කොඩිය දුවහන්, උඹට දුවන්න පුලුවන් හුxx.. දුවහන්...
උන් එහෙම කිව්වට මගේ කකුල් ගල් වෙලා, පපුව නැවතිල, හුස්මත් හිර හිරවෙලා..
කල්දෙමුල්ලෙ බෝ ගහ ගාව ඉඳල අඟුලාන පාරට, ඒතනින් ගාළු පාරෙ අඟුලාන හන්දියට, එතනින් ගොළුමඩම හන්දියට, අයිත් ගාළු පාර දිගේ කල්දෙමුල්ලෙ බෝ ගහ ගාවට.
වටේකට කිලෝමීටර් හතරක් විතර. වට හයට කිලෝ මීටර් විසි හතරක්.
උඹට දුවතෑකිද?
අමිලය එහෙම ඇහුවෙ දුක දවටපු වචන වලින්. මොකද ඌ තමයි මා එක්ක සහයට පිට්ටනිය වටේ දුවල දුර දුවන්න ස්පෝට් මීට් එකට ප්‍රැක්ටිස් කරේ. ඒත් උගෙ ඇඩ්‍රස් එක ගල්කිස්සෙ නිසා කල්දෙමුල්ලෙ ගම හරහ රේස් එකට දුවන්න බෑ.
කල්දෙමුල්ලෙ රේස් කප්පිත්ත අනිල් අය්ය. මිනිහ කොළඹ දිස්ත්‍රික්කෙන්ම පළවෙනිය, ඕල් අයිලන්ඩ් දුවන පොරක්. ඒ නිසා පළවෙනි තැනට තරඟ කරන්න දෙයක් නෑ. මගේ ටාගට් එක මුල් පහට එන්න.
ඉස්කෝලෙ 1500 දිව්වට මේක තමයි පළවෙනි මැරතන් එක.
මැරතන් දුවන්නත් තිබ්බෙ ඉස්කෝලෙ දාන කික්ස් සපත්තු දෙකම තමා.
කලු ෂෝටයි, කලු ස්කිනියයි ගහල, කටු බොඩියට ලොකු සපත්තු දාල ගත්තම අර පීක් පීක් ගාල දුවන කාටුන් කුරුල්ල වාගේ. මo ගැන මටම හිතුන.
මට දුර දුවාගන්න ටිකක් පුළුවන් කියල දැනන් උන්නෙ මායි අමිලයයි විතරයි. ඒ නිසා රුපියල් පහක් ගෙවල ඇප්ලිකේෂන් එක පුරෝල දෙනකොට අවුරුදු උත්සවේ සoවිධායක අය්යල ඒක මගෙන් ගත්තෙ "රුපියල් පහට තැන්කිව්" කියන්න වගේ.
තරඟෙ දාට කලින් දා මම කලිම්ම නිදියෑව.
අම්ම අර ගිලෙන්නැති රතු හාල් එක්ක සැමන් ටින් එකක් කඩල, තක්කලි සම්බලකුයි පරිප්පුයි හදල තිබ්බ රෑට කන්න.
අවුරුදු කිට්ටුව අපේ ගෙවල්වල කෑම බීම හරිම පරෙස්සම්. මොකද තෑගි ගන්න, කැවුම් කොකිස් වලට එහෙම ගියාම, කන්න බොන්න අම්මට ඉතුරුවෙන්නෙ හරිම පොඩි ගානයි, ඒකයි.
උදේම කෙසෙල් ගෙඩි තුන හත්‍රක් එක්ක පාන් පෙති දෙකක් ගිලල මායි මල්ලිල දෙන්නයි පිටත් උනා.
හතට තරඟෙ, පෝළිම් ගස්සන්නෙ හයයි හතලිස් පහට.
මගේ සෙට් එකට, මල්ලිල දෙන්නයි, අමිලයයි, අපී තුවෙනි පටුමගේ කොල්ලො සෙට් එකමයි ඉන්නව.
අනික් උන්ට සපෝට් එකට මෝටර් බයික්, පුෂ් බයික් එමට තියෙද්දි අපේ සෙට් එකටම තිබ්බෙ බයිසිකල් දෙකයි.
කල්දෙමුල්ල පාර මැදින් ලනුව ඇදල, සුදු ඉර ගහල, කට්ටිය පේලියට හිටවල.
කෙල්ලො, කොල්ලො පාර දෙපැත්තෙ ඉඳන් ඇස් බොලේ කරගෙන, පාරට එබීගෙන බලනව ලනුව පෙරලගෙන දුවන උන්ව බලන්න.
චීස් බෝල වගේ ඉන්න සමහර කොල්ලොන්ට උන්ගෙ අම්මල, තාත්තල පටන් ගන්නත් කලිම්ම ග්ලූකෝස් දීල. උන්ගෙ නාස් යටින් කට වටේට සුදු රවුම, හරියට අමිතාබච්චන්ගෙ රැවුල වගේ.
අනික් උන්ගෙ අම්මල ග්ලූකෝස් කවන්න මෙතන පොරකත්දි අපේ අම්ම ලිප ගාව කුඩු වලට පිඹිනව ඇති දවල් බත උයාගන්න.
අනික් උන්ගෙ තාත්තල යාලුවො එක්ක මෝටසයිකල් වල නැගල පස්සෙන් එන්න සැර දාත්ත්දි අපේ තාත්ත යාපනේ, නිවාඩු නෑලු මේ අවුරුද්දෙ.
ඒත් ඒ ඔක්කොම මැකෙන්න මට හිටිය එළ කොල්ලො ටිකක්. උන්ගෙ ගාව තිබ්බෙ වතුර පුරෝපු සිලි බෑග් ටිකයි, ගැම්ම පුරෝපු හිතුයි විතරයි.
ඒ මදෑ...
වෙළාව හතයි, කට්ටියම පේලියට...සමහරු මීටර් සීයට වගේ දෙකටත් නැමිල.
ටකස්...
අර ක්ලැප් එක සද්ද කලා...
දග්..දග්.. ගගා තාර පාරෙ අඩිය ලෙලි ගිය සපත්තු දෙකත් දාගෙන මම බන්ච් එකේම ඉස්සරහට ඇද්ද.
ඒත් ඒ වෙනකොටත් අනිලයි තව දෙතුන් දෙනෙකුයි බන්ච් එක කඩාගෙන ගිහින් ඉවරයි.
පළවෙනි වටේ නිකන් ඊයෙ තෙල් දාල ගත්තු බයික්කෙ වගේ. ඇදල යනව, ගානක් නෑ.
තුන්වෙනි වටේ වෙනකොට රෙසර් වලට වැලි ඇදල. දණ පොල්කටු කටකට ගානව. මගේ කලු සරීරෙයි කලු ස්කිනියයි එකම වගේ වෙලා, දාඩියටයි, වතුරටයි එකට ඇලිල.
කලිසම පෙඟිල, ඉන වටේ දාල ගැටේ දාපු නූල නැත්තන් ඒක බරටම මග හැලිල. ඒත් මන් දුවනව...
කොඩිය එල...ඔහොම යමන්..උඹට තව දෙන්නයි පාස් කරන්න ඕන දෙවනියට එන්න...
අපේ උන් කෑ ගහනව. බයිසිකල් දෙකේ හය දෙනෙක්. උන්ගෙ වැඩේ මට අර ගිණිගන්න ගේකට වගේ මග දිගට තීන පයිප්ප වලින් පුරෝ පුරෝ වතුර ගහන එක.
පස්වෙනි වටේ අග. මට තේරෙනව මගේ කකුල් කලව හරියෙන් කවුරු හරි තද කරල ගැට ගහනව වගේ. ඔළුව බර වැඩියි, තාර පාරෙ පතුල වදිත්දි ඔලුව ටික ටික පහලට බහින්ව බෙල්ල තලාගෙන.
ඒත් මම දිව්ව.
පහ ඉවරයි, හයට ආව..
කකුල් මාරු වෙන්නෙ අර ගල්කිස්සෙ WADSCO එකේ වීදුරු පෙට්ටියක තිබ්බ බට්ටො දොන්නෙක් වැනෙන ඔරලෝසුවෙ වගේ.
කකුල් දුවන්නෙ උන්ට වයින් තියල තියෙන නිසා. නැතුව ඉඟෙන් උඩ මට දුවන්න තියා හුස්ම ගන්නත් බෑ.
යාන්තන් ගාලු පාරට ආව...
කොඩිය තව ටිකයි...ඔහොම ඇදහන්..අර ඉස්සරහ යන එකාව පාස් කරානම් උඹ තුන.
උන්ගෙ සද්දෙ නිකන් මට ඇහෙන්නෙ ජිප්සීලගෙ කුරුමිට්ටන්ගෙ සද්දෙ වගේ.
මොකද කකුල් අත් විතරක් නෙමේ, කනුත් ලොක් වෙන්න අරගෙන.
කිලෝ මීටර් විසි හයෙන් විසි දෙකක් විතරම ඉවරයි. ගමනෙ අග.
මට ඉස්සරහින් තුන්වෙනියෙක් යනව කිව්වට මට පේන මගුලක් නෑ.
එකම දේ පේන්නෙ මගෙ කකුල් අස්සෙන් පස්සට යන තාර පාර විතරයි..
කල්දෙමුල්ල පාඅරෙ සීජීආර් පිට්ටනිය පහු උනා...
අන්තිම මීටර් කිලෝමීටරේ.
මට තුන්වෙනියව පෙනුන........... ඔව් මට ඌව පෙනුන.
ඒත් ඌ දුවන්නෙ මට වඩා හය්යෙන්. මගේ ලොක් වෙච්චි කකුල්, හිරවෙච්චි අත්, බර වැඩි ඔළුව ඉඩ දුන්නෙ නෑ මට ඌ ගාවට යන්න.
අපේ උන් වතුර ගැහුවට මගේ මුළු ඇඟේම පත්තුවෙන ගින්න, කටින් එලියට දාන දුම අඩුවෙන්නෙ නෑ.
මට හති.. මට හොන්දටම අමාරියි. මට පේන්නෙ නෑ.. මාව තෙමිල, ඒත් මට තිබහයි, අමාරුයි...
මම නැවතුනා... එක පාරටම නැවතුනා...අපේ උන්ගෙ නෙමෙයි මුළු ලෝකෙම දේවල් මට ඇහෙන්නෙ නැතුව ගියා...
තව අඟලක්වත් යන්න හය්ය නැති මාව, බීල ඉවර වෙලා විසි කරපු හිස් බීම පැකට් එකක් වගේ පාවෙන්න ගත්ත.
ඒ සේරම අතරෙ එක පාරටම...
අනේ ලොකු පුතේ දුවහන්කො...
සින්ඩරෙල්ලගෙ අම්ම දිවිය ලෝකෙ ඉඳන් ආව වගේ, කුඩු ලිපෙන් බත් එක බාල, නන්ගිවත් එක්කරගෙන අම්ම ඇවිත්.
රෑ සැමන් එක්ක පරිප්පු හදල බත් දීල, උදේ කෝලි කුට්ටු දෙක තුනක් දීල රේස් එකට එව්ව කොල්ල දිනනව බලන්න අම්ම ඇවිත්..
අපි දින්නත්, පැරදුනත්, බැනුන් ඇහුවත්, මොන දේ කලත් ඉවසපු, ඒ හැමදේම දරා ගත්තු අම්ම මම දිනනව බලන්න පලෙවනි පාරට ඇවිල්ල.
මගේ ඇස් වලින් බේරිච්චි කඳුලු ඔලුවෙන් වැක්කෙරන වතුර එක්කම පහල ගලාගෙන ගියා.
මම දුවනව... ඔව් මට පුලුවන්...
එහෙම හිතුනෙ කොහොමද, ඇයිද කියන්න අදත් මම දන්නෙ නෑ.
ඒත් නොපෙනෙන ගානට ගිය තුන්වෙනිය දිහා බලාගෙන ආයි මම දුවන්න ගත්ත..
අපේ එකෙක්ගෙ බයික් එහෙක පිටිපස්සෙ ලගේජ් එකේ අම්ම, ඉස්සර බාර් එකේ නන්ගි, හැනඩ්ල් එකේ පොඩී. උන් සේරම කෑ ගහනව එක හෝසෙට.
මෙච්චර වෙලා නැතුව තිබ්බ මගේ හය්ය උන්ගෙ හඬ දිගේ මගේ ඇඟට එනව තේරෙනව..
හුලo පිරෙත්ද්දි පිම්බෙන බැලුම වගේ ඒ හඬට මගේ හය්යත් වේගෙත් වැඩි වෙනව.
අන්තිම මීටර් දෙසීය විතර..
තුන්වෙනිය ඔහොම මෙහ්ම..
ෂෙල්ටන් කඩේ ගාව සෙනග එක රොත්තට..
මගේ වේගෙ වැඩි උනා....
මම ගහනව, අනිව මූව පහු කරනව....
ලනුව පාස් කරල මැරුනත් කමක් නෑ කියල ඉතුරු සේරම හය්ය අරගෙන මම දුවන්න ගත්ත...
අම්මයි නoගියි කෑ ගහනව අර සේරටම එහා සද්දෙන්...
මම කඟවේනවගේ වේගෙ වැඩිකරා....ඔව් මීටර් සීය දුවනව වගේ...
එකායි...අඩි දහයයි දෙකායි...අඩි දහයයි ..ඉවරායි....
එදා නෝ ප්ලේස් වෙන්න ගිය මගේ පළවෙනි මැරතන් එක මම ඉවර කලේ දෙවැනිය වෙලා. ඒකට මට ලැබුනෙ වීදුරු සෙට් එකක්. දෙවනියගෙ තෑග්ග දුන්වෙනියට දීල කියල පස්සෙ එක එකා කිව්වත්, අදටත් අපේ ගෙදර තීන ඒ වීරුදුරු කීපය තමයි මගේ මුල්ම ක්‍රීඩා ජයග්‍රහණය.
