Monday, November 14, 2016

Road to Nandikadal | රණමඟ ඔස්සේ නන්දිකඩාල් මොන පොතක්ද..?


මේ පොත පල කිරීමේ වටිනාකම හෝ නොවටිනාකම ගැනත් එය මිළට ගැනීමට තිබූ අපහසුව සහ උනන්දුව ගැනත් ඇති තරම් ලියා තිබෙනු දුටු මුත් එහි අන්තර්ගතය ගැන කිසියම්ම හෝ කියැවීමක් නුදුටුවෙමි.

මේ සටහන ඒ අඩුව නිසාම නොව මෙය ගැන තවත් කතා කල යුතුයැයි හැඟුණු නිසා ලියූවෙමි.

සමස්ථයක් ලෙස මේ පොත එක දිගට කියවාගෙන යාමට සිතෙන සිදුවීම් වලින් ගහන තරමක් රසවත් පොතකි. එමෙන්ම මෙහි ඇති සියලු සිද්ධීන් අප දන්නා ඒවා උනත් පිටුපස ඇති අප නොදන්නා කතාන්තර කතුවරයා රසවත්ව සහ සවිස්තරාත්මකව විස්තර කරයි.

මෙහි මූලික අඩුපාඩු හෝ අපැහැදිලි අවස්ථාවන් කිහිපයක් මා නිරීක්ෂනය කලෙමි.


1. කතුවරයා තම අතීත අඩුපාඩු, තරුණයෙකු ලෙස කල වැරදි සහ ආවේගාත්මක තීරණ ගැන පසු තැවෙන අතරම වැඩිහිටි ජ්යේෂ්ඨ රාජ්‍ය නිළදාරීන් කරනා ජනප්‍රිය වැරැද්දක් වන රාජ්ය සම්පත් අවභාවිත කිරීම සිදු කොට ඇති බවක් පෙනේ. එහෙත් එහි අවසන් ප්රතිඵලය මෙවන් අගනා පොතක් නිසා "මගේ මතයට අනුව ඒකට සමාවක් දිය හැක".

2. මේ පොතෙහි මූලික අරමුණ යුද්ධය ගැන තම අත්දැකීම් ඉදිරිපත් කිරීමද, යුද්ධයෙන් හා සාමයෙන් ලංකාවට ලද හෝ නොලද දේ ගැන විචාරය කිරීමද, යුද්ධය ගැන අත්දැකීම් සහ ඇසූ කියැවූ කරුණු එක් කර වාර්ථාවක් සැපයීමදැයි පැහැදිලි නැත. මන්ද මේ සියල්ලම එකට කළවම්ව තිබෙන බැවිනි.මේ කළවම සමහරවිට කියවන්නාට ඉතා වෙහෙසකරය.

3. මෙහි 88/89 මර්ධනය සාදාරණීකරනයට අවශ්‍ය පසුබිමක් මිස මර්ධනය ගැන වචනයක් වත් නැත. අනෙක් පසින් බෝම්බ දමා මාලු ඇල්ලූ, රත්තරන් බඩු හොරකම් කෙරූ සෙබළුන් වෙනත් යුධ අපරාද නොකලේදැයි නිතැතින්ම සැක සිතෙහි. නමුත් එවැනි දේ හෝ ඒවාට එරෙහිව ගත් පියවර ගැන කිසිදු සඳහනක් නැති වීමේන්, අපේ හමුදාව ඒවා නොදැක නොසලකා සිටි බවක් දැනේ.

4. සමහර විටෙක ඔහු සහභාගී නොවූ යුධ සැළසුම් ගැන පවා ඉතා දීර්ඝව විස්තර කෙරෙතත්, රටේ අවධානයට සහ ආන්දෝලනයට ලක්වූ පමණක් යුද සටන් ගැන  ( උදා ලංකාවට මුල් වරට මල්ටි බැරල් ගෙන ආ සරත් ෆොන්සේකා සහ ජානක පෙරේරා එක්ව ඉටු කල නොනවතින රැල්ල ආපිට ගැසීම, වැඩිම ත්‍රස්ට්ගයින් පිරිසක් මරා දැමූ වැලි ඔය සටන ) හරි හමං විස්තරයක් නැත.

5. කතුවරයාගේ සාම වෑයම ගැන වූ විරෝධතාව දිගින් දිගටම නැවත් නැවතත් සඳහන් කර තිබීම කියවන්නාට වෙහෙසකරය. අනෙක් අතින්, සාම වෑයම් ගැන වූ දේශපාළන තීන්දු නැවත් නැවතත් දැඩිව විවේචනය කරයි. එහෙත් දේශපාළක තීන්දු වලට ඇතිවෙන බාහිර බලපෑම් සහ සාධක සාකච්ඡාවට නොගන්නා සන්දර්භයක මෙය සහමුලින්ම අනවශ්‍ය ලෙස පොත විශාල කිරීමක් පමණක් වී ඇත.

6. කකුලට වෙඩි තබාගෙන ගෙදර ගිය හෝ සියදිවි නසාගත් මාන්කුලමේ සෙබලුන්ට දීනයන් යැයි පවසමින් හමුදා සෙබළෙකු යනු මිනිසෙකුම බව අමතක කරන කතුවරයා , සිය බිරිඳ විසින් බෙල්ලන්විලට බෝධි පූජා තබා ප්‍රභා මරන්නට අවස්ථාව ලබා දෙන්නැයි කී කතා, බෝ ගස මුල සිටි සෙබලුන්ට අනතුරක් නොවූ සැටි ගැන උත්කර්ෂයට නඟයි.

7. කතුවරයා තම ගජබා සේනාංකය සහ එහි සුරු විරු කම් ඉස්මතු කිරීමට ඉතා වෙහෙසක් ගෙන ඇති බවක් දැනේ. මෙවැනි ගැටි සමඟ යුද්දය දිනීම සැබෑවටම විශ්මයකි.

8. කෘතිය පුරාම සරත් ෆොන්සේකා ගැන යම් නොපහන් තරහකින් කරුණු ලියැවී ඇති බව හැඟේ. මේ පොත ගැන ෆොන්සේකාගෙ වෛරයට හේතුවත් මේ පේළි අතර කියනා කතාවම විය හැක.

මේ මා මූලිකව දුටු අඩුපාඩු කිහිපයයි. ඒ හැරුණ විට, මම තමයි පොර න්‍යායෙන් ලියා ඇති වීම අඩුවක් ලෙස නොව, මෙවන් යුද්ධයක සැලකිය යුතු දෙයක් කල මිනිසෙකුගෙන් බලාපොරොත්තුවිය හැකි තත්වයක් බව පිළිගණිමි.

සමස්ථයක් ලෙස ගත් කල මෙය ලියැවිය යුතු සහ කියැවිය යුතු පොතකි.  එමෙන්ම මෙවන් පොත් යුදයේ අනේක් පාර්ශවය වන කොටින්ද ලිවිය යුතුය.

මන්ද, විදේශ පුහුණු, රාජ්‍ය අනුග්‍රහය, විශාල මුදල් වැය, නවීන අවි සහිත ත්‍රිවිධ හමුදාවක් සමඟ මෙතරම් හොඳින් සටන් කල ත්‍රස්තවාදීන් හට කියන්නට ඇති දේ මීටත් වඩා විශ්මය ජනක කතාවක් වනු ඇති බැවිනි.

මේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත ගැන විචාරයක් නොවේ. මෙය පාඨක අදහසක් පමණි. මෙහි කරුණු සංවාදයට විවෘතය.

Monday, October 17, 2016

Avent Guard Socrates Award scam ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.



සොක්‍රටීස් අවෝඩ් නම් සම්මාණයකින් ලොවම ඇගයූ බව පවසමින් ඇවඩ්ගාඩ් යළි කරළියට පැමිණ තිබේ. ලවක් දෙවක් නැතිව භයියොද භය්යලාද එය ෂෙයාර් කරමින් අහන්නේ "අඩෝ දැක්කද, තොපි විනාස කරේ මෙහෙම මහා ව්‍යාපාරයක් නේද" ලෙසයි.

බැලූ බැල්මට හිත කඩා වැටෙන කාරණාවකි. මන්ද, එංගලන්තයේ The Europe Business Assembly (EBA) ආයතනයෙන් දුන්න නිසා එසේ මෙසේ සම්මාණයක් වන්නට බැරිය. එහෙව් එකේ යහපාළන ආන්ඩුව කර ඇත්තේ ගොං කමක් වන අතර, විනාස කර තිබ්බෙන්නේ ජාත්‍යන්තර සම්මාණයට පාත්‍ර වන සුපිරි සමාගමකි.

වතුරෙන් කාර් දුවන, පාංගෙඩියට ප්‍රශ්ණය දමා විසඳුම් විසිකල විට ප්‍රශ්ණ විසඳේයැයි සිතන,  ටැංකියේ වතුරෙන් ගෙදරට ලයිට් දෙන ජාතියේ බයිලා වලට රැවටෙන ජාතියකට මෙය පට්ට සිරා, රටේ නම බැබලූ තවත් එක් මහා සම්මාණයක් යැයි දොහොත් මුදුන් දී භාරගන්නා එක සිම්පල් වැඩකි.

එහෙත් මේ සම්මාණයත් මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධිය වැනිම වූ, පොඩි අතයට ගණුදෙනුවකින් හිමිවූ තවත් එක් සෙප්පඩ විජ්ජාවක් බව කී දෙනෙකු දනීද, කිව්වත් පිළිගනියිද?

මිනිසුන් ස්වභාවයෙන්ම ධනයට, බලයට මෙන්ම ගරු නම්බු වලට කැමැත්තෝය. මේ බැව් දන්නා නොයෙකුත් සෙප්පඩ විජ්ජා කරුවන් ඉල්ලුමට සැපයුම සලසාදී ගාණ හොයා ගනියි.

කලකට පෙර සාම විනිසුරු නම් පදවියද, ආචාර්ය පදවිද, දේශාමාණ්‍ය වැනි තනතුරුද ලංකාවේ කිහිප දෙනෙකුට යම් වැදගත් සහ පිළිගැනීමක් ඇති ආයතන විසින් ප්‍රදානය කල අතර, පෙරේතයන්ට නමුබු නාම දී හම්බු කරගැනීම අගනා ව්‍යාපාරයක් බැව් වටහා ගත් කෛරාටිකයින් විසින් අද ඒ සම්මාණ ලක්ෂයට දෙකට විකිණීමට පටන් ගෙන තිබේ.

අද මේ ගරු සම්මාණ දකින් බහුතරයක් හිකෙන් පුනා වන අතර සුළු ගොබ්බයින් පිරිසක් සහ එය දරන්නා පමණක් සම්මාණයෙන් ආඩම්භර වෙති.

ඇවන්ගාඩ් සම්මාණයත් එයට දෙවනි නොවේ. එකම වෙනස, මෙය එංගලන්තයේ සුද්දන් පිරිසක් විකිණූ එකක් වීමයි. සුද්දාගෙ නිසා අපි හිතන්නේ වැඩේ සුදු ඇතිය කියාය. ඒත් මේ තවත් එක මගඩියක් පමණි.

ඇවන්ගාඩ් හට මේ සම්මාණය දී ඇත්තේ The Europe Business Assembly නම් ආයතනයකි. ඔවුන් එංගලන්තයේ ඔක්ස්ෆෝඩ් හි ලිපිනයැති විශාල ආයතනයක් ලෙස බැලූ බැල්මට පෙනේ. නමුත් ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් බැලූ විට මේ ආයතනය කර ඇති එකම දේ සම්මාණ පිරිනැමීම පමනි.

වසරකට එකක් නොව දෙක තුනකි. රහස එයයි. එපමනක් නොවේ, මේ සම්මාණ ලැබී ඇත්තේ ලෝකයේ ඉතා ඉහලින් වැජඹෙන ප්‍රසිද්ද පුද්ගලයන්ට හෝ ආයතනයන්ටද නොවේ.

ඒව බහුතරය ලැබී ඇත්තේ ආසියානු හා අප්‍රිකානු ව්‍යාපාරික ලෝකයේ කුප්‍රසිද්ද සමාගම් වෙතය. රහස මෙයයි. මේ සම්මාණ සඳහා ඔබ අයදුම් කල යුතුය. සැබෑ ජයග්‍රාහී ව්‍යාපාරිකයන් මෙවන් "බිස්නස් අවොඩ්ස්" වලට අයදුම් කරන්නේ නැත. මේවා ඉල්ලන්නේ තමන්ගෙ "යම් කිසි" අඩුවක් සහතිකයෙන් වැසීමට බලා ඉන්නා අණ්ඩපාලයන් හෝ මේ ගැන හරි හැටි නොදැන අහුවෙන මෝරුන් පමණි.


මේ පින්තූරයෙන් දැක්වෙන්නෙ ඇවන්ට් ගාඩ්ට සම්මාණ දුන් උළෙලයි. එහේ පුටු ගණනටවත් මිනිසුන් නැත.

බැක් ඩ්‍රොප් එක බාල බැනර් එකක් පමණි. අහෝ, මේ යුරෝපීය මහා සම්මාන උළෙල දුප්පත් ලoකාවේ ස්ලිම් අවොඩ් තරම් වත් ගාම්භීර සුන්දර එකක් නොවේ, තනිකරම ලෝ බජට් වැඩකි. වියදම් කර ඇත්තේ සුන්දර පසුතලයක් සහිත හෝටලයට පමණි.

දුප්පත් ලoකාවේ ස්ලිම් අවෝඩ් වේදිකාව


කතාව ඉවර නැත.

මේ The Europe Business Assembly ආයතනය පිළිබඳව සෙව්විල්ලෙන් සිට, ඔවුන් කරන සම්මාණ මගඩිය ලොවට රහස්ක් නොවේ. මෙයට පෙර සර්බියාව විසින් එය හෙලිකරගෙන තිබේ.

මෙහි ඇත්තේ ඒ වාර්ථාවයි.

සර්බියානු සoවිධානාත්මක අපරාධ වාර්ථා ව්‍යාපෘතිය මගින් EBA යනු මුදලට සම්මාණ පිරිනමන සහ සම්මාණ බිස්නස් එකෙන් ජීවත් වන පිරිසක් බව කදිමට එහි හෙලිකර ඇත.

එපමනක් නොවේ, මෙහි දැක්වෙන ආකාරයට මේ සොක්‍රටීස් ස්ම්මාණයෙහි මිළ යුරෝ 9700කි. සමහරවිට මේ මිළ ඊඩ වැඩි වීමටද ඉඩ තිබේ.

මේ ඉන්දුනීසියානු පුවත්පතක මේ වන්චාව ගැන පලවූ තවත් වාර්ථාවකි.


ඉදින් මහතුනි, ඇවන්ගාඩ් ජාත්‍යන්තර සම්මාණයකින් යුරෝපයේද්ගී පුද ලැබුවායැයි උදම් නොවන්න, චූන් නොවන්න. ඔවුනට යුරෝ දස දහසක් ගෙවා සම්මාණයක් ගැනීමට තිබූ ආර්ථික ශක්තිය ගැන පමණක් සතුටුවන්න.

Wednesday, October 5, 2016

මඩ සුද්ද කරන ගොඩ හේවා ..


පහුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහත්මය ගැන නාලක ගොඩහේවා මහත්මය ලියල තිබ්බ ලිපියක් හා හෝ ගාල රට පුරාම පැතිරුනා. ඒ ලිපිය කියෙව්වම මට ආ ප්‍රශ්ණ කිහිපය මම නාලක ගොඩහේවගෙන්ම ඇහුව. මේ තියෙන්නෙ ඒ ප්‍රශ්ණ සහ පිළිතුරු.

නාලක ගොඩහේව මහතාගෙ මුල් ලිපිය මෙතනින් ගිහින් කියවන්න.



මෙන්න ඒ ලිපිය කියවා මම නැගූ ප්‍රශ්ණ හතර

 හිතවත් ගොඩහේවා මහත්මයානනි, ඔබ කලෙක සිට දන්නා අයෙකු ලෙස මේ කියා ඇත්තේ සත්‍ය බව පිළිගන්න කැමති නමුත් , එයට පෙර මෙහි අපැහැදිලි තැන් කිහිපයක් විමසන්නට කැමැත්තෙමි.

1. ඒ වන විට කිසිදු පෞද්ගලික ආයතයක මුල් පුටුවක් දරමින් එය ලාභ ලබන තත්වයකට ගෙනැවිත් ඇතැයි වාර්තා නොවෙන සහ ඉන් පෙර සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයතනික හෝ කළමනාකරණ අත්දැකීම් පිලිබඳ වාර්තා නොවෙන , ලංකා හොස්පිට්ල් හි කොටස් හිමියකුද නොවෙන ගෝඨාභය මහතාව ලංකා හොස්පිට්ල් ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කර්න්නට අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කලේ ඇයි ?

2. කැළණිය ප්‍රදේශයේ දේවාලයක් කරමින් සිට ලොකු සියා, ලංකා ඊ නිව්ස් හි එක්නැලිගොඩ ආදීන් පැහැරගෙන ගොස් මරා දැමීම , රවිරාජ්, ලසන්ත වැන්නවුන් හට වෙඩි තැබීම සිදුවූයේ සුදු වෑන් වලින් නොවේද ?

3. කුප්‍රසිද්ද දේශපාලක දුමින්ද සිල්වා සහ භාරත ගැටුම සිදුවූ දින දුමින්දගේ සුවදුක් විමැසීමට රෝහලට පළමුවෙන්ම ආ ප්‍රභුවරයා ගෝඨාභය මහතා බව වාර්තාව තිබුනි. රජයේ ලේකම් වරයෙකු ලෙස, රාජ්‍ය නිළධාරියෙකු ලෙස දුමින්ද වැනි "සුපිරිසිදු" දේශපාලකයකු පැත්තේ සිට ගැනීම කෙතරම් සදාචාරාත්මකද?

4. තංගල්ලේදී සමූහ දූෂනයට ලක්වූ රුසියානු තරුණියට කිසිදු අතවරයක් වී නැතැයි බොරු වෛද්‍ය වාර්තා නිකුත් කරමින් පාර්ලිමේන්තුව හා රට රවටමින් හොර රහසේ ඇයට ප්‍රතිකාර කර රටින් පිට කර හැරුමට ගෝඨාභය මහතා සභාපතිවරයා වූ ලංකා හොස්පිට්ල් සහ එතුමා ලේකම් වූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කලේ ඇයි ?

ගොඩහේවා මහත්මයාට මෙහි පිළිතුරු දීමට ඉඩක් නැතිනම් ඔබේ නමම හිමි ආනන්දයේ සිට සිටි ඒ පැරණි මිතුරාගෙන් මගේ අංකය සහ විස්තර සොයා ගත හැක.

ස්තූතියි, 

ඉන්දික.



මෙන්න මගේ ප්‍රශ්ණ වලට ඔහු දුන් පිළිතුරු

හිතවත් ඉන්දික කොඩිතුවක්කු මහතානෙනි..

(1) නාගරික සංවර්ධනයේ කිසිදු අත්දැකීමක් නොතිබුනු ගොඨාභය දුගඳ හමමින් තිබුනු කොළඹ ආසියාවේ පිරිසිදුම හා වේගයෙන්ම සංවර්ධණය වන නගරය කලේය ( 2014 පසු තත්වය ඔබ දනී). 2009 පෙර මිලියන 18ක අලාභයක් ලැබු ඇපලෝ රෝහල සම්පූර්ණ පරිවර්ථනයකට ලක්කොට මිළ ගනන් ඉහල නොදමා 2014 වන විට මිලියන 740 ක ලාභයක්ද පෙන්නුවේය ( ඉන් පසු ආ පළපුරුදු අය කල හැටි බලන්නට වාර්ශික වාර්ථා කියවන්න ) එම නිසා හිතවත් මහතානෙනි ඔබේ පළවන ප්‍රශ්ණයට පිළිතුර අපට තීරණ ගන්නට පෙර තරමක් දුර පෙනෙන බවයි.

(2)මේ දේ වල් ඇස් වලින් දුටුවා සේ කියන ඔබ කල යුත්තේ වහාම සී අයි ඩී යට ගොස් ඔබ ඇසින් දුටු කරුණු ඔවුන්ට වටහා දීමයි. හේතුව අදවනතුරුත් ඔවුන් රණවිරුවන් පිරිසක් නඩු නැතුව අත් අඩංගුවේ තබා ගෙන අඳුරේ අතපත ගානා බැවිනි. මේ කාරණා පිළිබඳ ඔබේ විශේසඥ දැනුම ඔවුන්ට මහඟු උපකාරයක් වනු ඇත.

(3)වෙනෙකකු විසින් කර තිබුන පත්වීම හරි හෝ වැරදි වේවා දුමින්ද එවකට ආරක්ෂක අමාත්‍යංශයට පත් කොට තිබූ අධීක්ෂක මන්ත්‍රීවරයායි. මීට අමතරව පැල්පත්වාසීන් මහල් නිවාස වල පදිංචි කිරීමේ ව්‍යාපෘතිය මහජන සහයෝගයෙන් කරන්නට දුමින්ද නාගරික සංවර්ධන අධිකාරියට ඒ දිනවල විශාල උපකාරයක් වූ බව මා අසා ඇත. තමන් දන්නා කෙනෙකුට වෙඩි වැදී ඇතැයි ආරංචි වූ විට යමෙක් ඉස්පිරිතාලයට යන්නේ නඩු අසා තීන්දු ලබාගෙන නොවෙයි. මා මේ ගැන දන්නේ එපමනයි.


(4)තංගල්ලේදී සමූහ දූෂනයට ලක්වූ රුසියානු තරුණියට සම්පූර්ණ ආරක්ෂාව සපයා ඇය ලංකා හොස්පිටල් වෙතට ගෙන ආවේ දූෂකයාගේ ප්‍රදේශයෙම සිටිනවිට දේශපාලනඥයන්ට් බලපෑම කිරීමට ඇති ඉඩ අඩුකිරීමට බව මම ඉතා වගකීමෙන් කියන අතර එම දිනවල පුවත් පත් රැසකම මුල් පිටුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා සංචාරක මන්ඩලය දේශපාලනඥයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක් සිට ක්‍රියා කල ආකාරය සඳහන් විය .ඔබේ බුද්ධි අංශයට එම පුවත් පත් සොයාගත හැකි අතර එක් පුවත්පත් ඡෙදයක් මෙහි සඳන් කරමි.24 year old Victoria Alexandrevna suffered a blunt trauma and has sustained a skull fracture. She was immediately admitted to the emergency trauma unit and was taken for an urgent operation. She was kept in the High Dependence Unit of the Neurosurgical Unit until she was transferred to Lanka Hospitals on Tuesday December 27. This was requested by the Chairman of the Sri Lanka Tourist Board Dr. Nalaka Godahewa” who made a special visit to the Karapitiya Hospital on Monday December 26, to see Alexandrovna . According to Dr. Senadheera, the Chairman of the Tourist Board made a special visit to the Karapitiya Hospital on Monday December 26, to see Alexandrovna and make arrangements to have her transferred to Lanka Hospitals. - (Sunday Leader Jan 1st 2012)දූෂනයට ලක්වූ රුසියානු තරුණිය වහාම රටින් පිටවූයේ ඇයගේ පවුලේ ඉල්ලීම නිසාවන අතර මට මතක තරමින් එය මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ වලට බධාවක් වන නිසා දින කිහිපයක් නතරවන ලෙස පොලීසිය කල ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ වික්ටෝරියා සිටි මානසික කම්පනය නිසායි. සියලු කුණු බේරුවල් බොක්කට කීවාසේ කොහේවත් සිටි ගොඨාභය රාජපක්ෂ මෙයට පටලවන්නට අනිසි උත්සාහයක යෙදීමෙන් ඔබ ඔහුට කරන්නේ අසාධාරණයකි.

ඉහත පිළිතුරු වලට මා දුන් ප්‍රතිඋත්තරය මේ... 

හිතවත් ගොඩහේවා මහතාණනි. ඔබගේ කරුණු දැක්වීමට මහත්සේ ස්තූති කරන අතර, එයට අවසාන පසුවදනක් ලෙස මේ ටිකත් එක් කිරීමට ඉඩ දෙන්න.

1. මා විමසා සිටියේ පෙර අත්දැකීම් සම්බන්ධව වාර්ථා නොමැති, කොටස් හිමියකු නොවන්නෙකු එක්වරම උසාවි තීන්දුවෙන් ඇපලෝ රෝහල රජයට පවරා ගත්පසු සභාපති කලේ ඇයිද යන්නයි? 

2009 ට පෙර ඇපලෝ රෝහල පාඩු ලැබුවානම්, ඒ එකල ඔබ ප්‍රධාන විධායක නිළධාරියාව සිටි ( එවක ස්ටැසන් හිමිකාරීත්වය තිබූ ) ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ උප සමාගමක් ලෙස සිදු වූවක් නොවේද? කෙසේ වුවත්, ඇපලෝ රෝහල ලාභ ලබන තත්වයට පත්කලේ "නාලක ගොඩහේවා" බව ඔබ විසින්ම බොහෝ තැන්වල ලියා, කියා ඇත. එහෙත් දැන් කියන්නේ එහි සැබෑ හිමිකරු ඔබ නොව ගෝඨාභය රාජපක්ෂ බවනම්, එය ඔබතුමන් පමාවී කරනා සත්‍ය හෙළිදරව්වකැයි බාරගමු.

2. මගෙ ප්‍රශ්ණය වූයේ ඉහත නම් සඳහන් කල පිරිස සුදු වෑන් ( මෙහි සුදු වෑන් යන සංකල්පමය වචනයෙන් නාඳුනන පුද්ගලයන් පිරිසක් හැඳින්වෙන බව සිහිපත් කරමි ) වලින් අතුරුදන් කල හෝ මරා දැමූ අය නොවේයිද යන්නයි. මන්ද, ඒ ඝාතනවල සැබෑ හිමිකරුවන් කවුදැයි පසුගිය රජය සමයේ පරීක්ෂන සිදු කොට අනාවරණය කිරීමට අවශ්‍ය තරම් කල් තිබුනමුත් එසේ නොකිරීමෙන් ඒ අය සුදුවෑන් මරණ බව සමාජයේ තහවුරු වූ බැවිනි. 

ම එය ඇසූයේ ඔබ අසා තිබූ "සුදු වෑන් වලින් අතුරුදන් වූවන් කිසිවෙකුත් ඔබ දන්නවාද" යන පැනයට පිළිතුරක් ලෙසය. 

ඉදින්, ඔවුන් රාජ්‍ය ත්‍රස්වාදයේ සුදු වෑන් වලින් ස්වර්ගය පෙන්වීමට ගෙන නොගියේ නම්, එය ඔප්පු කිරීම කල හැකිව තිබූ හොඳම පුද්ගලයා ගෝඨාභය මහතාමය. නමුත් එසේ නොකිරීමෙන්, නොකල වරදකට තමන්ට එල්ලවන චෝදනාවෙන් ගැලවීම ඔහු උවමනාවෙන්ම වෑලකීම ඇති කරන්නේ සාධාරණ සැකයක් නොවේද?

3. නැවතත් මගේ ගැටළුව වූයේ රාජ්‍ය නිළධාරියෙකු හැටියටත්, වින්දිතයන්ට යුක්තිය ලබාදීමේ යාන්ත්‍රනයේ එක් ප්‍රධාන පාර්ෂවයක ඉහළම නිළධාරියා ලෙසත් එතුමන් "කුප්‍රසිද්ද" මන්ත්‍රීවරයාගේ පැත්ත පමණක් ගත්තේ ඇයිද යන්නයි. එය පැහැදිලිවම අනෙක් පාර්ශවයට " මම දුමින්දට සපෝට්" යන්න එලිපිට කල දැණුම් දීමක් ලෙස මාජ ගත කිරීම කෙතරම් සාධාරන සහ සදාචාර සම්පන්නද යන්නයි. ඔබට එයට සෘජු පිළිතුරක් නැති බව මම දනිමි. 

4. ඔබ අදාල කාරණය සම්භන්ධයෙන් කර ඇති මැදිහත්වීම සහ ගත් පියවර නිවැරදි බවට තර්කයක් නැත. නමුත් නැවතත් මගේ ප්‍රශ්ණය " ගෝඨාභය රාජපක්ෂ සභාපති වූ ( සහ ඔබ අධ්‍යක්ෂ වූ) ආයතනයකින් එතරම් සංවේදී කාරණාවක් සම්භන්ධයෙන් පාර්ලිමේන්තුව පවා නොමග යවමින් වැරදි තොරතුරු නිකුත් කලේ ඇයි"ද යන්නයි? ඔබතුමන් නොදන්නේ නම්, 2013 ජූලි 11 දින දයාසිරි ජයසේකර මන්ත්‍රී තුමන් පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්ණයකට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන් පිලිතුරු දෙමින් කියා සිටින්නේ අදාල තරුණිය ස්ත්‍රී දූෂනයකට ලක්ව නොතිබුන බවයි. එවිට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ මේ තොරතුර විස්වාස කල නොහැකි බවත් ඔබට එය ලැබුනේ කෙසේද යන්නත්. මෙයට පිළිතුරු දෙන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී තුමන් පවසන්නේ තමන් අදාල තොරතුරු රාජ්‍යය ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබා ගත් බවයි ( හැන්සාඩ් වාර්ථාව 218 කාණ්ඩය, 3 කළාපය, 337/338 පිටු ). මෙවන් ජාත්‍යන්තර වශයෙන් අපකීරිතියක් ඇතිවෙමින් තිබූ සිදුවීමක් පිළිබඳව ඔබ දෙපළ පාළනය කල රෝහලෙනුත්, එතුමන් පාළනය කල අමාත්‍යාන්ශයෙනුත් ඉතාම නිර්ලජ්ජිත ලෙස රටේ උත්තරීතර ආයතනයට සහ ලෝක ප්‍රජාවට ලබා දෙන වැරදි තොරතුරු වලට ආයතන ප්‍රධානීන් වගකිව යුතු නැතිද?

හිතවත් ගොඩහේවා මහතානනි. තවත් එක් වටිනා කාරණාවක්. සුදු ( හෝ වෙන පාටක ) වෑන් ගැන, මිනී මෝරු ගැන පත්තරවල තිබූ දේ විස්වාස නොකරන්නැයි අපට කියන ඔබ තුමන්ටම, ඒ සුදු වෑන් සංස්කෘතියට එරෙහිව ලියූ සහ අවසානයේ ඒ සංස්කෘතිය විසින්ම මහ දවාලේ පාර මැද මරා දැමූ ලසන්ත වික්‍රමතුංගයන්ගේ පුවත් පතේ පළවූ ප්‍රවෘත්තියක් තම මතය ඔප්පු කිරීමට යොදා ගැනීමට සිදුවීම කෙතරම් අභාග්‍යසම්පන්නද?


යම් සේවකයකු දින දහයක් නිවැරදිව අවංකව රාජකාරිය කලත්, ඔහු වැරදූ හෝ පාඩු කල විට, ඔහුගේ සේව්‍යයන් අර පෙර දක්ෂතා නිසා ඒ වැරදි අඩුපාඩු දෙස නෑසූ කන්ව නොසිටින බව ඉතා දක්ෂ පරිපාළකයෙකු ලෙස ඔබ නොදන්නේ නැති බව මම දනිමි. ගෝඨාභය රාජපක්ෂ කල හොඳ අපට අමතකව නැත. එහෙත් එය නරක අමතක කරන්නට කාරණාවක් නොවේ. එමෙන්ම ලොව ඕනෑම කෙනෙකුට පෙර අඩුපාඩු තුලින් ඉගෙන වඩා හොඳ වීමට අවස්ථාවක් සහ අයිතියක් ඇති බවද අපි පිළිගන්නෙමු. ඔබ සැමට ජය!

