Thursday, June 24, 2010

මොරගහහේනට සම්භන්ද වෙනස් කතාවක්...!


දුකා මහත්තය මොරගහහේනෙ බස් එකේදි උන වැඩක් ගැන තිබ්බ කතාව දැකල මට මතක් උනේ මං ඔය පඩිකපනාරාමෙ ( අපේ තාත්තයි අක්කයි ඒගොල්ලන්ගෙ යාලුවොයි කියන්නෙ එහෙම තමයි ) ගාව තීන පාරෙ ඉස් ඉස්සෙල්ලම ගිය ගමන.

අවාසනාවකට වගේ ඒ තව කෙනෙකුගෙ අවසන් ගමනට සහභාගි වෙන්නයි. ඇත්තටම ඒකට මුහුණදුන්න මගේ යාලුවගෙ කතාව අදහගන්න බැරි තරං දුක හිතෙන ප්‍රශ්න වලින් පිරිච්චි එකක්.

මේක සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්, හැබැයි සමහර නම් විතරක් වෙනස්.

මගේ මිත්රය කුමාර.

ඉගෙනීමෙ දක්ශයෙක්. ගියෙ මොරටුවෙ ප්‍රසිද්ධ පාසලකට. ශිශ්යත්වෙ සමත්. උසස් පෙළ ජීව විද්යාව කරේ, ඒත් විශ්ව විද්යාලෙ යන්න බැරි උනා.
තාත්තගෙ ග්‍රාමසේවක පඩියයි, අම්මගෙ රජයේ ලිපිකරු පඩියයි මල්ලිල දෙන්නට උගන්නනයි ඉතුරු දේටයි මදි නිසා අපේ මිත්රයට මුදල් ගෙවල උසස් අද්යාපනයකට යන්න හැකියාවක් තිබුනෙ නෑ. ගෙදර බරට උදව්වෙන්න හිතපු මේ කුමාරය, රස්සාවක් හොයන්න ට්‍රයි කරත් ඒක ලේසි උනේ නෑ.

ඒත් මිනිහගෙ කඩ්ඩ හොඳ නිසා හිල්ටන් හෝටලේ කැෂියර් ජොබ් එකක් යන්තන් හොයා ගන්න පුලුවන් උනා. වෙලාවක් කලාවක් නැති, පැය ගානක් හිටගෙන කරන ඒ රස්සාවෙ ඉහලට යාමකුත් නැති හින්ද, මිනිහ ට්‍රයි කරෙ බැංකුවකට පැන ගන්න.

ඒ දවස්වල යුනි ලීවර්, බැංකු නැත්තං මාස් තමයි. ඒත් ඉතින් අනිත් දෙකටම ගන්නෙ උපාධි කාරයො නැත්තං පළපුරුද්ද ඇත්තො විතරයි නිසා මිනිහ ට්‍රයි කරේම බැංකුවකට. අවසානෙ උත්සාහය සඵල වෙලා කොමාර්ෂල් බැංකුවෙ ජොබ් එක සෙට් උනා. දැං හරි. පවුළම ගොඩ. හැමෝම හිතුවෙ එහෙමයි.

ඔන්න පළවෙනි බෝලෙ ආව.

අර ( ඇත්තටම ) අවංක රත්තරං ග්‍රාමසේවක මහත්තය, අපේ මිත්‍රයගෙ තාත්ත අංශභාගෙ හැදිල එකතැන් උනා. අම්මත් වයසයි, අය්යට නිවාඩු නෑ, ඉතින් ලොකු මළය, පවුලෙ හිටපු ඉගෙනීමට ඉතාම දක්ෂය අමිල, ඉස්කෝලෙ, පන්ති කට් කරගෙන වෙදගම ගියා තාත්තට බෙහෙත් කරන්න.

අවුරුදු දෙකක් විතර පුදුම මහන්සියක් දරල අර මනුස්සයව ගොඩ දාගත්ත මේ වීරියවන්ත කොල්ලො තුන්දෙනයි අම්මයි. දැන් හරි, ලොකු මල්ලි උසස් පෙළ, පොඩි මල්ලි සාමන්ය පෙළ පන්තියෙ, තාත්තටත් හොඳයි,

ඔන්න අපේ යාලුව කුමාරට “ආශ " හම්බවුනේ ඒ අතරෙ.

මෙච්චර කල් ආදරේ ගැන හිතන්න ඉඩක් නොතිබ්බට දැන් සේරම හරි, ඉතින් අපේ මිනිහත් මේ සුන්දර අහින්සක කෙල්ල එක්ක පටං ගත්ත සම්භන්දෙ ගෙවල් දෙකේම ආශිර්වාදය මැද්දෙ ගලාගෙන ගියා.

ආශගෙ එකම සොයුර හමුදා නිළධාරියෙක්, අම්ම විතරයි ගෙදර තාත්ත නෑ. දැන් මේ දෙන්නත් තමන්ගෙ විවාහයට බොහොම සංතෝසෙන් සූදානං උනා.

තැනක් බලල ඒවට ඇඩ්වාන්ස් කරල, ආරධනා පත් තෝරගෙන් ප්‍රින්ට් කරන්න දීල, හැමෝම හරි ජයට ලක ලෑස්තිවෙනව. ඔය අතරෙ දවසක දෙන්න ගිහින් මඟුල් මුදු, රත්තරන් බඩු එහෙමත් තෝරල හදන්න බාර දීල ආව.

දැන් ඉතින් ඒ ටික ගන්න එන්න කියපු දවස වෙනකල් ආශ ඇඟිලි ගැන ගැන හිටියෙ. ඊට කලින් දවසෙ උදේ ඔෆිස් එකේදිත් කුමාරත් එක්ක කතා උනේ සෙනසුරාද උදේ යන ගමන ගැන. එදා හවසත් දෙන්න සංතෝසෙන් වෙන්වෙලා ගියා. ආශ එයාගෙ ඔෆිස් වෑන් එකේ නැගල පුරුදු විදියටම හෝමාගම ගෙදර යන්න පිටත් උනා.

වෙන්දට වගේ ආශගෙන් ගෙදර ගියාම එන කෝල් එක නැති තැන ගෙදරට කතා කරපු කුමාරට අම්ම කිව්වෙ දූ තාම ආවෙ නෑ කියල.

ඒ වෙනකොට බොරැල්ලෙ කලබලේ ගැනත් අහල තිබ්බ කුමාරගෙ හිත ගිනියම් උනා. දන්න හැම අතටම කතා කරල ආශ ඉන්න තැනක් හොයා ගන්න ට්‍රයි කරද්දි තමා ඒ වෑන් එකේම ගිය තව ගෑනු ළමයෙක් කතාකරල කුමාරට පනිවිඩේ දෙන්නෙ.

පාර්ලිමේතුවෙ ඉඳල එන මෝඩ රැළ ඉලක්ක කරන් රාජගිරියෙ අයුර්වේදෙ ගාව ලන්දෙ හැංගිල හිටපු කොටි වෙඩි තියද්දි, ඒකට ආශල ආව වෑන් ඒකත් මැදි වෙලා. ආශත් එක්ක ඒකෙ හිටපු තව හතර දෙනෙක්ට වෙඩි වැදිල. ඉස්පිරිතාලෙට ගෙනිහින් තීන්නෙ ප්ණ ගියාටත් පස්සෙ. ඇයි ඉතින් අරුන් සෑහෙන වෙලාවක් එතන වෙඩි තියාගෙන, ඒව ක්ලියර් වෙනකල් මුකුත් කරගන්න බැරි වෙලා!

අර වෙඩින් එකට අඳින්න හද හද තිබ සාරිය ඇන්දල, සුදු නෙළුම් පොහොට්ටු මල් කළඹක් අරන් අවසන් ගමන් ගියා ආශගෙ ගෙදර තමයි
මං ඉස් ඉස්සෙල්ල ඔය පඩිකපනාරමෙ පාරෙ ගියේ.

කුමාරලගෙ හෙනහුරා එක්ක තිබ්බ ගනුදෙනුව එතනින් ඉවර උනේ නෑ.

අර ගෙදර හිටපු දක්ෂම, ඉතාම හිත හොඳ කොල්ල, අමිලටත් කැම්පස් යන්න බැරි උනා. වෙච්චි දේවල හැටියට ඒක අරුමයක් නෙමෙයි තමයි.

ආයි විභාගෙ කරන්නෙ නැතිව මිනිහත් ජොබ් හොයන්න ගත්ත. සම්මුඛ පරීක්ෂන, තරඟ විභාග මේ ඔක්කොම පාස් කරන් කොහොමහරි අමිලට පුළුවන් උනා දුම්රිය නියාමක කෙනෙක් ( ගාර්ඩ් ) වෙන්න. අම්ම තාත්තත් බලන් සතියට දවසක් දෙකක් ගෙදරත් ඉන්න ලැබෙන හින්ද, බොන්නෙ නැති, හොඳ ගතිගුන වලින් පිරුන මේ පොඩි එකාට ඒ ජොබ් එක ලැබුන එක ගැන ආයෙත් හැමෝම සතුටු උනා.

ඔය අතරෙ කුමාරට තව ගෑනු ළමයෙක් හම්බ උනා.

"මං ආයි බඳින්නෙ නෑ… අර අම්මට සළකගෙන මෙහෙම ඉන්නව" කියපු කුමාරව තුන් පැත්තෙම වැඩිහිටියොන්ගෙ බලපෑමෙන් වෙනස් කරන්න ඇයට පුලුවං උනා. අන්තිමෙදි නැන්දම්මල දෙන්නෙක්ගෙ ආශිර්වාදෙ මැද්දෙ කුමාර ආයි බැන්ද.

දැන් ඔහොම කාලයක් සියල්ලෝඉම සතුටින් සෙමෙන් කාලය ගත කරා. ටික දවසක් යනකොට පනිවිඩයක් එනව ආශගෙ එකම අය්යවත් කොටියගෙ වෙඩිල්ලකට ලක්වෙලා අවසන් ගමණ ගියා කියල.

මං දෙවැනි පාරත් පඩිකපනාරාමෙ පාරෙ ගියා.

දැන් ආශගෙ අම්මට ඉන්නෙ වෙන්න හිටපු බෑන කුමාර විතරයි. අපරාදෙ කියන්න බෑ කුමාරයි නෝනයි අම්මට බොහොම ආදරෙන් සැලකුව, සළකනව.

ඔහොම ටික දවසක් යනකොට කුමාරගෙ බාල මල්ලි උසස් පෙළ ඉවර වෙලා, ගේ කිට්ටුව හන්දියෙ පොඩි බුක් ශොප් එකක් දා ගත්ත. කොල්ල උත්සාහ වන්තය. පොත් කඩේ ටික ටික දියුනු උනා, දුරකථන, ෆැක්ස්, පොත් නැති දෙයක් නෑ. මිනිහ පොඩි TATA කැබ් එකකුත් අරන් රිචඩ් පොත් බෙදන්න ගත්ත ඒ පැත්තෙ ඇතුලෙ කඩවලට, දැන් හැමෝටම ටිකක් ජයයි.

මාස කීපයයි ගියෙ ඔන්න ආයි සෙල්ලම පටන් ගත්ත.

අර සුන්දර මිනිහ අමිල මල්ලිගෙ කොන්දෙ අමාරුවක් ආව. අර ටෙස්ට් මේ ටෙස්ට් ඔක්කොම කර ඉවර වෙනකොට කොල්ලට නැගිට ගන්නත් බැරි තත්වෙට ඇවිත්!

අන්තිමෙදි තමයි රහස එළි උනේ, කශේරුකාවෙ පිළිකාවක්!

අම්මටවත් තාත්තටවත් නොකිය අය්යයි මල්ලියි මේක හොඳ කරන්න ලෝකෙ ඉහලම තැනට ගෙනියන්න ලෑස්ති උනේ, තමන්ගෙ ගෙදොර උකස් තියල හරි. අපි යාලුවොත් මෙකට පුද්ගලික මට්ටමෙන් දායකවෙන්න එකතු උනා. වැඩෙ සැලසුම් කරාට අමිල කැමති උනේම නෑ. මොකද හොඳ කිරීමෙ සම්භාවිතාව සීයට දහයක් වත් නෑ. ඉතින් මේ විස්වාසයක් නැති දෙයක් කරල තමන්ගෙත්, අනික් උන් දෙන්නත් ජීවිත අමාරුවෙ දාන්න අමිල එකඟ උනේම නෑ.

ඉතින් වීර්යෙන් මරණයට මූණ දෙන්න හිතාගත්තු මේ සුන්දර කොළුවගෙ විරෝදයට හැමෝටම ඉඩ දෙන්න උනා. ඇත්තටම ඒක හරි. නැත්තං ඒක මරාගෙන මැරෙන් මෙහෙයුමක් වෙන්න තිබ්බ.

දැන් කට්ටිය පුළුවන් උපරිමයෙන් අමිල මල්ලිට බෙහෙත් කරනව, ඒ අතරෙ ඔන්න මාස කීපයක් ආයි දැහැමෙන් සෙමෙන් ගත උනා.

බාල මළයගෙ කඩේ දාල තිබුනෙ අනුන්ගෙ තැනක. ඒක අයිති ගෙදර ලොකු දුව යාලු උනා ඒ පැත්තෙ මැරයෙක් එක්ක. දැන් වැඩේට කෙල්ලගෙ ගෙදරින් කැමති නෑලු. ඇයි මූ රස්සවක් මුකුත් කරන්නෙ නෑ නෙ.

මූ කෙල්ලට කිව්ව “මං එහෙනං බිස්නස් එකක් කරනව,..හරි මොකක්ද්ද ඔයා කරන බිස්නස් එක..මං බුක් ෂොප් එකක් දානව...කොහෙද...ඕගොල්ලන්ගෙ කඩේ.... ඒකෙ රුවන් අය්ය කඩයක් කරනවනෙ...ඉතින් එයාට යන්න කියල මං ඒක කරනව"...ආලයේ අන්ධ බවට වන්දි ගෙවන්න උනේ රුවන්ට. මැර බලයට යට උන මේ අහින්සකයට කඩේ අකුලන් යන්න උනා.

ශක්තිමත් හිතක් තිබ්බ පොඩි එකා සැලුනෙ නෑ.

තාත්තට, ලොකු අය්යට, පොඩි අය්යට වෙච්චි දී දැකල, ඒවට මූන දෙන්න උදව් වෙලා මේ පොඩි එකා හොඳට පන්නරය වෙලා හිටියෙ.

මිනිහ පොඩි ණයක් වෙලා ගාලු පාර අයිනෙ වඩාත් හොඳ කඩයක් ගත්ත. කුලියත් වැඩියි, අවදානමත් වැඩියි. ඒත් මොනව කරන්නද ගේම දෙන්න ඕනි නිසා බැස්ස වැඩට. දැන් කඩේ හොඳට යනව.

ඔය අතරෙ විශ්‍රාම ගිහින් ගෙදර ඉන්න අම්මට ආතරයිටිස් හැදිල, හරි අමාරුවෙන් තමයි නැගිට ගන්නෙ, එහෙට මෙහෙට වෙන්නෙ. පොඩි අය්ය එක තැන් වෙලා. ලොකු අය්යට නෝනගෙ අම්ම තාත්තයි, නැතිවෙච්චි ගෑනු ළමයගෙ අම්මයි දෙපොලක් බලන්න වෙලා තමන්ගෙ දරුවො දෙන්නෙක් ඉන්න පවුලට අමතරව.

පොඩි එකා කොහොම හරි ගේම ගහන්න ඔනෙ නිසා කුඩු නොවික්කට කුඩු කෑව.

පොඩි ශිශ්යත්ව පොතක් දෙකක් හිමීට පොටෝ කොපි කරලත් විකුනල. මේකට මිනිහව පොතේ අයිතිකාරයගෙ ඉත්තෙක්ම තමයි පොළඹවල තීනෙ කියලයි කිව්වෙ. කොහොම උනත් වැරදි වැඩේ කරල, කතෘගෙ ගෝළයින්ට අහුවෙලා. මුන් පොලිසියත් එක්කම ඇවිත් බඩුත් එක්ක හොරු අල්ලල.

කෙලින්ම පොඩි එකා ඇතුලෙ. ඇප දිය නොහැකි වරදක්ලු.

මේ වෙනකොට මේ රුවන් මල්ලිත් කාලයක් තිස්සෙ යාලු වෙලා හිටපු ගෑනු ළමයව බැඳල, ලස්සන පොඩි කෙළි පොඩිත්තියක් ඉපදුනා විතරයි.

කොහොමහරි පළවෙනි නඩු වාරෙන් කඩේ සීල් එක ඇරගන පුලුවන් උනා. දැන් අර කිරි කැටියව තමන්ගෙ අම්ම ගාව තියල,රුවන්ගෙ නෝන කඩේ වැඩ. කොල්ල වැලිකඩ, තව මාස කීයක් යයිද කියල දන්නෙ නෑ.

ඔය මං ගිය අප්‍රේල් මාසෙ ලංකාවෙන් එනකන් විස්තරය. මේ ටිකට සියල්ල හොඳ අතට හැරිල ඇතියි කියල හිතනව.

මෙතන තීන වැදගත්ම දේ, මේ කොල්ලො ටිකගෙ තීන එකතුවයි, උන්ගෙ ධෛර්යයයි.

කොච්චර කරදර ආවත් උන් වැටෙන්නෙ නෑ. ඒ වගේමයි ඒ දෙමව්පියොත්. මොන අම්මෙක්ටද තාත්තෙක්ටද මෙච්ච්ර දේවල් උහුලන්න පුලුවන්...

මට අදම මේ ගැන ලියන්න හිතුනෙ වත් පිරිමි ගැන කියල තීන පෝස්ට් එක දැකල. එක අතකට ඕනෑවට වඩා සංවේදී වීමත් කරදරයක් වෙන්න පුලුවන් කියල දැං හිතෙන්නෙ නැද්ද?

17 comments:

  1. hmm.........mewani katha ada samajaye oonatharam thiyenawa.....

    ReplyDelete
  2. ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක් හ්ම්ම්ම්

    ReplyDelete
  3. ඔච්චර ගොඩක් ලියල තියන හින්ද කමෙන්ට් එකක් නොදා යන්න බැහැනේ. මේකෙන් අපිටත් ගන්න පාඩමක් තියනව.

    ReplyDelete
  4. මේක කියෙවුවම හිත කීරිගැහිලා ගියා මචං.. ඇත්තටම ජීවිතේ මොනතරං පුදුමාකාරද..?? ඉතාම සුළුදේකින් පවා තමන්ගෙ උත්සාහය අතඅරින මිනිස්සුන්ට මේවා පාඩම්..

    ReplyDelete
  5. මචං මේ වගේ සත්‍ය කතා වලින් අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් . . .

    මේ කියවන අය දනන්වා අපිට මේ ලියන එකෙන් සල්ලි ලැබෙන්නේ නැති නිසා බොරු ලියන්නේ නැහි බව . . . (පත්තර කාරයින්ගෙයි බ්ලොග් කාරයන්ගේ වෙනස . . )

    ඉතිං පොඩි පොඩි දේවල් වලින් . . . (ලව් එක බ්‍රේක් වීම . . එයා බෑ කීම . . විභාගේ පලවෙනි පාරෙන් ගොඩ යන්න බැරි වීම . . බ්ලා බ්ලා බ්ලා) ජීවිතයම වට්ටගෙන මුලු ලෝකෙම එපා වෙලා ඉන්න පොඩි නංගිලා මල්ලිලාට හා (ගෑනිත් එක්ක වලියක් ගිහින් අයියෝ මොන මල වදයක්ද මේ ජීවිතේ කියලා හිතන හික්ස් ) මේ අපි වගේ ලොකු උන්ටත් මේ වගේ කතාවලින් ඉගෙන ගන්න ලොකූ පාඩම් තියෙනවා . .

    ස්තූතිය් මචෝ

    ReplyDelete
  6. හරිම අනුවෙදනීය කතාවක්....

    ReplyDelete
  7. ඇත්තටම මේක ටෙලිඩ්‍රාමා එකක කතාවක් වගේ.

    ReplyDelete
  8. කොටස් තුන හතරකින් යුක්ත නවකතාවක් කියෝල ඉවර කළා වගේ.

    ඒම දුකකි, යාම දුකකි, ඒම යාම අතර දුකකි කියල කියන්නේ ඕකනේ!

    ReplyDelete
  9. ඇත්තටම අනුවේදනීය කතාවක්. ජීවිතේ ගැන තේරෙන්නේ මේ වගේ කතා ගැන දැනගත්තාම තමා..........

    ReplyDelete
  10. @ Priyantha,
    ඇත්ත, ඒත් අපි ඒවගෙ දකින්නෙ බොහෝ විට එක පැත්තයි නේද? කවදාවත් අපේ ජීවිත වලට ඒවගෙන් ගන්න යමක් තිබුන කියල හිතනවද!

    @ පිස්සා,
    හිතාගන්නවත් බැරි තර්ම් පුදුම දෙයක්. බැලුවම පිස්සු හැදිල ආයිත් හැදෙනව!

    @ thariya,
    අගය කිරීම ගෑන ස්තූතුයි මලේ. ඒත් කොමෙන්ට් එකක් දැම්ම නොදැම්ම, කවුරුහරි මොනව හරි යමක ඉගෙනීවි්, මේකෙන් තමන්ගෙ ජීවිතේ ගැන ආයි හිතන්න පෙළඹෙයි කියලයි මං ලිව්වෙ.

    @ buratheno,
    අනිවාර්යයෙන්ම. ඒත් ඇත්තටම අපි කී දෙනෙක් මේව දැකල හැදෙයිද, වෙනස්වෙයිද!

    @ දුකා,
    මෙච්චර වැඩ අස්සෙ බයිල ලියල පොරක් වෙන්න ඔන්නෑ මචං උඹ කියනව වගේ. ඒත් අවාසනාවකට වගේ සමහරු එහෙම හිතනව, ඒවට ඉතින් කියන්න තීන්නෙ සොරි කියල තමයි.

    ඇත්තටම උඹට කුමාරව හම්බ උනොත් කවදාවත් හිතන එකක් නෑ මේ ඌ කියල. මට ගිය මාර්තු මාසෙ දවසක රත්මලානෙ ආර්ථිකේදි හම්බ උනාම මිනිහ මා එක්ක කතා කරපු සැහැල්ලුව, පොඩි උන් දෙන්නයි නෝනයි එක්ක හිටපු සතුට...( ඒ වෙනකොටත් පොඩි මල්ලි ඇතුලෙ, ලොකු එකා ගෙදර ) ජීවිතේ කියන්නෙ ඔහොම තමයි මචං..එන විදියට කූල් එකේ මූන දෙනව.මොකෝ මැරෙන්නද...ඔන්න මිනිහ මට කියපු දේ...

    @ ඉලංදාරියා,
    පාඩමකට ගන්න...

    @ gamini,
    මේකෙ නොකියපු තව දේවල් ටිකක් තියෙනව. මොකද ඒ පවුලෙ සාමජිකයන්ගෙ පුද්ගලිකත්වය ආරක්ශා කරන්න ඕන නිසා. ඒ ටිකත් ඇහුවොත් ටෙලි ඩ්රාෙම වල තීන්නෙ මොන සීනි බෝල චරිතද කියල හිතෙයි!

    @ කතන්දර,
    සත්ය ප්රලභන්ධයකට වඩා විශ්මයජනකයි කියනව නේද?
    දුක සතුටක් කරන් ජීවත් වෙන හැටි මං ඉගෙන ගත්තෙ මේ පවුලෙන්.

    @ Hasitha
    ඔව් මල්ලි, දැන් හිතෙනව නේද මේවත් එක්ක බැලුවම අපිට තීන ප්රනශ්නත් ප්ර්ශ්නද කියල?

    ReplyDelete
  11. sahodaraya.e yaluwanta kiyanna salennepa kiyala.ewagema waradi parawalwala yanna epa kiyalat kiyanna.oya hama narakakma wenne anagate wenna tiyana wada hoda deyak nisay.
    APRIL SHOWERS BRING MAY FLOWERS.(pls,do tell them that)

    ReplyDelete
  12. හම්ම්.... මටත් මේ කතාව කියෙව්වම ගොඩක් දුක හිතුනා.. ඊටත් වැඩිය මේ තරම් උත්සහවන්තව ජීවි‍තේට මුහුණ දෙන්න ධෛර්‍ය තියෙන කොල්ලො කෙල්ලෝ අපි අතර ඉන්නව නේද නියලා පුදුම ආඩම්බරකමකුත් දැනුනා..

    ඇත්ත... ප්‍රශ්න නැත්තම් ජීවිතයකුත් නෑ තමයි.. ජීවිතේ කතන්දරේකට වඩා ගොඩක් හැලහැප්පීම් බහුලයි තමයි...

    ඔය පඩිකපනාරාමෙට ඔය නම වැටුණ හැටිත් කිව්වොත් ‍හොදයි කියලා හැතුනා නොදන්න අයට දැන ගන්න....

    ReplyDelete
  13. මේ පැත්තෙ ගොඩ වැදීම ගැන ස්තූතියි කිව්ව මුලිංම..
    දුක හිතෙන කතාවක් තමා. ඒවගේම මේව පාඩමකට ගනිං නගේ ජීවත් වෙන්න.
    ඔය පඩිකපනාරාමෙට ඒ නම කියන්නෙ ඒක හදල තීන්නෙ පනාගොඩ මූලස්ථානය වෙච්චි හමුදාරෙජිමේන්තුවල නිලධාරීන්ගෙයි සොල්දාදුවන්ගෙයි පඩියෙන් පොඩි ගානක් (බලෙන් ) කපල එකතුකරගත්ත අරමුදලකින්. ඒකෙදි සාමජිකයගෙ ආගම ගැන කිසිදු විශේශයක් කරල නෑ. ඉතින් ඕක වෙන්න ඇති බෞද්ධ අබෞද්ධ හැමෝම එක විදියට සම්මාදං වෙලා හදපු එකම පන්සල!

    ReplyDelete
  14. පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනවා මේක කියෙව්වම.......

    ReplyDelete
  15. ඒත් මේකෙ චරිත හැබෑවට ජීවත් වෙනව පිස්සු හදාගන්නැතුවම...එකයි පිස්සු හැදෙන වැඩේ...

    ReplyDelete
  16. අද තමා පළවෙනි සැරේට මේ පැත්තේ ආවේ.......නියම කථාව අයියා..ඕන දෙයක් ගැන සැලෙන්න හොඳනෑ ..........

    මේ කතා නායකය මොරගහහේනෙ කොයි හරියෙද?...

    ReplyDelete
  17. @ Kasun Tharanga

    බොහොම සතුටුයි ආවට.

    මිනිහ මොරගහහේනෙ නෙමෙයි මල්ලි, මොරටුවෙ. ඒ නැති උන ගෑනු ළමය තමයි මොරගහහේනෙ. ඒත් මට විස්තර කියන්න තං දැන් මතක නෑ.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails