Friday, December 25, 2015

හැඳිමිටේ නුවණ... feminist logic


අපේ කට කහන එකා අලුත් පෝස්ට් එකක් දාලනෙ. ඒ පෝස්ට් එකේ මුල කෑල්ල ඌ මූණු පොතේ දාපුවම මම එතන දපු කම්නෙට් එකයි, තවත් වයිෆ් කතා කීපයකුයි එකතු කරල මාත් පෝස්ට් කට්ටක් තලා ගන්නයි බැලුවෙ.

මේ ලඟදි දවසක මමයි තව ගේ ගාව ඉන්න යාළුවෙකුයි රෑ අටට විතර අපේ ගෙවල් වල ඉඳල කිලෝමීටර් 120 විතර ඈත තියෙන ෆුජෙයිර කියන සිටි එකට යන්න පිටත් උනා මගෙ යාලුවගෙ පොඩි වැඩකට. අපේ ප්ලෑන් එක තිබ්බෙ ගිහින් එහෙමම අනික් අතට එන්න මොකද පහුවෙනිදත් වැඩ නිසා.

දැන් ඔන්න ගමනෙ කිලෝමීටර් තිහක් විතර ගියාම යාළුවට එනව කෝල් එකක්.

මට ඇහෙන්නෙ ඌ කතා කරන ටික විතරයි.

නෑ ඉන්දිකගෙ කා එකේ යන්නෙ, අපි ගිහින් අනික් පැත්තට එනව.

අපි කාල එන්නං, ඕගොල්ලො කාල නිදියගන්න.

පිස්සුද අනේ අපි එනකොට දොළහ විතර වෙයි.

පිස්සුද! පොඩි උන් බඩගින්නෙනෙ, ඒගොල්ලොන්ටත් තීන දෙයක් කන්න දීල ඔයා නිදා ගන්න.

ඔයා දැන් කියන්නෙ ඔයා ගාව හෙන්ඩුව තීනව, මම රෑ දොළහට අලියෙක් ගේන්න ඕන කියලද තකහනියෙ? විකාර කතා නොකිය පහල කඩෙන් ගිහින් පාන් දෙකක් ගෙනත් කාල නිදා ගන්න.


බීප්...


වෙලා තීන්නෙ මේකයි. මේ කිලෝමීටර් 120 ගිහින් ආයි 120 එන්න තීන මිනිහට හාමිනේ කියල එයා රස මස් හොද්දක් හැදුවය, ඒ හින්ද රෑට ළමයින්ටයි ජෝඩුවටයි කන්න එනකොට සුපර් මාකට් එකෙන් ෆ්‍රෙන්ච් ස්ටික් පාන් පොළු ගේන්නය කියල.



......................................................



මේක උනේ මගෙ තව යාළුවෙක් සහ උගෙ හාමිනෙත් එක්ක කාරෙකේ යනකොට.

මේ කියන නෝන මහත්තය කීප සැරයක්ම ඩ්‍රයිවින් ටෙස්ට් එකට ගිහින් ෆේල් වෙලා ඉන්න, තවත් ටෙස්ට් වලට යන්න ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්. කොටිම්ම වාහන ගැන මෙලෝ හසරක් නොදන්න කෙනෙක් එහෙම නෙමෙයි.

ඔන්න අපි තුන්දෙනා රෑ පානෙ එනව සාජ ඉන්ඩස්ට්‍රියල් ඒරියා එක පැත්තෙ හයිවේ එකක් දිගේ. ඒ එනකොට අර නෝන මහත්තය එකපාරම,

අනේ සහන්, අර බලන්න ෂෝක් ලයිට් එකක් කාගෙ හරි වාහෙනේකින් වැටිලද කොහෙද. අපරාදෙ කවුරු හරි අරගෙන යයි.

කියල කිව්ව.

අපි දෙන්නම ටක් ගාල පෙන්නපු පැත්ත බැලුව මොකද්ද මේ කියන පාරෙ දාල ගිය ලොකු ලයිට් එක කියල බලන්න.

මෙන්න මේ වගේ දර්ශනයක් තමයි පින්වතුනි කරුමෙට අපි දැක්කෙ.

 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




.....................................................

මේක උනේ මටමයි.

අපේ පුතාත් ඩුබායි කොන්සල් කාර්‍යාලෙ තියෙන දහම් පාසැලේ ශිෂ්‍යෙක්. එතන ඉඩ මදි හින්ද පන්ති තියෙන්නෙ ලොකු ළමයින්ට උඅදේ වරුවෙ, පොඩි දරුවොන්ට හවස. අපේ බාහු යන්නෙ හවස පන්තියට. අපි එක්ක ඉඳ හිට දහම් පාසැලේ උගන්නන, හාමිනේගෙ අසල්වැසි මිතුරියකුයි එයාගෙ පුතත් යනව. හැබැයි එහෙම ඒ අයත් එනවනම් කලින් කෝල් කරල කියනව ඒගොල්ලත් එනව කියල.

ලඟදි සිකුරාද දවසක උදේ අර කියපු ගුරු මිතුරියගෙන් ඇමතුමක් ආව. දෙන්න හායි හූයි ගාල, කෙකර නඟල කැකිරි පලල ඔන්න පැය භාගෙකට විතර පස්සෙ කෝල් එක ඉවර උනා.

අද තරින්දිල පුතාව එක්ක එනනං කිව්ව හවසට.

හවහ ට්‍රිප් එක නැති වෙච්චි සතුටෙම්ම මාත් ඉතින් හා කියල නිකං උන්න.

ඔන්න පුරුදු වෙලාවටම මායි පුතයි දහම් පාසැල් යන්න පිටත් උනා. සාජ ඩුබායි හයිවේ එකටත් දාගත්තට පස්සෙ ( අල් වාද ස්ට්‍රීට් ) මෙන්න එනව කෝල් එකක්.

ඔයා අරගොල්ලොන්ව ගත්තෙ නැද්ද?

හාමිනේ කලබලෙන් අහනව!

කාවද?
 
තරින්දිව?
 
නෑ, ඒ ගොල්ලො අපි එක්ක එනව කිව්වෙ නෑනෙ!
 
මොකද නැත්තෙ මන් කිව්වෙ අනේ..

ඒ පාර සද්දෙත් ටිකක් උච්චයි.
 
ඔයා කිව්වෙ හවසට පුතා අපි එක්ක එනව කියලනෙ කිව්වෙ!
 
හරි ඉතින්, ඒ එයා අපි එක්ක යන හින්දනෙ හවසට ඒ ගොල්ලො එක්කෙ එනව කිව්වෙ..

පොඩි එකා උන්නු නිසා කුණුහරුප නොකිය ඊලඟ ඉන්ටචේන්ජ් එකෙන් හරෝගෙන ආයි ආව ගේ පැත්තට.

ප/ලි.

වෙන අවුරුදුවල 26 වෙනිදට මම ලිව්වෙ සුනාමි මතක. ඒත් මේ පාර ඒ ගැන නොලිය ඉන්න හිතුවෙ හේතු ගොඩක් නිසා. එක හේතුවක් තමයි , මේ වගේම දීර්ඝ සති අන්තෙක, නත්තලට පසුදා ආ පෝය දා සුනාමි ආපු එක.

Monday, October 5, 2015

අපි නොදන්න රග්බි... Cant we do better in Rugby..?

මේ ගතවෙන්නෙ ලෝක රග්බි වසන්තය. රග්බි, එහෙම නැත්තන් පුරුදු විදිහට කිව්වොත් රගර් ලෝක කුසලානය ගැන සහ රගර් සම්භන්ද මතක ගැන රාගල් මවි සහ රවුර්ය මාජ් දෙන්නම ලියල තීනවනෙ.

මේ කියන්නෙ ඒ වගේ ලෝක කුසලානය ගැන විශේෂඥ විස්තර විචාරයක් නෙමෙයි, වෙනස් කතාවක්.

මට සාපෙළ පන්තියෙ හොඳට හිටියට සලකල ගෙවල් කිට්ටුව ඉස්කෝලෙට උසස් පෙලට එන්න ලැබුනනෙ. ඉතින් එහෙම අලුත් ඉස්කෝලෙට අව පිනෙන් මමටත් උසස්පෙල විභාගෙටත් කලිම්ම සයින්ටිස්ට් කෙනෙක් වෙන්න ලැබුන.

ඒ කොහොමද කියනවනම්, රෝයල් එකට යන එකා රෝයලිස්ට් වෙනව වගේ සයන්ස් කොලේජ් එකට එන එකා සයන්ටිස්ට් වෙන හින්ද.

මේ සයන්ටිස්ට්ල ලංකාවෙ පාසැල් අතරෙ ජනප්‍රිය වෙලා හිටියෙ එකම එක දේකට, ඒ තමයි රගර් ක්‍රීඩාව.

විද්‍යා විද්‍යාලයෙ, එහෙම නැත්තන් පෙර තිබ්බ සත්ථිස්සර විද්‍යාලයෙ රගර් කණ්ඩායම තමා ලංකාවෙ එකම ජනප්‍රිය නොවන පාසැල, පළමුපෙල රගර් ක්‍රීඩා කරපු.

මේ අයගෙ රගර් දක්ෂතාව ලංකාවෙ අනික් සියලු පාසල් එක්ක කරට කර තිබ්බ. කොටින්ම පහුගිය මයිලෝ පාසල් පළමුපෙල රගර් ශූරතාවය ඉසිපතනෙ පරද්දල දිනා ගත්තෙත් විද්‍යා විද්‍යාලයෙ සයන්ටිස්ට්ල.

ඊට පෙරත් සයන්ටිස්ට්ල රගර් තරඟාවලි ගණනාවක විශිෂ්ඨ ජයග්‍රහණ අත්කරගෙන තියෙනව වගේම, අති දක්ෂ රගර් ක්‍රීඩකයො මහ ගොඩක් ලංකාවෙ රගර් වලට දායාද කරල තියෙනව. කොටිම්ම කැන්ඩි ක්ලබ් එකට අවුරුදු 6ක් තිස්සෙ විශිෂ්ඨම නායකයෙක් වෙච්චි සහ ඉතිහාසෙ එදා මෙදා තුර නවසීලන්ත "ඕල් බැල්ක්ස්" කණ්ඩායමට එරෙහිව ට්‍රයි දිණුමක් වාර්ථා කරපු එකම ශ්‍රීලාංකික ක්‍රීඩය වෙච්චි සංජීව ජයසිංහ බිහි වෙන්නෙත් මේ විද්‍යා විද්‍යාලයෙන්.

මේකෙ උපත ,එහෙම නැතැන්ම සයන්ටිස්ට්ල රගරයිඩ්ල වෙන්න මුල මම දන්නෙ නෑ, ඒත් ඒ අයගෙ හැකියාවෙ මුල රගර් වගේම ගමේ සෙල්ලමක්.

විද්‍යා විද්‍යාලය කියන්නෙ අනූව අග වෙනකල්ම ද්වීතීය විද්‍යාලයක්, ඒකේ ප්‍රාථමිකයක් තිබ්බෙ නෑ.

මේකට වැඩිපුරම ළමයි ආවෙ හේන පාර කණිෂ්ඨ විද්‍යාලය, එහෙම නැත්තන් අද ලළිත් ඇතුළත්මුදලි විද්‍යාලය කියන එකෙන්. මමත් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ ඒකෙන්ම තමා. මේ හේන විද්‍යාල ළමුන්ගෙ ප්‍රධානම සෙල්ලම උනේ කෝටු පාස්.

කෝටු පාස් කියන්නෙ කුරුම්බැට්ටියක් හරි ලෙලි ගහපු පුවක් ගෙඩියක් හරි නැත්තන් පොඩි අඹ ගැටයක් හරි වගේ දෙයක් අතින් අතට පාස් කරන සෙල්ලමක්. මේකෙදි ඒ පාස් කරන ගෙඩියට දෙන නම තමයි "කෝට්ට".

සෙල්ලම පටන් ගත්ත්දි කෝට්ට උඩ ගහනව. ඉන් පස්සෙ උඩ පැනල, පෙරලල කවුරු හරි එකෙක් මේක ගත්තම මිනිහ දුවනව. විරුද්ධ පිලේ එකෙක් පස්සෙන් ඇවිත් අර කෙඔට්ට හිමි එකාට තට්ටුවක් දාන තුරු ඌට දුවන්න පුලුවන්. තට්ටුවක් දැම්මට පස්සෙ නැවතිල කෝට්ට වෙන කාට හරි දාන්න ඕන.

මේ සෙල්ලම අපි ටැප් රගර් කියල කියන, රගර් ක්‍රීඩාවෙ ළාමක වර්ෂන් එකට හුඟක්ම සමානයි. එකම වෙනස ටැප් රගර් වල වගේ ට්‍රයි තියනව වෙනුවට මේ කෝට්ට පාස් කර කර ඉඳල අන්තිමට විවේක කාලෙ බෙල් එක ගැහුව, කෝටු ගහ නමින් හඳුන්වන තැනට ගිහිල්ල කෝට්ටෙන් තට්ටු කරන ( මේකට කිව්වෙ පුච්චනව ) කණ්ඩායම තමා දිනන්නෙ.

නමුත් තරඟෙ තීන අසීරුකම නිසා එහෙම ලේසියෙන් කෝට්ට පුච්චන්න බෑ. ඒකට ඉතාම හොඳින් ද්වීමේ වගේම වංගු ගහල විරුද්ධ පිලේ උන් ම්ඟ හැර යාමේ හැකියාවත් තීන්න ඕන.

අපි පොඩි කාලෙ අපේ පන්තිවල හිටපු ඉඳුලාල්, සමන්ත වගේ දක්ෂ කෝටු පාස් කාරයො පස්සෙ විද්‍යා විද්‍යාලෙ රගර් කණ්ඩායමේ කැපී පෙනන වින්ත්‍රික්වාටර් ක්‍රීඩකයො උනා.

කොටිම්ම මෙන්න මේ කෝටු පාස් ක්‍රීඩාව විද්‍යා විද්‍යාලයෙන් අති දක්ෂ ලයින් ප්ලේයර්ස්ල ලන්කවෙ රගර් පිලට දායාද කරා.

නසීම් සහ හිෂාම් සහෝදරයො, කෝලිත, සමන්ත, සංජීව ඒ වගේ කෝටුපාස් වලින් බිහිවෙච්චි ජාතික මට්ටමේ ලයින් ප්ලේයර්ස්ල.

මේ අය කවුරුත් විශාල ශරීර ඇත්තො නෙමෙයි. මම කලින් කිව සංජීව උනත් ඉතාම සාමාන්‍ය සිරුරක් හිමි කෙනෙක්. නමුත් උන්ව නවත්තන්න ලේසි පුතෙකුට බෑ.

මම මේ විස්තරය කිව්වෙ, රාජ් සහ රවි දෙන්නම කියල තිබ්බ ලංකාවට රගර් වලින් යන්න පුලුවන් ඉහලම තැන ආසියාවෙ දෙක විතර, හේතුව ඇඟ කියල.

ලංකාවෙ හැටියට සද්ධන්ත ශරීර වලින් පිරිච්චි, අලි පත රාජකීය, ඉසිපතන වගේ මුල්පෙලේ රගර් කණ්ඩයම් වලට කරට කර තරඟ කරන විද්‍යා විද්යාලෙ කොල්ලො ඉතිහාසෙ ඉඳන්න්ම ශරීරෙන් කුඩයි. නමුත් ඒක ඒ අයගෙ ජයග්‍රහණ වලට බලපෑවෙ නෑ.

රගර් වලදි පැක් එකේ බර විතරක් නෙමේ, ලයින් එකේ හැකියාවෙනුත් දිනන්න පුලුවන් කියන එක ඒ අය ප්‍රායෝගිකව ඔප්පු කරල පෙන්නල තීයෙනව.

අනික් පැත්තෙන් ලංකාවෙ පළමු පෙළ සෙල්ලං කරන පැක් එකේ ඉන්න ක්‍රීඩකයො පොඩිම නැහැ. ඉතින් ඒ නිසා නිසි තාක්ෂ්නය එක්ක හරි ක්‍රීඩකයොන්ට අවස්ථාවක් දුන්නොත් හොඳ ලයින් එකක් එක්ක අපිට රග්බිවල මීට වඩා තැනකට එන්න පුලුවන් බව, ලංකාවෙ රගර් වලට ජනප්‍රිය පාසැලක දෙවන පෙළ කණ්ඩයමේ ෆුල්බැක් ප්ලේයර් කෙනෙක් වෙලා උන්නු මම බොහොම තදින් විශ්වාස කරනව.

ඒත් එකම අවුල, අපේ රටේ ඔහොම සුද්දුස්සට සුදුසු තැන සහ මඟ පෙන්වීම ලැබෙනවනම්, දිනන්න රගර් වලට වඩා තව කොච්චර දේවල් නැද්ද.


 පාසැල් රගර් රසකතා ඊලඟ නිවාඩු දාට.

Friday, August 14, 2015

බය්යො දන්න "වාසුදේව"

//පිටරටවල ජීවත්වෙන ලංකාවෙ ටොයියො හිතන්නෙ උන්ට වඩා දැන් ලංකාවෙ තියෙන දේශපාලන තත්වෙ ගැන දන්න වෙන අය නැහැ කියලා.දැනගනිල්ලා උබලට පර සුද්දන්ගෙයි පර හමිබයන්ගෙයි සල්ලි ලොකු උනාට මෙකෙ අපේ දරැවො ජිවත් වෙන්න ඔන.....//

ඉහත සටහන මා ඥාති සහෝදරියක විසින් තම ෆේස්බුක් පිටුවෙහි තබන ලද්දකි.

ඈ මෙය පලකරන විට අරාබියේ සිටින ටොය්යකු වන මමත්, එංගලන්තයේ සිටින මගේ සහෝදරියත් එය දකින බව දැන නොසිටින්න විදිහක් නැත. එපමණක් නොව, "හම්බයින්ගේ සල්ලි" වලට ගරහන ඇගේ සටහන තම ස්වාමියා සේවය කරන "හම්බ" ආයතනයේ කිසිවකු විසින් දකින්නට ඉඩ ඇති බවත් නොදැන සිටින්නට නැත.

නමුත් එසේ දැකීමෙන් ඇයට හෝ ස්වාමියාට සිදුවිය හැකි යම් සෘණාත්මක බලපෑමක් ගැන ඇයට කිසිම හැඟීමක් නොතිබෙන්නට ඇති බව මට විශ්වාසය.

බය්යන් ලෙස වර්ගීකරණයට ලක්ව ඇති බහුතරයකගේ තත්වය මෙයයි. ඔවුන්ගේ බොහෝ ප්‍රකාෂන වල ඇති වෛරය සහ අනර්ථය ගැන ඔවුනටම හැඟීමක් නැත.

එය තමන් කරනා මහින්ද දිනවීමේ ව්‍යායාමය තරම්ම අනර්ථකාරී, සමාජ විරෝධී ක්‍රියාවක් බවට සිතන්නට ඔවුනට තර්ක බුද්ධියක් හෝ අස්වැසිල්ලක් නැත. මන්ද, බුද්ධිය වෙනුවට හැඟීම් ඉදිරියට විත් ඇති අති මන්ද බුද්ධික තත්වයකට ඔවුන් පත්ව ඇති බැවිනි.

ගහලා හරි නොගත්තේ ඇයි දැයි ඇසූ ගායිකාවට එය මොනතරම් සමාජ විරෝධී ප්‍රකාෂයක්දැයි නොසිතුනා මෙන්ම, ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් එවමින් ලංකාවේ සිටින්නන් හට සියළු සැප සම්පත් ආනයනය කරන්නට උපකාරී වෙන විදේශ ශ්‍රමිකයන්ගේ සේවය හෙලා දැකීමේ වරද මගේ ඥාති සහෝදරියටද නොවැටහෙනු ඇත.

එපමණක් නොව, මහින්ද රනිල්ට වඩා මාරාන්තික නොවන්නේ, මහින්දට එරෙහි තරුණ කැරැල්ලක් ඇති නොවුන නිසා බව ඔවුනට වැටහෙන්නේ නැත.

රනිල්ට වඩා කඩවසම්, රැවුල වැවුනු ප්‍රතාපවත් මහින්ද, රට රකින්නේ මාෂල් ටිටෝ මෙන් අවි බලයෙන් බවත්, ඔහුගේ අවි සහ බලය නැති දාට ලංකාව තවත් කෑලි කෑලි වෙන යුගෝස්ලාවියාවක් වනු ඇති බවත් ඔවුනට තේරුම් ගන්නට බැරි තරම් ඉහල දේශපාළන කරුණු කාරනාවන් වේ.

කොටින්ම ඔවුනට අනුව දියුණු රටක් යනු පාරවල් සහ ගොඩනැගිලි පමණක් වන මුත්, ඒවා සපිරි කිසිදු අරාබි රාජ්‍යක් සංවර්ධිත පළමු ලොව රටවල් ලෙස තවම පිළි නොගෙන ඇත්තේ මෙහි ඇති අව මානව සංවර්ධන සහ මානව හිමිකම් දර්ෂක නිසා බවත් මේ අය තවම දන්නේ නැත.

මෙනිසා මෙවන් හය හතර නොදත් කුඩා උන්ගේ ගොන් කතාවලට තරහ ගැනීම හෝ ඒවා ගැන දුක් වීම තවත් කාලය නාස්ති කිරීමක් පමණි.

ඉදින්, නාස්ති කිරීමට කාලයක් නැති මේ මොහොතේ, කුඩා උන්ගේ විහිළු, බිණුම් සහ විකාර කතා වලට කලබල නොවී, ඒ අයට කැමති වාසුදේවක් කරගන්නටැයි කියා එළඹෙන දහ අටවැනි දිනටත් යහ පාළනය ඇති රටක මිනිසුන් ලෙස අවදිවන්නට අවැසි යුතුකම් පෙරදින සිදුකරීමට හැකිවන සම්මා සතියෙන් යුතු සතියකට සුභ පතමි!

Saturday, August 8, 2015

මහින්ද එක්ක නැගිටිමු....!

හොඳ මිතුරන් ලැබෙන්නේ හොඳ මිනිසුන්ටයැයි අර නාසය දිග බුරා මහතා වරක් පවසා තිබුනි.

මිනිසෙකුට එවන් අගනා මිනිසුන් ලැබීම වාසනාවක් හෝ අහම්බයක් විය හැක. නමුත් එහි ප්‍රථිපලය වචනයෙන් පැවසිය නොහැකි තරමේ වටිනා හැඟීමකි.

ජීවිතයේ ඕනෑම අසීරු අවස්ථාවක, එයට මුහුණ දෙන්නට යම් හය්යක් වෙන මිනිසුන් අවට සිටීම, උන්ගෙන් බලාපොරොත්තුවෙනවාටත් වඩා හය්යක් ලැබීම, මෙය අවාසනාව මැද දකින වාසනාවකි, කරදර මැද විඳින සතුටකි.

ජීවිතය යනු කොටු ගසා, සැළසුම් කර ගෙවන දෙයකට වඩා, එන දෙයට මුහුණ දෙමින් ලැබෙන දේ සතුටින් විඳිනා අපූර්ව අත්දැකීමක් ලෙස මම තරයේ අදහමි.

සෙනසුරු ලැබුවාම ඇවිද්දවන බවද කරදර දැඩිවන බවද ජෝති-පාල මහත්වරුන් කියයි. එසේනම් මේ ලබා ඇත්තේ මගේ සෙනසුරාය.

දසවරක් ගතකල රටකට, මිතුරන් පිරිසකට පමණක් නොව පස්වසක් කල රැකියාවකට සමුදී, කුඩා නිස්කලංක රටකින් පිටව පවුල් පිටින්ම තවත් රටක්, අලුත් රැකියාවක, දිනකට කිලෝමිටර 75ක් 100ක් පමණ රිය පදවමින්, මහා වේගයෙන් දුවනා රැළක් මැදට වැටී පිම්මේ දුවන්නට වීම සෙනසුරාගේම බලය නිසාමනම්, සෙනසුරා යනු කියන තරම්ම නරක නැති එකෙක් විය යුතුය.

නැතිනම්, වැටෙන්න ඉඩ දෙන අතරම හය්යෙන් අල්ලඅගන්නට අතක් දෙන එකෙකුත් එකවර ලබා නොදෙනු ඇත.

පසුගිය මැයි මස වනවිට මගේ බ්ලොග් ජීවිතයට වසර හයක් පිරුණි. නමුත් ඒ වනවිට බ්ලොග් තියා බොගක් දැමීටවත් ඉඩක් නැතිව දැඩි ලෙස කාර්‍ය බහුල, සංක්‍රාන්ති සමයක් ගෙවමින් සිටියෙමි.

එහෙත් මේ බ්ලොගයෙන් මා හමුවූ, හඳුනාගත් පිරිසක් මා වැටෙන්නට නොදී, වටකරගෙන සිටියහ. ඒ පිරිස අතර සිටි යෝධයකු වන් එකෙකු, පියෙකු ලෙස තවම මා පසුපස සිට, දුක සැප සොයමින්, අත අත නෑරම ලඟ සිටියි.

දේශපාළනය නිසාම මිතුරන් හතුරන් කරගන්නා මිනිසුන් මැද, උඹ මට සහෝදරත්වය මිත්‍රත්වය ඒ සියල්ලටම වඩා ඉහලින් තීන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්වීය.

උඹේම ගෙදර උඹේම ඉන්ටනෙට් එකෙන් ගිහින් උඹට විරුද්දව ස්ටේටස් දමත්දී, එතන වාද කර විත් එකට කා බී උඹ පහල ඇඳෙත් මම උඩ ඇඳෙත් නිදා ගතිමු.

එක් වසළයකුගේ ක්‍රියාවක් නිසා බ්ලොග් ලොව පුද්ගලික මිතුරුකම් වලින් මිදී සිටි මට, නරකෙහි මෙන්ම හොඳෙහිද අන්තයටම ගිය මිනිසුන් මෙහි සිටිනා බව පෙන්වූ සබඳ, මට නැගිටින්නට අත දුන්නාට උඹට පින්..!

තුන් මසකට පසු නැවත බ්ලොග් ලියන්නට පටන්ගනිත්දි මේ කතන්දර මෙසේ ලීවේ ස්තූති කර උඹෙ මනුස්සකම් වලට අපහාස කරන්න නොව, වසලයින් පමනක් නොව මට බ්ලොග් ලිවීම නිසාම දෙවිවරුද හමුවූ බැව් ලියා තැබීමට පමණි.

දුමී, මට බ්ලොග් නිසා ලැබුන වටිනාම දෙය නම් උඹ වැනි ඇදහිය නොහැකි තරම් හිතවත්කමින් පිරුණු මිනිසෙකු හමුවීමයි.

ප/ලි...
ඒ එක්කම මේ කරදර, කලබල මැද්දෙ මගේ තනිකම ගැන හිතල ට්‍රිප් ඕගනයිස් කරපු, ඩුබායි වට්ටක, කාගෙත් දුකට පිහිටවෙන දුකා, තිස්ස දොඩං, ඊයෙ පෙරේද කරත්තෙ බැන්ද රුචක සඳරුවන්...මේ සේරම මට හම්බ වුනේ බ්ලොග් නිසා... ඉතින් කොහොමද මේක පාලුවෙන්න යවන්නෙ?

ඉතින් මහින්දත් එක්ක අපිත් නැගිටිමු..!

Tuesday, April 28, 2015

නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ කුහක ව්‍යාපාරය.


ජාතික කොඩිය, ව්‍යවස්ථා සංශෝධන කරළියෙහි රඟන අවස්ථාවක මේ ගැන යමක් ලියන්න සිතුනේ පහුගිය දිනවල දුටු බ්ලොග් ලිපි දෙකක් සහ මගේ සහෝදරියක හා වූ දුරකථන සංවාදයකි.

මේ දිනවල ලංකාවේදී උසස්පෙළ විභාගයට සූදානම් වන තම පුතුට, උසස්පෙළවිභාගයෙන් පසු ගතයුතු මග ගැන සොයුරිය මා සමග සාකච්ඡා කලාය.

අනෙක් කාරණාව අපේ කටකහන දුමියාගේ තෝම්බුවයි. තමන්ගෙන් කෙරෙන්නට ඕනෑ දෙයක් මිසක කරපු දෙයක් ගැන කවදාවත් කතා කරනවා අසා නැති, මගේ ජීවිතයේ හමුවූ අතලොස්සක් "මිනිසුන් සහ පොරවල්" අතරේ ඉදිරියෙන්ම සිටින දුෂාන් නම් "මිනිසා" වගේ එකෙකු ලඟින් ඇසුරු කරන්නට ලැබීමත් ආඩම්භරයකි. ලාංකිකයකු ලෙස ආඩම්භර විය හැකි දේ "සොෆ්ට්වෙයාර් නම් ඉන්දියන් තමයි" යන මතය දැඩිව මුල්බැසගත් සමාජයකදී සිදුකල දුමියාගේ කතාවේ විශේෂත්වය ඌද, මා මෙන්ම ලාංකික විශ්ව විද්‍යාල කඩයිම් පෙනේරයේ හිල් අතරින් බිමට වැටුනු අදක්ෂයින් වන බැවිනි.

තෙවන කරුණ, පුටුවකට මරාගන්නට ගොස් සිය රසවත් ලේඛනයෙන් අප මුලා කිරීමට අමතක වූ පොඩි කුමාරිහාමියගේ හාවඩ් ගමණයි.

මගේ සහෝදරියත් උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා, විශ්වවිද්‍යාලයට යන්න නොලැබුන නිසා, එවක තිබූ විකල්ප වෘත්තීන් අතරින් එතරම් ඉල්ලුමක් නොතිබූ යුධහමුදා කාන්තා බළකා නිළධාරිනියක් විදිහට අවුරුදු 20 දිම බැඳී, වයස 45දි විශ්‍රාම ගොස් දැන් ගෙදර ඉන්නා දෙදරු මවකි.

අප අතර වූ කතා බහේදී ඇය කල අදහසක් උනේ උනේ "ඒ කාලෙ අපිට වගේ නෙමේන බං දැන්, ඕන තරං වෙන දේවල් තියෙනවනෙ ඒ ලෙවල් වලින් පස්සෙ කරන්න" යන්නයි.

ඇත්තටම එහෙම තියෙනවද?

මා සහ දුමී උසස්පෙළ කල මීට වසර 22 පෙර යුගයේ උසස් පෙළට ගුරුන් සහ දෙමාපියන් අපට පෙව්වේ "කොහොමහරි කැම්පස් යන්න ට්‍රයි කරන්න" යන්න පමණකි. හදිසියේවත් ඒ පිම්ම මිස් උනහොත්, ප්ලෑන් බී එකක් ගැන කිසිවිටක අසා නොතිබුනෙමු. එවක ගණිත අංශයෙන් උසස්පෙළ සමතුන්ට ඉන්ජිනියරින්, පිසිකල් නැතිනම් ඊලඟට තිබූ NDT, HNDE, TTI හෝ NCTE ගැන අපේ දැනුම බින්දුවට මඳක් වැඩි විය.

ඒ සියල්ලම කාර්මික පාඨමාලා මිස, ඉන්ජිනේරු ගමනට මුල පිරිය හැකි වෙනත් මං බව දෙමාපියන් නොව ගුරුවරුන්ටත් නිසි අවබෝධයක් නොතිබිනි. සොෆ්ට්වෙයාර් ගැන කොම්පියුටර් ගැන ඉතා විසාල ලෙස සාකච්ඡා උනද, ඉගෙන ගන්නේ මොනවාද, කොහෙන්ද යන්න ප්‍රශ්ණයක්විය. ටෙක් ශ්‍රී ලංකා සහ අයි.ඩී.එම් නම් පුද්ගලික ආයතන දෙකට අමතරව එන්.අයි.බී.එම් නම් ආයතනයක් ගැන දැනගත්තද, ඒ හැම තැනටම යලිත් තරඟ කොට ඇතුලුවිය යුතු දැඩි ඉල්ලුමක් තිබිනි.

මෙවන් කලෙක තිබූ හොඳම විකල්පය වූයේ චාටඩ් හෝ ඒ ඒ ටී එකක් දෙකක් ගොඩ දමාගෙන කන්තෝරුවකට ගොඩ වීම හෝ බැන්කුවට පැනගැනීමයි.

මිනිසුන් පිරිසක් වනයක් මැදට ගෙන අතහැර දැමූ විට, බහුතරය වනයේදීම මංමුලාවී මිය යයි. සුළු පිරිසක් වනයේම දිවි රැක ගැනීමට මං සොයයි. තවත් ඉතා සුළු පිරිසක් වනයෙන් මිදී ඒමට මං, තම අපිරිමිත උත්සාහයෙන් සොයාගනියි.

රටක අධ්‍යාපන ප්‍රතිපත්ථි සැකසිය යුත්තේ මේ මා කිවූ වනයේ මිය යන්නන් සහ ඉන් මිදෙන්නන් යන දෙකොටස ගැනම සිතා බලාය. නැතිනම් දුමියා වැනි සුළු පිරිසක් දැඩි වීර්‍යෙන් වෙහෙසවී ගොඩයනවිට, තව බහුතරයක් වනය තුලම මියැදේ.

රජයේ විශ්වවිද්‍යාලවලට උසස්පෙළ ඉහලම ලකුණු හිමි කිහිප දහසක් නොමිලේ බඳවා ගන්න විට, ඒ අවස්ථාව අහිමිවන තවත් දක්ෂයින් සිය දහස් ගණනකට, මුදල් ගෙවා හෝ ඒ විශ්ව විද්‍යාල වලම ඉගෙනුමට අවස්ථාව සලසා දිය යුතුයැයි අප කියන්නෙ මේ නිසාය.

එවිට රජයට බරක් නොවී බහුතරයකට අධ්‍යාපන වරම් ලැබේ. කුමාරිහාමිගේ, හාවඩ් නම් ලොව අංක එකේ විද්ව විද්‍යාලයේ වෙන්නේද එවැනි සෙල්ලමකි.



දැන්, මගේ සහෝදරිය කියූ ලෙසට ලංකාවෙ අද එදාට වඩා ඉගෙනුම් අවස්ථා තිබේද? මතුපිටින් පෙනෙන විදිහට එය එසේ වේ. නමුත් සත්‍ය එසේ නොවේ.

ඇයගේ පුතුගේ වඩා කැමැත්ත මෝටර්කාර්මික ඉංජිනේරුශිල්පයටයි. ඔහුට දැනටද ඒ පිළිබඳ ඉතාම හොඳ ප්‍රායෝගික දැනුමක්ද ඇත. එහෙත් මේ විෂයෙන් උපාධියක් දක්වා යා හැකි කිසිදු ආයතනයක් මෙතෙක් ලංකාවේ බිහිව නැත. කොටින්ම මේ ගැන උගන්වන ජර්මානු කාර්මික ආයතනය සහ ඔරුගොඩවත්තේ මෝටර් කාර්මික ආයතනයද තවම උගන්වන්නේ යල්පැනගිය තාක්ෂණය බව අප කල විමසුම්වලදී දැනගන්නට ලැබුනි. එහෙත් අපට මිලියන ගණනක් වාහන තිබේ!

එපමණක් නොවේ, රට පුරාම පුද්ගලික අනුබද්ධ විශ්ව විද්‍යාලද වේ. මේවා කිසිවක් නිසි නියාමනයකට යටත් නොවේ. බොහෝ එංගලන්ත උපාධි හෝ පාඨමාලා Ofqual යටතේ පිළිගන්න, QCF එකට අයත්වන ඒවා නොවේ. එනිසා මේ සුදුසුකම් බොහෝ විට ජාත්‍යන්තරයේ පිළිනොගැනෙන කඩදාසි පමණි.

කොටින්ම සිදුව ඇත්තෙ, අධික ඉල්ලුම් බොරදියෙහි තවත් මුදලාලිලා පිරිසක් මාලු බෑම පමණි.

මෙයට විකල්පය වනුයේ, ඉතා පැහැදිලි නියාමන ආයතනයක් මගින් පාළනය වන හොඳ පුද්ගලික අධ්‍යාපන ආයතන වලට ඉඩ දීම හෝ, රජයේ විශ්වවිද්‍යාල වල පාඨමාලා යාවත්කාලීන කොට, රැකියා සඳහා සුදුසු පරිදි නව පාඨමාල ඇතිකොට, උසස්පෙල සමත්, කඩයිම් ලකුණු නිසා විශ්ව විද්‍යාල වරම් නොලබන දුවා දරුන්වටත් ඒවා මුදලට හෝ විවෘත කර දීමයි.

එසේ නොමැතිව, නිදස් අධ්‍යාපනය රැක ගැනීම හෙවත් ජවිපෙ කාඩරයින් බිහිකිරීමේ ව්‍යාපෘති වලට බියැවී අධ්‍යාපනයේ අවස්ථා සීමිත කොටසකට නිකන් දීම නොවේ.

එසේ තව දුරටත් නිකන්ම පමණක් දීමෙන් වන්නේ තවත් දක්ෂයින් පිරිසක්, නැතිකමට තමන්ට නොගැලපෙන ක්ෂේත්‍රයකට හේත්තුවී අදක්ෂයින් ලෙස වියැකී යාම සහ, රටේ විදේශ මුදල් සංචිත ඉන්දියාව බංගලාදේශයේ සිට ඇමරිකාව දක්වා පොම්පකරමින් උපාදිධාරීන් නිමාණය කිරීමයි.

Wednesday, April 15, 2015

බ්ලොග් වසන්තය - මත විමසුම - A Poll

අළුත් අවුරුදු උදාවත් සමග උදාවූ බ්ලොග් වසන්තයෙහි අවසන් දින වන අද, එනම් අප්‍රේල් 15 වන දින වන විට වසන්තය වෙනුවෙන්ම වාගේ ලියැවුනු බ්ලොග් පෝස්ට් 70 ආසන්නව අපට දකින්නට කියවන්නට රසවිඳින්නට ලැබුනි.

