Tuesday, May 20, 2014

ඉරිදා ලක්බිම පු ක හොරකම් කල හැටි...!!! Lakbima



ලක්බිම කියන්නෙ මම ගොඩක් කල් ඉඳන් කියවපු, අනික් පත්තර වගේ බොරුව මිථ්‍යාව වපුරන්නෙ නැතිව තරමක් දුරට මැද මාවතක ගිය ( මෙහෙට පත්තර ගේන එක නතර කරල හින්ද දැන් අවුරුද්දක් විතර වෙනව කියවන එක නතර වෙලා - ඉතින් මැද මාවතේ යන කියන වචනෙ ලියන්න බෑ ) පත්තරයක්.

කොටිම්ම ඔය කතන්දර කියන උන්දැ ලියාපු ලිපියක් ලක්බිමේ තියෙනව දැකල තමයි මම සිංහල බ්ලොග් ගැන මුලිම්ම ඇහුවෙ සහ සිංහල බ්ලොග් හොයගෙන එන්න පෙළඹුවෙ. ඉතින් මගේ බ්ලොග් ආගමනයට මුල් වුනු එක හේතුවකුත් ලක්බිම.

අනික් පැත්තෙන් මේ මැයි මාසෙ කියන්නෙ අමාරුවෙන් ලිපි එකසිය තිහක් විතර ලියල ඇදගෙන ආපු මගේ සැහැල්ලුව බ්ලොග් එකේ හතරවෙනි සංවත්සරේ යෙදෙන මාසෙ.

ඔන්න ඔය මැයි මාසෙ මම මගේ බ්ලොග් එකේ දාපු සුනිල් පෙරේරාගේදුන්තෙල් බත් දන්සැකියන ලිපිය මගේ ප්‍රියතම සහ මට බ්ලොග් වලට පාර පෙන්නපු ඉරිදලක්බිම මේ පහුවෙච්චි මැයි දහ අටවෙනි ඉරිද රිද්ම අතිරේකයෙ දාල! 


හැබැයි කාරණාව කියන්නෙ අදාල කතාව දාල තීන්නෙ මගේ පරම්පරාවෙවත් නැති කාගෙද මන්ද එකෙක්ගෙ නමක් ලොකුවට දාල මිසක් මගේ නම හෝ බ්ලොගේ ගැන සඳහනක් කරල එහෙම නෙමෙයි.

එක අතකින් තමන්ගෙ ලිපියක් ප්‍රධාන ධාරවෙ තම්න් කැමති වර්ගෙ පත්තරේක යනකොට එන සතුටයි, ඒක වෙන කෙනෙකුගෙ නම ගහල, මගේ නම තිබ්බ කොටස් කපල අමු අමුවෙ හොරකන් කරල කියල දැක්කම දැණුන කළකිරීමයි අතරෙ හැඟීමක තමයි මම පහුගිය දවස් දෙකේ හිටියෙ.

කොහොම උනත්, ලක්බිමේ අය්යල මට දුන්න ගේමට ගැලපෙන ගරිල්ල රිටන් එකක් දෙන්න මමත් තීරනය කලා.

දැන් කාට හරි ඔය "ඉරිදා ලක්බිම පුවත්පත් තුවරයා හොරකම් කල හැටි" කියන හෙඩිමෙ පුවත් පත් කතුවරයා කියන වචන දෙක කෙටි කරල අතර මැදට තිතක් තියල කියල පෙනුනෙ නෑ කියනවනං, මට කියන්න තියෙන්නෙ අච්චර අර ලක්බිම පත්තරේ මහත්තයලට මේ කතාව ලිව්වෙ ඉන්දික උපශාන්ත කියන එක නොපෙනුන එකේ ඕකත් ගනං ගන්න තරං දෙයක්ද කියල විතරයි.

මේ දේ ගැන ඔත්තුව මුලිම්ම දුන්න වී පොකුරෙ වීයටත්,බ්ලොග් දන්සැලක් දාලද අහපු අරූ සහෝදරයටත් ස්තූතියි!