Thursday, September 1, 2016

දෙවියන්ද මිනිසුන්ද තිරිසන් උනේ...?



ඔබ අද දකින මල් හෙට පරඬැල් ලෙස පෙනෙනු ඇත. ඒ ලෝක ස්වභාවයයි. ඊයෙ මල් දී ඇදහූ දෙවියන් මෙදා ගරහන පල් දෙය්යකු විය හැක. ඒ මිනිස් සිතයි. එකම දෙය වෙනස් වන්නට අවශ්‍ය එකම දෙය කාලය පමණි.

සමහරවිට මෙලෙස වෙනස් වන දෙයින් හොඳ කෝකදැයි, හරි කුමක්දැයි ඔබට සිතාගන්න අපහසු තරමට ව්‍යාකූල බව පෙනෙනු ඇත. එහෙත් සත්‍ය නම් මේ දෙකම එකම බවයි.

ඔබට මා විස්වාස නැතිනම්, මේ ගී දෙකම අසන්න. දෙදෙනාම ගයන්නේ එකම කතාවයි, නමුත් එහි තනු දෙකකි, වෙනස් සංගීතයන්ය. එකක් ඔබට මිහිරි විය හැකි අතර අනෙක අමිහිරි අකමැති එකක් වීමට ඉඩ තිබේ. ඒ රසය වෙනස දැනෙන්නේ ඔබ සිටිනා තැන අනුවය.


මේ මාස්ටර්ගේ ගීයයි


මෙය ගෝලයාගේ ගීයයි


සමහරවිට ඔබට මේ දෙකම රස ලෙස දැනෙන්නටද ඉඩ තිබේ. එසේනම් පරෙස්සම් වන්න, පාරේ මැද යාම එක් පසකට වී යාමට වඩා අනතුරුදායකය.


අවිචාර උන්මාද මේ ලොකයේ....
දෙවියන්ද, මිනිසුන්ද නොමගේ ගියේ....//

බල කාමෙ, ධන කාමෙ වැල සේ එතේ....
කරුනාව මුදිතාව පියඹා යතේ....//

ගුණ දහම හැදියාව ගෑවී නැතේ...
රජයාවි තන්හාව මානෙ සිතේ...

අවිචාර උන්මාද මේ ලොකයේ.......

මුලු ලෝකෙ සොලවාල සේසත් නගා....
නැටුවාට ගැයුවාට එක්වී රඟා....//

සැනසෙන්න බැරි වේය එය සහතිකයි....
පරදාල ජය ගන්න ඕනේ සිතයි....

අවිචාර උන්මාද මේ ලොකයේ.......//

කරුණාරත්න අබේසේකරගේ පද වැලකි.

Tuesday, August 16, 2016

History and His Story

පහුගිය දොහේ නිවාඩුවට ගිහිල්ල ඉන්නකොට අපේ චෙෆාකි මහත්තය අඬ ගැහුව දකුණට ආවොත් උන්දැගෙ දික්වැල්ලෙ නිවාඩු නිවාසෙත් ඉඳල යන්න එන්නය කියල. නිවාඩුවෙදියි ඒ ගමණෙදියි වෙච්චි අති සුන්දර සිදුවීම් ගොන්නක් තියෙත්දි මේ උලව්ව ගැනම ලියල ඉවර කරල ඉන්න ඕන කියල හිතුනෙ ඇයිද මන්ද.

ඉතින් ඔය කියන නිවාසෙ සතුටින් ලැගල උන්න තුන්වැනි දවසෙ අපිට අපූරු මිත්‍රයෙක් හම්බ උනා. උන්දැත් බලත්දි මම ගිය පාසලකටම ගියපු, මට වැඩිය දෑවුරුද්දක් බාල ගැටයෙක්. මේ බ්ලොග් ලියන රචිකාවකගෙ සුවාමියෙක්. මේ හාදයයි, මමයි, චෙෆාකියි, අටමයි කට්ටිය එක්ක එදා රෑ බොන්න ගිහිල්ල අන්තිමට ඒක ගියෙ නැතෑ මහා වාදෙකට.

එතන කතාව මෙහෙමයි.

ඔය මාක්ස් ගොය්ය කියල තීනවනෙ ආගම අබිං කියල. ඒ එහෙම කිව්වෙ ඇයි කියල අපේ පොල්කට්ටෙන් එහා අජිය මෙන්න මෙතන ලස්සනට විස්තර කරල තියෙනව. ඒ මාක්ස්ගෙ ආගම ගැන කිව්ව කතාවම තමා මට අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ ඉතිහාස ප්‍රේමය සහ ඓතිහාසික ලොකුකම් වර්ණනාව ගැනත් කියන්න තියෙන්නෙ.

ඒ කියන්නෙ, වර්ථමානයෙ නිර්මාණාත්මක හැකියාවන් මොට වෙච්චි කම්මැලි සහ පසුගාමී ජාතියක් තමන්ගෙ ඒ තත්වය අමතක වෙන්න, සිදුවෙන ඛේදවාචකයෙන් සසල නොවී සතුටින් ඉන්න භාවිත කරන්නෙ අපේ අතීත ශ්‍රී විභූතිය සහ ඉතිහාසයෙ  සිංලයගෙ තිබ්බ "මාර, පට්ට" දක්ෂතා ගැන කියෝ කියෝ සතුටු වෙන එක. මොකද අතීතෙ අපි මාර ජාතියක් අද මෙහෙම උන්නට කියල සතුටු වෙලා සිද්ධ වෙන ස්ව්යං මෝහනයෙන් තමන් අද ඉන්න කාලකන්නි තත්වයෙ ඛේදවාචකය ගැන අමතක වෙනව. ඒකත් අර අබිං ගහල ගන්න තාවකාලික වින්දනය වගේම තමයි.

මෙන්න මේ කාරණාව නිසා ලංකාවෙ අතීතය මාර පට්ට එකක්ය, අපි තමයි ලෝකෙ පොරවල්ය කියන කොට මට පුද්ගලික ඇතිවෙන්නෙ මහ කණගාටුවක්. මොකද ජාතියක් වශයෙන් තමන්ගෙ ඉතිහාසය සහ වටිනාකම් දැනගෙන ඉන්න එක වටිනව උනත්, ඒ මත්තෙම ඉන්න,  එකෙන් එහාට නොයන එක රටක් හැටියට අපිට වෙලා තීන මහා විනාසයක් නිසා.


අන්න ඒ හැඟීම නිසා කෙනෙක් ඔහොම අපේ අර "මාර ඉතිහාසය" වනන කොට මට ඒකෙ තීන හිල් අඩුපාඩු සහ හිනා යන තැන් ගැන නොසොය ඉන්නම බෑ. එදත් උනේ ඔන්න ඕකයි.

අපේ අර මිතුර ඉතිහාසෙ ලංකාවෙ පොරත්වය ගැන කියනකොට මම ඒව ගැන ඔහුගෙන් ප්‍රශ්ණ කරා. අන්තිමට ඒ කතාව සැරට ගිහිල්ල හිමීට නිවුන. හැබැයි හැමෝම හිතුවෙ එදා අපි දෙන්නගෙන් එකෙක් අනිකට බෝතල් පාරක් ඇන්න තමා කියල ගිය සද්දෙටයි තරමටයි. නමුත් ඒක එහෙම වෙන්නෙ නෑ කියල ඌයි මායි දැනගෙන හිටිය, මොකද අපි මතවාද හප්පල චප්ප කරාට මූණු හප්ප නොගන්න තරම් මොළයක් තියෙන උන් නිසා.

දැන් මෙන්න මේකයි ඔය වාද වලට මූලික කාරණාව ( අපේ මිතුර මෙහෙම කිව්වම මම මේකට විරුද්ධත්වය පල කරල කතාව වෙන අනු අංශ හරහා පවා විහිදිල ගියා - ඒව පස්සට ) .


ලංකාවෙ අනුරාධපුර යුගයට පෙර සිටම ඉතාම දියුණු රාජාන්ඩුවක් සහ අධිකරණ ක්‍රමයක් තිබුන. මේක සමකාලීන ලෝකයෙ වෙන කිසිම රටක නොතිබ්බ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ නියම භාවිතාව තිබ්බෙ ලංකාවෙ .


මේ කාරණාව ඔප්පු කරන්න තියෙන සාධක මොනවද කියල මම අපේ මිතුරගෙන් ඇහුවම එයා කිව්වෙ ජ්යෙෂ්ඨ ප්ලීනි ලියාපු නැචුරල් හිස්ටරි කිය්න පොතේ මේ ගැන තියෙනවාය, ඒක තමා හොඳම සහ එකම සාධකය මේ කතාව සනාත කරන්න, කියල.

ඒ වගෙම ඔහු කිව්ව, ඒ පොතේ තියෙනවය ලංකාවෙ රජකම යන්නෙ මිනිසුන් තෝරාගත් රජෙකුටය, ඒ රජුගේ ඇවෑමෙන් රජ පවුලේ ඊලඟට සිටිනා වැඩිමලාට ( රජුගේ පුතාට නොව සහෝදරයන්ට ) බවත්. මේක ඔප්පු කරන්න කියල අපේ මිත්‍රය පණ්ඩුකාභයගෙ ඉඳල සද්ධාතිස්ස වෙනකල්ම රාජ නාමවලියත් නෑ කමුත් කියාගෙන ගියා.

ප්ලීන්ගෙ ඔය පොත මම කියවල නොතිබ්බ නිසාත්, රජ නම් සහ නෑකම් මතකෙ නොතිබ්බ නිසාත් ඒ වෙලාවෙ මට ඒ ගැන වැඩි යමක් කියන්න හැකියාවක් තිබ්බෙ නෑ. නමුත් මම පහුවෙනිද හොයල බලනකොට තමයි දැක්කෙ මේටික.

මෙන්න ප්ලීනිගෙ Natural History කියන පොතේ තැප්‍රොබේන් ගැන කියවෙන පරිච්ඡේදය.








මේ පොත ප්ලිනි ලියල තියෙන්නෙ ක්‍රි.ව 77 කියලයි සැලකෙන්නෙ.ඒ කියන්නෙ අනුරාධපුර යුගය ආරම්භවුනාය සැලකෙන ක්‍රි.පු 360ට එහා ඉතිහාසය සනාත කරන්න මේක ගන්න බැරිවෙනව. ඒ කියන්නෙ අනුරාධපුර යුගයට එහා තිබ්බ මාර රාජ්‍ය මේ පොතෙන් සනාත කරන්න අමාරුයි.

ඒ නිසා අපි කතාවෙ ඊලඟ කොටසට, ඒ කියන්නෙ රාජ්‍යත්වය කියන එක බලමු.

මේ පොතේ 130 පිටුවෙ අග ප්ලිනි කියල තියෙනව මෙන්න මෙහම.

"ඔවුනට උසාවියක් නැති අතර නීතියක්ද නොවේ. හර්කියුලිස් දෙවියන් වන්දනා කරයි. ඔවුන්ගෙ රජ මිනුසුන් විසින් තෝරාගන්නේ ඔහු වැඩිහිටි, කරුණාවන්ත, සහ දරුවන් නැති අයෙකුනම් පමණි. යම් හෙයකින් රජුට දරුවන් ලැබෙන්නට ඇතිනම් එවිට ඔහු සිoහාසන්යෙන් පහ කෙරෙන්නෙ රාජ්‍ය්ත්වය පරම්පරාවෙන් පරම්පරාවට නොයනු පිණිසය".

දැන් මේ ටික මෙහෙම දැක්කම හිතෙන්නෙ මගේ මිත්‍රය හරි කියල නේද? කලබල නොවෙන්න කියන්නෙ මේ වෙලාවටයි.

 මේ පොතේම තියෙන විදිහට ලoකාව ගැන විස්තර හොයාගෙන තියෙන්නෙ ඒ වෙනකොට මේ රටට ආ ගිය තානාපතිවරු සහ වෙළෙන්දන්ගෙන්. එහෙම බැලුවම ප්ලිනිට ලැබිල තියෙන විස්තර ක්‍රිස්තු පූර්ව යුගයෙ වෙන්න බෑ, මොකද ප්ලිනි ඉපදුනෙත් ක්‍ර.ව 23 කියල කියැවෙන නිසා.

නමුත් අපි ගමු ක්‍රිස්තු පූර්ව 20 ඉඳල ක්‍රිස්තු වර්ශ 113 වෙනකල් ලoකාවෙ හිටපු රජවරු සහ ඒ අයගෙ උරුමය.

ක්‍රි.පු - 20 සිට ක්‍රි.ව 9 දක්වා භාතිකාභය අභය - ඉන් පෙර සිටි කූටකන්නතිස්ස රජුගේ පුතා

ක්‍රි.ව - 9 සිට ක්‍රි.ව 21 දක්වා මහදැළියාමානා (මහා දාඨික මහානාග) - භාතිකාභයගෙ සොයුරා

ක්‍රිව. 21 සිට 30 දක්වා - අඩගැමුණු - මහදැලියමානගේ පුතා

ක්‍රි.ව 30 සිට 34 දක්වා - කණීරජානුතිස්ස - අඩගැමුණුගේ සොයුරා

ක්‍රි.ව 34 සිට 35 දක්වා - චූලාභයතිස්ස - අඩගැමුණුගේ පුත්

ක්‍රි.ව 35 සීවලී රැජින - අඩගැමුණුගේ දියනිය

ක්‍රි.ව 35 සිට 44 දක්වා - ඉළනාග

ක්‍රි.ව 44 සිට 52 දක්වා - චන්ද්‍රමුඛ - ඉළනාගගේ පුත්

ක්‍රි.ව 52 සිට 60 දක්වා - යසළාලකතිස්ස - චන්ද්‍රමුඛගේ සහෝදරයා

යසළාලකතිස්සගෙන් පස්සෙ සුභ කියන ලම්භකර්ණ වන්සික දොරටුපාලය එනව කරළියට, රජකමට. සුභගෙන් පස්සෙ එයාගෙ පරපුරේ වසභත්, ඉන් පස්සෙ වසබගෙ පුතා වoකනාක තිස්සත්, එයාගෙ පුතා පළවෙනි ගජබාහුත් වෙනකල් පිලිවෙලින් රජවෙනව. නමුත් ඒ වෙනකොට ප්ලිනි මේ ලෝකෙ නෑ.

දැන් ඔබට මොකද හිතෙන්නෙ? ප්ලිනි කිව්ව දරුවො නැති රජුගෙ කතාව සහ රජකම එක පවුලකට හිමිවීමට ඉඩ නොදීම කියන එක ලන්කාවෙ පිළිගත් රාජ පරම්පරාව විමසල බැලුවම බොරු වෙනව නේද?

මේ ලිපිය දිග වැඩියි. දැනට මෙතනින් නවතනව. අපේ මිතුර හෝ වෙනත් කෙනෙක් මේ ගැන සාකච්ඡාවට ආවොත් තව ලියන්නත්, නැතිනම් මෙහෙමම අල්ලල දාන්නත් පුලුවන්.

මම මේක ලිව්වෙ එකම එක කාරනාවක් නිසා.

පිරිසක් ඉදිරියෙ නම් සහ පොත්වල ඇති දේ කියල කෙනෙක් ක්වෝට් කරහම අනෙක් අය ඒ දේ වැරදියි කියල ඔප්පු කරන්න කරුණු මතකෙන් හොඳ හැටි නොදන්නවනම්, අර පුද්ගලය කියන දේ නිවැරදියැයි අවශේශ බහුතරය හිතා ගන්නව. විශේශයෙන්ම මේ වගේ කාරණාවලදි අඳින අය හිතනව, අනේ අරූ අර පැහැදිලි කරේ නියමෙට, බලනකොට සිරි ලoකාවෙනෙ පොරවල් ඉන්නෙ කියල.

හැබැයි මේ කතාව නිසා තව එක හොඳක් උනා. ඒ තමයි මට ප්ලිනිගෙ මේ පොත කියවන්න සිදුවීම. ඒකට දසුනට ස්තූති නොකර බෑ.

Tuesday, July 26, 2016

වසන්තයක නිමාව...


හෙළ බස හරි අපූරු මෙවලමකි. සිංහලයෝ සිගරට් සහ අරක්කු බොති. නමුත් සිගරට් බීම සුද්දාට කිසි කලෙකවත් කල නොහැක. උන් බොන්නේ අරක්කු පමණි.

නිමාව යනු අවසානයම නොවේ. චිත්‍රපටයක් උපදින්නේ ඉතාමත් හොඳින් පිටපත, රූගත කිරීම් සහ සංස්කරණයද නිමාකල පසුය.

එලෙසින්ම බ්ලොග් වසන්තයේ මේ කියනා නිමාව, එහි අවසානය නොව ෆිනිශ් එකය.

පුරා දින 44 පැවති බ්ලොග් වසන්තය 2016 සහ එහි මත විමසුම ගැන මෙහි අප කලින් ලියා තැබූයෙමු.

දුමියාගේ සංකල්පයක්, මගේත් මාධවගේත් උපකාරයෙන් 2015දී අපට හැකි පමණින් එලිදක්වත්දී අපට සුභ පැතුම් මෙන්ම විවේචන, මඩ ප්‍රහාරද ඇති පදම් ලැබුනි.

ඔබ ඕනෑම පොදු කටයුත්තකට එක්විය යුත්තේ ඌරු පිට සහ බූරු හම ඇතිනම් පමණි යන්න ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටි මමත් දුමීත් ඒ සියළු අදහස් උදහස් අතරින් සීරුවෙන් ගමන් කරමින් සිතූ පරිදිම සාර්ථකව වසන්තය නිම කලෙමු.

ඒ 2015යි.

2016දී මෙය වඩාත් සාර්ථක සහ උත්කර්ෂවත් අන්දමින් කරන්නට අපට සිතුනේ, 2015දී ලද හොඳ සහ නරක ප්‍රථිචාරන් නිසාවෙන්මය.

අනෙක් කරුණ, 2016දී මමත් දුමියාත් එකම රටක අසල්වැසියන් වීමයි.

අපි මුලින් දුරකථනයෙන් සැළසුම් හැදුවෙමු. ඒ ගැන වැඩි විස්තර කතාවට සවසට එක්ව, වෙන විස්තර කතා කරමින් බෝතල් හිස් කලෙමු.

කාලය නම් අපට ඉතාම හිඟ වූ සම්පත හැකි පමණින් කළමණාකරනය කරගනිමින්, 2016 බ්ලොග් වසන්තය අප බලාපොරොත්තු වූවාටත් වඩා ලිපි සංක්‍යාවකගේ සහභාගීත්වයෙන් අවසන් කෙරිනි.

ඒ අතරතුර දරුවන් රෝහල් ගත කිරීම්, ගෘහ සේවිකා ප්‍රශ්ණ, වෙනත් පුද්ගලික සහ රාජකාරි ගැටළු දහසක් මා දුමියා පමණක් නොව අප නව ඇඩ්මින් කමියාටද මදි නොකියන්නට තිබුනි.

සියළු බාධක මැද බ්ලොග් වසන්තය නිමාව පසුගිය සෙනසුරාදා ගල්කිස්ස බෝට් හවුස් හි අප බලාපොරොත්තු වූවාටත් වඩා සුන්දර ලෙස සටහන් විය.

පමණක් මහ ගස් හට ගන්නේ මීමැස්සෙකුගේ පරාගණය මතිනි.

බ්ලොග් වසන්තය සොඳුරු නිමාවටද එලෙස උදව් කල බින්ඟුන්, සියොතුන් රෑණකි.

ඒ සියල්ලන්ගේම සහය නොලැබෙන්නට 2016 බ්ලොග් වසන්තය මෙතරම් උසස් ලෙස නිමා වන්නේ නැත. ඒ ගැන මමත්, දුමීත්, කමියාත් හද පතුලෙන්ම ස්තූති කල යුතුය.

ඔවුනට ගෞරවයක් ලෙස මට සිහිවෙන පිළිවෙලට ඒ නම් මෙහි ලියා තබමි.


බ්ලොග් වසන්තය මත විමසුම ක්‍රියාත්මක වන අතරතුර ඒ ගැන ඉතා අවධානයෙන් සිටිමින් අප දිරිමත් කල සපතේරු උන්නැහේ

වසන්ත සම්මාණ නිර්මාණයට උද්ව් කල ලයනල් බංඩාර නම් මගේ කාර්‍යාල සහෘදයා,

සම්මාණ සඳහා අති සුන්දර ආට් වර්ක් එකක් එක රැයින් හදා දුන් ව්ශ්වකර්මයා අසංග මංජුල,

සම්මාණ ප්‍රදානය ගැන දැනුවත් කිරීමට අවස්ථාව සලසා දුන් චෙෆාකි,

බ්ලොග් වසන්තය සම්මාණ ප්‍රදානයට ඒ සුන්දර තැන ලබා දුන් මිතුරු රොෂාන් මද්දුමගේ

කෙටි නිවාඩුව අතරතුර මේ කාරණාවන්ට අවශ්‍ය නිදහස දුන් අප බිරින්දැන් සහ පැටවුන්

මේ සියල්ලන්ම සමඟින් බ්ලොග් වසන්තය වෙනුවෙන් ලිපි ලියූ සියළුම දෙනාත්, වසන්ත නිමාව සාදයට එක්වූ ඇල්කෙමියා, ඉවාන්, මාතලන්, කුෂාන්, ජීවන, අටම්, ඇනොපිලිස්, ප්‍රා ජේ, බුද්ධි සහ මැරියන් කුමරිය, තිස්ස දොඩං ඇතුලු සියල්ලන්ටම දුමී, කමී, ඉන්දික, මාධව ඇඩ්මින් මඩුල්ලේ හද පිරි ස්තූතිය පුද කරමු!

එමෙන්ම, 2016 බ්ලොග් වසන්තය වෙනුවෙන් ලිපි ලියූ, ලංකාවේ සිටි බොහෝ දෙනෙකුට ආරාධනා කරන්නට නොහැකි වීම ගැන ඇඩ්මින් මඩුල්ලේ කණගාටුවද මේ සමඟම පලකල යුතුය. ඇත්තටම මේ හමුවට විවෘත ආරාධනාවක් කරන්නට හෝ විශාල පිරිසකට එන්නට කීමට නොහැකි වූයේ, දුමීටත් මටත් දරන්නට පුලුවන් බරෙහි, කරන්නට පුලුවන් වූ වියදමෙහි ඉතා දැඩි සීමාඅවන් වූ බැවිනි. ඒ හැර වෙනත් කිසිම නිර්ණායකයක් ඔබට අරාධනා නොකරන්නට බල නොපෑ බව මෙහි ලියා තැබිය යුතුමය.

ඉදින්, නිමාව අගනා බැව් සැවොම පවසන 2016 බ්ලොග් වසන්තය, වඩා උසස් සහ පුළුල් සහභාගීත්වයක් සහිත 2017 බ්ලොග් වසන්තයක ඇරඹුමක් වනු ඇතැයි, වසන්ත ඇඩ්ඩියන්ගේ එකම පැතුමයි. ඒ පැතුම් ඉටු වන්නේ ඔබ ලිව්වෝතින් පමණි.

පලි. වසන්ත නිමාවේ රස මුසු තැන් හෙවත්, ඇනෝපිලිස් මුහුදේ පැනීම, අටම්පහුරගේ චන්ඩිකම්, ජීවනගේ ගිටාර් වාදන පමණක් නොව ඊට පෙරදා සාදයක දුටු රවියාගේ දුරකථන සෙල්ලම, චෙෆාකිගේ කෑම ඈ නෙක රස මුසු පුවත් ගැන දැනගන්න, මඳක් රැඳී සිටින්න.

වසන්ත හමුව ඇල්බම් බලන්න



Sunday, April 3, 2016

උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ. socialist by the time he is 20..!




සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්

සටනට පෙරට ආව
සරසවි කඳුළු රෑන
හැදුවේ වීර දූ පුතුන්

සරසවි කඳුලු මාල
සොරකම් කරපු දාය
පෙලුවේ  පපුව ගිණි වලින්
ඒකයි කඳුලු මේ තරම්

සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගන්න
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්

අවසන කඳුලු යාය
ගම්බිම් පැතිර යාය
සටනට කඳුලු බත් බැඳන්
අර හිත තරුණ යාය
පෙරමග කොඩිය දාය
රටතොට බඳිව් මහ තොරන්

සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගන්න
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්

සරසවි කඳුල ගැන එසේ ගැයුවේ අදට වසර 13 පෙර අප අතරින් වියෝ වූ කපුඑග් සහ අද වන විට අනෙක් පැත්තේ සිටගෙන සිටින එඩ්වඩ් ජයකොඩි නම් ගායකයාය.

ලොව දහම එයයි. වෙනස් වන්නෝ ඉදිරියටම යන අතර වෙනස් නොවන්නන් වැනසී යයි.
තරුණ කාලයේ සමාජවාදියෙකු නොවන්නතා, වයසට ගිය පසු සමාජවාදියකු වන්නත් එක ලෙස මෝඩයින්යැයි කවුදෝ කියා තිබේ. 

තරුණ ලේ කකියන විට තමා හැඳ සිටින්නේ සරමක්ද සිවුරක්ද, නැතිනම් කම්බායක්ද යන්න අමතක වේ. 

මේ සත්‍ය දැනෙන්නෙ ඒ අත්දැකීමට මුහුණ දුන් තරුණයන් මිස තරුණ කල අම්මාගේ උකුලේ නැලවූනු සුකිරි බටිල්ලන් නොවේ. 

මේ වනවිට සමාජ ජාල වල ලොකුම මාතෘකාව, ජෝක් එක වී ඇති ඒ තරුණ හිමියන් දුටු විට මට ඇතිවන්නේ අනුකම්පාවකි. මන්ද ඒ සිවුර තුල සිටින්නේ තමන් නොකල තෝරා ගැනීමක් නිසා සිවුරට හිරව, අද ලැබෙන යම් පහසුකම්, ආර්ථික වාසි නිසා තව ටික කලකට එයින් ගැලවීමට ඉඩක් නැති තරුණයෙකු විය හැක.

මෙවැන්නන් වීරත්වයට හෝ අපහාසයට ලක්කිරීම යන දෙකෙන්ම වෙන්නෙ එක ලෙසම අවැඩකි. 

අද මේ ඇන්ගිල්ල උරුක්කු කරන සාදුම තවත් වසර කිහිපයකින් අනෙක් පැත්තේ සිටින්නට ඉඩ ඇත. ඒ අප අත්දැක ඇති සත්‍යයි. 


මේ මීට වසර හතලිහකට ආසන්න කාලයකට පෙර තිරගත වූ අමල් බිසෝ චිත්‍රපටයේ තිබූ සදාකාලික ගීයකි. 



කුරුට්ටන්, ජෙප්පන් මෙන්ම වමේ බහුතුරය මේ ගීයෙ කියන්නාක් මෙන් , ඉහත ගීය ගැයූ එඩ්වඩ් මෙන් වෙනස් වී ඇත. එසේ නොවූ කපුගේලා විනාස වී ඇත.

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ
පීඩිත පංතිය අපේ පංතියයි ඒ කාලේ
සමාජවාදය අපේ පාඩමයි ඒ කාලේ
විප්ලවවාදේ ගුරුවරු අපිමයි ඒ කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ
සීතල වීදුරු කාමරයක් ඕනෑ රාළේ
ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ
බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

If a man is not a socialist by the time he is 20, he has no heart. If he is not a conservative by the time he is 40, he has no brain. – Winston Churchill

Friday, February 12, 2016

ජයග්‍රහණය.. Cheers boss..!



කොඩිය දුවහන්, උඹට දුවන්න පුලුවන් හුxx.. දුවහන්...

උන් එහෙම කිව්වට මගේ කකුල් ගල් වෙලා, පපුව නැවතිල, හුස්මත් හිර හිරවෙලා..

කල්දෙමුල්ලෙ බෝ ගහ ගාව ඉඳල අඟුලාන පාරට, ඒතනින් ගාළු පාරෙ අඟුලාන හන්දියට, එතනින් ගොළුමඩම හන්දියට, අයිත් ගාළු පාර දිගේ කල්දෙමුල්ලෙ බෝ ගහ ගාවට.

වටේකට කිලෝමීටර් හතරක් විතර. වට හයට කිලෝ මීටර් විසි හතරක්.

උඹට දුවතෑකිද?

අමිලය එහෙම ඇහුවෙ දුක දවටපු වචන වලින්. මොකද ඌ තමයි මා එක්ක සහයට පිට්ටනිය වටේ දුවල දුර දුවන්න ස්පෝට් මීට් එකට ප්‍රැක්ටිස් කරේ. ඒත් උගෙ ඇඩ්‍රස් එක ගල්කිස්සෙ නිසා කල්දෙමුල්ලෙ ගම හරහ රේස් එකට දුවන්න බෑ.

කල්දෙමුල්ලෙ රේස් කප්පිත්ත අනිල් අය්ය. මිනිහ කොළඹ දිස්ත්‍රික්කෙන්ම පළවෙනිය, ඕල් අයිලන්ඩ් දුවන පොරක්. ඒ නිසා පළවෙනි තැනට තරඟ කරන්න දෙයක් නෑ. මගේ ටාගට් එක මුල් පහට එන්න.

ඉස්කෝලෙ 1500 දිව්වට මේක තමයි පළවෙනි මැරතන් එක.

මැරතන් දුවන්නත් තිබ්බෙ ඉස්කෝලෙ දාන කික්ස් සපත්තු දෙකම තමා.

කලු ෂෝටයි, කලු ස්කිනියයි ගහල, කටු බොඩියට ලොකු සපත්තු දාල ගත්තම අර පීක් පීක් ගාල දුවන කාටුන් කුරුල්ල වාගේ. මo ගැන මටම හිතුන.

මට දුර දුවාගන්න ටිකක් පුළුවන් කියල දැනන් උන්නෙ මායි අමිලයයි විතරයි. ඒ නිසා රුපියල් පහක් ගෙවල ඇප්ලිකේෂන් එක පුරෝල දෙනකොට අවුරුදු උත්සවේ සoවිධායක අය්යල ඒක මගෙන් ගත්තෙ "රුපියල් පහට තැන්කිව්" කියන්න වගේ.

තරඟෙ දාට කලින් දා මම කලිම්ම නිදියෑව.

අම්ම අර ගිලෙන්නැති රතු හාල් එක්ක සැමන් ටින් එකක් කඩල, තක්කලි සම්බලකුයි පරිප්පුයි හදල තිබ්බ රෑට කන්න.

අවුරුදු කිට්ටුව අපේ ගෙවල්වල කෑම බීම හරිම පරෙස්සම්. මොකද තෑගි ගන්න, කැවුම් කොකිස් වලට එහෙම ගියාම, කන්න බොන්න අම්මට ඉතුරුවෙන්නෙ හරිම පොඩි ගානයි, ඒකයි.

උදේම කෙසෙල් ගෙඩි තුන හත්‍රක් එක්ක පාන් පෙති දෙකක් ගිලල මායි මල්ලිල දෙන්නයි පිටත් උනා.

හතට තරඟෙ, පෝළිම් ගස්සන්නෙ හයයි හතලිස් පහට.

