Thursday, September 1, 2016

දෙවියන්ද මිනිසුන්ද තිරිසන් උනේ...?



ඔබ අද දකින මල් හෙට පරඬැල් ලෙස පෙනෙනු ඇත. ඒ ලෝක ස්වභාවයයි. ඊයෙ මල් දී ඇදහූ දෙවියන් මෙදා ගරහන පල් දෙය්යකු විය හැක. ඒ මිනිස් සිතයි. එකම දෙය වෙනස් වන්නට අවශ්‍ය එකම දෙය කාලය පමණි.

සමහරවිට මෙලෙස වෙනස් වන දෙයින් හොඳ කෝකදැයි, හරි කුමක්දැයි ඔබට සිතාගන්න අපහසු තරමට ව්‍යාකූල බව පෙනෙනු ඇත. එහෙත් සත්‍ය නම් මේ දෙකම එකම බවයි.

ඔබට මා විස්වාස නැතිනම්, මේ ගී දෙකම අසන්න. දෙදෙනාම ගයන්නේ එකම කතාවයි, නමුත් එහි තනු දෙකකි, වෙනස් සංගීතයන්ය. එකක් ඔබට මිහිරි විය හැකි අතර අනෙක අමිහිරි අකමැති එකක් වීමට ඉඩ තිබේ. ඒ රසය වෙනස දැනෙන්නේ ඔබ සිටිනා තැන අනුවය.


මේ මාස්ටර්ගේ ගීයයි


මෙය ගෝලයාගේ ගීයයි


සමහරවිට ඔබට මේ දෙකම රස ලෙස දැනෙන්නටද ඉඩ තිබේ. එසේනම් පරෙස්සම් වන්න, පාරේ මැද යාම එක් පසකට වී යාමට වඩා අනතුරුදායකය.


අවිචාර උන්මාද මේ ලොකයේ....
දෙවියන්ද, මිනිසුන්ද නොමගේ ගියේ....//

බල කාමෙ, ධන කාමෙ වැල සේ එතේ....
කරුනාව මුදිතාව පියඹා යතේ....//

ගුණ දහම හැදියාව ගෑවී නැතේ...
රජයාවි තන්හාව මානෙ සිතේ...

අවිචාර උන්මාද මේ ලොකයේ.......

මුලු ලෝකෙ සොලවාල සේසත් නගා....
නැටුවාට ගැයුවාට එක්වී රඟා....//

සැනසෙන්න බැරි වේය එය සහතිකයි....
පරදාල ජය ගන්න ඕනේ සිතයි....

අවිචාර උන්මාද මේ ලොකයේ.......//

කරුණාරත්න අබේසේකරගේ පද වැලකි.

Tuesday, August 16, 2016

History and His Story

පහුගිය දොහේ නිවාඩුවට ගිහිල්ල ඉන්නකොට අපේ චෙෆාකි මහත්තය අඬ ගැහුව දකුණට ආවොත් උන්දැගෙ දික්වැල්ලෙ නිවාඩු නිවාසෙත් ඉඳල යන්න එන්නය කියල. නිවාඩුවෙදියි ඒ ගමණෙදියි වෙච්චි අති සුන්දර සිදුවීම් ගොන්නක් තියෙත්දි මේ උලව්ව ගැනම ලියල ඉවර කරල ඉන්න ඕන කියල හිතුනෙ ඇයිද මන්ද.

ඉතින් ඔය කියන නිවාසෙ සතුටින් ලැගල උන්න තුන්වැනි දවසෙ අපිට අපූරු මිත්‍රයෙක් හම්බ උනා. උන්දැත් බලත්දි මම ගිය පාසලකටම ගියපු, මට වැඩිය දෑවුරුද්දක් බාල ගැටයෙක්. මේ බ්ලොග් ලියන රචිකාවකගෙ සුවාමියෙක්. මේ හාදයයි, මමයි, චෙෆාකියි, අටමයි කට්ටිය එක්ක එදා රෑ බොන්න ගිහිල්ල අන්තිමට ඒක ගියෙ නැතෑ මහා වාදෙකට.

එතන කතාව මෙහෙමයි.

ඔය මාක්ස් ගොය්ය කියල තීනවනෙ ආගම අබිං කියල. ඒ එහෙම කිව්වෙ ඇයි කියල අපේ පොල්කට්ටෙන් එහා අජිය මෙන්න මෙතන ලස්සනට විස්තර කරල තියෙනව. ඒ මාක්ස්ගෙ ආගම ගැන කිව්ව කතාවම තමා මට අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ ඉතිහාස ප්‍රේමය සහ ඓතිහාසික ලොකුකම් වර්ණනාව ගැනත් කියන්න තියෙන්නෙ.

ඒ කියන්නෙ, වර්ථමානයෙ නිර්මාණාත්මක හැකියාවන් මොට වෙච්චි කම්මැලි සහ පසුගාමී ජාතියක් තමන්ගෙ ඒ තත්වය අමතක වෙන්න, සිදුවෙන ඛේදවාචකයෙන් සසල නොවී සතුටින් ඉන්න භාවිත කරන්නෙ අපේ අතීත ශ්‍රී විභූතිය සහ ඉතිහාසයෙ  සිංලයගෙ තිබ්බ "මාර, පට්ට" දක්ෂතා ගැන කියෝ කියෝ සතුටු වෙන එක. මොකද අතීතෙ අපි මාර ජාතියක් අද මෙහෙම උන්නට කියල සතුටු වෙලා සිද්ධ වෙන ස්ව්යං මෝහනයෙන් තමන් අද ඉන්න කාලකන්නි තත්වයෙ ඛේදවාචකය ගැන අමතක වෙනව. ඒකත් අර අබිං ගහල ගන්න තාවකාලික වින්දනය වගේම තමයි.

මෙන්න මේ කාරණාව නිසා ලංකාවෙ අතීතය මාර පට්ට එකක්ය, අපි තමයි ලෝකෙ පොරවල්ය කියන කොට මට පුද්ගලික ඇතිවෙන්නෙ මහ කණගාටුවක්. මොකද ජාතියක් වශයෙන් තමන්ගෙ ඉතිහාසය සහ වටිනාකම් දැනගෙන ඉන්න එක වටිනව උනත්, ඒ මත්තෙම ඉන්න,  එකෙන් එහාට නොයන එක රටක් හැටියට අපිට වෙලා තීන මහා විනාසයක් නිසා.


අන්න ඒ හැඟීම නිසා කෙනෙක් ඔහොම අපේ අර "මාර ඉතිහාසය" වනන කොට මට ඒකෙ තීන හිල් අඩුපාඩු සහ හිනා යන තැන් ගැන නොසොය ඉන්නම බෑ. එදත් උනේ ඔන්න ඕකයි.

අපේ අර මිතුර ඉතිහාසෙ ලංකාවෙ පොරත්වය ගැන කියනකොට මම ඒව ගැන ඔහුගෙන් ප්‍රශ්ණ කරා. අන්තිමට ඒ කතාව සැරට ගිහිල්ල හිමීට නිවුන. හැබැයි හැමෝම හිතුවෙ එදා අපි දෙන්නගෙන් එකෙක් අනිකට බෝතල් පාරක් ඇන්න තමා කියල ගිය සද්දෙටයි තරමටයි. නමුත් ඒක එහෙම වෙන්නෙ නෑ කියල ඌයි මායි දැනගෙන හිටිය, මොකද අපි මතවාද හප්පල චප්ප කරාට මූණු හප්ප නොගන්න තරම් මොළයක් තියෙන උන් නිසා.

දැන් මෙන්න මේකයි ඔය වාද වලට මූලික කාරණාව ( අපේ මිතුර මෙහෙම කිව්වම මම මේකට විරුද්ධත්වය පල කරල කතාව වෙන අනු අංශ හරහා පවා විහිදිල ගියා - ඒව පස්සට ) .


ලංකාවෙ අනුරාධපුර යුගයට පෙර සිටම ඉතාම දියුණු රාජාන්ඩුවක් සහ අධිකරණ ක්‍රමයක් තිබුන. මේක සමකාලීන ලෝකයෙ වෙන කිසිම රටක නොතිබ්බ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ නියම භාවිතාව තිබ්බෙ ලංකාවෙ .


