Friday, August 14, 2015

බය්යො දන්න "වාසුදේව"

//පිටරටවල ජීවත්වෙන ලංකාවෙ ටොයියො හිතන්නෙ උන්ට වඩා දැන් ලංකාවෙ තියෙන දේශපාලන තත්වෙ ගැන දන්න වෙන අය නැහැ කියලා.දැනගනිල්ලා උබලට පර සුද්දන්ගෙයි පර හමිබයන්ගෙයි සල්ලි ලොකු උනාට මෙකෙ අපේ දරැවො ජිවත් වෙන්න ඔන.....//

ඉහත සටහන මා ඥාති සහෝදරියක විසින් තම ෆේස්බුක් පිටුවෙහි තබන ලද්දකි.

ඈ මෙය පලකරන විට අරාබියේ සිටින ටොය්යකු වන මමත්, එංගලන්තයේ සිටින මගේ සහෝදරියත් එය දකින බව දැන නොසිටින්න විදිහක් නැත. එපමණක් නොව, "හම්බයින්ගේ සල්ලි" වලට ගරහන ඇගේ සටහන තම ස්වාමියා සේවය කරන "හම්බ" ආයතනයේ කිසිවකු විසින් දකින්නට ඉඩ ඇති බවත් නොදැන සිටින්නට නැත.

නමුත් එසේ දැකීමෙන් ඇයට හෝ ස්වාමියාට සිදුවිය හැකි යම් සෘණාත්මක බලපෑමක් ගැන ඇයට කිසිම හැඟීමක් නොතිබෙන්නට ඇති බව මට විශ්වාසය.

බය්යන් ලෙස වර්ගීකරණයට ලක්ව ඇති බහුතරයකගේ තත්වය මෙයයි. ඔවුන්ගේ බොහෝ ප්‍රකාෂන වල ඇති වෛරය සහ අනර්ථය ගැන ඔවුනටම හැඟීමක් නැත.

එය තමන් කරනා මහින්ද දිනවීමේ ව්‍යායාමය තරම්ම අනර්ථකාරී, සමාජ විරෝධී ක්‍රියාවක් බවට සිතන්නට ඔවුනට තර්ක බුද්ධියක් හෝ අස්වැසිල්ලක් නැත. මන්ද, බුද්ධිය වෙනුවට හැඟීම් ඉදිරියට විත් ඇති අති මන්ද බුද්ධික තත්වයකට ඔවුන් පත්ව ඇති බැවිනි.

ගහලා හරි නොගත්තේ ඇයි දැයි ඇසූ ගායිකාවට එය මොනතරම් සමාජ විරෝධී ප්‍රකාෂයක්දැයි නොසිතුනා මෙන්ම, ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් එවමින් ලංකාවේ සිටින්නන් හට සියළු සැප සම්පත් ආනයනය කරන්නට උපකාරී වෙන විදේශ ශ්‍රමිකයන්ගේ සේවය හෙලා දැකීමේ වරද මගේ ඥාති සහෝදරියටද නොවැටහෙනු ඇත.

එපමණක් නොව, මහින්ද රනිල්ට වඩා මාරාන්තික නොවන්නේ, මහින්දට එරෙහි තරුණ කැරැල්ලක් ඇති නොවුන නිසා බව ඔවුනට වැටහෙන්නේ නැත.

රනිල්ට වඩා කඩවසම්, රැවුල වැවුනු ප්‍රතාපවත් මහින්ද, රට රකින්නේ මාෂල් ටිටෝ මෙන් අවි බලයෙන් බවත්, ඔහුගේ අවි සහ බලය නැති දාට ලංකාව තවත් කෑලි කෑලි වෙන යුගෝස්ලාවියාවක් වනු ඇති බවත් ඔවුනට තේරුම් ගන්නට බැරි තරම් ඉහල දේශපාළන කරුණු කාරනාවන් වේ.

කොටින්ම ඔවුනට අනුව දියුණු රටක් යනු පාරවල් සහ ගොඩනැගිලි පමණක් වන මුත්, ඒවා සපිරි කිසිදු අරාබි රාජ්‍යක් සංවර්ධිත පළමු ලොව රටවල් ලෙස තවම පිළි නොගෙන ඇත්තේ මෙහි ඇති අව මානව සංවර්ධන සහ මානව හිමිකම් දර්ෂක නිසා බවත් මේ අය තවම දන්නේ නැත.

මෙනිසා මෙවන් හය හතර නොදත් කුඩා උන්ගේ ගොන් කතාවලට තරහ ගැනීම හෝ ඒවා ගැන දුක් වීම තවත් කාලය නාස්ති කිරීමක් පමණි.

ඉදින්, නාස්ති කිරීමට කාලයක් නැති මේ මොහොතේ, කුඩා උන්ගේ විහිළු, බිණුම් සහ විකාර කතා වලට කලබල නොවී, ඒ අයට කැමති වාසුදේවක් කරගන්නටැයි කියා එළඹෙන දහ අටවැනි දිනටත් යහ පාළනය ඇති රටක මිනිසුන් ලෙස අවදිවන්නට අවැසි යුතුකම් පෙරදින සිදුකරීමට හැකිවන සම්මා සතියෙන් යුතු සතියකට සුභ පතමි!

Saturday, August 8, 2015

මහින්ද එක්ක නැගිටිමු....!

හොඳ මිතුරන් ලැබෙන්නේ හොඳ මිනිසුන්ටයැයි අර නාසය දිග බුරා මහතා වරක් පවසා තිබුනි.

මිනිසෙකුට එවන් අගනා මිනිසුන් ලැබීම වාසනාවක් හෝ අහම්බයක් විය හැක. නමුත් එහි ප්‍රථිපලය වචනයෙන් පැවසිය නොහැකි තරමේ වටිනා හැඟීමකි.

ජීවිතයේ ඕනෑම අසීරු අවස්ථාවක, එයට මුහුණ දෙන්නට යම් හය්යක් වෙන මිනිසුන් අවට සිටීම, උන්ගෙන් බලාපොරොත්තුවෙනවාටත් වඩා හය්යක් ලැබීම, මෙය අවාසනාව මැද දකින වාසනාවකි, කරදර මැද විඳින සතුටකි.

ජීවිතය යනු කොටු ගසා, සැළසුම් කර ගෙවන දෙයකට වඩා, එන දෙයට මුහුණ දෙමින් ලැබෙන දේ සතුටින් විඳිනා අපූර්ව අත්දැකීමක් ලෙස මම තරයේ අදහමි.

සෙනසුරු ලැබුවාම ඇවිද්දවන බවද කරදර දැඩිවන බවද ජෝති-පාල මහත්වරුන් කියයි. එසේනම් මේ ලබා ඇත්තේ මගේ සෙනසුරාය.

දසවරක් ගතකල රටකට, මිතුරන් පිරිසකට පමණක් නොව පස්වසක් කල රැකියාවකට සමුදී, කුඩා නිස්කලංක රටකින් පිටව පවුල් පිටින්ම තවත් රටක්, අලුත් රැකියාවක, දිනකට කිලෝමිටර 75ක් 100ක් පමණ රිය පදවමින්, මහා වේගයෙන් දුවනා රැළක් මැදට වැටී පිම්මේ දුවන්නට වීම සෙනසුරාගේම බලය නිසාමනම්, සෙනසුරා යනු කියන තරම්ම නරක නැති එකෙක් විය යුතුය.

නැතිනම්, වැටෙන්න ඉඩ දෙන අතරම හය්යෙන් අල්ලඅගන්නට අතක් දෙන එකෙකුත් එකවර ලබා නොදෙනු ඇත.

පසුගිය මැයි මස වනවිට මගේ බ්ලොග් ජීවිතයට වසර හයක් පිරුණි. නමුත් ඒ වනවිට බ්ලොග් තියා බොගක් දැමීටවත් ඉඩක් නැතිව දැඩි ලෙස කාර්‍ය බහුල, සංක්‍රාන්ති සමයක් ගෙවමින් සිටියෙමි.

එහෙත් මේ බ්ලොගයෙන් මා හමුවූ, හඳුනාගත් පිරිසක් මා වැටෙන්නට නොදී, වටකරගෙන සිටියහ. ඒ පිරිස අතර සිටි යෝධයකු වන් එකෙකු, පියෙකු ලෙස තවම මා පසුපස සිට, දුක සැප සොයමින්, අත අත නෑරම ලඟ සිටියි.

දේශපාළනය නිසාම මිතුරන් හතුරන් කරගන්නා මිනිසුන් මැද, උඹ මට සහෝදරත්වය මිත්‍රත්වය ඒ සියල්ලටම වඩා ඉහලින් තීන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්වීය.

උඹේම ගෙදර උඹේම ඉන්ටනෙට් එකෙන් ගිහින් උඹට විරුද්දව ස්ටේටස් දමත්දී, එතන වාද කර විත් එකට කා බී උඹ පහල ඇඳෙත් මම උඩ ඇඳෙත් නිදා ගතිමු.

එක් වසළයකුගේ ක්‍රියාවක් නිසා බ්ලොග් ලොව පුද්ගලික මිතුරුකම් වලින් මිදී සිටි මට, නරකෙහි මෙන්ම හොඳෙහිද අන්තයටම ගිය මිනිසුන් මෙහි සිටිනා බව පෙන්වූ සබඳ, මට නැගිටින්නට අත දුන්නාට උඹට පින්..!

තුන් මසකට පසු නැවත බ්ලොග් ලියන්නට පටන්ගනිත්දි මේ කතන්දර මෙසේ ලීවේ ස්තූති කර උඹෙ මනුස්සකම් වලට අපහාස කරන්න නොව, වසලයින් පමනක් නොව මට බ්ලොග් ලිවීම නිසාම දෙවිවරුද හමුවූ බැව් ලියා තැබීමට පමණි.

දුමී, මට බ්ලොග් නිසා ලැබුන වටිනාම දෙය නම් උඹ වැනි ඇදහිය නොහැකි තරම් හිතවත්කමින් පිරුණු මිනිසෙකු හමුවීමයි.

ප/ලි...
ඒ එක්කම මේ කරදර, කලබල මැද්දෙ මගේ තනිකම ගැන හිතල ට්‍රිප් ඕගනයිස් කරපු, ඩුබායි වට්ටක, කාගෙත් දුකට පිහිටවෙන දුකා, තිස්ස දොඩං, ඊයෙ පෙරේද කරත්තෙ බැන්ද රුචක සඳරුවන්...මේ සේරම මට හම්බ වුනේ බ්ලොග් නිසා... ඉතින් කොහොමද මේක පාලුවෙන්න යවන්නෙ?

ඉතින් මහින්දත් එක්ක අපිත් නැගිටිමු..!

LinkWithin

Related Posts with Thumbnails