ප/ලි

සහෘද බ්ලොග් රචක රසික සූරියආරච්චි මහතා විසින් මේ සිද්ධිය පිළිබඳව ඉරිදා ලක්බිම ප්‍රධාන කතෘ අනුර හොරෙෂස් මහතාගෙ සහ කතුමඩුල්ලේ තිස්ස ප්‍රේමසිරි මහතාගේ පුද්ගලික ඊමේල් ලිපිනයන්ට අද (මැයි 21 දින ) උදෑසනින්ම දීර්ඝ සහ සවිස්තරාත්මක ඊමේල් ලිපියක් යවා තිබිනි. 

එයට පිළිතුරු ලෙස අනුර හෝරේෂස් මහතා විසින් " රසික...ඔබට ස්තුතියි මේ විස්තරයට. මම මේ ගැන සොයා බලන්නම්.! - අනුර හොරේෂස්." යනුවෙන් පිළිතුරක්ද එවා ඇත.

රසික, ඔබ කල ක්‍රියාව සහෘද බ්ලොග් කරුවෙකු වෙනුවෙන් කල උපකාරයකට වඩා සමස්ථ සිංහල බ්ලොග් රචකයන්ගේම අයිතියක් වෙනුවෙන් නොපමාව කල මැදිහත්වීමක් සහ මෙහෙවරක් ලෙස දකිමි. ඔබට බොහොමත් ස්තූතියි! 




ප/ ප/ලි

පසුගිය මැයි 21 දින අප හිතවත් ප්‍රවීණ ලේඛක හෙන්රි වර්ණකුලසූරිය මහතා විසින් මේ ගැන ලක්බිම ඉරිදා සංග්‍රහය ප්‍රධාන කතෘ "නිහාල් පීරිස්" මහතාගේ පුද්ගලික ඊමේල් ලිපිනයට දීර්ඝ ඊමේල් පණිවුඩයක්, ඒ වනවිට මෙහි පලව තිබූ 96 වූ කමෙන්ට්ස් ද සමඟ සටහන් කර යවා ඇති අතර එයට පිළිතුරු ලෙස "නිහාල් පීරිස්" මහතා විසින් "
Dear Henry,  I have already taken action on this. A correction will be published next week (2 June) Ridma. Pl  inform ur friend as well. Rgds, Nihal." ලෙසින් පසුදින (22) පිළිතුරු එවා තිබුනි.

හෙන්රි, නැවතත් මා පැවසන්නෙ ඔබද මෙය මිතුරෙකුට කල උපකාරයකට වඩා සමස්ථ සිංහල බ්ලොග් රචකයන් වෙනුවෙන්ම කල මැදිහත්වීමක් සහ
මෙහෙවරක් ලෙස මා සිතන බවයි. ඔබටත් ඒ වෙනුවෙන් මගේ ප්‍රණාමය!



(මේ පින්තූරෙ කම්මැලිකමට ඇනෝනිමසයාගෙන් ඉස්සුවෙමි.)
පොරොන්දු වෙච්චි විදියටම ඉරිද ලක්බිමේ මේ ගැන නිවැරදි කිරීමක් සටහන් කරල තියෙනව. ඒත් ඒ සටහන නිවැරදි එකක්ද කියන ගැටළුව දැන් ඇතිවෙලා තියෙනව.

මේ ගැන මේ මොහොතෙ කතන්දරගෙ අඩවියෙ ඔහු විසින් අගනා උපැහැරනයක් සහිතව ලිපියක් ලියල තියෙනව. ඒ වගේම මේ ඉඳුරුවේ ආචාරියා වගේ වෙච්චි නිහාල් පීරිස් මහත්තයට මේ ගැන වෙනම ලිපියකින් දැනුම් දෙන්නත් බලාපොරොත්තුවෙනව. ඒත් මේ නිවාඩු කටේ වැඩ ගොඩගැහිල නිසා තමා සේරම විනෝදාංශ අතෑරෙන්නෙ.

මේ කාරණවෙදි මට උදව් කරපු, අදහස් දක්වපු සහ පොදුවේ සියළු බ්ලොග් කරුවන්ට අනාගතයේ ඇතිවිය හැකි ගැටළුවක් වෙනුවෙන් එකතු වූ සැමට ස්තූතියි...!!.

Wednesday, May 14, 2014

අපිට කොහෙද පුතේ ලේන් පූසො?


අද වෙසක්..

කාන්තාරෙ අපිට

හැමදාම නත්තල්ලු

ඒත් ඉතින්...

අල වගේද ගෝව?


