දුකා මහත්තය
මොරගහහේනෙ බස් එකේදි උන වැඩක් ගැන තිබ්බ කතාව දැකල මට මතක් උනේ මං ඔය පඩිකපනාරාමෙ ( අපේ තාත්තයි අක්කයි ඒගොල්ලන්ගෙ යාලුවොයි කියන්නෙ එහෙම තමයි ) ගාව තීන පාරෙ ඉස් ඉස්සෙල්ලම ගිය ගමන.
අවාසනාවකට වගේ ඒ තව කෙනෙකුගෙ අවසන් ගමනට සහභාගි වෙන්නයි. ඇත්තටම ඒකට මුහුණදුන්න මගේ යාලුවගෙ කතාව අදහගන්න බැරි තරං දුක හිතෙන ප්‍රශ්න වලින් පිරිච්චි එකක්.
මේක සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්, හැබැයි සමහර නම් විතරක් වෙනස්.
මගේ මිත්‍රය කුමාර.
ඉගෙනීමෙ දක්ශයෙක්. ගියෙ මොරටුවෙ ප්‍රසිද්ධ පාසලකට. ශිශ්‍යත්වෙ සමත්. උසස් පෙළ ජීව විද්‍යාව කරේ, ඒත් විශ්ව විද්‍යාලෙ යන්න බැරි උනා.
තාත්තගෙ ග්‍රාමසේවක පඩියයි, අම්මගෙ රජයේ ලිපිකරු පඩියයි මල්ලිල දෙන්නට උගන්නනයි ඉතුරු දේටයි මදි නිසා අපේ මිත්‍රයට මුදල් ගෙවල උසස් අද්යාපනයකට යන්න හැකියාවක් තිබුනෙ නෑ. ගෙදර බරට උදව්වෙන්න හිතපු මේ කුමාරය, රස්සාවක් හොයන්න ට්‍රයි කරත් ඒක ලේසි උනේ නෑ.
ඒත් මිනිහගෙ කඩ්ඩ හොඳ නිසා හිල්ටන් හෝටලේ කැෂියර් ජොබ් එකක් යන්තන් හොයා ගන්න පුලුවන් උනා. වෙලාවක් කලාවක් නැති, පැය ගානක් හිටගෙන කරන ඒ රස්සාවෙ ඉහලට යාමකුත් නැති හින්ද, මිනිහ ට්‍රයි කරෙ බැංකුවකට පැන ගන්න.
ඒ දවස්වල යුනි ලීවර්, බැංකු නැත්තං මාස් තමයි. ඒත් ඉතින් අනිත් දෙකටම ගන්නෙ උපාධි කාරයො නැත්තං පළපුරුද්ද ඇත්තො විතරයි නිසා මිනිහ ට්‍රයි කරේම බැංකුවකට. අවසානෙ උත්සාහය සඵල වෙලා කොමාර්ෂල් බැංකුවෙ ජොබ් එක සෙට් උනා. දැං හරි. පවුළම ගොඩ. හැමෝම හිතුවෙ එහෙමයි.
ඔන්න පළවෙනි බෝලෙ ආව.
අර ( ඇත්තටම ) අවංක රත්තරං ග්‍රාමසේවක මහත්තය, අපේ මිත්‍රයගෙ තාත්ත අංශභාගෙ හැදිල එකතැන් උනා. අම්මත් වයසයි, අය්යට නිවාඩු නෑ, ඉතින් ලොකු මළය, පවුලෙ හිටපු ඉගෙනීමට ඉතාම දක්ෂය අමිල, ඉස්කෝලෙ, පන්ති කට් කරගෙන වෙදගම ගියා තාත්තට බෙහෙත් කරන්න.
අවුරුදු දෙකක් විතර පුදුම මහන්සියක් දරල අර මනුස්සයව ගොඩ දාගත්ත මේ වීරියවන්ත කොල්ලො තුන්දෙනයි අම්මයි. දැන් හරි, ලොකු මල්ලි උසස් පෙළ, පොඩි මල්ලි සාමන්‍ය පෙළ පන්තියෙ, තාත්තටත් හොඳයි,
ඔන්න අපේ යාලුව කුමාරට “ආශ " හම්බවුනේ ඒ අතරෙ.
මෙච්චර කල් ආදරේ ගැන හිතන්න ඉඩක් නොතිබ්බට දැන් සේරම හරි, ඉතින් අපේ මිනිහත් මේ සුන්දර අහින්සක කෙල්ල එක්ක පටං ගත්ත සම්භන්දෙ ගෙවල් දෙකේම ආශිර්වාදය මැද්දෙ ගලාගෙන ගියා.