අපේ අම්ම ඒ අන්තිම මොහොතෙ නිරෝෂන්ගෙ බයිසිකලේ නැගල මාව බලන්න එදා මගට නාවනම්, මම ආයි කවදාවත් මැරතන් නොදුවන්න තිබ්බ. එහෙමනම් ඉන් පස්සෙ මම ගත්තු අනෙක් කිසිම දිණුමක් නොලැබෙන්න තිබ්බ්බ.
ඒ නිසා, නිසි මොහොතෙ තමන්ගෙ වැඩිමල්ලෙක්ගෙන් ලැබෙන චියර් එක කෝටියක් වටිනව.
ඒක දන්නෙ තරඟෙකට ගියල සෙල්ලo කරල පැරදුන / දිනපු එවුන් මිසක හාන්සිපුටු විචාරකයො නෙමේ.
දයාසිරි, මේ සටහන ලිව්වෙ උඹ වෙනුවෙන් ඇමතිතුමෝ. ඇස් බී වගේ ඇස් වහ නොවැදී එළ කොල්ලෙකු ලෙස ඉදිරියටම යන්න මෙන්න උඹට අපෙන් චියර් එක...
හිප් පිප් හුරේ..!
Tears!!!! Respect #Dayasiri# Indika#
ReplyDeleteදයාසිරි.. දුවපන්.. උඹට දුවන්න පුළුවන් හුxx.. උඹ දුවපන්.. අපි ඉන්නවා උඹට.. :)
Deleteකවුරු හරි කකුලෙන් නො ඇද්දොත්..?
Deleteකමි.
Deleteබලමු දයා දුවන හැටි ඉස්සරහට හිටo
නියමයි ඉන්දික නියමයි...
ReplyDeleteස්තූතියි!
Deleteඑළකිරි දයාසිරි කියලා පෝස්ට් එකක් දාන්නයි ඉන්නේ...
ReplyDeleteදැම්මේ නෑනේ ඉතින්
Deleteඅගය කරන්න ඔ්න තැන අගය කරන්න ඔ්නේ................ ඒකේ දෙකක් නැහැ...
ReplyDeleteනිව ඩෙෆා
Deleteසිරාම පෝස්ට් එක
ReplyDeleteකවදාව.ු නොදුවපු මම එක පාරක් මැරතන් එකක් දුවල පහට ආව කියන්නකො
හැබැයි 11ක් පටං ගත්තු මැරතන් එක පිනිස් කොලේම පස් දෙනෙක් විතරයි හිහි
දයාසිරි ලොක්ක නං හැබෑවටම පොඩි පහේ නැති වැඩ ටිකක් කරනව
ගොඩම තමා
ලංකාවෙ උන් මැරතන් දිනන්නට වඩා ප්‍රසිද්ද ෆිනිෂ් කරන්න තමා. මතකනෙ එකෙක් අර ජපානෙ ගිහින් දුන්න ගේම.
Deleteඅනිත් මැරතන් ගැනත් ලියමු නේ
ReplyDeleteඅර බුද්ධිගෙ යාළුවගෙ ගැජට් එකවත් තිබ්බනං ලියන්න තිබ්බ.
Deleteමේවා උඹලට කියවන්න දීපු අපේ නිස්මලා, අර්ථරත්නලා ගැනත් හොයාපල්ලා..
ReplyDeletehttps://www.facebook.com/bhathiya.arthanayake
Deleteසිරාවට...මේ මිනිස්සු දෙන්නා කරන මෙහෙය උපරිමයි.
Deleteඅයිත් අහල, උන්ටත් ගෞරවේ හිමියි, දෙකක් නෑ.
Deleteදිව්වා කියන්නේ දැන් හති හොඳටම!
ReplyDeleteමමත් දිව්වනේ ඔහොම මැරතන් එකක්, මගේ ඉස්කෝලේ මම සහභාගී උන අවසාන ස්පෝර්ට්ස් මීට් එකේ. එදා නම් අම්මා නෙවෙයි මට තල්ලුව දුන්නේ. එකෙක්වත් හිටියේ නැහැ චියර් කරන්න.
ඔය චියරින් වලින් පුළුවන් වොන්ඩර්ස් කරන්න. මම ඒක අත්දැකලා තියෙනවා. මගේ ස්පෝර්ට්ස් වලදී මට චියර් කරන්න කවුරුවත් හිටියේ නැතුවට, මම නායිකාවක් උනහම මගේ ටීම් එකට පුළුවන් උපරිමේ චියර් කළා. අදටත් ඒ ළමයි මම ගැන කියනවා ( ලොකුකමට කිව්වා නෙවෙයි. මම ඒක කලේ හදවතින්මයි)
දයාසිරි වෙනස් විදියට කරන වැඩ ගොඩක් හොඳයි. විශේෂයෙන් ස්පෝර්ට්ස් බාරව ඉන්න කෙනෙක් විදියට මෙහෙම ජවයක් තියෙන්න ඕනේ. නිකන් බැරල් වගේ උන්නට වැඩක් නැහැ. මමත් නෝටිස් කළා ඔහුගේ ඒ හැසිරීම්. ඇත්තෙන්ම බනිනවා වගේම හොඳ දේවල් අගය කරන එක අපේ වගකීම.
ඔබ ඒ වගකීම ඉෂ්ඨ කරලා, ලෙසටම.
නියම කතාව. ජීවයෙන් පිරිලා!
උපෙත් බලත්දි හෙන රනර් කෙනෙක්නෙ. ඔය කට්ටිය කියන්නෙ. ස්තූත්යි උඹෙ දිග කමෙන්ටුවට
Deleteමේක කියෝගෙන එද්දි ඉස්සෙල්ලම හිනා ගියා, පස්සෙ දුක හිතුන, අන්තිමට සතුටු හිතුන.
ReplyDeleteඇත්තටම දයාසිරි මේ කරන වැඩේ බොහොම හොඳ වැඩක් වගේම විය යුතු වැඩක්. මම හිතන්නෙ නිසි තැනට නිසි පුද්ගලයෙක් පත්වෙලා තියෙනව. ජනතාවගෙ සල්ලි වලින් හෝටල් කාමරවලට වෙලා සැප ගන්නෙ නැතුව රට වෙනුවෙන් මෙහෙම කැපවීමක් කරනවට මගෙත් ආචාරය පුද කරනව.
හැම ඇමතිකෙනෙක්ම මෙහෙම උනොත් ලංකාවට ආශ්චර්ය කරා යන්න වැඩි කාලයක් යන්නෙ නෑ.
#මේක කියෝගෙන එද්දී ඉස්සෙල්ලම හිනා ගියා,පස්සේ දුක හිතුනා,අන්තිමට සතුටු හිතුනා#
Deleteමටත් උනේ ඕකමයි.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteප්‍රසා...++++++++++
Deleteප්‍රසා, මේක ඒ කියන්නෙ සාර්‍තකයි කියල හිතාගන්න පුලුවන් ලියැවිල්ලක්. එළ.
Deleteදයාසිරි වත්මන් ක්‍රීඩා ඇමති ධූරයට ගැලපෙන බව ඔහුම පෙන්නලා දුන්නා..
ReplyDeleteසුපිරියට ලියලා තියෙනවා මචන්.
තැන්ක්යු මචන්
Deleteඔව්. ඔය ඇමරිකාවෙ චීනෙ, ඔසීවල එහෙම ක්‍රීඩා ඇමතිල බර ගානක් ඉන්නව. මොකද ඔලිම්පික් වගේ ලොකු තරගාවලිවල එක එක වෙලාවල්වල එක එක ග්‍රව්න්ඩ්වල තියන තරගවල තරගකාරයන් දිරිගන්වන්න එපැයි බැහැලම!
ReplyDeleteඒ විදියට හිතන එක හොඳ මදි නේද? මෙයින් කියවෙන්නේ නැහැ කණ්ඩායමක් දිනන්න නම් ස්පෝර්ට්ස් මිනිස්ටර් එතන ඉන්න ඕනේ කියලා. නමුත් මෙයින් ලැබෙන හැඟීම වැදගත් නේද? පදක්කම් ගොඩාරියක් අරගෙන ආපහු මවු රටට ස්පොර්ට්ස්මන් ලා ගැන අපි හිතන්න ඕනේ උන්ට නේද? ඒකට ආරම්භයක් ඕනේ. ඔහොම කණඩායමක් විදියට ගිහින් එන එක තේරුම් ගණන් එහෙම ගිහින් තියෙන්නම ඕනේ.
Deleteඔබ කියන රටවල්වල ස්පොර්ට්ස්මන් කෙනෙක් කියන්නේ පොරක්.මෙහෙ ස්පෝර්ට්ස් කරන්නේ එක්කෝ කුලියට වැලි ගොඩදාන උන් වෙන්නත් පුළුවන්.
ඒ රටවල් වල තත්වයට වඩා ලංකාවෙ තත්වෙ වෙනස්. බොහෝ දුරට ඒ රටවල්වල ඉන්නෙ වෘත්තීය ක්‍රීඩකයො. උංට චියර් කළත් නැතත් තමංගෙ තැන තියාගන්න ඕනනං අනිවාර්යෙන් ප්ලේස් එකක් ගන්න වෙනව. නමුත් මෙහෙ එහෙම නෙමෙයි. ගොඩක් දුරට ඉන්නෙ ගම්වලින් එන කුලී වැඩ කරල දවසෙ ගාන හොයාගන්න දුප්පත් කොල්ලො. උංට මේ වගේ සප් එකක් දෙන එක මානසිකව ලොකු ශක්තියක්.
Deleteමතකද DSI සුපර්ස්පෝට් වොලිබෝල් එකේදි මෙහේ රක්වානෙ කැන්දපොල ඉස්කෝලෙ වොලිබෝල් උගන්නන හාමුදුරුවො ග්‍රවුන්ඩ් එකට ගිහිල්ල ළමයින්ට චියර් කරපු හැටි.
ළමයි 100 ක් වත් නැති ඒ ඉස්කෝලෙ ලොකු ලොකු ඉස්කෝල පරද්දල සමස්තලංකා ජයග්‍රහණ දෙකක් දිනාගන්න ඒ දිරිගැන්වීම වැදගත් උනා.
Deleteරාජ්, ඇමරිකාවෙ දේශපාළනය්ත් වෙනස්, ක්‍රීඩාවත් වෙනස් මිනිස්සුන්ගෙ පාට, සිතුම් පැතුම් හැමදේම වෙනස්. ඒකනෙ උන් ඇමරිකාව වෙලා තීන්නෙ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඕ අදුන ගන්න කිව් පිරිස මෙන්න
ReplyDeleteඋන්නත් මැරුණත් එක වාගේයි
අප හට මේ ලෝකේ ...
අද අප අතේ නැත තඹ සතේ
හෙට මේ අතේ මිණි මුතු ඇති
උතුවන් කන්දෙන් පිටවී එන්නේ
රජකම් කරමින් අප මෙහි ඉන්නේ ..
කාටද බය වෙන්නේ ...
අද අප ඇති කඳුලැලි නැති
ලොව කඳුළු මේ මුතු කැට වුනි
සිව්රඟ සේනා ආවත් රොක් වෙලා
සිත බිය සැක නැත ඉන්නෙමු එක්වෙලා
සිත එකවගේ බැඳිලා ...
බය නෑ හිතේ මැරුණත් අපි
ඉතිහාසයේ අපේ නම තිබේ
දිනුම ලබනු මිස පැරදුම නැ හිතේ
අඬ අඬ ඉන්නට කල්මදී ජිවිතේ
පෙරටයි ගමන අපේ ...
ගායනය - එම් .එස් ප්‍රනාන්දු
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පි .එල් .ඒ සෝමපාල
(හින්දි තනුවකි )
තැන්ක්යු මලේ!
Deleteදයාසිරිවත් වැඩක් ඇති දෙයක් කලොත් හොඳයි. අපූරු මතකයක් !!!
ReplyDeleteඉන් පස්සෙනම් සද්දයක් නෑ.
Deleteතෝ මාව ඇඬෙව්වා යකෝ !
ReplyDeleteඋඹ මැරතන් දුවන්න දක්ශයා කියලා දැනගත්තේ අද.....
හැබැයි උඹ කාර් රේස්, (රේස්මත් නෙමෙයි, කාර් චේසින් ) වලට අති දක්ෂයෙක් කියලා පහුගිය දොහේ 3 දෙනෙක්ගෙම ජීවිත බේරලා දීලා ඔප්පු කලා නෙව......!
ඕනෙම මිනිහෙක්ගේ හොඳ සහ නරක කියන දෙක තියෙනවම තමයි. දේශපාලකයන්ගේ වැඩිපුරම තියෙන්නේ නරක. නරක දේවල් හැමතිස්සේම විවේචනය කර කර ඉන්නව මිසක්, හොඳක් කරනකොට හුරේ පාරක් දාන එකත් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.......!
හෙහ් හෙහ්.. එහෙනම් ලියාපිය හිනා යන මාගලක් දැන්.
Deleteඒ race කතාව ලියන්න ඕන වෙලාවක, යකෝ මම මේ ලඟදි ඒ පාරෙ ආයි ගියා, හයිස්පීඩ් කැමර 7ක් තීනව එතනට යනකල්. ඒ සේරමත් බේරගෙන තමා ඒ ඇරල තීන්නෙ :D
ඔය ඉන්දික උඹ කියන අනිල් අයියාට තව අයියලා දෙන්නෙක් ඉන්නවාද ?උන් දෙන්නත් රේස් දුවපු උන්.කල්දෙමුල්ල හතර වෙනි පටුමගේ සෙට් එක.ඉන්දික කියන්නේ මම මේ කියන අනිල් අයියාව නම් නම් මම පොරව දන්නවා.මේ පොස්ට් එක එයාට පෙන්වන්නත් පුළුවන්.
