Thursday, February 19, 2015

ඔබ ඉන්නෙ ලංකාවෙනම්, තව පැය 5 යි..!!


කළියුගය අභියසදි
උඩ පැමිණි ගොම රිටිද
මතුව ආ බොල් හිස්ද
හාත්පස වෙලා ගත්
ගන අඳුරු කළුවරද
එකලු කරමින් රැයෙහි

නැගී එලි විහිදවූ
මිණි පහන් හෙලිකෙරූ
ඒ සොඳුරු හිරු කිරන
ගිල දැමූ රාහු එඩි
පරදමින් යලිත් අද
රෑ හතට පායාවි
අපේ රෑ ඉර පාන
...


අද රත්‍රී හතයි තිහේ සිට සෑම බ්‍රහස්පතින්දාවකම.....

ඔබත් දකින්න දෑසින් නොව දෙසවනින් - රෑ ඉර පාන

බන්දුල නානායක්කාරවසම් සමග රෑ ඉරපාන පෙබරවාරි මස 19 වැනිදා සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30ට 94.8FM සහ 95FM ඔස්සේ නෙත් රේඩියෝවෙන් ....





Wednesday, February 11, 2015

වැලන්ටයින්....!


"නංගි..., මේක බලල මට රිප්ලයි එකක් දෙනවද?"

හිමිහිට ඉදිරියට ඇදෙන පොඩි මල්ලිගෙ එම්.බී ෆයිව් මෝටසයිකලෙ පිටිපස්සෙ ඉඳගෙනම මම පොඩි කොටුවෙන්න නවපු ලියුම සුරේකට දික් කෙරුව.

"ට්‍රිප් එකක්..?"

සුරේකගෙ පුදුමය පිරිච්චි වචනවලට බකස් ගාල ගෙම්බෙක් වතුරට පැන්න වගේ හිනා උනේ එහාපැත්තෙ හිටපු කොට බතල නෑම්බි.

ඒ කැත හිනාව නිසා මට මාව දැණුනෙ හරියට කාණුවකට වැටුන අයිස් පළමක් වගේ!

"යමන්..යමන්.."  මං පොඩිමල්ලිට ඇන්නෙ අතින්ද පයින්ද මන්ද!

බයිසිකලේ කෑ ගහගෙන ඉස්සරහට යනකොට සුරේක ලස්සන රවුම් ඇස් දෙක තවත් බෝල කරගෙන, පුවක් ලෙල්ලෙ කට් එක කපපු කොන්ඩෙත් පැත්තට හරවල පුදුමෙන් බලනව සයිඩ් කණ්නාඩියෙන් පෙනිල නොපෙනිල ගියා.

...........................

සුරේක කියන්නෙ අපේ ගෙවල් වලට තරමක් එහා හිටපු, මගේ නංගිගෙ යාළුවෙක්. හිටියෙ අපේ නංගිගෙ පන්තිවලමයි, වෙන ඉස්කෝලෙක. එයාගෙ අක්ක මගෙ වයසෙ, ඒත් මට සුන්දරව පෙනුනෙ නංගිව.

එයාට තිබ්බෙ අර පුවක්ගෙඩියෙන් හදන බෝනික්කෙගෙ පෙනුම. කොන්ඩෙත් ඒ වගේම කොටට කපල, ලස්සන ඇස් දෙක, පියකරු අහිංසක මුහුණ හින්ද පට්ට කෑල්ලක් කියන එකට වඩා සුන්දර කෙල්ලෙක් කිව්වොත් වැඩිය හරි.

ගිහානිගෙන් සිදුවීමෙන් පස්සෙ කාලයක් හැමදේම එපා වෙලා ඉන්දැත්දි, කෙල්ලෙක් දිහා අයිත් පාරක් රාගයෙන් තොරව බලන්න පෙළඹුවෙ සුරේක!

උසස් පෙළ අග හරියෙ හිටපු මම, මොන දේ තිබ්බත් උදේට ඉස්කෝලෙ යනකොටටත්, සමහරදාට දවල්ට එනකොටත් කොහොමහරි ඒ මූණ හොයාගන්නවම තමයි. ඒත් ඒ හැමදාම වගේ සුරේකගෙ අක්කත් එයා එක්කම හිටිය.ඒ හින්ද ඈත ඉඳල බලල, ඒ ඇස් පටලවල මම ආ බව එයාට මතක් කරන එක විතරයි ඒ හැම දවසකම මට කරගන්න පුළුවන් උනේ.

ඒ බෝල ඇස් පස්සෙ මං පන්නනව කියන එක දැනිල තිබ්බ කියල ස්ථීර උනේ අපේ නංගි දවසක් දවල්ට කන අතරෙ මගෙන් හිමිහිට ඒ ගැන ඇහුවමයි.

නංගිට නොකිය ඉන්න, හංගන්න දෙයක් මට තිබ්බෙ නෑ.

"ඔයා සිරාවටද ලොකු අය්යෙ ට්‍රයි කරන්නෙ? "

මට වඩා හොඳට නංගි මං ගැන දැනගෙන හිටිය. ඉතින් එහෙම අහපු එක ගැන කොහොමද දොස් කියන්නෙ, මම බත් එක දිහා බලාගෙන හිතුව.

ගමේ නිකං ලැබෙන හාල් නිසා අපේ ගෙදර හැදෙන්නෙ රතුම රතු බත්. ඒවට කොයිතරන් හොදි දැම්මත් ගිලින්න හරිම අමාරුයි.

"ඔව් සිරාවට. තමුසෙ උදව් කරනවද? "

මම භාගෙට අනාපු බත්ගුලියක් යන්තන් උගුරෙන් පහලට යැව්ව.

"බලමු.."

නංගි කාල ඉවරකරල නැගිට්ටට මගෙ බත් එක එහෙමමයි.

..........................

දෙවියොයි ඉගෙනීමයි මතක් වෙන්නෙ කෙල උනාමනෙ.

මටත් කට ගාවට ආපු උසස්පෙළ විභාගෙයි, ට්‍රිප් එකක් හින්ද වෙච්චි ලැජ්ජාවයි දෙකම නිසා සුරේකව මග හැරල, කරන්න වැඩ තිබ්බ. එහෙම නැත්තන් කරන්න දේවල් හොයා ගත්ත.

විභාග කියන්නෙත් හරියට මොරටුවෙ අළුත්පාරෙ එන වාහන වගේ. බැලුවම තියෙන්නෙ හෙන ඈත. ඒත් හිතන්නත් කලින් අපිව පහුකරගෙන යනව.

එක දිගට අවුරුදු දොළහක් තිස්සෙ දුවපු දිවිල්ල හමාරකරල ජීවිතේ අන්තිම ගන්ධබ්බ කාලෙ, අතේ සතේ නැති, ඒත් මොහොතක් ගෙදර නැති ජීවිතේ පටන් අරගෙන තිබ්බෙ අලුත් පාසල් වාරෙ පටන්ගන්නත් කලින්ම. ඒ කාලෙ තමයි මග නතරකරල, වහල පැත්තකට කරල තිබ්බ හීන පස්සෙන් ආයි එලවගෙන යන්න ලැබුණ හොඳම කාලෙ.

සුරේකගෙ සිහිනය.! මාස දෙකකින් නොදැක්ක, හැමදාම දැක්ක හීනය හැබැහින් දකින්න ආපු මුල්ම අවස්ථාව, අළුත් පාසැල් වාරෙ පළවෙනිම දවස. ඒ මොහොත මග හරින්නම බැරි නිසා මම ගියා අපේ ගෙදරට උඩින් ඉන්න ඔගාව හම්බුවෙන්න. මොකද ඒ වෙනකොට පොඩි මල්ලි මොකද්ද කෝස් එකකට යන්න අරන්, දවල්ට ඌව අල්ලගන්න අමාරුයි.

ඔගා, එහෙම නැත්තන් ඔගස්ටස්. ඌට තිබ්බෙ සීසර්ගෙ නම උනාට වැඩ රෝමියෝ වගේ! අපේ සෙට් එකෙන් මුලිම්ම කෙල්ලෙක් එක්ක එෆෙයාර් එක පටන්ගත්තෙත් ඔගා. මුලින්ම ඒක බිඳිල විනාස වෙලා දුක්වින්දෙත් ඔගාමයි. ඒ නිසා අපි හැමෝම නිතර ට්‍රයි කරා උගෙ හිත හදන්න වෙන කෙල්ලෙක් සෙට් කරවන්න, ඒත් උගෙ හිතේ යමුණ හිටපු තැන හිස් උනේම නෑ.

ඇත්තටම ඔගා කියන්නෙ බොහොම අහිංසක, ඒ වගේම අති දක්ෂ, අවංක මිත්‍රයෙක්. ඉස්සරහ ගෙදර යමුණත් එක්ක තිබ්බ එෆෙයාර් එක විනාස වෙච්චි දුකට පිස්සු කෙලල, වහ බීල මැරෙන්න ගිහින්, විභාගෙත් අනාගත්තෙ නැත්තන් අනිවාර්‍යෙම්ම ඌ ඉන්ජෙක්! ඒත් අන්තිමට ආදරේ ඔගාව ගෙනල්ල නතර කලේ උන්ගෙ තාත්තගෙ ලියවන පට්ටලේ ඉස්සරහ.

මම යනකොටත් ඔගා පට්ටලේ වැඩ! ඌ මාව දැක්කම අර අර දිග ලිවර් එකක් එහාට කරල,කැරකෙන සිලින්ඩරේට අත තියල  නවත්තල, කොළපාට  කළුපාට කවරෙන් වැහිච්චි ලයිට් එක අස්සෙන් හිනා වෙලා බැලුවෙ හරියට මම එනකල් මග බලන් හිටිය වගේ!

"මචං උඹ දවල්ට කොහෙවත් යන්නැත්තන් චැලිය පොඩ්ඩක් ඉල්ලගන්න ආවෙ.."

ඔගා පට්ටලේ ලී තට්ටුවෙන් බහින්නත් කලින් මම ආව කාරනාව ඇදල ඇරිය!

අපිට වඩා කඩ්ඩ පොළිෂ්, අපිට වඩා ගණන් දන්න ඔගා, මජං පැල්ලන් එක්ක හිල් සමව පැතිරිච්චි පාට නොදන්න ටීෂට් එකයි, ඩෙනිමකින් කපපු ඉස්සර නිලට තිබ්බ බව පේන දණිහ ගාවට දිග කළිසමයි පිටින් අත්වල තෙල් රෙදිකෑල්ලකි පිහ පිහ මගෙ ලඟට ආව.

"හොඳ වෙලාවට උඹ ආවෙ. මටත් පොඩි වැඩක් තියෙනව, ඒකට මාව හන්දියෙන් දාල උඹ බයික් එක ගෙනියපන්"

මජං ඇඳුමෙන් හිටපු ඔගා එහෙම කියල සුරදූතයෙක් වගේ හිනා උනා.

"හරි මම දෙකට දහයක් තියල එන්නං!"

එහෙම කිව්වෙ ඒ වෙනකොටත් දොළහ පහුවෙලා තිබ්බ නිසා, ගෙදර ගිහින් නාල කාල ඇඳුමක් දාල පිළිවෙලට එන්න හිතාගෙන.

"හා..හැබැයි අපේ තාත්ත ඇහුවොත් කියපන් උඹට ක්ලාස් එකක් බලන්න මාව එක්ක යනව කියල"

ඌ මට කිට්ටූවෙලා සද්දෙ අඩූකරල එහෙම කියල ලෑලි ගහපු වැඩපොළේ බිත්තියක් දිහා බලල හිනා උනා.


......................

සුරේකගෙ ඉස්කෝලෙ ඇරෙන්නෙ 1.30ට. දෙක දෙකයි කාල වෙනකොට ඒගොල්ලො කල්දෙමුල්ල පාරට ඇවිත්! ඔගාව හන්දියෙන් දෙකට බැස්සුවම මට ඇතිවෙන්න වෙලාව තියෙනව.  අනික අද එයා අක්ක නැතුව ඉස්කෝලෙ ගිහින් එන පළවෙනි දවස. බකස් ගාන බතලිල ගමෙනුත් ගිහින්. මාව දැක්කම අපේ නංගි කොහොමත් ස්ලෝ වෙයි, නැත්තන් හය්යෙන් යයි.   ඒ නිසා  සමහරවිට කතා කරන්න බැරිවෙන එකක් නෑ! එහෙම උනොත් සුරේකගෙන් ඉස්සෙල්ලම අහෙන්නෙ මොනවද, ඒවට එයා දෙන උත්තර, ඉන් පස්සෙ අහන දේවල්....මගෙ හිත පිරිල කියන්න ඕන ඒව ඔක්කොම පැටලිල..

අදරේ කරන එක තරම්ම ආදරී ගැන සිහින දකින එකත් හරිම සුන්දරයි! මං ඒ හීනෙත් එක්කම ලැහැස්ති උනා.

හරියට දෙක වෙනකොට අපි දෙන්න පාරෙ. දවාලෙ මජං කිට ගහල හිටපු ඔගත් පිළිවෙලට ඇඳල, ඔගා පදිනව, මම පිටිපස්සෙ, දෙන්නම ගල්තොප්පි දාල චැලියෙන් වඩිනව. අපේ ඉස්සරහට එන සුදු ගවුම් අතරෙ සුරේක ඉන්නවද? පාර දෙපැත්තෙන්ම එන එක එක දිග කොන්ඩ, රවුම් මූණු, අස්සෙ මගේ ඇස් අතරමං වෙලාද!

දක්ෂ පතල් කාරයෙක්ට මඩ වතුර, තිරිවාන කෝටියක් අස්සෙන් තමන් හොයන මැණික දකින්න අපහසුවක් නෑ. ඈත සුදු ඇඳපු පුන්චි කෙළිපොඩ්ඩො ගොඩකට පිටිපස්සෙන් ඒ මූණ මම දැක්කෙ නංගිව දකින්නත් කලින්. ඒත් එක්කම චැලියත් ගැස්සුනේ මගෙ හිත ගැස්සුන හැටි දැනිල වගේ!

ඇස් පිල්ලමක වේගෙන් අපි සුරේකල ගාව.

උඩ පැන පැන එන අපේ නංගියි, තවත් ගිණිබෝම්බයක් වෙච්චි ගංග නංගියි මැද්දෙන් පාවෙවී ආපු ආපු සුරේක බිමට නමාගෙන හිටි මුහුණ ඇල කරල, අර මම හැමදාම හීනෙන් දකිණ ඒ ලස්සන ඇස් බෝල කරකවල අපි දිහා බැලුව.

අකුණු ගහන්නෙ එක මොහොතකට විතරක් උනාට, ඒ මොහොතට ඉර පෑව්ව වගේ එළියයි!

ඇස් උස්සල බලපු සුරේක මා එක්ක හිනා උනා, ඔව් ඇස් වලින් විතරක් නෙමෙයි, ඇය බොහොම ආදරෙන් මන් දිහා බලල පළවෙනි පාරට සුන්දරව හිනා උනා!

ලෝකෙම එක තැන නැවතිල, චැලිය විතරක් ඉස්සරහට ගියා!

....................

බඩගාගෙන ආපු ඔගාගෙ චැලිය  හන්දියෙ පබසර එක ඉස්සරහ නැවැත්තුව. ඌ බයික් එක නවත්තනකොට මම බැහැල හිටගෙනත් ඉවරයි. හුටු හුටු ගාන චැලියක පිටිපස්සෙ ඉන්නවට වඩා කඩේක ප්ලාස්ටික් පුටුවකට බර දීල, සිගරට් දුම අස්සෙන් යන්න ගොඩක් දුර ගමණක් මට තිබ්බ.

"ඉන්දිකය වරෙන් මොනා හරි බොමු" ප්ලේන්ටියක් එක්ක ගෝල්ලීෆ් එකක් බොන්න මට තිබ්බ ආසාව තේරිල වගේ ඔගා ඇහුවෙ.

"වරෙන් බං, ෆලුඩ එකක් ගහල යමන්, .."

දුක එන්නෙ පෙළට, සතුට එක පොදියට! රසම රස කූල් ෆලුඩ වීදුරුවෙ, උඩිම්ම තියෙන අයිස්ක්‍රීම් ගුලිය බින්ද බින්ද තොල ගගා, අර හිනාව ආයි ආයි මතක් කරන්න මට ලැබිච්චි අවස්ථාව.... දෙපාරක් හිතන්න දෙයක් තිබ්බෙ නෑ. මම දන්නව ඔගා ගාව සල්ලි තිබ්බ නිසා තමයි මට කතා කලේ කියල. ඒ හින්ද සද්ද නැතුව ඔළුව වනපු මන් ඌටත් කලින් ගිහින් පබසර එකේ රවුම් මේසෙ වටේ තිබ්බ ෆයිබර් පුටුවටක වැතිරුණා.

"මල්ලි ෆලුඩ දෙකයි... " එහෙම කිව්ව ඔගා මූනෙ හීන් හිනාවක් එක්ක මං දිහා බලන් උන්නෙ "මොකද යකෝ මූ මෙච්චර ජොලියෙ" කියන්න වගේ!

ඇත්තටම මගේ හැඟීම හංගන්න ඕනකමක් තිබ්බෙත් නෑ, ඕන උනත් ඒක එහෙම කරන්න මට හය්යක්තිබ්බෙත් නෑ. ඒතරමට සුරේකගෙ හිනාව මාව පිස්සු වට්ටලද?

මගේ හැඟීම තේරුං අරන් වගේ ඔගත් සද්ද නැතුව හිටිය. සමහරවිට සුරේක හිනා වෙනව ඌත් දකින්න ඇති.!

සීතල වතුර බිංදු තැවරිච්චි පාට පාට ෆලුඩ විදුරුවක් ගේන්න වෙනදට විනාඩි දහයක්වත් යනව. ඒත් එදා ඉඳගත්ත විතරයි, මෙන්න පට ගාල ෆලුඩ දෙක අපි ගාව!

පාට පාට ෆලුඩ වීදුරුවෙ රස අඩුවැඩි කරල බැලන්ස් කරන්නෙ උඩින්ම තීන රවුම් අයිස්ක්‍රීම් කන්ද! වීදුරුවෙ අන්තිම බින්දුව ඉවර වෙනකල් දිය නොවී, පරෙස්සමෙන් අයිස්ක්‍රීම් ටික ටික එකතු කරල ෆලුඩ එකක් රහ බලන්නත් පොඩි හුරුවක් තියෙන්න ඕන. ගොඩක් වෙලා ගියොත් අයිස්ක්‍රීම් ඉබේම දියවෙනව, එතකොට වැඩක් නෑ. එහෙම නැතුව ඉස්සෙල්ල අයිස්ක්‍රීම් විතරක් කාල ෆලුඩ එක බොන්න ගත්තත් ෆලුඩ එකේ සැර පැනි රහ මිසක් වෙන රහක් දැනෙන්නෙම නෑ! හැම දෙයකම කළාවක්.

 තට්ටු ගවුමක් ඇඳපු ගෑණු ළමයෙක්ගෙ රන්වන් මූන වගේ පාට පාට ෆලූඩ වීදුරුවෙ උඩිම්ම උන්නු වැනිල අයිස්ක්‍රීම් ටික දිහාවෙ බලාගෙන ඉන්නකොටත් මට පෙණුනෙ සුරේකව!

"ඉන්දිකය, උඹට පොඩි සීන් එකක් තියෙනව කියන්න"

චූටි කළුකූඹියෙක් රවුම් මේසෙ දිගේ ඇවිත් මගේ වීදුරුවට නගින්න හදනව!

"ඇයි ආයි මොකක් හරි අවුලක්ද?"

වෙනදට පොඩි කරල දාන්න දෙපාරක් හිතන්නෙ නැති කූඹියව පැත්තක ගසල දාන ගමන් මම ඇහුවෙ ඔගා නිතරම කියන සීන් උගෙ හිත රිදුන ඒව නිසා.

"නෑ අවුලක්ම නෑ. මම ආයි ගර්ල් කෙනෙක් ගැන හිතුව.. මචං අයිම් ෆෝල්න් ලව් විත් හර්..."

සීතල, රසම රස ෆලූඩ් උගුරක් පපුව හරියෙන් පහලට යනව දැනෙත්ති මම ස්ට්‍රෝ එක තොල් වලින් කිටි කිටියට තදකරගෙනම ඔගා දිහා බැලුවෙ සන්තෝසෙ දෙගුණ වෙලා ඇහෙන දේ විස්වාස කරන්න බැරිවෙච්චි නිසා!

ඔගාට පිටිපස්සෙන් තියෙන ලොකු වීදුරුවෙන් ගාලුපාර දිගට පේනව. වෙනදට පාරෙ දකින ලස්සන කාර්, උස ජීප් වෙනුවට මට පෙනුනෙ ගාලුපාරෙ මැද එක පෙලට තීන රොබරෝසියා ගස් පේලියෙම මල් පිපිල තියෙන අපූරුව.

රොබරෝසියා ගස් සේරගෙම මල් පිපෙන්නෙ එකම කාලෙට!

"උඹ හෙල්ප් කරනවද?"

ඔගා ඇහුවෙ අහන්න ඕන්නැති ප්‍රශ්ණයක්. ඌටයි මටයි අපි දෙන්නගෙ ගර්ල්ස්ලත් එක්ක එම්සී එක පැත්තෙ ගිහින්, කේඑෆ්සී එකෙන් කාල ෆිල්ම් එකක් බලල එන්න, ගල්කිස්සෙ බීච් එක දිගෙ ඇවිදින්න, පල්ලියකට හරි පන්සලකට හරි යන්න, කොයිතරන් දේ කරන්න බැරිද, මට හිතුන.

"එළකිරි... කවුද කෑල්ල?" වෙන වෙලාවකනම් මම මුලිම්ම උගෙන් අහන්න තිබ්බ ප්‍රශ්ණෙ!

"අර උඹලගෙ නංගිත් එක්ක එන කොන්ඩෙ කොටට කපපු ගර්ල්...."