මේ කාරණාව ඔප්පු කරන්න තියෙන සාධක මොනවද කියල මම අපේ මිතුරගෙන් ඇහුවම එයා කිව්වෙ ජ්යෙෂ්ඨ ප්ලීනි ලියාපු නැචුරල් හිස්ටරි කිය්න පොතේ මේ ගැන තියෙනවාය, ඒක තමා හොඳම සහ එකම සාධකය මේ කතාව සනාත කරන්න, කියල.

ඒ වගෙම ඔහු කිව්ව, ඒ පොතේ තියෙනවය ලංකාවෙ රජකම යන්නෙ මිනිසුන් තෝරාගත් රජෙකුටය, ඒ රජුගේ ඇවෑමෙන් රජ පවුලේ ඊලඟට සිටිනා වැඩිමලාට ( රජුගේ පුතාට නොව සහෝදරයන්ට ) බවත්. මේක ඔප්පු කරන්න කියල අපේ මිත්‍රය පණ්ඩුකාභයගෙ ඉඳල සද්ධාතිස්ස වෙනකල්ම රාජ නාමවලියත් නෑ කමුත් කියාගෙන ගියා.

ප්ලීන්ගෙ ඔය පොත මම කියවල නොතිබ්බ නිසාත්, රජ නම් සහ නෑකම් මතකෙ නොතිබ්බ නිසාත් ඒ වෙලාවෙ මට ඒ ගැන වැඩි යමක් කියන්න හැකියාවක් තිබ්බෙ නෑ. නමුත් මම පහුවෙනිද හොයල බලනකොට තමයි දැක්කෙ මේටික.

මෙන්න ප්ලීනිගෙ Natural History කියන පොතේ තැප්‍රොබේන් ගැන කියවෙන පරිච්ඡේදය.








මේ පොත ප්ලිනි ලියල තියෙන්නෙ ක්‍රි.ව 77 කියලයි සැලකෙන්නෙ.ඒ කියන්නෙ අනුරාධපුර යුගය ආරම්භවුනාය සැලකෙන ක්‍රි.පු 360ට එහා ඉතිහාසය සනාත කරන්න මේක ගන්න බැරිවෙනව. ඒ කියන්නෙ අනුරාධපුර යුගයට එහා තිබ්බ මාර රාජ්‍ය මේ පොතෙන් සනාත කරන්න අමාරුයි.

ඒ නිසා අපි කතාවෙ ඊලඟ කොටසට, ඒ කියන්නෙ රාජ්‍යත්වය කියන එක බලමු.

මේ පොතේ 130 පිටුවෙ අග ප්ලිනි කියල තියෙනව මෙන්න මෙහම.

"ඔවුනට උසාවියක් නැති අතර නීතියක්ද නොවේ. හර්කියුලිස් දෙවියන් වන්දනා කරයි. ඔවුන්ගෙ රජ මිනුසුන් විසින් තෝරාගන්නේ ඔහු වැඩිහිටි, කරුණාවන්ත, සහ දරුවන් නැති අයෙකුනම් පමණි. යම් හෙයකින් රජුට දරුවන් ලැබෙන්නට ඇතිනම් එවිට ඔහු සිoහාසන්යෙන් පහ කෙරෙන්නෙ රාජ්‍ය්ත්වය පරම්පරාවෙන් පරම්පරාවට නොයනු පිණිසය".

දැන් මේ ටික මෙහෙම දැක්කම හිතෙන්නෙ මගේ මිත්‍රය හරි කියල නේද? කලබල නොවෙන්න කියන්නෙ මේ වෙලාවටයි.

 මේ පොතේම තියෙන විදිහට ලoකාව ගැන විස්තර හොයාගෙන තියෙන්නෙ ඒ වෙනකොට මේ රටට ආ ගිය තානාපතිවරු සහ වෙළෙන්දන්ගෙන්. එහෙම බැලුවම ප්ලිනිට ලැබිල තියෙන විස්තර ක්‍රිස්තු පූර්ව යුගයෙ වෙන්න බෑ, මොකද ප්ලිනි ඉපදුනෙත් ක්‍ර.ව 23 කියල කියැවෙන නිසා.

