Wednesday, September 14, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...II




කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...I


තාත්ත හිටගෙන් ඉඳැද්දි මං කොහොමද ඉඳගන්නෙ. හිමීට ඇහුණෙ නැති ගානට ජනේලෙ උඩින් එන මදුරුවෙක් දිහා බලාගෙන ඔහේ උන්න.

පුටුවෙ කුෂන් තදවෙන සද්දෙන් තේරුනා තාත්ත ඉඳගන්න බව. මම තාම මදුරුවගෙ ගමන් මාර්ගය නිරීක්ෂනයෙ.

"ඇයි……." මාව ආයි ගැස්සුනා.. …“ගිහින් පොත්වල වැඩක් කරගන්නව”

බලනකොට මට නෙමෙයි ඒ නංගිට. “හොඳ වැඩේ, එනව මෙතන කෝප්ප හෝදන්න”...හිතුවට මම තාම කතා නෑ.

ලොකුපුතේ... මේව ගමට ඇහෙන්න කෑ ගහල කතා කරන්න පුළුවන් ඒව නෙමෙයි. ඒ හින්ද ඔහොම ඉඳ ගනින්... ඒ මාව දැපනෙ වැටනෙ අම්මගෙ වචන...

තාත්ත ඉස්සරහ තනි ලොකු පුටුවෙ මම ඉඳ ගත්තෙ අම්ම දිහා බලං...

"මොකද්ද ලොකු පුතේ මේ මිනිස්සු මේ කියන්නෙ? ඇයිඅපිට මේ වගේ කතා අහන්න දෙන්නෙ..ඔයා කොයිතරං තේරෙන ළමයෙද" අම්මගෙ හැම දාම මගෝඩියක් කලාට පස්සෙ කියවන රෙකෝර්ඩ් එක පටන් ගත්ත...

“ඔයා පොඩ්ඩක් කටපියා ගන්න" ටිකක් තදින් කිව්වට මොකද තාත්තගෙ හඬ අමුතුයි.

“ලොකුපුතේ….." කවදාවත් තාත්ත මට කතා නොකරපු අමුතුම ටෝන් එකක්..තවදුරටත් අහක බලන් ඉන්න හයියක් තිබ්බෙ නෑ, ඒත් කෙළින්ම මුණ බලන්න බැරි කමට තාත්තගෙ පළල් උරිස්ස ලඟින් පේන කණප්පුවෙ කැටයං දිගේ හිමීට උඩට බලං ආවෙ රකුසු මූණ දකින්න හිතං.

කවදාවත් නොදැකපු මහා පරාජයක්ද නැත්තං පහුගිය අවුරුද්දෙ අපි ඔක්කොම මරණව කියල තුණ්ඩුව ආව දවසෙවත් නොතිබ්බ බයක්ද මන්ද ඒ මූණෙ තිබ්බෙ!
කොහොම උණත් තාත්ත එහෙම ඉන්නව දැක්කම මට භයකට වැඩිය දරුණු මහ අමුතුම හැඟිමක් ඇති උනා.