මේ සද් කාර්‍යට එක්වූ සියලු ලියන්නන් දිරිමත් කිරීමී අරමුනින් අදාල ලිපි කියැවූ පාඨකයන්ගෙ මත විමැසීමක් පැවැත්වීමට බලාපොරොත්තුවෙමු.

මෙය හුදෙක් කියවන්නන සහ ලියන්නන් තවත් දිරිගැන්වීමේ සහ උත්තේජනය කිරීමේ අහිංසක ව්‍යායාමයකි.

එනිසා, ඔබ ප්‍රිය කරන පෝස්ටු තුනකට පහත ඡන්දය දීමේ අවස්ථාව අප සලසා දී ඇත.

බ්ලොග් වසන්තය සාර්ථක වූ බව ඔබට හැඟේනම්, එයට මූලික හේතුව ලියන්නන් දැක්වූ සහය පමණි. අප කලේ ඔවුනට සුළු සිහිකැඳවීමක් පමණි.

ඔබට මේ නම් සඳහන් යම් පෝස්ට් එකක් හෝ කිහිපයක් මඟහැරී ඇතිනම් ඡ්න්ද දෙන ස්ථානයට පහත ඇති  ලින්ක් වලින් ඒ වෙත ගොස් කියවා එන්න.

ඡන්දය දීමට ඔබ කැමතිම මාතෘකා තුනක් ( හෝ එයට අඩු ගණනක් ) මත ක්ලික් කර, ඉන් පසුව පහලම ඇති vote යන්න ක්ලික් කරන්න. 




1. වසන්තයේ මගේ කොටස සමග අන්නාසි සහ කඩලගොටු - බස්සිගෙ නවාතැන 


2. සුරා සොඬ සැමි වලප ......ඇවිද්ද පය, සුදීක. 


3. දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time? - රසිකොලොජි 


4. අළුත් අවුරුද්දේ සාංකාව...! - ඉන්දික උපශාන්ත 


5. ගොළු ළමයා… - බීට්ල් බෙයිලි 


6. එන්න ආදරය බෝ කරමු..... !!!!! (බුරු බබාගේ අවුරුදු කතාව)


7. මහ ගෙදරට නැවත පැමිණි රණවිරුවා...................... Return of a War Hero to own home - අසමි හකිමි සොයමි wichaaraka


8. අපේ ගෙදර අවුරුදු තියෙන්නෙ මෙහෙම - දිනිති දීපිකා 


9. අවුරුදු කුමාරිය - අන්සතු දිනපොත, අමිල


10. සැනකෙළියේ පුක එලියේ හරිම කතාවයි... - New Year & Cyber Festival


11. අවුරුද්ද කියන්නේ.........ඩුබායි වට්ටක්කා 


12. siyabas අරහං නං ucsc සිංගිරිස් වාතනං input tools කක්කිනං sinhala පැන්සලෙන් කොටන්නං - අටම්පහුර 


13. තේකක් බොමු ද? - Any time is tea time - රසිකොලොජි 


14. සුභ දිනෙක පැතුම.. - ඉන්දික උපශාන්ත 



15. සංසාරික පුරුද්දකට ඉඩ සලසන සහන ! -  දුකා 


16. ට්‍රිස්ටන් ද කුඥ්ඥ දිවයිනේ ඇනකික් සාමුහික සමාජය - සුජීව කොකාවල 


17. අවුරුද්දට අළුත් කෑමක්… - මාරයාගෙ හෝරාව 


18. දුමී බබා කාලේ - හැන්ඩි සීයාගේ අවුරුද්ද - දුමීගේ කට කහන කතා 


19. මිරිස් මෙච්චර සැර ඇයි? - මාධව හබරකඩ


20. සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney හබරකඪ්හ - රසිකොලොජි 


21. ඇස්බැන්දුම! (බ්ලොග් වසන්තය වෙනුවෙන් කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතාව.)


22. දන්නැ වාගේ යනකොට දත්මිටි කන්නං - අටම්පහුර 


23. මේ අවුරුද්දේ වත් නාසි කඳවුරෙන් පැනල පලයං .....................- විලක්කුව 


24. පිරිමින්ට පමණයි කිව්වට වැදගත් වෙන්නේ කාන්තාවන්ට ...... Important for Ladies but Gentlemen only ......- ඇවිද්ද පය, සුදීක 


25. මහගන්න ඕනි ඇයි? මහන්න මැසින් කෝ? - අන්සතු දිනපොත, අමිල 


26. අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම - ආගිය කතා, හසිත චාමිකර 


27. උන්දලගේ අම්මලට…- මාරයාගෙ හෝරාව 


28. ලැජ්ජා බයක් නැති කෙල්ලෙක් !!!! - මොනරු 


29. පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title - රසිකොලොජි 


30. අලුත් අවුරුද්දේ මෙක්සිකන් කෑම කමුද...? - උදිතගේ විද්යුත් සෙල්ලිපිය 


31. මගේ මුල්ම තෑග්ග - සිරාගේ කාමරේ 



32. වසන්තය ගෙදර ඇවිත් -  SUGV, MP Gunasinha,


33. අප්‍රකාශිත ආදරය - The Unsaid Love - මලියගේ සටහන 


34. වසන්තයේ අග දවසක - End of Spring is not end of life - රසිකොලොජි 


35. බාර් කෝඩ් වැඩ කරන්නේ කොහොමද - මාදවගෙ සටහන් 


36. ඇයි අපිට අයිතියක් නැද්ද? - අරුණි ශපීරෝ 


37. බ්ලොග් වසන්තයා.. අද නෙවෙයි හෙට… - මාරයාගෙ හෝරාව 


38. ප්‍රශ්ණ, ඔබට ප්‍රශ්ණයක් වන තුරු ප්‍රශ්ණ , ප්‍රශ්ණ කර ගත යුතුද ? - වෙනිවැල් ලියන්නා 


39. සෝභමාන ගුවන් ඇටෙන්ඩොං - දුමීගෙ කටකහන කතා 


40. ග්ලෙන්මෝ පාක් නමැති මගේ ඕස්ට්‍රේලියානු ගම (හුදෙක් ම වාර්තාවක් පමණි) - Grass for my feet - රසිකොලොජි 


41. ආලෝකය හා සාපේක්ෂතාවාදය - මාදවගේ බ්ලොග් සටහන් 


42. අයිස් කියුබ් වලට ලෑලි… - වෙනිවැල් ලියන්නා 


 43. වසන්තයට මගේ කොටහ…- කොන්ක්‍රීට් ප්‍රසන්න 


44. අමාරුවෙන් බස්සන පාරෝ ගුවන් තොටුපල – Paro International Airport - අපේ අහස, ඉශාර



45. වසන්තයා 5, බඩ අල්ලං හිනාවෙන්න චූටි කතා (18+) - රාජ්ගේ නවාතැන


46. මගේ ගම පරකන්දෙනිය යි - It is worth 150 Rs. for an undergraduate...! - රසිකොලොජි 


47. කුකුළේගඟ මතක - 2 …..වැන්දා The Storyteller - නිදහස් සිතුවිලි 


48. මෝර-කිඹුල් නගරය සහ කහට-දිවුල් අධිරාජ්‍යය - සුජීව කොකාවල 


49. සැබෑ නොවෙනා හීන හරි මිහිරියි - මොනරු 


50. ටෙරා ප්‍රිටා - සුජීව කොකාවල 


51. ජීවත් වන පාලම් - සුජීව කොකාවල 


52. රළ දිහා බලා සිතියම හැදු මිනිස්සු - සුජීව කොකාවල 


53. වසන්තයට පෙට්ටි කතා …- වෙනිවැල් ලියන්නා 


54. කඟවේණ්නුන් සහ ප්‍රීතියේ පරම කෝටිය (The joy of Unicorns) - බස්සිගේ නවාතැන 


55. ප්‍රථම ප්‍රේමේ - වන් සීරෝ සීරෝ 


56. වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia - රසිකොලොජි 


57. වසන්තයා 4, සීයා & මුනුපුරා with පනු කොල්ලා! - රාජ්ගේ nනවාතැන


58. වසන්තය සහ ඔබ්සර්වර් - ඕනමැන්ටල් 


59. රෙ‍කෝඩින් කොහා - සොඳුරු සිත 


60. තනිකඩ වසන්තය සහ ඉන්ෆ්ලයිට් කතා - දුමීගෙ කට කහන කතා 


61. ලඩ්ඩු පිඟාන - සිදු 


62. මහ නුගය...! A scary banyan tree..! - ඉන්දික උපශාන්ත 


 63. අයිෆල් කුළුණ සහ නෑසු කථා - සිරාගෙ කාමරේ 


64. සලාත් (ප්‍රවේසම් වන්න) - හරීගෙ හීනලන්තය 


65. රතන සූත්‍රය -රැවුල කැපූ මහින්ද වෙනුවට රැවුල කැපූ ඔසාමා ?? - දයාල් බතී 


66. සිත් ආර අවුරුදු 2 


67. අලුත් අවුරුද්ද අම්මා සහ රාත්‍රී භෝජන සංග්‍රහය.  ෴  හැලපයා ෴

68. ඉවාන් පවුලූශා - පෙර පිං


69. ගඟක් මැද රැයක් - සමකය වටේ

70. හිරු කිරණකට රවන එක - බස්සීගේ නවාතැන

71. සිතුවම.. - තනි තරුව

72. සීයා වෙනුවෙන්

73. සාතනීය ප්‍රේමය

74. මකරෙකුගේ පිය සටහන් - චානක අරුණ මුණසිංහ

75. බ්ලොග් වසන්තයේ කුගෑගීප ළකුණ - ''අනේ බ්ලොගට වදේ නොදී වරෙන් බීලා යන්න''  - කුරුටු ගෑ ගී පවුර

76. වාද බයිලා මඩුව........... මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා  - කුරුටු ගෑ ගී පවුර

77. බිය නොවනු පුත ළයේ සෙනෙහස පිහි තුඩින් නෑ මියැදුනේ ......- කුරුටු ගෑ ගී පවුර

78. සුරා මතින් තොර සුබ නව වසරක මිහිර විදිමු අප සැම මිතුරේ ....... - කුරුටු ගෑ ගී පවුර

79. පුපුරා යන විල් - සුජීව කොකාවල

80 ගඟක් වෙනුවෙන් වහල්කම් කල මිනිහෙක්- සුජීව කොකාවල

81. බෝඩිමෙන් ගෙදරට ලියුමක් | A Letter To Mom

 

සැ.යු, ඉහත ලිපි වලට අමතරව, අපට මඟ හැරුනු ලිපි වෙත්නම් ඒවා එකතු කරන්නට කාරුනික වන්න.

Tuesday, April 14, 2015

අළුත් අවුරුද්දේ සාංකාව...!



අම්මෙ කොහොමද?

අනේ...මගෙ ලොකු පුතේ..ඔයාටයි දුවටයි පුතාලටයි සියළු පැතුම් ඉටුවෙන, කිරියෙන් පැණියෙන් උතුරන, වැඩි වැඩියෙන ලැබෙන සුභම සුභ වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා...

මගේ ප්‍රශ්ණය අහල ඉවරවෙන්නත් කලින් අම්මගෙ ආදරය පිරිච්චි වචන ගලාගෙන ආව.

අම්මටත් එසේම වේවා..!  අම්මගෙ දීර්ඝ ආශීර්වාදයෙන් පස්සෙ මමත් හැමෝටම කියන කෙටි වාක්‍යෙම්ම උත්තර දුන්න.

අම්ම කිරිබත් කාල වැඩ අල්ලල ඉවරද..?

ඔව් ලොකු පුතේ, මම කිරි උතුරවල, පහන් පත්තු කරල, ඕගොල්ලො ඔක්කොටම සුභ පතල, සියළු දෙවි රැක වරණ ආරස්සාව පතල, කිරිබතුත් කාල, වැඩ අල්ලල ඉවරයි..

අම්ම මොනවද හැදුවෙ..?

මම කිරිබතුයි කොකිස් ටිකකුයි හැදුව. තාත්ත පෙරේද  ෂෙල්ටන් කඩෙන් කැවුමුයි, මුංගුලියි කෙසෙල් ඇවරියකුයි, කේක් එහෙකුයි ගෙනත් දුන්න. මට ඔය හැටි හදන්න බෑනෙ ලොකු පුතේ දැන්..

නියමයිනෙ..කොහොමද කැවුම් එහෙම රහද ඉතින්..?

අනේ මම දන්නෙ නෑ පුතේ, මට ගැස්ට්‍රයිටීස් හින්ද ඕව කන්න බෑනෙ, මම ඉතින් කිරිබත් කෑල්ලක් විතරයි කෑවෙ..

එතකොට තාත්ත..?

තාත්ත ඊයෙ සිරීපාදෙ ගියා. සනීප නැතිවෙච්චි නිසා ගිය අවුරුද්දෙත් වඳින්න බැරි උනා කියල, උදේම පිටත් උනා. මට යන්න බෑනෙ පුතේ.. අලුත් අවුරුද්දෙ ගේ පාළු කරන්නත් බෑ, අනික ගියා කියල මට ඕවයෙ නගින්න හය්යත් නෑනෙ දැන්.

එතකොට අම්ම මොනාද කරන්නෙ..?

මට ඉතින් දැන් නංගි කතා කරා, චූටි පුතා කතා කරා. දැන් ඔයා කතා කරනව. රෑට පොඩී එයි මං හිතන්නෙ!

ඇගේ හඬේ සතුට සහ බලාපොරොත්තුව පිරිල..

ඊට කලිං..?

මම ඉතින් පුටුවක් උඩට වෙලා ඔහේ නිකං බලාගෙන හිටිය..

අම්මයි මමයි පුතයි 2009 මැයි මාසෙදි.

දරුවො හතරදෙනෙක් හදන්න ජීවිතේම දියකරපු, මාස ගණනකට සැරයක් ගෙදරට එන සැමියෙක් හිමි බිරිඳක් විදිහට තම ගෞරවය උපරිම්යෙම්ම රැක ගත්තු, අහක යන බත් උලත් වේලල අග්ගලාවක් හරි හදල හැම සතයකටම වටිනාකමක් දීපු, යට ඇඳුමෙ ඉඳන් හෝදල මැදල අපිව ඉස්කෝලෙ යවපු, අපි කරපු හැම වැරදි වැඩකටකම ගුරුවරුන්ගෙන්, අසල්වැසියන්ගෙන් කෝටියක් බැනුම් අහපු, අපේ වැරදි හින්දම  නිතර තෙමුනු  ඇස් දෙකක් තිබ්බ, අපිට හෙවනක්, සරණක් සිසිලක් හදන මහා ගහක් වෙච්චි, ආදරණීය අහිංසහක ජීවිතය...

අම්ම...

දරුවො රට රාජ්ජවල සතුටෙන් උන්ගෙ පවුල්වල ඈයෝ එක්ක අවුරුද්දට තුටුවෙත්දි, ගෙදර තනියමම පහණක් දල්වල, හැඩට ඇරපු කෑම මේසෙන් කිරිබත් කෑල්ලක් විතරක් යන්තන් කාල, දරුවන්ගෙ ඇමතුමකින් විතරක් සැනසෙන, දීම මිස ලැබීම ගැන හාංකවිසියක් නොසිතන අම්ම..

අම්මෙ,

හත් අවුරුද්දකින් අම්මට බුලත් අතක් දීල වඳින්න නොආවට, පහුගිය හත් අවුරුද්දටම අපි අම්මගෙ අතින් කිරිබත් කෑල්ලක් කවාගන්න හිටියෙ නොහිටියට, අද අපි සමාජෙ කෙලින් කටින් ඉන්නව දැකල, අපේ දරු මුණුපුරන් සුන්දරව වැඩෙනව දැකල විඳින සතුට අපි නැති ඒ දුකට ඉහලින් මහ විසාලෙට උඹ විඳිනව  කියල මම දන්නව..

ඒත්...... ඉර මොනතරම් බැබලුනත් හඳ වගේ  සිසිලක් නැති හින්ද, දරුවො මොන රජවරු උනත් උන්ට බත් කටක් කවන එන තරන් සතුටක් අම්මෙකුට තවත් නැති බව දන්න හින්ද, ලබන අවුරුද්දෙවත් එකට කිරිබත් කෑල්ලක් කන්න පොඩි උන් එක්ක එනකල් උඹ සනීපෙන් සන්තොසෙන් ඉඳින් අම්මේ..

ලොකුපුතා...


Monday, April 13, 2015

සුභ දිනෙක පැතුම..අවසානය

ඔබ පළමු කොටස කියා නැතිනම්, මෙතනින් ගොස් මුල දැනගෙන එන්න.


අය්ය මේ.......


පිටිපස්සෙන් ආව සද්දෙට මාව නතර උනා..මම හැරිල බලන්නත් ඉස්සල්ල එයා මං ගාවට ඇවිත්.

අර සුදු දිග ගවුමක් ඇඳල, ඔළුවෙ මල් කිනිත්තක් ගහපු සුන්දර සුරංගනාවිය..

අය්ය, ජීව කිව්ව මස් මාළු නැති කෑම මොනහරිත් ගේන්නය කියල.


සුරංගනාවි හිමිහිට ගෙම්බට කිව්ව

කවුද ඒ මස් නොකන හරක..?

හිතේ තිබ්බ දුකත් එක්කම තරහ කටින් පැන්න. චැහ්..ගෑණු ළමයි එක්ක කතාවක් පටන් ගන්න ඕන ටිකක් නිකං පැණි වළලු වගේ වචනවලින් කියන එක මතක් වෙන්නෙම නෑනෙ. අදත් ඉස්සෙල්ලම කිව්ව ගඩොල් භාග කතාවක්.. මට එහෙම හිතුනෙ මගෙ ප්‍රශ්ණෙත් එක්කම එයාගෙ මූණ ලයිට් ගියපු තොරණක් වගේ වෙච්චි හින්ද..

නෑ, ඉතිං අපේ නංගියි එයගෙ කැමප්ස් යාළුවො ටිකයිනං නොකන්නෙ කකුල් දෙකේ බොරු කකුල් කාරයොයි, කකුල් හතරෙනං මේස පුටුයි විතරයිනෙ. ඒකයි මට පුදුම හිතුනෙ!

මං එහෙම කිව්වම මෙන්න ආයි තොරනෙ ලයිට් එකක් දෙකක් එළිය උන..

එතකොට...ඔයාද ශාකභක්ෂක..?

ඒපාරනං බුදුරැස් මාලාවම එක පාර දිළිසුනා.

හ්ම්..

එයා හිනාව තදකරගෙන ඔළුව හෙල්ලුව..

හරි මං ඔයාට වෙනමම ගේන්නං, මයිලෝ බොනවද..?

