Tuesday, July 26, 2016

වසන්තයක නිමාව...


හෙළ බස හරි අපූරු මෙවලමකි. සිංහලයෝ සිගරට් සහ අරක්කු බොති. නමුත් සිගරට් බීම සුද්දාට කිසි කලෙකවත් කල නොහැක. උන් බොන්නේ අරක්කු පමණි.

නිමාව යනු අවසානයම නොවේ. චිත්‍රපටයක් උපදින්නේ ඉතාමත් හොඳින් පිටපත, රූගත කිරීම් සහ සංස්කරණයද නිමාකල පසුය.

එලෙසින්ම බ්ලොග් වසන්තයේ මේ කියනා නිමාව, එහි අවසානය නොව ෆිනිශ් එකය.

පුරා දින 44 පැවති බ්ලොග් වසන්තය 2016 සහ එහි මත විමසුම ගැන මෙහි අප කලින් ලියා තැබූයෙමු.

දුමියාගේ සංකල්පයක්, මගේත් මාධවගේත් උපකාරයෙන් 2015දී අපට හැකි පමණින් එලිදක්වත්දී අපට සුභ පැතුම් මෙන්ම විවේචන, මඩ ප්‍රහාරද ඇති පදම් ලැබුනි.

ඔබ ඕනෑම පොදු කටයුත්තකට එක්විය යුත්තේ ඌරු පිට සහ බූරු හම ඇතිනම් පමණි යන්න ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටි මමත් දුමීත් ඒ සියළු අදහස් උදහස් අතරින් සීරුවෙන් ගමන් කරමින් සිතූ පරිදිම සාර්ථකව වසන්තය නිම කලෙමු.

ඒ 2015යි.

2016දී මෙය වඩාත් සාර්ථක සහ උත්කර්ෂවත් අන්දමින් කරන්නට අපට සිතුනේ, 2015දී ලද හොඳ සහ නරක ප්‍රථිචාරන් නිසාවෙන්මය.

අනෙක් කරුණ, 2016දී මමත් දුමියාත් එකම රටක අසල්වැසියන් වීමයි.

අපි මුලින් දුරකථනයෙන් සැළසුම් හැදුවෙමු. ඒ ගැන වැඩි විස්තර කතාවට සවසට එක්ව, වෙන විස්තර කතා කරමින් බෝතල් හිස් කලෙමු.

කාලය නම් අපට ඉතාම හිඟ වූ සම්පත හැකි පමණින් කළමණාකරනය කරගනිමින්, 2016 බ්ලොග් වසන්තය අප බලාපොරොත්තු වූවාටත් වඩා ලිපි සංක්‍යාවකගේ සහභාගීත්වයෙන් අවසන් කෙරිනි.

ඒ අතරතුර දරුවන් රෝහල් ගත කිරීම්, ගෘහ සේවිකා ප්‍රශ්ණ, වෙනත් පුද්ගලික සහ රාජකාරි ගැටළු දහසක් මා දුමියා පමණක් නොව අප නව ඇඩ්මින් කමියාටද මදි නොකියන්නට තිබුනි.

සියළු බාධක මැද බ්ලොග් වසන්තය නිමාව පසුගිය සෙනසුරාදා ගල්කිස්ස බෝට් හවුස් හි අප බලාපොරොත්තු වූවාටත් වඩා සුන්දර ලෙස සටහන් විය.

පමණක් මහ ගස් හට ගන්නේ මීමැස්සෙකුගේ පරාගණය මතිනි.

බ්ලොග් වසන්තය සොඳුරු නිමාවටද එලෙස උදව් කල බින්ඟුන්, සියොතුන් රෑණකි.

ඒ සියල්ලන්ගේම සහය නොලැබෙන්නට 2016 බ්ලොග් වසන්තය මෙතරම් උසස් ලෙස නිමා වන්නේ නැත. ඒ ගැන මමත්, දුමීත්, කමියාත් හද පතුලෙන්ම ස්තූති කල යුතුය.

ඔවුනට ගෞරවයක් ලෙස මට සිහිවෙන පිළිවෙලට ඒ නම් මෙහි ලියා තබමි.


බ්ලොග් වසන්තය මත විමසුම ක්‍රියාත්මක වන අතරතුර ඒ ගැන ඉතා අවධානයෙන් සිටිමින් අප දිරිමත් කල සපතේරු උන්නැහේ

වසන්ත සම්මාණ නිර්මාණයට උද්ව් කල ලයනල් බංඩාර නම් මගේ කාර්‍යාල සහෘදයා,

සම්මාණ සඳහා අති සුන්දර ආට් වර්ක් එකක් එක රැයින් හදා දුන් ව්ශ්වකර්මයා අසංග මංජුල,

සම්මාණ ප්‍රදානය ගැන දැනුවත් කිරීමට අවස්ථාව සලසා දුන් චෙෆාකි,

බ්ලොග් වසන්තය සම්මාණ ප්‍රදානයට ඒ සුන්දර තැන ලබා දුන් මිතුරු රොෂාන් මද්දුමගේ

කෙටි නිවාඩුව අතරතුර මේ කාරණාවන්ට අවශ්‍ය නිදහස දුන් අප බිරින්දැන් සහ පැටවුන්

මේ සියල්ලන්ම සමඟින් බ්ලොග් වසන්තය වෙනුවෙන් ලිපි ලියූ සියළුම දෙනාත්, වසන්ත නිමාව සාදයට එක්වූ ඇල්කෙමියා, ඉවාන්, මාතලන්, කුෂාන්, ජීවන, අටම්, ඇනොපිලිස්, ප්‍රා ජේ, බුද්ධි සහ මැරියන් කුමරිය, තිස්ස දොඩං ඇතුලු සියල්ලන්ටම දුමී, කමී, ඉන්දික, මාධව ඇඩ්මින් මඩුල්ලේ හද පිරි ස්තූතිය පුද කරමු!

එමෙන්ම, 2016 බ්ලොග් වසන්තය වෙනුවෙන් ලිපි ලියූ, ලංකාවේ සිටි බොහෝ දෙනෙකුට ආරාධනා කරන්නට නොහැකි වීම ගැන ඇඩ්මින් මඩුල්ලේ කණගාටුවද මේ සමඟම පලකල යුතුය. ඇත්තටම මේ හමුවට විවෘත ආරාධනාවක් කරන්නට හෝ විශාල පිරිසකට එන්නට කීමට නොහැකි වූයේ, දුමීටත් මටත් දරන්නට පුලුවන් බරෙහි, කරන්නට පුලුවන් වූ වියදමෙහි ඉතා දැඩි සීමාඅවන් වූ බැවිනි. ඒ හැර වෙනත් කිසිම නිර්ණායකයක් ඔබට අරාධනා නොකරන්නට බල නොපෑ බව මෙහි ලියා තැබිය යුතුමය.

ඉදින්, නිමාව අගනා බැව් සැවොම පවසන 2016 බ්ලොග් වසන්තය, වඩා උසස් සහ පුළුල් සහභාගීත්වයක් සහිත 2017 බ්ලොග් වසන්තයක ඇරඹුමක් වනු ඇතැයි, වසන්ත ඇඩ්ඩියන්ගේ එකම පැතුමයි. ඒ පැතුම් ඉටු වන්නේ ඔබ ලිව්වෝතින් පමණි.

පලි. වසන්ත නිමාවේ රස මුසු තැන් හෙවත්, ඇනෝපිලිස් මුහුදේ පැනීම, අටම්පහුරගේ චන්ඩිකම්, ජීවනගේ ගිටාර් වාදන පමණක් නොව ඊට පෙරදා සාදයක දුටු රවියාගේ දුරකථන සෙල්ලම, චෙෆාකිගේ කෑම ඈ නෙක රස මුසු පුවත් ගැන දැනගන්න, මඳක් රැඳී සිටින්න.

වසන්ත හමුව ඇල්බම් බලන්න



Sunday, April 3, 2016

උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ. socialist by the time he is 20..!




සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්

සටනට පෙරට ආව
සරසවි කඳුළු රෑන
හැදුවේ වීර දූ පුතුන්

සරසවි කඳුලු මාල
සොරකම් කරපු දාය
පෙලුවේ  පපුව ගිණි වලින්
ඒකයි කඳුලු මේ තරම්

සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගන්න
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්

අවසන කඳුලු යාය
ගම්බිම් පැතිර යාය
සටනට කඳුලු බත් බැඳන්
අර හිත තරුණ යාය
පෙරමග කොඩිය දාය
රටතොට බඳිව් මහ තොරන්

සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගන්න
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්

සරසවි කඳුල ගැන එසේ ගැයුවේ අදට වසර 13 පෙර අප අතරින් වියෝ වූ කපුඑග් සහ අද වන විට අනෙක් පැත්තේ සිටගෙන සිටින එඩ්වඩ් ජයකොඩි නම් ගායකයාය.

ලොව දහම එයයි. වෙනස් වන්නෝ ඉදිරියටම යන අතර වෙනස් නොවන්නන් වැනසී යයි.
තරුණ කාලයේ සමාජවාදියෙකු නොවන්නතා, වයසට ගිය පසු සමාජවාදියකු වන්නත් එක ලෙස මෝඩයින්යැයි කවුදෝ කියා තිබේ. 

තරුණ ලේ කකියන විට තමා හැඳ සිටින්නේ සරමක්ද සිවුරක්ද, නැතිනම් කම්බායක්ද යන්න අමතක වේ. 

මේ සත්‍ය දැනෙන්නෙ ඒ අත්දැකීමට මුහුණ දුන් තරුණයන් මිස තරුණ කල අම්මාගේ උකුලේ නැලවූනු සුකිරි බටිල්ලන් නොවේ. 

මේ වනවිට සමාජ ජාල වල ලොකුම මාතෘකාව, ජෝක් එක වී ඇති ඒ තරුණ හිමියන් දුටු විට මට ඇතිවන්නේ අනුකම්පාවකි. මන්ද ඒ සිවුර තුල සිටින්නේ තමන් නොකල තෝරා ගැනීමක් නිසා සිවුරට හිරව, අද ලැබෙන යම් පහසුකම්, ආර්ථික වාසි නිසා තව ටික කලකට එයින් ගැලවීමට ඉඩක් නැති තරුණයෙකු විය හැක.

මෙවැන්නන් වීරත්වයට හෝ අපහාසයට ලක්කිරීම යන දෙකෙන්ම වෙන්නෙ එක ලෙසම අවැඩකි. 

අද මේ ඇන්ගිල්ල උරුක්කු කරන සාදුම තවත් වසර කිහිපයකින් අනෙක් පැත්තේ සිටින්නට ඉඩ ඇත. ඒ අප අත්දැක ඇති සත්‍යයි. 


මේ මීට වසර හතලිහකට ආසන්න කාලයකට පෙර තිරගත වූ අමල් බිසෝ චිත්‍රපටයේ තිබූ සදාකාලික ගීයකි. 



කුරුට්ටන්, ජෙප්පන් මෙන්ම වමේ බහුතුරය මේ ගීයෙ කියන්නාක් මෙන් , ඉහත ගීය ගැයූ එඩ්වඩ් මෙන් වෙනස් වී ඇත. එසේ නොවූ කපුගේලා විනාස වී ඇත.

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ
පීඩිත පංතිය අපේ පංතියයි ඒ කාලේ
සමාජවාදය අපේ පාඩමයි ඒ කාලේ
විප්ලවවාදේ ගුරුවරු අපිමයි ඒ කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ
සීතල වීදුරු කාමරයක් ඕනෑ රාළේ
ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ
බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

If a man is not a socialist by the time he is 20, he has no heart. If he is not a conservative by the time he is 40, he has no brain. – Winston Churchill

Friday, February 12, 2016

ජයග්‍රහණය.. Cheers boss..!



කොඩිය දුවහන්, උඹට දුවන්න පුලුවන් හුxx.. දුවහන්...

උන් එහෙම කිව්වට මගේ කකුල් ගල් වෙලා, පපුව නැවතිල, හුස්මත් හිර හිරවෙලා..

කල්දෙමුල්ලෙ බෝ ගහ ගාව ඉඳල අඟුලාන පාරට, ඒතනින් ගාළු පාරෙ අඟුලාන හන්දියට, එතනින් ගොළුමඩම හන්දියට, අයිත් ගාළු පාර දිගේ කල්දෙමුල්ලෙ බෝ ගහ ගාවට.

වටේකට කිලෝමීටර් හතරක් විතර. වට හයට කිලෝ මීටර් විසි හතරක්.

උඹට දුවතෑකිද?

අමිලය එහෙම ඇහුවෙ දුක දවටපු වචන වලින්. මොකද ඌ තමයි මා එක්ක සහයට පිට්ටනිය වටේ දුවල දුර දුවන්න ස්පෝට් මීට් එකට ප්‍රැක්ටිස් කරේ. ඒත් උගෙ ඇඩ්‍රස් එක ගල්කිස්සෙ නිසා කල්දෙමුල්ලෙ ගම හරහ රේස් එකට දුවන්න බෑ.

කල්දෙමුල්ලෙ රේස් කප්පිත්ත අනිල් අය්ය. මිනිහ කොළඹ දිස්ත්‍රික්කෙන්ම පළවෙනිය, ඕල් අයිලන්ඩ් දුවන පොරක්. ඒ නිසා පළවෙනි තැනට තරඟ කරන්න දෙයක් නෑ. මගේ ටාගට් එක මුල් පහට එන්න.

ඉස්කෝලෙ 1500 දිව්වට මේක තමයි පළවෙනි මැරතන් එක.

මැරතන් දුවන්නත් තිබ්බෙ ඉස්කෝලෙ දාන කික්ස් සපත්තු දෙකම තමා.

කලු ෂෝටයි, කලු ස්කිනියයි ගහල, කටු බොඩියට ලොකු සපත්තු දාල ගත්තම අර පීක් පීක් ගාල දුවන කාටුන් කුරුල්ල වාගේ. මo ගැන මටම හිතුන.

මට දුර දුවාගන්න ටිකක් පුළුවන් කියල දැනන් උන්නෙ මායි අමිලයයි විතරයි. ඒ නිසා රුපියල් පහක් ගෙවල ඇප්ලිකේෂන් එක පුරෝල දෙනකොට අවුරුදු උත්සවේ සoවිධායක අය්යල ඒක මගෙන් ගත්තෙ "රුපියල් පහට තැන්කිව්" කියන්න වගේ.

තරඟෙ දාට කලින් දා මම කලිම්ම නිදියෑව.

අම්ම අර ගිලෙන්නැති රතු හාල් එක්ක සැමන් ටින් එකක් කඩල, තක්කලි සම්බලකුයි පරිප්පුයි හදල තිබ්බ රෑට කන්න.

අවුරුදු කිට්ටුව අපේ ගෙවල්වල කෑම බීම හරිම පරෙස්සම්. මොකද තෑගි ගන්න, කැවුම් කොකිස් වලට එහෙම ගියාම, කන්න බොන්න අම්මට ඉතුරුවෙන්නෙ හරිම පොඩි ගානයි, ඒකයි.

උදේම කෙසෙල් ගෙඩි තුන හත්‍රක් එක්ක පාන් පෙති දෙකක් ගිලල මායි මල්ලිල දෙන්නයි පිටත් උනා.

හතට තරඟෙ, පෝළිම් ගස්සන්නෙ හයයි හතලිස් පහට.

මගේ සෙට් එකට, මල්ලිල දෙන්නයි, අමිලයයි, අපී තුවෙනි පටුමගේ කොල්ලො සෙට් එකමයි ඉන්නව.

අනික් උන්ට සපෝට් එකට මෝටර් බයික්, පුෂ් බයික් එමට තියෙද්දි අපේ සෙට් එකටම තිබ්බෙ බයිසිකල් දෙකයි.

කල්දෙමුල්ල පාර මැදින් ලනුව ඇදල, සුදු ඉර ගහල, කට්ටිය පේලියට හිටවල.

කෙල්ලො, කොල්ලො පාර දෙපැත්තෙ ඉඳන් ඇස් බොලේ කරගෙන, පාරට එබීගෙන බලනව ලනුව පෙරලගෙන දුවන උන්ව බලන්න.

චීස් බෝල වගේ ඉන්න සමහර කොල්ලොන්ට උන්ගෙ අම්මල, තාත්තල පටන් ගන්නත් කලිම්ම ග්ලූකෝස් දීල. උන්ගෙ නාස් යටින් කට වටේට සුදු රවුම, හරියට අමිතාබච්චන්ගෙ රැවුල වගේ.

අනික් උන්ගෙ අම්මල ග්ලූකෝස් කවන්න මෙතන පොරකත්දි අපේ අම්ම ලිප ගාව කුඩු වලට පිඹිනව ඇති දවල් බත උයාගන්න.

අනික් උන්ගෙ තාත්තල යාලුවො එක්ක මෝටසයිකල් වල නැගල පස්සෙන් එන්න සැර දාත්ත්දි අපේ තාත්ත යාපනේ, නිවාඩු නෑලු මේ අවුරුද්දෙ.

ඒත් ඒ ඔක්කොම මැකෙන්න මට හිටිය එළ කොල්ලො ටිකක්. උන්ගෙ ගාව තිබ්බෙ වතුර පුරෝපු සිලි බෑග් ටිකයි, ගැම්ම පුරෝපු හිතුයි විතරයි.

ඒ මදෑ...

වෙළාව හතයි, කට්ටියම පේලියට...සමහරු මීටර් සීයට වගේ දෙකටත් නැමිල.

ටකස්...

අර ක්ලැප් එක සද්ද කලා...

දග්..දග්.. ගගා තාර පාරෙ අඩිය ලෙලි ගිය සපත්තු දෙකත් දාගෙන මම බන්ච් එකේම ඉස්සරහට ඇද්ද.

ඒත් ඒ වෙනකොටත් අනිලයි තව දෙතුන් දෙනෙකුයි බන්ච් එක කඩාගෙන ගිහින් ඉවරයි.

පළවෙනි වටේ නිකන් ඊයෙ තෙල් දාල ගත්තු බයික්කෙ වගේ. ඇදල යනව, ගානක් නෑ.

තුන්වෙනි වටේ වෙනකොට රෙසර් වලට වැලි ඇදල. දණ පොල්කටු කටකට ගානව. මගේ කලු සරීරෙයි කලු ස්කිනියයි එකම වගේ වෙලා, දාඩියටයි, වතුරටයි එකට ඇලිල.

කලිසම පෙඟිල, ඉන වටේ දාල ගැටේ දාපු නූල නැත්තන් ඒක බරටම මග හැලිල. ඒත් මන් දුවනව...

කොඩිය එල...ඔහොම යමන්..උඹට තව දෙන්නයි පාස් කරන්න ඕන දෙවනියට එන්න...

අපේ උන් කෑ ගහනව. බයිසිකල් දෙකේ හය දෙනෙක්. උන්ගෙ වැඩේ මට අර ගිණිගන්න ගේකට වගේ මග දිගට තීන පයිප්ප වලින් පුරෝ පුරෝ වතුර ගහන එක.

පස්වෙනි වටේ අග. මට තේරෙනව මගේ කකුල් කලව හරියෙන් කවුරු හරි තද කරල ගැට ගහනව වගේ. ඔළුව බර වැඩියි, තාර පාරෙ පතුල වදිත්දි ඔලුව ටික ටික පහලට බහින්ව බෙල්ල තලාගෙන.

ඒත් මම දිව්ව.

පහ ඉවරයි, හයට ආව..

කකුල් මාරු වෙන්නෙ අර ගල්කිස්සෙ WADSCO එකේ වීදුරු පෙට්ටියක තිබ්බ බට්ටො දොන්නෙක් වැනෙන ඔරලෝසුවෙ වගේ.

කකුල් දුවන්නෙ උන්ට වයින් තියල තියෙන නිසා. නැතුව ඉඟෙන් උඩ මට දුවන්න තියා හුස්ම ගන්නත් බෑ.

යාන්තන් ගාලු පාරට ආව...

කොඩිය තව ටිකයි...ඔහොම ඇදහන්..අර ඉස්සරහ යන එකාව පාස් කරානම් උඹ තුන.

උන්ගෙ සද්දෙ නිකන් මට ඇහෙන්නෙ ජිප්සීලගෙ කුරුමිට්ටන්ගෙ සද්දෙ වගේ.

මොකද කකුල් අත් විතරක් නෙමේ, කනුත් ලොක් වෙන්න අරගෙන.

කිලෝ මීටර් විසි හයෙන් විසි දෙකක් විතරම ඉවරයි. ගමනෙ අග.

මට ඉස්සරහින් තුන්වෙනියෙක් යනව කිව්වට මට පේන මගුලක් නෑ.

එකම දේ පේන්නෙ මගෙ කකුල් අස්සෙන් පස්සට යන තාර පාර විතරයි..

කල්දෙමුල්ල පාඅරෙ සීජීආර් පිට්ටනිය පහු උනා...

අන්තිම මීටර් කිලෝමීටරේ.

මට තුන්වෙනියව පෙනුන........... ඔව් මට ඌව පෙනුන.

ඒත් ඌ දුවන්නෙ මට වඩා හය්යෙන්. මගේ ලොක් වෙච්චි කකුල්, හිරවෙච්චි අත්, බර වැඩි ඔළුව ඉඩ දුන්නෙ නෑ මට ඌ ගාවට යන්න.

අපේ උන් වතුර ගැහුවට මගේ මුළු ඇඟේම පත්තුවෙන ගින්න, කටින් එලියට දාන දුම අඩුවෙන්නෙ නෑ.

මට හති.. මට හොන්දටම අමාරියි. මට පේන්නෙ නෑ.. මාව තෙමිල, ඒත් මට තිබහයි, අමාරුයි...

මම නැවතුනා... එක පාරටම නැවතුනා...අපේ උන්ගෙ නෙමෙයි මුළු ලෝකෙම දේවල් මට ඇහෙන්නෙ නැතුව ගියා...

තව අඟලක්වත් යන්න හය්ය නැති මාව, බීල ඉවර වෙලා විසි කරපු හිස් බීම පැකට් එකක් වගේ පාවෙන්න ගත්ත.

ඒ සේරම අතරෙ එක පාරටම...

අනේ ලොකු පුතේ දුවහන්කො...


සින්ඩරෙල්ලගෙ අම්ම දිවිය ලෝකෙ ඉඳන් ආව වගේ, කුඩු ලිපෙන් බත් එක බාල, නන්ගිවත් එක්කරගෙන අම්ම ඇවිත්.

රෑ සැමන් එක්ක පරිප්පු හදල බත් දීල, උදේ කෝලි කුට්ටු දෙක තුනක් දීල රේස් එකට එව්ව කොල්ල දිනනව බලන්න අම්ම ඇවිත්..

අපි දින්නත්, පැරදුනත්, බැනුන් ඇහුවත්, මොන දේ කලත් ඉවසපු, ඒ හැමදේම දරා ගත්තු අම්ම මම දිනනව බලන්න පලෙවනි පාරට ඇවිල්ල.

මගේ ඇස් වලින් බේරිච්චි කඳුලු ඔලුවෙන් වැක්කෙරන වතුර එක්කම පහල ගලාගෙන ගියා.


මම දුවනව... ඔව් මට පුලුවන්...

එහෙම හිතුනෙ කොහොමද, ඇයිද කියන්න අදත් මම දන්නෙ නෑ.

ඒත් නොපෙනෙන ගානට ගිය තුන්වෙනිය දිහා බලාගෙන ආයි මම දුවන්න ගත්ත..

අපේ එකෙක්ගෙ බයික් එහෙක පිටිපස්සෙ ලගේජ් එකේ අම්ම, ඉස්සර බාර් එකේ නන්ගි, හැනඩ්ල් එකේ පොඩී. උන් සේරම කෑ ගහනව එක හෝසෙට.

මෙච්චර වෙලා නැතුව තිබ්බ මගේ හය්ය උන්ගෙ හඬ දිගේ මගේ ඇඟට එනව තේරෙනව..

හුලo පිරෙත්ද්දි පිම්බෙන බැලුම වගේ ඒ හඬට මගේ හය්යත් වේගෙත් වැඩි වෙනව.

අන්තිම මීටර් දෙසීය විතර..

තුන්වෙනිය ඔහොම මෙහ්ම..

ෂෙල්ටන් කඩේ ගාව සෙනග එක රොත්තට..

මගේ වේගෙ වැඩි උනා....

මම ගහනව, අනිව මූව පහු කරනව....

ලනුව පාස් කරල මැරුනත් කමක් නෑ කියල ඉතුරු සේරම හය්ය අරගෙන මම දුවන්න ගත්ත...

අම්මයි නoගියි කෑ ගහනව අර සේරටම එහා සද්දෙන්...

මම කඟවේනවගේ වේගෙ වැඩිකරා....ඔව් මීටර් සීය දුවනව වගේ...

එකායි...අඩි දහයයි දෙකායි...අඩි දහයයි ..ඉවරායි....



එදා නෝ ප්ලේස් වෙන්න ගිය මගේ පළවෙනි මැරතන් එක මම ඉවර කලේ දෙවැනිය වෙලා. ඒකට මට ලැබුනෙ වීදුරු සෙට් එකක්. දෙවනියගෙ තෑග්ග දුන්වෙනියට දීල කියල පස්සෙ එක එකා කිව්වත්, අදටත් අපේ ගෙදර තීන ඒ වීරුදුරු කීපය තමයි මගේ මුල්ම ක්‍රීඩා ජයග්‍රහණය.

අපේ අම්ම ඒ අන්තිම මොහොතෙ නිරෝෂන්ගෙ බයිසිකලේ නැගල මාව බලන්න එදා මගට නාවනම්, මම ආයි කවදාවත් මැරතන් නොදුවන්න තිබ්බ. එහෙමනම් ඉන් පස්සෙ මම ගත්තු අනෙක් කිසිම දිණුමක් නොලැබෙන්න තිබ්බ්බ.

ඒ නිසා, නිසි මොහොතෙ තමන්ගෙ වැඩිමල්ලෙක්ගෙන් ලැබෙන චියර් එක කෝටියක් වටිනව.

ඒක දන්නෙ තරඟෙකට ගියල සෙල්ලo කරල පැරදුන / දිනපු එවුන් මිසක හාන්සිපුටු විචාරකයො නෙමේ.

දයාසිරි, මේ සටහන ලිව්වෙ උඹ වෙනුවෙන් ඇමතිතුමෝ. ඇස් බී වගේ ඇස් වහ නොවැදී එළ කොල්ලෙකු ලෙස ඉදිරියටම යන්න මෙන්න උඹට අපෙන් චියර් එක...

හිප් පිප් හුරේ..!

LinkWithin

Related Posts with Thumbnails