“පුතේ...දන්නවනෙ කමල ඇන්ටි මොනාද කියල යන්න ඇත්තෙ කියල? මට ඔය වයසෙදි තේරුණාට වඩා ගොඩක් දේවල් අද ඔයාට තේරෙනව. මායි අම්මයි කසාද බැන්දෙ අපි දෙන්නගෙ තනි කැමැත්තට නිසාඅපි වින්ද හැම දුකක්ම සතුටක් විදියට භාර අරන් අද ඕගොල්ලොත් එක්ක සතුටින් ඉන්නව. අපි වින්ද දුක අපේ දරුවොන්ට දෙන්නෙ නෑ කියල හිතා ගත්තෙ උඹල උපදින්නත් ගොඩක් කලින්. ඒත් හිතාගන්න බැරි තරං ලොකු පවක් කරල හින්ද වෙන්න ඇති උඹ අද අපිට කැමතිවෙන්න බැරි කෙනෙක් එක්ක සම්භන්ධයක් පටන් අරන්. අම්ම මොනා කිව්වත් මම උඹ කරපු දේට විරුද්ධ වෙන්නෙ නෑ. ඒ උනාට මෙන්න මේක මතක තියා ගනින්. අද මගෙ දරුවො හැටියට උඹලට ලැජ්ජාවක් නැතිව ආච්චි කවුද සීය කවුද කියල මගේ ගමට ගිහින් හරි අම්මගෙ ගමට ගිහින් හරි බලන්න කතා බහ කරන්න පුළුවන්. අපේ නෑයො අහවල්ලු කියල ඕන කෙනෙක්ට කියන්න පුළුවන්.
අම්මයි මායි ගැන කිසි කෙනෙක් කිසි කතාවක් කියන්නෙ නෑ. මම අවුරුද්දට මාස තුනයි ගෙදර ඉන්නෙ කියල උඹලගෙ අම්මට කිසි කෙනෙක් නරක යෝජනා ගේන්නෙ නෑ. ඒ අපි ඉන්න විදිය ගැන හැමෝම දන්න නිසා. හෙට උඹ ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනාවොත් උඹේ යාළුවො ඒ ගෑණිගෙ අම්මට සැක නැතුව අඳුන්නල දුන්නෑකිද? උඹෙ මණමාලිව පෝරුවට නග්ගන්නෙ කමලගෙ මිනිහද නැත්තං අර පිටිපස්සෙ කාමරේ ඉන්න උඹෙ ඔය කෙල්ලට වියදං කරල උගන්නන දෙවනි මිනිහද? කවදහරි දවසක ඒ කවුද කියල උඹේ දරුවෙක් ඇහුවොත් මොකද්ද පුතේ දෙන උත්තරේ…?”

මගේ ඔළුව කැරකෙන්ට පටන් අරන්ද මන්ද! තාත්තට පේන මේ දේවල් නෙමෙයි මට පෙණුනේ ගිහාණිගේ සුන්දර මුහුණ විතරමයි. මම බඳින්නේ ගිහාණිව විතරක්ම විතරක් නෙමෙයි කියල දැන්ද එතකොට මට තේරෙන්නෙ....

“ලොකුපුතේ...උඹ ඕන කුලේක ඕන දිහාවකින් කැමති කෙනෙක් හොයල යාළුවෙයන්...”

මෙය තාත්තා කෙනෙකුගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන් වචනයක්ද? අපේ තාත්තා කලාතුරකින් හම්බවෙන අමුතුම මිනිහෙක් කියල අම්ම කියන්නෙ මේ හින්දද?

“හැබැයි උඹ් බඳින කෙල්ලගෙ වගේ පවුලෙ උන්ගෙත් චරිතෙ හොඳ නැත්තං උඹට හැමදාම වෙන්නෙ සැකෙන් බයෙන් ජීවත් වෙන්න. ලෝකෙන් වහං වෙලා හැංගිල ඉන්න. මිනිස්සු ඉස්සරහ මෝඩයෙක් විහිළු කාරයෙක් වෙන්න. ඉස්සෙල්ල මං කියපු දේවල් ගැනයි, උඹෙ ගෑණු ළමයගෙ අම්ම ගැනයි තාත්ත ගැනයි අර ජයසේන ගොය්ය ගැනයි මිනිස්සු කියන්නෙ මොනවද කියල හොඳට හොයල, ඒ අය ගැන කවුරුත් හොඳක් කියනවද බලන්න. ඉන් පස්සෙ ඔයාගෙ ගෑණු ළමයගෙන් අහන්න කවුද ජයසේන කියන්නෙ කියල? ඔය දෙකට හිත සතුටුවෙන් උත්තරයක් ඔයාටම හොයා ගන්න පුළුවන් උනොත් මං ඊළඟ නිවාඩුවට ආවම මට කියන්න. මේ මුළු ලෝකෙම උන් අකමැති උනත් මං ඔය දෙන්නට එදාට ආශිර්වාද කරනව. එහෙම සතුටු වෙන්න පුළුවන් උත්තරයක් ලැබුනෙ නැත්තං, ඔයා මං එක්ක මේ ගැන ආයි කතා කරේ නැත්තං මම හිතනව ඔයාට කරුණු කාරණා තේරිල මේ ගැන හරි තීරණයක් ගන්න ඇතියි කියල. එකක් මතක තියා ගන්න. ආයි ඔයා මේ ගැන මා එක්ක කතා කරනකල් අදින් පස්සෙ ආයි මේ ගෙදර කවුරුත් කතා කරන එකකුත් නෑ… ඔයා මම කියපු විදියට පිටින් ගියොත් ඉන් පස්සෙ කවුරුත් ඔයා එක්ක කතා කරන එකකුත් නෑ...එච්චරයි!”

