Monday, October 17, 2016

Avent Guard Socrates Award scam ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.



සොක්‍රටීස් අවෝඩ් නම් සම්මාණයකින් ලොවම ඇගයූ බව පවසමින් ඇවඩ්ගාඩ් යළි කරළියට පැමිණ තිබේ. ලවක් දෙවක් නැතිව භයියොද භය්යලාද එය ෂෙයාර් කරමින් අහන්නේ "අඩෝ දැක්කද, තොපි විනාස කරේ මෙහෙම මහා ව්‍යාපාරයක් නේද" ලෙසයි.

බැලූ බැල්මට හිත කඩා වැටෙන කාරණාවකි. මන්ද, එංගලන්තයේ The Europe Business Assembly (EBA) ආයතනයෙන් දුන්න නිසා එසේ මෙසේ සම්මාණයක් වන්නට බැරිය. එහෙව් එකේ යහපාළන ආන්ඩුව කර ඇත්තේ ගොං කමක් වන අතර, විනාස කර තිබ්බෙන්නේ ජාත්‍යන්තර සම්මාණයට පාත්‍ර වන සුපිරි සමාගමකි.

වතුරෙන් කාර් දුවන, පාංගෙඩියට ප්‍රශ්ණය දමා විසඳුම් විසිකල විට ප්‍රශ්ණ විසඳේයැයි සිතන,  ටැංකියේ වතුරෙන් ගෙදරට ලයිට් දෙන ජාතියේ බයිලා වලට රැවටෙන ජාතියකට මෙය පට්ට සිරා, රටේ නම බැබලූ තවත් එක් මහා සම්මාණයක් යැයි දොහොත් මුදුන් දී භාරගන්නා එක සිම්පල් වැඩකි.

එහෙත් මේ සම්මාණයත් මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධිය වැනිම වූ, පොඩි අතයට ගණුදෙනුවකින් හිමිවූ තවත් එක් සෙප්පඩ විජ්ජාවක් බව කී දෙනෙකු දනීද, කිව්වත් පිළිගනියිද?

මිනිසුන් ස්වභාවයෙන්ම ධනයට, බලයට මෙන්ම ගරු නම්බු වලට කැමැත්තෝය. මේ බැව් දන්නා නොයෙකුත් සෙප්පඩ විජ්ජා කරුවන් ඉල්ලුමට සැපයුම සලසාදී ගාණ හොයා ගනියි.

කලකට පෙර සාම විනිසුරු නම් පදවියද, ආචාර්ය පදවිද, දේශාමාණ්‍ය වැනි තනතුරුද ලංකාවේ කිහිප දෙනෙකුට යම් වැදගත් සහ පිළිගැනීමක් ඇති ආයතන විසින් ප්‍රදානය කල අතර, පෙරේතයන්ට නමුබු නාම දී හම්බු කරගැනීම අගනා ව්‍යාපාරයක් බැව් වටහා ගත් කෛරාටිකයින් විසින් අද ඒ සම්මාණ ලක්ෂයට දෙකට විකිණීමට පටන් ගෙන තිබේ.

අද මේ ගරු සම්මාණ දකින් බහුතරයක් හිකෙන් පුනා වන අතර සුළු ගොබ්බයින් පිරිසක් සහ එය දරන්නා පමණක් සම්මාණයෙන් ආඩම්භර වෙති.

ඇවන්ගාඩ් සම්මාණයත් එයට දෙවනි නොවේ. එකම වෙනස, මෙය එංගලන්තයේ සුද්දන් පිරිසක් විකිණූ එකක් වීමයි. සුද්දාගෙ නිසා අපි හිතන්නේ වැඩේ සුදු ඇතිය කියාය. ඒත් මේ තවත් එක මගඩියක් පමණි.

ඇවන්ගාඩ් හට මේ සම්මාණය දී ඇත්තේ The Europe Business Assembly නම් ආයතනයකි. ඔවුන් එංගලන්තයේ ඔක්ස්ෆෝඩ් හි ලිපිනයැති විශාල ආයතනයක් ලෙස බැලූ බැල්මට පෙනේ. නමුත් ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් බැලූ විට මේ ආයතනය කර ඇති එකම දේ සම්මාණ පිරිනැමීම පමනි.

