Tuesday, November 25, 2014

මරා නොගෙන මෛතියෙන් මහින්ද රැක ගැනීම..!

ලාංකීය දේශපාළනය අතිශය තීරණාත්මක මොහොතකට එළඹ ඇත. කවුදො ඇනෝවෙක් කියා තිබූ පරිදි "රවි බෝපරා" සමග එංගලන්ත පිල ඉන්දියාවට ඉන්දියාවේදීම ගේම දීම" හෙවත්, නිදහස් පක්ෂ කණුවක් නිදහස් පක්ෂ කණුවක් බිම දැමීමට භාවිත කර ඇත.

පසුගිය කාලය පුරාම දේශපාලන විචාරකයින් පවසා තිබූ "මේ ආන්ඩුව වැටෙන්නේ ඇතුලත පිපිරුමකින්ම පමණි" යන්න මේ වනවිට සැබෑ වෙමින් පවතී.

මේ රටම කරකවා අත්හැර දැමූ සිද්ධිය "මාරයා, රංග" වැනි මහින්දවාදීන් පමණක් නොව "මාතලන්" වැනි "පැත්තක් නැතිඋන්ද" ගලගොඩ අත්තේලා වැනි අවස්ථාවාදීන්ද නන්නත්තාර කර තිබෙන සැටියක් පෙනෙන්නට ඇත.

මේ සටහනේ අදහස එවන් නන්නත්තාර වූවන් හෝ රනිල් ගොඩයාම ගැන "චූන් වී සිටින" කෙන්ජිලා ගැන සාකච්ඡාවට නොවේ. මේ ඒ සඳහා මොහොතද නොවේ. මෙහි අරමුණ, ජනාධිපතිවරණයේ පිටට නොපෙනෙන තීරනාත්මක සාධක කිහිපයක් ගැන සාකච්ඡා කිරීමයි.

මෙම ජනාපතිවරණය අප සිතනවාට එහා ඇති ජාත්‍යන්තර අතපෙවීම් සහ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වන එකක් බවට පත්වෙන්න ඉඩ කඩ බොහෝ ඇත.

මහින්ද රාජපක්ෂ යනු, අතිශයින් චීන පිලේ සිටිනා සහ චීනයේ පිහිටෙන් තම පාලනය පවත්වාගෙන යන්නෙකි. එහි අනිවාර්‍ය ප්‍රථිඵලය ලෙස මේ වන විට චීනය තම අනාගත සතුරා වන ඉන්දියාව වටකොට සකසන යුධ සැලැස්මේ ප්‍රධාන මර්මස්ථානය ලෙස ලංකාව තෝරාගෙන, එය තුල බිලියන වලින් ආයෝජනය කරමින් සිටියි.

එවැනි මොහොතක, මහින්දගෙ බලය දෙදරවීමකට ලක්ව ඔහු නැවත බලයට ඒමේ අවස්ථාව අවදානමකට පත්ව තිබේ. මෙය චීනාට හිතකර තත්වයක් නොවේ. මෙවර මහින්දගේ විරුද්ධවාදියා වන්නේද චීන හිතවතකු වූ සරත් ෆොන්සේකා වැන්නෙකු නොව බටහිර සහ ඉන්දියානු පිලට වඩා හිතවත්, රනිල්ගේ මෙහෙයැවීමෙන් එන සිරිපාල කෙනෙකි. ඉතා පැහැදිලි ආකාරයට, මෙම සිරිපාළ මෙහෙයවන්නේ රනිල්, මංගල සහ චන්ද්‍රිකා ප්‍රමුඛ පිරිස වන අතර මේ සැවොම අඩු වැඩි ලෙසින් ඉන්දියාවේ සහ බටහිර හිතවතුන් වන අතර ඔවුන් චීන පිළෙහි ලඟ මිතුරන් නොවෙති.

තමන් ඉතාම සැළසුම් සහගතව, විශාල ආයෝජනයන් කරමින් අනාගත ආරක්ෂක මුරපොළක් ලෙස ගොඩනගමින් තිබෙන ලංකාවේ, මහින්දගෙන් පසු ගෝඨා හෝ නාමල් යටතේ එම තත්වය ඉදිරියට ගෙන යාමට බලා සිටින චීනයට මෙම සිරිපාළගේ අභියෝගය සුළුවෙන් තැකිය නොහැකි වනු ඇත.

එනිසා, චීනාට මහින්දගේ ජයග්‍රහණය හෝ පරාජය ලංකාවේ ග්‍රහණය දැඩිකර ගැනීම හෝ ලිහිල්වීම යන දෙකෙන් එකකි. ඉතාම ශූර ලෙස ලෝක බලවතා වීමේ සිහිනයට ලඟාවෙමින් සිටින චීනය, තම සතුරාගේ මිතුරාට තමගේ වටිනා ජයබිමක් පාවා නොදෙන්නට උපරිම බලය යොදනු ඇත.

අනෙක් පසෙන්, චීනා මර්ධනයටත්, තම රටවල් තුල ඇති ලක්ෂ සංක්‍යාත ද්‍රවිඩ ඡන්ද රැක ගැනීමටත් බටහිර රාජ්‍යන් විසින් මහින්ද එලැවීමට මේ ලද අවස්ථාව අත් නොහැර, සිය උපරිම සහය දෙනු ඇත.

කුමන ආන්ඩුවක් බලයේ සිටියද විදේදේශ සහ ජාතික ප්‍රථිපත්ති වල මහා වෙනසක් නොවෙනා ඉන්දියාවද මේ ගොඩට එක්වනු ඇත්තේ කාරණා කිහිපයක් නිසාවෙනි. ඉන් පළමු වැන්න, රාජපක්ෂ පාළනය දිගින් දිගට පැවතීම යනු චීනාට තම රට වට කර වැට ගැසීමට ඉතාම තදින් ඉඩ සළසා දෙන තත්වය වර්ධනයට ඉඩ දීමයි. අනෙක නම්, ලංකාවේ රාජපක්ෂ පාළනය පකිස්ථානය හා ඇති මිතුරුකමයි. මේ දෙකම ඉන්දියාවට අහිතකරය.

එවැනි වටපිටාවක ඉන්දියාව රාජපක්ෂලා නැවත බලවත් වීම නොඉවසනු ඇත. එපමනක් නොව, සිංහල බොදු ඡන්ද නම් ඉන්දියානු විරෝධී සාධකයේ ආධාරයෙන් බලය රැකගන්නා මහින්ද ඉදිරියේදී තව තවත් චීනාට ලංවන බව ඔවුනට නොතේරෙනවා නොවෙන නිසා, මහින්ද නැවත පත්වීමට එරෙහිව කල හැකි සියලු උපකාර කරන තත්වයකට ඉන්දියාව පත් වන්නේ රනිල් ප්‍රමුඛ රජයකින් මහින්දගෙන් තරම් තමන්ට අවැඩක් නොවන බව ඉතා හොඳින් දන්නා බැවිනි.

මෙහි අර්බුධය එතනින් නවතීද? කණගාටුවට කරුණ එය එසේ නොවිය හැකි බවයි.

මහින්ද පැරදී, චීනයට අකුලාගෙන යන්නට සිදුවන අවස්ථාවකදී, චීනය ඔවුන් අත මේ වනවිටත් ඇති විදුලිය සැපයීමේ අධිකාරියත්, අධික ණය කන්දත් යොදාගෙන තම උපරිම බලය යොදා එළඹෙන රජය අපහසුතාවයට පත් කරමින් සිය "තැන" රැක ගැනීමට කටයුතු කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබෙ. එහිදී තමන් ගෙන ආ රජයකට චීනාට යට වෙන්නට නොදෙන බටහිර සහ ඉන්දියානු කඳවුර විසින් තත්වය වඩා භයානයක සහ අසීරු අඩවියකට ගෙන එනු ඇත ( වර්ථමානයේ බටහිර ආසියාවේ සිදුව ඇත්තේද එවැනි යුරෝපා සහ රුසියානු බල අරගලයක් නිසා ඇතිවූ අර්බුධයකි. )

එමෙන්ම යම් ලෙසකින් මහින්ද ජය ගත්තේ නම්, එතැන් සිට ඔහුව බලයෙන් එලැවීමේ න්‍යාය පත්‍රය මා ඉහත සඳහන් කල මහින්දට සතුරු කණ්ඩායම විසින් නැවත ගෙන එනු ඇත.

ශ්‍රී ලංකාව වැනි, උගත් සහ ඉහල සේවා වියුක්තියක් ඇති රටක මිනිසුන් රජයට එරෙහිව අරාබියේදී මෙන් පාරට ගන්නට බැරි බව දන්නා ඔවුන්, තම අනෙක් අවිය වෙන ජාතිවාදය මෙහිදී භාවිත කිරීමට ඉඩ ඇත. ඉන්දියාව විසින් නැවත උසි ගන්වන දෙමළ ජාතිවදය සමග ඇමරිකාවේ අවශ්‍යතාව මත සෞදි සහ කටාර් රජයන්ගේ මුස්ලිම් ඔත්තුසේවා මගින් බලගැන්වෙන ජාතිවාදී අරගලයට ගිණි පිඹින්නට නෝර්වේ මුදල් මතින් රාජපක්සලාගේම අඥානත්වය නම් කරළියේ රඟ බොදු සේනාද එකතුවනු ඇත. එදා එක් පෙරමුණක සටන් කල ලංකාවේ හමුදාවට, වඩා සංවිධානාත්මක සහ ධනවත් කල්ලි දෙකක් සමග එක්වර සටන් කිරීමේ අර්බුධයකටද, ඒ මගින් පෙරලෙන රජය 2002 සිදූවූවාට වඩා එහා ගිය සාම ක්‍රියාවලියකින් සමනය කරගන්නට විරුද්ධපක්ෂය කරළියට ගෙන ඒමද සිදු වනු ඇත.

මෙනිසා, මහින්දගේ ජය හෝ පරාජය යනු අප සිතන තත්වයට එහා ගිය අර්බුධයකට රට පත් කරවන එකක් බව පැහැදිලිය.

මෙම අර්බුධයෙන් ගැලවීමේ මග මහින්දව බලයේ තබා ගැනීමද, සිරිසේන දිනවීමද?

ඕනෑම ගැටළුවකට වඩ සාර්ථක විසඳුමක් සෙවීමේදී එම අර්බුධයේ මූලය හඳුනා ගැනීම වැදගත්වේ.

ලංකාවේ තත්වය, එනම් චීනය විසින් අප නටවන ගැලළුවට මුල, යුධ අපරාධ චෝදනා සහ මානව හිමිකම් චෝදනාය. මහින්දගේ රජයකට මෙම චෝදනාවන්ගෙන් කිසිදා ගැලවෙන්නට නොහැක. එනිසාම ඔවුන් තම බලය පවත්වාගැනීමට පහසු ජාතිවාදය සහ විදුලිපුටුව විකුනනු ඇත.

පසුගියදා දෙමළ ඩයස්පොරා නායකයන් කලේ එවැනි කොන්ත්‍රාත්තු ප්‍රකාෂයකි. සත්‍ය වශයෙන්ම ඔවුන් දඩ බඩ ගා එවැනි ප්‍රකාෂයක් කලේ මහින්ද පැරදී රනිල් ආවිට තම යන්තම් නිදහස ලබමින් තිබෙන තම බැංකු ගිණුම් නැවත  ගල්වේයැයි බියෙන්, මහින්දගේ තුරුලේ සිටින කොටි නාම්බන් විසින් කරන ලද සැළසුම් සහගත වූ මහින්දට වාසිදිය හැකි ප්‍රකාෂක් ලෙස මිස මහින්ද සමග වූ සැබෑ අරෝවකට විය නොහැක!


