Sunday, December 26, 2010

ඔබ සැමට නිවන් සුව..!



" ඔව් දැන් මොරටුව ගාලු පාර එකම සුන් බුන් ගොඩක් බවට පත්ව තිබෙනවා. අවට ධීවර නිවාස සියල්ලක්ම පාහේ මහ මඟට වතුරත් සමඟ ගසා ගෙන ඇවිත් බවයි දැන් අපිට පේන්නෙ"

සිංහරාජයෙ වැද්දගල පිවිසුම අසල නවතා තිබූ ලොරි රථයක රේඩියොවෙන් ඇසුන ඒ හඬ අපේ ගමන මදකට නැවතුවා.
දුරකථන නැති, රූපවාහිනී නැති තැනක නිවාඩුව ගතකරන්න හිතපු එකේ මෝඩකම කියල හිතුනෙ මේ ඇහෙන දේවල් කිසිදෙයක් ඇත්තද කියල දැනගන්න ක්රමයක් නැතිබව තේරුනාමයි.

දවස් තුනේ ට්රිප් එක අතරමග නවත්තල වහාම ගෙවල් බලා එන්න පිටත් උනේ තත්වෙ හිතුවට වඩා දරුණු බව එදා රෑ රේඩියෝ එකේ පැයෙන් පැයට මරණ ගාන ඉහල යන විදියටයි වෙලා තීන විනාසෙ විනාඩියෙන් විනාඩිය දරුණු බව වාර්ථා වෙනකොටයි තේරිච්ච හින්දයි.

ගාලුපාර අවුල් කියල ඇහිච්ච හින්ද අපි මහ දුරක් ගෙවං වැද්දගල ඉඳන් රත්නපුරේට ඇවිත් එතනින් රත්මලානට එනකොට මඟ දිගට ලොරි වෑන් පෙළපාලි ආධාර එකතුකරනව "සුනාමි" අනාථයන්ට කියල. වැද්දගල ඉඳල පැය හතක විතර දීර්ඝ ගමනකින් පස්සෙ ගෙදරට ඇවිත් ඉඳගෙන ටීවි එකේ විස්තර බල බල හිටිය.

පැය භාගයක් ගියෙ නෑ, මෙන්න කාගෙන්ද ආව කෝල් එකකට ආන්සකරන්න එහාට ගියාපු හාමිනේ අඬාගෙන දුවං එනව " අනේ ඉන්දික අක්කලගෙන් ආරංචියක් නෑලු....මල්ලි මේ දැං කතා කලේ" කියාගෙන.

අපි ඔක්කොටම පුටුවලින් නැගිටුන නෙමේ උඩ විසිඋනා වගේ උනා. ඇයි හත්දෙය්යනේ මුහුද ලඟ උනාට මේ සොල්දර ගේ උඩටත් වතුර දාල කියල කොහොම හිතන්නද!

"අනේ අපි යමු..." අඬන අතරෙ හාමිනේ....

දුකට සැපට දෙකටම උන්න එයාලගෙ පවුලෙ ඉතාම හොඳම මනුස්සය වෙච්චි පොඩි අක්ක, මොන වෙලාවෙ ගියත් කෙළ උනන කෑමක් හදල උගුරට එන්නම කවල, තව අයිස්ක්රීම් පෙට්ටිවලට දාල ගෙනියන්නත් දෙන පොඩි අක්ක, කිසිම කෙනෙකුට වරදක් කියන්න බැරි, අපි එක්ක බලනකොට මුනිවරයෙක් වගේ හොඳ ගති තීන අය්ය, හික්කඩු වැල්ලෙ නාන්න තමංව එක්ක යන එකම මාම නිසා මං එනව කිව්වොත් පන්තිවත් නොගොහින් මඟ බලන් ඉන්න ඒ දෙන්නගෙ එකම පුතා, ඇල් වතුරත් නිවල බොන ජාතියෙ, ලෝකෙ පෙරලුනත් සුරුට්ටුවක් බිබී ගාළු පාරෙ යන එන ඇත්තො දිහා බලං ඉන්න ලොකු තාත්ත....මේ අයට යමක් උනා කියල කොහොම හිතන්නද!

අපි අහල තීනෙ සොභා දහම දඬුවං කරන්නෙ නරක උන්ට කියල මිසක් මේ වගේ සත් පුරුෂ අහිංසකයන්ට කියල නෙමෙයිනෙ!

සොල්දරේ හිටපු අක්කලගෙන් ආරංචියක් නැත්තං, වැල්ලවත්තෙ ඉන්න මාමලට, පැරෑලියෙ ලොකු අය්යලට,,…… කොහොම හිතන්නද මේ අයටත් කරදරයක් වෙලා කියල.

කොහොම උනත් තත්වෙ දරුණු බව දන්න නිසා කරන්න තිබ්බ හොඳ දේ වෙච්චි වහාම ගිහින් බැලීමේ හාමිනේගෙ තීරනය කවුරුත් එකඟ උනා.

වැද්දගල ඉඳන්ම ඇඳං ආපු සූට් එක පිටින්ම අපි දෙන්න මඟට බහිනකොට ඒ වෙද්දි ට්රිප් එක ගිහින් ඇවිත් අපේ ගෙදර ටී වී බල බල හිටපු අමිලයත් හාමිනේගෙ මල්ලිත් එක්ක ඇවිත් නැග්ග කාරෙකට.

එදා රෑ කලුතර ඉඳන් රන්දොඹේට වෙනකල් ගිය ගමන තමයි මගේ ජීවිතේ අමතක නොවෙනම ඩ්රයිව් එක!

ඒක හරියක හොරර් ෆිල්ම් එකක ජවනිකාවක් වගේ.

අලුත්ගම පහු උනාටපස්සෙ පාරෙ කිසිම වාහනයක් නෑ. කිසිම ගෙදරක එලියක් පේන්න නෑ, පාරෙ ලයිට් තියා, යන එන වාහනේක ලයි එකක්වත් නෑ.

හැබැයි ඒ වෙනුවට ගස් උඩ නැගපු කාර්, වහල නැති ගෙවල් විතරක් නෙමෙයි මළ කුණු ගඳත් වෙලා තීන දේ කොයිතරං දරු ණු ද කියල අපිට කොඳුරන බවකුයි දැනුනෙ!
කොහොම හරි මේ සුන් බුන් මැද්දෙන් අලුත්වෙලට ඇවිත් රතු අම්මලගෙ ගෙදරට ගියාම තමයි දැනගන්න ලැබුනෙ දකුණ උතුර වෙලා තීන වග!

ලොකු අය්ය, අක්ක, පොඩි උන් තුන්දෙනා, ආච්චි, ලොකු තාත්ත, පොඩි අක්ක, අය්ය, පොඩි පුතා විතරක්, හිච්චි මාම, නැන්ද විතරක්ද අර මානසික ලෙඩක් තිබ්බ පොඩී පවා ආගිය අතක් නෑ!

ලොකු අය්ය මේ වෙලාවට පොලේ යන නිසා පොළ ගාව එයාගෙ මස්සිනාගෙ ගෙටවත් පැනල බේරුනාද කියල බලන්න මහන්සි නැතුව ඒ පිටම ගියා හික්කඩු.

හැම තැනම විසිරිච්ච සුන් බුන් එක්ක මිනී කුණු ගඳයි, පාලුවයි, අඳුරයි, මෙලෝ දෙයක් උනේ නැති ගානට හෝ හෝ ගගා ඉන්න මහ මුහුදයි, පාලුම පාලු හික්කඩුව ඒ මහ රෑ මට මතක් කලේ පොඩි කාලේ දහම් පාසලේ විජේවීර සර් මවල පෙන්නපු තුන් බියෙන් විනාස වෙච්චි විසාල මහනුවර!

කිසිම කෙනෙක් ගැන මොනම හෝඩුවාවක්වත් හොයාගන්න බැරු තැන ආපහු එනගමන් දුක කළකිරීම අස්සෙ අපූරු හිනායන දෙයක් දැක්ක.

මහ මූද අයිනෙම, මූදට පිටුපාල තිබ්බ අලුත්ම වයි ස්ටෝර්ස් එකයි ඊට එහා පැත්තෙ කඩයකුයි අතරෙ තිබ්බ පොඩි ඉඩෙ අර දෙකටම සීරිමක්වත් ණතිව මහ තඩි බහුදින යාත්රාවක් ටවුමට කඩා වැදිල පාරෙ අනික් පැත්තෙ බැන්කුවත් කාඩගෙන මීටර් 50 විතර ගම ඇතුලට වැදිල බිත්තියක හේත්ටුවෙල පාඩුවෙ ඉන්නව!

ඒක දැකපු අමිලය " ඇයි යකෝ මෙකට මේ මෙලෝ රහක් නැති බැන්කුව නොකඩ ඔය වයි ස්ටෝර්ස් එක කඩන්න හිත දුන්නෙ නැති හැටි" කියනකොටනං හිනාවක් නොවුනත් පොඩි ඉරක්වත් කට්ටියගෙම මූණුවල පෙනිල නොපෙනිල ගියා.

පහුවෙනිද උදේම කැලෙන් කැලෙන් දාල තෙල්වත්ත කිට්ටුව අතුරු පාරක වාහනේ දාල පයින්ම පොඩි අක්කලගෙ ගේ ගාවට යනකොටත් මඟ දිගට මිනිස්සු තමඟෙ පවුල්වල නැතිඋන උන්දල හොයනව, සමහරු මිනී ගෝනි කෑලිවල දාල ගෙවල් වල ගෙනියනව, තව සමහරු හම්බ වෙච්චි සිරුරු ගාව දණ නමාගෙන අඬනව...

කොහොමින් හරි මේ සේරම මැද්දෙන් අක්කලගෙ ගේ ගාවට යනකොට ඈතටම පෙනව මුලු පැත්තම හූරල අයිංකරල වගේ, අර ගාලුපාර අයිනෙ තෙල්වත්ත දිගටම තිබ්බ ගෙවල් මංඩියෙ ගෙවල් දෙකක් ඇර වෙන එකක්වත් නෑ.

පොඩි අක්කලගෙ අවුරුදු හැට හැත්තෑවක් පරණ අලි සොල්දර ගෙදර ගේට්ටු කණුවයි, කුස්සියෙ සින්ක් එකට දාල තිබ්බ ස්ලැබ් එකයි හැර වෙන මොකවත්ම නැහැ.

මුලු ගමටම ඉතුරුවෙලා තිබ්බෙ ඉස්කෝලෙ මහත්තයගෙ ගෙයයි, අක්කලගෙ ගෙට එහා පැත්තෙ භාගෙට හදන ගේයි විතරයි.

රැල්ලෙ සයිස් එක කොහොමද කියල අපිට හරියටම හිතා ගන්න පුලුවන් උනේ ඒ භාගෙට හදන බ්ලොක් ගල් ගෙයි දෙවන තට්ටුවෙ ජනේලෙ උඩ මට්ටමටම පෙඟිච්ච පාර දවස් දෙකකට පස්සෙත් ඒ විදියටම තීනව දැක්කමයි.
අලියට පැගුනාම ගූ ගියාද කියල හොය වැඩක් නැතිබව ඒ වෙනකොට අපිට තීරිලයි තිබුනෙ.

ඒ නිසා අපි ලොකු අය්යලගෙ ගේ පැත්තට ගියා.

මුලු පැරෑලියටම ඉතුරුවෙලා තිබ්බෙ ඉස්කෝලෙ බිල්ඩින් ටිකයි ලොකු අය්යගෙ මිරිස් මෝලෙ ස්ලැබ් එකයි මැෂින් ටිකයි විතරයි. ගේ දොරකඩම තමයි අර මහ යකඩ යකා පැත්ත දාල වැටිල හිටියෙ.

තවදුරටත් ගෙවල් පැත්තෙ හොයල පලක් නෑ කියල තේරිච්ච නිසා අපි අලුත්වෙල, බටපොල ගෝනපිනූවල හැම අනාතකඳවුරකම ඇවිදල බැලුව කාගැන හරි හෝඩුවාවක් හොය හොය.

එහෙම හොයල හොයල යන්තන් ලොකු අය්යවයි අක්කවයි පුතාවයි හොයා ගත්ත.
පොළේ ඉඳල පළවෙනි රැල්ලට බයට දුවල ඒ ලඟ ගේක උඩ තට්ටුවට නැගපු නිසා ඒ අය බේරිල.

ඒත් අහල පහල බේරිච්ච අය දැකපු කියපු විදියට, පොඩි අක්කයි අය්යයි පුතයි තුන්දෙනාම එකට බදාගෙන ඉන්දැද්දි සොල්දරේම කඩාගෙන ගහගෙන ගිහින්! ලොකු තාත්තනං එතකොටත් සුරුට්ටුවක් උර උර ඉන්න ඇත්තෙ යට තට්ටුවෙ වෙන්ටැති!

ලොකු අය්යගෙ පොඩි උන් දෙන්න පළවෙනි රැල්ලට භය වෙලා ආච්චිත් එක්කංම දුවං ඇවිත් ගේ දොරකඩ නවත්තල තිබ්බ කෝච්චියට නැගල!

අන්තිමේ බටපොල ඉස්පිරිතාලෙ තිබිල හම්බ උනේ ඊට හයමාසෙකට කලින් අපේ මඟුල් දවසෙදි ලස්සන හිනාවක් දාං ඉස්සරහින් උන්න ඔන්න ඔය උඩ පිතූරෙ ඉන්න හන්සි දුවගෙ ( ලොකු අය්යගෙ පොඩි දුව ) ගෙ ඉදිමිච්චි, නිරුවත්, දත්මිටිකාගෙන අතපය මිටිකරගත්තු සිරුරයි, ආච්චිගෙ විරූපි සිරුරයි විතරයි.

අදට මේ හත්දෙනාම අපෙන් වෙන්වෙලා අවුරුදු හයක්!

මේ සේරම ඊයෙ වගේ මතක....කොහොම අමතක කරන්නද...කොහොම අමතක වෙන්නද?

අපේ පවුලේ හොඳම උන් ඩැහගෙන ඒ සතුට නැතිකල සුනාමිය...උඹ පිළිමවලට පෑ සෙනෙහස මිනිසුන්ට නොපෑවේ ඇයි?

ප/ලි

සුනාමියෙන් පසු ලොකු අය්ය සහ අක්ක තවම ඔවුන්ගෙ පැරණි නිවසේ පදිංචියට ගොස් නැත. පොඩි අක්කගේ ඉඩමේ කූඩරම් ගසාගෙ අධාර ගසකෑවො දැන් එහි නැති නිසා ඒ ඉඩම වල් බිහිව ගොසිනි. මාමගේ නිවසෙ කඩා වැටුනු අඩ හදාගන්නට දුන් ආධාරයෙන් හදාගත් වැසිකිලිය අල්ලපු වැටේ සුද්දෙක්ගේ අධාරයෙන් පොදු කාණුවක් ගොඩකර සාදා දුන් සුනාමි නිවාස වලට පින් සුදුවන්නට පොල්ගෙඩියක් වැටුනත් සුනාමි එන තරමේ වතුර විලක් මැදට වී බලා ඉන්නවාය. කඩේ යනගමන් ආ මහ රැල්ලට බියවී පොල්ගසකට නැඟ දිවි බේරාගත් පොඩී පමනක් බෙහෙත් වෙනුවට බලන්නට කෙනෙක් නැති නිසා ( ඔහුව බලා ගත්තේද පොඩි අක්කාය ) කවුරු කවුරුත් දෙන මුදලින් සූර් වෙමින් බොන්න එපායැයි බනිනතුරු එකෙකුගෙ ගෙදර ලගිමින් සතුටින් සාමදානයෙන් දිවි ගෙවන්නේය.

7 comments:

  1. සමහර විට ස්වභාවධර්මයත් දකින්න ඇති හිත් පිත් නැති මිනිසුන් අතරට පිළිම වත් ඉතුරු කලොත් එයින්වත් මේ සමාජය හැදේවිද හැදෙන්න පටන්ගනීවිද කියලා?

    ReplyDelete
  2. මේ සමාඡය වෙනස් කරන්න තව බොහෝ කලක් ගතටව්වි බන්..

    ReplyDelete
  3. මොනා කියන්නද සහෝ. අපි ආදරේ කරපු කී දෙනෙක් නම් සුනාමිය අරන් ගියාද. මැරුණු අයට දුකක් නැතුව ඇති. ඒත් ජීවත් වෙලා ඉන්න අය තවමත් දුක් විඳින තරම්..

    ReplyDelete
  4. මම අද ලාස්ට් රෝ එකේ ඔයාගෙ කොමෙන්ට් එක දැකල ඔයාගෙ බ්ලොග් එක බැලුවෙ දැන්,එත් මට හොඳට මතකය් ඔයාගෙ බ්ලොග් එක කියවල මම කොමෙන්ට් එකකුත් දාපු බව,ඒ වුනාට මගේ කොමෙන්ට් එක මේකෙ
    දැන් පෙන්න නැහැ. කොහොම වුනත් පිසාචයට දාපු කොමෙන්ට් එක වගේ එකක් තමය් දාන්න ඇත්තෙ.

    ReplyDelete
  5. කැලේ පාරකින් සෙට් වෙලා මේ සටහනට ගොඩ වැදුනේ.

    මාත් ඔය හරියට කිලෝ මීටර කිහිපයක් මෙහායින් "දෙයියෝ බලා ගත්ත" හරියක උන්නු එකෙක්. මොනවා හරි හේතුවක් හින්දා මොකුත් උනේ නැහැ කාටවත්. ඒත් ඒක දැන ගන්න තුරු මාත් ඔහොම බයේ වෙවුල වෙවුලා හිටියේ ගමනක් ගිය නිසා මේ ලොකේ මං තට්ට තනි අසරණයෙක් වෙලාදෝ කියලා.

    කුලීගොඩ හරියේ යාලුවෙකුට කතා කලාම ෆෝන් ඒක ගත්තේ උගේ නංඟී. නංඟී කිව්වා අයියේ අපි නම් ඉන්නවා ඒත් මේ ගමේ ජිවත් වෙලා ඉන්නේ හරි පොඩ්ඩයි. අපි මල කඳන් දිහා බලං ඉන්නවා කරන්න දෙයක් තේරෙන්නැතුව කියලා.

    හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ මහා කළු වතුර පාරක් මගෙ හිත හෝද ගෙන යනවා බං කාට කියන්නද?

    නැතිවුන හත් දෙනා ගැන මගෙ හද පතුලෙන් සංවේගය පල කරන්නේ, උඹේ සංවේගය තවමත් ඉවර නැති බව මට ම තේරෙනවා. මටත් එහෙමයි.

    ReplyDelete
  6. මේ බ්ලොග් එකට කවුද සැහැල්ලුව කියලා නම දැම්මේ...........

    ReplyDelete
  7. මේ ලෝකෙ හොඳ මිනිස්සුන්ට ආයුෂ නැහැ,

    ඒ මගේ අත්දැකීම. නමුත් හොඳ නරක සුනාමියට අදාල උනේ නැහැ :(

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails