කලකට පෙර අවුරුද්ද කියන්නෙ කොළඹ උන්ට බඩගින්නේ ඉන්නට වෙච්චි කාලයක්. කොළඹ අවට බේකරි සහ කෑම කඩ, සිල්ලර කඩ වැහිල, ගෝලයො ගම්බිම් ගියපු පාලු නුවර පාරවල් දිගේ රතිඥ්ඥා බඹර චක්කර කැරකුනු ඒ කාලය තාමත් එහෙමද කියල දස වසරකින් අවුරුද්දකට ලංකාවේ ඉන්න බැරි වෙච්චි අපි කොහොම දැනගන්නද?
මාත් මල්ලිලා දෙන්නත්, නංගීත් එක්ක අම්මා තාත්ත අපි ඔක්කොම අන්තිම පාරට අවුරුදු සැමරුවේ 2006 දි. ඉන් පස්සෙ මම එක රටකටත්, නංගි තව රටකටත් ගියා ගියාම තමා.
දරුවන්ගෙ ඉස්කෝලෙ, අධ්‍යන සහ රාජකාරි, ටිකට් සහ සෘතු නිවාඩු වගේ නොයෙකුත් හේතු නිසා මටවත් නංගිටවත් අවුරුද්දට ලංකාවට එන්න ඉන් පස්සෙ ඉඩ ලැබුනෙ නෑ.
ඒ කොහොම උනත් අපි තාම අවුරුදු සමරනව. අවුරුද්ද ලබන දාට කැවිලි හදල, කිරිබත් හදල පොඩි උන්ට අලුත් ඇඳුම් අන්දල, පුලුවන් විදිහට අපි පොඩිකාලෙ ඉඳල වින්ද ඒ අලුත් අවුරුද්දෙ අලුත්වෙන සතුට වින්ද ගන්නව.
අපෙ පොඩ්ඩ කැමති මුං කැවුම් වලට. ලොක්ක කන්නෙ කොකිස්. මම කැමති කොණ්ඩ කැවුම්. අපේ දේවිට කොණ්ඩ කැවුම් බැරිවට අනෙක් දෙක හදා ගන්න පුලුවන්. ගෙදර උදව්වට ඉන්න කෙනා කොණ්ඩෙ ටිකක් කොටට කපාපු කැවුම් හදනව.
ඉස්සර අම්ම කැවිලි හැදුවම නැකත් වෙලාව වෙනකල් අත තියන්න දෙන්නෙ නෑ.
අපිත් මෙහෙදි පහණක් පත්තු කරල අවුරු නැකත් ලබන දා හරි පහුවෙනිද උදේ හරි අපි ඒ කැවුම් කෑවට, ඊට කලින් පොඩ්ඩො දෙන්න ඒව ටේස්ට් කරල ඉවරයි දවසට දෙක තුන ගානෙ.
ඒ කාලෙනම් කෑමෙන් පස්සෙ තමා ගණු දෙනු වෙන්නෙ. කොටිම්ම තාත්තගෙ දාඩිය වලින් හෝදල තීන කාසි අපිට සූදු කෙලින්න දෙන්නෙ එදාට.
ඊටත් පස්සෙ පිඟන් අරන් ගම වටේ යනව. මුලිම්ම යන්නෙ කෙල්ලො ඉන්න ගෙවල් වලට. වටෙන් එන හොඳ කෑම පිඟන් වල තියෙන ඒව ගෙදර තියාන, නැත්තන් ඒ වෙලාවෙම බඩේ දාල ආරස්ස කරගෙන අනික්ව වටේ යවනව.
ඒත් ඉතින් මේ නොරට ඉන්නෙ නෑයටයි යාලුවටයි ලඟ ඉන්න අර තඩි දුමියයි, දුරින් ඉන්න සපයි දුකයි විතරනෙ. ඒ නිසා නෑ ගං යාමකුත් නෑ.
ඒ කාලෙ අපි අවුරුද්දට කැට ගහනව, කාගෙ හරි වත්තක තීන ඔන්චිල්ලාවක් පදින්න සෙට් වෙනව, ඒත් නැත්තන් මැච් එකක් හරි ගහනව. ඒත් මේ කාන්තාරෙ ඉන්න අපේ පොඩි උන්ට වුරුදු දැනෙන්නෙ කැවිලි වලින් සහ ඇඳුමෙන් විතරයි.
ඇත්තටම එහෙම බැලුවම අපිට මොන අවුරුදුද? ඒක එහෙම උනත් කවද හරි අපේ පොඩි උන් ඔය සමරණ විඳින දේත් කවද හරි රස කරල කියාවිද, විඳීවිද?
නැකතක් මොකටද ගිණි මොල වන්නට
නිරතුරුවම ගින්නේන් දැවෙනා මට
හැළියක් මොකටද කිරි උතුරන්නට
ඉඳුල් බතින් බඩ වියත රකින මට....
නැකතක් මොකටද ......
ගල් ගෙඩි මොකටද ලිප බැඳ ගන්නට
අහුලාගත් ගල් හිසට වදිනකොට
මොහොතක් මොකටද වැඩ අල්ලන්නට
හැම මොහොතෙම කැපවී සිටිනා විට
නැකතක් මොකටද ......
නානු තවරලා කුමටද දියනා
දූවිල්ලෙන් ඉපදී සිටිනා මට
කදමලු බැඳගෙන නෑගම් යන්නේ
කුමටද තුන් හෙළයම නෑයින් කොට
නැකතක් මොකටද.....
පළි - වසන්තය එනවා සත්තයි.