නමුත් අපි ගමු ක්‍රිස්තු පූර්ව 20 ඉඳල ක්‍රිස්තු වර්ශ 113 වෙනකල් ලoකාවෙ හිටපු රජවරු සහ ඒ අයගෙ උරුමය.

ක්‍රි.පු - 20 සිට ක්‍රි.ව 9 දක්වා භාතිකාභය අභය - ඉන් පෙර සිටි කූටකන්නතිස්ස රජුගේ පුතා

ක්‍රි.ව - 9 සිට ක්‍රි.ව 21 දක්වා මහදැළියාමානා (මහා දාඨික මහානාග) - භාතිකාභයගෙ සොයුරා

ක්‍රිව. 21 සිට 30 දක්වා - අඩගැමුණු - මහදැලියමානගේ පුතා

ක්‍රි.ව 30 සිට 34 දක්වා - කණීරජානුතිස්ස - අඩගැමුණුගේ සොයුරා

ක්‍රි.ව 34 සිට 35 දක්වා - චූලාභයතිස්ස - අඩගැමුණුගේ පුත්

ක්‍රි.ව 35 සීවලී රැජින - අඩගැමුණුගේ දියනිය

ක්‍රි.ව 35 සිට 44 දක්වා - ඉළනාග

ක්‍රි.ව 44 සිට 52 දක්වා - චන්ද්‍රමුඛ - ඉළනාගගේ පුත්

ක්‍රි.ව 52 සිට 60 දක්වා - යසළාලකතිස්ස - චන්ද්‍රමුඛගේ සහෝදරයා

යසළාලකතිස්සගෙන් පස්සෙ සුභ කියන ලම්භකර්ණ වන්සික දොරටුපාලය එනව කරළියට, රජකමට. සුභගෙන් පස්සෙ එයාගෙ පරපුරේ වසභත්, ඉන් පස්සෙ වසබගෙ පුතා වoකනාක තිස්සත්, එයාගෙ පුතා පළවෙනි ගජබාහුත් වෙනකල් පිලිවෙලින් රජවෙනව. නමුත් ඒ වෙනකොට ප්ලිනි මේ ලෝකෙ නෑ.

දැන් ඔබට මොකද හිතෙන්නෙ? ප්ලිනි කිව්ව දරුවො නැති රජුගෙ කතාව සහ රජකම එක පවුලකට හිමිවීමට ඉඩ නොදීම කියන එක ලන්කාවෙ පිළිගත් රාජ පරම්පරාව විමසල බැලුවම බොරු වෙනව නේද?

මේ ලිපිය දිග වැඩියි. දැනට මෙතනින් නවතනව. අපේ මිතුර හෝ වෙනත් කෙනෙක් මේ ගැන සාකච්ඡාවට ආවොත් තව ලියන්නත්, නැතිනම් මෙහෙමම අල්ලල දාන්නත් පුලුවන්.

මම මේක ලිව්වෙ එකම එක කාරනාවක් නිසා.

පිරිසක් ඉදිරියෙ නම් සහ පොත්වල ඇති දේ කියල කෙනෙක් ක්වෝට් කරහම අනෙක් අය ඒ දේ වැරදියි කියල ඔප්පු කරන්න කරුණු මතකෙන් හොඳ හැටි නොදන්නවනම්, අර පුද්ගලය කියන දේ නිවැරදියැයි අවශේශ බහුතරය හිතා ගන්නව. විශේශයෙන්ම මේ වගේ කාරණාවලදි අඳින අය හිතනව, අනේ අරූ අර පැහැදිලි කරේ නියමෙට, බලනකොට සිරි ලoකාවෙනෙ පොරවල් ඉන්නෙ කියල.

හැබැයි මේ කතාව නිසා තව එක හොඳක් උනා. ඒ තමයි මට ප්ලිනිගෙ මේ පොත කියවන්න සිදුවීම. ඒකට දසුනට ස්තූති නොකර බෑ.

