Wednesday, December 26, 2012

නාන්න යනවද නාගන්න යනවද?




අද ජාතික ආරක්ෂක දිනයයි. මීට වසර අටකට පෙර සිදුවූ ඒ මහා ව්‍යසනයෙන් වූ හොඳ කීපයක් ඇතිනම් එයින් එකක් වනුයේ ආපදා කළමනාකරනය ගැන වැඩි අවධානයක් ඇතිවීම සහ එහි ප්‍රථිඵලයක් ලෙස ජාතික ආරක්ෂක දිනයක් ප්‍රකාශයට පත්වීමයි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ දහසකුත් එකක් දින වලින් පිරි අපේ කැලැන්ඩරයේ මේ දිනය මඳක් අවධානයට යොමුවන්නේ තවම ඉතුරුව ඇති සුනාමි මතක නිසා පමණක් වීමයි.

ලෝක විනාශය කෙසේ වෙතත් රටේ විනාසයක් ඇති කරමින් මහ ගංවතුරක් සමග නොයෙකුත් හේතු නිසා ජීවිත මහ ගොඩක් නැතිවූ පසුගිය දින කිහිපය අපට තව ටික දිනකින් අමතක වී යනු ඇත. ඉන් පසු දොශාභියෝගයේ හෝ මීලඟ දේශපාලන නාටකයේ විස්තර රූපවාහිනියෙන් බලා මෙගාවකින් සිත පුරවා යලිත් නව වසරේ නින්දට යනු ඇත.

එහෙත් අඩුම තරමේ බ්ලොග් ලියන කියවන සීමිත පිරිස අතරේ හෝ ආරක්ෂාව සහ ආපදා කළමනාකරනය ගැන මීට වඩා එහා ගිය කතිකාවතක් ඇරඹිය යුතු කාලයකි මේ.  එමෙන්ම එය අප සැමගේ කාලීන වගකීමක් ලෙස වඩා අවධානයට යොමුකල යුතුමය.

ලංකාවෙ සෑම දිස්ත්‍රික්කයකම පාහේ සංචාරය කර, නෑමට බැලීමට විඳිමට ඇති තැන් විශාල වශයෙන් ඇසුරුකර ඇති මා, ඒ අතරින් වඩා අවධානයට යොමුවන නාන තොටවල් සම්භන්ධ තොරතුරු සහ දැණුම් බෙදා ගැනීමෙ අරමුනින් ලියු "නාන්න සෙට් වෙන්න ආගිය තැන්" ලිපියෙ දෙවැනි කොටස ලෙස කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නාන තොටවල් කිහිපයක් ගැන සහ දිය නෑමට යාමට ප්‍රථම අවධානය යොමුකලයුතු කරුණු කිහිපයක් මෙහි බෙදා ගැණුමට අදහස් කරමි.

කළුතර සහ රත්නපුර යනු ඇලේ දොළේ නෑමට ප්‍රිය කරන්නන්ට අවශ්‍ය තරම් සම්පත් ඇති ප්‍රදේශ දෙකකි. එහෙත් නෑමට යාමට පෙර සැමගේ සිහියට ගත යුතු,නමුත් පහසුවෙන් අමතක කරන කරුණු කිහිපයක් මුලින්ම අවධානය යොමුකල යුතුයැයි සිතමි.

ඔබ යන්නේ "නාන්නද, සෙට්ව්ලා නාන්නද, නාල සෙට් වෙන්නද, හෝ වෙන ගමනක් අතරතුර නාන්නද යන්න මුලින් තීරනය කල යුතුය.

ගමනෙහි අරමුණ නෑම සහ බීම වීම පමණක් නම් පහත කරුණු පිළ්බඳ ඔබේ අවධානය ගමණ පිටත්වීමට පළමුව යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත.

ඔබ යන තැන වඩා ගැඹුරු නැති ගලා යන දිය පහරක් වීම.  ( උදා; පරෙයි තොට - ඉංගිරිය ) කිසි විටකත් විශාල ජලාශ, ගංගා සහ වේගයෙන් ගලා බසිනා ඇළ දොළ වල බීමට පසු නෑමට නොයන්න.

ගමන් ආරම්භයේ සිට පැය දෙකක් හෝ තුනකින් ලඟා විය හැකි බව.

ආසන්නයේ විහාර අරාම හෝ වෙනත් පොදු ස්ථාන නොමැති තැනක් වීම ( නාච්චිමලේ නෑමට හැකි බීමට නොහැකි එහි ඇති ආරණ්‍ය නිසාවෙනි )

ඉක්මණින් නාන තොටේ සිට ඔබේ වාහනයටත්, එතැනින්  රෝහලකට හෝ ජනාවාසයකටටත් ලඟාවිය හැකි වීම (  ගිණිගත්හේනේ තිබෙන ඇබර්ඩීන ඇල්ල වැනි තැන් බීමට සහ නෑමට සුදුසු නොවේ )

එම ස්ථානයේ අදාල කාර්‍යට මින් පෙර ගිය අයකු නඩයේ සිටීම.


නොබී සිටිය හැකි රියදුරෙකු සහ බිව් විට සතුන් නොවනා හොඳින් දන්නා පිරිසක් සමඟ පමණක් අදාල ගමන යෑම.

මේ සියලු බැළුම් සපුරා ගියද අධිකව බීමත් බව හෝ නොසැකලකිල්ල නිසා ඇද වැටී ගලක උලක හැපීමෙන් වැනි දෙයකින් සිදුවිය හැකි අවධානම ගැන සිතා බීමට සෙට් වීමටනම් බාර් එකකක් හෝ මිතුරෙකුගේ නිවසක් තෝරා ගැනීම ඉතාම ඥානාන්විත වනු ඇත.

ඔබේ ගමනෙහි අරමුණ නෑම පමණක් නම් පහත කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම පහසුවක් වනු ඇත.

නඩයේ සිටින පිරිස සීමිත වීම හෝ පිහිණීමට දන්න බහුතරයක් සිටීම.

යන තැනට මින් පෙර ගොස් අත්දැකීම ඇති ව්ශ්වාසවන්ත සගයකු හෝ කිහිපදෙනකු නඩයේ සිටීම.

නෑමට සුදුසු ඇඳුම් ගෙන යා යුතුය. සමහරු නාන්නට එන්නේ කොට කළිසමක්වත් නොගෙන වන අතර පසුව හිල් පිරුනු හෝ ඉලාස්ටික් ඇදුනු යට ඇඳුම් වලින් දියට බැස අන් අයව අපහසුතාවට පත්කර හෝ ගමේ උන්ගෙන් ගුටිකා එනු සුලභය.

එමෙන්ම තවත් සමහරක් අනුන්ගෙන් ඒ වෙලාවට ණයට කළිසමක් ඉල්ලාගෙන පස්සේ අළුහම් වලට බෙහෙත් හොයන්නට වන අවස්ථාද වේ.

නාන්න යනවිට කළිසමට අමතරව තුවායක් සහ රබර් සෙරෙප්පු දෙකක් ගෙන යාම ඉතා වැදගත්ය. එහෙත් අපේ ට්‍රිප් යන  බුවාලා ඩෙක් ෂූස් දමා කොට කළිසමට යටින් "පටි ජොකා" හැඳ නාන්න සෙට් වෙන්න යන අවස්ථා මා ඇති තරම් අත්විඳ ඇත.

සමහරු නෑමෙන් පසු තෙත බේරෙන ඇඳුම් යන යන එන රථයේ බිම හෝ පිටිපස දැමූ විට දෙපා අස්සෙන් සිහින් දිය දහරා නිර්මාණය වෙයි. එහෙත් කුඩා සිලි සිලි මල්ලකින් මේ වදයෙන් බේරිය හැකි බව බොහෝ විට නොසිතති.

ඔබ වෙනත් විනෝද ගමණක් යන විට නාන්නට අදහසක් තිබෙනම් ඒ සඳහා දන්න, සුදුසු ස්ථානයක් ගමනාරම්භයේදීම තෝරා ඒ අනුව ගමන සැලසුම් කිරීම ඉතා වැදගත් වේ. සමහර කතරගම යන නඩ ගාළු කොටු පවුර අයිනේද, පයාගල හෝ අහුන්ගල්ලේ වෙරලේද නානවා ගාළුපාරේ යනවිට දැකිය හැක. එහෙත් හික්කඩුව, උණවටුන පොල්හේන වැනි වඩා ආරක්ෂාකාරී ස්ථාන තෝරා නොගෙන එවැනි අවදානම් කලාප තෝරා ගන්නේ බොහෝ විට නොදන්නාකම නිසාවෙනි. එනිසා නෑමට සුදුසු සහ දන්නා තැන් මුලින් තීරණය කර සැළසුම් සහිත ගමනක් යාම අනතුරු අවධානම බොහෝ සෙයින් අඩු කරයි.

සමහරුන් නාන්න සුදුසු වතුරක් යයි පෙනෙන ඕනෑම වලකට ඇලකට බසින්නෙ දෙවරක් නොසිතාමය. එහෙත් එය ඔබ නොසිතන අවධානමකට මඟ පෑදීමකි.

සමහර ස්ථාන උදෑසන නෑමට සුදුසු වුව සවසට භයානයක. හික්කඩුව වෙරළ එවැනි තැනකි. එමෙන්ම සමහර කුඩා දිය පහරවල් වල අධික රසායන ද්‍රව්‍ය සාන්ද්‍රණය නිසා ඔබට ආසාත්මික විය හැක. තවත් වැව් වල මඩ, වියලි කාලයේ කපන ලද ගඩොල් වලවල් වැනි දේ නිසා එරීමට ඉඩ තිබේ. බෝපත් ඇල්ල වැනි සමහර දිය ඇළි වල ක්ෂනිකව එන වතුර වැඩි වීම නිසා අනතුරට පත් විය හැක. මෙනිසා නොදන්න තැනක නෑමට පෙර ගම් වැසියන් කිහිප දෙනෙකුගෙන් තොරතුරු විමසා සැක හැර දියට බැසීම ඉතාම වැදගත් වේ.

එමෙන්ම සමහර ගම් වල ඇති නාන තොටවල් කාන්තාවන්ට හා පිරිමින්ට වෙන් කර ඇති නිසා ඒ ගැන් අවධානය යොමුකිරීම අනවශ්‍ය ගැටළුු වලින් ඔබ මුදාලනු ඇත. ඔබ නාන්නට යන්නේ පිට පලාතක ඇති පොදු ගඟක, ඇළක හෝ වැවක නම් ඒ සඳහා සුදුසු ඇඳුමින් සැරසීමට මතක තබා ගන්න. සමහර විට සුදු ටී ෂර්ට් ඇඳ දියට බසින නංගිලා නිසා අහක සිටින අයියලා සමඟ නඩයේ උන් ගුටි ඇනගන්නා අවස්ථාද, අති සුන්දර බේදින් කොස්ටියුම් වලින් සැරසී වැව් වලට බසින ආන්ටිලා අවට අයට විකාරයක් වෙන අවස්ථාද විරල නොවෙ. එනිසා ඇඳුම වැදගත් බව මතක තබා ගන්න.

මේ කොතැනක නෑමට ගියද අනිවාර්යෙන්ම අවධානය යොමුකල යුතු පොදු කරුණු කිහිපයක් වෙ.

පළමුවැන්න ඔබේ පිහිණීමේ හැකියාව ගැන කිසිදු විට අධි තක්සේරුවකට නොයෑමය. පිහිණුම් තටාකයේ පෙරලි කෙරුවාට දිය වැලක අසු වූ විට හෝ මඩේ එරුණු විට ඔබ අසරණ වනු ඇත. මුහුදේ යන්තම් ජබු ගසා පිහිණන ඔබ අඩු ඝනත්වයකින් යුත් වැව් ජලයේ ගිලී යෑමට ඉඩ තිබේ. වැවෙහි කිමිදෙන දක්ෂයින් රැල්ලට බිම ගසා වැලි කටේ පුරවා ගොඩට දමන්නට තරම් මුහුද සැහැසිය. එනිසා තමන්ගේ තරම දැන වතුරට බැසීම කාගේත් යහපතට හේතු වේ.

බීමත්ව පිහිණීමට නොයා යුතුය. මොන වැඩ කරුවකු වුවද බීමත්ව සිටිනා විට නිසි පාලනයක් නැතිවේ. එනිසා ඇවිදගන්නට බැරි උන් පීනන විට සිදුවිය හැකි දේ ගැන සිතා ගත හැකි වනු ඇත.

වැඩ දැමීමට හා කැටයම් පෙන්වීමට නොයා යුතුය.  අපේ කොල්ලන් වැඩිපුඅරම අනා ගන්නේ මෙතැනදීය. මුහුදේ කෙල්ලන්නට පෙනෙන්නට ඈතට පිහිණීමට යාමෙන්ද, දි ඇලි උඩට බඩගා පොර වීමට යාමෙන්ද දිවි තොර කර ගන්නෝ අනන්තය. එනිසා ඔබ වැඩ කරුවකු නම් එය පෙන්විය යුත්තේ පරිස්සමින් නා ගෙන ගොඩට ඒමෙන් මිස අනවශ්‍ය අවධානමකට ගොස් හොම්බ බිම ඇනගෙන පීචං වීමෙන් නොවේ.

නෑමට බසින වතුරේ උෂ්නත්වය ගැන සැලකලිමත් විය යුතුය. ආසාවට අධික සීතලෙන් යුතු බේකර් ඇල්ලේ නා පසුව ගමනේ ඉතිරිටික සෙම්ප්‍රතිශ්‍යාවෙන් හෝ උනෙන් දුක් විඳීමට වඩා සීතල අඩු නානු ඔය ඇලි වැනි තැනකින් නෑම ඇඟට ගුණය. 

ජලයේ ගැඹුර, සැඩ පහරේ වේගය ගැන ප්‍රමාණාත්මක තක්සේරුවකට එළඹිය යුතුය. විශේෂයෙන්ම වැවක පිටවානක් සම්භන්ධ ඇළකින්, ගඟකින් හෝ දිය බෙදුම් ඇළකින් නාන විට මේ සම්භන්ධයෙන් ඉතා ප්‍රවේසම් විය යුතුය. සමහර වැව් වල ඔබට දකින්න තිබෙන සිලින්ඩරාකාර ගොඩනැගිල්ල ඇති ආසන්නයේ දිය නෑම ඉතා අනතුරුදායකය. එම සිළින්ඩරය සවිකරන්නෙ වැවේ ගැඹුර වැඩිම තැනකින් බීමට ජලය දෙන පද්ධතියකට දිය ගෙන යාමට නිසා එය අවධානම ගැන හොඳ සළකුනකි.   

රබර් ටියුබ්, ලී කොට වැනි පාවෙන දෙයෙහි නැගී වතුරේ ඈතට නොයන්න. සමහරු හුළං පිරවූ ටියුබ මත නැගී සිටිනා විට මුහුදු රළට හෝ දිය වැල් මගින් ඒවා ඈතට ගසාගෙන යයි. නැතහොත් ඒවායින් ලිස්සා වතුරට ඇදගෙන වැටෙ. මෙනිසා බොඩි බෝර්ඩ් එකක්, සර්ෆ් බෝඩ් එකක් නොවන ඉපිලන යමක් මත හිඳ වතුරේ ක්‍රීඩා කරද්දි එය තරම දිග සිගින් රැහැනකින් අතට ගැට ගසා ගෙන සිටීම ඉතා ආරක්ෂිත වේ.

ඔබ යන්නේ විශාල ජලාශයක හෝ ගංගාවක නෑමටනම් හුළං පිරවූ කුඩා රබර් ටියුබයක්, සුළං පිරවූ බෝට්ටුවක් වැනි දෙයක් ගෙන යාම විනෝදයට මෙන්ම හදිසි අනතුරකදී උපකාරයටද වැදගත් වෙනු ඇත. එමෙන්ම කුඩා ළමුන්ට ජීවිතාරක්ෂක කබා හෝ සුළං පිරවූ බාහු පළඳනා පළඳා වතුරට යවන්න. මෙයින් ඔවුන්ගෙ ජීවිත මෙන්ම ඔබේ මානසික සුවයද සුරැකෙනු ඇත.

වතුරට බැසීමට පෙර ඒ අවට ඇති දැන්වීම් හෝ ජීවිතාරක්ෂක ධජ වලින්කියැවෙන පණිවුඩ ගැන අවධානය යොමුකරන්න. අනතුරුදායකයැයි සඳහන් කිසිම තැනක මොනතරම් පරිස්සමින් වුව නෑමට උත්සාහ කිරීම මිනී පෙට්ටි සාප්පුවට ඇඩ්වාන්ස් එකක්දී, අන්තිම කැමැත්ත ලියාදී කිරීම වඩා සුදුසුය.

ඔබ ඉහත කරුණු ගැන තරමක් හෝ අවධානය යොමුකරන්නේ නම් ඕනෑම වතුරක විනෝද වී යහතින් ආපසු ඒමට එය පහසුවක් වනු ඇත.

මීළඟට අවධානය යොමුකල යුත්තේ ඔබට වෙන අකරතැබ්බයකදී එය කළමණාකරනය කරගන්න ආකාරයයි. යම් කිසි වේදියකින් ඔබ දියෙ ගිලීමට යන්නේ නම් කල යුතු මූලිකම දෙය කලබල නොවීමයි. මෙය මෙතන ලිව්වාට ප්‍රායෝගිකව වන්නේ එහි අනික් පස නිසා බොහෝ දෙනෙක් නිරපරදාදේ මිය යයි. එහෙත් වතුරෙහි දියවැලකට හසූවූ විට ගෙම්බකු මෙන් අතපය හසුරවමින් හිස ඉහල තබාගෙන සිටීමට හෝ, කොන්ද සහ බෙල්ල නොනමා වතුරේ පාවීමට ඔබ පුහුණුව තිබේනම් ආධාරයක් ලැබෙනතුරු අල්ලාගෙන සිටීමට එය ප්‍රමාණවත්ය. 

ඔබට පිහිණීමට නොහැකිනම් කිසි විටකත් දියෙහි ගිලෙන්නෙකු බේරා ගැනීමට වතුරට නොබසින්න. එය ඔබේ සමීපතමයා සහ ඔබගෙත් ජීවිතය අනතුරේ හෙලන්නකි. ඒ වෙනුවට උදව් ඉල්ලා කෑ ගැසීමත්, දියෙහි ගිලෙන්නට අල්ලා ගත් හැකි වතුරේ පාවෙන යමක් විසි කිරීමත් තුලින් ඔබට උදව් විය හැක.

දියෙහි ගිලෙන්නෙකු ගොඩ ගැනීමට පිහිනීමට එහා ගිය ජීවිතාරක්ෂාව පිළිබඳ පුහුනුවක් අවැසිය. මන්ද ගිලෙන්නා මරු විකල්ලෙන් ඔබේ ඇඟේ එල්ලීමනිසා ඔබටත් පිහිනීමට නොහැකි වී දෙදෙනා එකට ගසාගෙන යා හැකි බැවිනි. එනිසා ඔබ පිහිනීමට දන්නෙ නම් ජීවිතාරක්ෂාව සහ හදිසියකදි යමෙකු වතුරේදී ඇඟෙහි එල්ලුනහොත් ගැලවෙන උපක්‍රම සම්භන්ධව යමක් දැන සිටීම ඉතා වැදගත් වනු ඇත.

හැකි සෑම විටම ගිලෙන අයකු වතුරේදී ඇදගෙන ආ යුත්තේ ඔහුගේ කොන්ඩයෙන් අල්ලාය. කිසි විටකත් ගිලෙන අයකුගේ අත ඇල්ලිමට උත්සාහ නොකරන්න. ඔහුගේ කොන්ඩය ප්‍රමානවත් නොවන්නේනම් බෙල්ලට අතදමා උඩුබැලි අතට රොගියාගෙ යටින් හිඳ පිහිනිය යුතුය. මේ සියල්ල මනා පුහුණුවකින් තොරව කිරීම අපහසු නිසා වඩා සුදුසු ක්‍රමය වන්නේ ගිලෙන්නාට අල්ලගැනීමට ලී දන්ඩක්, රබර් ටියුබයක් වැනි දෙයක් දමා ඔබ එය ඇදගෙන ගොඩට පිහිණීමයි.

දියෙහි ගිලුනු අයකු ගොඩගත් විගස කල යුත්තේ බිම හාන්සි කරවා ඔහුගේ හිස පැත්තට හරවා පපුව තදකරමින් වතුර එලියට ගැනීමට උත්සාහ කිරීම සහ ඉන් පසු කෘතිම ශ්වසනය දීමයි. මෙය ඒ සම්භන්ද හුරුවක් ඇත්තකු කිරීම වඩා සුදුසුය. එසේ නැතිව ගොඩ ගත්තු විගස කිසිදු ප්‍රථමාධාරයකින් තොරව රෝහලකට අරන් දිවීම රෝගියාගේ ජීවිතය තවත් අනතුරේ හෙලයි.

ඔබ නිතර ජල ක්‍රීඩා අදියෙහි යෙදෙන ඒ ගැන උනදුවක් දක්වන්නෙකු නම් පියදාස සිල්වා  මහතාගේ  දිවි ගැලවීම සහ ජල ක්‍රීඩා පොත සොයාගෙන කියැවීමෙන් මේ ගැන වඩා විශාල දැණුමක් ලබාගත හැකි වනු ඇත.

මේ පෝස්ටුව සිටුවාට වඩා ඉතා දිග වී ඇති හෙයින් කළුතර නාන තොටවල් පිළිබඳව ජනවාරි පළමුවෙනිදාටද,දියෙ ගිලී අනතුරට ලක්වන දරුවන් වලකාගැනීමෙ වැඩිහිටි වගකීම් ගැන ඉන් පසු සතියකද කතාබහ කරමු.



ඔබ සැමට ආරක්ෂාකාරි, සුභ නව වසරක් පතන අතරම මීට අට වසරකට පෙර අප හැර ගිය ඒ සියල්ලන්ටම යලිදු කිසි දිනෙකත් එවන් දුක්ඛිත අකල් මරණයක් ලඟා නොවේවායි ප්‍රාර්ථනා කරමු..! 

34 comments:

  1. //අවධානම ගැන සිතා බීමට සෙට් වීමටනම් බාර් එකකක් හෝ මිතුරෙකුගේ නිවසක් තෝරා ගැනීම ඉතාම ඥානාන්විත වනු ඇත.//

    බොන්න නම් හොදම තැන තමයි ගෙදර, රෙස්ටොරන්ට් එකක් වගේ තැනක්.. යන හැම ගමනම බොන්න යන එක නම් හෙන මෝඩ වැඩක්.
    ට්‍රිප් ගියාම බොන්න ඔනම නම් නවතින තැන සෙට් වෙන එක හොදයි.
    ගිලිලා නාන්න යන අයගෙන් වැඩි හරියක් පුංචි ෂොට් එකක් හරි දාගෙන නාන්න ගිය අය.
    ගොඩක් අය මේ කියන දේවල් දන්නවා.. ඒත් ගනන් ගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බීල නාන්නෙ ගොඩක් බොන්න පුළුවන් වෙන නිසා මිසක් වෙන දේකට නෙමෙයි. ඒ කියන්නෙ පෙරේත අම නිසා වැඩිපුර බොන්න්, එහෙම නැත්තං පුළුවන් තරං බීලත් කෙලින් ඉන්න ට්‍රයි කරන්න. ඒත් අර කිව්ව වගේ බීල නාල පස්සෙ ඇදන් නානවට වඩා, නොනාන තැනක සෙට් වෙන එක ඇඟට ගුණයි.

      Delete
  2. "..පිහිණුම් තටාකයේ පෙරලි කෙරුවාට දිය වැලක අසු වූ විට හෝ මඩේ එරුණු විට ඔබ අසරණ වනු ඇත. මුහුදේ යන්තම් ජබු ගසා පිහිණන ඔබ අඩු ඝනත්වයකින් යුත් වැව් ජලයේ ගිලී යෑමට ඉඩ තිබේ. වැවෙහි කිමිදෙන දක්ෂයින් රැල්ලට බිම ගසා වැලි කටේ පුරවා ගොඩට දමන්නට තරම් මුහුද සැහැසිය......"

    සිරාවටම ඇත්ත අයියේ....
    නියම පෝස්ට් එක....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අළුත් අවුරුද්දෙ පරිස්සමින් හිටාල්ල.

      Delete
  3. //නෑමට බසින වතුරේ උෂ්නත්වය ගැන සැලකලිමත් විය යුතුය//
    අධික උශ්නත්වයක් ඇති වතුරේ දියනෑමෙන් මද සරුබව ඇතිවිය හැක.....

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදියට අරාබියෙ තමා ජනඝහන වේගේ අඩුම වෙන්න ඕන. ඉන්දියාවත් එහෙමයි. ඒත් වෙන්නෙ ඒකෙ අනික් පැත්ත!

      Delete
  4. සල්ලි ලැබුනද? මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. සල්ලි ලැබුනේ නැත. වැඩි විස්තර කියල අළුත් අවුරුද්දෙ පෝස්ට් එකක් දාන්නම්. තෑක්ස් මචන් හොයල බැලුවට.

      Delete
    2. koo ban post eka

      Delete
  5. නාන්ට කලින් හිතන්ට තියන ජාති දැක්කාම මෙච්චර කල් වතුරට බැස්සේ කොහොමද කියලා හිතාගන්ටත් බෑ.:-)

    මේ තියෙන්නේ ලිපියේ වඩාත්ම සිත් ගත් කෑල්ල...

    //සමහර විට සුදු ටී ෂර්ට් ඇඳ දියට බසින නංගිලා නිසා අහක සිටින අයියලා සමඟ නඩයේ උන් ගුටි ඇනගන්නා අවස්ථාද, අති සුන්දර බේදින් කොස්ටියුම් වලින් සැරසී වැව් වලට බසින ආන්ටිලා අවට අයට විකාරයක් වෙන අවස්ථාද විරල නොවෙ. එනිසා ඇඳුම වැදගත් බව මතක තබා ගන්න.// :-D

    ReplyDelete
    Replies
    1. මුකුත් නැතුවද එතකොට මෙච්චර කල් බැස්සෙ :D

      Delete
  6. ( නාච්චිමලේ නෑමට හැකි බීමට නොහැකි එහි ඇති ආරණ්‍ය නිසාවෙනි )

    දැන් නම් නාච්චිමලේ නාන්න ගිහින් වැඩක් නෑ කියලා තමයි අපේ අම්මලා නම් කියන්නේ... ඉස්සර අපි හැමතිස්සෙම වගේ ගියා.. දැන් එතන කහල ගොඩක් වෙලා....

    ඇඳුම් ගැන සැලකිලිමත් වෙන එක අ‌ෙප් අයට අමතක වෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ.. වතුරට බැස්සාම සුදු ටී ෂර්ට් විනිවිද පේනවා කියන්න ක්ලාස් එකකට යන්න ඕනෙද මන්දා... පොඩි එවුන් කමක් නෑ.. මේ ඇන්ටිලා අන්කල්ලටත් මේවා අමතක වෙනවානේ...

    මුහුදේ හෝ ගඟක නානවා නම් ගෑනු කෙනෙකුට උනත් හොඳම ඇදුම තද පාට කොට කලිසමක් සහ තද පාට ටී ෂර්ට් එකක් තමයි... කොල්ලන්ටත් සුදු කොට කලිසම් ඇදිනවට වඩා කලු පාට එකක් හරි ඩෙනිම් කොට කලිසමක් හරි නැති එකෙක් නෑ නේ ලංකාවේ...

    මේ ලිපියේ නම් කියවෙන්න ඕනේ දේවල් ගොඩක් කියවිලා තියෙනවා... හැබැයි අපේ අයියලට ඔක්කොටම වැඩිය ලොකු බීම හින්දා, ඕනෙනම් ගෑනු ගෙවල් වල තියලා ගිහින් බීලා ආවාට කමක් නෑ කියලා මම නම් කියන්නේ...

    ReplyDelete
    Replies
    1. http://atlantablackstar.com/2012/12/25/swaziland-bans-women-from-wearing-short-skirts-low-rise-jeans/

      නරකද ස්වාසිලන්තෙ වගේ කට්ටියට නාන්නත් නීති ගෙනාවොත්... කොහොමත් ගල් යුගේට යන එකේ ඔන්න ඕකත් කරල දාමු...

      Delete
    2. හිරු,

      සමහරු ඔහොම අඳින්නෙ කරන්නෙ උවමනාවෙම්මයි කියලයි මම හිතන්නෙ.
      නාච්චි මලේ නං අවුරුදු දහයකින් විතර ගියෙ නෑ.

      ඇනෝ,

      අදහස හොඳයි බොදු බල සේනාවට හරි අන්වර් මනතුංගට හරි දාල බලමු.

      Delete
  7. නාන්න යනකොට අත්‍යාවශ්‍යම ඒවා වන පනිට්ටුවක්, තුවායක් හා සබන් කෑල්ලක් ගැන වගේ වගක්වත් නැතිව ලියනා ලද පෝස්ටුවකි. ඒ පිළිබඳ මාගේ බලවත් විරෝධය ප්‍රකාෂකර සිටිමි.

    ReplyDelete
    Replies
    1. වැටකොළු කොස්ස, පොල් මුඩ්ඩ, රවුං ගල් කැටේ. මෙව්ව ගැන නොකිය උඹ කම්න්ට් කිරීම ගැන මාගේත් විරෝධය.

      Delete
  8. මරු උපදෙස් ටික මොනා උනත් කිවුවත් වගේ පීනන්න නොදන්න එකෙක්ට හොදම විසදුම තමා පනිට්ටුවක් හෝ අඩුම ගානේ ටින් එකක්වත් ගෙනයාම

    ReplyDelete
    Replies
    1. ඒක හරි. නැත්තන් ගඟ ලඟ පයිප්පෙ.

      Delete
  9. හරියට නයාට අඳුකොල වගේ වතුරට අරක්කු,... ආතල් එකට අරක්කු ටිකක් බොන්න ඔන උනා කියල වතුරට බැහැල පණ නහගන්න ඔනෑ..!
    සුනාමි ව්‍යසනයෙන් අප හැරගිය සියලූම සහෘදයනට නිවන්සුව අත්වේවා...!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඔය දෙකම එකට නෙ යන්නෙ නිතර, එකනෙ අවුල.

      Delete
  10. අනාදිමත් කාලයක සිට මානව සමාජයතුළ තිබෙන මත්පැන්, තවත් කල්ප කාලාන්තරයක් ගියත් සමාජයෙන් ඉවත්වේ යයි සිතන්නට බැහැ. මත්පැන් පානයට අපේ රටේ දී තිබෙන අර්ථකතන නිසාත් එය අසික්ෂිත දෙයක් හා සඟවාගෙන කලයුතු දෙයක් යන මතයක්ද පැලපදියම්ව තිබෙනවා. විනීතව මත්පැන් පානය කර එහි වින්දනය ලබා විනීතව පිටව යන පිරිසක්, සෑහෙන විශාල පිරිසක් ඉන්නවා. සමහරු මත්පැන් පානය කරන්නේ වින්දනයට වඩා වෙනස්වූ චේතනා නිසයි ප්‍රශ්න ඇතිවන්නේ. ඒ එක පැත්තක්. සංචාරයක් යනු මත්පැන් බොමින් පිස්සු නටමින් යන ගමනකි යන සංකල්පය බිඳින්න සෑම උත්සාහයක්ම ගත යුතුයි. යුද්දයෙන් පසු ලැබුන නිදහස තුල යුද්ධකාලයෙදී තම සිත තුල තදකරගෙන සිටි ආවේගයන් මුදාහරින්න මිනිසුන් පෙළඹීම පුදුමයක් නොවේ. කිසියම් ස්ථානයක මත්පැන් බී ජලයට පනින්න ඉඩක් නැත්නම් මහා කැලෑ අස්සේ රිංගාගෙන ඒ වල්බූරු නිදහස හොයන්න මිනිසුන් පසුබට වන්නේ නැහැ. මේ තත්වයට වැඩි නැඹුරුවක් ඇති පිරිස් වෙත උපදේශනයක් දීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවනම් තදින්ම දැනෙනවා. නැත්නම් මෙවැනි මෝඩ අකල් මරණ තවත් වැඩි වෙනු ඇති.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපේ උන් අපි හදාගමු. හැමෝම එහෙම හිතුවොත් රටක් හදන්න අමාරු නෑ.

      Delete
  11. මා ජලජ ජීවියෙක් හා සමානවම වතුරට ආශා කරන කෙනෙක්. ඉතින් කොහේ දැක්කත් වතුර නම් ගෙම්බෙක් වගේ ඒකට පනින්න දෙපාරක් හිතන්න මට මතක් කරන්නේම අවුරුදු කිහිපයකට කලින් වෙච්ච සිදුවීමක්.
    ඊට කලින් මා ගඟක හෝ ඒ වගේ දියරැලි තිබෙන තැනක නාලා තිබුනෙත් නෑ. පීනගෙන යද්දි එක පාරට මාව කොන්ට්‍රෝල් නැති වෙනවා දැනුනාම ක්ෂණික භයත් එක්ක මා ගිලෙනවාත් ආපහු උඩට පීන ගන්න බැරි වෙනවාත් යම්තමට දැනුනා. එදා මගේ යාළුවෙක් නොහිටින්න මම ජීවත් නොවෙන්න බොහෝ ඉඩ තිබුනා. එදායින් එදාත් හරි ඕන මඩ වලක නෑවත් නොදන්න තැනක නාද්දි කකුල් දෙක යට වෙනවට වඩා නම් අතුලට වතුරේ බහින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඔය විදියට වෙච්චි දේකින් පාඩමක් ඉගෙන ගෙන තමන් ගැන හිතල පරිස්සන් වෙන්න නොදන්නකමනෙ තීන අවුල.

      Delete
  12. වටිනා ලිපියක්...සැට් වීමකින් පසු නානවා නම් සැට් නොවූ අය කීප දෙනෙකු හෝ වටපිටේ තබා ගැනීමත්... පිහිනන්නට හැකියාවක් නැති උන් වැඩ පෙන්නීමට ඈතට යන්නට වෑයම් කරන්නේ නම්, කනට දෙකක් ගසා හෝ නොගැඹුරු ජලයේ තබා ගැනීමත් හොද ප්‍ර‍තිඵල ලබා දෙයි.

    ReplyDelete
    Replies
    1. සැට් වෙලා ගැඹුරු තැන් වල නාන එක මොන විදියෙන්වත් හරියි කියන්න බෑ සිරා. ඒක අමු ගොන් කමක්. මොකද බීපු එකාට තප්පර දෙකක් ඇති වතුරෙ වැටිල හුස්ම හිරවෙන්න. ඒත් ඉතින් ආතල් එක ජීවිතේට වඩා ලොකු නිසා ඕකමයි කරන්න.

      Delete
  13. ඉතාමත් වටිනා ලිපියක් විනෝද ගමන්ගොස් ඇතැම් විට ජලය ගැනැ නිසි අවබෝධයක් නෙමැතිව වතුරට බැසිම අවදානම්.
    මේ සටහනින් මුල සිට අග දක්වාම ඉගනගන්න ඕනෙ ටික කියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහසට. වැඩේ වෙන්නෙ "ගෙදර මහ පොතක් ඇත, එකකවත් මතක නැත" වෙන එකනෙ.

      Delete
  14. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  15. Niwadu giya nisa "SAHALUWATA" ena bari una.
    Post eka Watinawa...
    2013 Jayawewa

    ReplyDelete
  16. ලිපිය නං එරටක් වටිනවා

    මොනවා නැතත් අඩුම තරමේ මේ දෙකවත් කරන්න

    නොබී සිටිය හැකි රියදුරෙකු සහ බිව් විට සතුන් නොවනා හොඳින් දන්නා පිරිසක්

    ReplyDelete
  17. මචන් වැඩි සද්දයක් නැත්තෙ සල්ලි ලැබුනද?

    ReplyDelete
    Replies
    1. බුවාගේ සිතුවිලි ! xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස්

      ඉන්දික උපශාන්තJanuary 8, 2013 8:48 PM

      අභීත,

      මම ඔබේ පෝස්ට් එකේ දාපු කමෙන්ට් එක කෝ? ඒකෙ මම කිව්වෙ මගේ සල්ලියි, ඔනේයගෙ මස්සිනාගෙ සල්ලියි එතකොට අර චන්දිම ලියනගේ ගෙ සල්ලියි ගෙවල ඔය ලොකුකම් කියෙව්වනම් නේද හොඳ කියල. මොකද ඒක දාන්න අඹරෙන්නෙ?

      Delete
    2. ඉන්දික, සල්ලි වැඩේට මොකද උනේ... update එකක් දෙනවද...

      Delete

LinkWithin

Related Posts with Thumbnails