ReplyDeleteඅර අම්මා බත් ඉව්ව කුඩු ලිප් වල අපිත් උයලා තියෙනවා.අපි පුංචිම කාලේ හිටියේ රත්මලානේ දුම්රිය නිල නිවාස වල.ඉස්සර සීජීආර් එකෙන් ලීකුඩු ගෙනත් දැම්මාම එව්වා එකතු කරලා තමයි ඔය කුඩු ලිප හදන්නේ සිරස් අතටයි,තිරස් අතටයි බම්බු දෙකක් තියලා තමයි ලී කුඩු ලිපට දාන්නේ.එකත් නියම ඉන්ධනයක්.
දයාසිරි චියර් කරලා ටීම් එකට දෙන සපෝට් එක වටිනවා.ක්‍රීඩා ඇමතිවිදියට දයාසිරිට කරන්න තව වැඩ ගොඩක් තියෙනවා.දේශපාලනයේ කොච්චර ජනප්‍රිය චරිතයක් වුනත් මේ දයාසිරි කැබිනට් ඇමතිකමක් කරන පළමු වැනි වතාව.බලමු අපි දයාසිරි ගේ වැඩ.
එනිවේ, දයාසිරි ගිහින් චියර් කලාම මැච් දිනනවා වගේ මරා ජනාධිපති විදියට ගිහින් චියර් කරපු ලෝක කුසලාන ක්‍රිකට් මැච් ටිකත් දින්නානම් මරා තාමත් ජනපතිකමේ ඉන්නත් තිබ්බා..:D
මනෝජ්,
Deleteඋඹට ස්තූතිවෙන්න ඔන්න අනිල් අය්ය මගෙ ෆේස් බුක් එකෙත් ඉන්නව. පොරට මේ තරඟෙ මතකද?
දයාසිරි කෙසේ වෙතත් උඹේ කථාව නම් නියමයි. අම්මටත් මේක පෙන්නපං
ReplyDeleteඋන්දැ හාට් පේෂන්ට් බං.
Deleteඅම්මා....කියන කෙනා ගැන පහදන්න තව උදාහරනනම් කොච්චරක්ද?
ReplyDeleteඔය දුවන එවුන් පස්සේ මෝටර් සයිකල් වලින් ගිහිල්ලා පාර ක්ලියර් කරන්න හිටපු පොලිස් මාමලා දෙන්නෙක්ව හප්පපු එකෙක් මම...
හෙහ් හෙහ් පුදුමයි දුවපු උන් යට නොකල
Deleteසුදුස්සාට සුදුසු තැන ලැබීතිබේ. ඔහු ඒ තැන ආභරණයක් නොව ශක්තියක් ලෙස සලකා ක්‍රියා කරනු ඇතැයි සිතමි.
ReplyDeleteඑසේ සිතමි
Deleteනියමයි නේ මචං උඹ මැරතන් දුවන කාලේ කරූ ලා දිව්වේ නැතෙයි?
ReplyDeleteදයාසිරිගේ වැඩේ ගැන නම් මටත් ලොකු පැහැදීමක් ආවා. ඒත් එකේ වාසිය කොහොම ඔහු යෝදාගනිද කියලා විස්වාසයක් නම් තවම නෑ.
අපි නොදන්නා ලංකාවේ පොලිටික්කෝ නේ?
කරූල මොකෝ නොදිව්වෙ. ඒත් අපි උන් දුවන ඒවගෙ දිව්වෙ වතුර ගහන්න වගේ දේවලට තමා.
Deleteකියෝලා ඉවර උනාම ඇස්වලට කඳුලු ආවා...
ReplyDeleteපොඩි කාලේ පාඩම් පොතේ තිබ්බ මීටර් සීයය කතන්දරේ මුදලිහාමිව මතක් උනා..
ජ ය වේ වා !!
ඇති යන්තං මේ මනුස්සය ජයවේවා කියල මාරුවෙන්නැතුව හිටිය. හැක්..
Deleteවිදානෙට කියන්න ලියල ඉවර උනාම මටත් ඒකම තමා හිතුනෙ
Deleteකිසිම අප්පිරියාවක් නැතිව කියවපු දේශපාලන පෝස්ට් එකක්.
ReplyDeleteඇත්තෙන්ම මට අර මුදළිහාමි මතක් වුනා. අර එක කාලයක් සිංහල පොතේ හිටියේ.
එළයැ! ආයෙ මේ වගේ නිර්මාණ කරමු.
චෙහ්, උඹ මේක දේශපාළන ගොඩට දැම්ම එහෙනං ඈ :D
Deleteඇහෙන් කඳුලු ගලන කථා ලියන්න එපා මචෝ....!
ReplyDeleteමේව ලියවෙන කතා මචෝ. කරුමෙට හෝ හොඳට අපේ ජීවිත වල බෙදා ගන්න තීන අත්දැකීම් සේරම මේ වගේ තමා.
Deleteහරිම ලස්සනට කථාව ලියලා තියෙනවා..බොහොම ආශාවෙන් කියෙව්වෙ...මමත් පාසල් කාලයේ මැරතන් කරුවෙක් නිසා මේ ලියවිල්ල බොහොම සමීපව දැනුනා..තරගයකට යද්දි වටේට ඉන්න සපෝටර්ලා දෙන සහාය වචනයෙන් කියලා නිම කරන්න බෑ...මේ කථාවෙ වගේම මගේ තරග වලදි ලගින් උන්න මිත්තරයො මට ටාගට් දුන්නා...මම ඒවා පහු කලාම තවත් එකක්..එක සැරයක් තැපැල් නයින්ටියකින් මට හෙල්ප් එක දෙන්න ආවා කජ්ජගෙ බයිසිකලයෙන් වැටිලා මගෙ සපෝටරයෙක්ගෙ කටේ දත් දෙකක් අඩු උන සිදුවීම මට මේ දැනුත් මතක් වෙනවා...
ReplyDeleteදයාසිරි බැහැලා වැඩේ කරන බව පේනවා..වන්දනා නඩයක් ඉන්දියා යනවා කියලා ඔච්චම් කරපු මාධ්‍ය පවා අද නිහඩයි...
සිරා, බොහොම ස්තූතියි. යම් කතාවක් වැඩිපුර දැනෙන්නෙ ඒක අපේ අත්දැකීම් වලට සමීප උනාමයි කියනවනෙ.
Deleteඉතුරු ටික අපි දන්නව...
ReplyDeleteසපත්තුවක් දෑහැට නොදැක්ක දරුවන්ට සපත්තු ලැබෙනව...
වතුර උගුරක් හොයාගන්න දුෂ්කරක්‍රියා කරන්න ඕන දරුවන්ට ලෙසියෙන් වතුර උගුරක් ලැබෙනව...
ඉගෙන ගන්න පොත් පත් නැති දරුවන්ට පොත් පත් ලැබෙනව....
මාත් කෑවා, තනියෙන් හිටගත්තා, උඹලත් තනියෙන්ම හිටගනිල්ල කියල රටට ලෝකෙට පිටුපෑවෙ නෑ
ඇස් වලින් බේරිච්චි කඳුලු ඔලුවෙන් වැක්කෙරන වතුර එක්කම පහල ගලාගෙන ගිහිල්ල අර මුතුබෙල්ලන්ගෙ මුතු හැදෙනව වාගේ බොහෝම වටිනා දේවල් වුණා...
ගිය ඉරිදා [14] මැරතන් එකකට සහභාගි වුනු මගේ පොඩි එකාට කියල දුන්නු මේ කථාව එහෙමයි මම ඉවර කලේ.
තිසා, උඹ එක්ක තාම මම ඉන්නෙ තරහින්. මොකද මිනිස්සුන්ව මෙහෙමත් භය කරන්න උඹට වටින්නෙ නැති නිසා.
Deleteමගෙ ජීවිතේම ඔහොම අම්ම ඇවිත් "ලොකු පුතේ දුවහන්කො" කියල කිව්වම ආයි නැගිටල දුවගෙන ආ එකක් මචන්.
ලස්සනට ලියල තියනවා.
ReplyDeleteබොහොම ස්තූතියි.
Deleteලස්සන සිහිවටනයක් වෙච්ච සත්‍ය කතාවක්
ReplyDeleteඅද දකින අවලස්සන, අඳුරු දේ හෙට ලස්සන සිහිවටනයක් නේ?
Deleteටික වෙලාවකට හාත්පසම නිහඬ කරන්න සමත් පෝස්ටුවක්..
ReplyDeleteවීරයින් සැමටම..
ජයවේවා..!!
උඹ අවේලාවෙ ඇවිත් කමෙන්ට් එකක් දැම්ම නිසයි මතක් උනේ මේකෙ කට්ටියට උත්තර බැන්දෙත් නෑ නේද කියල "D
Delete