එයා ඔළුව වෙනුවට ඇහිපිය හෙල්ලුව.

අපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු එක මොහොතක්...

මං යන්නං අය්යෙ...

ඇහෙන නෑහෙන ගානට එහෙම කියපු සුරංගනාවි මගේ උත්තරේ නොගෙනම ආපහු හැරුන.

රැළ්ල සිඹින වැල්ල අපට මෙහෙම කියනවා...අදට වඩා එළිය හඳක් හෙට පායනවා...

මම ඔළුව දෙපැත්තට හොලව හොලව, සින්දුවෙ මතක් වෙච්චි පද දෙක ආයි ආයි කිය කිය ලොබි එක පැත්තට ගියා.

........................................................


තරුණ හාදයෙක් ඔළුවෙ සුම්බරයක් බැඳගෙන අෂ්ඨක කියනව. හැමෝගෙම ඇස් පෝරුව උඩ ඉන්න දෙන්නගෙ. එතන එක තොවිලයයි. රෙදි පටලවනව, තැළි පළන්දනව, බුලත් විසිකරනව..

ඒත් මං බලාගෙන හිටියෙ පෝරුවෙ එහා පැත්තෙ ඉඳල මා එක්ක හැංගිමුත්තං කරන හීනි ඇස්දෙකක් අල්ලගන්න.

ලඟටම එන්න දීල මට වෙට්ටුදාල දිව්වත් මම නෙමෙයි අතෑරියෙ. ඇස් හතිවැටෙනකල් දුවල අන්තිමට  හිර කරගත්ත.

දඩස්...

මෙච්චර වෙලා වද දුන්නට තද කරල ආල්ලගන්නව කියල හිතුවත් එහෙම කරන්න උනේ නෑ. පොලයක් බිඳල පෝරුවේ නාටකේ ඉවර කරා..

කරඬුව ඇතුපිටින් බාන්න වගේ මනමාළි පෝරුවෙන් බහිනකොට, එයත් ඒ පස්සෙ වැටුන.

කටපාඩං කරපු නැටුං, ගස් ගල් වල ගහපු පින්තූර පෙන්නුවෙ නැති අපේ චාම් මංගල්ලෙට හතර දිග්බාගෙම්ම ආ අය එකතුවෙලා ඕපදූප ආගිය තොරතුරු කතා කරන වෙලාව.ඇවිත් හිට්ය නංගිගෙ යාළුවො, නෑදෑයො, හිතේ සතුට පුරෝගත්තු අම්මල මල්ලිල එක්ක කතා කරත්දි, ලොකු අය්යට වැඩ තිබ්බ.

මම හැම දේම කරේ සතුටෙන්. මට සතුටුවෙන්න හේතු කප්පරකුත් එකක් තිබ්බ. මාව කාලෙකින් දැකපු අය වගේම නොදැකපු අයත් ඇවිත් කතා කරනව. විස්තර අහනව. ඒ හැමෝටම තිබ්බ මට කියන්න එක පොදු කතාවක්.

ඊලඟට ඔයා තමයි...

මේක මට එයාට කියන්න තිබ්බනං..!

ආගිය කතා, විස්තර අතරෙ කේක් බන්දේසි ගත්තු ෂෙරීන්ගෙ පුංචි සුරංගනාවියි, මගේ හිතේ උන්න පුංචි සුරංගනාවියි එහෙට මෙහෙට යනව එනව.

මම ඉන්න තැනකට ආවොත් කේක් බෙදන ගමන්ම මටත් ඇස්කොනෙකින් බලල හිනාවක් බෙදල යනව. ඔය අතරෙ ඉඳහිට එයා කඩිමුඩියෙ මං ගාවට ඇවිත් ඇහෙන නෑහෙන ගානට පොඩි පොඩ් උදව් ඉල්ලනව, පණිවිඩ කියනව.

අය්ය, අර ආන්ටි තව කේක් දෙකක් ඉල්ලනවනෙ. මට දැන් ඒ පැත්තෙන් යන්නත් බෑ.

අය්ය, ජීව කිව්ව අපේ බොස් එක්ක ෆොටෝ එකක් ගත්තෙ නැති නිසා පුළුවන්නම් එයාව බාර් එක ගාවින් එක්ක එනවද කියල..

 
හැබැයි ඒ වැඩ හින්ද අපිට කතා කරන්න, මොහොතක් මූණ දිහා බලන් ඉන්න ඇති පදම් හේතු මතු උනා. ඒ හැම පාරකදිම මම සිළුනිගෙ ඇස් දිහා බලත්දි, හරියට පිටට ගහල දුවන පොඩි කෙල්ලෙක් වගේ ඒ ඇස් මං දිහා බලල පැනල දිව්ව.

සින්දු, පෝළිමේ කෑම, ඕපදුප, බෝතල් අඩි වලින් පස්සෙ ජෝඩුව අලුත් සූට් එහෙකින් කළ එලි බැස්ස. සංගීත කණ්ඩායම තාලෙ වෙනස් කරා.

මෙච්චර වෙලා බෝතල් අඩි බලල බල හිටපු, ආගිය කතා කිය කිය උන්නු බොහොමයක් තමන්ගෙ සද්ධන්ත බැරල් පෙරල පෙරල නටන්න ඉස්සරහට ආව.

නංගිව එයාගෙ කැම්පස් එකෙයි ඔෆිස් එකෙයි යාලුවො ටික කරේ තියාගෙන. අනුරාධයත් පොඩි අඩියක් ගහල පාවීගෙන එනව. ඌ කොහොමත් කන බොන එකා. හොඳට සින්දු කියන්නත් පුළුවන්.

මනමාළය නැග්ග ස්ටේජ් එකට..

මම ගන්නෙමී කරකාර බන්දාල පුන්චී....වලව්වෙ හාමිනේ දැන්....

අනුරාධයගෙ සින්දුවට කෙල්ලො නංගිට හූ කියක කිය අප්පුඩි ගහ ගහ වටකරගෙන නටනව..

සාරි හැට්ට අස්ස්සෙන්  මස් කෑළි පැනපු ඇන්ටිල, මාස හතර පහේ බඩවල් තිබ්බ අංකල්ල විතරක් නෙමේ කොට්ට උර අස්සෙන් පන්දලං වගේ අතපය එලියට දාගත්තු කෙල්ලො, පච්චවඩං ඉන්දියන්, පක්ස්ථාන්, පුන්ජාබ් සූට්, සරොං, කළිසං ගහපු කට්ට කළු කොළුවො, එතනින් ගියහම තට්ටු තට්ටු ගවුම් ඇඳපු පුන්චි කෙළි පැට්ටො, අත් දිග කමිස උඩි දාගෙන, කෝට් එකේ බොත්තං කඩාගෙන නටන පුන්චි කොළු පැටව්...මේ වගේ නා නා ප්‍රකාර අමුත්තො රැළක් ඩාන්සින් ෆ්ලෝ එකේ.

අනුරාධයට කවුරු හරි තව ෂොට් එකක් ගෙනත් දුන්න. බයිසිකල් රේස් එහෙක අන්තිම කිලෝමීටරේ වගේ. හැමෝම උපරිම ජවයෙන් නටනව., කෑ ගහනව..කැමර තියෙන උන් ෆොටෝ ගහනව, එතන එක මඟුලයි..

ගිලෙන නැවක පණ බේරගන්න කාලගෝට්ටිය අස්සෙ ටෙඩිබෙයාව හොයන පොඩි එකෙක් වගේ මම සිළුනිව හෙව්ව.

ඩාන්සින් ෆ්ලෝ එක එහා පැත්තෙ කණුවකට මුවා වෙලා, නංගිගෙ ගොයින් අ'වෙ මල් බොකෙ එකත් තුරුළුකරගෙන සුරංගනාවි තනියමම..

එහෙට මෙහෙට යන එන අතරෙ දාගෙන තිබ්බ විස්කි වඩි දෙක, කණ්අඩි නටන සංගීතෙ, සාර්‍තක දවසක සැහැල්ලුව මාව උණුසුම් කරල තිබ්බෙ..

ඩාන්ස් කරමු...
සුරංගනාවි ගැස්සුන තමට හේත්තුවෙලා හිටපු  මහ කනුවත් හෙල්ලුනාද මන්ද..

පිස්ස..

ඒවට කියන්නෙ කතාකරනව නෙමෙයි තොල් මතුරනව...

මේ.. එයා මට දික් කරේ නංගිගෙ මල් බොකෙ එක.

ඕකෙන් මලක් කඩල මගෙ කෝට් එකේ ගහන්න, ඉන් පස්සෙ අපි දෙන්න ගිහින් හිමීට අර කා එකේ ඉඳගමු...

මට වඩා හොඳට විස්කි කතා කරා..

පිස්සුද?


සින්දුවෙ මොකක් හරි බ්‍රෙක් එහෙකට සංගීතෙ නැවතුනෙත්, එයා ටිකක් සද්දෙන් ඒක කිව්වෙත් එකම මොහොතෙ.

පුස්ථකාලෙ මැද්දෙ ෆෝන් එක රින්ග් උනා වගේ..අහල පහල සේරම ඇස් අපි දෙන්නව වට කරා...

ඒ...මෙන්න මේ දෙන්නාආ... පැණි හලනෝ....

රත්වෙලා උන්නු අනුරාධගෙ වොයිස් එක මයික් එක හරහ, වයර් ගොඩක් අස්සෙන් ඇවිත් ස්පීකර්වලින් එලියට පැන්නෙ අපි දෙන්නගෙම ඇඳුං ගැලවිල යන තරං සැරට...

සුළිසුළඟෙ කේන්ද්‍රය වෙනස්වෙලා මනමාළිගෙන් අපේ දිහාට හැරුන... සිළු අතේ තිබ්බ බොකේ එක කවුරු හරි ගනිත්දි වැකුම් ක්ලීනරේට අහුවෙච්චි කූඹි දෙන්නෙක් වගේ අපිව ඩාන්සින් ෆ්ලෝ එකට ඇදල ගත්ත.

හාව ගිණිමැලේට පණිනකොට බේරගන මම සක්‍රය නෙවෙයිනෙ. මම හාවගෙ අතින් අල්ලගත්ත.. හූ කියන කෑ ගහන වැදි නැටුමෙ බිලි දෙන සත්තු දෙන්න වගේ අපි දෙන්න...මැදදින් තියාගෙන ...අරුන් වටේට නටනව..

සෑහෙන වෙලාවකට පස්සෙ මණමාල ජෝඩුවට පිටත් වෙන්න ඕන හින්ද සංගීත වැස්ස නැවැත්තුව.

ඒත් ඒ වෙනකොට මම සිළුව අත්දෙකෙන් උඩට උස්සගෙන වටයක් කැරකිලත් ඉවරයි.. ඇත්තටම මමම නෙමෙයි, අර විස්කි වඩි දෙක. ඔන්න ඕකනෙ ඩෝන්ට් ඩ්‍රන්ක් ඩ්‍රයිව් කියන්නෙ... කිසිම පාළනයක් නෑ...

වැස්ස නැවතිල, කොළපාට මැලවිල, ඉඩෝරයක් හැමතැනම...හිනා වෙනුවට, සතුට වෙනුවට මහන්සිය සහ වියෝගය මූණු වලට ඇවිත්.

මේ තරං වෙලා පපුව රිදෙන්න ඇහිච්චි ඩාන්සින් බීට් එක වෙනුවට සිහින් හඬින් ගීයක් ඇහෙනව..

පුංචි දවස්වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා
වැන්ද දෙපා යලි අදත් වඳින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානණී

මල් බෝනික්කන්
පූසි පැටව් ටික
පාට ගවුම් පොඩි
අද තනි වෙනවා
පියානනෙ ඔබෙ ආසිරි විඳ විඳ
ඉරනම් ගමනක්
යන්නට යනවා

හැමෝගෙම ඇස් වල කඳුළු.

හැමදාම හැමවෙලේම අපි වෙනුවෙන් දියවෙලා මිරිකිලා සේදිලා යන අම්මගෙ ඇස් වලට තවත් එක් සීතල වැහි දවසක්.

මහ ගලක් වගේ තද, මුහුද වගේ සැර  තාත්තගෙ, ඇස් අස්සෙන් ඇවිත් කම්මුල් දෙකේ ඉරි ඇඳපු කඳුළු බින්දු  පිටි අල්ලට මාරු උනා.

අම්මට තාත්තට වැඳල, කඳුලු පෙරපු නංගි, මගේ ගාවට ඇවිල්ල මාව බදාගත්ත.

මෙච්චර වෙලා සතුටට ඉඩ දීල හැංගිල හිටපු කඳුළු ඇස් අස්සෙන් එලිඅයට පැනල නංගිගෙ උරිස්ස සිපගත්ත්දි, ඒව නවත්තන්න මට හය්ය තිබ්බෙ නෑ. එයා අන්තිමය, මම පළවෙනිය, ඒත් අපි අතරෙ තිබ්බ බැම්ම මැද උන්නු දෙන්නවත් දැක්කෙ නෑ.!

නංගිගෙගෙ කඳුලු මගේ පපුව සීතලකරගෙන පහලට එනකොට මගේ කඳුලු ඒ පස්සෙ පන්නනව....උඹ දැන් ලොකු කෙල්ලෙක් නංගියෙ..මට එහෙම හිතල එයාට යන්න දෙන්න බෑ වගේ තවත් තදින් බදාගත්ත..

අපි දෙන්න දිහා බලන් උන්න කිසි කෙනෙක් මුකුත් කිව්වෙ නෑ..හැමෝම ගොළුවෙලා..

.......................................................


ඇස්වල කඳුළු වේලිල හිතලට පාළුව පිරෙත්දි, මමයි, මල්ලිලයි, සිළුයි අම්මයි තාත්තයි,නැන්දලයි හොටෙල් එකෙන් එලියට ආව.

පොඩී, ඔයා තාත්තයි, ගාල්ලෙ නැන්දලයි එක්ක ගෙදර යන්න. මම අම්ම එක්ක කෝට්ටෙ ගිහින් එන්නං..

වෙච්චි දේ මොක උනත්, තනියම ගෑණු ළමයෙක් එක්කං ගියාම ඒ අම්ම මොනව හිතයිද කියන්න බැරි නිසා මම එහෙම කිව්ව.

අම්ම එන්න ඉස්සරහට...මම පුරුදු විදිහට කැබ් එකේ ඉස්සර දොර අම්මට ඇරිය.


නෑ කමක් නෑ පුතේ මම පිටිපස්සෙ එන්නං..
මාව ජිවිතේ වැඩිපුරම තේරුන්ගත්තෙ අම්ම. එයා හැම දෙයක්ම කරන්නෙ කරේ අපේ සතුට වෙනුවෙන්. ඒ හින්දම නීති අඩුම පරිසරයක තමයි අපි හැදුනෙ, වැඩුනෙ. ඒත් අම්ම කෙනෙක්ගෙ මේ හැඟීම් සිළුනිට අමුතුයි වගේ!!

එයා හීන් ඇස් තවත් දික් කරගෙන, මූනෙ පුදුමයක් අලවගෙන අත්දෙකෙම්ම පුන්චි කේක්පෙට්ටියක් තුරුල්කරන් බලාන ඉන්නව.

නෑ අම්මේ, සිළුනි නංගි මගින් බහිනවනෙ. ඒ හින්ද අම්ම ඉස්සරහම ඉන්න, ලේසියි.

කතාවක් නැතුවම අම්ම ඉස්සරහට ගොඩ උනා.

ලොරියකට නගින පොඩි කොලුවෙක් වගේ සිළුනි ඒ පාරත් එල්ලිල නැගල, වකුටු වෙලා ඉඳගත්ත.

කොහොමත් නිස්සද්ද අම්ම, හිතේ දුකටද සතුටද මන්ද වචනයක්වත් නොකිය හිස් බැල්මෙන් පාරබලාගෙන.

ඒත් අපි කතා කරා…, ඇස්වලින්. මම මිරර් එකේ ලියනව, එයා කියවනව..

ගල්කිස්සට නුගේගොඩ මේ තරං ලඟ උනේ අපරාදෙ කියල මට හිතුන. අපිට පැය බාගයක් ගියෙත් නෑනෙ පාගොඩ පාරට එන්න! උදේ පාන්දර කළුවරේ ආපු තැනට දවල් එනකොට හුඟක් වෙනස්. මහ මන්දිර මැද තිබ්බ සිළුනිලගෙ කළු ගේට්ටුවයි, ගස් වලින් වැහුන පොඩි වැටයි එක්ක පරණ තාලෙ පොඩි ගේ සිහිකරන්නෙ තරුපහේ හෝටලේක ලොබියෙ තනිවෙච්චි, සරමක් ඇන්ද ගමේ බණ්ඩෙක්ව.

මම බිමට බැහැල, පිටිපස්සෙ දොර ගාවට වටෙන් එනකොට සිළුනිත් බිම.

යන්නං ආන්ටී..

සිළුනි පිටිපස්සෙ දොරෙම්ම අතදාල අම්මගෙ උරහිස අල්ල එහෙම කියල, අම්මට සමු දීල දොර වැහුව.

මං එන්නං...

එයා මට වෙනුවට මහ පොළොවට කිව්ව.

වහනේ ස්ටාර් එකේ නිසා, එලියෙ සද්ද අම්මට ඇහෙන්නෙ නෑ.

අපි ආයි හම්බුවෙන්නෙ නැද්ද?

සිළුනි උත්තරයක් වෙනුවට අතේ තියන් උන්න කේක් පෙට්ටියෙ කෙරවල නැමුව..

සිනහවක්වත්, කතාවක්වත් නැති මීටරක් විතර දිග තප්පරයක් ඇගිස්සෙදි "අම්ම බලාගෙන ඉන්නව.." කියල එයා ගේට්ටුව පැත්තට අඩිය තිබ්බ

සිළුනිට කලින් ගේට්ටුව ගාවට ගියපු මම, අත උස්සල කොක්ක පන්නල ඒක ඇරිය.
පොළොවෙ ගෑවීගෙන අමාරුවෙන් ඇරුන ගේට්ටු පලුව මේහැටි තද හින්ද වෙන්නැති උදේ කුරුබිලියකින් ආවෙ..

සිළුනිලගෙ දොරකඩට වෙලා මොන්ටිසෝරි ඇඳුමක් ඇඳපු ලස්සන පොඩි පැටියෙකුගෙ අතින් අල්ලාන ඔළුවට මොට්ටැකිලියක් වගේ එකක් දාගෙන උන්නු කෙට්ටුම කෙට්ටු සුදුමැලි වෙච්චි කාන්තාවක්, ගේ ඇතුලෙන් මතුවෙච්චි තවත් ගෑණුකෙනෙක්ට පොඩි එකාව අල්ලගන්න දීල හිමිහිට අපේ දිහාට ආව.

තෑන්ක්ස්..!

ගේට්ටුව ඇරියට ස්තූති කරපු සිළුනි ඇතුලට රිංගන අතරෙ "මම ජීවට කෝල් කරන්නම්.." කියල අමතර වචන ටිකකුත් එලියට විසි කරගෙනම අර ආපු කෙනා ලඟට ගියා.

අම්මෙ මේ ජීවගෙ අය්ය.

සිළුනිගෙ අම්ම මගෙ දිහා බලල හිනාඋනාද, විරිත්තුවද මන්ද!

ආන්ටි අපි ගිහින් එන්නං...නංගි කිව්ව මෙයාව ගෙදරටම පරෙස්සමෙන් එක්ක එන්න කියල, ඔන්න අම්මයි මායි ඒ විදිහටම කරා

මම එහෙම කියල හැරිල අම්ම දිහා බැලුව.

ගේට්ටුවෙන් යාන්තන් එළියට ඇදිච්චි සිළුනිගෙ අම්ම ඒ පාර අපෙ අම්මත් එක්කනං හොඳට හිනාවෙලා, ඔළුවත් ඇලකරල ස්තූතිය පෙන්නුව...

ඒ ගොල්ලො ඇතුලට උනාම මම එක අතින් උස්සල ගේට්ටුව වැහුවෙ, හැබැයි අරිනකොට තරන්නම් බරක් දැනුනෙ නෑ.

………………………………………………………….

නංගිට ආයි වැඩට යන්න තිබ්බෙ සතියකින්. ඒ වෙනකල් සිළුනිගෙන කෝල් එකක් එන්න ඉඩක් නෑ. හෝම් කමින් එකක් කියල ලොකු උත්සවයකිත් නැති නිසා, එදාට දකින්න වෙන්නෙත් නෑ.

මුලු ගෙදරම නිකන් ඔන් එකේ තීන ඒත් ස්පීකරේ නැති රේඩ්යෝ එකක් වගේ.

අපි දවස් දෙකකින් තිබ්බ අනුරාධ මල්ලිලගෙ ගෙදර තිබ්බ පාටි එකට යන්න ලැහැස්ති උනා.

.........................................

පහල අම්මල තාත්තලට ඔරෙන්ජූස් එක්ක අයිසින් කේක් දෙත්දි, තරුණ පිරිමි වෙන තැනකට එකතුවෙමින් උන්න.

අනුරාධ මල්ලිලගෙ ගල්කිස්සෙ ගෙදර උඩ රූෆ් ටොප් එකේ තමයි කොල්ලො ටිකට බොන්න සෙට් කරල තිබ්බෙ. වෙඩින් එකට නොආව ඒකගෙ යාළුවො, මල්ලිගෙ යාලුවො වගේ කොල්ලො මහ ගොඩක් හිටිය.

අනුරාධය එනකොට ගෙනත් තිබ්බ විස්කි ටික වෙඩිමෙදිම ඉවරවෙලා තිබ්බ නිසා, එතන තිබ්බෙ ගල් සහ නිල්.

ඉස්කෝල කතා, මඩ කතා, කයිවාරු පූචානම් වැඩිවුනේ බෝතල් වල තිබ්බ ඒව අඩුවෙනවට වඩා වේගෙන්.

හේතු ගොඩක් නිසා මම උන්නෙ ඒ සතුටු සමාජෙ මැද නෙමෙයි, අයිනෙ මේසෙක කයිවාරු අසන්නෙක් විදිහට.

පහල දෙමාපිය සම්න්ත්‍රන ඉවරවෙලා මංගල ජෝඩුවත් එතනට ඇවිත් ටිකක් වෙලා. ඒත් මට නංගිගෙන් මුකුත් අහන්න විදිහක් නෑ.

ලිහල දානකල් බලන් ඉන්න බලුපැටියෙක් වගේ මම නොඉවසිල්ලෙන්..

කට්ටිය සින්දු කියන ගානට රත්වෙලා. නංගිගෙ අත අතෑරපු අනුරාධය ගිටාර් එකක් තුරුලකරගත්ත.

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ.... නිදන නෙතු යුග සනසනා.....

එක හඬ දෙක තුන වෙත්දි, ගිටාර් සද්දෙට වඩා තදට තට්ටු සද්ද  ඇහෙන්න ගත්ත...

අනුරාධ සින්දුවෙන් මත්වෙද්දි නංගි නැගටල වටෙන් මං ඉන්න පැත්තට ආව..."ලොකු  අය්යෙ..පොඩ්ඩක් එනවද.."

බලුපැටියව නිදහස් උනා

...................................

මට සිළු කෝල් කරා අද දවල්

අහසෙ ඈතින් තරු එලියක් වගේ මතුවෙච්චි පුන්චි එලියක් ටික ටික දීපිතිමත් වෙමින් ඉස්සරහට එනව

ඉතින්?

මම තමයි බබා

ඔයා සිළු ගැන ගොඩක් දේ දන්නෙ නෑ ලොකු අය්යෙ..

හරි කියනවකො දැනගන්න..


මට ඒ පුන්චි එළිය මොකක්ද කියල තාම පැහැදිලි නෑ.

සිළු කැතලික්.

ඉතින්?

එයා මැරි කරන්න අදහසක් නෑ..

සලාං ගාල කවුරු හරි වීදුරුවක් අතෑරිය. කට්ටියට වැඩිවෙලාද මෙච්චර ඉක්මනට.!

ඒ මොකෝ.?

එයාට ඕන කොහෙද මන්ද ඕපනේජ් එහෙක සිස්ටර් එකෙන්ක් වෙන්න..

කොහෙ හරි චිත්‍රකතාවකත් ඔහොම එකක් තිබ්බ. විකාර!!

ඇයි ඒ..?

එයා අනාතවෙච්චි ගර්ල් කෙනෙක්.

එහෙනං අම්ම ඔය ඉන්නෙ..?

අනික මට ඒව වැඩක් නෑ. ඔයා දන්නවනෙ මම ඔය කිසිදෙයක් හොයන කෙනෙක් නෙමෙයි කියල. අපෙ අම්මලත් ඕව බලන්නෙ නෑනෙ.

මගෙ ප්‍රශ්ණෙට උත්තර නොදී නංගි අනුරාධල සින්දු කියන දිහාව හිස් බැල්මෙන් බලාන හිටිය.

ලොකූ, ඔයා සීරියස් කරනවනං මම සිළුට කතා කරන්නං. ඒත් ඊට කලින් ඔයා තව වැදගත් දෙයක් දැනගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් කැමති දෙයක් කරන්න. හැබැයි එකක්, ඔයා මේක පටන් අරගෙන එයාව බැන්දෙ නැත්ත, අපේ සහෝදර බැඳීමුත් එතනින් ඉවරවෙනව.
අහසෙ තරු මට කවදාවත් පිළිවෙලකට පෙනුනෙ නෑ..කොච්චර කිව්වත් ඒවගෙ තිබ්බ රටා මම දැකල නෑ.

මොනාද හලෝ කියන්නෙ..? පිස්සුද..?

ලොකූ...සිළුගෙ අම්මට බ්‍රෙස්ට් කැන්සර් එකක්.සෑහෙන්න ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නෙ. බෙහෙත් වලට එයාගෙ ඔළුවෙ කොන්ඩෙත් නෑ දැන්.
ඈත පෙනිච්චි එලිය සහෙන විසාල වෙලා. ඒක ප්ලේන් එකක්..රත්මලානෙ එයාපෝට් එක පැත්තට යනව වෙන්න ඕන. තව ටිකකින් මේ හරියෙන් යයි..

මගෙ හිතෙ හැඟීම් එක තැනක තියාගන්න මම අමාරුවෙන් ට්‍රයි කරන අතරෙ නන්ගිගෙ කතාව දිගටම කරගෙන යන්න ඉඩ දුන්න.

එයා අම්ම නැති දවසක සිස්ටර් එකෙන්ක් වෙන්න ඉන්නෙ ඒකයි.

ඒත් ඇයි ඒ..?

පහල ගෙදරක එලියෙ ලයිට් එකක් නිවෙත්දි, ගේ ඇතුලෙන් වෙන එකක් පත්තු උනා.

ලොකු, මේ විස්තරේ ඔයා කිසි කෙනෙකුට කියන්නෙ නෑ කියල මම දන්නව


නංගිගෙ හඬ බොහම අමුතුයි..

එයා හුස්මක් ගත්තෙ දුර කිමිදෙන්න වගේ.

සිළු ඒ ලෙවල් කරන කාලෙ යාලුවෙලා හිටපු බෝයි එයාව අනාත කරල..ඔයා යනකොට හිටිපු පොඩි එක්කෙනා සිළුගෙ පුතා...

එච්චරවෙලා තිතක් වගේ ඈතින් මතුවෙමින් තිබ්බ ප්ලේන් එක මහ ගොරහැඩි හඬක් එක්ක මගෙ පපුව උඩිම්ම  ඇදිලගියා...මම වැටේ සීතල සුදු යකඩ බටේ තද කරල අල්ලගත්තෙ කකුල් වලට හය්ය නැතිවෙලා ගියා නිසා.

ඕනම වීරයෙකුට භාරගන්න බැරි අභියෝගයක් කවද හරි ලැබෙනව. අහසෙ තරු පටලැවිල..මම අමාරුවෙන් හිත එකතුකරගෙන කටහඬ බින්ද.

එතකොට..?

ඒක දිග කතාවක්. මම දන්නෙ ටිකයි. ඔයා දන්නවද ඇයි සිළු විතරක් තනියෙම මගේ බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක් කරගත්තෙ කියල.

මම උත්තර දුන්නෙ නෑ. මට කතාකරගන්න හය්යක් තිබ්බෙ නෑ..

මගෙ වෙඩින් එක ගැන කතා කරන්නත් කලින්, ඉස්සරම දවසක අපෙ ඔෆිස් එකේ වෙන ගර්ල් කෙනෙක්ගෙ වෙඩි ෆොටෝ බලල් ලන්ච් වලට ගියහම එයා මට කිව්ව


ජීව, මට කවදාවත් බ්‍රයිඩ් කෙනෙක් වෙන්න තියා බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක්වෙන්නවත් දැන් ඉතින් බැහැනෙ කියල.

ඒත් මම එයාගෙ ඒ හීනෙ හැබෑ කරා..ලොකූ, මම එයාව බ්‍රය්ඩ්ස්මේඩ් කෙනෙක් කරා.. ..

හැබැයි මේක දන්නෙ අපි තුන්දෙනා විතරයි.

නංගිගෙ හඬේ සතුටයි දුකයි අතර මුහුවක් තිබ්බෙ. ඒත් මගෙ ඇස් වල කඳුලු නංගිගෙ බොඳවෙච්චි ඇස් වලට පේන්න නැතුව ඇති..! ඇත්තටම මට නංගිව බදාගෙන ඉඹින්න ඕන උනත් ඒකටත් හිතට හය්ය තිබ්බෙ නෑ..

එතකොට එයාගෙ තාත්ත?

යාන්තන් වචන එකතුකරගෙන, විනාඩියකට විතර පස්සෙ මම ඇහුව.

එයා කවදාවත් මට ඒ ගැන කියල නෑ ලොකූ...

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා

අනුරාධගෙ උස් හඬ බොතල් වල තට්ටු සද්ද වලට උඩින් පාවෙලා ඇවිත් හිත හූරගෙන පපුවෙ පතුලටම බහිනව.

කණ්නාඩිදෙක ගලවල කඳුලු පිහිදගත්තු මම, කැබ් එකකට අපි ඉන්න තැන පාර කියනව කියල ෆෝන් එක නංගිගෙ අතටම දීල ගිහින් හිස් වෙලා නොතිබ්බ බෝතලයක් ඉස්සරින් ඉඳගත්ත.

.....................................

හිතවත, මියගිය දරුවකුගේ මළකඳක් ගොඩදැමූ පියෙකුට, ඒ දරුවා බේරගන්නට කල යුතුව තිබූ වෙදකම් හෝ නොකල දේ ගැන ආඩපාලි සහ ප්‍රශ්ණවලින් දමා ගැසීමෙන් සෙතක් වෙයිද?

Thursday, April 9, 2015

සුභ දිනෙක පැතුම.. Part - 2



ලොකු පුතේ ඔයා ලෑස්තිද?

වෙනදට අන්තිමටම ඇඳ ගන්න අම්ම, එදා කලිම්ම ලෑස්තියි. ඉක්මනටම ඇඳගෙන හොටෙල් එකට යන්න..

"හරි හරි, ඉන්න ඔයාව වෙලාවට එක්කන් යන්නං.." මම ඩියොඩ්‍රන්ට් ස්ප්‍රේ වෙන සද්දෙ අස්සෙමයි කිව්වෙ.

මම කිව්ව එක ඇහුනද නැද්ද මන්ද, එයාගෙන් සද්දයක් නැති තැන මම ආයි ටිකක් තාලෙකට කෑගැහුව

"අම්මව එක්කන් යන්නන්...මලක් ඔලුවෙ තියන්නං...තියල ෆොටෝ ගහන්නං.."

හිතේ සැහැල්ලුවෙන් ඉන්න අය බාත් රූම් වල සින්දු කියනවලු. එතකොට ඇඳුම් අඳින ගමන් සින්දු ගොතන්නෙ හිතේ මොනා තීන අයද?

අද නංගිගෙ ජීවිතෙ වැදගත්ම දවස. ගෙදර හැමෝගෙම සතුට උතුරන දවසක්.

වටලප්පමක රසවිඳින පොඩි එකෙකුට කජු කෑල්ලක් ලැබිල වගේ මගේ හිතේ ඒ සතුට දෙගුණ වෙන යමක් වෙලද කියල මටම හිතෙනව. හිතෙන හිතෙන හැම දේ ගැනම හිතන්න ගියොත් පිස්සු හැදෙයි.

මම කළිසමේ කකුල් දෙක අස්සට සීරුවට බැහැල ෂර්ට් එකේ බොත්තම් පෙල කෙලින් සිප්  එක තියල උඩට ඇද්ද.

නංගිගෙ මංගල්ලෙ බෙස්ට්මන්ල නෑ. ඒ හින්ද මල් බොකෙ එක උදේම ගල්කිස්සෙ නෙළුම් අක්කලගෙ ගෙදරින් අරගෙන හොටෙල් එකට ගෙනිහින් දෙන එකත් තිබ්බෙ මගෙ ලිස්ට් එකේ. ඊට අම්තරව අම්මව එක්කන් යන්න, නංගිගෙ ඇඳුම් මල්ල ගෙනියන්න, ඔයවගේ තව අතුරු කාරණා කිහිපයකුත්.

"මනමාලය මෙලහකටත් ඇවිල්ල ඇති..."

අම්ම ආයි එළියෙ ඉඳල කියවනව.  උන්දැට ඉවසිල්ලක් නෑ.

"පොඩ්ඩක් ඉන්නකො ඔහොම, හරියට මෙයා මණමාළි වගේනෙ හදිසිය"

මම කාමරේ ඉඳම්ම කෑගැහුව.

"කොයි අම්මටද පුතේ දුවෙක් මණමාලියෙක් වෙනව දකින්න ඉවසිල්ලක් නැත්තෙ"

අම්මගෙ වචන හැඟීම් බර උනාට හඬේ තිබ්බෙ තනිකර සතුට.

මම හතරවෙනි පාරටත් කණ්නාඩියෙන් බලල, ජෙල් ඇඟේ උලාන සීරුවට හිටගෙන උන්නු කෙස් ගස් ටික තව පාරක් අතගාල බලල කාමරෙන් එලියට ආව.

සාලෙ කෑම මේසෙ උඩ පත්තු කරපු පහණ තාම යාන්තමට නටනව. කිරිබතුයි කැවුම් ගෙඩියි එක ගාව ඉඳගෙන උඩ බලාගෙන. කොකිස් පිඟාන විතරක් එහාට වෙලා කෙසෙල්ගෙඩි වලට හේතුවකුත් දාගෙනම ජනේලෙන් එලියට ඈත බලං.

අනේ අපෙනුත් මල් ගන්නකෝ වගේ ඉන්න කැවුම් ගෙඩි අතරින් රන්වන් පාටට පියවුරු තුඩක් වගේ ඉස්සිල හිටිය කැවුමක් මම පරෙස්සමට අතට ගත්ත.

"අම්මෙ යං.."

උදේ කෑමට කැවුම් මොට්ටුව කටේ දාගෙන මම යන්න හැදුවට, ලොකු පස්සක් වගේ රවුමට තිබ්බ ඉතුරු කැවුම් කෑල්ලත් ගිලල වතුර ටිකකුත් බොනකල් අම්ම නෙමේ මට යන්න දුන්නෙ..

......................................................................................

ලස්සනට සුදුපාට රෝස පොහොට්ටුවලින් හදාපු මල්බොකේ දෙක අත්දෙකේ හින්ද මම හෙමිහිට දණිස්සෙන් දොරට තට්ටු කරා.

ගල්කිස්සෙ හොටලෙ බේ වින්ගෙ එකේ රූම්ස් වල දොර ඇරියම ඇතුලට එන කෙනෙක්ට එකපාරම පේන්නෙ ඈත ක්ෂිතිජය. ඒ බටහිර මුහුද නිසා උදෙට ටිකක් අඳුරුයි.

ඒ මම බලාපොරොත්තුවෙච්චි දර්ශණය.

ඒත් ඇරුණු දොරෙන් මුහුණට වැටුනෙ ඇස් ගිණිකන එලියක්!

මූණට එල්ලවෙච්චි වීඩියෝ කැමරාවෙ ලයිට් එළිය අතරින් සුරංගනාවක් දොර අරින්න ඇවිත්.

ගිණි මලක් පිපුනාය දොරකඩ..වරක් නොව තව වතාවක්..

"නංගි ඇතුලෙද?"

මම ඇහුවෙ තප්පර ගානක් නිස්සද්දව ඉඳල.

කතා කරන ගෙම්බෙක් දිහා බලාගෙන ඉන්නව වගේ සුරංගනාවි මගේ දිහා බලාගෙන ඉඳල, එකපාරම අතින්කටවහගෙන ඇතුලට දිව්ව.

කළිසමේ සිප් එකවත් ඇරිලද බලන්න බිම බලත්දි බෙල්ල මලක හැපුනමයි වෙච්චි දේ තේරුනේ. පොඩි කෙල්ලො තුදෙනගෙ ලොකු වළලු වගේ බොකේසෙ තුනම අම්මට ගන්න බැරි නිසා මම පහලට එනකොට එයින් එකක් බෙල්ලට දාගත්ත!

මූණ බලල හිනාවෙනව වෙනුවට මූණ දැකල හිනා ගියා කියන්නෙ ඩියොඩ්‍රන්ට් වෙනුවට පිට් පෆ් ගැහුව වගේ තමයි.

"කෝ යමංකො පුතේ ඇතුලට..."

අම්මගෙ සද්දෙත් එක්ක ආයි මට හුස්ම වැටුන. අතේ තියෙන මල්බොකේස් අතෑරල කඩන් වැටිච්චි හිත අහුල ගන්න බෑනෙ. මම එහෙමම ඇරිල තිබ්බ දොරෙන් ඇතුලට ගියා.

"මං බෑග් එකත් අරගෙන එන්නං.."

හිමිහිට මල්බොකේස් ටික ඇඳ උඩ තියල, කණ්නාඩියෙ මගෙ දිහා බලාන ඉන්න නංගිට එහෙම කියල මම ආපහු හැරුන.

"ලොකු අය්යෙ.."

"ඇයි?"

"මේ කවුරුත් මුකුත් කෑවෙ නෑ හලෝ තාම"

අනේ පල ඉබ්බි යන්න, උන්ට නෙමේ උඹටද කොහෙද බඩගිණි...වෙන වෙලාවකනං මම එහෙම කියන්න තිබ්බත්, ඒ වෙලාවෙ කියවුනේ

"හරි මම එළියට ගිහින් මොනාහරි ගේන්නං.." කියල විතරයි.

අතේ සල්ලි  නැති පොඩි එකෙක්ව කානිවල් එකකින් එලියට දැම්ම වගේ මම කාමරෙන් එලියට ආව.

දොරෙන් එලිය ඇවිත්, කොරිඩෝ එක දිගේ අඩි දහයක් යන්න උනේ නෑ...

අය්ය මේ.......


..................................................................................................

යුනිකෝඩ් කන්වර්ටරේ නැතුව මේක දිගට ලියන්න හෙන අමාරුයි.ඒ හින්ද අදට මේ ඇති. උඹල මට බනිනව වෙනුවට, කොලම්බු කැම්පස් උන්ගෙන් අහපල්ල කන්වටරේ වෙනුවට සුබස පේජ් එහෙකෙට යන්නෙ මොකද කියල. ඉතෘ ටික සෙනසුරාදට දාන්න ට්‍රයි කරන්නෙ. මොකද වසන්තයට තව කතවක් හරි දෙකක් හරි ලියන්න ඕන.

අවසාන කොටස

Monday, April 6, 2015

මහ නුගය...! A scary banyan tree..!



"ඔය නුග ගහේ තමයි ඒ කෙල්ල එල්ලිල මැරිල තියෙන්නෙ.."

ඉතින් කියන්නටවත් කිසිවකුගෙ කට නොහෙල්ලේ. රැහැයි හඬ, වවුල් පියාපත් හඬ සහ නිවී ගිය ගිණිමැලයෙ පුපුරන දර කැබලි හැර මගේ හඬට වෙනත් බාධා නොවීය.

"දවස් දෙකක් මිනිය එල්ලිල තිබිල, ගඳ එනකොට තමයි බලල තියෙන්නෙ"

සීතල සුලඟින් ගැලවෙන්නට මෙන් අසේල අත තිබූ රෙද්දෙන් හිසද වසා ගති. රාත්‍රියෙහි නිහඬ අඳුර තවත් කැටි වන්නේ සහ සීතල බිය දෙගුණ කරවන්නට මෙනි.

"උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ.." රන්දික ඇසුවා නොව යන්තන් කෙඳිගෑවේය.

"ඇක්ව පර්ල් එකේ අපේ අය්ය කෙනෙක් වැඩ කරා. එයා තමා මට කිව්වෙ සේරම..."

මගේ සෘජු පිළිතුරත් සමගම රන්දිකගේ දෑස් ඉවතට හැරුනි.

"එහ්"..සෙමින් තම කකුලට නැගි කඩියකු රන්දිකගේ වහා ගසා දැම්මේ භූතයකු එලවන්නාක් මෙන් ගැස්මකිනි. වවුල් තටු හඬ සහ රැහැයි හඬ අතරේ කල්පයක් පමණ දිග විනාඩියක් ගෙවෙන්නට ඇත.

"මට නිදිමතයි...නිදාගමු බං..."

දැන් ඔය ඇති යන්න අසේලයා වෙනස් වචනවලින් කියා දැම්මේ ඉවසා සිටීමට බැරිම තැන විය යුතුය.

"එහෙනං ගිණි මැලේට වතුර එකක් ගහල ඉම්මුද..?"

"ඕන්නෑ බං, ඕක ඔහොමම නිවිල යයි..." එවර රන්දිකගෙ හඬ මදක් ප්‍රාණවත්ව තිබිනි. සැබැවින්ම වතුර ගේන්නට නොව, චූ කරන්නටවත් මෙතනින් එහාට ය හැකි එකෙක් එතන නොවිනි.

..............................................

බායිවත්තේ මහ නුගය යනු සැබැවින්ම බිය ගෙනෙන අඳුරු තැනකි. වත්තේ මඳක් පහල බෑවුමක පිහිටි ඒ මහා ගසෙහි නිමක් නැති මුල් යක්ෂයාගේ රෝම මෙන් පහලට වැක්කෙරෙයි. මෙනිසා රැයෙහි නොව දහවෙල්හිත් එදෙසට යාමට නිර්භීත එකෙකුවත් අප බාලදක්ෂ කණඩයේම නොසිටියහ.

කොටින්ම ධීරයා පදක්කම් දැරූ, ගොරකාන ගමේම උපන් ශාන්ත අය්යා පවා මහ නුගේ පැත්තට නොයා සිටිය යුතු බවට අවවාද කලේ එහේ සර්පයින් සිටිය හැකියැයි කියාය.

එනිසා, මේ අඳුරු රූක්ෂ රාක්ෂයා තමන්ගෙ කූඩාරමට පිටුපසින් නැගීසිටින දෙස බලන්නට රාත්‍රියේ කිසිවෙකුත් එඩිතර නොවිනි. එහෙත් අප කඳුවුරු බිම පිහිටා තිබූ ආකාරටය, නුගේ දෙස නොබලා චූ කිරීමට අප කූඩාරමේ සාමජිකයන්ට අවස්ථාවක් නොතිබිනි.

සියල්ලෝම අනුගමණය කලේ එක්ම ක්‍රමයයි. එනම් තරු දෙස බලාගෙන කූඩාරම පිටුපසට ගොස්, දෑස් වසා මූත්‍රා කර, නැවත තරු මග ඔස්සේ පැමිණීමයි.

කඳවුරේ තුන්වැනි දින රත්‍රිය වනවිට, බායි විසින් දූෂනය කෙරුනු වත්තේ මුරකරුගේ දුව නුගයේ  එල්ලී මල පුවත සියල්ලන් දත් රහසක් විය. නුගය යනු රාත්‍රීයේ දත්විලිස්සාගත්, මයිල් සෙළවෙන මහා යකකු මෙන් අප පසුපසින් සිටීම පිළිබඳ සියල්ලෝ තුලම අප්‍රකාෂිත බියක් දැඩිව වැඩෙමින් තිබුනි.

නුග ගස පැත්තට වන්නට තිබූ, අප ගැමුණු කණ්ඩයේ කූඩාරමේ සිටි සැමට අවසන් දින, එනම් හතරවදින රාත්‍රිය එළබෙන විටම, "හෙටින් පසු සුවයෙන් නිදිය හැකිවෙනු ඇත"යි සිතුනා වැනි විය.

කඳවුරේ අවසන් රාත්‍රියේ ගී ගැයීම්, නාට්‍ය ඈ සියළු ක්‍රියාකාරම්කම් වල උද්‍යෝගයෙන් නියැලි ගැමුණුවන් සියල්ලම නින්දට යනවිට මැදියම් රැයට ආසන්නය. එතෙක් බාලදක්ෂයන්ගේ හඬට පසුබා සිටි නිහඬතාවය යලි රජයමින් තිබුනි. වවුලන්ගේ තටු නිහඬ හඬට භිය පුරවන්නට පටන් ගෙන ඇත. මහ නුගේ පත් සොලවන සුළඟ, සීතල සමග මුරකාරයාගේ දියණියගේ මතක අප තුලට යළි ගෙන එන්නට පටන්ගති.

එහෙත් ඈත බොල්ගොඩ නදිය දෙසින් එන ඒ හීගඩු පිපෙනා සුළඟ, බියකරු නුගපත්ද, යක්ෂයාගේ රෝමද අවුස්සාගෙන සීතල දෙකවලට බිය පිරූ රහස් කියමින් කැරකෙන අතරේ කුඩා ගැටයින් පිරිස සිය අවසන් කඳවුරු රාත්‍රියේ ජය සහ සතුටෙහි උද්දාමයෙන් සුළඟට නෑසූ කන්ව සිටියහ.

බිය වෙනුවට ඒ රාත්‍රියෙ ජය සිත්වලට පැමිණ තිබුනි.

මෙ නිසා සියල්ලන්ටම නුගේ අමතකව ගොස් ඇති සැටියකි. මැදියම් රෑ රැහැයි හඬත් සමඟ සියල්ලෝ කූඩරම් තුලට වැදුනේ අවසන් රෑ අවසන් හෝරා කිහිපය ගෙවා දමන්නටය.

"ලසන්ත අය්යෙ, එනවද මන් එක්ක පිටිපස්සට ගිහින් චූ දාල එන්න" මහේෂ්ගේ ආයාචනය බැහැර කරන්නට ලසන්තට හේතුවක් නොතිබිනි.

මධ්‍යම රාත්‍රියද පසුවෙමින් තිබුනද, සිය කණ්ඩයමේ අන් සියල්ලන්න්ම පාහේ කූඩාරම තුලට ඇදී සිටියද, ගිණිමැලය නිවී යමින් තිබුනද, ලසන්තට බියක් මතකයට ආවෙම නැත.

බිය ඇතිවන්නේ හිත හිස් වූ විටය. හොල්මන්, හොල්මන් කරන්නේ සෙළවෙන මනසකය. ලසන්තගේ සිත උද්දාමයෙන් හා සතුටින් පිරී තිබුනි. එහි වෙන කිසිවෙකට ඉඩ නොතිබිනි.

"එනව එනව...මොනාට භය වෙනවද මල්ලි...එනව"

ලසන්තගේ හඬ  සෘජුය.  

තම කණ්ඩය ලත් ජයෙන් උද්දාමයට පත්, ගැමුණු කණ්ඩායමේ කැපී පෙනන තරුවක් වූ ලසන්තට එදින කූඩාරම පිටුපසට ගොස් චූ කරන්නට තරු පාර අවැසි නොවිනි.

කුඩා බාලදක්ෂයින් දෙදෙනා කඳුගැටය මත සිට සිය කෘත්‍යට සැරසෙයි. මග නුගය පහල සිට ඔවුන් දෙස බලා දත් නියවමින් සිටියි.

සර සර හඳින් සුළු දිය වැටෙන හඬ පැතිරෙමිනි තිබිනි. ලසන්තත් මහේෂුත් තම බර තවත් සැහැල්ලුකරමිනි සිටියහ.

ටකස්... කුඩ අතු කැඩෙන හඬක් සමඟම එක්වරම රැහැයි හඬ නැවතිනි. නුග පත්ද සුළඟද නිහඬ විය.

සර සර හඬින් තණ පත් මත වැටෙන සුළුදිය හඬ පමණක් අවට සිසාරා නැග ආයේ නිහඬ අඳුරේ අමුතුම හැඟීමක් මවමිනි.

එක්වරම සුළුදිය පහර දෙකක හඬ එකක් විය. එකකු තම වැඩය නවතා ඇත!

"අය්යෙ අර.."

මහේෂ් ගේ සීතල කුඩා අත ලසන්තගේ මැණික්කටුව තදින් වෙලාගති.

ඇයි අසන්නටත් පෙර ලසන්තට බැලුනේ නුගය දෙසය.

පොඩි උන්දෙදෙනාගේම කටවල් විවර තුලින් වවුලෙකුට යන්නට ඉඩ හැදිනි. මෙතෙක් වෙලා තණපත් සිපගත් සුළු දිය දහර ලසන්තගේ කළව සිපගන්නට විය.

මෙතෙක් නොතිබි, නොවිඳි අපමණ බියක් ලසන්තගේ පිට දිගේ හිස්මුදුනටම දිවයමින් තිබුනි.

අඳුර අතරින්, නුගයේ බියකරු මුල් මැදින් සුදු පැහැති රුවක් මඳින් මද ඉහිලට එමින් තිබෙනු ලසන්තට පැහැදිලිව පෙනෙන්නට විය. ළමුන් දෙදෙනාටම කෑ ගසන්නට ඇරි කටවලින් හඬ පිට නොවන්නේ මන්දැයි සිතන්නට වෙලාවක් නොවිනි. මහේෂ්ගේ සීතල කුඩා අත දඬුවක් සේ ලසන්තව තවත් වෙලාගති.

සුදු පැහැති ඡායාව සෙමෙන් සෙමෙන් මිනිසෙකුටත් වඩා උස්වෙයි. මහසොහොනා නම් උස යන අවතාරය...මුරකරුගේ දියණිය...සියළු කතාන්තර චිත්‍රපටයක් මෙන් අකුණු ගසමින් මැවෙත්ත්දි  සීතල හුළඟට නොදැනුනු දාඩිය ගත පුරා වැගිරෙමින් සිටි ලසන්ත  සිය උපරිම වැරය උගුරට දුනි..

උදු අම්මෝ....අම්මෝ...

පපුවේ ගැඹුරුම තැනින් කෑගසා මරහඬ දුන් ලසන්තගේ මහ හඬත් සමග මිනිසෙකුටත් වඩ උසැති ඒ මහා ඡායව එක්වරම නොපෙනි යනු දෙදෙනාම පැහැදිලිවම යලිත් දුටහ..

ඔව් එය මොහොතකින් අතුරුදන් විය...!

විළාපයට යන්තම් නින්දේ සිටි ජේෂ්ඨ බාලදක්ෂයින් සහ කණිෂඨයන් පමණක් නොව ඈත බොල්ගොඩ ගඟෙහි මාලු බෑ ධීවරයන්ද අවදිවී තිබිනි.

කිසිවක් කතා කරගත නොහැකිව, මුත්‍රාගොඩේ සීතලව වැටී සිටි ලසන්තව  ඔසවාගෙන කූඩාරමක් තුලට ගෙන යන ලදි. කුඩා මුත් වඩා එඩි තිබූ මහේෂ්ගේ තත්වය යහපත් වූ අතර, උණ විකාරයෙන් දොඩවන්නට ගත් ලසන්තව වහා ලඟම තිබූ ගල්කණුව පන්සලට ගෙනයන්නට කෝලිත අය්යාගේ මෝටර් සයිකලය පණ දමන ලදි.

..........................................

බායිවත්ත කඳුවුරු බිම අවසන් වූයේ ලසන්තගේ බාලදක්ෂ දිවියටද තිත තබමිනි.

ලසන්ත දක්ෂ බාල දක්ෂයකු වුව, ලුනාවේ තම මිතුරන්ගේ හය්යෙන්, අනෙක් කණ්ඩායම් සාමාජිකයන්ගෙන් බලෙන් මුදල් එකතු කිරීම, ඔවුනට පහරදීම, නොයෙක් දේ පැහැර ගැනීම වැනි දේ කරන බව නොදත් ජ්‍යේශ්ඨයින් ලසන්තගේ නැවතීම ගැන දුක් වන අතර, ඔහුගෙන් පීඩා විඳි අනෙක් සියල්ලෝම මහ සොහොනාට රහසේ පින්දෙමින් සිටියහ.
...........................................


එහෙත්, ඒ සමස්ථ සිදුවීමම එයට මසකට පමණ පෙර ලසන්ත විසින් මා බාල මල්ලීට  පහරදී ඔහුගේ අතෙහි වූ ඔරලෝසුවත් කාන්දම් පෙට්ටියත් පැහැර ගත්තතාට දුන් රිටන් එකක් බවත්,  මහසොහොනා යනු සුදු පොරොවන රෙද්දකින් හිස සිට වසාගෙන කන්ද පාමුල සිට ඉහලට ආ මගේ කරපිට නැග සිටි ලොකු මල්ලී බවත් මේ වනතුරු දැන සිටියේ අපි තිදෙනා පමණි




ප/ලි

කලකට පෙර ඉතා රසවත් බ්ලොග් ලියූ පැරණි සිංහල බ්ලොගර්ස්ලා පිරිසක් තම දූවිලි වැදුනු බ්ලොග් පඩංගු එළියට ගෙන, අද සිට සතියක් පුරාවට රසවත් ලිපි වලින් හමුවන බ්ලොග් වසන්තය ඇරඹිනි.

බ්ලොග් වසන්තයට ලියන්නන් බොහොමයක් දැනට ඇති සින්ඩිවල දකින්නට නැති නිසා අලුත්ම ලිපි මේ ෆේස් බුක් පිටුවෙන් හෝ ලක්දැල සින්ඩියෙන් කියවන්න.





Thursday, April 2, 2015

සුභ දිනෙක පැතුම..!


"ලොකු අය්යෙ..එහෙනං හරිනෙ? ඔයා හතරට බ්‍රය්ඩ්ස්මෙඩ්ව හොටෙල් එකට එක්ක එන්න, හරිද.?"

නංගි ලස්සනට ටය්ප් කරල, ඉරි ගහල කොටු බෙදල තිබ්බ එයාගෙ වෙඩින් ප්ලෑන් කොලෙන් මුහුණ අහකට නොගෙනම එහෙම කිව්වෙ, ලාටු උලාපු ඒ මූන දැක්කම මම භයවෙයි කියලද මන්ද!

"මං කොහොමද හලෝ ඔය පාන්දර ඒ ගොල්ලන්ගෙ ගෙවල් හොයාගන්නෙ?"
 
මගේ කටහඬ වචනව තෙරුමට ගැලපුනේ නෑ කියල මටම හිතුන.

"අම්මට සිරි, මෙන්න මෙයා. හිහ්..හිහ්.. හිතන් ඉන්නැති පාන්දරම කෙල්ලෙකුත් වාහනේ දාගෙන තනියමම එන්න නේද?"

නංගිගෙ කතාවට එයගෙ මූන උලන ගෑණු ළමයයි, වටේ උන්න අනික් උනුයි කට තදකරන් හිනාවෙත්දි මං හිමීට අල්ලල බැලුව සරම තාම ඉනේද කියල!

"ඔයා ඉස්සෙල්ල ෂෙරීන් අක්කිලගෙ ගෙදරට යන්න. එයත් එක්ක කෝට්ටෙට ගිහින් සිළුනි නංගිවත් අරන් එන්න. ෂෙරීන් අක්කි දන්නව ගෙවල්"

.....................

මහරගමින් ෂෙරීන්වයි, එයාගෙ සැපට නිදි පොඩි උන්දෙන්නයි කැබ් එකට දාගන්නකොට පාන්දර 3යි. එතනින් කෝට්ටෙට, කෝට්ටෙන් ආයි ගල්කිස්සට, වෙලා නැතෑ පාරෙ බතක් උයන් කාල එන්න උනත්.

සිළුනි කියන්නෙ නංගිගෙ ඔෆිස් එකේ යාලුවෙක්ලු, මම කවදාවත් දැකල තිබ්බෙ නෑ. එක අතකට එයත් ෂෙරීන් වගේම ස්විච් එක කැඩිච්චි රේඩියෝ එකක් වෙන්නැති!

දැන් කොහොමද ජොබ් එක, අරවද මේවද, ෂෙරීන් නැග්ග වෙලේ ඉඳල එයාගෙ පැණ විසඳුම්, මට පිටිපස්සෙම සීට් එකේ ඉන්නෙ නිසා කණක් නෙමේ කන් දෙකම ඇහෙන්න නෑ!  නිදිමත වෙලාවට ගමණක් එක්ක යන්න කියාපු මනුස්සය.

ෂෙරීන් නැග්ග වෙලාවෙ ඉඳල එයාගෙ රේඩියෝ එක දාපු නිසා මම හෙමීට සෙටප් එකේ සද්දෙ අඩුකලා.

"අසිතය අද වෙඩින් එකට එයිද මන්ද?"

මම එහෙම කිව්වම පිටිපස්සෙ සීට් එක මැද හිටපු ෂෙරීන්ගෙ විසාල වෙච්චි ඇස් ගෙඩි දෙකට සෙන්ටර් මිරර් එක වැහිල ගියා!

"ඒ මොකෝ?"

"ඌත් ආස නැතෑ කණක් ඇහිල, දවල් වෙනකල් නිදාගෙන, කැමති දෙයක් කාල නිස්කලංකව ඉන්න එක දවසක් හරි..."

පිටිපස්සෙ ආව වාහනේ ලයිට් එකට වඩා සැරට ෂෙරීන් රැව්ව හින්ද මම හිමීට මිරර් එක පහත් කරා.

"ශිවගෙ තුන්වෙනි ඇහැ ඇරිය වගේ..."

ෂෙරීන් දන්න ශිව! මම කිව්වෙ කුණුහරුපයක් කියල හිතලද මන්ද යන්තන් කබල් රේඩ්යෝවෙ බැටරි බැහැල වගේ ඉන් පස්සෙ ඉඳන් පාර කියන්න විතරයි කට ඇරියෙ

මුංගෙ ෆොටෝ ෂූට් එකට කලින් වහීවිද මන්ද පැලෙන්න.!!

මට හිතුනට කිව්වෙ නැත්තෙ නිකන් මොකටද ඉල්ලන් තාරුකා පාත් කරගන්නෙ කියල.

…………………………..

අපේ ගමණ පාගොඩ පාරෙන් අතුරු පාරකට දාල, ඒක දිගෙත් වමට දකුණට හරව හරව ගිහින් පොඩි කලු ගේට්ටුවක් ගාවින් පාර ඉවර උනා.

"හොඳ වෙලාවට රිවස් එක වැඩ, ගොන් කරත්තයක් වගේ උනානං මාර සීන් එක වෙන්නෙ"

"ඒ මොකෝ..?"

"නෑ එහෙනං මේ දෙවට මැද්දෙ හරවන්න වෙන්නෙ හරක වෙනම කරත්තෙ වෙනමනෙ."

"දැන් එහෙනං හරකටම රිවස් කරගන්න බැරිය...ඉක්මනට ඔන්න ඔය හෝන් එක ගහනව හලෝ.."

"එතකොට මේ වටේ ගෙවල් වල ඔක්කොමත් යනවද අපි එක්ක දැන්?"

"පිස්සුද..?"

"එහෙනං හෝන් ගහල ගමම නැගිට්ටවන්නෙ..?"

එච්චර වෙලා රෝසපාටට තිබ්බ ෂෙරීන්ගෙ මූණ රතු උනා...!

ඉන් පස්සෙ  නිස්සද්දවම පහත්වෙලා බිම තිබ්බ එයාගෙ තඩි මල්ලට කිමිදුනේ ෆෝන් එක හොයන්න කියල මට තේරුනේ, මුතුබෙල්ලෙක් අරන් කිමිදිල මතුවෙන මිනිහෙක් වගේ එයත් ෆෝන් එක අරගෙන හුස්මක් ඇරල කොන්ද කෙලින් කරාමයි.

……......

කැබ් එකේ හෙඩ් ලයිට් වැදිල තිබ්බෙ කළු ගේට්ටු පළුවට.

ලයිට් එලියත් මගේ ඇස් වගේම ගේට්ටූවෙ වැදිල නතරවෙලා බලාන හිටිය

"ඔය ගේට්ටුව දිහා ගිලින්න බලං ඉන්නෙ නැතුව ඕක අන්ලොක් කරනව මැට්ටො, ඒ ළමය ඇවිල්ල..."

ෂෙරීන්ගෙ සද්දෙට මාව ගැස්සුනාට පොඩි දෙන්න උකුල උඩ සනීපෙට නිදි..ටකේ සද්දෙට වවුලො මිසක් රඹුටන් භයවෙන්නෙ නෑනෙ!

කුරුබිලියකින් එලියට ඇවිත් තිබ්බ ඇය පිටිපස්සෙ දොර ඇරියත් එතන ඉඳගන්න ඉඩක් තිබ්බෙ නෑ. පොඩි උන් දෙන්න අම්ම මැද්දෙ තියාන, දෙපැත්තට වැක්කෙරිල දොයි.

"සිළුු ඔයා ඉස්සරහින් නගින්න..."

ෂෙරීන් එහෙම කිව්වම බ්‍රෙක් පැඩ්ල් එක උඩ තිබ්බ මගෙ කකුල තව පහලට තද උනා.

ඔළුව රෙද්දකින් වහගත්තු කෙට්ටු ගෑණු ළමයෙක් ලොරියකට ගොඩ වෙනව වගේ එල්ලිල කැබ් එකේ ඉස්සරහ සීට් එකට නගිනව, තවත් ඒ වගේම කෙනෙක් බිම ඉඳන් ඒ දිහා බලාන ඉන්නව.

"කට වහගන්න මදුරුවො යයි..." ෂෙරීන්ගෙ අයිස්කැට තුවක්කුව ආයි පත්තු උනා.

ඇය නැගල, අම්මට සමු දීල දොර වහගත්තම මම නිස්සද්දවම ගියර් එක මාරු කරල පිටිපස්ස හැරුනෙ එහා සීට් එකේ ඉන්න කෙනාගෙ තාම රෙද්දට වැහිච්චි මූන බලන්න චාන්ස් එකක් ගන්න මිසක්, ඒ විදියට රිවස් කරල පුරුද්දක නෙමෙයි.

ඒත් පන්සලේ බිත්තියෙ ඉන්න බහිරවය වගේ තඩි මූණක් දාගෙන මාවම කන්න බලන් ඉන්න ෂෙරීන් දැක්කම, ආයි ඉබේටම ඉස්සරහට හැරුන.

........

අප් ආයි පාගොඩ පාරට ආව. පාර හරිම පාළුයි, ඒත් හිත පිරිල!

මගේ පපුවෙ සද්දෙ එහා පැත්තෙ ඉන්න සිළුනිට ඇහෙයි කියල භයටම මෙච්චර වෙලා කෙඳිරි ගගා හිටපු සෙටප් එක මම ආයි චුට්ටක් වැඩි කරා,

සිහිනෙන් සිනෙට ඔබ එනවා....මොනවද හිමිහිට මුමුණවා...හදවත රිදුමද නවතිනවා...සැනෙකින් යළි නොවෙනී යනවා....

මාව පහුකරන් යන වාහනවල, පාරෙ තිබ්බ පහන් කනුවල එලිය මට දැනුනෙ වෙනදට වඩා එලියට. හොඳට පේනකොට යන්න බැරිය පිඹල!

රසම රස චොක්ලට් පෙත්තක් දිව උඩ තිබ්බ ගමන් දියවෙලා ගියා වගේ!

සී.ටීගෙ සින්දුව ඉවරවෙනකොට අපි කෝට්ටෙ ඉඳන් ගල්කිස්සටම ඇවිත්..

ගල්කිස්සෙ හොටෙල් එකේ පෝටිකෝ එක ඉස්සරහ නවත්තනකොටම අර බිග්ෆුට් වගේ ඉන්න තඩි ඩෝමන් ඇවිත් ඉස්සරහ දොර ඇරිය.

පරෙස්සමට බිමට පැනපු සිළුනි වටෙන් ඇවිත් පිටිපස්සෙ හිටපු ෂෙරීන්ගෙ පොඩි දූව හිමිහිට උස්සල ගන්න අතරෙ, ඒ මොට්ටැක්කිලිය අස්සෙන් දිලිසෙන ඇස් වලින් හිමිහිට මගෙ දිහා බැලුව. ඒ එක්කම පිටිපස්සෙන් ඇවිත් නතර කරපු වාහනේ හෙඩ් ලයිට් එකට පලාතම එළිය උනා..
…….

ෂෙරීනුයි පොඩි උන් දෙන්නයිත් බැස්සට පස්සෙ ආයි වාහනේ පාරට ගත්තෙ පොළවට චුට්ටක් විතර උඩින්.

"හිත හීලා නෑ....හරිම මුරන්ඩුයි තැන තැන ඇවිදිනවා....."

එක පාරෙන්ම මම බන්දුල විජේවීරගෙ ගෙ කරච්චලේ නවත්තල දැම්ම..

අඹ අච්චාරුවක රහ බලත්දි මීපැණි දැක්කත් තිත්තයිනෙ.

ඇත්තටම එදා මට සතුටු දවසක්. ඒ මගේ එකම නංගිගෙ වෙඩින් එක නිසා. ඒත් ඊට එහා ගිය තවත් අමුතු සතුටකින් හිත පිරිලද?

සමහර ප්‍රශ්ණ වලට උත්තර හොයනවට වඩා, ප්‍රශ්ණෙ ඒ විදිහට තියා ඉන්න එක වැඩිය හොඳයි.

----------------


සමාවෙන්න, ඉතුරු ටික වසන්තයට....


දෙවැනි කොටස

Sunday, March 29, 2015

රෙද්දෙ යහපාළනේ...



නාටක අංක එක -

"හොඳ වෙලාවට xxතො අපේ තාත්ත මේ ආන්ඩුවෙ අගමැති තියා ඇමති කමක්වත් නොගත්තෙ.."

අනුරාධයගෙ කතාවට කට ඇරිච්චි පාර මගේ කටේ හිටිය දැල්ල සුරුස් ගාල බඩට රිංගුවෙ උගුරෙවත් නොගෑවි. ඌට පාර වැරදුනනං එහෙම ස්කයි බාර් එකේම මාත්  අවසන් ගමන් යනව.

"අර මොකෝ බං? "

දැල්ලට ඉක්මනට යන්න මම විස්කි වීදුරුවම එකපාර උගුරට දාගත්ත.

"ඇයි කියන්නෙ යකෝ..එකෙක් ජනාධිපතිගෙ මල්ලිට පොරොවෙන් කෙටුව එහෙන්. මෙහෙන් ඒක දෙක කරල ෆේස් බුක් එකේ සිරාගෙ ඇටේ මයිලුත් ගලෝනව බුලත්විට කාල පයින් ගිහින් බඩුගහන්න ගියාය කියල. අදහෙට ඉම්පීච්මන්ට් එහෙකුත් එන්න බැරිනෑ!"

අනුරාධයගෙ ටෝන් එක වැඩිවෙලා, එහා ටේබල් එකේ උන් ඇස් පේන්නැති ගානට ඇරපු කටවල් වලින් මේ පැත්ත බලාගෙන.

"යකෝ  කොහොමද මම එහෙම මේ වගේ කාලෙක එම්.එස්.ඩී එකත් එක්ක ගිහින් බඩුවක් උස්සන් ආවනං ඉස්සර වගේ. අම්මට හැමිනිල තියෙයි නේද? තාත්තට අංස නෙමෙයි ෆුල් භාගෙ හැදිල මහය්යාවෙ තමයි නවත්තන්න වෙන්නෙ. බඩුවක් ගහන්න ෆ්‍රීඩම් එක නැති ෆකින් බුල්ෂිට් යහපාලනේ."


...............................................................................................................................................................

නාටක අංක දෙක -

අඩෝ පොන්නය, තෝ ලැජ්ජ නැතුව ආවනේ ආයි.  අද උඹෙ වෙලාවට පැන්නට ආයි මේ පැත්තෙ ආවොත් දෙන්නෙ පොරෝ පාර ඔළුව පළු වෙන්න.... කාලකන්නිය..


තාත්ති...කෑ ගහන්න එපා.. අර එහා ගෙදර අයත් රූෆ් ටොප් එකේ ඉඳන් වීඩියෝ කරනවද කොහෙද...


ඉතින් කරගත්තදෙන්...හෙහ්... ඌ හිතන්නැති ඉස්සර සෙල්ලං ආයි දාන්න...

අඩෝ...පොන්නය..මේක යහපාළනේ...දැනගනින්..දැන් තීන්නෙ අපේ ආන්ඩුව.. තොපිට දැන් මගෙ ගෙටම රිංගල, එස්.ටී.එෆ් එක වටේට පාන අල්ලන්න දාල මගේ ගෑණිට හැමිනිල ගිය කාලෙ ඉවරයි. දැන් ඉතින් මයෙ ගෑණිට බලෙන් කෙලින්න එන උන්ට බයේ මාද්දිය සාකච්ඡා දීල හැන්ගෙන්න ඕන්නෑ...හිටං..කෙලිනව පොරෝ පාර ආයි බොරැල්ලෙම නවතින්න.

අඩෝ..හුලා...හූ....





Saturday, March 14, 2015

කට වහගන්න ඇතුලට මැස්සන් යනවා...!

මට ඔබ කරපු දේ ඔබටම යළි වූවා
වට යක් ගොසින් යළි මා ඉහලට ආවා
රට අද ඔබට දුන් පාඩම සිහිවේවා
කට වහගන්න මැස්සන් ඇතුලට යනවා


ඡායාරූපයක් වචන දහසකට වඩා ප්‍රභලයැයි කියනු ලැබේ. මේ ලංකා දේශපාලනය තුල කලෙකින් දුටු එවැනි පින්තූරයකි.

මේ පින්තූරය දුටුවිට ඔබට නැගෙන අදහස, සම්මත භාෂාවක ශිශ්ඨ ශිෂ්ඨ ශිෂ්ට වචනවලින් ලිවීමට කාරුණිකව ආරාධනා කරමු.

Thursday, February 19, 2015

ඔබ ඉන්නෙ ලංකාවෙනම්, තව පැය 5 යි..!!


කළියුගය අභියසදි
උඩ පැමිණි ගොම රිටිද
මතුව ආ බොල් හිස්ද
හාත්පස වෙලා ගත්
ගන අඳුරු කළුවරද
එකලු කරමින් රැයෙහි

නැගී එලි විහිදවූ
මිණි පහන් හෙලිකෙරූ
ඒ සොඳුරු හිරු කිරන
ගිල දැමූ රාහු එඩි
පරදමින් යලිත් අද
රෑ හතට පායාවි
අපේ රෑ ඉර පාන
...


අද රත්‍රී හතයි තිහේ සිට සෑම බ්‍රහස්පතින්දාවකම.....

ඔබත් දකින්න දෑසින් නොව දෙසවනින් - රෑ ඉර පාන

බන්දුල නානායක්කාරවසම් සමග රෑ ඉරපාන පෙබරවාරි මස 19 වැනිදා සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30ට 94.8FM සහ 95FM ඔස්සේ නෙත් රේඩියෝවෙන් ....





Wednesday, February 11, 2015

වැලන්ටයින්....!


"නංගි..., මේක බලල මට රිප්ලයි එකක් දෙනවද?"

හිමිහිට ඉදිරියට ඇදෙන පොඩි මල්ලිගෙ එම්.බී ෆයිව් මෝටසයිකලෙ පිටිපස්සෙ ඉඳගෙනම මම පොඩි කොටුවෙන්න නවපු ලියුම සුරේකට දික් කෙරුව.

"ට්‍රිප් එකක්..?"

සුරේකගෙ පුදුමය පිරිච්චි වචනවලට බකස් ගාල ගෙම්බෙක් වතුරට පැන්න වගේ හිනා උනේ එහාපැත්තෙ හිටපු කොට බතල නෑම්බි.

ඒ කැත හිනාව නිසා මට මාව දැණුනෙ හරියට කාණුවකට වැටුන අයිස් පළමක් වගේ!

"යමන්..යමන්.."  මං පොඩිමල්ලිට ඇන්නෙ අතින්ද පයින්ද මන්ද!

බයිසිකලේ කෑ ගහගෙන ඉස්සරහට යනකොට සුරේක ලස්සන රවුම් ඇස් දෙක තවත් බෝල කරගෙන, පුවක් ලෙල්ලෙ කට් එක කපපු කොන්ඩෙත් පැත්තට හරවල පුදුමෙන් බලනව සයිඩ් කණ්නාඩියෙන් පෙනිල නොපෙනිල ගියා.

...........................

සුරේක කියන්නෙ අපේ ගෙවල් වලට තරමක් එහා හිටපු, මගේ නංගිගෙ යාළුවෙක්. හිටියෙ අපේ නංගිගෙ පන්තිවලමයි, වෙන ඉස්කෝලෙක. එයාගෙ අක්ක මගෙ වයසෙ, ඒත් මට සුන්දරව පෙනුනෙ නංගිව.

එයාට තිබ්බෙ අර පුවක්ගෙඩියෙන් හදන බෝනික්කෙගෙ පෙනුම. කොන්ඩෙත් ඒ වගේම කොටට කපල, ලස්සන ඇස් දෙක, පියකරු අහිංසක මුහුණ හින්ද පට්ට කෑල්ලක් කියන එකට වඩා සුන්දර කෙල්ලෙක් කිව්වොත් වැඩිය හරි.

ගිහානිගෙන් සිදුවීමෙන් පස්සෙ කාලයක් හැමදේම එපා වෙලා ඉන්දැත්දි, කෙල්ලෙක් දිහා අයිත් පාරක් රාගයෙන් තොරව බලන්න පෙළඹුවෙ සුරේක!

උසස් පෙළ අග හරියෙ හිටපු මම, මොන දේ තිබ්බත් උදේට ඉස්කෝලෙ යනකොටටත්, සමහරදාට දවල්ට එනකොටත් කොහොමහරි ඒ මූණ හොයාගන්නවම තමයි. ඒත් ඒ හැමදාම වගේ සුරේකගෙ අක්කත් එයා එක්කම හිටිය.ඒ හින්ද ඈත ඉඳල බලල, ඒ ඇස් පටලවල මම ආ බව එයාට මතක් කරන එක විතරයි ඒ හැම දවසකම මට කරගන්න පුළුවන් උනේ.

ඒ බෝල ඇස් පස්සෙ මං පන්නනව කියන එක දැනිල තිබ්බ කියල ස්ථීර උනේ අපේ නංගි දවසක් දවල්ට කන අතරෙ මගෙන් හිමිහිට ඒ ගැන ඇහුවමයි.

නංගිට නොකිය ඉන්න, හංගන්න දෙයක් මට තිබ්බෙ නෑ.

