
කාලයක් මම ලංකාවෙ බෞද්ධ ශිෂ්‍යන් සඳහා වූ උත්තරීතර ආයතනයෙ උපසභාපති කෙනෙක් වෙලා හිටිය. අද මෙහෙම උන්නට අල්ලට සිඟාවත් නැති කැවිලි කකා රට වටේ යමින් එමින් කැපවීමෙන් ලංකාවෙ බොදු සිසුන්ට කරපු සේවයෙන් ලබාපු අත්දැකීම් තමයි මගේ ජීවිතයෙ නියම විශ්ව විද්‍යාල අධ්‍යාපනය උනේ.
ඒ කාලෙ ගමනෙ දුර හා යොදාගත්ත වැඩ වල හැටියට දවස් ගනන තීරනය කරල, එක දවසකට උදේ කෑමට රුපියල් පහළවයි, දවල් කෑමට විසි පහයි රෑට විසිපහයි අරන් කොළඹින් බස් එකේ නැගල අනුරාධපුරේ වවුනියා කතරගම බිබිලෙ වගේ රට වටේම ශාඛා, රෝහල් සේවාවලට ගිහින් ළමයි වෙනුවෙන් සංවිධානය කරපු නොයෙකුත් ව්‍යාපෘතිවල ප්‍රගතිය හොයල බලල, උපදෙස් දීල අදාල පාසල් දහම් පාසල් වල දරුවන්ට කතා පවත්වල, ගුරුවරුන්ට කතා කරල, දෙමව්පියො ඔතල ( නම්මගන්නව යෙදූ වචනයකි ) ගතකරපු ඒ දුෂ්කර සමයෙ එකම සතුට උනේ මඟ දිගට ලබපු අත්දැකීම්.
ඔය වැඩවලට ආගිය ගමනකදි තමයි මට ලංකාවෙ වැඩිම දුරක් බස් තුනක මාරු වෙවී හොරෙන් ඇවිත් වාර්ථාවක් තියන්න වගේම, අනුරාධපුරෙ ඉඳන් කොළ්ඹට ඇඳිරිනීතිය මැද පැය දාහතරක් තිස්සෙ ගාටපු බඩු කෝච්චියක එන්නත්, පුන්චි බොරැල්ලෙදි කොත්තු වලට පිදුරු දාල හදනව කියල අම්බානෙක කන්නත් වගේම හුම්මාණය, වැව තැන්න වගේ ලංකාවෙ සුන්දර ස්ථාන ගනනාවක්ම එව්ව ප්‍රසිද්ධ වෙලා විනාස වෙන්නට කලින් දැක බලාගන්නත්, මුලතිව් ඇර ලංකාවෙ හැම දිස්ත්‍රික්කෙකම නාන්න හොඳ තැන් ගැන සෑහෙන දැණුමක් ලබාගන්නත් ලැබුනෙ.
ඇවිද්ද පය දහස් වටී කියන කියමන ප්‍රායෝගිකව අත්විඳින්න විතරක් නෙමෙයි, ආයතන පරිපාලනය, ලිපි සැකසුම, කළමනාකරනයේ මූලධර්ම, නායකත්වය, කථිකත්වය ඈ මෙකී නොකී සියල්ලම මුවහත්කරගන්න, ඔප මට්ටම් කරගන්න මහා සරසවියක් වෙච්චි සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයට මම එදත් අදත් ගරු කරන්නෙ බාලදක්ෂ දිවියටත් වඩා ජීවිතයට ලබපු ඒ පන්නරය අදටත් ජීවිතේ මහා බලයක් වෙලා තියෙන නිසයි.
දැං ඇඩ් ඉවරයි කතාවට.
මේ කියනා සිද්ධිය උනෙත් බොදු සිසු සමුළුවේ කැකිරාව රෝහල් සේවයෙ ( මෙය රෝහල කේන්දරකරගෙන ප්‍රදේශයෙ බොදු දරු දැරියන් එක්වන සමාජ සත්කාරයට යොමුවන සමුළුවයි ) පිරිත් පිංකමකටට ගිය විටකදීයි.
බොදු පාසැල් දරු දැරියන් විසින් සංවිධානය කරණු ලබන, ඔවුන්ගේ තරමට මහා ව්‍යාපෘතියක් වන්නා වූ එම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයට එහි පිටුපස සිට මෙහෙයවන්නන් වන අප සහභාගී වන්නේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමන් හා සම වූ විශේශ ගරු සැලකුම් ඇතිවයි.
එනිසාම පුරා රැයක් පිරිත් අසන්නට මෙන්ම ඒ අතරේ සප්පායම් වීමට, ඉසඹුලන්නට අපටද වෙනම කාමරයක් රෝහල් සේවකයින්ගේද අනුග්‍රහය ඇතිව සූදනම් වෙයි. ඒ කොළඹ සිට තකහනියක් එන අය්යලා අක්කලා එළ වනතුරුම පැදුරේ දණගස්සවා තැබීමට තරම් ඒ නංගිලා මල්ලිලා මෙන්ම සේවකයන්ද අකාරුණික නොවන නිසා මෙන්ම අප කෙරෙහි වූ මහත් ගෞරවයක්ද නිසාවෙනි.
මෙහෙම වෙන්වන කාමරය නොයෙකුත් රසකැවිලි, පළතුරු මෙන්ම රසකතා, අපහාස උපහාසයන්ගෙන් පිරුණු එකම රස ගුලාවකි. වෛද්‍යවරුන්, රෝහල් සේවකයන් මෙන්ම අපද තම රසවත් අත්දැකීම් සීනි පැණි එක්කර රසකර බෙදාදෙමින් නිදිමත තුරන් කරගන්නා අතර නැඟෙන උස් සිනා හඬවල් සීමාව ඉක්මවා යන අවස්ථාද නැතිවම නොවේ.
මේ සිදුවීමද එලෙස කැකිරාව රෝහලේදී ඒ කියූ "රස කාමරය" තුලදී එක් තරුණ වෛද්‍යවරයකු වෙනත් රෝහලකදී තම ගිළන් රථ රියැදුරු විසින් කී කතාවක් රඟ දක්වා කීවකි.
මේ කියනා ගිළන්රථ රියදුරා මඳ මුක්කන් කටක් හෙවත් "ග" සහ "ද" වෙනුවට "ඤ" යොදා අමතන්නෙකි. මෙනිසාම ඔහු කියනා සමහර වචන සහ වාක්‍ය බොහෝවිට වී ඇත්තේ දන්නෝ දනිතිය.
දිනක් ඉරුදින අවේලාවේ රෝහලට පැමිණි දොස්තර මහතා තම රියදුරා ඉතා කණස්සල්ලෙන් සහ කේන්තියෙන් සිටිනාබව විසින් නිරීක්ෂනය කර ඇත. හිතෛෂී සේවකයාගේ වෙනස තේරුම් ගත් කාරුණික සේව්යකු වූ මෙතුමා තම සිතැඟි සඟවන්නට නොසිතී...
"ඇයි ජයසේකර, අසනීපයක්ද්ද, නැත්තං කරදරයක්ද"
යයි ලෙංගතුව විමැසූ කල ලද පිළිතුර එතුමාම රඟ පා පෙන්වූ අයුරින්...
"ඤෑ../ සර් බලඤ්ඤකො ඥේ අපේ ඤෑනි ඤ්‍යුද්ත ළිඳේ ඥාගෙනනෙ!"
අමාරුවෙන් සිනහව තදකරගත් දොස්තර මහතා..
“ඒ මොනා කරන්න ගිහින්ද ඒ..”
යයි අසා ඇත්තේ මේ ඇසුණු දෙයනම් එසේ ඈ ගොඩ සිටිනා විට තනියම ළිඳට වැටිය හැකි යමක් නොවන නිසා උපන් වික්ෂිප්තයෙන් මෙහි අගමුල වටහා ගැනුමටය...
“ඤවුද සර් ඥන්නෙ.....ඥේ බඹ ඤහයක් ඉඳර එන ළිඳට ඕක ඤා ගත්ත කියල මම මොනා කරඥ්ඥද?
ඤේකි ඒ රජ ඉඤල එඥකොට ඥෙ ආපු ඤ්යුද්තලු.....ඉඥින් සර් ඤෙහෙමයි කිඃඅල ඥඃ මොනා කරඤ්ඤ අ.
ඤට පුළුඃඥ ඔය චූටි ඤ්‍යුද්ත ගඥ්ඥ ළිඳේ බඃඉඤ්ඤ..
අඃඉමට ළිඳඃ ඉඥල ඉඥල ඤ්‍යුද්ත ඤිබ්බෙ ඥැත්තං ඤ්යුද්තත් ඥෑ...බොඤ්ඤ වඃතුරත් ඥෑ මේ පෑඃඉල්ලෙ"
මේ පවසන්නේ කුමක් ගැනද?
රඟමින්....ඉතා දුකින් තම රියදුරා මේ පවසා ඇත්තේ තම බිරිඳ විසින් විදේශගතව සිට එනවිට ගෙන ආ "මුද්දක්" ළිඳේ වැටුන පුවත බව ඔහුට තේරී තිබෙන්නේ වෙනත් සේවකයකු එහි පැමිණ වටහා දීමෙන් අනතුරුවය. ඒ බව ඔහු විසින්ම කතාව අවසන පවසන තෙක් අපද වැටුනේ කුමක්දැයි සිතාගත් නොහැකිව නොයෙක් කුණුහරුප සිතමින් සිටියෙමු.
පලි
සිංහලය හෝ මලයාලම් බසින් හැර මෙවන්නක් මේ තරමින්වත් ගලපාගැනීමට වෙනයම් බසකින් හැකිවෙදැයි සිතාගත නොහැක.