
කබලේ රස්නෙ පිට නොලියා ටිකක් යන්නට දී මෙය ලියන්නට හේතු ඇත. පළවෙනියෙන්ම මගේ සති අන්ත නිවාඩුව බ්ලොග් කෙරුවාවට යට නොකර පොඩි උන් දෙන්නා හා දේවී සමග ගත කිරීම වටිනා නිසාය. දෙවැන්න වෙරි මතින් සිටින්නවුන්ට, තරහින් පිපිරෙමින් ඉන්නවුන්ට හා බොග තදවී වැසිකිළි සොයන්නන්ට යන තුන් වර්ගයට යමක් කීමට ඒ තත්වයෙන් අත්මිදෙන තෙක් බලා සිටිය යුතු බැවිනි.
ලිංගිකත්වය වල්ලටද මල්ලටද ( මල්ල යනු හදවතයි ) යන මාතෘකාවෙන් පටන්ගෙන අභියාගේ හනුමාන් ඔප් එක හරහා මා කාන්තාවන්ට කල මහා තර්ජනය අවසන කාන්තා බ්ලොග් අඩවි දෙකක් වැසී ගොසිනි. බොහෝ අය හිත් රිදවාගෙනය, සමහරු තරහවී ඇත. එකියක් දිවි නහගන්නා බවටද තර්ජනය කර ඇත.
මෙය මාර කෙළියකි. බ්ලොග් යනු ජීවිතය නොවේ. ජීවිතය යනු බ්ලොග්ද නොවේ! දුකාට අනුව දුමී බ්ලොග් ලියන්නෙ ස්ට්‍රෙස් එක නැතුව යාමටය. උගේ කෙසේ වෙතත් ඒ ලියවිලි නිසා අපේ ස්ට්‍රෙස් එක නැතිවෙ. කතන්දරගේ කතන්දර තෝරාගැනීමම මාර් ස්ට්‍රෙස් වැඩකි. මඩ නැත්තන් අභියාගේ ද නයෙක් නැත්තං රංගගේ ද බ්ලොග් වල මෙලෝ රහක් නැත.ඒ අස්සේ පූසන්ට නොව මීයන්ට කවි ලියනා මහත්වරුන්ය.
මේ කිසිවෙකුත් තම ජීවිකාව හෝ පරම සුවය නිසා නොලියයි. ඔවුනට එය ජීවිතයේ විනෝදයට කරනු ලබන දේවලින් එකක් පමණි.
මගේ බ්ලොගය මට වැඩ අඩු වේලාවන් හි කාලය කා දැමීමට යොදා ගන්නා උපක්රමයකි. වැඩ අම්බානකට ඇතිනම් බ්ලොග්ද නැත, කමෙන්ට්ද නැත. මේ නිසා මට හෝ මා දන්න තරමින් ඉහත සඳහන් අයද ඇතුළු තවත් බහුතර බ්ලොග් කරුවන් කමෙන්ට් සහ ලිපි වලට එවැනිම මාධ්‍යන්ගෙන් පිළිතුරු දෙනව මිස කිසිවක් සීරියස් ගන්නා බවක් නොපෙනේ.
නමුත් කැරපොත්තා මරන්නටත් යුධ ටැංකි ඕඩර් කරන ගෑණු ළමයි ඔහොම තමා කියා සිත හදා ගත නොහැක. මන්ද මුන් ඇත්තටම දිවිනසාගතහොත් අපට වෙන පුද්ගලික අවාසියක් නැති වුනද කතාවට කියන්න සේ "ගැරඬි මරා පව් පුර්වාගතයුතු නැති” නිසාවෙනි
මා බ්ලොග් කියවීමට ආ මුල් දිවල ( මගේ අටමගලේ අටවාගන්නට පෙර නොහොත් කකාට පොර සීයලා ගැන ලියූ කාලයේ ) මේ බ්ලොග් අවකාශයේ සිටින ඉතාම දක්ෂ රචකයකු වන දුකාට ඔහු ලියනා ලිපි සුජීව ගේ නවකතා වගේ යැයි කීම නිසා පොඩි වාදයක් ගිය අතර එයින් කල අවිඥානික හෝ සවිඥ්ඥානික බලපෑම නිසා ඉන් මත්තට මා දුකාගෙන් එවැනි ගනයේ ලිපි නොදැක්කෙමි. මා කියු දෙයට දුකාගෙ හිත රිදුනාද විය හැක. එහෙත් විවෙචනය විවෙචනයක් ලෙස බාරගෙන ඒ කතා එතැනින් තබා අප අදද මිතුරන්ව සිටිමු. මූණිච්චාවට මිතුරකු ලෙස නොව දුකා විසින් මෙහි එවන් සටහනක් තබන්නට තරම් ලෙංගතු වී ඇත්තේ සහ මගේ මූණු පොතේ ඉන්නා බ්ලොග් රචකයින් දෙදෙනාගෙන් එකකුද වන්නේ අප කමෙන්ට් පෞද්ගලික පහරගැසීමක් ලෙස නොව එකිනෙකා ලියන දේ ගැන පමණක් වන විවෙචනයක් ලෙස බාර ගත් බැවිනි.
කකාට උගත් පී එච් ඩී ඇති ඇනෝලා ගහන්නේ ෆ්ලයින් කික්ය. සමහර එව්වා "උඹට අචාර්ය කම නැති නිසා කියවන ගොන් කතා" යයි පුද්ගලිකව කරන අවලාදය. එහෙත් බල්ලෝ බුරත්දී කන්ද නොසැලී තවලම ඉදිරියටම ඇදෙයි.
ජීවිතය යනු විඳින්නට ලැබුන දෙයකි. එය නිසි ලෙස විඳින්නට නොදන්නවුන් විඳවනා ආකාරය ගැන කණගාටුය. බ්ලොග් මඩක් නිසා දිවි නැතිකරගන්නවා, බ්ලොග් ලෝකෙ අතෑරල දානව වැනි දේ එක පැත්තකින් තඩි හුරතල් තර්ජනයන් ලෙස හෝ අනික් පැත්තෙන් මිනිසුන් සමඟ ගැටී නැති අඩු අත්දැකීම් ඇති අයගේ කතා ලෙස පිළි ගැනීමට සිදුවේ.
බ්ලොග් නිසා මරාගත යුතුනැත. එහෙත් බ්ලොග් වල මූලික අංගය වන සහ ඕනෑම අඩවියක දියුණුවට මඟ පාදන සංවාද සහ විසංවාදයන්ගෙන් ඈත්විය යුතු නැත. එයින් ඈත්වීමෙන් ඇතිවන්නේ ආන්ඩුවේ පත්තර මෙන් පිටකසා ගැනීමේ කලාවක් මිස බ්ලොග් නම් අනන්‍ය වූ මාධ්‍ය නොවේ.
අවසානයට කිවයුත්තේ කිසිවකු පැරදී නැත. දිනන්නේද නැත. මා මාගේ අදහසද ඔබ ඔබගේ අදහසද පලකිරීමේ වේදිකාවේ විනිසුරුවන් නැත. තෑගිද නැත. නමුත් ඉඳහිට හෝ මෙවන් වාද විවාද මඩ සහ ගුටි නොමැතිනම් මේ කලාව මෙතරම් රසවත් සහ ආකර්ශණීය නොවනු ඇත.
ප්‍රොෆයිල් ඇනෝලා, නන් ප්‍රොෆයිල් ඇනෝලා සහ නමින් ලියන්නන් යන සියල්ලන්ගේම අදහස් විවෙචන එකසේ මේ කෙත සරු කරයි. කිසිවකු කිසිවකුටත් වඩා හොඳ උසස් නැත. කුණුහරුපකාරයන් කුණුහරුප කීවාට කාටවත් බබ්බු ඇතිවන්නේවත් කාගේවත් බිත්තර පුපුරන්නේවත් නැත.උන් වවන දේ කපනු ඇත්තේ උනුන්මය. එනිසා සිදුවියයුත්තේ බ්ලොග් වලට මරාගෙන හෝ නොමැරී ලිපිවලින් පමණක් හැප්පෙන වඩා ආකර්ශණීය බ්ලොග් කළාවක් කරා යාමය.
තේරුම්ගතයුතු සත්‍ය මෙයයි. කිසිවෙක් කිසිවක් පුද්ගලිකව භාර ගැනීමෙන් වන්නේ තමන්ටම පාඩුකරගැනීම පමණක් මිස අනුන්ට බලපෑමක් නම් නොවන බවය.
පින්තූරය මෙතැනින්!