Tuesday, July 26, 2016

වසන්තයක නිමාව...


හෙළ බස හරි අපූරු මෙවලමකි. සිංහලයෝ සිගරට් සහ අරක්කු බොති. නමුත් සිගරට් බීම සුද්දාට කිසි කලෙකවත් කල නොහැක. උන් බොන්නේ අරක්කු පමණි.

නිමාව යනු අවසානයම නොවේ. චිත්‍රපටයක් උපදින්නේ ඉතාමත් හොඳින් පිටපත, රූගත කිරීම් සහ සංස්කරණයද නිමාකල පසුය.

එලෙසින්ම බ්ලොග් වසන්තයේ මේ කියනා නිමාව, එහි අවසානය නොව ෆිනිශ් එකය.

පුරා දින 44 පැවති බ්ලොග් වසන්තය 2016 සහ එහි මත විමසුම ගැන මෙහි අප කලින් ලියා තැබූයෙමු.

දුමියාගේ සංකල්පයක්, මගේත් මාධවගේත් උපකාරයෙන් 2015දී අපට හැකි පමණින් එලිදක්වත්දී අපට සුභ පැතුම් මෙන්ම විවේචන, මඩ ප්‍රහාරද ඇති පදම් ලැබුනි.

ඔබ ඕනෑම පොදු කටයුත්තකට එක්විය යුත්තේ ඌරු පිට සහ බූරු හම ඇතිනම් පමණි යන්න ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටි මමත් දුමීත් ඒ සියළු අදහස් උදහස් අතරින් සීරුවෙන් ගමන් කරමින් සිතූ පරිදිම සාර්ථකව වසන්තය නිම කලෙමු.

ඒ 2015යි.

2016දී මෙය වඩාත් සාර්ථක සහ උත්කර්ෂවත් අන්දමින් කරන්නට අපට සිතුනේ, 2015දී ලද හොඳ සහ නරක ප්‍රථිචාරන් නිසාවෙන්මය.

අනෙක් කරුණ, 2016දී මමත් දුමියාත් එකම රටක අසල්වැසියන් වීමයි.

අපි මුලින් දුරකථනයෙන් සැළසුම් හැදුවෙමු. ඒ ගැන වැඩි විස්තර කතාවට සවසට එක්ව, වෙන විස්තර කතා කරමින් බෝතල් හිස් කලෙමු.

කාලය නම් අපට ඉතාම හිඟ වූ සම්පත හැකි පමණින් කළමණාකරනය කරගනිමින්, 2016 බ්ලොග් වසන්තය අප බලාපොරොත්තු වූවාටත් වඩා ලිපි සංක්‍යාවකගේ සහභාගීත්වයෙන් අවසන් කෙරිනි.

ඒ අතරතුර දරුවන් රෝහල් ගත කිරීම්, ගෘහ සේවිකා ප්‍රශ්ණ, වෙනත් පුද්ගලික සහ රාජකාරි ගැටළු දහසක් මා දුමියා පමණක් නොව අප නව ඇඩ්මින් කමියාටද මදි නොකියන්නට තිබුනි.

සියළු බාධක මැද බ්ලොග් වසන්තය නිමාව පසුගිය සෙනසුරාදා ගල්කිස්ස බෝට් හවුස් හි අප බලාපොරොත්තු වූවාටත් වඩා සුන්දර ලෙස සටහන් විය.

පමණක් මහ ගස් හට ගන්නේ මීමැස්සෙකුගේ පරාගණය මතිනි.

බ්ලොග් වසන්තය සොඳුරු නිමාවටද එලෙස උදව් කල බින්ඟුන්, සියොතුන් රෑණකි.

ඒ සියල්ලන්ගේම සහය නොලැබෙන්නට 2016 බ්ලොග් වසන්තය මෙතරම් උසස් ලෙස නිමා වන්නේ නැත. ඒ ගැන මමත්, දුමීත්, කමියාත් හද පතුලෙන්ම ස්තූති කල යුතුය.

ඔවුනට ගෞරවයක් ලෙස මට සිහිවෙන පිළිවෙලට ඒ නම් මෙහි ලියා තබමි.


බ්ලොග් වසන්තය මත විමසුම ක්‍රියාත්මක වන අතරතුර ඒ ගැන ඉතා අවධානයෙන් සිටිමින් අප දිරිමත් කල සපතේරු උන්නැහේ

වසන්ත සම්මාණ නිර්මාණයට උද්ව් කල ලයනල් බංඩාර නම් මගේ කාර්‍යාල සහෘදයා,

සම්මාණ සඳහා අති සුන්දර ආට් වර්ක් එකක් එක රැයින් හදා දුන් ව්ශ්වකර්මයා අසංග මංජුල,

සම්මාණ ප්‍රදානය ගැන දැනුවත් කිරීමට අවස්ථාව සලසා දුන් චෙෆාකි,

බ්ලොග් වසන්තය සම්මාණ ප්‍රදානයට ඒ සුන්දර තැන ලබා දුන් මිතුරු රොෂාන් මද්දුමගේ

කෙටි නිවාඩුව අතරතුර මේ කාරණාවන්ට අවශ්‍ය නිදහස දුන් අප බිරින්දැන් සහ පැටවුන්

මේ සියල්ලන්ම සමඟින් බ්ලොග් වසන්තය වෙනුවෙන් ලිපි ලියූ සියළුම දෙනාත්, වසන්ත නිමාව සාදයට එක්වූ ඇල්කෙමියා, ඉවාන්, මාතලන්, කුෂාන්, ජීවන, අටම්, ඇනොපිලිස්, ප්‍රා ජේ, බුද්ධි සහ මැරියන් කුමරිය, තිස්ස දොඩං ඇතුලු සියල්ලන්ටම දුමී, කමී, ඉන්දික, මාධව ඇඩ්මින් මඩුල්ලේ හද පිරි ස්තූතිය පුද කරමු!

එමෙන්ම, 2016 බ්ලොග් වසන්තය වෙනුවෙන් ලිපි ලියූ, ලංකාවේ සිටි බොහෝ දෙනෙකුට ආරාධනා කරන්නට නොහැකි වීම ගැන ඇඩ්මින් මඩුල්ලේ කණගාටුවද මේ සමඟම පලකල යුතුය. ඇත්තටම මේ හමුවට විවෘත ආරාධනාවක් කරන්නට හෝ විශාල පිරිසකට එන්නට කීමට නොහැකි වූයේ, දුමීටත් මටත් දරන්නට පුලුවන් බරෙහි, කරන්නට පුලුවන් වූ වියදමෙහි ඉතා දැඩි සීමාඅවන් වූ බැවිනි. ඒ හැර වෙනත් කිසිම නිර්ණායකයක් ඔබට අරාධනා නොකරන්නට බල නොපෑ බව මෙහි ලියා තැබිය යුතුමය.

ඉදින්, නිමාව අගනා බැව් සැවොම පවසන 2016 බ්ලොග් වසන්තය, වඩා උසස් සහ පුළුල් සහභාගීත්වයක් සහිත 2017 බ්ලොග් වසන්තයක ඇරඹුමක් වනු ඇතැයි, වසන්ත ඇඩ්ඩියන්ගේ එකම පැතුමයි. ඒ පැතුම් ඉටු වන්නේ ඔබ ලිව්වෝතින් පමණි.

පලි. වසන්ත නිමාවේ රස මුසු තැන් හෙවත්, ඇනෝපිලිස් මුහුදේ පැනීම, අටම්පහුරගේ චන්ඩිකම්, ජීවනගේ ගිටාර් වාදන පමණක් නොව ඊට පෙරදා සාදයක දුටු රවියාගේ දුරකථන සෙල්ලම, චෙෆාකිගේ කෑම ඈ නෙක රස මුසු පුවත් ගැන දැනගන්න, මඳක් රැඳී සිටින්න.

වසන්ත හමුව ඇල්බම් බලන්න



LinkWithin

Related Posts with Thumbnails