Thursday, February 17, 2011
බහරේන්වල මොකද වෙන්නෙ!
සය දෙනෙකුට මරු කැඳවමින් තවත් සිය ගනනකට බරපතල තුවාල සිදුකරමින් බහුතර ෂියා විරෝධතාව මර්ධනයකට ලක්කොට පැය දොලහක් ඉක්මගොස් තිබේ.
මහ කුණාටුවකට පෙර එන නිහැඬියාව බහරේන් අගනුවර සහ ඒ අවට වෙලාගත් සෙයකි.
දෙපැයකට පෙර මා නික්ම ආ සුපිරිවෙළඳසැලේ මිනිසුන් උතුරන්නය. කරත්ත පිරී තිබුනේ උත්සව කාලයේ මෙන් රසකැවිලි හා මස් වලින් නොව, පාන්, කිරි හා පිටි වලිනි. මිනිසුන් ඒ කරත්ත පුරවා බඩු ගත්තේ ආන්ඩුව දින දෙකකට පෙර සෑම ( දේශීය විවාහක ) පවුලකටම දුන් ඩිනාර් දහසෙන් ( රුපියල් ලෂ තුනකට ආසන්න මුදලක්) නොව තම අතැති කාසි, කාඩ් වලිනි.
රජුගේ දීමනාව ( විරෝධතාකරුවන්ට අනුව අල්ලස ) තාම කිසිවෙකුගේ අතට ලැබී නැත! ඒ සඳහා ලියාපදිංචිවීමට සහ තව නොයෙක් දේ කිරීමට අවැසිය ( කියනකොට එහෙමය-කරණකොට මෙහෙමය).
ගල්ෆ් රාජ්ය හවුලේ කුඩාම සාමජිකයාට දශකයකට පෙර තිබූ ව්යාධිය නැවත මතුව ආ සෙයකි. සමහරුන්ට අනුව මෙය ඊජිප්තු රැල්ලේ ප්රථිඵලයකි. තවත් සමහරුන්ට එය දසවසරකට පෙර වූ පොරොන්දු කඩකිරීමෙන් රජ පවුල ඉල්ලගන්න කෑමකි. තවත් අය කියන්නේ තෙල් සහ ගෑස් පිරි ගල්ෆ් අරාබි රටවල බලය ඇල්ලීමේ ඉරාන කුමන්ත්රනයක් කියාය.
කෙසේ වෙතත් මෙය මට පමණක් නොව මෙහි වෙසෙන දොලොස්දසකට ආසන්න ලාංකිකයන්ට හා හෙට දිනයේ අරාබියේ සිට ඩිනාර්, ඩිරාම් යවමින් ලංකාවේ ප්රධානම විදේශ විනිමය උල්පත වන සියලු ලාංකිකයන්ටද තීරනාත්මක ගැටලුවක් වීමට ඉඩ ඇත!
මා කොරහේ කිඹුලන් දකිනාවද විය හැක. නමුත් බුද්ධි අංශ මහ විසාල ගණනාවක් ක්රියාත්මක වන බහරේනය කොයි අතට හැරේදැයි කීමට තව ටික දිනකින් හැකිවෙනු ඇත.
ඩුබායි, සෞදි, කටාර් ගැන, ඉඳහිට ගුටිකා එන සහෝදරියක් නිසා හෝ පළමු ගල්ෆ් යුද්ධය නිසා කුවේට් ගැන හෝ අසා තිබුනාට බහරේන් සහ මැනමා යනු ලාංකික බහුතරයකට අසා පුරුදු අරාබිරටක් නොවන බව මට විශ්වාසය.
1931 මුලු පර්සියානු-අරාබි භූමියෙන්ම පළමු වරට තෙල් සොයාගත් රාජ්ය වුවද තම අනෙකුත් කලාපීය සගයන්ට සාපේක්ෂව ප්රමානවත් දියුනුවක් ලබා ගන්නට නොහැකි වූයේ මෙහි එදා සිට තිබෙන් දේශපාලන වියැවුල් ස්වභාවයයි.
පසුගිය වසර දෙසීයක කාලයක් මේ කොළඹ දිස්ත්රික්කය තරම් කුඩා රාජ්ය පාලනය කරන සුන්නි මුස්ලිම් අල් කලීෆා වරු තම තීක්ෂන වෙළඳ ඟානය උපයෝගීකර නිර්මානය කල අවස්ථා බහුතරයක ප්රථිඵල නෙලා ගත්තේ සුළුතර සුන්නි ජනකොටස බව බහුතර ෂියා සටන්කාමීන්ගේ ප්රධානම චෝදනාවයි!
රටේ ජනතාවට අල්ලහ් දෙවියන් දුන් ත්යාගයක් වන තෙල් සම්පත තනිව භුක්තිවිඳිමින් තමන් සුළුකොට සලකන නිසා රාජ්යපාලනයට අවස්ථාව ඉල්ලා මීට දස වසරකට පෙර ෂියා මුස්ලිම්වරු ගෙනගිය අරගල නිමාවූයෙ අහිංසක විදේශ ශ්රමිකයන් ගණනාවකගේද, සුන්නි, ෂියා සාමජිකයින් ගණනාවකගේද ජීවිත විනාසකර ලබාගත් ඡන්දක්රමය පදනම්කොටගත් පාර්ලිමේන්තුවකිනි.
දසවසරකට පසු හැරී බලනවිට එදා දුන් ඒ සුන්දර පොරොන්දු තවම පොරොන්දු ලෙසම පමණක් පවතින බවත්, පාර්ලිමේතුව කතාසාප්පුවක් පමණක් වන බවත් අද ෂියාවරුන් නගන තව චෝදනාවකි ( පාරම්පරිකව පත්වන රජෙක් නැතත් බොහෝ රටවල සිදුවන්නේද එයම බව තේරුම් ගැනීමට මෙහි ජනතාව තවම පරිණත වී නැත )
මේ සියල්ලේ තව පැත්තක්ද ඇත.
බහරේන් රජය තම වැසියන්ට හා සියලු විදේශිකයන්ට ( කලාපයේ අන් සියලු රටවල් හා සසඳන විට ) ඉතා ගෞරවනීයව සලකන හා ඔවුන්ගේ අවශ්යතා සහ අයිතිවාසිකම් වලට ගරුකරන රටකි.
මෙහි තරම් මුස්ලිම් නොවන ආගමික ආයතන කලාපයේ වෙන කිසිම රටක නැත. ස්වදේශිකයන් වැසිකිලි සේදීමේ සිට ගුවන් නියමුවන් දක්වා විදිශිකයන් හා සම සමව සේවයකරති! ජීවන වියදම හා නිවාස කුළිය අතින් දෙවැනිවන්නේ අසල්වැසි සෞදියට පමණි. සේවා වියුක්තිය 3.8% පමණක් වන අතර සෞක්ය, අධ්යාපන පහසුකම් ස්වදේශිකයන්ට සම්පූර්ණයෙන්ම නොමිලේය.දුරකථන සියයට සීය ඉක්මවා යන අතර අන්තර්ජාල පහසුකම් දේශීය ජනගහනයෙන් 80% ඉක්මවා ඇත. පසුගියවසරේ අයවැය අතිරික්තය ඩිනාර් මිලියන 380කි ( ඩිනාර් එකක් ආසන්නවශයෙන් රු.300කි ) සෑම ස්වදේශිකයකුටම රැකියා සහ ඒ ඒ රැකියා සඳහා අවම ( අතිශයින් සාධාරණ ) වැටුපක් රජයෙන් නියම කර ඇත. මහා මර්ග, පාසැල්, සෞක්ය සේවාව ඉස්තරම්ය. ඉන්ධන මිල වාහන මිල ශ්රීලාංකික අපට හිතාගන්නවත් නොහැකිතරම්වේ ( අලුත්ම ප්රාඩෝ රථයක් ලංකාවේ පාවිච්චිකල කොරොල්ලා කාරයකට වඩා අඩුය ). ණය පොලිය 3.5% කි.
මෙය ටියුනීසියාව හෝ ඊජිප්තුව ( සහ ලංකාව ) මෙන් සියල්ල තමන්න්ට පමණක් බෙදාගත් ආන්ඩුවක් ඇති රටක් නොවන බව මා අත්දැකීමෙන් දනිමි.
එසේනම් මේ තරම් පිරිසක් වීදි බැස ඇත්තේ ඇයි?
පළමු හේතුව බහරේන්හි ෂියා ජනතාව පට්ටගසනා " කලීෆා ගෙදර පල " යන්නට ඊජිප්තුවෙන් ලද උත්තේජනයයි.
එමෙන්ම ගල්ෆ් කලාපයට ඇස යොමා සිටින ඉරානයේ නූල් ඇදීමයි.( කලාපයේ විශාලතම ෂියා රාජ්ය වන ඉරානය තෙල් පිරි කලාපයේ රටවල් වලට තර්ජනයක් බව දන්න නිසා අද වන විට ලොව දෙවැනි විශාලම අවි මිලදීගන්න බවට එක්සත් අරාබි එමීරය පත්ව ඇත.)
එමෙන්ම ඇමරිකානු නාවික බලයේ මැදපෙරදිග කේන්දර්ස්ථානය වන බහරේන් වෙත යොමුවෙන ඇමරිකානු විරොධී හැඟීම්ද මෙම ගින්න අවුලුවාලයි.
ඒ හැර මෙහි දුප්පත්කම හෝ සමානව අවස්ථා පිලිබඳ ගැටලුවක් නැත!
ගැටලුව ඇත්තේ බහුතර ෂියා තරුණ පිරිස් තුල ඇති ඉගෙනීමට සහ වැඩ කිරීමට ඇති නොහැකියාව සහ නොකැමැත්තයි!
ඔවුන්ට සියල්ල නිකම් ලැබිය යුතුය. රජු පොළවෙන් ලැබෙන් තෙල් වලින් සැප විඳිනවාඅනම් එය අපටත් ලැබිය යුතුය. අපට තෙල් ඇත, එනිසා අප වැඩ නොකල යුතුය.
මේ සිතුවිලි නිසා මෙහි කිසිම ( ස්වදේශිකයන් පවා ) ආයතනයක් ෂියා තරුණයින් සේවයට ගැනීමට අකමැතිය. රජයෙන් අනිවාර්ය කර ඇති කෝටාව නොවන්නට කිසිවකු ඔවුන්ව සේවයට නොගන්නවාද ඇත.
අවාසනාව වන්නේ මේ තරුණයින්ගේ වැඩිහිටියන්ද ඔවුන්ට මේ සත්ය වටහා නොදීමයි. සියල්ලෝ සුපුරුදු ලෙස බොරදියේ මාලු සොයති.
අවසාන වශයෙන් කිවයුත්තේ " එනපොට හොඳනැති බව" පමණි.
හෙට පැවැත්වීමට තිබූ GP2 අවලංගු විය! මෙහෙම ගියහොත් තව සති දෙකකින් එන F1ද අවලංගු වනු ඇත.
මේ වන සිදුවීම් එකෙනෙක පටලවාගත යුතු නැත. ලිබියාවේ, යේමනයේ හෝ ඉරානයේදී කියවන ප්රකාෂන හැම රටටම වලංගුකරගත යුතු නැත. එසේ වුනහොත් වෙන්නෙ මේ කුඩා රාජ්ය තවත් අන්තවාදී බලකොටුවක් වී ලොව පුරාම නැවත තෙල් සහ ගෑස් අර්බුදයක් පැනනැගීම හා යුරෝපය සරණගතායන්ගෙන් පිරී යෑම පමණි!
මේ අද පාන්දර සිදුවු සිදුවීම් කිහිපයකි!
Subscribe to:
Post Comments (Atom)
නියමයි ඉන්දික අයියේ... මට දැනුන දේම ඔයා මාර පැහැදිලිව ලියලා
ReplyDeleteතියෙනවා...
එනපොට හොඳනැති බව නම් ඇත්ත මචන්
ReplyDelete@ කුෂ්
ReplyDeleteතැන්කූ මලේ..මට මේල් එකක් දාහං කතා කරන්න සෙට් වෙන්න.
@ බිඟූ,
ඔව් මචං හැම තැනම...!
මේ ගල් අරාබීන්ට මොලයක් තියෙන එකක්යැ. අනුන්ගේ පිහිටෙන් යැපෙන්න තමයි උන් බලන්නේ. තෙල් හම්බ උනේ නැත්නම් මුන් තාම හරක් වගේ ජාතියක්
ReplyDeleteකෝරලේ වලව්ව