අවුරුදු දෙකහමාරකට පස්සෙ අලුත උපන් පැටියයි පරණ පැටියයි උංගෙ අම්මයි එක්ක අපි තුන්දෙනා හතරක් වෙලා ලංකාවට එනව නිවාඩුවකට.
මං හිතන්නෙ මේ වගේ නිවාඩුවලට වෙන්නැති සිංහලෙන් "අන්වයින්ඩ්" කරගන්න එනව කියන්නෙ.
මුහුදෙ නාල,
කුරුම්බ බීල, කොස් සමග කරවලයි කුරිඤ්ඤං කොල මැල්ලුමුයි කාල හිතේ හැටියට නිදා ගන්න හික්කඩුවෙ මහ ගෙදර යන්න, බබා හම්බ වෙන්න කලින් හාමිනේට ඉටු කොරගන්න බැරි උන කිරිය කෑමේ දොළ සංසිඳුවගන්න ( සහ පොඩි නමටත් බෙදා ගන්න ), ළමා නිවාසෙක පොඩි උන් ටිකක් එක්ක පැටව් දෙන්නගෙ උපන්දිනේ සමරන්න, අපි නැතුව පාළුවෙන් ඔහේ ඉන්න බලු තඩිය එක්ක පොඩ්ඩක් සෙල්ළං කරන්න, අළුතින් හදාපු පාර දිගේ දහ අට වංගුව බැහැල මහියංගනෙන් ආය කෙනෙකුත් අරන් මදුරුවො කාපුවට බෙහෙතුත් කරන් ආපහු
එන්න කලින් අම්මගෙ උකුලෙ ඔලුව තියං හොඳට ටිකක් නිදා ගන්න...එක අතකට මොන තරමක් දේ තීනවද මේ සති තුනට කර ගන්න!
බලා පොරොත්තු තබා ගත යුත්තේ කඩවීමෙන් වෙන දුක විඳගත හැකිනම් පමණි කියල කවුදෝ කීවට අපිව ජීවත් කරන්නෙත් ඉස්සරහට ගෙනියන්නෙත් සිහිනත් බලාපොරොත්තුත් මිස වෙන මොනවද?
ලංකාවෙ ඉන්නකල් රට යන්න සිහින දැකල, රට ගියාම ලංකාවට එන්නේ දකින සිහින අපිව ඉස්සරහට ගෙනියනව වගේම ඒ හීන බිඳුනම අළුත් හීන මවා ගන්නත් උදව් කරනවයි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා හීන හැබෑ නොවුනට වඩා මටනම් දුක හිතෙන්නෙ එව්ව මවා ගන්න බැරිවෙනකොටයි.
මවා ගත්ත හීන සැබෑ කරගන්න මහන්සි වෙන එක තමයි මගේ නම් ජීවිතේ.
ඒ හින්ද ලංකාවෙ මදුරුවොයි,
දුමයි, ට්රැෆිකුයි හින්ද ආයි මෙහෙ ඇවිත් සැප පුටුවෙ නිදාගෙන සිංහල ටෙලියක් බලල, නිව්සුත් පොඩ්ඩක් කියවල රට යන අත ගැන කම්පාවෙන්න හීන මවනතුරු...
... " මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න"....
මගේ සිහින බෙදා ගන්න හැමදාම එන හැමෝටම ජය!