දහයෙ වසරෙ අග හිටිය මට බොහොම වැඩිද මන්ද ඒ කියපුව! ඒත් මහා බරක් පිරිච්ච හඬකින් තාත්ත කියපුව මගෙ බොක්කටම වැදුන කියල තේරුනේ ඒදා රෑ මට නින්ද නොගිය හින්දමද නැත්තං රෑට කන්නවත්, අඩු ගානෙ රේඩියෝ එකේ කතාවක් සින්දුවක් අහන්නවත් හිතුනෙ නැති හින්දමද මන්ද!

ඒ දවටම අම්ම, නංගි පොඩී, චූටි, කවුරුත් කතා කරේ නෑ. හරියට මල ගෙයක් වගේ. මට කිසි කෙනෙකුට ට මූණ දෙන්න බැරි මහ ලැජ්ජාවක් උන් ගානයි. මටම හිතා ගන්න බැරි උනා මම මොනා කරන්ද කියල. කිසි දවසක බණ නොකියන තාත්තගෙන් පළවෙනි පාරම අරහෙම කතාවක් ඇහුවම දරා ගන්න පුළුවන් කාටද! මොලේ විකාර වෙලා මූණවත් හෝදන්නෙ නැතුව ඇඳ උඩ උඩ බලං හිටපු මට අන්තිමට නොකාම නින්ද ගිහින්.

ප/ලි.

අද සිංහබාහු ඉස් ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය දවස. විශේෂය ඉස්කෝලෙ යාමටත් වඩා ඒක මම මීට අවුරුදු ගාණකට කලින් අනූ එකේදි දැකපු හීනයක්, හදා ගත්ත ටාර්ගට් එකක් ඇචීව් කිරීමක් නිසා. ඒ ගැන විස්තර හෙට පත්තරේ.

කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...III

Saturday, September 10, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...


ලොකු අය්යෙ කමල ඇන්ටි ළිඳේ පැනල මැරිල!

උදේ පාන්දර පොඩී ඒවපු එස් එම් එස් එක කියවල එතනම ඉන්දවුනෙ, ඒ පණිවිඩෙන් මං මේ තරන් ෂොක් උනේ අවුරුදු විස්සක් ගිහිල්ලත් තාම ඒ මතකය හිතේ හිරවෙලා තිබ්බ හින්දද නැත්තං හිතවත් කෙනෙක් නැති උන දුකටම විතරක්ද.


….............

අපි ඕ ලෙවල් පන්තියෙත් නෑ එතකොට.

කමල ඇන්ටිගෙ ලොකු දුව එක පාරට හත්තක් වගේ පිපිල ආවෙ ගමේ කොල්ලො කාටවත් හිතාගන්න බැරි විදියට.

මුළු පලාතෙම අපේ වයසෙ කොල්ලො එකපාරට මේ අලුත් කෑල්ලට ට්‍රයි කරේ හරියට වෙන කෙල්ලො දැකල නෑ වගේ! ඒත් අල්ලපු වැටේ හිටපු මම ගේමට බැහැල හිටියෙ ඊට හුඟක් කලින්!

……….

ඒ ලොකු අය්යෙ මේ මෙහෙ එනව පොඩ්ඩක්......අපේ බාලය නොහොත් නමට නංගිගෙන් කැඳවුමක්..