වසරකට එකක් නොව දෙක තුනකි. රහස එයයි. එපමනක් නොවේ, මේ සම්මාණ ලැබී ඇත්තේ ලෝකයේ ඉතා ඉහලින් වැජඹෙන ප්‍රසිද්ද පුද්ගලයන්ට හෝ ආයතනයන්ටද නොවේ.

ඒව බහුතරය ලැබී ඇත්තේ ආසියානු හා අප්‍රිකානු ව්‍යාපාරික ලෝකයේ කුප්‍රසිද්ද සමාගම් වෙතය. රහස මෙයයි. මේ සම්මාණ සඳහා ඔබ අයදුම් කල යුතුය. සැබෑ ජයග්‍රාහී ව්‍යාපාරිකයන් මෙවන් "බිස්නස් අවොඩ්ස්" වලට අයදුම් කරන්නේ නැත. මේවා ඉල්ලන්නේ තමන්ගෙ "යම් කිසි" අඩුවක් සහතිකයෙන් වැසීමට බලා ඉන්නා අණ්ඩපාලයන් හෝ මේ ගැන හරි හැටි නොදැන අහුවෙන මෝරුන් පමණි.


මේ පින්තූරයෙන් දැක්වෙන්නෙ ඇවන්ට් ගාඩ්ට සම්මාණ දුන් උළෙලයි. එහේ පුටු ගණනටවත් මිනිසුන් නැත.

බැක් ඩ්‍රොප් එක බාල බැනර් එකක් පමණි. අහෝ, මේ යුරෝපීය මහා සම්මාන උළෙල දුප්පත් ලoකාවේ ස්ලිම් අවොඩ් තරම් වත් ගාම්භීර සුන්දර එකක් නොවේ, තනිකරම ලෝ බජට් වැඩකි. වියදම් කර ඇත්තේ සුන්දර පසුතලයක් සහිත හෝටලයට පමණි.

දුප්පත් ලoකාවේ ස්ලිම් අවෝඩ් වේදිකාව


කතාව ඉවර නැත.

මේ The Europe Business Assembly ආයතනය පිළිබඳව සෙව්විල්ලෙන් සිට, ඔවුන් කරන සම්මාණ මගඩිය ලොවට රහස්ක් නොවේ. මෙයට පෙර සර්බියාව විසින් එය හෙලිකරගෙන තිබේ.

මෙහි ඇත්තේ ඒ වාර්ථාවයි.

සර්බියානු සoවිධානාත්මක අපරාධ වාර්ථා ව්‍යාපෘතිය මගින් EBA යනු මුදලට සම්මාණ පිරිනමන සහ සම්මාණ බිස්නස් එකෙන් ජීවත් වන පිරිසක් බව කදිමට එහි හෙලිකර ඇත.

එපමනක් නොවේ, මෙහි දැක්වෙන ආකාරයට මේ සොක්‍රටීස් ස්ම්මාණයෙහි මිළ යුරෝ 9700කි. සමහරවිට මේ මිළ ඊඩ වැඩි වීමටද ඉඩ තිබේ.

මේ ඉන්දුනීසියානු පුවත්පතක මේ වන්චාව ගැන පලවූ තවත් වාර්ථාවකි.


ඉදින් මහතුනි, ඇවන්ගාඩ් ජාත්‍යන්තර සම්මාණයකින් යුරෝපයේද්ගී පුද ලැබුවායැයි උදම් නොවන්න, චූන් නොවන්න. ඔවුනට යුරෝ දස දහසක් ගෙවා සම්මාණයක් ගැනීමට තිබූ ආර්ථික ශක්තිය ගැන පමණක් සතුටුවන්න.

Wednesday, October 5, 2016

මඩ සුද්ද කරන ගොඩ හේවා ..


පහුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහත්මය ගැන නාලක ගොඩහේවා මහත්මය ලියල තිබ්බ ලිපියක් හා හෝ ගාල රට පුරාම පැතිරුනා. ඒ ලිපිය කියෙව්වම මට ආ ප්‍රශ්ණ කිහිපය මම නාලක ගොඩහේවගෙන්ම ඇහුව. මේ තියෙන්නෙ ඒ ප්‍රශ්ණ සහ පිළිතුරු.

නාලක ගොඩහේව මහතාගෙ මුල් ලිපිය මෙතනින් ගිහින් කියවන්න.



මෙන්න ඒ ලිපිය කියවා මම නැගූ ප්‍රශ්ණ හතර

 හිතවත් ගොඩහේවා මහත්මයානනි, ඔබ කලෙක සිට දන්නා අයෙකු ලෙස මේ කියා ඇත්තේ සත්‍ය බව පිළිගන්න කැමති නමුත් , එයට පෙර මෙහි අපැහැදිලි තැන් කිහිපයක් විමසන්නට කැමැත්තෙමි.

1. ඒ වන විට කිසිදු පෞද්ගලික ආයතයක මුල් පුටුවක් දරමින් එය ලාභ ලබන තත්වයකට ගෙනැවිත් ඇතැයි වාර්තා නොවෙන සහ ඉන් පෙර සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයතනික හෝ කළමනාකරණ අත්දැකීම් පිලිබඳ වාර්තා නොවෙන , ලංකා හොස්පිට්ල් හි කොටස් හිමියකුද නොවෙන ගෝඨාභය මහතාව ලංකා හොස්පිට්ල් ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කර්න්නට අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කලේ ඇයි ?

2. කැළණිය ප්‍රදේශයේ දේවාලයක් කරමින් සිට ලොකු සියා, ලංකා ඊ නිව්ස් හි එක්නැලිගොඩ ආදීන් පැහැරගෙන ගොස් මරා දැමීම , රවිරාජ්, ලසන්ත වැන්නවුන් හට වෙඩි තැබීම සිදුවූයේ සුදු වෑන් වලින් නොවේද ?

3. කුප්‍රසිද්ද දේශපාලක දුමින්ද සිල්වා සහ භාරත ගැටුම සිදුවූ දින දුමින්දගේ සුවදුක් විමැසීමට රෝහලට පළමුවෙන්ම ආ ප්‍රභුවරයා ගෝඨාභය මහතා බව වාර්තාව තිබුනි. රජයේ ලේකම් වරයෙකු ලෙස, රාජ්‍ය නිළධාරියෙකු ලෙස දුමින්ද වැනි "සුපිරිසිදු" දේශපාලකයකු පැත්තේ සිට ගැනීම කෙතරම් සදාචාරාත්මකද?

4. තංගල්ලේදී සමූහ දූෂනයට ලක්වූ රුසියානු තරුණියට කිසිදු අතවරයක් වී නැතැයි බොරු වෛද්‍ය වාර්තා නිකුත් කරමින් පාර්ලිමේන්තුව හා රට රවටමින් හොර රහසේ ඇයට ප්‍රතිකාර කර රටින් පිට කර හැරුමට ගෝඨාභය මහතා සභාපතිවරයා වූ ලංකා හොස්පිට්ල් සහ එතුමා ලේකම් වූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කලේ ඇයි ?

ගොඩහේවා මහත්මයාට මෙහි පිළිතුරු දීමට ඉඩක් නැතිනම් ඔබේ නමම හිමි ආනන්දයේ සිට සිටි ඒ පැරණි මිතුරාගෙන් මගේ අංකය සහ විස්තර සොයා ගත හැක.

ස්තූතියි, 

ඉන්දික.



මෙන්න මගේ ප්‍රශ්ණ වලට ඔහු දුන් පිළිතුරු

හිතවත් ඉන්දික කොඩිතුවක්කු මහතානෙනි..

(1) නාගරික සංවර්ධනයේ කිසිදු අත්දැකීමක් නොතිබුනු ගොඨාභය දුගඳ හමමින් තිබුනු කොළඹ ආසියාවේ පිරිසිදුම හා වේගයෙන්ම සංවර්ධණය වන නගරය කලේය ( 2014 පසු තත්වය ඔබ දනී). 2009 පෙර මිලියන 18ක අලාභයක් ලැබු ඇපලෝ රෝහල සම්පූර්ණ පරිවර්ථනයකට ලක්කොට මිළ ගනන් ඉහල නොදමා 2014 වන විට මිලියන 740 ක ලාභයක්ද පෙන්නුවේය ( ඉන් පසු ආ පළපුරුදු අය කල හැටි බලන්නට වාර්ශික වාර්ථා කියවන්න ) එම නිසා හිතවත් මහතානෙනි ඔබේ පළවන ප්‍රශ්ණයට පිළිතුර අපට තීරණ ගන්නට පෙර තරමක් දුර පෙනෙන බවයි.

(2)මේ දේ වල් ඇස් වලින් දුටුවා සේ කියන ඔබ කල යුත්තේ වහාම සී අයි ඩී යට ගොස් ඔබ ඇසින් දුටු කරුණු ඔවුන්ට වටහා දීමයි. හේතුව අදවනතුරුත් ඔවුන් රණවිරුවන් පිරිසක් නඩු නැතුව අත් අඩංගුවේ තබා ගෙන අඳුරේ අතපත ගානා බැවිනි. මේ කාරණා පිළිබඳ ඔබේ විශේසඥ දැනුම ඔවුන්ට මහඟු උපකාරයක් වනු ඇත.

(3)වෙනෙකකු විසින් කර තිබුන පත්වීම හරි හෝ වැරදි වේවා දුමින්ද එවකට ආරක්ෂක අමාත්‍යංශයට පත් කොට තිබූ අධීක්ෂක මන්ත්‍රීවරයායි. මීට අමතරව පැල්පත්වාසීන් මහල් නිවාස වල පදිංචි කිරීමේ ව්‍යාපෘතිය මහජන සහයෝගයෙන් කරන්නට දුමින්ද නාගරික සංවර්ධන අධිකාරියට ඒ දිනවල විශාල උපකාරයක් වූ බව මා අසා ඇත. තමන් දන්නා කෙනෙකුට වෙඩි වැදී ඇතැයි ආරංචි වූ විට යමෙක් ඉස්පිරිතාලයට යන්නේ නඩු අසා තීන්දු ලබාගෙන නොවෙයි. මා මේ ගැන දන්නේ එපමනයි.


(4)තංගල්ලේදී සමූහ දූෂනයට ලක්වූ රුසියානු තරුණියට සම්පූර්ණ ආරක්ෂාව සපයා ඇය ලංකා හොස්පිටල් වෙතට ගෙන ආවේ දූෂකයාගේ ප්‍රදේශයෙම සිටිනවිට දේශපාලනඥයන්ට් බලපෑම කිරීමට ඇති ඉඩ අඩුකිරීමට බව මම ඉතා වගකීමෙන් කියන අතර එම දිනවල පුවත් පත් රැසකම මුල් පිටුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා සංචාරක මන්ඩලය දේශපාලනඥයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක් සිට ක්‍රියා කල ආකාරය සඳහන් විය .ඔබේ බුද්ධි අංශයට එම පුවත් පත් සොයාගත හැකි අතර එක් පුවත්පත් ඡෙදයක් මෙහි සඳන් කරමි.24 year old Victoria Alexandrevna suffered a blunt trauma and has sustained a skull fracture. She was immediately admitted to the emergency trauma unit and was taken for an urgent operation. She was kept in the High Dependence Unit of the Neurosurgical Unit until she was transferred to Lanka Hospitals on Tuesday December 27. This was requested by the Chairman of the Sri Lanka Tourist Board Dr. Nalaka Godahewa” who made a special visit to the Karapitiya Hospital on Monday December 26, to see Alexandrovna . According to Dr. Senadheera, the Chairman of the Tourist Board made a special visit to the Karapitiya Hospital on Monday December 26, to see Alexandrovna and make arrangements to have her transferred to Lanka Hospitals. - (Sunday Leader Jan 1st 2012)දූෂනයට ලක්වූ රුසියානු තරුණිය වහාම රටින් පිටවූයේ ඇයගේ පවුලේ ඉල්ලීම නිසාවන අතර මට මතක තරමින් එය මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ වලට බධාවක් වන නිසා දින කිහිපයක් නතරවන ලෙස පොලීසිය කල ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ වික්ටෝරියා සිටි මානසික කම්පනය නිසායි. සියලු කුණු බේරුවල් බොක්කට කීවාසේ කොහේවත් සිටි ගොඨාභය රාජපක්ෂ මෙයට පටලවන්නට අනිසි උත්සාහයක යෙදීමෙන් ඔබ ඔහුට කරන්නේ අසාධාරණයකි.

ඉහත පිළිතුරු වලට මා දුන් ප්‍රතිඋත්තරය මේ... 

හිතවත් ගොඩහේවා මහතාණනි. ඔබගේ කරුණු දැක්වීමට මහත්සේ ස්තූති කරන අතර, එයට අවසාන පසුවදනක් ලෙස මේ ටිකත් එක් කිරීමට ඉඩ දෙන්න.

1. මා විමසා සිටියේ පෙර අත්දැකීම් සම්බන්ධව වාර්ථා නොමැති, කොටස් හිමියකු නොවන්නෙකු එක්වරම උසාවි තීන්දුවෙන් ඇපලෝ රෝහල රජයට පවරා ගත්පසු සභාපති කලේ ඇයිද යන්නයි? 

2009 ට පෙර ඇපලෝ රෝහල පාඩු ලැබුවානම්, ඒ එකල ඔබ ප්‍රධාන විධායක නිළධාරියාව සිටි ( එවක ස්ටැසන් හිමිකාරීත්වය තිබූ ) ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ උප සමාගමක් ලෙස සිදු වූවක් නොවේද? කෙසේ වුවත්, ඇපලෝ රෝහල ලාභ ලබන තත්වයට පත්කලේ "නාලක ගොඩහේවා" බව ඔබ විසින්ම බොහෝ තැන්වල ලියා, කියා ඇත. එහෙත් දැන් කියන්නේ එහි සැබෑ හිමිකරු ඔබ නොව ගෝඨාභය රාජපක්ෂ බවනම්, එය ඔබතුමන් පමාවී කරනා සත්‍ය හෙළිදරව්වකැයි බාරගමු.

2. මගෙ ප්‍රශ්ණය වූයේ ඉහත නම් සඳහන් කල පිරිස සුදු වෑන් ( මෙහි සුදු වෑන් යන සංකල්පමය වචනයෙන් නාඳුනන පුද්ගලයන් පිරිසක් හැඳින්වෙන බව සිහිපත් කරමි ) වලින් අතුරුදන් කල හෝ මරා දැමූ අය නොවේයිද යන්නයි. මන්ද, ඒ ඝාතනවල සැබෑ හිමිකරුවන් කවුදැයි පසුගිය රජය සමයේ පරීක්ෂන සිදු කොට අනාවරණය කිරීමට අවශ්‍ය තරම් කල් තිබුනමුත් එසේ නොකිරීමෙන් ඒ අය සුදුවෑන් මරණ බව සමාජයේ තහවුරු වූ බැවිනි. 

ම එය ඇසූයේ ඔබ අසා තිබූ "සුදු වෑන් වලින් අතුරුදන් වූවන් කිසිවෙකුත් ඔබ දන්නවාද" යන පැනයට පිළිතුරක් ලෙසය. 

ඉදින්, ඔවුන් රාජ්‍ය ත්‍රස්වාදයේ සුදු වෑන් වලින් ස්වර්ගය පෙන්වීමට ගෙන නොගියේ නම්, එය ඔප්පු කිරීම කල හැකිව තිබූ හොඳම පුද්ගලයා ගෝඨාභය මහතාමය. නමුත් එසේ නොකිරීමෙන්, නොකල වරදකට තමන්ට එල්ලවන චෝදනාවෙන් ගැලවීම ඔහු උවමනාවෙන්ම වෑලකීම ඇති කරන්නේ සාධාරණ සැකයක් නොවේද?

3. නැවතත් මගේ ගැටළුව වූයේ රාජ්‍ය නිළධාරියෙකු හැටියටත්, වින්දිතයන්ට යුක්තිය ලබාදීමේ යාන්ත්‍රනයේ එක් ප්‍රධාන පාර්ෂවයක ඉහළම නිළධාරියා ලෙසත් එතුමන් "කුප්‍රසිද්ද" මන්ත්‍රීවරයාගේ පැත්ත පමණක් ගත්තේ ඇයිද යන්නයි. එය පැහැදිලිවම අනෙක් පාර්ශවයට " මම දුමින්දට සපෝට්" යන්න එලිපිට කල දැණුම් දීමක් ලෙස මාජ ගත කිරීම කෙතරම් සාධාරන සහ සදාචාර සම්පන්නද යන්නයි. ඔබට එයට සෘජු පිළිතුරක් නැති බව මම දනිමි. 

4. ඔබ අදාල කාරණය සම්භන්ධයෙන් කර ඇති මැදිහත්වීම සහ ගත් පියවර නිවැරදි බවට තර්කයක් නැත. නමුත් නැවතත් මගේ ප්‍රශ්ණය " ගෝඨාභය රාජපක්ෂ සභාපති වූ ( සහ ඔබ අධ්‍යක්ෂ වූ) ආයතනයකින් එතරම් සංවේදී කාරණාවක් සම්භන්ධයෙන් පාර්ලිමේන්තුව පවා නොමග යවමින් වැරදි තොරතුරු නිකුත් කලේ ඇයි"ද යන්නයි? ඔබතුමන් නොදන්නේ නම්, 2013 ජූලි 11 දින දයාසිරි ජයසේකර මන්ත්‍රී තුමන් පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්ණයකට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන් පිලිතුරු දෙමින් කියා සිටින්නේ අදාල තරුණිය ස්ත්‍රී දූෂනයකට ලක්ව නොතිබුන බවයි. එවිට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ මේ තොරතුර විස්වාස කල නොහැකි බවත් ඔබට එය ලැබුනේ කෙසේද යන්නත්. මෙයට පිළිතුරු දෙන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී තුමන් පවසන්නේ තමන් අදාල තොරතුරු රාජ්‍යය ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබා ගත් බවයි ( හැන්සාඩ් වාර්ථාව 218 කාණ්ඩය, 3 කළාපය, 337/338 පිටු ). මෙවන් ජාත්‍යන්තර වශයෙන් අපකීරිතියක් ඇතිවෙමින් තිබූ සිදුවීමක් පිළිබඳව ඔබ දෙපළ පාළනය කල රෝහලෙනුත්, එතුමන් පාළනය කල අමාත්‍යාන්ශයෙනුත් ඉතාම නිර්ලජ්ජිත ලෙස රටේ උත්තරීතර ආයතනයට සහ ලෝක ප්‍රජාවට ලබා දෙන වැරදි තොරතුරු වලට ආයතන ප්‍රධානීන් වගකිව යුතු නැතිද?

හිතවත් ගොඩහේවා මහතානනි. තවත් එක් වටිනා කාරණාවක්. සුදු ( හෝ වෙන පාටක ) වෑන් ගැන, මිනී මෝරු ගැන පත්තරවල තිබූ දේ විස්වාස නොකරන්නැයි අපට කියන ඔබ තුමන්ටම, ඒ සුදු වෑන් සංස්කෘතියට එරෙහිව ලියූ සහ අවසානයේ ඒ සංස්කෘතිය විසින්ම මහ දවාලේ පාර මැද මරා දැමූ ලසන්ත වික්‍රමතුංගයන්ගේ පුවත් පතේ පළවූ ප්‍රවෘත්තියක් තම මතය ඔප්පු කිරීමට යොදා ගැනීමට සිදුවීම කෙතරම් අභාග්‍යසම්පන්නද?


යම් සේවකයකු දින දහයක් නිවැරදිව අවංකව රාජකාරිය කලත්, ඔහු වැරදූ හෝ පාඩු කල විට, ඔහුගේ සේව්‍යයන් අර පෙර දක්ෂතා නිසා ඒ වැරදි අඩුපාඩු දෙස නෑසූ කන්ව නොසිටින බව ඉතා දක්ෂ පරිපාළකයෙකු ලෙස ඔබ නොදන්නේ නැති බව මම දනිමි. ගෝඨාභය රාජපක්ෂ කල හොඳ අපට අමතකව නැත. එහෙත් එය නරක අමතක කරන්නට කාරණාවක් නොවේ. එමෙන්ම ලොව ඕනෑම කෙනෙකුට පෙර අඩුපාඩු තුලින් ඉගෙන වඩා හොඳ වීමට අවස්ථාවක් සහ අයිතියක් ඇති බවද අපි පිළිගන්නෙමු. ඔබ සැමට ජය!

LinkWithin

Related Posts with Thumbnails