Sunday, May 11, 2014

දඟ මල්ල ලිහී අද, කඳුලු බිඳි විසිරිලා...... නැඟනියනි ඔබ සෙමෙන්... යන්නටම ගිහිල්ලා!!!!



කුසුමක්..

විකසිත වූ විගස..

නටුවෙන් ගිළිහුනු.. සුවඳ කුසුමක්..

නෙක කිඩාරම් දෙපසය..

නැත කිසිත් දොසක්...

පරව යයි සුවඳ කුසුම්

තබමින් නෙතඟ කඳුලක්..
.
.
.
.


ජනිතා රාජපක්ෂ නැඟනියනි, ඔබට මෙවන් අකල් මරණයක් උපනූපන් ජාතිවත් නොවේවා....!

ඔබ දුකාගේ මෙම සටහන දකින්න ඇතැයි සිතමි. එහෙත් අපට යමක් කරන්නට ඉඩ නොතබා ඇය රහසේම නික්ම ගොසිනි...!

සෝරෝගේ අඩවියෙ කියල තියෙනව "දේහය තැන්පත් කර තියෙන්නේ බොරලැස්ගමුව මල්ශාලාවේ බවත් අවසන් කටයුත් 13 වන අඟහරුවාදා බවත් දැනගන්නට ලැබුනි" කියල.

Friday, May 9, 2014

සුනිල් පෙරේරාගේ දුන්තෙල්බත් දන්සැල.... gypsies vs Gypsies



දන්සැල් කරුවන්ගෙ වදයෙන් බේරෙන්නට "අපි කතෝලික"යැයි බෝඩ් ගසාගත් පුවතක් පසුගිය දිනවල අන්තාර්ජාලයේ දුටු මට පැරණි සිද්ධියක් සිහිවුනි.

ඒ මෙයට වසර දහයකට පමණ පෙර බක් මස අග විය. තම නව නිවසෙහි ඉදිකිරීමක් ගැන සාකච්ඡාවකට මම රත්මලාන බෙලෙක්කඩේ හන්දියෙහි තිබූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ කාර්‍යාලයෙහි ඔහු හමුවන්නට ගිය දිනෙකි.

සුනිල් පෙරේරා යනු වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම රසවතෙකි. ඔහු හා කතාවට වැටුනු කල කාලය ගතවීම අමතකවීම මට වන ලොකුම ඇබැද්දියයි.

එදිනද අපගේ මූලික කාරණය පිලිබඳ සාකච්ඡාවෙන් පසු, සුනිල් සමඟ ඔහුගේ අතිශය රසවත් කතා, අත්දැකීම් පොත පෙරලමින් සිටියෙමු.

සුනිල් පෙරේරා යනු රසවතකු පමණක් නොව, පිළිවෙලකට වැඩ කරන, නිසි පරිදි කාර්‍යාලය පවත්වාගෙන යාමට උනන්දුවෙන, තනි වචනයේ මිනිසෙකි.

ඉතා පිළිවෙලකට, ක්‍රමාණුකූලව ලිපි ගොනු අසුරා ප්‍රියජනක ලෙස පවත්වාගෙන ගිය එම කාර්‍යාලයේ සිටියේ සුනිල් අය්යාට අමතරව තවත් පිරිමින් දෙදෙනෙකු පමණි. ඉන් එක් අයකු අමුත්තන් හමුවන බරාඳයේම මේසයක සිටි වයසක මහතෙකි. අමුත්තන්ගේ වත ගොත විමසා, එතන ඇති දොරෙන් සුනිල් අය්යා හමුවට පැමිණවීම කිරීම ඔහුගේ මූලික රාජකාරියක විය හැක. අනෙකා අසල කාමරයක සිටියහ.

එදිනද බොහෝ වේලාවක් ගතවී තිබූ අපේ සාකච්ඡාව රාජකාරියෙන් එහා ගිය සුහද කතාවක් වී ඇතිබව දැන් හෝ නොදැන අර බරාඳයේ සිටිනා රිසෙප්ෂන් අංකල් කාමරයට මඳක් එබී,

" දන්සැලකට ආධාරයක් ඉල්ලගෙන ළමයි වගයක් ඇවිත් ටිකක් වෙලා, එවන්නද ඇතුලට, නැත්තන් මම කීයක් හරි ලියල යවන්නද" යැයි සුනිල්සුනිලුන් විමැසීය.

මා දිහා බැලූ සුනිල්

"මල්ලි, අපි මේ පොඩි උන්ට පොඩ්ඩක් කතා කරල ඉමු, ඔයා ඔහොම ඉන්න අවුලක් නෑ" යැයි මා හට පවසා
"හරි xx අය්ය, එන්න කියන්න ඒ අයට"

ඒ සමඟම මට පිටුපස වූ ඇලුමිනියම් දොරෙන් කිහිප දෙනෙකු ඇතුලුවනවා මට දැනුනි. මා සිටියෙ අමුත්තන්ගෙ අසුනෙහි නිසා ඒ පැමිණි "පොඩි උන්" එක් වරම දිස් නොවුනු මුත් යමක් වැරදී ඇති බව ඉදිරියෙහි ඇති සුනිල්ගේ මුහුණෙන් පැහැදිලිය.

“ආ මල්ලිල එන්න, මොකද්ද සීන් එක?”

“සුනිල් අය්ය අපිව මතක ඇතිනෙ, අර ගියපාරත් ආවෙ. මෙතන මේ...”

“ආ ඔව් ඔව් ...ඉන්දික මේ මගේ හොඳ දන්න මල්ලිල සෙට් එකක්. මුන් මරු කොල්ලො ඈ. කොහෙද මල්ලි ඕගොල්ලන්ගෙ ඔය තැන...බලහන් මට පටලැවෙනවනෙ නිතරම..”

සුනිල්ගේ ඒ හඳුන්වාදීමත් සමග පසුපසට හැරුණු මා දුටුවේ නියම කොල්ලන් හතර පස් දෙනෙකි.

උන් හැමටම පොදු එක ලක්ෂනය වූ කේඩෑරී වී ගිය පොල්ගස් සිහිකල පෙණුම, මේ "අය්යලා" ගැන යම් අදහසක් මැවීය.

 එකෙකුගේ වත් කලිසම් කමිස ලඟදී සෝදා දැමූ බවක් නොපෙනුනි. අත්දිග කමිස ඇඳි උන්ගෙ අත් සුරුට්ටු සේ එතී එල්ලෙමින් තිබුනි. ටීශර්ට් කාරයෝ තම බැගී ටීශර්ට් ගෝනි තුල බැස කෙහෙතගේ අපලෙ වැදුනු ඔලු එළියට දමා ගෙනය.  මඩපාට සෙරෙප්පු අස්සෙන් අලි නියපොතු පිරි ඇඟිලි මිරිකෙමින් එළියට විරිත්තාගෙන් සිටියහ.

එකෙකු අත කොටසක් කහ සහ තවත් කොටසක් දුඹුරට හුරු රෝල් වූ ෆයිල් එකකි. දෙදෙනෙකුගේ පමණ ඉතාම කෙටිව කැපූ කොන්ඩාද, අනෙකුන්ගේ හිස් මත කපුටු කූඩුද විය.
 
මොහොතකට පෙර දොර ඇරෙද්දී සුනිල්ගේ මූණ ඇඹුල් වූ හේතුව දැන් ඉතා පැහැදිලිය.

“අපි මේ මේ වළව්වත්තෙ සුනිලය්ය...”

“ආ ඔව් ඔව්..හරි දැන් මට පැටලුනා බන් මේ බායිවත්තත් එක්ක...ඉතින් මල්ලි ..මොකද්ද සීන් එක?”

“සුනිලය්ය අපි මේ පාර දුන් තෙල් බත් දන්සැලක් දෙනව අපේ රජමාවත කෙලෝරෙ වැල්ල ගාව.”

“අම්මට සිරි, නියම කෑම මල්ලි. මාත් හෙන ආසයි දුන්තෙල් බත් වලට...ඉතින්..”

මල්ලිලාගෙ මූණුවල සිනා සමග කෙළ බේරෙනවා මට කනින් පෙනුනි.

“අය්යෙ ඉතින් අපිට ආධාරයක් කරන්න පුළුවන්නෙ මේ පාරත්”

“නැතුව බං. දැන් මොනාද ඕන.”

“ඔක්කොම හරි සුනල්ලයෙ අපිට තව හාල් මිටියක් තිබ්බනං”

“හරි හරි, මල්ලි ලියාගන්න මගෙන් සම්බ මිටිය..දැන් කොහෙටද මම ඔය හාල් මිටිය ගේන්න ඕන”

“නෑ සුනිලය්ය කරදර වෙන්න එපා, අපි ගන්නං, ගාන හයසිය පණහක් විතර වෙන්නෙ, කොටුවෙන් තොගේට ගන්න ඉන්නෙ.”


“මොන පිස්සුද මල්ලි නිකන් ලොරිවලට ගෙවල කොටුවෙ යන්නෙ, මේ එහාපැත්තෙ බෙලෙක්කඩේ මගෙ මිනිහෙක් ඉන්නව..මම ඌට කියන්නං. මිනිහ ඕගෙඔල්ලන්ගෙ පොට් එකෙම්ම ඇවිත් බාල යයි. ඔයාට ඉතුරු එව්වත් උගෙම්ම ගන්න, මම කියන්නං මිනිහ කොටුවෙ ගානටම දෙයි...”

“නෑ සුනිලය්යෙ, අපි පොඩි ඇඩ්වාස් ඒකුත් දීලයි තීන්නෙ කොටුවෙ කඩේට. අපී කොල්ලෙක් ඒකෙ වැඩ, ඉතින් ඩිස්කවුන්ට් එකට හම්බවෙනව ඒකයි.”

“ආ එහෙනං මල්ලි මගේ මිටිය මම අපේ මිනිහට කියන්නං ගෙනත් දාන්න කියල් ඕගොල්ලන්ගෙ ස්පොට් එකට.”

“මෙහෙමයි සුනිලය්යෙ, ඔය දුන්තෙල්බත් වලට වෙනම හාලක් තීනව..ලු, උයන කෙනා තමා කිව්වෙ. ඉතින් වෙන ඒව ගත්තම කලවං උනොත් පොඩ්ඩක් අවුල් වෙයි කියල මෑන් කිව්ව. “

“මොන පිස්සුද මල්ලි, කවුද කිව්වෙ, මගේ ගාව ඉන්නව ටොප් පොරක්, ඌ හදනව දුන්තෙල්බත් හාල් ජාති පහ එකට දාල. මාර රහයි. මං කියන්නං මල්ලි වැඩේ, මම ඌව අල්ලල දෙන්නද ඔයගොල්ලන්න්ට උයන්න..”

“ටැන්කිව් සුනිලය්යෙ, ඒත් දැන් බෑ, මොකද අපි කුකාටත් ඇඩ්වාන්ස් එකක් දීල බුක් කරගත්ත, මොකද නැත්තන් සීසන් එක නිසා අල්ලන්න අමාරුනෙ..”

“හරි මල්ලි. එහෙනං මෙහෙම කරමු.”

“මම බෙලෙක්කඩෙන් හාල්මිටියක් අරන්, මගේ කුක්ට කියල එළකිරි වගේ දුන්තෙල් බත් එකක් උයල කල්දේරමක දාල දන්සැලටම එවන්නං. ඕක කන එකාට උඹලගෙ කුකාද මගේ කුකාද කියල අවුලකුත් නෑ, උඹලගෙ හාල් ද මගේ හාල්ද කියල වුලකුත් නෑනෙ. උඹල දන්සැල ඉවරවෙල මට ආයි කල්දේරම දීපන්, ඒ ඇති. හරි මල්ලි, එහෙනං ලියාගනින්, සුනිල් පෙරේර, දුන්තෙල් බත් කල්දේරම් එකයි කියල.”

“හරි සුනිලය්ය අපි එහෙනං ගීන් එන්නං. බුදු සරණයි”

“හරි මල්ලි ජේසු පිහිටයි!”

පොඩි උන් ටික සුනිල් අය්යාගේ අම්මාට පින්දිදී පිටව ගිය පසු

මුන්ගෙ දුන්තෙල් මදි මල්ලි මේ සුනිල්ව තම්බන්න. මුන් මේ සීබීච් රෝඩ් එකේ කුඩ්ඩො සෙට් එකක්, එනව මෙතන දුන්තෙල්බත්වල හාල් මුට්ට ගන්න සල්ලි එකතු කරන්න.."

 (පින්තූරය හැලපේගේ අඩවියෙනි.)

LinkWithin

Related Posts with Thumbnails