ඇය් මොකෝ...මම මේ පොතක් බලනව පේන්නැද්ද.. කිව්වෙ කම්මැලි කමට වඩා ලොකු කමට වගේ...

ආ එහෙනං ඔතනම ඉඳං අහගන්නවකො...

කියනව ඉතින්...

මේ මට අර ගිහානි අක්කලගෙ පන්තිය ගාවින් යන්න බෑ හලෝ....

ඇයි මොක්ද උන් එතන චූ කරලද?

ඉකේ මෙයා කියන ඒව..ඒ කොල්ල ංගෙ ඉස්කෝල වල වෙන්නැති...අපි එහෙම කරන්නෑ මෝඩයො...

එහෙනං ඉතිං.

ඒ ගොල්ලො මාව පන්තියට ඇදන් ගිහින් ඔයා ගැන විසතර අහනව, එක එක ඒව කියවනව.

මොනාද බං ඒ වට්ටි අම්මලට මං ගැන කියවන්න තීන්නෙ?

ඔරොප්පුවට වගේ ඇහුවට මාර සතුටුයි හිත යටින්. ඇයි යකඩො කෙල්ලො ගොඩක් මා ගැන හොයනව කියන්නෙ!

තමුසෙ ගිහානි අක්ක එක්ක යාළුයිද?

හපෝ මේකිගෙ කට….……පොත දාල අඩි දෙකට ලඟට පැන්න බෝම්බෙ නිෂ්ක්‍රිය කරන්න හිතන්...

ඒයි හිමීට බූරුවො අම්මට ඇහුනොත් ඉඳල ඉවරයි...

හරි හලෝ..අම්ම ළිඳ ලඟ, ඇහෙන්නෙ නෑ. ඇත්ත කියනවකො ඉතින්...

තාම නෑ හලෝ මං තාම ට්‍රයි...මේකිව විස්වාස කරන්න බැරි බව මං දන්නෙ අද ඊයෙකයැ!

එහෙනං අර අක්කල කියන්නෙ..

ඒ උන් කිව්වට තාම ගිහානි මට කියල නෑනෙ...

හරි එහෙනං මං ඒ ගොල්ලන්ට කියන්නංකො අය්ය තාම එහෙම දෙයක් දන්නෙ නෑ කියල…..
මල කෙළියක් වෙයි වගේ...යන තැනකට යන්න රත්තරං කියල මං සද්ද නැතුව හිටිය.

ඔන්න දැන් සුන්දර පෙම් කතාව නොහොත් මගේ පළමු පෙම ( අපේ පළමු පෙම ) බස් පස්සෙ, පිට්ටනිය පාරෙ ගලාගෙන යනව.

මගේ අතිජාත මිත්‍රයො මිදි කඩා ගන්න බැරුවට ගහපු මඩ, දීපු ලණු වලින් අඩුවක් නෑ.

ඒයි මුගෙ බඩුවට මූට වඩා රැවුල තීනවනෙ බං...

ඒකි ඇවිදිනකොට නිකං ගමටම ගහන්න වගේනෙ එන්නෙ...

උඹට වඩා ඒකි උසද බං?

මොනාද යකෝ බාල අපරාධ කරන්නෙ, තාම ඒකි අටේ පන්තියෙ නේද?

මේ දැන් උඹල බඳිනකොට ඒකිව පෝරුවට නග්ගන්නෙ සුමනෙ අංකල්ද ජයසේන ගොය්යද?

මේ කියන්නෙ ඒ කෙල්ලටම ලියුන් දෙන්න ඉල්ලගත්ත මෝට බයිසිකල් වල පස්සෙන් ගිය උන්, බස් හෝල්ට් එකේ තැපපු අය්යල, තව ගිහානිගෙ යාළුවො යාළුවෙලා උන්න උංගෙ යාළුවො එහෙම. දැං මුන්ට පරණ ට්‍රයි අමතකයි, හදන්නෙ මට කෙළවන්න!

මොන බාධක ආවත් බයෙන් බයෙන් වගේ අතින් අල්ලං බස් එකේ කොනේ මුකුළු කර කර ගිය ප්‍රථම ප්‍රේමය නැගල යනව.