මගේ සෙට් එකට, මල්ලිල දෙන්නයි, අමිලයයි, අපී තුවෙනි පටුමගේ කොල්ලො සෙට් එකමයි ඉන්නව.

අනික් උන්ට සපෝට් එකට මෝටර් බයික්, පුෂ් බයික් එමට තියෙද්දි අපේ සෙට් එකටම තිබ්බෙ බයිසිකල් දෙකයි.

කල්දෙමුල්ල පාර මැදින් ලනුව ඇදල, සුදු ඉර ගහල, කට්ටිය පේලියට හිටවල.

කෙල්ලො, කොල්ලො පාර දෙපැත්තෙ ඉඳන් ඇස් බොලේ කරගෙන, පාරට එබීගෙන බලනව ලනුව පෙරලගෙන දුවන උන්ව බලන්න.

චීස් බෝල වගේ ඉන්න සමහර කොල්ලොන්ට උන්ගෙ අම්මල, තාත්තල පටන් ගන්නත් කලිම්ම ග්ලූකෝස් දීල. උන්ගෙ නාස් යටින් කට වටේට සුදු රවුම, හරියට අමිතාබච්චන්ගෙ රැවුල වගේ.

අනික් උන්ගෙ අම්මල ග්ලූකෝස් කවන්න මෙතන පොරකත්දි අපේ අම්ම ලිප ගාව කුඩු වලට පිඹිනව ඇති දවල් බත උයාගන්න.

අනික් උන්ගෙ තාත්තල යාලුවො එක්ක මෝටසයිකල් වල නැගල පස්සෙන් එන්න සැර දාත්ත්දි අපේ තාත්ත යාපනේ, නිවාඩු නෑලු මේ අවුරුද්දෙ.

ඒත් ඒ ඔක්කොම මැකෙන්න මට හිටිය එළ කොල්ලො ටිකක්. උන්ගෙ ගාව තිබ්බෙ වතුර පුරෝපු සිලි බෑග් ටිකයි, ගැම්ම පුරෝපු හිතුයි විතරයි.

ඒ මදෑ...

වෙළාව හතයි, කට්ටියම පේලියට...සමහරු මීටර් සීයට වගේ දෙකටත් නැමිල.

ටකස්...

අර ක්ලැප් එක සද්ද කලා...

දග්..දග්.. ගගා තාර පාරෙ අඩිය ලෙලි ගිය සපත්තු දෙකත් දාගෙන මම බන්ච් එකේම ඉස්සරහට ඇද්ද.

ඒත් ඒ වෙනකොටත් අනිලයි තව දෙතුන් දෙනෙකුයි බන්ච් එක කඩාගෙන ගිහින් ඉවරයි.

පළවෙනි වටේ නිකන් ඊයෙ තෙල් දාල ගත්තු බයික්කෙ වගේ. ඇදල යනව, ගානක් නෑ.

තුන්වෙනි වටේ වෙනකොට රෙසර් වලට වැලි ඇදල. දණ පොල්කටු කටකට ගානව. මගේ කලු සරීරෙයි කලු ස්කිනියයි එකම වගේ වෙලා, දාඩියටයි, වතුරටයි එකට ඇලිල.

කලිසම පෙඟිල, ඉන වටේ දාල ගැටේ දාපු නූල නැත්තන් ඒක බරටම මග හැලිල. ඒත් මන් දුවනව...

කොඩිය එල...ඔහොම යමන්..උඹට තව දෙන්නයි පාස් කරන්න ඕන දෙවනියට එන්න...

අපේ උන් කෑ ගහනව. බයිසිකල් දෙකේ හය දෙනෙක්. උන්ගෙ වැඩේ මට අර ගිණිගන්න ගේකට වගේ මග දිගට තීන පයිප්ප වලින් පුරෝ පුරෝ වතුර ගහන එක.

පස්වෙනි වටේ අග. මට තේරෙනව මගේ කකුල් කලව හරියෙන් කවුරු හරි තද කරල ගැට ගහනව වගේ. ඔළුව බර වැඩියි, තාර පාරෙ පතුල වදිත්දි ඔලුව ටික ටික පහලට බහින්ව බෙල්ල තලාගෙන.

ඒත් මම දිව්ව.

පහ ඉවරයි, හයට ආව..

කකුල් මාරු වෙන්නෙ අර ගල්කිස්සෙ WADSCO එකේ වීදුරු පෙට්ටියක තිබ්බ බට්ටො දොන්නෙක් වැනෙන ඔරලෝසුවෙ වගේ.

කකුල් දුවන්නෙ උන්ට වයින් තියල තියෙන නිසා. නැතුව ඉඟෙන් උඩ මට දුවන්න තියා හුස්ම ගන්නත් බෑ.

යාන්තන් ගාලු පාරට ආව...

කොඩිය තව ටිකයි...ඔහොම ඇදහන්..අර ඉස්සරහ යන එකාව පාස් කරානම් උඹ තුන.

උන්ගෙ සද්දෙ නිකන් මට ඇහෙන්නෙ ජිප්සීලගෙ කුරුමිට්ටන්ගෙ සද්දෙ වගේ.

මොකද කකුල් අත් විතරක් නෙමේ, කනුත් ලොක් වෙන්න අරගෙන.

කිලෝ මීටර් විසි හයෙන් විසි දෙකක් විතරම ඉවරයි. ගමනෙ අග.

මට ඉස්සරහින් තුන්වෙනියෙක් යනව කිව්වට මට පේන මගුලක් නෑ.

එකම දේ පේන්නෙ මගෙ කකුල් අස්සෙන් පස්සට යන තාර පාර විතරයි..

කල්දෙමුල්ල පාඅරෙ සීජීආර් පිට්ටනිය පහු උනා...

අන්තිම මීටර් කිලෝමීටරේ.

මට තුන්වෙනියව පෙනුන........... ඔව් මට ඌව පෙනුන.

ඒත් ඌ දුවන්නෙ මට වඩා හය්යෙන්. මගේ ලොක් වෙච්චි කකුල්, හිරවෙච්චි අත්, බර වැඩි ඔළුව ඉඩ දුන්නෙ නෑ මට ඌ ගාවට යන්න.

අපේ උන් වතුර ගැහුවට මගේ මුළු ඇඟේම පත්තුවෙන ගින්න, කටින් එලියට දාන දුම අඩුවෙන්නෙ නෑ.

මට හති.. මට හොන්දටම අමාරියි. මට පේන්නෙ නෑ.. මාව තෙමිල, ඒත් මට තිබහයි, අමාරුයි...

මම නැවතුනා... එක පාරටම නැවතුනා...අපේ උන්ගෙ නෙමෙයි මුළු ලෝකෙම දේවල් මට ඇහෙන්නෙ නැතුව ගියා...

තව අඟලක්වත් යන්න හය්ය නැති මාව, බීල ඉවර වෙලා විසි කරපු හිස් බීම පැකට් එකක් වගේ පාවෙන්න ගත්ත.

ඒ සේරම අතරෙ එක පාරටම...

අනේ ලොකු පුතේ දුවහන්කො...


සින්ඩරෙල්ලගෙ අම්ම දිවිය ලෝකෙ ඉඳන් ආව වගේ, කුඩු ලිපෙන් බත් එක බාල, නන්ගිවත් එක්කරගෙන අම්ම ඇවිත්.

රෑ සැමන් එක්ක පරිප්පු හදල බත් දීල, උදේ කෝලි කුට්ටු දෙක තුනක් දීල රේස් එකට එව්ව කොල්ල දිනනව බලන්න අම්ම ඇවිත්..

අපි දින්නත්, පැරදුනත්, බැනුන් ඇහුවත්, මොන දේ කලත් ඉවසපු, ඒ හැමදේම දරා ගත්තු අම්ම මම දිනනව බලන්න පලෙවනි පාරට ඇවිල්ල.

මගේ ඇස් වලින් බේරිච්චි කඳුලු ඔලුවෙන් වැක්කෙරන වතුර එක්කම පහල ගලාගෙන ගියා.


මම දුවනව... ඔව් මට පුලුවන්...

එහෙම හිතුනෙ කොහොමද, ඇයිද කියන්න අදත් මම දන්නෙ නෑ.

ඒත් නොපෙනෙන ගානට ගිය තුන්වෙනිය දිහා බලාගෙන ආයි මම දුවන්න ගත්ත..

අපේ එකෙක්ගෙ බයික් එහෙක පිටිපස්සෙ ලගේජ් එකේ අම්ම, ඉස්සර බාර් එකේ නන්ගි, හැනඩ්ල් එකේ පොඩී. උන් සේරම කෑ ගහනව එක හෝසෙට.

මෙච්චර වෙලා නැතුව තිබ්බ මගේ හය්ය උන්ගෙ හඬ දිගේ මගේ ඇඟට එනව තේරෙනව..

හුලo පිරෙත්ද්දි පිම්බෙන බැලුම වගේ ඒ හඬට මගේ හය්යත් වේගෙත් වැඩි වෙනව.

අන්තිම මීටර් දෙසීය විතර..

තුන්වෙනිය ඔහොම මෙහ්ම..

ෂෙල්ටන් කඩේ ගාව සෙනග එක රොත්තට..

මගේ වේගෙ වැඩි උනා....

මම ගහනව, අනිව මූව පහු කරනව....

ලනුව පාස් කරල මැරුනත් කමක් නෑ කියල ඉතුරු සේරම හය්ය අරගෙන මම දුවන්න ගත්ත...

අම්මයි නoගියි කෑ ගහනව අර සේරටම එහා සද්දෙන්...

මම කඟවේනවගේ වේගෙ වැඩිකරා....ඔව් මීටර් සීය දුවනව වගේ...

එකායි...අඩි දහයයි දෙකායි...අඩි දහයයි ..ඉවරායි....



එදා නෝ ප්ලේස් වෙන්න ගිය මගේ පළවෙනි මැරතන් එක මම ඉවර කලේ දෙවැනිය වෙලා. ඒකට මට ලැබුනෙ වීදුරු සෙට් එකක්. දෙවනියගෙ තෑග්ග දුන්වෙනියට දීල කියල පස්සෙ එක එකා කිව්වත්, අදටත් අපේ ගෙදර තීන ඒ වීරුදුරු කීපය තමයි මගේ මුල්ම ක්‍රීඩා ජයග්‍රහණය.

අපේ අම්ම ඒ අන්තිම මොහොතෙ නිරෝෂන්ගෙ බයිසිකලේ නැගල මාව බලන්න එදා මගට නාවනම්, මම ආයි කවදාවත් මැරතන් නොදුවන්න තිබ්බ. එහෙමනම් ඉන් පස්සෙ මම ගත්තු අනෙක් කිසිම දිණුමක් නොලැබෙන්න තිබ්බ්බ.