තඩි මැස්සෙක් කොහෙද ඉඳන් එකපාරටම ඇවිත් කෙලිම්ම වැහුවෙ වීදුරුවෙන් උඩට මතුවෙච්චි මගෙ ස්ට්‍රෝ එක උඩ!

"එයා අපේ ජෙරම් අය්යලගෙ ගෙදර එනව ඉංග්ලිෂ් ක්ලාස්. ඒ ගර්ල් මාර ඉනස්නට් මචන්. මම එක දවසක් කතා කරා ඒත් කොහොමද කියල විතරයි ඇහුවෙ. ඊට කලින් ඉඳලම ෆලෝ කරා, හැබැයි හිනාවෙලා යනව විතරයි.  පස්සෙ මම විස්තරත් හෙව්ව. ඉන්නෙ සුධර්මාරාම පටුමගේ. අර ලොකු මල් වැටක් තීන්නෙ බං...උඹලගෙ නංගිගෙ වයසෙම තමයි.." ඔගා කියෝගෙන යනව.

එෆ්.එම් නයින්ටිනයින් කියන්නෙ මෙලෝ රහක් නැති සින්දු යන චැනල් එකක් උනාට පබසර එකේ බුවා දාන්නෙම ඒක.

"ඉතින් උඹ පොඩ්ඩක් නංගිට කියල එයා එක්ක කතා කරන්න විදිහක් සෙට් කරල දියන්, හරිද...අවුලක් නෑනෙ..."

"නෑ බං...මොන පිස්සුද...මං හෙල්ප් කරන්නං..."

අය්සික්‍රීම් ටික දියවෙලා ගිය බීපු නැති ෆලුඩ වීදුරුව එහාට කරල මම  සිගරට් එකක් පත්තුකරගත්ත.




Monday, February 2, 2015

හිතට කෙටූ අකුණ...!

"ඔයාගෙ නම මොකක්ද?"

"නොරිකො....."

සුදු ලස්සන මූණ තාලෙට හරවල ඇය සමන්තලගෙ පොඩි අක්කට එහෙම කියනව මම හොරෙන් බලාගෙන.

"නොරිකො කියන්නෙ ජපන් නමක්නෙ?"

එහෙම කියපු පොඩි අක්කගෙ මුහුණෙ තිබ්බ ප්‍රශ්ණාර්ථයට වඩා ලොකු එකක් මගේ මූණෙ මැවුන. එතකොට මෙයා..... ජපන්ද?

මගේ ඇස් දෙක වටේ කැරකිල ඇවිත් නහයෙ මැද ඉවරවෙච්චි අලි ප්‍රශ්ණාර්ථ ලකුණ කවුරුත් දකින්න කලින් මම පොතට මූණ ඔබා ගත්තට මොකද, එයාගෙ රවුම් මූණ මැද්දෙ පිපිච්ච ලස්සන අහිංසක හිනාව නොදැක්කෙ නෑ.

කොස්ලන්ද පසුකර අපි දියළුම ඇල්ල වෙත ලඟ වුනෙමු. මාර්‍ගය අසල විසල් ගල් කුළක සිට පතිතවන සිහින් දිය පහර..... සතර පොතේ තියෙන දියළුම බලන්න ගිය පිරසක්ගෙ ගමන් විස්තරය එතනින් එහාට කියෙව්වට මොකද එක වචනයක් හිතට එන්නෙ නෑ. ඇස් පොත් අකුරු උඩ දිව්වට හිත වෙන පාරක දුවනව.

නොරිකො..! එතකොට ඒක ජපන් නමක්. එහෙනං ඒකද මෙයා මෙච්චර සුදු! ඇයි ජපන් ළමයෙක් ලංකාවෙ ඉස්කෝලෙක.!මෙයාගෙ තාත්තද ජපන්, අම්මද...! හරි, එහෙනං පන්සලට එන ජපන් සාධුල මේගොල්ලන්ව දන්න අය වෙන්න ඇති!

"ඉන්දික...බලාගත්තද ඡේදයම..?"

කරන්ට් වයර් එක උඩට වෙලා රහ පේර ගෙඩියක් සැපට බරු ගගහ හිටපු ලේනට සමන්තය ගහපු පොළු පාර වැදුනෙ වයර් එකට. වැදිච්චි පාරෙ සැරට ලේනව දඩස් ගාල බිම වැටුනත් ඌ නෙමෙයි පේර ගෙඩිය අතෑරියෙ.

මගේ ඉස්සරහම ඉන්න රත්නාවලී ටීචගෙ මූනෙ රවුම් කණ්නාඩියෙන් එයා පොතට මූණ ඔබාගෙන ලියනව බලපු නිසා, ඒ කණ්නාඩිය පිටිපස්සෙ තිබ්බ ඇස් දෙක එරෙව්ව මට පෙනුනෙ නෑ.

"කෝ මෙහෙට ගන්න පොත" ටීචර් ඉස්සරහ නැමිල මගෙන් පොත ගත්ත.

ඇයි අපි මේ අය සංචාරක පිරිසක් කියල කියන්නෙ?

"ඒ අය දියළුම බලන්න ආ හින්ද.... "

මොකක්..?

රත්නාවලී ටීචගෙ කටෙ සද්දෙට මාව ගැස්සුනාට මොකද මෙන්න මෙයාට හිනා..!

පිස්සුද? මොනාද කියවන්නෙ..?

අනේ මන්ද ඇයි ටීච බනින්නෙ කියල තේරෙන්නෙත් නෑ, එයා හිනාවෙන්නෙ ඇයි කියල හිතුනෙත් නෑ.දියළුම බලන්න ගමේ උන් යනවයැ!

අළුතෙන්ම්ම පන්තියට ආව ගෑණු ළමයත් එතකොට මට හිනාවෙනව. එයා මොනව දන්නවද. ජපානෙ අය ලංකාවෙ ට්‍රිප් යන එක දන්නෙ නෑනෙ. එක අතකට සමන්තය වගේ අවුරුද්දක් බාල උනානං මටත් තිබ්බ තව ටිකක් කල් සෙල්ලන් කරන්න, කුරුල්ලො අල්ලන්න එහෙම.

"ඒ අය සංචාරකයො කියන්නෙ කොස්ලන්ද පහු කරල ආව නිසා...හ්ම්, ආයි ගන්නව, හරියට කියවනව." මන් දිහාට පොත තල්ලු කරපු රත්නාවලී ටීච නැගිට්ට.

ඇති යන්තන්, කුසියට යනව වෙන්නැති...කියල හිතපු මම ආයි පොතට එබුන.

ඒ පොතේ එක අකුරක් නෑ! ඒ උනාට නොරිකො මගේ දිහා හිනා වේගෙන බලා ඉන්නව මහ අලියට!

ඒ විතරක්යැ. වෙනදට කෑ ගහන කුරුල්ලො, ලේන්නුත් භයවෙලා වගේ කටවහගෙන. මෙයා උන්ටත් හිනාවෙලාද!

රත්නාවලී ටීච උන්නෙ අපේ ගෙදරට ගෙවල් කීපයක් පහලින්. මාව මෙහෙ එව්වෙ පහේ ශිෂ්‍යත්වෙට සිංහල ඉගෙන ගන්න. ඉස්කෝලෙ ඇරිල ඇවිත්, කාල, දුවන් එන්නෙ සිංහල වලට වගේම ටීචර්ගෙ බාල පුතා සමන්තය එක්ක ගස් ගෙඩි කඩන්න, සෙල්ලං කරන්නත් පුළුවන් හින්ද. ඒත් ඉතින් ඒ සේරම ඉවරවෙලා වගේ.

සමන්තලගෙ ගෙදර පිටිපස්සෙ එළියට ඇරිච්චි ලොකු කොරිඩෝවෙ හතරැස් මේසෙක පුටු වටේ තියල හදපු, මෙච්චරකල් තනියෙන් ඉගෙන ගත්තු මගෙ පන්තියට ගෑණු ළමයෙක් ඇවිත්. ඒ විතරක් නෙමෙයි, මගේ කොළු හිතට කෙල්ලෙක් ගැන අමුතු හැඟීමකුත් ඇවිත්!

කොහොම හරි තව බැනුං කීපයක් එක්කල, එච්චරකල් තිබ්බ දිගම සිංහල පන්තිය ඉවර උනා.

මම පොත් ටිකත් අරන් නැගිටල එනකොට, අපිට පිටිපස්සෙන් කොරිඩෝවෙ අනෙක් කෙලවරේ නොරිකොව එක්ක යන්න සුදු උස ඇන්ටි කෙනෙක් ඇවිත් හිටිය. බලනකොට එයා අපේ ලොකු අක්කගෙ යාළුවෙක්ලු!

මුල් දවස් දෙකට පස්සෙ ඒ සුදු උස ඇන්ටි, එහෙම නැත්තන් නොරිකොගෙ අම්ම වෙනුවට, එයා එක්ක යන එක මට නිකම්ම පැවරුනා. අපේ ගෙදරට ටිකක් එහා පන්සල ගාව හිටපු, මට වඩා උස, සුදු ලස්සන නොරිකො ඉස්සරහින් යත්දි මමත් ආඩම්භරෙන් එයාගෙ ඉවරයක් නැති කතා අහගෙන ඔහේ ගියා.

නොරිකො මගෙන් ඇහුවෙ මොනවද, අපි කතා කරේ මොනවද කියල මට කවදාවත් මතක තිබ්බෙ නෑ! කොටිම්ම ඒ කතා කරන්නෙ මොනවද කියල සමහර වෙලාවට මට ඇහිලත් නෑ!

හැබැයි ඒ ගමන නිසාම මම හරිම උනන්දුවෙන් සිංහල පන්තියටත් ගියා.

ශිෂ්‍යත්වෙ ඉවර උනා, පතියත් ඉවර උනා.

අලුත් ඉස්කෝලෙ උන් "නොරිකො" කියන කාඩ් එක දන්නෙ නැති උනාට, මුගේ කෙල්ල මූට වඩා උසයි බන් කියල විහිළු නොකලට, සතියකට දවස් තුනක් ඇයත් එක්ක පාර අයිනෙන් නොගියට, කොටින්ම නොරිකො සම්හන්ධ කිසිම සිදුවීමක් නොවුනට, මම හැමදාම කඩේ යන්නෙ, ඉස්කෝලෙ යන්නෙ එයාව පාරෙදි අහම්බෙන් හරි ඇයව හම්බුවෙයි කියල.

ලොකු අක්කගෙ යාළුවෙක් නිසා අහල පහල උනත් ඒ පැත්තෙ යන්න මම භය උනා. ඔහොම ටික කාලෙකට පස්සෙ මට ආරංචි උනා ඒගොල්ලො නුගේගොඩ පැත්තෙ ගෙයක් අරන් ගිහින් කියල.

ඔහොම ගිහින් අවුරුදු ගානකට පස්සෙ මම නොරිකොව ආයෙ දැක්කෙ ගල්කිස්සෙ බීච් එකේදි.

එතකොට මම ඇයට වඩා උස ගිහින්. ඒත් එයා මටත් වඩා උස කොල්ලෙක්ගෙ අතින් අල්ලගෙන යනව.!

......

පහේ පන්තියෙදි හමුවෙච්චි නොරිකො මගේ ප්‍රථම ප්‍රේමය.

පහේ පන්තියෙදි මොන ලව්ද කියල කෙනෙකුට හිතෙන්නෙ පුළුවන්. ඒත් ඒක එහෙම උනා (ඇත්තටම ඒක, ඒක පාර්ශවීය ප්‍රේමයක් වෙන්න ඇති)..!

මට නොරිකො හමුවෙලා, මගහැරිල බොහොම කාලෙකට පස්සෙ තමයි, දෙවොන්දරෝ සංට නොරිකො හම්බුවෙච්චි කතාව මම දැනගන්නෙ.

අපේ චූටි අක්ක කොහෙන්දො ගෙනත්, අහම්බෙන් කිය්වන්න ලැබිච්චි "මළගිය ඇත්තෝ" පොත කියවල, නොරිකොගෙ අළුත් වෙච්චි මතකයත් එක්ක දවස් ගානක් තෝන්තුවෙලා හිටිය.

ජීවිතේ පරිණත වීම සහ වියපත් වීම එක්ක, හැඟීම් වලින් ඇතිවෙන විප්‍රයාසයන් වෙනස්.

ඒත් ඊයෙ "තාරා මගේ දෙව් දුව" කියෙව්වම, එකකට එකක් සම්භන්ධ නැති උනත් මට මතක් උනේ පහේ පන්තියෙදි එක ලඟින් අඩි තියල ඇවිදගෙන ගියපු, සුදු උස, සුන්දර චරිතය, නොරිකොව.

ජීවිතේ මේ වගෙ අප්‍රකාෂිත ආදරයන් හැමෝගෙම හිත්වල තියෙනව. ඉඳ හිට අපි දකින අහන කියවන නිර්මාණ මේ අතීත හැඟීම් එළියට අරගෙන, හිත හූරල අරගෙන පොලවෙ ගහනව!





.......

තාරා මගේ දෙව් දුව පොත මට තව ප්‍රශ්ණයක් ඇති කරල තියෙනව. ඇත්තටම දෙවඟන තාරාද නැත්තන් ප්‍රියංගිද? 




LinkWithin

Related Posts with Thumbnails