දවසක් මං නුගේගොඩ පන්ති ගිහින් හයට විතර ගෙදර එනකොට උඩ ගෙදර නිරෝෂනය එක්ක පොඩී ඉන්නව බෝ ගහ ගාව මං එනකල්.

ලොකු අය්යෙ තමුසෙ දැම්ම යන්න එපා...

ඇයි.???

තාත්තත් ගෙදර ඇවිත් ..

ඉතිං...මට මොකද...මොනා හරි කන්නත් ගෙනත් ඇතිනෙ හලෝ...

කන්න හම්බවෙයි...අන්න කමල ඇන්ටියි සුමණෙ අංකලුයි හවස ඇවිත් සීන් එක ඔක්කොම කියල...තාත්ත ඉන්නෙ තමුසෙ එනකල්...

කකුල් පණ නැතුව යනව තෙරුනෙත් නෑ, මව එහෙමම තාප්පෙට හේත්තු උනා..

හමුදා නිළධාරියෙක් වෙච්චි තාත්තගෙ සිනිදු සංග්‍රහය කාලෙකින් නොලැබුනාට කොහොම අමතක වෙන්නද.....

දවල්ට හරිකට කාලවත් උන්නං ගුටි කන්න ෆිට් එකක් තියෙන්න තිබ්බ...ඒකත් නෑ, කන්නෙ කොහෙද ඉස්කෝලෙන් පන්තිනෙ කෙලින්ම...

අද පුතෝ උඹ ඉවරයි... කමල ඇන්ටි පැය ගානක් අඬ අඬ විස්තරේ කියල තීන්නෙ..

නිරෝෂනයත් නිකන් හිටිය වගේ කියන්නෙ...මුං යකෝ මේ ඇවිලෙන එන්ජිමටමනෙ අඟුරු දාන්නෙ...පර බල්ලො....

ඒක අතකට කමක් නෑ...මිනිස්සු ආදරේ වෙනුවෙන් ජීවිතය පූජ කරල තීන්නෙ...වෙන මඟුලක් වෙන්නැතෑ..

කමක් නෑ පොඩී එනවකො යන්න...ගැහුවොත් අද විතර නෙ...

පොඩිත් පස්සෙන් වැටුනට මාත් ඌත් බයෙන් බයෙන් වගේ ගේ ලඟටම ආව.

සද්දයක් නෑ, එළියෙ ලයිටුත් දාල. හිමීට ගෙට වැදිනකොටම කාමරෙන් එළියට එන නංගි මාව දැක ආයි ඇතුලට වැදුනෙ ගුලට වැදුන තලගොයා වගේ!

එයා එක්කම මැසේජ් එකත් ඇතුලට ගිහින්ද කොහෙද මම කාමරේ පහු කරනකොටම...

ලොකුපුතේ මෙහෙ එනව...

තාත්තගෙ අර ගොර්හැඩි සද්දෙ..
දැං මුලින් කොයි කණට වැදෙයිද ෂුවර් නැතුව හැරුනට මොකද තාත්තගෙ මූණ හිතුව තරම්මනරක නෑ වගේ...

මෙහෙං ඉඳගන්නව........

පන්තියෙ එකෙක්ගෙ පැනසලක් හොරෙන් ගෙනත් උන්ගෙ අම්ම ඇවිත් කොම්ප්ලේන් කරාම කෙහෙල් ගහක බැඳල ගහපු, හොරෙන් තැඹිලි කඩල ඒ ගෙදර ඇන්ටි ඇවිත් කිව්වම අත පැලෙනකල් වේවැලෙන් ගහපු ඒ තාත්තමද මේ! ඉඳගන්නව කියන්නෙ, මං හිතුවෙ දැම්මම දොට්ට දායි කියල...


…………………..
දැන් ගෙදර යන්න තීනව...හාමිනේයි පොඩි උන් දෙන්නයි එනකල් බලන් ඉන්නව...ඉතුරු ටික හෙට අනිද්දට......

----------------------------------------------------

කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...II

LinkWithin

Related Posts with Thumbnails