"ඔයා සිරාවටද ලොකු අය්යෙ ට්‍රයි කරන්නෙ? "

මට වඩා හොඳට නංගි මං ගැන දැනගෙන හිටිය. ඉතින් එහෙම අහපු එක ගැන කොහොමද දොස් කියන්නෙ, මම බත් එක දිහා බලාගෙන හිතුව.

ගමේ නිකං ලැබෙන හාල් නිසා අපේ ගෙදර හැදෙන්නෙ රතුම රතු බත්. ඒවට කොයිතරන් හොදි දැම්මත් ගිලින්න හරිම අමාරුයි.

"ඔව් සිරාවට. තමුසෙ උදව් කරනවද? "

මම භාගෙට අනාපු බත්ගුලියක් යන්තන් උගුරෙන් පහලට යැව්ව.

"බලමු.."

නංගි කාල ඉවරකරල නැගිට්ටට මගෙ බත් එක එහෙමමයි.

..........................

දෙවියොයි ඉගෙනීමයි මතක් වෙන්නෙ කෙල උනාමනෙ.

මටත් කට ගාවට ආපු උසස්පෙළ විභාගෙයි, ට්‍රිප් එකක් හින්ද වෙච්චි ලැජ්ජාවයි දෙකම නිසා සුරේකව මග හැරල, කරන්න වැඩ තිබ්බ. එහෙම නැත්තන් කරන්න දේවල් හොයා ගත්ත.

විභාග කියන්නෙත් හරියට මොරටුවෙ අළුත්පාරෙ එන වාහන වගේ. බැලුවම තියෙන්නෙ හෙන ඈත. ඒත් හිතන්නත් කලින් අපිව පහුකරගෙන යනව.

එක දිගට අවුරුදු දොළහක් තිස්සෙ දුවපු දිවිල්ල හමාරකරල ජීවිතේ අන්තිම ගන්ධබ්බ කාලෙ, අතේ සතේ නැති, ඒත් මොහොතක් ගෙදර නැති ජීවිතේ පටන් අරගෙන තිබ්බෙ අලුත් පාසල් වාරෙ පටන්ගන්නත් කලින්ම. ඒ කාලෙ තමයි මග නතරකරල, වහල පැත්තකට කරල තිබ්බ හීන පස්සෙන් ආයි එලවගෙන යන්න ලැබුණ හොඳම කාලෙ.

සුරේකගෙ සිහිනය.! මාස දෙකකින් නොදැක්ක, හැමදාම දැක්ක හීනය හැබැහින් දකින්න ආපු මුල්ම අවස්ථාව, අළුත් පාසැල් වාරෙ පළවෙනිම දවස. ඒ මොහොත මග හරින්නම බැරි නිසා මම ගියා අපේ ගෙදරට උඩින් ඉන්න ඔගාව හම්බුවෙන්න. මොකද ඒ වෙනකොට පොඩි මල්ලි මොකද්ද කෝස් එකකට යන්න අරන්, දවල්ට ඌව අල්ලගන්න අමාරුයි.

ඔගා, එහෙම නැත්තන් ඔගස්ටස්. ඌට තිබ්බෙ සීසර්ගෙ නම උනාට වැඩ රෝමියෝ වගේ! අපේ සෙට් එකෙන් මුලිම්ම කෙල්ලෙක් එක්ක එෆෙයාර් එක පටන්ගත්තෙත් ඔගා. මුලින්ම ඒක බිඳිල විනාස වෙලා දුක්වින්දෙත් ඔගාමයි. ඒ නිසා අපි හැමෝම නිතර ට්‍රයි කරා උගෙ හිත හදන්න වෙන කෙල්ලෙක් සෙට් කරවන්න, ඒත් උගෙ හිතේ යමුණ හිටපු තැන හිස් උනේම නෑ.

ඇත්තටම ඔගා කියන්නෙ බොහොම අහිංසක, ඒ වගේම අති දක්ෂ, අවංක මිත්‍රයෙක්. ඉස්සරහ ගෙදර යමුණත් එක්ක තිබ්බ එෆෙයාර් එක විනාස වෙච්චි දුකට පිස්සු කෙලල, වහ බීල මැරෙන්න ගිහින්, විභාගෙත් අනාගත්තෙ නැත්තන් අනිවාර්‍යෙම්ම ඌ ඉන්ජෙක්! ඒත් අන්තිමට ආදරේ ඔගාව ගෙනල්ල නතර කලේ උන්ගෙ තාත්තගෙ ලියවන පට්ටලේ ඉස්සරහ.

මම යනකොටත් ඔගා පට්ටලේ වැඩ! ඌ මාව දැක්කම අර අර දිග ලිවර් එකක් එහාට කරල,කැරකෙන සිලින්ඩරේට අත තියල  නවත්තල, කොළපාට  කළුපාට කවරෙන් වැහිච්චි ලයිට් එක අස්සෙන් හිනා වෙලා බැලුවෙ හරියට මම එනකල් මග බලන් හිටිය වගේ!

"මචං උඹ දවල්ට කොහෙවත් යන්නැත්තන් චැලිය පොඩ්ඩක් ඉල්ලගන්න ආවෙ.."

ඔගා පට්ටලේ ලී තට්ටුවෙන් බහින්නත් කලින් මම ආව කාරනාව ඇදල ඇරිය!

අපිට වඩා කඩ්ඩ පොළිෂ්, අපිට වඩා ගණන් දන්න ඔගා, මජං පැල්ලන් එක්ක හිල් සමව පැතිරිච්චි පාට නොදන්න ටීෂට් එකයි, ඩෙනිමකින් කපපු ඉස්සර නිලට තිබ්බ බව පේන දණිහ ගාවට දිග කළිසමයි පිටින් අත්වල තෙල් රෙදිකෑල්ලකි පිහ පිහ මගෙ ලඟට ආව.

"හොඳ වෙලාවට උඹ ආවෙ. මටත් පොඩි වැඩක් තියෙනව, ඒකට මාව හන්දියෙන් දාල උඹ බයික් එක ගෙනියපන්"

මජං ඇඳුමෙන් හිටපු ඔගා එහෙම කියල සුරදූතයෙක් වගේ හිනා උනා.

"හරි මම දෙකට දහයක් තියල එන්නං!"

එහෙම කිව්වෙ ඒ වෙනකොටත් දොළහ පහුවෙලා තිබ්බ නිසා, ගෙදර ගිහින් නාල කාල ඇඳුමක් දාල පිළිවෙලට එන්න හිතාගෙන.

"හා..හැබැයි අපේ තාත්ත ඇහුවොත් කියපන් උඹට ක්ලාස් එකක් බලන්න මාව එක්ක යනව කියල"

ඌ මට කිට්ටූවෙලා සද්දෙ අඩූකරල එහෙම කියල ලෑලි ගහපු වැඩපොළේ බිත්තියක් දිහා බලල හිනා උනා.


......................

සුරේකගෙ ඉස්කෝලෙ ඇරෙන්නෙ 1.30ට. දෙක දෙකයි කාල වෙනකොට ඒගොල්ලො කල්දෙමුල්ල පාරට ඇවිත්! ඔගාව හන්දියෙන් දෙකට බැස්සුවම මට ඇතිවෙන්න වෙලාව තියෙනව.  අනික අද එයා අක්ක නැතුව ඉස්කෝලෙ ගිහින් එන පළවෙනි දවස. බකස් ගාන බතලිල ගමෙනුත් ගිහින්. මාව දැක්කම අපේ නංගි කොහොමත් ස්ලෝ වෙයි, නැත්තන් හය්යෙන් යයි.   ඒ නිසා  සමහරවිට කතා කරන්න බැරිවෙන එකක් නෑ! එහෙම උනොත් සුරේකගෙන් ඉස්සෙල්ලම අහෙන්නෙ මොනවද, ඒවට එයා දෙන උත්තර, ඉන් පස්සෙ අහන දේවල්....මගෙ හිත පිරිල කියන්න ඕන ඒව ඔක්කොම පැටලිල..

අදරේ කරන එක තරම්ම ආදරී ගැන සිහින දකින එකත් හරිම සුන්දරයි! මං ඒ හීනෙත් එක්කම ලැහැස්ති උනා.

හරියට දෙක වෙනකොට අපි දෙන්න පාරෙ. දවාලෙ මජං කිට ගහල හිටපු ඔගත් පිළිවෙලට ඇඳල, ඔගා පදිනව, මම පිටිපස්සෙ, දෙන්නම ගල්තොප්පි දාල චැලියෙන් වඩිනව. අපේ ඉස්සරහට එන සුදු ගවුම් අතරෙ සුරේක ඉන්නවද? පාර දෙපැත්තෙන්ම එන එක එක දිග කොන්ඩ, රවුම් මූණු, අස්සෙ මගේ ඇස් අතරමං වෙලාද!

දක්ෂ පතල් කාරයෙක්ට මඩ වතුර, තිරිවාන කෝටියක් අස්සෙන් තමන් හොයන මැණික දකින්න අපහසුවක් නෑ. ඈත සුදු ඇඳපු පුන්චි කෙළිපොඩ්ඩො ගොඩකට පිටිපස්සෙන් ඒ මූණ මම දැක්කෙ නංගිව දකින්නත් කලින්. ඒත් එක්කම චැලියත් ගැස්සුනේ මගෙ හිත ගැස්සුන හැටි දැනිල වගේ!

ඇස් පිල්ලමක වේගෙන් අපි සුරේකල ගාව.

උඩ පැන පැන එන අපේ නංගියි, තවත් ගිණිබෝම්බයක් වෙච්චි ගංග නංගියි මැද්දෙන් පාවෙවී ආපු ආපු සුරේක බිමට නමාගෙන හිටි මුහුණ ඇල කරල, අර මම හැමදාම හීනෙන් දකිණ ඒ ලස්සන ඇස් බෝල කරකවල අපි දිහා බැලුව.

අකුණු ගහන්නෙ එක මොහොතකට විතරක් උනාට, ඒ මොහොතට ඉර පෑව්ව වගේ එළියයි!

ඇස් උස්සල බලපු සුරේක මා එක්ක හිනා උනා, ඔව් ඇස් වලින් විතරක් නෙමෙයි, ඇය බොහොම ආදරෙන් මන් දිහා බලල පළවෙනි පාරට සුන්දරව හිනා උනා!

ලෝකෙම එක තැන නැවතිල, චැලිය විතරක් ඉස්සරහට ගියා!

....................

බඩගාගෙන ආපු ඔගාගෙ චැලිය  හන්දියෙ පබසර එක ඉස්සරහ නැවැත්තුව. ඌ බයික් එක නවත්තනකොට මම බැහැල හිටගෙනත් ඉවරයි. හුටු හුටු ගාන චැලියක පිටිපස්සෙ ඉන්නවට වඩා කඩේක ප්ලාස්ටික් පුටුවකට බර දීල, සිගරට් දුම අස්සෙන් යන්න ගොඩක් දුර ගමණක් මට තිබ්බ.

"ඉන්දිකය වරෙන් මොනා හරි බොමු" ප්ලේන්ටියක් එක්ක ගෝල්ලීෆ් එකක් බොන්න මට තිබ්බ ආසාව තේරිල වගේ ඔගා ඇහුවෙ.

"වරෙන් බං, ෆලුඩ එකක් ගහල යමන්, .."

දුක එන්නෙ පෙළට, සතුට එක පොදියට! රසම රස කූල් ෆලුඩ වීදුරුවෙ, උඩිම්ම තියෙන අයිස්ක්‍රීම් ගුලිය බින්ද බින්ද තොල ගගා, අර හිනාව ආයි ආයි මතක් කරන්න මට ලැබිච්චි අවස්ථාව.... දෙපාරක් හිතන්න දෙයක් තිබ්බෙ නෑ. මම දන්නව ඔගා ගාව සල්ලි තිබ්බ නිසා තමයි මට කතා කලේ කියල. ඒ හින්ද සද්ද නැතුව ඔළුව වනපු මන් ඌටත් කලින් ගිහින් පබසර එකේ රවුම් මේසෙ වටේ තිබ්බ ෆයිබර් පුටුවටක වැතිරුණා.

"මල්ලි ෆලුඩ දෙකයි... " එහෙම කිව්ව ඔගා මූනෙ හීන් හිනාවක් එක්ක මං දිහා බලන් උන්නෙ "මොකද යකෝ මූ මෙච්චර ජොලියෙ" කියන්න වගේ!

ඇත්තටම මගේ හැඟීම හංගන්න ඕනකමක් තිබ්බෙත් නෑ, ඕන උනත් ඒක එහෙම කරන්න මට හය්යක්තිබ්බෙත් නෑ. ඒතරමට සුරේකගෙ හිනාව මාව පිස්සු වට්ටලද?

මගේ හැඟීම තේරුං අරන් වගේ ඔගත් සද්ද නැතුව හිටිය. සමහරවිට සුරේක හිනා වෙනව ඌත් දකින්න ඇති.!

සීතල වතුර බිංදු තැවරිච්චි පාට පාට ෆලුඩ විදුරුවක් ගේන්න වෙනදට විනාඩි දහයක්වත් යනව. ඒත් එදා ඉඳගත්ත විතරයි, මෙන්න පට ගාල ෆලුඩ දෙක අපි ගාව!

පාට පාට ෆලුඩ වීදුරුවෙ රස අඩුවැඩි කරල බැලන්ස් කරන්නෙ උඩින්ම තීන රවුම් අයිස්ක්‍රීම් කන්ද! වීදුරුවෙ අන්තිම බින්දුව ඉවර වෙනකල් දිය නොවී, පරෙස්සමෙන් අයිස්ක්‍රීම් ටික ටික එකතු කරල ෆලුඩ එකක් රහ බලන්නත් පොඩි හුරුවක් තියෙන්න ඕන. ගොඩක් වෙලා ගියොත් අයිස්ක්‍රීම් ඉබේම දියවෙනව, එතකොට වැඩක් නෑ. එහෙම නැතුව ඉස්සෙල්ල අයිස්ක්‍රීම් විතරක් කාල ෆලුඩ එක බොන්න ගත්තත් ෆලුඩ එකේ සැර පැනි රහ මිසක් වෙන රහක් දැනෙන්නෙම නෑ! හැම දෙයකම කළාවක්.

 තට්ටු ගවුමක් ඇඳපු ගෑණු ළමයෙක්ගෙ රන්වන් මූන වගේ පාට පාට ෆලූඩ වීදුරුවෙ උඩිම්ම උන්නු වැනිල අයිස්ක්‍රීම් ටික දිහාවෙ බලාගෙන ඉන්නකොටත් මට පෙණුනෙ සුරේකව!

"ඉන්දිකය, උඹට පොඩි සීන් එකක් තියෙනව කියන්න"

චූටි කළුකූඹියෙක් රවුම් මේසෙ දිගේ ඇවිත් මගේ වීදුරුවට නගින්න හදනව!

"ඇයි ආයි මොකක් හරි අවුලක්ද?"

වෙනදට පොඩි කරල දාන්න දෙපාරක් හිතන්නෙ නැති කූඹියව පැත්තක ගසල දාන ගමන් මම ඇහුවෙ ඔගා නිතරම කියන සීන් උගෙ හිත රිදුන ඒව නිසා.

"නෑ අවුලක්ම නෑ. මම ආයි ගර්ල් කෙනෙක් ගැන හිතුව.. මචං අයිම් ෆෝල්න් ලව් විත් හර්..."

සීතල, රසම රස ෆලූඩ් උගුරක් පපුව හරියෙන් පහලට යනව දැනෙත්ති මම ස්ට්‍රෝ එක තොල් වලින් කිටි කිටියට තදකරගෙනම ඔගා දිහා බැලුවෙ සන්තෝසෙ දෙගුණ වෙලා ඇහෙන දේ විස්වාස කරන්න බැරිවෙච්චි නිසා!

ඔගාට පිටිපස්සෙන් තියෙන ලොකු වීදුරුවෙන් ගාලුපාර දිගට පේනව. වෙනදට පාරෙ දකින ලස්සන කාර්, උස ජීප් වෙනුවට මට පෙනුනෙ ගාලුපාරෙ මැද එක පෙලට තීන රොබරෝසියා ගස් පේලියෙම මල් පිපිල තියෙන අපූරුව.

රොබරෝසියා ගස් සේරගෙම මල් පිපෙන්නෙ එකම කාලෙට!

"උඹ හෙල්ප් කරනවද?"

ඔගා ඇහුවෙ අහන්න ඕන්නැති ප්‍රශ්ණයක්. ඌටයි මටයි අපි දෙන්නගෙ ගර්ල්ස්ලත් එක්ක එම්සී එක පැත්තෙ ගිහින්, කේඑෆ්සී එකෙන් කාල ෆිල්ම් එකක් බලල එන්න, ගල්කිස්සෙ බීච් එක දිගෙ ඇවිදින්න, පල්ලියකට හරි පන්සලකට හරි යන්න, කොයිතරන් දේ කරන්න බැරිද, මට හිතුන.

"එළකිරි... කවුද කෑල්ල?" වෙන වෙලාවකනම් මම මුලිම්ම උගෙන් අහන්න තිබ්බ ප්‍රශ්ණෙ!

"අර උඹලගෙ නංගිත් එක්ක එන කොන්ඩෙ කොටට කපපු ගර්ල්...."

තඩි මැස්සෙක් කොහෙද ඉඳන් එකපාරටම ඇවිත් කෙලිම්ම වැහුවෙ වීදුරුවෙන් උඩට මතුවෙච්චි මගෙ ස්ට්‍රෝ එක උඩ!

"එයා අපේ ජෙරම් අය්යලගෙ ගෙදර එනව ඉංග්ලිෂ් ක්ලාස්. ඒ ගර්ල් මාර ඉනස්නට් මචන්. මම එක දවසක් කතා කරා ඒත් කොහොමද කියල විතරයි ඇහුවෙ. ඊට කලින් ඉඳලම ෆලෝ කරා, හැබැයි හිනාවෙලා යනව විතරයි.  පස්සෙ මම විස්තරත් හෙව්ව. ඉන්නෙ සුධර්මාරාම පටුමගේ. අර ලොකු මල් වැටක් තීන්නෙ බං...උඹලගෙ නංගිගෙ වයසෙම තමයි.." ඔගා කියෝගෙන යනව.

එෆ්.එම් නයින්ටිනයින් කියන්නෙ මෙලෝ රහක් නැති සින්දු යන චැනල් එකක් උනාට පබසර එකේ බුවා දාන්නෙම ඒක.

"ඉතින් උඹ පොඩ්ඩක් නංගිට කියල එයා එක්ක කතා කරන්න විදිහක් සෙට් කරල දියන්, හරිද...අවුලක් නෑනෙ..."

"නෑ බං...මොන පිස්සුද...මං හෙල්ප් කරන්නං..."

අය්සික්‍රීම් ටික දියවෙලා ගිය බීපු නැති ෆලුඩ වීදුරුව එහාට කරල මම  සිගරට් එකක් පත්තුකරගත්ත.




LinkWithin

Related Posts with Thumbnails