ඒ නිසා, නිසි මොහොතෙ තමන්ගෙ වැඩිමල්ලෙක්ගෙන් ලැබෙන චියර් එක කෝටියක් වටිනව.

ඒක දන්නෙ තරඟෙකට ගියල සෙල්ලo කරල පැරදුන / දිනපු එවුන් මිසක හාන්සිපුටු විචාරකයො නෙමේ.

දයාසිරි, මේ සටහන ලිව්වෙ උඹ වෙනුවෙන් ඇමතිතුමෝ. ඇස් බී වගේ ඇස් වහ නොවැදී එළ කොල්ලෙකු ලෙස ඉදිරියටම යන්න මෙන්න උඹට අපෙන් චියර් එක...

හිප් පිප් හුරේ..!

Sunday, February 7, 2016

ඉදිරී...යේන් එන්නා..වූ....නෙක්...වහලූ...න්..ගේ.... Hot Hot Anuradhapura




කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයැයි කවුදෝ කියා තිබේ. කට වසාගෙන සිටින තෙක් ඕනෑ එකෙක් පණ්ඩිතයෙක් යැයි කියා තිබෙන්නේ ද එවැනි කට හැකර එකෙකුමය.

පහුගිය දිනවල කවුදෝ කට හැකරයෙක් "මුන්ට පන්සල මතක් වන්නේ බලේ නැති විට" යැයි අලුත් කතාවක්ද හදා තිබුනි.

මෙයනම් සහතික ඇත්තකි. බලේ නැති වූ දා පටන් බුද්ධ යන වචනය සහ සිංහල යන වදන බය්යන්ටම සින්නවූ ඒවා වී ඇත.

කොටින්ම සිංහලබෞද්ධ නම් අමුතුම නිකායක්ද බිහිව, මෙලෝ විචාරයක් නැතිව ආගමත් ජාතියත් වැට ගසා රැකගන්නට යන්නේ අර වඳුරු මිතුරා රජා රැකි අයුරිනි.

මෙහි යම් කූඨප්‍රාප්තියක් පසුගිය පස්වැනිදා සිට රැව් දෙන්නට ගත්තේ දන්නෝ බුදුන්ගේ නම් ප්‍රකට ගීය සුප්‍රානෝ ගායනයක් ලෙස නිදහස් දින උළෙලෙලෙහි යළි ඉපැදීමත් සමගය.

මේ ගායනය දුටු, සම්භාව්‍ය බටහිර ගායනා ගැන නොව, අඩුම තරමේ ඒ සින්දුවේ පදවල අරුත කුමක්දැයි යන්න පව නොදත් මීහරක් සමාජ ජාල වල එළි බසින්නට වූයේ අනේ අපේ මහා සම්මත බොදු බැති ගීය උලා කෑවායි කියමිනි.

හැමටම එස්ප්‍රෙසෝ කෝප්පයක් හෝ තුර්කි කෝපි කෝප්පයක් රස විඳිය නොහැක. හෙවි මෙටල් සංගීතය හෝ, මීයන් වෙණ කන්නාක් මෙන් ටියුං ටියුං ගානා සම්භාව්‍ය පෙරදිග සංගීතය රස විඳීමටද නොහැක. එය සමාජයේ ඉතාම සාමන්‍යය තත්වයකි. එනිසා, ඒ ගායනයේ මිහිර අමිහිරිව යමෙකුට පෙනීම අරුමයක් ලෙස නොසිතා අතැර දැමිය හැක.

ඒත් මෙය සම්භාව්‍ය වන්දනීය බොදු බැති ගීයක් යැයි කීම? එය කෙසේ අත හරිඳ?



දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//


මේ කියැවෙන්නේ කුමක්ද?

බුදුන්ගේ ධර්මය දැන සිල් රක්නා පින්වතුන් එහි බොහෝ සිටිත්, කෙලෙස් නැසු භික්ෂූන් ලෝවාමාපායෙහි වසත්.


මෙහි බුදු ගුණයක් හෝ බුදුන් ගැන වර්ණනාවක් කොහිද?

මේ ගීයේ වඩාත්ම සිත් ගන්නා සුළු කොට එන්නේ මීළඟටය. එනම් ඊනියා බොදු ගීයේ බොරු පිරුනු කොටසයි.

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ...
සෙවනැල්ලෙන් හිරු රශ්මිය භංගේ..


මේ කෙටියෙන් කියන්නේනම්, දෙව්ලොවක් මෙන් පෙනෙන මේ නුවර අපමණ සඟ ඝන වසති. ඔවුන් ඉහලින් යනවිට පොළොවට හිරු එළියත් නොවැටේ!

අද අනුරාධපුර යන ගෝඨාභයලා දකින දෙව්ලොව
 බුදු සසුන හරි හැටි පිහිටි, බණ දහම් කරමින් සිල් රකිනා පින්වතුනිගෙන් පිරි නගරයක් දෙව් ලොව නම් පංචකාම සම්පත්තියෙන් පිරි තැනකට සම කරන විට සමහරක්ට සාදු කියවෙනවා වෙන්නටත් බැරි නැත.

එර්දියෙන් යන්නාවූ සිය දහස් ගණනක් රහතුන්ගේ සෙවනැල්ලෙන් හිරු එළියද පොළොවට නොවැටේ.. අහෝ දුකකි, මේ රචකයා මේ කියන්නේ අනුරාධ පුරයේ සිටි රහතුන් අර ඇමරිකාවේ සිටියා යැයි කියන මගී පරෙය්යන් මෙන් ලක්ෂ ගණනින් අහසින් එහේ මෙහේ වැඩ්ඩ බව නේද?

ඊලඟ කෑල්ල ගමු.

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ//
අනුරාධනගරය දැන් පෙනෙනාසේ//


ලස්සන මල් පිපී ඇති පොකුණුවලින් පිරි, සේරුන් රන්චු පිටිනි සරනා සුන්දර අනුරාධපුර නගරය දැන් ඈතින් පෙනේ.

සිරි සඟබෝ නාටකයෙහිම පෙන්වන ලෙසට, "සංඝතිස්ස, සන්ඟබෝ, ගෝඨාභය යන කුමරුන් තිදෙනා මහියන්ගනයේ ඉඳල අනුරාධපුරේ එනකොට තමයි මේ අගනුවර වැනුම කරන්නෙ.

ඉතාම පැහැදිලි සුද්ධ සිංහලෙන් තීන මේ ටික නොතේරෙන බය්යො, අනේ මෙන්න අපේ බොදු බැති ගීය උළා කනවෝ කියල මැරෙන්න හදනව.

යකෝ මේකත් අර ගමේ ඉඳල මැනික ලැබිල කොළඹ ආ එඩී කොළඹ සිරියෙන් ඉපිලිල කොළොම්පුරේ ශ්‍රියා කියනව වගේ, එදා මහියංගන කැලේ ඉඳන් අනුරාධපුරේ මෙගා සිටි එකට ආ ගැටව් ඒ නුවර ගැන අතිශයෙඔක්තියෙන් වර්ණනා කරනව මිසක, කිසිම දහමක් නැතිය කියල ඔය පුක පොළොවෙ ගහගන්න අය්යලට දැන්වත් තේරෙයිද මන්ද!

මේ විතරක් නෙමෙයි, අපේ සුපින්වත් සිංහලබෞද්ධ ගොන් රැල අර විවියන් නෝනගෙ

"දුර පෙනෙන වැළි තලා, අනුරාධ පුර දිහා"

 කියන මේ වගේම අනුරාධපුරේ සුන්දරත්වය කියන සින්දුවත්,

"නොකියාම එදා ඇස්ළ මහේ සඳ ඇති පායා"

කියන සැමි නැති සොවින් හඬනා බිරියකගෙ විළාපයත්,

"වෙසක් කැකුළු අතු අග සිට නටන විළාසේ"

කියන වසන්ත සෘතු වැනුම එහෙමත් මාර බොදු බැති ගී කරගෙන තියෙන්නෙ.

මොකවත් නෙමේ, බුද්ධ, වෙසක්, සෑය කිව්ව ගමන් මුන් ඇඳගන්නව. ඉන් පස්සෙ කියවෙන්නෙ මොනාද කියල නිකන්වත් හිතන්නෙ නෑ.

එක අතකට බුද්දාගම මිසක බුදු දහම මොටද, නැද්ද මචන්ස්ල.


Friday, January 1, 2016

ගිණි වගේද කෙළි? Dubai is not in fire..



සතුට සහ දුක එකවර දහස් ගණනකට ගිණි නිසා ඇතිවෙන අහඹු සහ දුර්ලභ අවස්ථාවක සාක්ෂි කරුවකු වන්නට මේ අලුත් අවුරුද්දේ හැකිවුනි.

දුම් අතරින් ගිණිකෙළි අහසට එත්දී ස්වදේශික විදේශික සැම අත්පොළසන් දුන් අයුරු මෙන්ම, ගිණි ඉහලට එත්දී හෝටලයේ සිට පළා ආවුන් විළාප දුන් අයුරුද ඇසුවෙමි.

එහෙත් වසරක් තිස්සේ සැළසුම් කල මහා ගිණි කෙළි ව්‍යාපෘතියක්, කිසිදු දැනෙන හෝ බලපෑමක් කරන්නට ඒ අසල වූ මහල් හැටක හෝටලයේ ගින්නට බැරිවිය.

මේ රෝමය ගිණි ගනිද්දී නීරෝ විණා වැයූ කතාව නොව, ටයිටැනික් ගිලෙත්දී බෑන් චූන් ගැසූ කතාවේ තවත් දිගුවක්ද නොව, බල්ලෝ බිරුවත් තවලම ඉදිරියට යන අන්දම ලොවට පෙන්වූ, කළබල නොවී අධිෂ්ඨානයෙන් තම ගමණ යන නායකයකුගේ තවත් එඩිතර පිම්මක් බව මගේ පුද්ගලික අදහසයි.


සිතන්න, මෙවැන්නක් අප රටෙහි සිදුවූවා නම්?



එසේඑනම් මිත්‍රවරුනි, ගිණි සහ ගිණි කෙළි සමඟින් නව වසර උදාවූ ඩුබායි සිට ඔබ සැමට ගිණි නැති කෙළි පිරි නව වසරකට ආසිරි!





අළුත් අවුරුද්දෙ වැඩිපුර ලියන්න සැමට ශක්තිය ධෛර්ය ලැබේවා...



2015 අන්තිම සෙල්ෆිය :)

LinkWithin

Related Posts with Thumbnails