ආශගෙ එකම සොයුර හමුදා නිළධාරියෙක්, අම්ම විතරයි ගෙදර තාත්ත නෑ. දැන් මේ දෙන්නත් තමන්ගෙ විවාහයට බොහොම සංතෝසෙන් සූදානං උනා.
තැනක් බලල ඒවට ඇඩ්වාන්ස් කරල, ආරධනා පත් තෝරගෙන් ප්‍රින්ට් කරන්න දීල, හැමෝම හරි ජයට ලක ලෑස්තිවෙනව. ඔය අතරෙ දවසක දෙන්න ගිහින් මඟුල් මුදු, රත්තරන් බඩු එහෙමත් තෝරල හදන්න බාර දීල ආව.
දැන් ඉතින් ඒ ටික ගන්න එන්න කියපු දවස වෙනකල් ආශ ඇඟිලි ගැන ගැන හිටියෙ. ඊට කලින් දවසෙ උදේ ඔෆිස් එකේදිත් කුමාරත් එක්ක කතා උනේ සෙනසුරාද උදේ යන ගමන ගැන. එදා හවසත් දෙන්න සංතෝසෙන් වෙන්වෙලා ගියා. ආශ එයාගෙ ඔෆිස් වෑන් එකේ නැගල පුරුදු විදියටම හෝමාගම ගෙදර යන්න පිටත් උනා.
වෙන්දට වගේ ආශගෙන් ගෙදර ගියාම එන කෝල් එක නැති තැන ගෙදරට කතා කරපු කුමාරට අම්ම කිව්වෙ දූ තාම ආවෙ නෑ කියල.
ඒ වෙනකොට බොරැල්ලෙ කලබලේ ගැනත් අහල තිබ්බ කුමාරගෙ හිත ගිනියම් උනා. දන්න හැම අතටම කතා කරල ආශ ඉන්න තැනක් හොයා ගන්න ට්‍රයි කරද්දි තමා ඒ වෑන් එකේම ගිය තව ගෑනු ළමයෙක් කතාකරල කුමාරට පනිවිඩේ දෙන්නෙ.
පාර්ලිමේතුවෙ ඉඳල එන මෝඩ රැළ ඉලක්ක කරන් රාජගිරියෙ අයුර්වේදෙ ගාව ලන්දෙ හැංගිල හිටපු කොටි වෙඩි තියද්දි, ඒකට ආශල ආව වෑන් ඒකත් මැදි වෙලා. ආශත් එක්ක ඒකෙ හිටපු තව හතර දෙනෙක්ට වෙඩි වැදිල. ඉස්පිරිතාලෙට ගෙනිහින් තීන්නෙ ප්ණ ගියාටත් පස්සෙ. ඇයි ඉතින් අරුන් සෑහෙන වෙලාවක් එතන වෙඩි තියාගෙන, ඒව ක්ලියර් වෙනකල් මුකුත් කරගන්න බැරි වෙලා!
අර වෙඩින් එකට අඳින්න හද හද තිබ සාරිය ඇන්දල, සුදු නෙළුම් පොහොට්ටු මල් කළඹක් අරන් අවසන් ගමන් ගියා ආශගෙ ගෙදර තමයි
මං ඉස් ඉස්සෙල්ල ඔය පඩිකපනාරමෙ පාරෙ ගියේ.
කුමාරලගෙ හෙනහුරා එක්ක තිබ්බ ගනුදෙනුව එතනින් ඉවර උනේ නෑ.
අර ගෙදර හිටපු දක්ෂම, ඉතාම හිත හොඳ කොල්ල, අමිලටත් කැම්පස් යන්න බැරි උනා. වෙච්චි දේවල හැටියට ඒක අරුමයක් නෙමෙයි තමයි.
ආයි විභාගෙ කරන්නෙ නැතිව මිනිහත් ජොබ් හොයන්න ගත්ත. සම්මුඛ පරීක්ෂන, තරඟ විභාග මේ ඔක්කොම පාස් කරන් කොහොමහරි අමිලට පුළුවන් උනා දුම්රිය නියාමක කෙනෙක් ( ගාර්ඩ් ) වෙන්න. අම්ම තාත්තත් බලන් සතියට දවසක් දෙකක් ගෙදරත් ඉන්න ලැබෙන හින්ද, බොන්නෙ නැති, හොඳ ගතිගුන වලින් පිරුන මේ පොඩි එකාට ඒ ජොබ් එක ලැබුන එක ගැන ආයෙත් හැමෝම සතුටු උනා.
ඔය අතරෙ කුමාරට තව ගෑනු ළමයෙක් හම්බ උනා.
"මං ආයි බඳින්නෙ නෑ… අර අම්මට සළකගෙන මෙහෙම ඉන්නව" කියපු කුමාරව තුන් පැත්තෙම වැඩිහිටියොන්ගෙ බලපෑමෙන් වෙනස් කරන්න ඇයට පුලුවං උනා. අන්තිමෙදි නැන්දම්මල දෙන්නෙක්ගෙ ආශිර්වාදෙ මැද්දෙ කුමාර ආයි බැන්ද.
දැන් ඔහොම කාලයක් සියල්ලෝඉම සතුටින් සෙමෙන් කාලය ගත කරා. ටික දවසක් යනකොට පනිවිඩයක් එනව ආශගෙ එකම අය්යවත් කොටියගෙ වෙඩිල්ලකට ලක්වෙලා අවසන් ගමණ ගියා කියල.
මං දෙවැනි පාරත් පඩිකපනාරාමෙ පාරෙ ගියා.
දැන් ආශගෙ අම්මට ඉන්නෙ වෙන්න හිටපු බෑන කුමාර විතරයි. අපරාදෙ කියන්න බෑ කුමාරයි නෝනයි අම්මට බොහොම ආදරෙන් සැලකුව, සළකනව.
ඔහොම ටික දවසක් යනකොට කුමාරගෙ බාල මල්ලි උසස් පෙළ ඉවර වෙලා, ගේ කිට්ටුව හන්දියෙ පොඩි බුක් ශොප් එකක් දා ගත්ත. කොල්ල උත්සාහ වන්තය. පොත් කඩේ ටික ටික දියුනු උනා, දුරකථන, ෆැක්ස්, පොත් නැති දෙයක් නෑ. මිනිහ පොඩි TATA කැබ් එකකුත් අරන් රිචඩ් පොත් බෙදන්න ගත්ත ඒ පැත්තෙ ඇතුලෙ කඩවලට, දැන් හැමෝටම ටිකක් ජයයි.
මාස කීපයයි ගියෙ ඔන්න ආයි සෙල්ලම පටන් ගත්ත.
අර සුන්දර මිනිහ අමිල මල්ලිගෙ කොන්දෙ අමාරුවක් ආව. අර ටෙස්ට් මේ ටෙස්ට් ඔක්කොම කර ඉවර වෙනකොට කොල්ලට නැගිට ගන්නත් බැරි තත්වෙට ඇවිත්!
අන්තිමෙදි තමයි රහස එළි උනේ, කශේරුකාවෙ පිළිකාවක්!
අම්මටවත් තාත්තටවත් නොකිය අය්යයි මල්ලියි මේක හොඳ කරන්න ලෝකෙ ඉහලම තැනට ගෙනියන්න ලෑස්ති උනේ, තමන්ගෙ ගෙදොර උකස් තියල හරි. අපි යාලුවොත් මෙකට පුද්ගලික මට්ටමෙන් දායකවෙන්න එකතු උනා. වැඩෙ සැලසුම් කරාට අමිල කැමති උනේම නෑ. මොකද හොඳ කිරීමෙ සම්භාවිතාව සීයට දහයක් වත් නෑ. ඉතින් මේ විස්වාසයක් නැති දෙයක් කරල තමන්ගෙත්, අනික් උන් දෙන්නත් ජීවිත අමාරුවෙ දාන්න අමිල එකඟ උනේම නෑ.
ඉතින් වීර්යෙන් මරණයට මූණ දෙන්න හිතාගත්තු මේ සුන්දර කොළුවගෙ විරෝදයට හැමෝටම ඉඩ දෙන්න උනා. ඇත්තටම ඒක හරි. නැත්තං ඒක මරාගෙන මැරෙන් මෙහෙයුමක් වෙන්න තිබ්බ.
දැන් කට්ටිය පුළුවන් උපරිමයෙන් අමිල මල්ලිට බෙහෙත් කරනව, ඒ අතරෙ ඔන්න මාස කීපයක් ආයි දැහැමෙන් සෙමෙන් ගත උනා.
බාල මළයගෙ කඩේ දාල තිබුනෙ අනුන්ගෙ තැනක. ඒක අයිති ගෙදර ලොකු දුව යාලු උනා ඒ පැත්තෙ මැරයෙක් එක්ක. දැන් වැඩේට කෙල්ලගෙ ගෙදරින් කැමති නෑලු. ඇයි මූ රස්සවක් මුකුත් කරන්නෙ නෑ නෙ.
මූ කෙල්ලට කිව්ව “මං එහෙනං බිස්නස් එකක් කරනව,..හරි මොකක්ද්ද ඔයා කරන බිස්නස් එක..මං බුක් ෂොප් එකක් දානව...කොහෙද...ඕගොල්ලන්ගෙ කඩේ.... ඒකෙ රුවන් අය්ය කඩයක් කරනවනෙ...ඉතින් එයාට යන්න කියල මං ඒක කරනව"...ආලයේ අන්ධ බවට වන්දි ගෙවන්න උනේ රුවන්ට. මැර බලයට යට උන මේ අහින්සකයට කඩේ අකුලන් යන්න උනා.
ශක්තිමත් හිතක් තිබ්බ පොඩි එකා සැලුනෙ නෑ.
තාත්තට, ලොකු අය්යට, පොඩි අය්යට වෙච්චි දී දැකල, ඒවට මූන දෙන්න උදව් වෙලා මේ පොඩි එකා හොඳට පන්නරය වෙලා හිටියෙ.
මිනිහ පොඩි ණයක් වෙලා ගාලු පාර අයිනෙ වඩාත් හොඳ කඩයක් ගත්ත. කුලියත් වැඩියි, අවදානමත් වැඩියි. ඒත් මොනව කරන්නද ගේම දෙන්න ඕනි නිසා බැස්ස වැඩට. දැන් කඩේ හොඳට යනව.
ඔය අතරෙ විශ්‍රාම ගිහින් ගෙදර ඉන්න අම්මට ආතරයිටිස් හැදිල, හරි අමාරුවෙන් තමයි නැගිට ගන්නෙ, එහෙට මෙහෙට වෙන්නෙ. පොඩි අය්ය එක තැන් වෙලා. ලොකු අය්යට නෝනගෙ අම්ම තාත්තයි, නැතිවෙච්චි ගෑනු ළමයගෙ අම්මයි දෙපොලක් බලන්න වෙලා තමන්ගෙ දරුවො දෙන්නෙක් ඉන්න පවුලට අමතරව.
පොඩි එකා කොහොම හරි ගේම ගහන්න ඔනෙ නිසා කුඩු නොවික්කට කුඩු කෑව.
පොඩි ශිශ්යත්ව පොතක් දෙකක් හිමීට පොටෝ කොපි කරලත් විකුනල. මේකට මිනිහව පොතේ අයිතිකාරයගෙ ඉත්තෙක්ම තමයි පොළඹවල තීනෙ කියලයි කිව්වෙ. කොහොම උනත් වැරදි වැඩේ කරල, කතෘගෙ ගෝළයින්ට අහුවෙලා. මුන් පොලිසියත් එක්කම ඇවිත් බඩුත් එක්ක හොරු අල්ලල.
කෙලින්ම පොඩි එකා ඇතුලෙ. ඇප දිය නොහැකි වරදක්ලු.
මේ වෙනකොට මේ රුවන් මල්ලිත් කාලයක් තිස්සෙ යාලු වෙලා හිටපු ගෑනු ළමයව බැඳල, ලස්සන පොඩි කෙළි පොඩිත්තියක් ඉපදුනා විතරයි.
කොහොමහරි පළවෙනි නඩු වාරෙන් කඩේ සීල් එක ඇරගන පුලුවන් උනා. දැන් අර කිරි කැටියව තමන්ගෙ අම්ම ගාව තියල,රුවන්ගෙ නෝන කඩේ වැඩ. කොල්ල වැලිකඩ, තව මාස කීයක් යයිද කියල දන්නෙ නෑ.
ඔය මං ගිය අප්‍රේල් මාසෙ ලංකාවෙන් එනකන් විස්තරය. මේ ටිකට සියල්ල හොඳ අතට හැරිල ඇතියි කියල හිතනව.
මෙතන තීන වැදගත්ම දේ, මේ කොල්ලො ටිකගෙ තීන එකතුවයි, උන්ගෙ ධෛර්යයයි.
කොච්චර කරදර ආවත් උන් වැටෙන්නෙ නෑ. ඒ වගේමයි ඒ දෙමව්පියොත්. මොන අම්මෙක්ටද තාත්තෙක්ටද මෙච්ච්ර දේවල් උහුලන්න පුලුවන්...
මට අදම මේ ගැන ලියන්න හිතුනෙ
වත් පිරිමි ගැන කියල තීන පෝස්ට් එක දැකල. එක අතකට ඕනෑවට වඩා සංවේදී වීමත් කරදරයක් වෙන්න පුලුවන් කියල දැං හිතෙන්නෙ නැද්ද?