Saturday, November 12, 2011

නාන්න සෙට්වෙන්න මං ආ ගිය තැන්.



නාන්න ගිහින් ගහගෙන ගිය පුවත් බැළුවම තේරෙන්නෙ බහුතරයක් දෙනා නාන්න යන්නෙ හරි තැන නොදැන, එහෙම නැත්තං නාන විදිය නොදැන කියල. අවාසනාවකට රට වටේ මුහුදත්, රට මැද ගංගාවල් මහ ගොඩකුත් තිබ්බට අපේ රටේ ගොඩක් කොල්ලො කෙල්ලොන්ට පීනන්න බෑ, ඒත් ජම්මෙට වගේ වතුර වලක් දැක්කොත් පනිනව, පස්සෙ ගිලිල මැරෙනව.

මේ බ්ලොගේට මහ ගොඩක් එන්නෙ යන්නෙ නැති උනත් එන යන අය අතරෙ හරි මේ නාන්න පුළුවන් තොටවල් වෙරළවල් ගැන පොඩි කතාබහකට යන්න හිතුවෙ මෙන්න මේ නොදැන අමාරුවෙ වැටෙන අයට යම් උදව්වක් වෙන්නයි.

ඉස් ඉස්සෙල්ල හතරෙ පන්තියෙදි ගල්කිස්සෙ බීච් එකේ නෑවයින් පස්සෙ ලංකාවෙ මුලතිව් ඇර අනික් හැම දිස්ත්‍රික්කෙකම නාල තීනව කියල ආඩම්බර වෙන්න පුළුවන් උනේ මගේ වාසනාවකට ආරක්ෂාකාරීව නාන තොටවල් හොයා ගන්න පුළුවන් උන නිසා සහ මුහුදෙම්ම්ම නාල නාල ඉගෙනගත්තු පිහිනීමට පින් සිද්ධ වෙන්නයි.

මම මෙතන ලියන්නෙ මම නාපු ආරක්ෂාකාරී සහ පිරිසුදු තැන් විතරයි. ආරාක්ෂාකාරී නොවන හෝ මම නොගිය, අසා ඇති තැන් ගැන ලියන්න අදහසක් නෑ. ඒත් මේ හැරුනම තව හොඳ තැන් තියෙන්න පුළුවන් සහ ඒ ගැන ඔබේ අදහස් බෙදාගන්න එකතු උනොත් ආයෙ මටත් නිවාඩු ආපු වෙලාවක ට්‍රයි කරලවත් බලන්න බැරියැ :D

මම දන්න සහ මතක හැම තැනම එක පෝස්ට් එකකට දිග වැඩි හින්ද මේක දිස්ත්‍රික්ක වශයෙන් ලියවෙයි. ඒකත් එක දිගට මෙගාවක් විදියට නෙමෙයි වෙන පෝස්ට් අතරට ඉඩ තීන විදියට ලියන්නං.

ගඟක ඇලක දොලක මුහුදක නාන්න යනකොට මතක තියා ගන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තීනව. ඒ අතරින් මූලිකම දේ පමණට වැඩිය මත්පැන් නොබී සිටිය යුතු වීම සහ අනුන්ට පේන්න හෝ වැඩ පෙන්නීමට ඈතට යාම , කිමිදීම වගේ දේවල්. ගොඩක් ඔය වැඩ දාන්නෙ බිව්වමයි. අනික වැඩ කාරයො වෙන්නෙ අහල පහල කෙල්ලො ඉන්නව දැකපු ගැටව් තමයි.

මේ තීන්නෙ මම කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලත ආරක්ෂාකාරීව නාන්න පුළුවන් කියල හිතෙන තැන්.



වැල්ලවත්ත කිංරෝස් ක්ලබ් එක ඉදිරිපිට වෙරළ.


කොළඹ නගරෙ තිබ්බ ඉතාම හොඳ මුහුදු වෙරළ මේක උනත් පස්සෙ බම්බලපිටියෙ ඇළේ දියකඩනෙ හැදුවට පස්සෙ තත්වෙ තරමක් වෙනස් උනා. ඒ උනත් තාම ක්ලබ් එකේ ඉඳල ස්ටේෂන් එක පැත්තට යනකල් බීච් එක නාන්න බොහොම හොඳයි. අපි පිහිනීම සෑහෙන්න දියුණුකරගත්තට පස්සෙ වෙරළෙ ඉඳල කැඩිච්ච නැව කිට්ටුවටම පිහිනුව. ඒත් ඒ සීසන් එකට හෙවත් මුහුද රළු නොවන කාලෙට විතරයි. රළු කාලෙට වැළි නාල එනව මිස වැඩි දුර යන්න හොඳ නෑ.

ලංකාවෙ බටහිර වෙරලෙ සහ නිරිත වෙරළ ශාන්තවෙලා නෑමට සුදුසුම කාලෙ වෙන්නෙ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලෙයි. ඒ කාලෙට අපි කියන්නෙ මුහුද තට්ටෙ වෙනව කියල. මොක්ද වැළි පිටි වගේ සිනිඳුයි, වතුර හරිම පැහැදිලි යි ( රළ අඩු නිසා ) සහ මුහුදෙ ගැඹුර වෙරලෙන් මීටර් පණහක් පමන යනතුරුම අඩි හතර පහකට නො වැඩි නිසා.

මුහුදෙ නානකොට කාලෙ වගේම වෙලාවත් වැදගත්. උදේ ඉර නැග්ග වෙලාවෙ ඉඳල දවල් දොළහ විතර වෙනකල් තමයි හොඳ. ඉන් පස්සෙ මුහුද සැර වෙනව. ඒ නිසා පුළුවන් තරන් උදේට මුහුදට බහින්න. මේකෙ අනික් වාසිය තමයි උදේ අව්ව සැර අඩු නිසා හම පිච්චෙනවත් අඩුයි.


ගල්කිස්ස.

මේ තමා කොළඹ දිස්ත්‍රික්කෙ තීන හොඳම සහ ප්‍රසිද්ධම වෙරළ. කොච්චර හොඳ උනත් අවාසනාවට වගේ මෙතනත් සෑහෙන්න මරණ සිදුවෙනව. ඒකට මූලිකම හේතුව මත්වී නෑම සහ වැරදි දිනවල හෝ වැරදි තැන් නෑම.

මං කලින් කිව්ව වගේ මෙතනදිත් අර දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාළය තමයි නෑමට හොඳම. අනික් කාලවලදි උදේ වරුවෙ වෙරලෙ රැළි පෙරලෙන ගොඩ වගේ පරිස්සමින් නෑවට වැඩි ඈතට යන්න නරකයි.

ගල්කිස්සෙ නානකොට අනික් වැදගත් දේ තමයි තැන. ගොඩක් අය නොදන්න කමට මහ හෝටලය ගාව තීන බේ එකේ නානව.

හොඳම හරිය බෙර්ජයා මවුන්ට් රෝයල් හෝටලය ඉදිරිපිට මුහුද. එතැන සිට බෝට් ක්ලබ් එක ළඟට යනතුරු නෑමට සුදුසුයි. ඒත් ඉන් එහාට නාන්න මාරුයි. ලයිෆ් සේවින් ක්ලබ් එකෙන් එහාටනම් වෙරළෙ ඇවිදගෙන යන්නත් අමාරුයි පැල්පත්වාසි බට්ටො වල්ලල තීන නිසා.

ඔය පහල තීන්නෙ නාන්න හොඳ නැති ප්‍රදේශයෙ ගුවන් ඡායාරූපයක්.


ඔය පහල පිතූරෙ පේන තැන තමයිනෑමට නුසුදුසුම තැන.



මේ එතනම මුහුද සැර කාලෙ. පේනව නේද වැල්ලෙ රන් පාට වැඩිවෙලා මුහුදට තීන ආනතිය වැඩිවෙලා තීනව. ඒ තමයි මුහුද රළු සහ නෑමට නුසුදුසු ගැඹුරු වෙරළක් කියන එකේ සලකුණු.



ඉරිදට සහ සෙනසුරාද උදේ වරුවෙ මුහුද අනතුරු අඩු කාලෙට ලය්ෆ් ගාඩ්ලගෙ සර්විස් එක තීනව.




ඒ අය ඉන්නවනම් මෙන්න මේ වගේ කොඩි ගහල තීනව.


එහෙම කොඩි දෙකක් ගහල ඇති. ඒ දෙක අතරෙ නාන්න වග බලා ගන්න මොකද ඒ තමයි ඒ අය ආරක්ශාකාරී කියල හඳුනගත්ත ප්‍රදේශය සහ ඔවුන්ට කරදරයකදි පිහිටවිය හැකි සීමාව.

ඒත් මෙන්න මෙහෙම කොඩියක් ගහල තීනවනම් නාන්න අනතුරුදායකයි. ඒ කියන්නෙ ඉල්ලං කන්නැතිව රැල්ල පාගල ගෙදර යන්න තමයි තීන්නෙ.



තව සමහරු නොදන්න කමට මහ හෝටලය එහා පැත්තෙ ඒ කියන්නෙ ස්ටේෂන් එකෙන් රත්මලාන පැත්තට වෙන්න තීන හරියෙ නානව. ඒකත් අනතුරුදායක ඒරියා එකක්. හේතු දෙකක් හින්ද. එක තමයි ඒ හරියෙ මුහුද නෑමට සුදුසු නැති වීම. දෙක හොරු බහුල වීම. නාල එනකොට හොරු ඇවිත් කළිසං කමිස පරිස්සටම අරන්ගිහින් තියෙන්න පුළුවන්. මොකද ඒ පැත්තෙ ඒ තං මිනිස්සු ගැවසෙන්නෙ නැති නිසා.

ඔය කිව්ව තැන් දෙකට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙ ආරක්ෂාකාරීව මුහුදෙ නාන්න පුළුවන් තැන් මන් දන්න තරමින්නම් නෑ! දැන් කෙටියෙන් කියන්නං මිරිදිය නාන්න පුළුවන් තැන් කීපයක්.

කොළඹ තීන ලොකුම මිරිදිය ජලාෂෙ තමයි බොල්ගොඩ ගඟ. ඒකෙ අපි ඒ කාලෙ නාපු තැන් බොහොමයක් දැන් විනාසවෙලා, ජරාවාස වෙලා ගිහින්. ඉස්සර බොරුපන කරදියාන හරියෙ කොච්චර නෑවද. දැන් සේරම කුණු විතරයි, අර බේරෙ වැවේ වගේ.

ඒත් තව තැන් කීපයක් තීනව. ඒ අතරින් හොඳම තැනක් තමයි පුවක් අරඹෙ ගල ගාව.
මෙතනට යන්න තීන්නෙ මොරටුමුල්ලෙන් පුවක් අරඹ පාරෙ කෙළවර වෙන තැනින්. මේකට වෙන නමකුත් කිව්ව, ඒත් දැන් මතක නෑ. මෙතන ගඟේ මඩ අඩුයි, ගැඹුරත් නෑ, නාන්න බොහොම හොඳයි.

අනික් තැන තොටුපොළ හෝටලය. මෙතන ටිකක් වියදම්, මොකද නිකන් ගිහින් නාන්න බැරි නිසා. ඒත් මෙතනට ගිහින් බියර් බීල නිකන් එන්නෙ නැතිව කම්බිය දිගේ පහළට ගිහින් නාල එන්න වගේ විශේෂ පහසුකමුත් තීනව.

මෙයට අමතරව අළුතෙන් හදාපු හෝටල් කීපයක් තීනව කියල ඇහුවත් හරියට නොදැන යමක් කියන්න අමාරුයි.

දැන් කියන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙටම අයිති ඒත් ටිකක් දුර තීන තැන් දෙකක් ගැන.

කළු අග්ගල වක් ඔය.

මෙතන ගොඩක් වැහි කාලෙට නාන්න බෑ. මොකද ඔය දෙගොඩ තලා යනව. ඒත් අනික් කාලෙට බය නැතුව නාල කාල එන්නපුළුවන් තැනක්. කළුග්ගල හන්දියෙන් හැරිල වග පාරෙ ටිකදුරක් යනකොට තීනව පොඩි සුරුවමක්. එතනින් දකුණට හැරිල ගියාම වමට හම්බුවෙන පළවෙනි පාරෙ ච්ට්ටක් යනකොට ඇති වතුර ටැන්කියක්. මෙන්න මෙතනින් පේනව ලොකු විසාල බට වගයක්. මේ බට උඩට ගොඩවෙලා ටිකක් ඉස්සරහට යනකොට තමයි තැන.


හිතාගතෑකිනෙ වැඩි විස්තර.


කළු අග්ගල රන්මුදු ඇල්ල.

(පින්තූරෙ දිනමිණ පත්තරේ අනුග්‍රහයෙන්.)

මේක තීනෙත් කළුග්ගල වග පාරෙ කෙළවරට ගියාම හම්බුවෙන තුම්මෝදර පාළමෙන් වමට හැරිල උඩට ගියාමයි.

ඒත් මේ ඇල්ල ගාව මිනිස්සු නාල විනාස කරල නිසා ඇල්ලට හැරෙන්නෙ නැතුව ඒ පාරෙම තව ටිකක් උඩට ගියාම පාරෙ වම් පැත්තෙ කැලේ අස්සෙන් මෙන්න මේ විදියට ගල් අස්සෙන් සීතල වතුර පිරුණ ඔය ගලා බහිනව. නාන්න පංකාදු වතුර.


බීල ඉන්නවනම් ලෙස්සයිද කියල පරිස්සමින්. ගමේ පොරක් අල්ලගත්තනං මය්යොක්ක ටිකක් රා ටිකක් හොයා ගන්න බැරිවෙන්නෙ නෑ.

මීට අමතරව ලබුගම හා කළටුවාව ජලාශ දෙකත් නාන තැන් තීනව. ඒත් එව්ව පොදු ජනතාවට අකැප නිසා ලියල තේරුමක් නෑ.

කැළණි ගඟෙ මම දන්න තරමින් කොළඹට මායිම්වෙන් කිසිම ආරක්ෂාකාරී පීනල නාන පුළුවන් තොටවල් ඇත්තෙ නෑ.

පාළංතුන හන්දියෙත් ඉස්සර නෑව. තව අර බෙල්ලන්විල වතුරබටේ ලඟ, අත්තිඩියෙ බන්ටෙකට පහල, කව්ඩානෙ වෙළ ගොඩකරපු තැන වගේ ඉස්සර නාපු ඒ තැන් නං දැන් කකුළ හෝදගන්නවත් බැරිතරන් ජරාවෙලා!

ඉතින් මෙයිට අමතරව මේ පැත්තෙ නාන්න පුළුවන් තැන් තීනවනම් කියන්න, ආවම ට්‍රයිකරන්නවත් බැරියැ.

මීළඟට කළුතර දිස්ත්‍රික්කය.

35 comments:

  1. හොඳ වැඩක්.. තරහ උනත් කරන්න දෙයක් නෑ මගේ ඊළඟ පෝස්ට් එකත් නාන එක ගැන ලියලත් ඉවරයි..

    ReplyDelete
  2. ප්‍රීතිපුර වෙරල මගෑරිලද මන්ද . . .???
    දියවන්නාව පැත්තෙ ගියේම නැද්ද මචං . . ??? "පාලං තුන" කියද්දි මට හිතෙන්නෙම දියවන්නාව ගැන කියනව කියල. දියවන්නාවෙ නාන තො‍ටුපලවල් කීපයක්ම තිබුනත් පිරිසිදු වතුර ටිකක් නාගන්නව නං ජපන් ලංකා මිත්‍රත්ව පාර දිගේ බැද්දගානට යන පාරෙ තැන් කීපයක්ම තියනව.

    ගෝල්ෆේස් එක කෙලවරේ වරායට යන පාරෙ ලයිට් හවුස් එක පහල තියනව නියම පූල් එකක්. යන්න දෙනව නං එතනත් නියම තැනක්.

    පැලවත්තෙ ඉඳල හෝකන්දරට යන පාරෙත් තියනව නියම වැවක් . . මම දෙපාරක් විතර ඔරු පැදල තියනව . නාන්න හොඳද දන්නෙ නෑ.

    ReplyDelete
  3. මම මුහුදු ගිහින් තියෙන්නේ තුන් හතර වතාවක් විතරමයි රැල්ල පාගනවා ඇරෙන්න මම නම් මූදේ නාන්න ගිහිල්ලා නෑ .

    බීලා නාකියාගන්න යන එක නම් අතින් සල්ලි දීලා මොනාදෝ වැඩක් කරගන්න යනවා වගේ ගමනක් තමා . දවසක් මමත් මධුවිතින් මත් වෙලා ගියා ඇලේ නාන්න මගේ කෙන්ඩ පෙරලුනා සුටුස් ගාලා . හෙන ගේමක් දීලා තමයි ආයේ අඩිය තියාගන්න තරම් හොඳ වුණේ

    නෑමයි බීමයි නම් ඕනම නෑ .. නාලා ඉවර වෙලා බීපල්ලකෝ එතකොට ඇඟටත් සැපයි ..

    ReplyDelete
  4. අවවාදායක් එක්ක අගේ ඇති තොරතුරු ටිකක්. බොහෝම ස්තුතියි !!

    ReplyDelete
  5. ප්‍රීතිපුර වෙරළ මඟ හැරිලා උනත් එතැන මේ ලඟදී වෙන්න මහත්තයාගෙ යාලුවෙක් ගිලිලා මැරුනා...එතැන තියෙන හෝටලයක් ලඟ අනාර්ක්ෂිතයි කියලා ගහපු රතු කොඩි ටික හෝටලයේ අයිතිකාරයෝ දේශපාලණ හෙංචයිලාට කියලා අහක් කරගෙන...එතැනට මිනිස්සු එන්නෙ නැති නිසා...

    අන්තීමට මේ බුවාව ගිලිලා මැරුනා....

    ReplyDelete
  6. හොඳ කරුනු ටිකක්.වක් ඔය,රන්මුදු ඇල්ල ඔය දෙකේම නාල තියනව හොරෙන් ඉස්කෝලෙ කට් කරල.තව එහාට යනකොට කුමාරි ඇල්ලත් තියනව.ඒත් දැන් වක් ඔයනම් නාන්න සුදුසු නැති විදියට අනවසර මැණික් පතල් වලට බිලිවෙලා.

    ReplyDelete
  7. රන්මුදු ඇල්ල ලිෂාන් මළයගේ ගෙවල් ලඟ නිසා ලබන පාර වත් නිවාඩුවට එතන නාන්න යන්නයි කම්පනාව . .

    එක පාරක් අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් පවුලේ ඔක්කෝමල්ලවම එක්ක ගියා දැරනියගල පාරේ ස්පොට් එකකට . . එතනත් මැක්සා බන් . . .

    ReplyDelete
  8. කළුතර දිස්ත්‍රික්කේ ගැන කියනකොට බොල්ගොඩ අමතක කරන්න එපා....පානදුරේ බන්ට් එකත් ඒ වගේමයි.....

    ReplyDelete
  9. අම්මෝ මෙයා නාලා තියන තරම්...

    හොඳ පෝස්ට් එකක්. දැන් ලංකාවට ගියාම බය නැතුව නාන්ට පුලුවන් තැනක් හොයා ගත්තෑකි...:D

    ReplyDelete
  10. ඉතා වටිනා ලිපියක්.

    ReplyDelete
  11. මේක හරි වටින පොස්ට් එකක්...

    දැන් ඉතින් දෙයියයනේ කියලා යන යන තැන නාගන්න හදන්නෙ නැතිව තෝර බේරගන නාන්න පුළුවන්...

    ReplyDelete
  12. මාතලන්,

    ස්තූතියි කිව්ව.
    මෙව්ව මඩ ගාගන්නෙ නැතිව නාන හැටි.

    -------------------------------------

    හේමලය,

    යූ ආර් වෙලක්ම කිව්ව:D

    ඕනය,

    ප්‍රීතිපුර කොළඹ දිස්ත්‍රික්කෙ නෙමෙයිනෙ බං!

    දියවන්නාවෙ පාළං ගැන තමයි කිව්වෙ. හැබැයි එක තැනක් අමතක උනා. අර අතුරුදන් උන උන්ගෙ ස්මාරකේ ගාව වතුර බටේ යටත් නෑව. ඒත් ගොල්ෆ් ගාර්ඩන් එක හැදුවට පස්සෙ එතන අල උනාද කොහෙද!

    ඔය උඹ කියන්නෙ අකුරෙගොඩ වැව ගැන වෙන්ටැ. ඒකෙ නාන්න බෑ බං, කුරුල්ලො බලන්නයි ඔරු පදින්නයි තමා හොඳ.

    -------------------------------------

    ReplyDelete
  13. සඳරු,

    නාල බොන්න පුළුවන්නම් තමා හොඳ. ඒත් බිව්වට පස්සෙ නාන්න හිතෙන එකනෙ අවුල. වෙලාවක වරෙන් අපි ගල්කිස්සෙ නාමු ඇතිවෙන්න.

    --------------------------------------------

    රසික,

    ස්තූතියි අගය කිරීමට සහ මෙහෙ ආවට.

    --------------------------------------------

    දිල්,

    ප්‍රීතිපුර කියන්නෙ නාන්න හොඳ තැනක් නෙමෙයි. නැතිකමට නාන්න යන තැනක්. බුවා ළමය ගැන මං ලියල කතන්දර තුමා පළ කරපු පෝස්ට් එක දැක්කද?

    --------------------------------------------

    කස්සා,

    ඔය හරියෙ කහන ඇල්ල (සිරාම නම ), වංගෙඩි ඇල්ල කියල තවත් පොඩි ඇලි දෙකක් තීනව. ඔය ඇලි ගාව මං නාන්න එච්චර ප්‍රිය නෑ නෙ! මමත් ගොඩක් තැන්වල නෑවෙ ඉස්කෝලෙ කට් කරලම තමයි :D

    --------------------------------------------

    දුකා,

    ඇල්ලෙ නාන්න යන්න එපා, එතන ජරාවාස වෙලා සෙනඟ පිරිල. මන් අර කිව්ව දොලේ නාහන්. පුළුවන්නං පාස් අරන් ලබුගම ජලාෂෙ බලන්න ගියානං ඒක හර බෝට්ටුවෙ ගිහින් එහා කෙරවළ බන්ට් එක ගාව මරුම පොට් එකක් තීනව නාන්න. අවසරය දෙන්නෙ නෑ ලේසියට.
    දැරණියගල ඇලි හත ඇල්ල ගැන වෙන්ටැ ඔය කියන්නෙ. මං කෑගල්ල දිස්ත්‍රික්කෙට ආවම ඒ ගැන කියන්නම්.

    ReplyDelete
  14. ඔබ නුදුටු ලොවක්,

    හපොයි බොල්ගොඩ කොච්චර තැන් තියෙද නාන්න. කොහොමෙයි නොකිය ඉන්නෙ. පානදුරේ බන්ට් එක කිව්වෙ හඩ්සන් පාක් එක වෙන්ටැ?

    ------------------------------------------------

    කුමාරිහාමි,

    නාපු එව්වනං කියල වැඩක් නෑ :D

    තව ඉවර නෑ. ඔබතුමීලගෙ ඒරියා එකටත් එන්නංකො.

    ------------------------------------------------

    මහවෙදනා,

    බොහොම ස්තූතියි ඒ හය්යට.

    -----------------------------------------------

    ලකී,

    ඔව් අපි නාන්න ගිහින් නිතර කරන්නෙ නා ගන්න එකනෙ. දැන්වත් බලමු :D

    ReplyDelete
  15. අර උඩින්ම දාල තියෙන පින්තූරෙ කොහෙද? මට එතනට යන්න ඕනි :ඩි

    ReplyDelete
  16. මේක නම් ලොකු සේවයක්. හැබැයි අවවාද ටික කී දෙනෙක් හිතේ තියාගනියිද දන්නෙ නෑ. අර සමහර පින්තූර දැක්කම හිතෙනව මේ වගේ තැන් කොළඹ කිට්ටුව තියෙනවද කියලත්.

    ReplyDelete
  17. අම්මෝ නාන්න නම් ඕනේ මඩ වලක වතුර දැක්ක ගමන් ගෙම්බෙක් වෙන එක්කෙනෙක් ඉන්නවා. වෙන එකක් තියා ඒ ගෙම්බා ලංකාවේ ඉන්නකොට හැම වෙලේම ස්විමින් ආම්පන්න බෑග් එකක් පැය විසිහතරේම රෙඩි කරන් ඉන්නේ.

    අකුරුගොඩ වැව නම් නාන්න සුදුසුයි කියලා හිතන්න බෑ. ඒකේ මඩ පිරෙන්න. ඒත් මිනිස්සු නානවා. ඒ වුනාට හැන්දෑවට පොඩි වෝක් එකක් දාන්න නම් කියාපු තැන. බෝට්ටු පදින්නත් නියමයි.
    හෝකන්දරට තලවතුගොඩ ඉඳන් යනකොට තවත් තැනක් තියෙනවා නම අමතකයි. ඒත් එතනත් කිළුටුයි.
    වැල්ලවත්ත පැත්ත දැන් නම් නාන්න අමාරුයි. අළුතෙන් මොකක්ද එකක් හදන හින්දා ඒ පැත්තේ මුහුද සැරයි. ඒ විතරක් නෙමෙයි සාස්තර කාරයොයි කුඩු කාරයොයි පිරිලා. පයින් යන්නවත් හොඳ නෑ තනියම කියලා මගේ රියදුරා නම් කීවේ. ඒ වුනාට ඉතින් මම නම් අතාරියි මුහුද. මවුන්ට් ලැවිනියා පබ්ලික් බීච් හරියෙ නම් නාන්න බැරි තරම් කිළුටු වටපිටාව. හිස් ප්ලාස්ටික් බෝතල් වීදුරු බෝතල් කෑම පැකට් ඉටි කොල පිරිලා.
    මම නම් කොළඹ ඉඳන් මුදුදේ නාන්න යනවා නම් වාද්දුව තමයි. නිදහසේ නාන්න කියාපු තැනක්.
    බොල්ගොඩ වැවත් බෝට් රයිඩ් තමයි. හැමතැනම හෝටල් පිරිලා නිසා අපිරිසිදු කමත් වැඩියි. පුවක්පිටියෙන් උඩට ගියාම කුමාරි ඇල්ල හා තව ඇලි ගොඩක් තියෙනවා. රන්මුදු ඇල්ල නම් නාන්න හොඳයි. (ඒත් එතන කාන්තාවන්ට නාන්න හොඳ නෑ සාංඝික වතුර හික්ස් අපි ගිය දවසේ එහෙම කතාවක් කිව්වා. හාමුදුරුවෝ නාන තැනක් නිසා. ) ආයේ පරයි තොට හොරණ පැත්තේ. නාචිමලේ කියලා තැනකුත් තියෙනවා.
    මේ කියන තැන් වලට අමතරව ගොඩක් තැන් තියෙනවා කොළඹ අවට. දැන් මතකෙට එන්නෙ නෑ.ඒත් ලංකාවේ බොහෝ අය එක්ක නාන්න යනවා නම් ඒ නෑමට නෙමෙයි බොන්න යන නිසා ඔය හැම තැනක්ම අවධානම් වෙන්න පුළුවන්.

    ReplyDelete
  18. ස්තූතියි අනගි සටහනට. ඉතිරියත් කියවන්න බලාගෙන ඉන්නම්.

    ReplyDelete
  19. නියම වැඩක් මචො...

    ReplyDelete
  20. මගේ නම් ප්‍රියතම නාන ප්ලේස් එක තමයි කන්නෙලිය. රක්ශිතයට නියම පාරෙ ටිකට් අරන් නොයා ගමේ මිනිස්සු නාන ප්ලේස් එකක් තියෙනවා... ඇතුලට පයින් යන්න ඕනි. එතනින් උඩට වතුර පාර දිගේ කැළේ ඇතුලට ටික දුරක් ගියාම සිරා...

    මුහුදෙ නාන්න නම් මම කැමතිම නෑ... මාර අමාරුයි ඊට පස්සෙ.

    බීල නෑම නම් මෝඩ කමේ උපත...

    සිරා ලිපි පෙලක් වෙයි වගේ

    ReplyDelete
  21. සෑහෙන්න වටින ලිපියක් අයියේ. පහුගිය දවස් වල කට්ටිය ගිලිලා මැරිච්ච හැටියට මේ ලිපි ප්‍රසිද්ධ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඇත්තටම සමාජයට පණිවිඩයක් දෙන්න පුලුවන් ලිපියක්.

    ReplyDelete
  22. සදිෂ්,

    ඒ පින්තූරෙ තීන්නෙ රම්බොඩ. මට ඔය ඇල්ලෙ නමනම් මතක නෑ. උඩ එක හරි එක. යට මම එඩිට් කරල කට්ටිය අයින් කරපු එක. පොඩි පණිවිඩයක් දෙන්නයි ඒක දැම්මෙ.

    ------------------------------------------------

    Music girl,

    ඔව්, අපි නොදන්නවට කොළඹ අවට ලස්සන තැන තාම ඉතුරුවෙලා තීනව. හැබැයි එහෙම තීන්නෙත් මෙව්ව අප්‍රසිද්ද නිසාමයි.

    ------------------------------------------------

    ඉල් මොන්දො,

    නාන්න තීන ආසාව තේරෙනෙව කොමෙන්ට් එකේ සය්ස් එකෙන්ම.
    වැල්ලවත්තෙ මුහුද හැමදාම සැර නෑ. මං කියපු කාලවල ගිහින් බලන්න. ගල්කිස්සෙත් ඔයා ගිහින් තීන්නෙ වැරදි දවසක. මතක තියා ගන්න නොදිරන සහ පාවෙන කුණු මුහුද තියා ගන්නෙ නෑ. එයා වාරකන් රැල එක්ක එව්ව ගොඩට එවනව. ඒ කාලෙට ( මාසයක් දෙකක් විතර ) වෙරළ හරිම අපිරිසිදුයි. දැන් අවුරුද්දක විතර ඉඳල ගල්කිස්ස බොහොම පිරිසිදුව තියාගන්න නගසභාවයි ආරක්ෂක අමාත්‍යංශෙයි එක්කතුවෙලා වැඩපිළිවෙලක් යොදල තීනව. ඒ නිසා ඔය කියන තරම්ම නරක නෑ.
    වාද්දුවෙ වෙරළ ගැන, පරෙයි තොට, නාච්චිමලේ එහෙම ලියන්නෙ ඊළඟ පාර, කළුතර දිස්ත්‍රික්කෙට ආවම.

    ------------------------------------------------

    අරුණි ශපීරෝ,

    අනිව දානව. හැබැයි එක දිගට ලියන්නෙ නෑ. වෙන බයිල මැද තමයි :D

    ------------------------------------------------

    පිස්සා පළාමල්ල,

    කණ්නෙලිය ගැනත් ලියනව ගාල්ලට ආවම. තාම කොළඹනෙ :D

    ------------------------------------------------

    පිණිබිඳු,

    බොහොම ස්තූතියි නගේ! වෙන්ට මහත්තුරුන්ට මේ ගැන කියන්න :D

    ReplyDelete
  23. ගිං ග‍ඟේ වක්කලමක ගිලිල මැරෙන්න ගියාට පස්සෙ වතුරකට බහින්න හිතුනෙම නෑ. ඒත් මේ මාසෙ අන්තිම දිහාවට නම් අගේ ඇති නෑමක් සෙට් වෙන්නයි යන්නෙ. නාලම කියන්නංකො ඒකෙත් රඟ.

    ReplyDelete
  24. බොහොම වැදගත් ලිපියක් . වතුර වලක් දැක්ක ගමන් ගෙම්බෝ වගේ පනින්නේ නැතුව සොයා බලන එක හොඳයි

    ReplyDelete
  25. හොරණ ඉංගිරිය පැත්තට වෙන්නත් නාන්න සුදුසු තැන් දෙකතුනක් තියෙනවා. පරවිතොට, නාච්චිමලේ සහ ආඳාදොල(බැල්ලපිටිය)

    ReplyDelete
  26. අයියේ මේක නම් මරු....

    ReplyDelete
  27. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  28. මේක නම් හරිම වැදගත්.
    මොකද අපි නිතරම නාලා පිරිසිදුව ඉන්න කැමතියි නොවැ, එහෙනං.....

    තව එකක්, අර අවිස්සාවේල්ලේ තියෙන දැහැන්වක ගැන මොකද හිතන්නේ.

    ReplyDelete
  29. අවවාද නම් හරිම වැදගත්. පුංචිම කාලෙ දුන්හිද අල්ල බලන්න ගිය දවසක එකේ නාන්න ගිය අයියල කට්තියක් ගිලිලා. එක්කෙනෙක්ව කට්ටියක් උස්සගෙන දිව්ව මතකයි. අනිත් කෙනාව පැයගානක් ගිහිල්ලත් හමු උනේ නැහැලු. ඒ හරියෙ තිබුණු බෙලිමල් කඩේක සීය කෙනෙක් කිව්වා ඒ අයියලාට එයා අවවාද කරාලු පුතාලා මෙතන නාන්න එපා කියලා, " කැලණි ඟඟෙන් නාපු අපිට ඕවත් වැඩද සීයෙ කියාගෙනලු ගියෙ "
    හැබැයි ඉතින් ඇලැක , දොළක බැහැල නාන සැප වෙන කොහෙන්ද

    ReplyDelete
  30. වට ඇල්ලත් නරකම නෑ

    ReplyDelete
  31. වැදගත් පෝස්ටුවක්...

    මම මිරිදියේ නාන්නනම් ගොඩක් ආසයි, ඒත් කරදියටනම් වැඩි ආසාවක් නැහැ
    උණවටුනේ ගිහින් යාළුවෝ එක්ක කීප වතාවක් නාල තිබුනත් මට මහා එපා වෙන වැඩක් ඒක

    අද තමයි මම මුලින්ම මෙහාට ගොඩ වැදුනේ
    ඔන්න මමත් පස්සෙන් පන්නන්න පටන් ගත්තා :)

    ReplyDelete
  32. මෙයත් හොඳට නාලා අපිවත් නාවන්නයි ලෑස්තිය :))

    ReplyDelete
  33. කළු අග්ගල රන්මුදු ඇල්ල... පට්ටය..

    හොද පෝස්ටුවක් කස්ට්යට නාගන්න

    ජය ශ්‍රී..

    ReplyDelete
  34. කොලබ නම් නම් නාන්න තැන් නැති තරම්ය ... පොළොන්නරුවේ 1 ඇලේ හරි දෙකේ හරි නාන්න යන්න.. නිකන් පූල් එකෙන් නාගත්තා වගේ තමා.. හසලක හරියෙත් නාන්න තැන් ඇලවල් ඕන තරම්...මතුගම තියනවා බොන තැනකුත් එක්කම දියල්ලක් වට කරලා හදපු ස්වබාවික තටාකයක් පංකාදු වතුර ටික, නම මතක විදියට මොරවක ගෙස්ට් එක සුවර් නැ නම.. වල් උරාත් එක්ක ගල් සැහෙන ගානක් ඕනි :)

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails