Monday, January 30, 2012

බ්ලොග් නිසා මරාගමුද, මැරෙමුද, මරාගෙන මැරෙමුද?




කබලේ රස්නෙ පිට නොලියා ටිකක් යන්නට දී මෙය ලියන්නට හේතු ඇත. පළවෙනියෙන්ම මගේ සති අන්ත නිවාඩුව බ්ලොග් කෙරුවාවට යට නොකර පොඩි උන් දෙන්නා හා දේවී සමග ගත කිරීම වටිනා නිසාය. දෙවැන්න වෙරි මතින් සිටින්නවුන්ට, තරහින් පිපිරෙමින් ඉන්නවුන්ට හා බොග තදවී වැසිකිළි සොයන්නන්ට යන තුන් වර්ගයට යමක් කීමට ඒ තත්වයෙන් අත්මිදෙන තෙක් බලා සිටිය යුතු බැවිනි.

ලිංගිකත්වය වල්ලටද මල්ලටද ( මල්ල යනු හදවතයි ) යන මාතෘකාවෙන් පටන්ගෙන අභියාගේ හනුමාන් ඔප් එක හරහා මා කාන්තාවන්ට කල මහා තර්ජනය අවසන කාන්තා බ්ලොග් අඩවි දෙකක් වැසී ගොසිනි. බොහෝ අය හිත් රිදවාගෙනය, සමහරු තරහවී ඇත. එකියක් දිවි නහගන්නා බවටද තර්ජනය කර ඇත.

මෙය මාර කෙළියකි. බ්ලොග් යනු ජීවිතය නොවේ. ජීවිතය යනු බ්ලොග්ද නොවේ! දුකාට අනුව දුමී බ්ලොග් ලියන්නෙ ස්ට්‍රෙස් එක නැතුව යාමටය. උගේ කෙසේ වෙතත් ඒ ලියවිලි නිසා අපේ ස්ට්‍රෙස් එක නැතිවෙ. කතන්දරගේ කතන්දර තෝරාගැනීමම මාර් ස්ට්‍රෙස් වැඩකි. මඩ නැත්තන් අභියාගේ ද නයෙක් නැත්තං රංගගේ ද බ්ලොග් වල මෙලෝ රහක් නැත.ඒ අස්සේ පූසන්ට නොව මීයන්ට කවි ලියනා මහත්වරුන්ය.

මේ කිසිවෙකුත් තම ජීවිකාව හෝ පරම සුවය නිසා නොලියයි. ඔවුනට එය ජීවිතයේ විනෝදයට කරනු ලබන දේවලින් එකක් පමණි.

මගේ බ්ලොගය මට වැඩ අඩු වේලාවන් හි කාලය කා දැමීමට යොදා ගන්නා උපක්‍රමයකි. වැඩ අම්බානකට ඇතිනම් බ්ලොග්ද නැත, කමෙන්ට්ද නැත. මේ නිසා මට හෝ මා දන්න තරමින් ඉහත සඳහන් අයද ඇතුළු තවත් බහුතර බ්ලොග් කරුවන් කමෙන්ට් සහ ලිපි වලට එවැනිම මාධ්‍යන්ගෙන් පිළිතුරු දෙනව මිස කිසිවක් සීරියස් ගන්නා බවක් නොපෙනේ.

නමුත් කැරපොත්තා මරන්නටත් යුධ ටැංකි ඕඩර් කරන ගෑණු ළමයි ඔහොම තමා කියා සිත හදා ගත නොහැක. මන්ද මුන් ඇත්තටම දිවිනසාගතහොත් අපට වෙන පුද්ගලික අවාසියක් නැති වුනද කතාවට කියන්න සේ "ගැරඬි මරා පව් පුර්වාගතයුතු නැති” නිසාවෙනි

මා බ්ලොග් කියවීමට ආ මුල් දිවල ( මගේ අටමගලේ අටවාගන්නට පෙර නොහොත් කකාට පොර සීයලා ගැන ලියූ කාලයේ ) මේ බ්ලොග් අවකාශයේ සිටින ඉතාම දක්ෂ රචකයකු වන දුකාට ඔහු ලියනා ලිපි සුජීව ගේ නවකතා වගේ යැයි කීම නිසා පොඩි වාදයක් ගිය අතර එයින් කල අවිඥානික හෝ සවිඥ්ඥානික බලපෑම නිසා ඉන් මත්තට මා දුකාගෙන් එවැනි ගනයේ ලිපි නොදැක්කෙමි. මා කියු දෙයට දුකාගෙ හිත රිදුනාද විය හැක. එහෙත් විවෙචනය විවෙචනයක් ලෙස බාරගෙන ඒ කතා එතැනින් තබා අප අදද මිතුරන්ව සිටිමු. මූණිච්චාවට මිතුරකු ලෙස නොව දුකා විසින් මෙහි එවන් සටහනක් තබන්නට තරම් ලෙංගතු වී ඇත්තේ සහ මගේ මූණු පොතේ ඉන්නා බ්ලොග් රචකයින් දෙදෙනාගෙන් එකකුද වන්නේ අප කමෙන්ට් පෞද්ගලික පහරගැසීමක් ලෙස නොව එකිනෙකා ලියන දේ ගැන පමණක් වන විවෙචනයක් ලෙස බාර ගත් බැවිනි.

කකාට උගත් පී එච් ඩී ඇති ඇනෝලා ගහන්නේ ෆ්ලයින් කික්ය. සමහර එව්වා "උඹට අචාර්ය කම නැති නිසා කියවන ගොන් කතා" යයි පුද්ගලිකව කරන අවලාදය. එහෙත් බල්ලෝ බුරත්දී කන්ද නොසැලී තවලම ඉදිරියටම ඇදෙයි.

ජීවිතය යනු විඳින්නට ලැබුන දෙයකි. එය නිසි ලෙස විඳින්නට නොදන්නවුන් විඳවනා ආකාරය ගැන කණගාටුය. බ්ලොග් මඩක් නිසා දිවි නැතිකරගන්නවා, බ්ලොග් ලෝකෙ අතෑරල දානව වැනි දේ එක පැත්තකින් තඩි හුරතල් තර්ජනයන් ලෙස හෝ අනික් පැත්තෙන් මිනිසුන් සමඟ ගැටී නැති අඩු අත්දැකීම් ඇති අයගේ කතා ලෙස පිළි ගැනීමට සිදුවේ.
බ්ලොග් නිසා මරාගත යුතුනැත. එහෙත් බ්ලොග් වල මූලික අංගය වන සහ ඕනෑම අඩවියක දියුණුවට මඟ පාදන සංවාද සහ විසංවාදයන්ගෙන් ඈත්විය යුතු නැත. එයින් ඈත්වීමෙන් ඇතිවන්නේ ආන්ඩුවේ පත්තර මෙන් පිටකසා ගැනීමේ කලාවක් මිස බ්ලොග් නම් අනන්‍ය වූ මාධ්‍ය නොවේ.

අවසානයට කිවයුත්තේ කිසිවකු පැරදී නැත. දිනන්නේද නැත. මා මාගේ අදහසද ඔබ ඔබගේ අදහසද පලකිරීමේ වේදිකාවේ විනිසුරුවන් නැත. තෑගිද නැත. නමුත් ඉඳහිට හෝ මෙවන් වාද විවාද මඩ සහ ගුටි නොමැතිනම් මේ කලාව මෙතරම් රසවත් සහ ආකර්ශණීය නොවනු ඇත.

ප්‍රොෆයිල් ඇනෝලා, නන් ප්‍රොෆයිල් ඇනෝලා සහ නමින් ලියන්නන් යන සියල්ලන්ගේම අදහස් විවෙචන එකසේ මේ කෙත සරු කරයි. කිසිවකු කිසිවකුටත් වඩා හොඳ උසස් නැත. කුණුහරුපකාරයන් කුණුහරුප කීවාට කාටවත් බබ්බු ඇතිවන්නේවත් කාගේවත් බිත්තර පුපුරන්නේවත් නැත.උන් වවන දේ කපනු ඇත්තේ උනුන්මය. එනිසා සිදුවියයුත්තේ බ්ලොග් වලට මරාගෙන හෝ නොමැරී ලිපිවලින් පමණක් හැප්පෙන වඩා ආකර්ශණීය බ්ලොග් කළාවක් කරා යාමය.

තේරුම්ගතයුතු සත්‍ය මෙයයි. කිසිවෙක් කිසිවක් පුද්ගලිකව භාර ගැනීමෙන් වන්නේ තමන්ටම පාඩුකරගැනීම පමණක් මිස අනුන්ට බලපෑමක් නම් නොවන බවය.

පින්තූරය මෙතැනින්!

47 comments:

  1. කීදෙනෙක් මේක තේරුම් අරන් තියෙනවද කියන එක නම් දන්නෙ නෑ අයිය... හොඳ ලිපියක්...

    මම දකින විදිහටනම් සිංහල බ්ලොග් අවකාශය කියන එකේ ගොඩක්ම පේන්න තියෙන්නෙ තරහකාරයො චාන්ස් එක ලැබුන ගමන් මරාගන්න සීන් එකක් මිසක් තම තමන්ගෙ මතයන් ගැන හොඳ සංවාදයක් ඇතිකිරීමක් නම් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. සංවාද ඇතිවෙනවනම් කොච්චර හොඳද ? මෙතන වෙන්නේ ඒකෙ නෙමේනෙ .
      …ඔබ කිව්ව වගේ තමන්ගේ පුද්ගලික තරහවල් පිරිමසා ගැනීම .

      Delete
  2. ඔව් පර්සනල් කමෙන්ට්ස් නොදා තම තමන්ගේ මතේ විතරක් සාකච්ඡා කරානම් මේ ප්‍රශ්න නැහැ.

    ReplyDelete
  3. හොද අදහසක්. එකඟයි. අනේ මන්ද මම නම් ලියන්නේ ජොලියට මිස වලියට නොවෙමි. එහෙව් මා එක්කද වලියට එති. අනේ මගේ ඒ කාලේ පැනලා, පිත මෝරා බොහෝ කල්ය. හෙක්..... හෙක්.... ඔබගේ ලිපියට මගේ ආචාරය.

    ReplyDelete
  4. මේ වාද විවාද හමුවේ මා හුදෙක් ප්‍රේක්ෂකයින් පමණක් වී සිටියේ හේතු කිහිපයක් නිසාවෙනි , එනම් මා ඔබ බොහෝ දෙනෙක් තරම් ප්‍රවීණ බ්ලොග් රචකයෙකු නොවීමත් , ඒ සමහර කරුණු පිළිබඳව මා ද විස්තරාත්මකව කතා කර තිබූ නිසාත් ( සමහර ලිංගික ගැටළු ) , විශේෂයෙන්ම මේ වගේ පුංචි සුන්දර “වලි“ වලට මැදි වන්නට තරම් සුදුසු වයසක මා නොවන බැවිනුත්ය . නමුත් සියල්ල අවසානයේ යම් නිහැඩියාවක් ඇති නිසාවෙන් මෙය ලියමි.
    බ්ලාග් සටහනක් යනු පෞද්ගලික හිමිකමක් බව මමද පිළිගනිමි , නමුත් එය අතිශ්‍යය පෞද්ගලික නොවන වගද කිව යුතුය , එසේ වන්නට නම් බලොග් සටහන වෙනත් කිසිවකුටත් බලන්නට නොහැකි වනසේ “තමාට පමණක්“ බලන්නට හැකි වනසේ තබා ගත යුතුය . ඒ නිසා මේ පෞද්ගලික සටහන “පොදු මතයකට“ , පොදු හමුවිමකට මග පෙන්වන්නකියි මගේ පිළිගැනීමයි . මෙය එක්තරා විදියකින් තමන්ගේ ගෙවත්තේ මැද ගසා තිබෙන කටවුට් එකක් වැනිය , එය තමන්ගේය , නමුත් ගේට්ටුවෙන් පැමිණ හෝ තාප්පෙන් එබී බලා පිටත ඉන්නාවුන්ටද එය කිය විය හැකිය , එසේ කියවන්නට පිටත ඉන්නා වුන්ද පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි . ඉතින් ඒ කටවුට් එකේ අන්තර්ගතය හරි නම් “ප්‍රෙක්ෂකයින්“ ඊට එකඟ වන අතරේ එය වැරදි නම් ඔවුන් අතරේ “කසුකුසුවක්“ මතුවිම සාමාන්‍යය. විටෙක් ඊට ඉස්සර ගෙදර එකා ඊට ලොකුවට කටවුට් එකක් ගසන්නටද ඉඩ තිබේ , එය නිදහසයි , නමුත් මේ කටවුට් ගසා ගැනීම “යුද්ධයක්“ කරගෙන කටවුට් වලින් දමා ගසා ගැනීමක් කළ යුතු නොවේ , කටවුට් තිබුණාවේ , අපි ඒවා බලමු , කතා කරමු , තවත් කටවුට් හදමු , (නමුත් කටවුට් එක තමන්ගේ උනත් එහි සටහන් තබන දෑ අනෙකාට හිරිකිතක් උපදවන්නේ නැති තරමට අය වටී යැයි සිතමි , නමුත් මෙ වැකියෙන් පසුගිය දින පුරා ඔබ අතරේ සාකච්ඡා වූ සමහර කරුණු නොවැදගත් යැයි නොකියමි , ඒ කරුණු සමාජය තුල කතා විය යුතු , එහෙත් එසේ සිදු නොවන , අපේ සමාජයේම එකතරා පැති කඩකි . ) ,

    එසේ නම් මගේ සටහන නිමා කරන්නට පෙර ඉල්ලීමක් කරමි , මේ ඔබ සැමගේ “සොඳුරු තාරුණ්‍යයි , එහි ආවේග , ගැටම් , කළබලකාරී බව පොදු තත්ත්වයකි ,එසේ නොවන්නේ නම් එයම ගැටළුවකි . තරුණ වයසට කළ යුතු , කී යුතු දෑ ඒ වයසේ කළ යුතුය ,ඒවා අපවන් වියපත් වූ කළ කළහොත් එයයි වරද , නමුත් ඒ හැම හමුවේ “තාරුණ්‍යෙය් සොඳුරු උණුසුම් සතුට“ රඳවාගන්න ,

    දරුවානේ , මිතුරනේ , එක් වෙන්න , ආයෙත් මේ හැමෝම “සිංහල බ්ලොග් කළාවේ“ රසයෙන් බැඳෙන්න ..ඔබ හැමෝගේම ශක්තිය එක්වූ කළ එය රටේ වෙනසක් , විශේෂයෙන් මතවාදී වෙනසක් කරන්නට තරම් බලපෑමක් කරන්නට වුවත් හැකි බලයකි .

    අවසන ..මගේ බ්ලොග් සටහනේ “අරමුණෙන් “ සමුගනිමි , අදහස දිග් වූවාට සමාව බජනය කරමි , එමෙන්ම මා වැරදි නම් කියන්න , මම එය අසා සිටිමි , වැරදි තැන නිවැරදි කරගන්න වෙර දරමි .

    ““සිංහල බ්ලොග් කළාව යනු digital spaceහි සුන්දරතම බිම් කඩකි" යි , මම සිතමි .විටක එතුල සුන්දර සිනවන් දෝරෙ ගලා යත්දි , තවත් විටෙක සහෘදයා පිළිබඳ සංවේදී බවෙන් පිරීගිය හෘදයාංගම මිත්‍රත්වයේ සුවඳින් පිරී යන්නේය එලෙසින්ම ආදරයේ සුන්දර හැඟීම් වලින් සාරවත්ව සුන්දර පැතුම් දළුලා වැඩෙන්නේ සුන්දර බිම් කඩ තවත් සොඳුරු කරමිනි . මේ සොඳුරු බිමේ ....පන්සලක , පල්ලියක හෝ කෝවිලකදී ලැබෙන , දැනෙන සිත් සුවයම විඳිය හැකි අධ්‍යාත්මික ගරු බිම් බොහෝය , කැටපෝලයේ පටන් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ද කුස්සියේ ලුණු පොල්කට්ටේ සිට ඔබේ උකුලේ සුවයෙන් රැදී සිටින Laptop එක දක්වා ඇති තාක්ෂණයය පිළිබද ඔබේත් මගේත් දැනුම් පිපාස සන්සිඳුවන දැනුම් දැනුම් උල්පත් බොහෝය ... ඉතින් මේ සරු බිමින් නිසි පලදාවන් නෙලා ගැනීමේ වගකීම ඔබ මා සතුය..“

    ReplyDelete
  5. මම නම් බ්ලොග් ලියන්නෙ කියවන්නෙ යම් කිසි වින්දනයක් ලබන්න. මරා ගන්න ඇයි කියලා මට නම් තේරෙන්නෙ නෑ.
    Bambi කියන Walt Disney ගෙ කා‍ටුන් එකේ Thumper කියන චරිතය කියපු එක කතාවක් මම අදත් ජීවන දර්ශණයක් හැටියට පාවිච්චි කරනවා.Thumper හුරතල් ළමා කටහඬකින්න් කියන මේ වාක්‍යය බලන්න. "If you have nothing nice to say, don't say anything at all."

    henryblogwalker the Dude

    ReplyDelete
  6. වටින කතාවක්. මම නම් බ්ලොග් ලියන්නේ මට හිතෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්න. ඉතින් මං ලියන දේවල් වල වගකීම වගේම ඒවාට එන ගල් මුල් සමසිතින් බාරගන්න මට පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරිනම් මම කාටවත් කිසිවක් නොකියා ලියන එක නවත්තන්න ඕනේ. එච්චරයි. මොකද මේක මගේ රස්සාව නෙවෙයි මේක මගේ ජීවිතේ නෙවෙයි. සයිබර් යායේ තවත් එක බ්ලොග් එකක් විතරයි.

    ReplyDelete
  7. සහතික ඇත්ත අයියේ.. දැන් නම් මේ රණ්ඬු නිමයි වගේ.. ඒක හොදයි.. මේ බ්ලොග් ලියන අපි කවුරුවත් මේකෙන් ලාබයක් බලාගෙන ලියන්නේ නෑ.. ඉතින් ඇයි බිස්නස්කාරයෝ වගේ රණ්ඩු වෙන්නේ??

    ReplyDelete
  8. සහතික ඇත්ත.එත ඒක අනෝ කෙනෙක් මගේ බ්ලොග් එකට ඇවිත් කිවුවා සිංහල බ්ලොග් කියන කිසිකෙනෙක් උගතුන් නොවෙයි මෝඩයින් රැලක්ය කියල.මෝඩයි රැලකට මෝඩයින් කියන්න ඒ ඇනෝ කෙතරම් මෝඩ විය යුතුද?

    ඒක එක්කනේ වින්දනය වෙනස්.

    ReplyDelete
  9. මට පහුගිය කාලේ ඇවිලුනු යුද්දේ ගැන කිසිම අදහසක් නෑ අප්පා හැබැයි බ්ලොග් දෙකක් වහලම දාලා කියලා අද මියුරු අක්කගෙන් දැනගත්තේ මෙහෙම මරාගන්න වැඩක් යෑ උපේක්ෂා සහගතව හැම දෙයක්ම බලත්වා තමයි කියන්න වෙන්නේ

    ReplyDelete
  10. මගේ අදහසනම් මේකයි.
    අපේ බ්ලොග් වල අපිට කැමති දෙයක් ලිව්වැකි. ඒවට අකමැති අයට අකමැති බව කියලා කමෙන්ට් කෙරුවැකි. ඉතිං එහෙම කෙනෙක් තමන් කිව්ව දේට විරුද්ධ උනාය කියලා තරහා අරගෙන නම් හරියන්නේ නෑ.

    ReplyDelete
  11. //තේරුම්ගතයුතු සත්‍ය මෙයයි. කිසිවෙක් කිසිවක් පුද්ගලිකව භාර ගැනීමෙන් වන්නේ තමන්ටම පාඩුකරගැනීම පමණක් මිස අනුන්ට බලපෑමක් නම් නොවන බවය//

    එහෙම බලපෑමක් කාටවත් නැත්තම් ඇයි මේ වැසී ගිය බ්ලොග් ගැන ආයෙම ආයේම කත කරන්නෙ කියන එක නම් මට ගැටළුවක්.

    බ්ලොග් එකක් යනු පෞද්ගලික සයිබර් දින පොතක් යැයි මම අහලා තියෙනවා. දින පොත තමන්ට ඕනෑ නම් ලියන්නත් එපා නම් නොලියා ඉන්නත් ලියන්නාට අයිතිය තියෙනවා.ඒ අයිතියට අපි ගරු කරනවා මිසක් ඒ ගැන දිගින් දිගටම කතා කරන එකේ තේරුමක් තියෙනවද ?

    ReplyDelete
  12. කියන්න දෙයක් ඉතුරු නොකරම ලියල . . . .

    ReplyDelete
  13. ඔබ මේ කියන්නේ පරම සත්‍යයකි
    අපගේ ගෙෘරවයද ඔබේ නමට පුදකරමි !!!
    lkgossipnews.blogspot.com

    ReplyDelete
  14. අනේ උන්ගේ රංඩු. මට ඔය ලිපි දැක්කාම හිතුනේ පොඩි උන් වගයක් කියලා. විහිලු වගේ මමනම් ගිහිලවත් බැලුවේ නෑ මොකඩ උනේ කියලා මම දන්නෙත් නෑ හොයන්න ඕන කමකුත් නෑ. මම බ්ලොග් ලියන්නේත් සිංඩි කරන්නෙත් විනෝදාශයක් විදියට. නමුත් සමහරු ලිංගික ලිපි ලියන ආකරය රංඩු වෙන ආකාරය දැක්කාම මට උන්ගේ මානසිකත්වය හිතාගන්න පුලුවන්.

    ඔවාගේ විහිලු දැක්කාම හෝදම දේ නොදැක්කා වගේ ඉන්න එක. (ඔය රංඩු උනා කියන දෙගොල්ලෝ එකෙනෙක් වෙනත් පුලුවන්. )

    ඔයාගේ ලිපියත් සම්පුර්න ඇත්ත ස්තුතිය.

    ReplyDelete
  15. කාලෝචිත ලිපියක්...

    ReplyDelete
  16. මම නම් කියන්නේ රණ්ඩුත් ඕනා බ්ලොග් කලාව හෙන කම්මැලි වේගෙන ආවේ දැන් ආයේ මාර ගැම්මක් තියෙන්නේ

    ReplyDelete
  17. කමෙන්ට් එකක් කියන්නෙ එක් කෙනෙකුගෙ අදහසක්...ඒකෙ භාගය ගත්තොත් මගේ බ්ලොග් ලිපියක නම් කමෙන්ට් එකක් කියන්නෙ කියවන දෙසීය දෙනෙකුගෙන් එක් අයකුගේ අදහසක්...
    මේ බ්ලොග් අවකාශයේ ඉන්නෙ මෝඩයෝ රැලක් කිව්වම....ඒ කිය්නනෙ එයාගෙ අදහස...ඒක වැරැදියි කියන්න බෑ..අපේ සමාජය බුද්ධිමය අතින් සහ සංස්කෘතික අතින් පුදුමාකාර විදියට ගරා වැටිල...අපේ නාට්‍ය අපේ සිනමාව, අපේ නවකථා, අපේ කෙටිකතා, කියල ජාතියක් නෑ කියන තරමට වර්ථමානය පත්වෙමින් යනවා..
    යම් කෙනෙක් මේක මහ මෝඩ රැලක් කිව්වම ඒ කියන්නෙ මෙ ලියන අය නොලිය ඉන්න ඕනි කියන එක නෙමෙ..තව තවත් විවිධාකාරයේ දේවල්...විවිධ සිද්දි...අලුත්ම ආකාරයේ නව දේවල් මෙයට එකතු වී මේ ඉන්න බ්ලොග් කස්ටර්මර්ස්ල දෙතුන් දාහ තවත් වැඩිකරගන්න ඕනි කියන එක..
    ඉන්න දහදාහකටත් අඩු බ්ලොග් කියවන්නන් ගාන එකිනෙකා මරාගත්තට කිසිම අවුලක් නෑ..ඒත් හැමෝ ලගම තියෙන්න ඕනි අපි මේ බ්ලොග් කියවන්නන් ගාන වැඩිකරගන්න ඕනි කියන අදහස...

    ReplyDelete
  18. මරාගෙන මැරෙමු....!!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න දවසේ කමෙන්ට් එක!

      Delete
  19. තව මොනා කියන්නද ? ඔය ලියලා තියෙන්නෙ ලෙසටම..

    ReplyDelete
  20. අර පොටෝ එක කොහෙන්ද? ගැල්ලමයි ගහගන්නවා. පිරිමි ළමයි පොටෝ ගහනවා....

    මමත් බ්ලෙග් ලියන්නෙ.....ම්..... ඇත්තට මම බ්ලොග් ලියන්නෙ මොකටද එතකොට!!!! :P

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් ගෑනු ළමයි ඉන්නේ..
      ඒ ඉන්නේ වයසක උන්දලා ටිකක්නේ.... :)

      Delete
    2. ආ.....................................................................................ඔය ඉන්නෙ ගැල්ලමයි තමා. ඒ ගොල්ලන් කවද්ද වයසට යන්නෙ :P

      Delete
    3. ඇනි ටයිම් කවී.......

      ලොකු, හොඳ වෙලාවට මේ ටික කියලා මම කමෙන්ට් එක නතර කලේ.!

      Delete
    4. "ඇනි ටයිම් කවී......."

      කොකෙක් ගිය උඩ!

      Delete
    5. උඩදී බලාගන්න එකයි කොකාගෙ සුද!

      Delete
    6. කොකාගේ පන ඔබේ පන මෙන් රැකගන්න

      Delete
  21. එහෙම පුළුවන්ද... බ්ලොග් එකේ අපේ මතේට විරුද්ද වුනොත් මරාගෙන මැරිය යුතුය... ඇනෝ කමෙන්ට් දාගෙන හරි වලිය ඇදිය යුතුය. බැරිම නම් අපි බ්ලොගය වසා දමා සියදිවි හානි කර ගත යුතුය.

    ලිපිය +++++++++++

    ReplyDelete
  22. අත් දෙකම ඉස්සුවා ඕන් ....
    එල ... ලොවෙත් නැත, ලොවි ගහෙත් නැත, ගහ ලොවෙත් නැත හිහ් .. හිහ් ...

    ReplyDelete
  23. සෑමා ලිව්වා. පොස්ට් කලා. ලියන එවුන්ගේ ඒව පුළුවං තරමක් කියෙව්වා..

    සරලයි.. !

    ReplyDelete
  24. බ්ලොග් ලියන්නේ ඇයි මාර කෙස් එකක් පොස්ට් එකක්ම දාන්න වෙයි වගේ. බ්ලොග් ලෝකයෙත් අනික් හැම දේකම වගේ හොඳ නරක දෙකම තියෙන්වා. ඒකත් සාපෙක්ෂ දෙයක්. මොකද කෙනෙකුට හොඳ දේ තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. අවංකවම කියනවනම් බ්ලොග් ලිවීමෙන් මම නම් ළොකු වින්දනයක් ලබනවා. මොකද කුඩා කාළේ පටන් ලියපු කවි කතන්දර වලින් ඕනමනම් 5-6 පලවෙලා ඇති පත්තර වල. ඒ කාළේ ඉඳන් ලියපු කවි ඔක්කෝම නැතිවෙලා (ඒක වෙනම කතාවක්).
    ඇනෝලා නැති බ්ලොග් කලාවක් නෑ. සමහර ඇනෝලා දෘරුණුයි. නමුත් මෙහිදි වඩාත් වැදගත් වන්නේ. ඔහුන් දෙසත් සානුකම්පිතව බැලීම හා. එහිත් යමක් ඇතිදැයි බැලීම. කුණුහබ්බ කියන එක සිංහල සමාජයේ මහ ළොකු දෙයක් නෙමෙයි. ඒවට ඒ භාෂාවෙන්ම උත්තර දුන්නහම වැඩේ ඉවරයි. නැත්නම් හොඳම දේ නිහඬව සිටීම. අන්තර්ජාල සංස්කෘතිය තේරුම් ගන්න තාක් සිත් රිදීම්, බැනගැනීම්, මරාගැනිම්. අපවාද, කුණුහබ්බ කියන දේවල් තියෙයි. අවංකව කල්පනා කරන්න.... ඒවලිනුත් ආතල් එකක් ගන්නවා නේද. අඩු ගානේ වෙන බ්ලොග් එකක තියෙන ඒවලින් හරි. ඔය කුණුහබ්බ සංස්කෘතිය ඕනම තැනක උප සංස්කෘතියක්. සෙත්කවි වගේම වස්කවිත් කියන රටක්නේ..

    ReplyDelete
    Replies
    1. මාතලන් මාමාගේ කතාව සම්පූර්ණ ඇත්තය.කුණු හරුප වලින් එන ඇනෝලාට කුණු හරුපෙන්ම දිය යුතුය නැතහොත් නිහඩව සිටීම මැනවි.

      Delete
  25. බ්ලොග් කරන හැම එකාම ඔහොම හිතනවා නම් මේ බ්ලොග් යායත් මල් වලිං පිරි මල් වත්තක් වගේ වෙයි ඒකාන්තයි.එහෙත් අවාසනාවකට වලියට බර ඩෝප් කාරයෝ,කාරියෝ බ්ලොග් කලාව කෑමට පටන් අරන් උන්ම නැසෙන්නේය.බ්ලොග් කලාවත් නසන්නහුය. :D (පට්ට ලිපිය අයියේ.)

    ReplyDelete
  26. බොහොම හොඳ ලිපියක්.

    ReplyDelete
  27. හැමෝම මේ දේ තේරුම් ගන්නවා නම් කොච්චර හොඳද.... අපි මෙහෙ එද්දි වලි ඉවරයි. ඒකත් හොඳයි... :)

    ReplyDelete
  28. වැදගත් ලිපියක්.හේතු නොදනින නමුත් සැමතැනම බ්ලොග් අවකාසේ වලිනම් මමද දැක ඇත.මමනම් මගේ බ්ලොගයට ලිපි ලියා සතුටක් විදින්නෙකි.කොල්ලෙකුගෙන් තවත් කොල්ලෙකුට අහගන්න බැරි "උඔට පිංසිද්ධ වෙනවා බං" යන වදන කිහිප වරක්ම කොමෙන්ටු ඔස්සේ ඇසීමට තරම් මම වාසනාවන්ත බ්ලොග් කරුවෙක්මි.

    ReplyDelete
  29. අනිවා..කොල්ලනේ කෙල්ලනේ මිතුරු දමින් එක්වවූ

    ReplyDelete
  30. එකඟ වෙන්න පුලුවන් ලිපියක් , ඇනෝ ගැන අදහස ලිපියකිනුත් තව තැන් වලත් කියල තියෙයි , ඒක උබේ අදහසට සමානයි ම්ම හිතන්නේ .

    ඔය බ්ලොග් කරුවන් කාරියන් ලියන දේවල් අල්ලලා විරුද්ධ ලිපියක් ලියන එක පරිස්සමෙන් කරන්න ඕනි වැඩක් , සමහර අයට දරාගන්න අමාරු වැඩක් . දේශපාලන බ්ලොග් කරුවන් අතර සුලභ දෙයක් වුනත් අනිත් අයට ඒක පොඩ්ඩක් අවුල් . කමෙන්ටුවකින් කියන්න තියන දේ කියනව මිසක ආයෙමත් ඒ ගැන ලිපියක් ලියන්නේ නැ මම ලේසියෙන් .ලොකු ලොක්කන්ගෙන් ගේම ඉල්ලන දේශපාලන බ්ලොග් කෙරුවවා ලෙසියි සමහර බ්ලොග් කරුවන් ගෙන් ගේම ඉල්ලනවට වඩා

    මම නම් බ්ලොග් ලියන්නේ සමහර දේවල් ගැන මගේ මතය එලියට දාන්න , එතනදි වාද කරන්න , බැන ගන්න ඕනි එකක් මට ඔට්ටුයි .මෙතනින් එලියෙදි බ්ලොග් ගැන හිතනව නම් ඒ අලුත් ලිපියක් ලියන්න මොනව හරි දෙයක් මිසක් අර කරපු වාද ගැන නෙවෙයි . මම හිතන්නේ බ්‍රව්සරය ක්ලෝස් කරල දාන කොටම බ්ලොග් ජීවීතය අමතක කරල දානව නම් කාට කාටත් හොඳයි

    ReplyDelete
  31. හැමෝම මේක තෙරුම් ගත්තනම් කාලෙත් ඉතුරුයි... වැදගත් දෙයක් ලියන්න කියවන්න අවකාශ ලැබෙනව...

    ReplyDelete
  32. බ්ලොග් කෙරුවාව තමන්ගේ බවද තමන් කරන කියන දේ තමන්ට බවද පිළිගනිමි. අවිවාදිතය. නමුත් අර කවුද කිවුවා වගේ මගේ කුඩය වැනීම ඔබේ නාසය අගින් කෙලවර විය හැකිය යන ආකාරයේ බ්ලොග් කෙරුවාවක් කිරීමට නම් මගේ අදහසක් නැත.කෙසේ වුවත් සමහර කරුණු හෙණ බරපතල විදියට ගෙන පොළොවේ හැපි හැපී වැළපීම නම් අමන වැඩකි. කාට කාටත් ගැලපෙන විදියට තම තමන් ගේ සීමාවන් තියාගෙන ඉන්න පුලුවන් නම් හොඳ බවයි හැඟීම. සමහරු කියන විදියට වැසිකිළි බිත්තියේ ලියන කුණු හරුපේ කලාවක් විදියට මම නොගන්න නිසායි එහෙම කිව්වේ. හැබැයි හොඳ දේවල් වැසිකිළි බිත්තියේ තිබ්බත් හොඳයි කියන්න කොන්දක් තිබිය යුතු බවයි හැඟීම.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails