කඳුළු සහ දුක යනු යුගල පද සේ එකිනෙක බැඳී තිබුනද, ඒ කඳුළුම සතුටටද උපදී. මේ ගෙවෙන්නේ දුකට සහ සතුටට ලොවේ මිලියන ගණනක් ජනයා කඳුළු හෙලූ සහ හෙලනා අගෝස්තුවයි. වර්ථමාන කතාන්තර ගැන ඇති තරම් කතාවෙන මොහොතක, අගෝස්තු කඳුලුවල අතීත මොහොතක් ගැන විමසන්නට සිතුනි.
අගෝස්තුවේ කඳුලු කතා බොහොමයකි. මිනිස් ඉතිහාසයේ අවසන් ලෝක යුද්ධය වනු ලබන දෙවැනි ලෝක යුද්ධයේ අවසානය දකිමින් ජපනුන් යටත් කර ඇමරිකානුවන් සතුටු කඳුළු හෙලුවේ අගෝස්තුවේදීය.
යුද්ධ කෙරූවන්, නොකෙරූවන්, දරුවන් නොදරුවන් ලක්ෂ ගනනක් මොහොතින් අළු කොට ඉතිහාසයේ මහා ඛේදවාචකයක් සටහන් කල හිරෝෂීමා, නාගසාකි බෝම්බ මිහිමත හෙලමින් මහා කඳුලු උල්පතකට මඟ සෑදූයෙද මේ අගෝස්තුවයි.
ඉතිහාසය පුරා යුරෝපයට නොයෙක් විස්මිත දේ සැපයූ එහෙත් කිසිදිනක මහපොළොව මත යථාර්ත්යක්ව නොපැවතුනු නිදහස් නිවහල් "ඉන්දියාව" මිහිමත බිහිවූයේ අගෝස්තුවකය. ඒ අගෝස්තුව නෙරුලාට ගාන්ධිලාට පටෙල්ලාට සතුටු කඳුලු ගෙනා ආ වසන්තයකි.
අනෙක් පසින් ඉන්දියාවට කිසි දින පා නොතබා තිබූ සිරිල් රැඩ්ක්ලිෆ් විසින් අඳින ලද ඉරක් මත පදනම්ව ඒ වනවිට කාසරෝගයෙන් පීඩා විඳි බලලෝබී ජාතිවාදියකුගේ දෑසට සතුටු කඳුලු ගෙනෙමින් පකිස්ථානය නමින් වෙනමම මුස්ලිම් දේශයක් බිහිවූයේද අගෝස්තුවේදීමය.
එතෙක් එක් දේශයක්, එක් පලාතක්ව පැවති, එකම බසක් දෙඩූ පංජාබයේ සහ බෙංගාලයේ දහස් ගනන් අහිංසක ජනයා උනුන්මත නැගී මරා ගත්තේද, ඉන්දු සහ ගංගා නදී දිය රත් පැහැ කරවිමින් දරුවන්, ස්ත්‍රීන් සහ මහල්ලන් ඇතුළු දහස් ගණනකගේ ජීවිත වලට කඳුලු ගෙනාවේද එම අගොස්තුවමය.
සාමකාමී සහ ධනවත් අරාබි රාජ්‍යක් වූ කුවේටය යටත් කරගත් ඉරාක නායකයා සතුටු කඳුලු හෙලත්දී, තම දූ දරුවන් සමග අතට හසුවූ දේ රැගෙන කඳුලු සලමින් අසල්වැසි රාජ්‍යන්ට කුවේට් ධනපතියන් පලා ගියේද මේ අරුම අගෝස්තුවෙදීමය.
හිතමිතුරු සමාජවාදීන් සිදුවූ දෙය අදහාගත නොහැකිව දෑස් කඳුලින් පුරවා බලා සිටිත්දී, නිළධාරීවාදයෙන් හෙම්බත්වී සිටි සෝවියට් ජනයා නිදහසේ සතුටු කඳුලු වැගිරුවේද අගෝස්තුවකය.
එපමණක් නොව ස්වාභවධර්මයද අගෝස්තුවේ ඇතිවෙන්නට කඳුළු අපට දී ඇත. ලොව එතෙක් මෙතෙක් වාර්ථා වූ දරුණුතම සහ ප්‍රභලතම ගිණිකඳු පිපිරීම වූ ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනිකඳු විදාරණයද අගෝස්තුවකම විය.
මේ ලැයිස්තුව සොයා බලන්නේනම් තව බොහෝ දිගය. එලෙස දික් කල හැකි අගෝස්තුවේ සිදුවූ ලැයිස්තුවේ එක් සුවිශේෂී කරුණක් ගැන ඔබට තරමක් විස්තර කියන්නට සිතුනි.
සයිප්‍රසය නම් කුඩා දූපතට අයත් වරෝශා යන නම එතරම්ම ඔබ අසා නැති වුවත් ෆමගුස්ත යන නම සමහරවිට අසා තිබෙන්නට හැකිය!
picture from bbc
ෆමගුස්තා ප්‍රදේශයේ වරෝශ නම් වෙරළාශ්‍රිත නගරය මීට වසර හතලිහකට පෙර, එනම් 1974 අගෝස්තුවට පෙර මුළු මැදපෙරදිගම තිබූ ඉතාම සුපිරි සහ ධනවත් සංචාරක පුරවරයයි. අද ඩුබායි සංචාරක පුරය ඇත්තේ කොතැනද, එදා ෆමගුස්ත නගරය එතැන විය. යුරෝපයේ සහ ලෝකය පුරාම ජනප්‍රිය ධනවත් සංචාරකය්න්ගේ පාරාදීසිය වූ වරෝෂ මුහුදු වෙරළ එදා සංචාරකයන්ගෙන් පිරී තිබුනේ මේ ආකාරයටය.
එහෙත් ඉතිහාසයේඑකට එක් රටක සතුටින් දිවිගෙවූ මිනිසුන්, විදේශ අතපෙවීමකින් දෙකට බෙදීමේ කුරිරු ප්‍රථිපලයක් ලෙස අද වනවිට වරෝෂ යනු මුලුමනින්ම හිස්, නිහඬ, මිනිස්වාසයෙන් තොර පුරවරයකි.
මේ අද වරෝශ හී තත්වයයි.
පහත රූප දෙකින් පෙන්වන්නේ එකම වෙරලෙහි එදා සහ අද තත්වයයි.
1974 අගෝස්තු 14 වෙනි දිනසිදුවූ තුර්කි හමුදා ආක්‍රමණය නිසා ෆමගුස්තාවෙන් සියලු ජනයා අතට හසුවූ දේ ගෙන පලා ගියහ. සොඳුරු තරු පන්තියේ හෝටල් සියගනින් විසිරුණු මේ වරෝෂාව කම්බි ගසා වෙන් කල තුර්කි හමුදාව ඉන්පසු එයට කිසිවෙකුට ඇතුලුවීම තහනම් කරන ලදි.
ඇතුවන්නන්ට නියත තිළියන මරණය පමණි.
අද වනවිට තුර්කි සයිප්‍රසයන් විසින් ග්‍රීක සය්ප්‍රසයන් හා සාක්ච්ඡාවේදී හෙට්ටු කිරීමේ මෙවලමක් ලෙස පමණක් යොදා ගන්නා මේ භූමිය, තරු පහේ හෝටල් 40 අධික සංක්‍යාවක්, තවත් හෝටල් සිය ගනනක්, ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් සුපිරි වෙළඳසැල්, කඩසාප්පු සහ දියුණු නගරයක වූ තවත් බොහෝ සම්පත් සමඟ දිරාපත්වෙමින් පවතී. මෙහි සතුටු වන්නෝ නම් ඒ කැලයෙන් වැසෙනා නගරයෙහි සැරි සරන උරගයින් සහ අනෙකුත් සත්වයින් පමණි.
මේ අත්හැර දමන ලද ෆමගුස්ත අන්තර්ජාතික ගුවන්තොටුපොලයි.
මෙපමනක් නොවේ, මේ අගෝස්තුව සමහර දෙමාපියන්ටද සුවිශේෂීය. ඒ අතර ඇල්ෆ්‍රඩ් හිච්කොක්, නැපෝලියන් බොනපාට්, ඕවිල් රයිට්, තෙරේසා මව්තුමිය වැනි ලොව සුවිසේෂී චරිතයන් බිහිකල දෙමාපියන් සේම අවශේෂී මාගේ දෙමාපියන්ද සිටීම මට සුවිශේෂීය!
ප/ලි,
මෙය ලියන්නට සිත් වූයේ මීට වසර හතලිහකට පෙර කුඩා දරුවෙකුව ඇඳිවත පිටින් අනාත කඳවුරක ගාල් වී තම දේපොල අධ්‍යාපනය අහිමිව වඩුවෙකු වූ මගේ දක්ෂ මිතුරාගෙ කතාව නිසාය. එසේ නොමැතිව උපන්දිනයක් නොවේ ( එයට තව කල් තිබේ).
ප/ප/ලි,
මේ අගෝස්තුවෙ සිංහල බ්ලොග් අවකාශයට ඉතා වැදගත් සැමරමකුත් තියෙනව.
ඒ තමයි මේ වනවිට සක්‍රිය සහ යාවත්කාලීන වෙන පැරණිතම සිංහල බ්ලොග් අඩවිය වන බිත්තිය තම අටවෙනි උපන්දිනය මේ අටවෙනි මාසෙ සැමරීම. ( වැඩේ කියන්නෙ ඔච්චර වයස උනත් ඒකට තාම තියෙන්නෙ හිට්ස් 80,000 අඩුවෙන්ලු. බලන්න ඒක කොයිතම් ලොකු පාඩමක්ද කියල දෙන්නෙ කියල )
ඡායාරූප; අන්තර්ජාලයෙනි.
ප/ප/ප/ලි
අපේ විචාරක මෙන්න මේ ගැන තීන යූ ට්යුබ් වීඩ්යෝ ගොන්නක් හොයාගෙන. වැඩි විස්තර මෙතනත් ඇති.