන් රන්වන් අහසින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවානම්
බිම් කලුවර ඇවිදින් පිරෙන්නට කලින් සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවානම්


පොද වැස්සක පාළමක් අසලට තරුණියකට එන්නට කීම කෙතරම් අශිලාචාරද? ඇත්ත වශයෙන්ම එදා දුරවභෝධය නිසා මෙවන් ගී ගැයීමට ගැන අද සත්‍යාවභෝධ වී රණවිරුවන් අගයන එඩ්වඩ් මහතා ලැජ්ජා විය යුතුය.

මෙවන් බොළඳ අශීලාචාර ගී තව බොහෝ වෙතත් ඒවා වගකිවයුත්තන්ගෙ අවධානයට යොමු කිරීම පාඨක ඔබට දෙමින් මා දැන්  කියන්න යන්නෙ මිත්‍යාව පතුරන ගී කිහිපයක් ගැනය. අවිද්‍යාව දුරලල විද්‍යාව රට පුරා පැතිරී යන මේ වගේ උත්තම යුගයක මෙහෙම ගීත වැඩිය අහන්න නොදෙන එෆ් එම් සහෝදරයන්ට අපි ප්‍රණාමය පුද කල යුතුය.


5.ආදී සිංහලුන්
පිට දීප දේස ජයගාථා ආදී සිංහලුන්
පිට දීප දේස ජයගාථා
තම රට දේවල් පිටරට පටවා
පිට කාසිය මෙහි ඇද්දා...........

පිට රට සිරිතට දිව දික් කරනා
අද සිංහල කලු සුද්දා
කන්ට අදින්ටා පිටරටින් එන තුරු
මුහුදට දත නියවන්නා

හෙරලි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා
කිරි නැති හින්දා රට කිරි බීලා
සිංහල දරුවො මරන්නා

පිටරට හාලේ බත් ටික නැත්නම්
බඩගින්නේ සිංහලයා
අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා

කිසි දවසක විදේශ රටක් ආක්‍රමණය නොකරපු ජාතියක් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕන මේ සින්දුවෙ පටන් ගැන්මෙම තීන බොරුවට. අනික නවසීලන්තෙ නැවුම් තණ බිම් වල තන වලින් එන කිරි වලින් ලොකු වෙන ජාතියක් රට කිරි වලට අපහාස කරන එක කෙළෙහි ගුණ දන්න බෞද්ධයො හැටියට ඉවසන්න හොඳම නෑ! ඒ නිසා තනිකර බොරු පිරුන මේ මිත්‍යා මත පතුරන ගීය වහා තහනම් කර ජාතියේ ප්‍රණාමය රට තන වල පුද කිරීමට අපි තාම ප්‍රමාද නැත.

6.තොටමුණ බද සිටි රුවන්මලී ගඟ බිලිගත් මගෙ රුවන්මලී ගමට සිටිය එක රුවන්මලී ගඟට වරෙන් අද රුවන්මලී
ඉර අවරට යන හැන්දෑ යාමේ දුම්බර කඳු වැටි මුදුන් වලින් සිහින් වළාවක් සෙමින් නැගීලා මේ තොටමුණ බද රැඳී සිටී
සුදු ඔසරිය හැඳ වළා රොදින් බැස රුවන්මලී තොටමුණට ඇදේ කළය පුරා දිය උකුලෙ තබා ගෙන හෙමින් හෙමින් පා නගනු පෙනේ


ගඟකට පැනල මැරිච්චි ගෑණියෙක්ගෙ හොල්මනක් ගැන කියවෙන මේ හොල්මන් සින්දු මොන තරම් බෞධයන්ට අපහාසයක්ද? ඒ නිසා වහාම මේ වගේ මිත්‍යාවට උඩ ගෙඩි දෙන සින්දු තනම් කරල දාන්න ඕන. ඒ වගේම මේ එක්කම අර වික්ටර්ගෙ "තොටුපොළ අයිනේ කවුද අතවනන්නේ" ගීටහය්ත් තනම් කරල දාන්නම ඕන. මොකද එතනත් කියවෙන්නෙ ගොම්මන් කළුවරේ තොටුපලක් අයිනෙ අතවනන බලන්න භය හිතෙන කෙනෙක් ගැනනෙ. ඒකනෙ මිනිහම කියන්නෙ "ඒ දෙස නොබලමි, ඒ දෙස නොබලමි" කියල.

දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමු වන්නේ

7.සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ
කෙලෙසද හද බැඳ ලන්නේ
කවුදෝ ‍රැකවල් ලන්නේ
ඔබ මා යලි හමු වන්නේ

මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
ලොව්තුරු සුව  වළඳින්නේ
කිසිදා නැත හමු වන්නේ
ඔබ මා යලි හමු වන්නේ

සඳකඩ පහණ වැනි බෞද්ධ උරුම පල්ලි වලින් අයින් කරනා කලෙක මෙවන් ගී මෙසේ තියෙන්නට ඇරීම බරපතල අපරාධයකි. ලොව්තුරු සුව විඳීමට අර්හත් බවක් ලබාගතයුතුය. එහෙත් අනියම් පෙමක් නිසා හිස් ගැසුම් කා සදෙව් ලොවට, බ්‍රහම් ලෝක විසි අටට හෝ සතර අපායට අයිති නැති මේ රචකයාගෙ පිළිකන්නෙ පමනක් තිබිය හැකි පෙම් ලොවක ඉපැදී ලොව්තුරු සුව වළඳන බව පැවසීම කෙතරම් බුදු බණට නිගාවෙක්ද? වහා මේ ගී පද වෙන්ස කරන මෙන් හෝ තනම් කරනමෙන් යෝජනා කරමි.
 
තවත් මෙහෙම ඔයගොල්ලො දන්න සින්දු තියෙනවනම් ඉහල තැන් වල අවධානයට යොමුවෙන්න මෙතන කමෙන්ට් විදියට හරි ලියල යන්න. මෙඔකද මම මේ ලිපිය ඊ තැපැල් මගින් බොරු බණ සේනාවට යවන්න ඉන්නෙ.



පලි. සීගිරි ළලනාවන්ට සුදුසු උඩුකය ඇඳුමක් නිර්මාණය සඳහා වන මෝස්තර නිර්මාණ තරඟයක් ළඟදීම පැවැත්වෙන බවත් දෙරණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ තරඟාවලියෙ සියලුම කටයුතු සඳහා ඩිල්කි අමන්මලී මෙනවිය අමතන ලෙසත් කවුද මට අද පන්දරම කිව්ව. අවුල තියෙන්නෙ මම ඒ වෙලාවෙ උන්නෙ නිදියන්ද නැද්ද කියල මට මතක නැති එකයි!

LinkWithin

Related Posts with Thumbnails