එමෙන්ම නැවත යුද්ධයක් ඇති වුවද එය මහින්දට අවාසියක් මිස වාසියක් ඇති නොකරනු ඇත. මන්ද දැඩි ලෙස හමුදව දේශපාළනකරනය වී බල බිඳී ඇති වටපිටාවක මහින්දට නැවත සිවිල් යුධ ජයක් සිහිනයක් පමණක් වනු ඇති අතර, 2008 වැනි හමුදාවක් ඇතිවීමට තවත් වසර ගණනක යුධ ජය සහ පරාජයන් අවැසි වනු ඇත.

එනිසා කොයි පැත්තෙත් ගත්තත් තත්වය ලේසි වන්නේ නැත. ඉදින් විදුලි පුටුවෙන් මහින්දව සැබෑවටම බේරා ගැනීමටනම්, ඔහුව අනාගතයේ ඇතිවන වඩා අයහපත් ජාතිවාදී ගැටුම්, මර්ධන සහ මානව හිමිකම් වලින් ගලවා, පාළනය වඩා හොඳ අතකට පවරා දීම මිස, නැවත ඔහුව පත් කරගැනීමෙන් පසු මුදා හරින දැඩි මර්ධනයකට ඉඩ දීමෙන් නොවේ.

අනෙක් අතට මේ මොහොතේ සිදුවිය යුත්තේ වඩා සාධාරණ සහ විනිවිදබවකින් යුත් දේශීය අධිකරණයක් මගින් සිදු කරනු ලබන විභාගයක් හරහා යම් මේ කියනා යුධ අපරාධ ගැන සොයා බලා, ඒවාට මූලික වූ අයට තරාතිරම නොබලා යම් තරමකින් හෝදඬුවම් කිරීම, මානව හිමිකම් චෝදනා අවම වෙන යහ පාලනයක් ඇති කිරීම යන මූලික කරුණු තුලින්, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමත්, එතුලින් අහිමිවී යන විදේශ ආයෝජන සහ වෙළඳ පල කොටස නැවත හිමි කර ගැනීමත්, ඉන් ලැබෙන ආර්ථික සහයෙන් චීන බලපෑම අවම කර ගැනීමත්ය.

එනිසා ජනතාව කල්පනාකාරීව ඒ සඳහා සුදුසු නායකයින් පත්කරගත යුතුය. අවසානාවකට, එවන් දැක්ව්මක් සහ අවශ්‍යතාවක් නැති ජාතියක්, රටක් වන හෙයින්, අප වහා කල යුත්තේ බ්‍රෙෂ්ට් කීවාක්සේ "එවන් හැකියාවකින් යුක්ත ජනතාවක් මුලින්ම පත් කරගැනීමයි".

Picture taken from http://www.wikiart.org/en/jose-gutierrez-solana/drawing-for-the-end-of-the-world

Thursday, November 20, 2014

ආදරණීය වික්ටෝරියා


පළමු කියැවීම - 2014 නොවැම්බර් 19

ආදරණීය වික්ටෝරියා කියවන්න ගත්ත. තාම පරිච්ඡේද දෙකයි ඉවර. රෑට ගෙදර ගිහින් ඉතුරු ටික බලන්නෙ. හැබැයි මුල ටිකක් අවුල් වගේ. යන්නෙ පැයට මයිල් හැටේ වේගෙට.

අන්දිරිස් කොළඹ එනව ජීවිතකාලෙම හම්බු කොරපු සල්ලි යාලුවෙක් ගාව තියල ( ඒකට හේතුව පස්සෙ මතුවෙයිද? ). පානදුරේ ගෙදර වැඩ අස්සෙ බොන්නෙ බෙලිමල්, රණවරා! නැදුන් මිල්ල ගස් මතුගම පැත්තෙ කැලෑ වලින් කපනවලු! අච්චර ලොකු අරක්කු ව්‍යපාරෙ කරන ඩබල ඔය තරම් සෙනගක් ඉන්න ව්‍යාපාරයක් පාලනයට ගිණුම් මිණුම් තියාගත්තෙ කොහෙද කොහොමද!

මේක අර "මාගම් සෝලිය" වගේ අධියථාර්ථවාදී හිතළුවක් උනානම් ගානක් නෑ, ඒත් එහෙමම නොවෙන එකේ...!

අනේ මන්ද, බලමු පොත කියල ඉවරවෙනකොට ප්‍රශ්ණ වැඩි වෙයිද නැත්තං මේ ටිකවත් විසඳෙයිද කියල!

දෙවැනි කියැවීම - නොවැම්බර් 20

මම මාගම් සෝළිය කියවූයේ එය ගැන පූර්ව කියැවීම් වලින් තොරවය. එනිසාදෝ එහි ඉතිහාසය ගැන තාක්ෂනික කරුණු නොසොයා මොහාන් මවා තිබූ මයා යථාර්ථයේ කිමිදෙමින් ඉතිහාසයේ ඛේදවාචකයක්, ඓතිහාසික පරාජයක් ගැන වික්ටෝරියානු සදාචාරයට පෙර පැවති සිංහලයාගේ වැරදීම් සහ අඩුපාඩු ගැන පෙනෙන මානයට එහා ගොස් කියා තිබූ අපූර්වත්වය විඳින්නට හැකිවිය.

නමුත් ආදාරණීය වික්ටෝරියා කියැවීමට පෙර ඒ ගැන නොයෙකුත් දෙනා කල අගයකිරීම්, ඔසවාතැබීම් මතින් නිසා, පොත කියැවීමට පටන්ගත් මොහොතේ පටන් යටි සිත සොයා ගත්තේ කතුවරයට වැරදී තිබූ තැන් පමණි.

නමුත් පොත අග වනවිට තත්වය වෙනස් වෙමින්, කතුවරයා මායාව මතින් ලාංකික දේශපාලනයේ පසුකාලීන නියමුවන්ගේ ආරම්භයත්, ඔවුන්ගේ ගන්ධබ්බ ඇවතුම් සහ පැවතුම් පිළිබඳවත්, සදාචාරයන් දෙකක් අතර දෝළනය වූ ආශාවන් සහ හැඳීමුත් කදිමට නිරූපණය කර තිබෙනු දුටුවෙමි.

මෙහි රේන්දරාළලා ගැන හෝ රේල්පාර නිමැවීම ගැන වූ කරුණු සහ වඩු කර්මාන්තය ගැන ඔහු සෑහෙන දුරට හැදෑරීමක් කල බව පෙනෙතත් අඩුපාඩු එමට වූ බව නොකියා බැරිය. නමුත් ඔහු සිය කෘතියෙන් පෙන්වන, එදා පන්තිය වෙනස් කල මිනිසුන්ගේ අර්බුධය පිළිබඳ කියැවීම විඳින්නට භාධාවක් කරගත යුතු නැතයි යෝජනා කරමි.

අවසානයේ දිගු කතාවක් කෙටියෙන් කියන්නේනම්, ආදරණීය වික්ටෝරියා තුලින් මා එදා තම රටට පැමිණි සංස්කෘතියෙන් සහ අර්ථ ක්‍රමයෙන් වෙනස් වූ මිනිසුන්ගේ කතාව පමණක් නොව මෙදා තම රටින් බැහැරව වෙනස් අර්ථ ක්‍රමයක් සහ සංස්කෘතියක් සහිත දේශයන්ට සංක්‍රමණය වූ මිනිසුන්ගේ කතාවද කියැවීමි!

Wednesday, November 12, 2014

වලා සහ ලිංග හමුව.!



බහුවාර්ගික ජනතාවක් වෙසෙන රටවල සිටින්නන්ට, සංනිවේදනයේදි කදිම අකරතැබය්න්ට මුහුණ දීමට සිදුවේ. එකම ජාතියක, එකම බසක් කතා කරන මිනිසුන් අතර වුව එවන් අවස්ථා දුලභ නොවන කල, බහු වාර්ගිකයන් අතර එය කෙතරම් දැයි, එවන් රටවල වෙසෙන, වෙසුනු අයට බොහෝ රසවත් අත්දැකිම් තිබෙනු ඇත.


මේ මා වෙසෙන අරාබි කොදෙව්ව තුල අත් දුටු එවන් සිදුවීම් කිහිපයකි.

මීට වසර කිහිපයකට පෙර මා දැන් සේවය කරන "ග්‍රීක" ජාතිකයන්ට හිමි ආයතනයට බැඳුනු මුල්ම දින සිදුවීමකි.

ඒ ආයතනයේ මා හට අදාලවූ අංශයෙහි සතියක පමණ නිරීක්ෂනයකින් පසු හඳුනාගත් අඩුපාඩු සහ ඒවා නිවැරදිකිරීමට යෝජනා සහිත වාර්ථාවක් සකසන ලෙස අධ්‍යක්ෂකමණ්ඩලයෙන් ලද අණ අනුව, අදාල වාර්‍තාව සකසා, එය සාකච්ඡාවට ගන්නා මොහොතයි. ඒ වනවිටත් මා නිරීක්ෂනය කර තිබු පරිදි ආයතනයේ ග්‍රීකයන් බහුතරයගේ ඉංග්‍රීසි දැණුම සහ කතාව "පොලිෂ්" නොවුනත් එහි කිසිවෙකු ඒ ගැන තැකීමක් නොකර, සංනිවේදනය මූලික කරගත් ග්‍රීක් ඉංග්‍රීසි මිශ්‍ර බසකින් බොහෝ විට සංවාද කරගෙන ගියහ.

අප ආයතනයේ මෙහෙයුම් කළමණාකරුව සිටියේ වයස 50 පමණ වූ, පෙණුම ඊට බොහෝ වැඩි "දිනෝස්" නම් ග්‍රීකයෙකි.

මගේ රාජකාරිය ඔහුගේ වගකීම් වලින් කඩා දුන් කොටසක් වූ අතර, යම්කිසි හේතුවකට මා වැනි "ඉන්දියානු කල්ලෙකු" ඒ තණතුරට බඳවාගැනීම ගැන නොසතුටින් සිටි ගතියක් මට මුල් දිනම දැණුනි ( හෝ දැනෙන්නට සැලැස්විනි ).

ඉතින් අප අතර සිදුවන සංවාදයන්හිදි මම විශේෂයෙන් පරෙස්සම් වීමට සිදුවිය.

මේ කියන දිනත්, අදාල වාර්ථාව සමාලෝචනය සඳහා ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා, මහ කළමණාකරු, මා, සහ ඉහත කී මෙහෙයුම් කළමණාකරු සහභාගී වී සිටියහ.

වාර්ථාවේ මූලික අංගය වූ "ගැටළු" කොටස මුලින්ම ඉදිරිපත් කරන ලදි.

ඉන් පසු ඒ ගැන එක් එක් අය අදහස් පළකල අතර, අධ්‍යක්ෂවරයා විසින්,

"දිනෝ, ඩූ යූ හෑව් එනිතින්ග් ටු සේ අබවුට් හිස් ෆයින්ඩින්ග්ස්?"

ලෙස විමැසීය. මේ ඉන් පසු වූ සංවාදයයි.

Dino - ඉට්ස් ඔකේ...මිස්ට ඉන්දිකා හෑස් ඔබ්සර්ව්ඩ් වෙල් ඇන්ඩ් අයැම් ඇන්ග්‍රි විත් ෆිව් තින්ග්ස් බට් මෙනි අයිටම්ස් වී හැව් ටු සී අගේන්.
Me - මිස්ට දිනෝස් මේ අයි නෝ ද පොයින්ට්ස් යූ ගොට් අප්සෙට් ?

Dino - නෝ නෝ... අයැම් නෝට් අප්සෙට්, අයි ඇන්ග්‍රි..ඇන්ග්‍රි

Me - ඉයෙස්, ලෙට් මී නෝ වටා දෝස් පොයින්ට්ස් යූ ගොට් ඇන්ග්‍රි?

Dino - නෝ මයි ෆ්‍රෙන්ඩ් අයැම් නොට් ඇන්ග්‍රි, අයි සෙයිඩ් ඇන්ග්‍රි... ( ඉන් පසු අධ්‍යකෂක දෙසට හැරී ග්‍රීක් බසින් යමක් කියයි )
එවිට අධ්‍යක්ෂක; නෝ නෝ ඉන්දික, හීස් නොට් ඇන්ග්‍රි, හී ඇග්‍රී විත් සම් පොයින්ට්ස්.

...෴......෴.....෴......෴......


දෙවැන්න මෑතකදී එක්තරා සැපයුම් කරුවෙකුගේ කාර්‍යාලයෙන් මා ඉල්ලා යැවූ තාක්ෂනික වාර්ථාවක් පිළිබඳ ලද ඇමතුමකි.

ඇමතුම කාන්තා හඬකිනි. සංවාදය මෙලෙස විය ;

හෙලෝ, මිස්ටර් ඉන්දිකා..

යෙස්...ස්පීකින්

සර් දිස් ඊස් "වලා" ෆ්‍රොම් මැසී ඉන්ටර්නැෂනල්..

( සිනහව ගිලිමින් ) ඉයෙස් වලා...හව් ආර් යූ ?

පසුව දැනගත් පරිදි "වලා" යනු අරාබි කාන්තා නමක් වන අතර එහි තේරුම "පක්ෂපාතී, විශ්වාසවන්ත" යන්නයි.

....෴......෴.....෴......෴......
 
තෙවැන්න පිළිපීන ජාතික පිළිගැනීමේ නිළධාරිනිය සහ මා අතර විය.

හෙලෝ...ඕ..ව්.. ඉන්දිකා..

යෙස් ජැස්මින්..

වන් මිස්ට ශුක්‍රා..ලිංග හෑස් කම්....!!

පසුව දැනගත් පරිදි සොක්කලිංගම් නමැති ඉන්දීය ජාතිකයකු මා හමුවීමට පැමිණ ඇත..!

Sunday, November 9, 2014

සුපර් මාර්කට් එකේ හමුවූ ශ්‍රී ලංකන් ජම්බුගෙඩිය. The Diver's wife..!



අපේ ගෙදර සතියට අවශ්‍ය බඩු මුට්ටු අරගන්න කඩේට යන්නෙ මම. නෝන ලැයිස්තුව දුන්නම, බදාදා හවහට "ලුලු" එකට ගිහින් බඩු ටික අරගෙන එන එකත් මගේ රාජකරි ගොන්නට අයිති එකක්. ඔය ආගිය වෙලාවට නොයෙක් බවලත්තු, බලවත්තු මුණ ගැහෙනව.

දවසක් ඔහොම ගිහින් බඩු ගන්න ගිය වෙලාවක, ඔය ෂවරමා, ග්‍රිල් චිකන් වගේ කෑම තියෙන කවුන්ටරේ ගාව මම මගේ ඇණවුම එනකල් ඉන්නව. මට පිටිපස්සෙන් පුංචි අරාබි පෙණුම තියෙන කෙළි පැන්චෙකුයි, එයාගෙ අත අල්ලගෙන අමාරුවෙන් ආංබාං කරන ගෑණු ළමේකුයි ඇවිත් නතර උනා.

මේ කිව්ව ගෑණු ළමයත් එතන තිබ්බ කවුන්ටරේට වඩා යන්තන් උස, ඔන්චිල්ලාව වගේ පැද්දෙන කරාබු දෙකක් දා ගත්තු, පස්ස යට වැස්සට හෙවනට ඉන්න පුළුවන්, ඉස්සරහ කෝම්පිට්ටු දෙකක් වගේ පපුවකුයි, ඒ උසටම කලේ වගේ බන්ඩියකුයි තිබ්බ හරියට මිචලින් බබාගෙ නංගි විතර සයිස් එකේ, ඇඟටම හිර වෙන්න තෙල් ගාල ඇඳපු ඩෙනිමකින් සැරසිච්ච අලිම අලි පිනිජම්බු ගෙඩියක් වගේ තමයි පෙනුනෙ.

මෙයා එක්ක හිටපු කොන්ඩෙ කැරළි වෙච්චි නිල් ඇස් තිබ්බ කෙලිපැටිය අරාබි පෙනුමක් තිබ්බ කෙනෙක් උනාට මේ ළමය ටිකක් ලංකාවෙත් වගෙ!

කොහොම හරි ඔහොම ඉන්නකොට මට ගෙදරින් කෝල් එකක් ආව.

පුරුදු විදිහටම නෝනට අමතකවෙච්චි බඩු ටිකක් ලැයිස්තුවට දාගන්න ඕඩරේ ගන්න අස්සෙ මට පේනව අර ළමයත් මගේ කතාවට කණ දීගෙන ඉන්න ගතියක්.

ටික වෙලාවකින් කතාව ඉවර උනාම, අර ජම්බු ගෙඩිය මගේ දිහා බලල හොඳ ප්‍රසන්න හිනාවක් එහෙමත් දැම්ම.

ඉතින් කොහොම කොහොම හරි මගෙ වෙලාවට ඉල්ලපු කෑම ජාතියත් ලැබෙන්න පරක්කු නිසා, මං ගැන දුක හිතිලද, එහෙම නැත්තන් හිනා වෙවී ඉඳල ඇතිවෙලා හරි, ඒත් නැත්තං වෙන මොන මගුලකට හරි, ඒ ගෑණු ළමය මෙන්න මගෙන් අහනව "අය්ය ලංකාවෙද" කියල!

එතකොටයි මට මතක් උනේ සිංහලෙන් කතා කරන මිනිස්සු ලෝකෙ වෙනරටවලත් ඉන්නවනෙ කියල.

බලත්දි ඒ ළමය ගෙදරක "ගෘහ පාළිකාවක්". එයාගෙ ස්වාමිදූල ගිහින්ලු ෆිල්ම් එකක් බලන්න, බබාව මෙයාට දීල මෝල් එකේ සෙල්ලන් කර කර ඉන්න කියල.

ඔහොම පටන්ගත්තු ඔය කතාව රට ඉඳි ගස් උඩින්,  පොල්වතු උඩින් ලංකාවෙ ඉන්න ගමට ගිහින්, පවුලෙ අය හරහ ඇදිල යනකොට තමයි දැනගත්තෙ මෙයා කසාද බැඳල මහත්තය ලංකාවෙය කියල.

මෙහෙ ගොඩක් වෙලාවට ඔය වගේ අය ඊළඟට අහන ප්‍රශ්ණයක් තමයි, "අය්යෙ අපේ මහත්තයට මෙහෙ ජොබ් එකක් හොයල දෙන්න බැරිද" කියන එක.

මේ ළමයත් ඔය සුපුරුදු ප්‍රශ්ණෙ මගෙන් ඇහුව.

එතන ඉඳල දෙබස මෙහෙමයි.

මම - නංගිගෙ මහත්තය මොනාද කරන්නෙ

ඇය - එයා අය්යෙ ඩයිවින් කරන්නෙ


මම - ආ, එහෙනං හොඳයිනෙ. කොහෙද ඩයිවින් කරන්නෙ?

ඇය - කළුතර හෝටලේක තමයි ඉස්සර ඉඳන් වැඩ කරේ. එයා කියන්නෙ මෙහෙ ඇවිත් සල්ලි ටිකක් හොයාගෙන තමන්ගෙම බිසිනස් එකක් කරන්න කියල. මොකද හොටෙල් එකේ හින්ද සුද්දො එහෙමත් ගොඩක් දන්නව. ඉතින් ඒ අය ආයි ලංකාවට ආවම මෙයාට කෙලිම්ම සෙට් කරගන්න පුළුවන්ලු.


මම - ඉතින් එයාට ඩයිවින් වලට මොනාහරි ලයිසන් එකක් හරි සහතිකයක් හරි තියෙනවද?

ඇය - ඔව් අය්යෙ, එයාට ලයිසන් තීනව දැන් ගොඩක් කල් අරගෙන.


මම - එහෙනං හොඳයිනෙ. මෙහෙ මම දන්න කෙනෙක් ඉන්නව අල් දහෙන් කියල කම්පැනියක, මම කතා කරල බල්ලන්නං.

ඇය - ඒක මොනව කරන එකක්ද?

මම - ඒක බෝට්ටු හදන එකක්.

ඇය - එහෙමද, පඩි කොහොම වෙයිද දන්නෙ නෑ නේද අය්යෙ?

මම - මගෙ යාළුවෙක් ඩයිව කෙනෙක්, මිනිහට ඩිනාර් 300 විතර ( රුපියල් ලක්ෂයක් විතර ) ගෙව්ව.

ඇය - එහෙනං නියමයිනෙ!

මම - ඔව්, එයාට නිකන් ඉන්නෙ නැතුව ඔය එක්කම අන්ඩවෝටර් වෙල්ඩින් වගේ දේකුත් ඉගෙන් ගෙන තිබ්බනං හොඳට හොයන්න පුලුවන්.

ඇය - අනේ අය්යෙ එයා හරි කම්මැලියි වෙලාවකට. ඕකත් ඔය හොටෙල් එකේ නිසා කරනව.

මම - එහෙමද? කමක් නෑ මම එහෙනං යාළුවට කියල බලන්නං. සාමාන්‍ය ඩයිවර්ස්ලට උනත් එහෙ පඩි නරක නෑ!

ඇය - අනේ අය්යෙ එහෙනං පොඩ්ඩ්ක බලන්න, මොකද මෙහෙ අපෙ "මමා" ගෙන් ඇහුව මම. එයා කැමතියි ගන්න. ගෑණිගෙ අලුත් විසාල ජීපෙකක් තියෙනව, එයාට එලවන්න භයයි කියල ඩයිවින් වලට කෙනෙක් කෙනෙක් හොයනව. ඒ උනාට පඩිය ඩිනාර් 80ලු දෙන්නෙ. වැඩක් නෑ නේද අය්යෙ, මටත් 120 ගෙවනව, ඉතින් 80ට ඩැයිවින් කරල මොනාටද නේද?






මේ කතාවත්, තවත් දහම්පාසලේ කතාවකුත් සිහි උනේ දේශාගේ අලුත්ම පෝස්ට් කටුව දැකීමෙනි. ඔන්න දේශ එකක් හරි. අනික සතිය අගට.




Saturday, November 1, 2014

සිංහලයාගේ උණු වීම සහ උණුකරවායාම! Aids and aids!


රටම නොව ලොවම කම්පා වූ ඛේදවාචකයක් සිදුව ඇත. අසරණ මිනිසුන් නොදන්නා ගණනක් මිහිදන්ව ඇති මොහතක, යළිත් සිංහලයාගේ සුපුරුදු කාරුණික හදවත උණුවෙමින් පවතී. සිංහලයා යනු ආධාර වලින් යැපෙන්නත් ආධාර දෙන්නටත් උපන් හපන් කමින් යුත් අපූරු ජන කොටසකි.

බුකිය පුරා සනීපාරක්ෂ්ක තුවා, යට ඇඳුම් සඳහා ආධාර එකතු කරන්නන්ය. රේඩියෝ චැනල් වල මණුසත් කම් මීරියබැද්දට දෝරෙ ගලා යාමට පටන්ගෙන ඇත.

දිය යුත්ත හා නොදිය යුත්ත ගැන අදහසක් ඇතිව හෝ නැතිව ඔවුන් ආධාර එකතු කරති. මේ සිදුවීම් මට සිහි කරන්නේ වසර දහයකට පෙර සුනාමියේදී මා පුද්ගලිකව අත් දුටු සිදුවීම් කිහිපයකි.

මා පෙර සටහන් කල පරිදි, සුනාමිය ගැන මම දැනගන්නේ දෙසැම්බර් 26 දින සවස් වරුවේය. ඒ මොහොතේ අප රැඳී උන් "වැද්දාගල" නවාතැනින් පිටත්ව රත්නපුරය හරහා කොළඹ ඒමට පිටත් වූයේ 27 වන දින උදෑසනිනි. අප එන මග දිගට, රත්නපුර, කුරුවිට ඇහැලියගොඩ නගරවල රථ පේලි ආධාර එකතු කරමින් තිබෙනි. ඒ වනවිටත් යම් මාර්ග තදබදයක් ඇති කරමින් එම නගරවල සිදුවූ "සත් ක්‍රියාව" දැක ගනිමින් රත්මලානට පැමිණි අප, හිස ගිණිගෙන හික්කඩුවට යාමට පිටත් වූයේ එදිනම, එනම් 27 සවසමය.

ඒ වනවිට ගාළු පාර පාළුවට ගොස් තිබු අන්දම ගැන මා පෙර සටහන් කර ඇත. එලෙස පාළුවට ගිය ගාළු පාරෙ හික්කඩු ගොස්, මීටියාගොඩ, අළුත්වෙල, ගෝණාපිනූවල ඈ හැම අස්සකම තිබූ අනාථ කඳවුරු රෝහල් වල අප පවුලේ අයව සෙවීම නිසා, 29 දින උදෑසන වන විට මගේ මෝටර් රථයේ ඉන්ධන ටැංකිය රතු කට්ට අසන්නයට පැමිනෙමින් තිබුනි.

නමුත්, ප්‍රවහාන මාර්ග අඩපන වී තිබීම නිසා ඒ වනවිට දකුණේ සියලු ඉන්ධනහල් එක්කො වසා, නැතිනම් දිගු පෝළිම් වල ඇති යතුරුපැදි වලට පමණක් ඉන්ධන නිකුත් කිරීමකට සීමා වීය.

ඒ වනවිටත් අතුරුදන්ව සිටි පවුලේ සාමාජිකයන් එකකු හෝ හමුවී නොතිබූ නිසාත්, කෙසේ හෝ ඔවුන්සොයාගැනීමෙන් පසු නැවත කොළඹ යායුතු නිසාත් අපේ ඉන්ධන අවශ්‍යතාවය ඉතා දැඩිය.

විකල්ප දෙකක් තිබුනි. එකක් නම් නැවත කොළඹ අවට ඉන්ධන ඇති පෙදෙසක් වෙත පැමින, ටැංකිය පුරවාගෙන ආපසු ඒමයි. දෙවැන්න කොළඹ දෙසින් එන්නෙකු අත පැට්‍රල් කෑන් එකක් දෙකක් ගෙන්වා ගැනීමයි.

අප මුලින්ම දෙවනි යෝජනාව ක්‍රියාත්මක කරන්නට සිතුවෙමු.

මගේ මිතුරන් කිහිප දෙනෙකුටම ඇමතූ මුත්, ඔවුන් හෝ දන්නා කෙනෙකු ආධාර ගෙන දකුණට නොඑන බව දැනගන්නට ලැබුනි.

තත්වය බරපතලය. වහා කණඩායමක් සොයා ගතයුතුවිය.

"ඉන්නකො බලන්න මම අපේ ඔෆිස් එකේ අයට පොඩ්ඩක් කතා කරල බලන්න. සමහරවිට ඒගොල්ලො මොනව හරි ඕගනයිස් කරල ඇති" යැයි කියූ බිරිඳ මගෙ අතින් මොබයිල් එක ගෙන ඇගේ මිතුරෙකුට ඇමතීය.

මුල සිට අප සිටින තත්වය විස්තර කර, අනතුරුව ඔහුගේ ප්‍රශ්ණ විචාරත්මක වැඩසටහනත් අවසන, අප අවශ්‍යතාවය පවසන ලදි.

ඇය ලද පිළිතුර ඊට තරමක් වෙනස් එකක් විය.

"කොළඹ අවට කොහෙවත් කඩවල හිස් කෑන්, බූලි වතුර බෝතල් ගන්න නෑලු. ඒගොල්ලොත් හොයල වතුර ගේන්න. නැති තැන බෙහෙතුයි ඇඳුනුයි අරගෙන හවසට එනවලු!"

මේ අතර අප හා සිටි බිරිඳගේ සහෝදරයාටත්, මගේ මිතුරු අමිලටත් ඔවුන් ඇමතූ ඇමතූ මිතුරන්ගෙන් ලැබී තිබුනේ සමාන පිළිතුරුය.

එන උන් එක්කෝ පිටවෙලා මග ඉන්නෙ, නැතිනම් හිස් බූලි නැත!

"අපි ජගාට පොඩ්ඩක් කතා කරල බලමුද?"


ජගත් යනු මගේ හොඳ මිතුරෙකු වන අතර, හොරණ ප්‍රදේශයේ විසූ ඔහු අවට ජනප්‍රිය චරිතයක් විය. අනුන්ගේ දුකේදී උදව් කිරීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත්වන චරිතයකි. නියත වශයෙන්ම ජගත් තම කෲ කැබ් රථයේ යම් දෙයක් පුරවාගෙන මිතුරන් කිහිපදෙනෙකුන් සමග විපතේදී දකුණට එන බවට අපට විශ්වාසයක් විය.

මම ජගත් ඇමතුවෙමි!

"ජගා, උඹ කොහෙද ඉන්නෙ. මට පොඩි උදව්වක් ඕනෙ"

"මචං අපි හොරණ ඉන්නෙ මොකද්ද වෙන්න ඕනෙ?"


ඒ වන විට මම සිටිනා ස්ථානයත්, අප පවුලේ අය මුහුන පා සිටින තත්වයත් සඳන් කර,

"උඹල මේ පැත්තට එනවනං බැරිද මට පැට්‍රල් කෑන් දෙක්ක ගෙනත් දෙන්න. මම සල්ලි දෙන්නම් මෙහෙදි"

"අනේ මචෝ, මෙහෙ තීනත තරමක් කෑන් එකතු කරල වතුර පුරවල ඒව අරන් මේ එන්න හදන්නෙ. දැන් මම හිතන්නෙ නෑ හිස් කෑන් එකක් හොයාගන්න පුලුවන් වෙයි කියල"

"ඉතින් ඔය වතුර කෑන් එකක් හලල පැට්‍රල් දාගෙන වරෙන්කො"

"අපෝ එක කරන්න බෑ බන්, මුන් මගෙ ඔළුව කාවි. ඔහෙ මිනිස්සුන්ට බොන්න වතුර නෑ කියල වතුරම තමයි අපි වැඩියෙන් ගත්තෙ. ඉතින් ඒ එකක් දෙකක් හලල පැට්‍රල් පුරෝ ගත්තොත් මේ උදව් කරපු උන් මාව කයි.උඹ තරහ වෙන්න එපා, පොඩ්ඩක් බද්දෙගම පැත්තට ගිහින් බලහන් පෙට්‍රල් ටිකක් හොයා ගන්න, මටගේන්න විදිහක් නැහැ මචන්"


ආධාර කණ්ඩායමකින් ආධාර බලාපොරොත්තු වීම එතකින් අවසන් විය.

අවසානයේ, එකම විකල්පය වූ කොළඹ පැමින ඉන්ධන පුරවා නැවත යමට අපිට සිදුවිය. එයද සිතූ තරම් පහසු නොවූයේ, ලොරියක නැගි දහ පාලොස් දෙනා වතුර බූලි, පරණ ඇඳුම්, නොයෙකුත් අවශ්‍ය/අනවශ්‍ය දේ රැගෙන ගාළුපාර දිගේ දකුණට ගලමින් තිබූ නිසාවෙනි. ඒ ආ බොහෝ දෙනෙක් කොහෙන් හෝ එකතු කරගත් යමක් රැගෙන දකුණට පැමිණ තිබුනේ "සුනාමි බැලීමට" තිබූ නොතිත් ආසාව ආධාර වලින් වසාගෙන බව අප හොඳින්ම දැන සිටියෙමු.

මන්ද, ඒ දානපතියන් ගෙයක මඩ ටිකක් හෝ අස් කරන්නට උදව් නොවී, අනාතකඳවුරක කුණුවලක් හෝ කපන්නට උදව් නොවී තමන් ගෙන ආ කඩමාලු සහ වතුර බූලි දමා, වටපිට සිරි නරඹා ආපසු ගොස් තිබුනේ සැබැවින්ම අවශ්‍ය දේ රැගෙන එන සැපයුම් ප්‍රමාද කරමින්, මහමඟ පැය ගනන් දිගු රථවාහන පෝලිම් සදමින්, ලක්ෂ ගණනක ඉන්ධන නිකරුනේ දවමිනි.

එපමනක් නොව, අනාත කඳවුරු දොරකඩ "පරණ ඇඳුම එපා", ප්ලාස්ටික් වතුර බෝතල් එපා" වැනි බෝඩ් ගස්සවන්නටද, පරණ කඩමාලු කොත් සාදවන්නටද ඔවුන් සමත්ව තිබුනි!

මෙනිසා, චාරයකින් තොරව, කල්ලි ගැසී මොනවා හරි රැගෙන යන මෙවන් බෝ-සතුන් මීරියබැද්දේ නොයා සිටීම සැබෑ ලෙසින් ආධාර දෙන ආයතන වලට සහ රජයට කෙරෙන උපකාරයක් මෙන්ම ඒ ගම්මුන්ට කරන උපකාරයක්යැයිද වන බව මම සිතමි.

එහෙත්, යම් කිසිවෙකුට සැබැවින්ම කිසියම් ආධාරයක් ඔවුන්වෙනුවෙන් කල යුතුමනම්, තව දෙමසකින් එන නව වසරේදී ඒ කුඩා දරුවන්ට සෙල්ලම්බඩුවක් රසකැවිල්ලක්, අලුත් ඇඳුමක් රැගෙන එහි ගොස් එන්න. මන්ද ඒ වනවිට මේ "රැල්ළ" බැසගොස් ඔවුන්ව අමතකව තිබීමට හැකි බැවිනි!

LinkWithin

Related Posts with Thumbnails