Tuesday, September 23, 2014

රෑට යළි ඉර පාන නැඟ එන වග නම්...!!





ගීතයක් ඔහේ  නිකම්ම අසන්නට දීමෙන් එහා ගොස්, එහි යම් අවස්ථාවක් හෝ සමස්ථ ගීතයම තම ජීවිතයේ පුද්ගලික සිද්ධියකට සම්භන්ධ කර, එම සම්භන්ධය පොදු අත්දැකීමක් ලෙස සියළු රසිකයන්ට දැනෙන්නට සැලැස්වීම ලෙහෙසි පහසු කාර්‍යක් නොවේ.

කොටින්ම එවැන්නක් ලාකීය ගුවන්විදුලි ඉතිහාසය තුල එතෙක් අත්හද බලා තිබූවක්ද නොවේ.

එවන් වටපිටාවක, ප්‍රවීන ගීත රචක බන්දුල නානායක්කාරවසම් අප වෙත ගෙන ආ රෑ ඉර පාන, අපූරු සහ අමුතුම අත්දැකීමකින් ශ්‍රාවකයන් මෝහනය කරන්නට සමත්විනි.

වර්ථමාන එෆ් එම් කරච්චල් සංස්කෘතිය නිසා ගුවන් විදුලිය එපා වූවෝ මෙන්ම, කොත්තුරොටි සංගීතය යනු සංගීතයයැයි රැවිටී සිටියෝද, නැති කමට දෙන දේ වළඳා වෙන දේ බලා උන් අති බහුතරයක් වූ රස කුමදැයි දන්නා රසවතුන්ද රෑ ඉරපාන මුල් රැස් දහරේ සිටම ඒ වටා රොද බැඳෙන්නට වූහ.

එය සැබැවින්ම රාත්‍රිය එළඹ අඳුරුව යමින් තිබූ සිංහල ගී ලොවට පෑයූ රෑ ඉර පානක්ම විය.

ගාල්ලෙ බන්දුලගේ කුඩා කල ගෙවුනු මහ ගෙදර, නිවෙස පිටුපස වෙල්යාය, රිච්මන්ඩ් විද්‍යාලය, පොල්ඉන්දුහේන්නේ නිවස පමණක් නොව ඔහුගේ බැංකු ශාඛාවද යන ඈ මේ සියල්ල අපිද ආ ගිය, යන එන තැන් බවට පත් වුනි.

බන්දුලගේ ළමා කල සිදුවීම් අපේ සහ පෙර පරම්පරාවල බහුතර දරුවන්ගේ පොදු හැඟීම් වූ නිසා, ඔහු ඒ හා ඉදිරිපත් කල ගීත අපේම ගීත විය.

ගීයක් පසුපස ඇති සොඳුරු කතාවක්, එයට සම්බන්ධ කවියක් හෝ වෙනත් සිද්ධි දාමයක් සමඟින් ඉතාම දුලබ, මිහිරි ගී රැසක් එක් කල තැනූ රෑ ඉරපාන, FM ගුවන්විදුලි ඉතිහාසයේ මුල් වරට දෙහෝරාවක් එක තැන හිඳ විඳින්නට අතිශය සොඳුරු අත්දැකීමක් අපට දුනි.

එවන් රෑ ඉර පාන, වසර ගණනක් සඟවා සිටි රසික රස හිත් සනහමින්, එතෙක් සුභාවිත සිංහල ගීතය කෙරෙහි වූ වූ තම උන්මාදනීය රසිකත්වය සඟවා සිටි  දහසක් දනන් කළඹවන්නට විය.

එය කලක් කතරක අතරමංව හුන් සිටි සිංහල සුභාවිත ගී රසික දනට පවස නිවන සිසිල් දිය කඳක්ම විනි!

මෙවන් සොඳුරු සහ දනන් හද කුල්මත් කල රෑ ඉරපාන කෙතරම් රසවත් වූවත්, එහි අන්තර්ගතය එතරම් වැදගත් වූ මුත්, එය ශ්‍රාවකයින් අසන්නන් පිළි ගන්නෙ නැතිනම්, එහි ඇති ඵලය කුමක්ද?

රෑ ඉර පාන ඇසූ කිසිවෙකුට, එයට පෙම් කල සහ ඒ වටා එක්වූ දහස් ගණනක් වූ රස හඳුනන රසික ප්‍රජාවට, ඒ තම සොඳුරු ලබැඳියා වූ ඉරපානට මෙම තත්වය ඇතිවිය හැකියැයි විස්වාස නොකරන්නට ඇත.

එහෙත්, ඒ ආදරණීය රෑ ඉරපාන සිය වැඩසටහන් සියයේදී, එනම් තම ජනප්‍රියත්වයේ හිණි පෙත්තේදී නවතා දමන්නට යෝජනා කල බවක්, අවසන් කිරීමට දැඩි බලපෑමක් තිබුණු බවක් මා කියුවෝතින්?

එය කිසිසේත්ම කිසිවෙකු පිළිනොගන්නවා ඇත.!

සත්‍ය සැම විටම ප්‍රභන්ධයකට වඩා විශ්මයජනකය.!!

කිසිවකු විශ්වාස නොකරන මුත්, දෙරණ නුහුලන ඒ බලපෑම ඉරපානට සිදුව තිබුනි. ශ්‍රාවකයන්ගේ වාසනාවට, මෙහෙයවන්නාගේ කැපවීමට සහ අනුග්‍රාහකයාගේ කාරුණිකත්වයට පින්සිදුවන්නට එදින එම කඩුල්ල පැන ආ මුත්, ඉරපානට වූ බලපෑම් එයින් නොනැවතිනි.

ඔවුන් මුලින්ම සෙනසුරාදා උදෑස ඉරපාන නැවත විකාෂය කපා දැමූහ. ඒ 2013 දෙසැම්බර් මුල සිටය.

කපා දැමීම නොව කපා හෙළීම ඉන් පසුව විය! අවසන, එතෙක් මෙතෙක් සිංහල ගී රසික ලොව එකළු කල ඒ මහා තාරකාව, රෑ ඉර පාන 2013 දෙසැම්බර් 22 දින නිවී යන්නේ, එහි කාලය අවසන්ව නොව රුදුරු ලෙස අවසන් කර දැමූ නිසාවෙනි.

රෑ ඉරපාන අවසන් වැඩසටනෙහි බන්දුලයන් පවන ලෙසින්ම, ලංකාවේ ගුවන්විදුලි නාලිකාවන්හි ජනප්‍රියත්වය මනිනා "රේටින්" කොම්පැණි කරුවන්ට අනුව ඉරපාන පල්ලම් බැස ඇත. ඔවුනට අනුව ඉරපාන තව දුරටත් ජනප්‍රිය, මිනිසුන් "අසන සහ ප්‍රිය කරනන" වැඩ සටහනක් නොවීය.

මේ අතිශය දරුණු චෝදනාවේ ප්‍රථිඵලය දෙසැම්බර් 22 දිනෙන් පසු ඉරපාණ නිවී යෑමයි.

ඒ ඉරපාන නිවී යාමේ ඔබ නොදත් කතාන්දරයෙන් කොටසක් පමණි. මෙහි මාද නොදන්නා සහ දන්නා තවත් බොහෝ අප්‍රසන්න සිදුවීම් වැළලී ඇත.

ඒ සියල්ල අමතක කර ඉර පාන නැවතත් උපදින්නට, ගී රසික පිරිසට එළිය දෙන්නට එයට හැකි පමණ උත්සාහ ගන්න ලදි.

ඒ, කිසිදිනෙක සැබෑ කළාකරුවන් මර්ධනය කල නොහැකි බැවිනි.

රෑ ඉරපාන ගුවන් විදුලි විකාෂය දෙසැම්බරයේ අවසන් කෙරූ  මුත්, නොසැලුනු ඉරපානේ හිතවතුන් අප්‍රේල් මස කොළඹදී හමුවී, එකට එකතුවී ඉරපාන වෙබ් පිටුව ඇරඹීය.

ඔබ බොහෝ දෙනෙක් නොදන්නවා ඇති මුත්, ඉර පාන කෙටි වැඩ සටහන් ලෙස බීබීසී සංදේශය හරහා විකාෂය විය.


එහෙත් ඒ කිසිවකින් සම්පූර්ණ දෙපැයක ඉරපාන වැඩසටහනකින් තරම් ශ්‍රාවක පිපසාව සංසිඳවන්නට නොහැකි බව රෑ ඉරපාන නිර්මාපකයාගේ සහ ඒ වටා එක්ව සිටි සැමගේ පොදු අදහස වී තිබුනි.

ඉර පාන ඇසූ, එයින් වශීව සිටි සැමගේ එකම බලාපොරොත්තුව එය යලිත් සිය පූර්ණ කිරණ දෙපැයක් තුල විදා හරිමින් අඹර අරා පායනු දැකීමම විය.

සුභාවිත සිංහල ගීතයට, රෑ ඉරපානට ආදරය කල සැමගේ සිත් පුබුදුවමින්, ඒ දිනය යලි උදාවන පෙරමග ලකුණු පහලවෙමින් ඇත! ඒ, එළඹෙන ජනේරුවේ සිට වෙනත් නාලිකාවක රාත්‍රියට ඉරපාන පායන්නට නියමිත බැවිනි.

නාලිකාව, දිනය සහ අනෙකුත් විස්තර ඔබට නුදුරේදීම දැනගන්නට ලැබෙනු ඇත. එසේනම්, නැවත වරක්, රෑට පායන ගී ඉරපානේදී හමුවෙමු!!




මෙන්න රෑ ඉරපාන යලි ඉපැදීම ගැන එහි සොඳුරු නිර්මාපකයාගෙ සටහන.

"චැනල් එක හොඳම එකක්....මට කරන්න කීවෙ වහාම ක්‍රියාත්මක පරිදි, මම ජනවාරියට දමාගත්තෙ,,කම්මලිකම ඇරගන්න....සමාවෙන්න එයට...පටන් ගත්තම දිව් හැටි පෙනෙනව නේද සති 115 ක්...ඔබේ ආදරයට තුති"

_________________________________________________________________________________

පසු සටහන - ඊයේ මධ්‍යම රාත්‍රියෙහිදි බන්දුල නානායක්කරවසම් මහතා විසින් පහත සටහන යොමුකර තිබුනි.

ඉන්දික 

මෙය බ්ලොග්  සටහන් කල විට  MOST  CHARACTORS  කියා  ගණනක්  විත් COMMENT  එක PUBLISH  නොකරයි 
කරුණා කර මෙය එහි දමන්න රෑ  ඉරපානට  ලැබෙන  හැම  ප්‍රතිචාරයක්ම  එහි වර්ධනයටත්  වඩා  හොඳ  ගී  අගයන්න  අද  සමාජය  පොළඹවන්න පිටුවහලක් වේවි 

මේ  ලිපිය  මගේ  වැඩසටහන  ගැන  ඇතිවුණු  හැගීමෙන්  ලියු  බව පෙනෙනවා 
ලිපියේ  සදොස්  තැන නිදොස් කරන්නට  සිතා සිටියත්  අධිකව  මේ දිනවල  රාජකාරියේ  පැටලී  සිටින නිසා  මඟ  හැරුනා 

මෙන්න  ඒ සමහර  දෑ 
-----------------------------

1. "රෑ  ඉරපාන " අදාළ  නාලිකාව  විසින්  කපා  දැම්මේ  නැත 
    සෙනසුරාදා  ප්‍රති විකාශය  2014 ජනවාරියේ  සිට නතර  කරන්නට එහි  කළමනාකාරීත්වය  තීරණය කොට  ඇතයිද , ඉරිදා  මුල්  වැඩසටහන  පමණක්    එම ජනවාරියේ  සිට  ඉදිරිපත්  කරන ලෙසත්  දැන්විණි.  දෙසැම්බර්  මුල්  සතියේ දැන්වීම  අනුව තීරණය  මගේ විය. දෙසැම්බර්  22 දාට පෙර  තීරණය  ලෙස මම ඔවුනට  කීවෙ එනම්  ඉරිදා ට  වඩා  ප්‍රති විකාශයට  සෙනසුරාදා  මහා  ශ්‍රාවක  පිරිසක් ඇති නිසා එය නොකපන ලෙසය 

නමුත්  දෙසැම්බර් 20 වන විට  මට දැනුම් දුන්නේ  ඉරිදා  රෑ  ඉරපාන  අවශ්‍ය  බවත්  ප්‍රති විකාශය  නතර  කරන බවත්ය 

මම ඉඳුරා  එරෙහි වීමි 

එක සෙනසුරාදාවක්  හෝ නොකැපෙන  සේ 29 වැනිදාට ප්‍රතිවිකාශයෙන්ම  අවසාන  වනසේ  සමු ගතිමි. හරි නම්  මා   දෙසැම්බර්  30 වැඩ සටහන  කල හැකිව තිබුණි. නමුත් එහි ප්‍රති විකාශය  නියමිත  ජනවාරි 5  වැනිදාය. ජනවාරි 1 වෙනිදා සිට  ප්‍රති  විකාශය  නතර කරනවායි කියූ  නිසා  එක වැඩසටහනක්  හෝ කප්පවා  ගැනීමට අකමැති වුනෙමි 

රේටිං  ගැන කීවේ  ඇත්ත  ක්‍රමය සොයා බැලූ  විට  ඇතිවූ  අප්පිරියාව  නිසාය ; මේ රේටිං  බොරුව ලොවට කිව යුතු නිසාය 

කපා  දැමීමක්  හෝ 'පල්ලම් බැසීමක් ' තිබුනෙම නැත අනික  'එය ශ්‍රාවකයන්  අසන්නන්  පිලි ගන්නේ නැත්නම් '  කියන  වැකිය  නොගැලපේ

මෙම  වැඩසටහන  සඳහා  අදාළ  අනුග්‍රාහකත්වය  එම ආයතනය  ලබා  දුන්නේ  මුළුමනින්ම  මා  හා  ඔවුන් අතර  වූ  දැඩි  සම්බන්දය  මතයි.  ශ්‍රව්‍ය  නාලිකාවක්  ලෙස ඔවුන්  නොදැන  සිටි  නිසා  වඩා  ආකර්ෂණයක්  හා පැකේජයක්  දීම  තුලින්       නාලිකාවට  මෙම  අනභිබවනීය අනුග්‍රාහකත්වය ලබා ගැනීමට  එවක   නාලිකා ප්‍රධානි  මා මිත්‍ර  නිලේන්ද්‍ර  දේශප්‍රිය  මහතා විසින්  මෙම      සෙනසුරාදා  ප්‍රති  විකාශය ලබා දීමේ  ප්‍රතිඥාව අදාළ ආයතනයට  දී සැනින්  රෑ  ඉරපාන  සැබෑවක්  කළේය 

2. තවත්  මෙහි රසවත්  කතාවක් වෙයි 


    මුලින්ම  මෙය  ඉරපාන  විය 
    ලබා දුන්  කාල සීමාව  ඉතා  ආකර්ශනීය  දැඩි  ඉල්ලුමක්  සහිත  සෙනසුරාදා  උදේ  8 - 10  විය 
    හරියටම  නිහාල්  වික්‍රම  මිතුරාගේ  'සති අග  සාදය ' විකාශය වුයේ  ඒ කාලයේදීය 
    මම මාධ්‍ය  රැකියාවෙහි  නියුතු වුවෙකු  නොවන නිසාත් , මිත්‍රත්වය  හා නිහාල්ගේ වැඩසටහනට  නිබඳ  සම්පත්  දායකයෙකු  ලෙස  සම්බන්ධ  වූ
    නිසා එම  වටිනා  කාල අන්තරයට  අකමැති  වීමි  ; ඒ අන්‍ය  නාලිකාවක් වුවත්  සදාචාරය  වෙනුවෙනි ; නිහාල් එය දනී 
    නිලේන්ද්‍ර  කීවේ "එහෙනම් තියෙන්නේ ඉරිදා  රෑ  7 - 9  පමණයි " කියාය ; එය කව්රුවත්  අහන්නේ නෑ  කියාය 
    මම අභියෝගය  බාර ගතිමි 

   'ඉරපාන "  "රෑ  ඉරපාන " ලෙස නම් කලෙමි   
   අනුග්‍රාහක  ආයතනයට  යන අතර  තුර නිහාල්ට  මා කල සත් ක්‍රියාව  ගැන කීවෙමි 
   " අය්යෝ  බන්ධු  තේරුමක් නෑනේ , මම  හැමදාම  ඒක  කරන්නෙත් නෑ 
      අනික  උඹයි  මමයි  එකම  වෙලාවේ  ගුවන් විදුලියෙන්  කතා කරන එක  කොය්  තරම් හොඳද ?"

     නිහාල්  එසේ  කීවත්  මම වෙනස් නොවුනෙමි 

     එම  දෙබස ඇසූ  කෙනෙකු ලෙස  නිලේ  පෙරකී  යෝජනාව  අනුග්‍රාහකයනට  කළේය 
     ඔවුහු  එදාම  එමොහොතෙදීම  කැමැත්ත දුන්නේ  අපගේ ප්‍රථම  වැඩසටහන  අසා  හැගීම්බරවය 
     එවන්  දුකසේ  ලබා  ගත්  වටිනා  අනුග්රාහකත්වයකට  පයින්  ගැසීමයි  මට ඇතිවූ  මුල්ම  කම්පනය 
අද කාලේ  දරුවන්  මරුවන් කරන බිහිසුණු  දෙයට  මුදල්  යොදවන  අය  අනන්තය , නමුත් මෙවැන්නකට  හංසයෙකු  දියට බසින්නා  සේ  උදව්  කරන  ආයතන  නැත 

දවසින් දවස  නොව නතර කර  මාස  9 ක්  ගිය තැන  අදද  ලැබෙන ප්‍රතිචාර  පුදුමය 
E  MAIL  ලිපින පමණක් 10,000 අභිබවා ඇත 

ඉන්දික මේ සියල්ල  කලේ  හදවතින්මය 
ඔහු මගේ  නිවැරදි  කිරීම් බලා පොරොත්තු  විය 
මගේ වරදින්  ඒවා  නොකිරීම  නිසා ඔහු  එලෙසම  එය පල කළේය 
දැන් නිදි මරාගෙන  උත්තර  දිය යුත්තේ  නිවැරදි කරන්නටය 
එයද ලෙහෙසි නැත 
ලියු  ටිකෙන් යමක්  ප්‍රකාශ  වන්නට ඇත 
රෑ  ඉරපාන  2013  හොඳම  සංගීත  වැඩසටහනට  හිමි   රාජ්‍ය  ස්වර්ණ  සම්මානය  හිමි විය 
වදනින්  විස්තර කල නොහෙන , ඉතා දීර්ඝව  වෙලාව  යන සිදුවීම් අනන්ත  ඇත 

ඒවා  කුමකටද ඔබට කියන්නේ ?

ඔබ බලාපොරොත්තු  දල්වා ඉන්න 

මම ඔබ හඳුනමි 
මම ඔබ  සුරකිමි 
මම ඔබ සනසමි බිලිඳු  වයසේ සිටින දරුවන්ගේ  සිට පරිනතයා  දක්වා මට නන්   දෙසින්  ලැබෙන ප්‍රතිචාරය විස්තර  කල නොහේ 
එබැවින් ඔවුන්  වෙනුවෙන්  මම නොකඩවා  ගුවනින් කතා කරමි 
කියන්න බැරිවුණු ගී හා ජීවිතය   පිලිබඳ  සම්න්ධය  නැවත පහදා දෙමි 
හොඳ දෙයට ඇති ඉල්ලුම  පැහැදිලිය 
මා සමග  ලගින් ඉන්න 
එවිට  කවුරු තනි කලත්  ඔබ ඇති සිතේ 

බන්ධුල

Monday, September 15, 2014

උන්ව පරදා මුන්ව දිනවීම..!!

                    
වීරකම් කරන්නට..
සතුරෙකුත් නැතිකලට..
අනේ අම්මේ උඹේ
රණවීර පුතන්ඩිය
වගෙයි ගමරාළයගෙ
බකල් උනු වංගෙඩිය...

බල බලා පින්තූර..
උඹටවත් සැනසෙන්න
කියලා දස්සකං
ඒ කාලෙ මම කෙරුව
උඹට තිබ්බා අම්මෙ
මං හින්ද ඉදිමෙන්න...
පැන්නනං ඒ කාලෙ
කොටියගේ බුල්ඩෝසරේට..

අනේ ඒ උනත් දැං
අලවත්දි පෝස්ටර්..
දරා අත බාල්දිය
බිම හෙලා ගිණි අවිය
බල්ලොවත් බලන්නෑ
බලු වුනිද හමුදාව....??


පින්තූරය ගත්තෙ මෙතනින්

Wednesday, September 10, 2014

ඇපල් පණුවන් නැති එකල!!

සාහිත්‍ය මාසය ඇරඹෙනවත් එක්කම සිංහල බුකි කරුවන් අතරෙ අලුත්ම රැල්ලක් හමා ගියා. මේ කවුරු කවදා පටං ගත්තදැයි කියන්න නොදන්නාමුත්, එය අනෙක් රැළි වලට සාපේක්ෂව ඉතාම සුන්දර සහ වටිනා රැල්ලක්.

"ඔබේ ජීවිතයට වඩාත්ම බලපෑමක් කල පොත් දහය නම් කරන්න"

මේ අභියෝගය සමහරු නිවැරදියට තේරුම් ගත්තදැයි සිතුන අවස්ථා සහ අවංක වූයේදැයි සිතෙන අවස්ථාද ඉඳ හිට දුටු මුත්, බහුතරය තමන්ට "බලපෑමක් සිදු කල" පොත් නම් කරත් තවත් අය "තමන් ප්‍රිය කරන/ කල පොත්" නම් කරල තිබ්බ.

මටත් ඔය අභියෝගය අපේ හිතවත් නලින් දිල්රුක්ෂ පු.ක තුමා හරහා එල්ල වුනා.

බුකියෙ විකාර මැද ආපු ඒ සොඳුරු අභියෝගය මම බාරගත්තෙ ඉතාම සතුටින්. ඇත්තටම ඒක මට මගේ ළමා කාලෙට ගිහින්, ඉතිහාසෙ මම හැරුණු, නැවතුනු තැන් ගැන හොයල බලන්න පෙළඹුව. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒ ඉතිහාස සාගරේ කිමිදිල බලත්දි අපි පහුකරගෙන ආපු, මිණි මුතු දාස් ගානක් අතරෙ, බොහොම අපහසුවෙන් වඩාත්ම සාධාරණ තෙරීමක් හැටියට මට සෑහෙන්න පුලුවන් පොත් දහයක්  නම් කරල ඒ පොත් ලිස්ට් එක බුකියෙ ප්‍රසිද්ධ කරාම, අපේ හිතවත් හෙන්‍රි වර්ණකුළසූරිය සහෝදරය කියල තිබ්බ " මට හිතෙන්නෙ පොත් තේරීමේදී වඩාත් අවංක වුණ කෙනා තමයි Indika Kodithuwakku" කියල.

මේ සුන්දර පොත් නම් කිරීමෙ අභියෝගය බුකියට ගෙනාවෙ කවුදැයි නොදන්නාමුත් ඒක සිංහල බ්ලොග් වලට ගෙන ඒමේ ගෞරවය අපේ මාතලන්ට හිමිවෙනව, ඔහු අද තමන්ගෙ පොත් ලැයිස්තුව බ්ලොග් එකේ පලකිරීමත් එක්ක.

ඇත්තටම ඒක ඉතාම හොඳ ප්‍රවනතාවයක්. එක පැත්තකින් වෙනස් පිරිසක් අතරෙ කතා බහ කරන්න වගේම, බ්ලොග් වලට බුකියෙන් එල්ල වෙන අභියෝගයට පිළිතුරක් දෙන්නත් ඉතාම සුදුසු ක්‍රමයක්.

සාහිත්‍ය මාසෙ මාතලන් පටන් ගත්තු ඒ ව්‍යායමයට එකතුවෙන්න, බ්ලොග වලින් බුකියට උත්තර දෙන්න එකතුවෙන්න ඔන්න නැවත පලකිරීමක් උනත් මගේ පොත් ලැයිස්තුවත් වඩා සවිස්තර සටහනක් එක්කම මමත් බ්ලොග් ගත කරා.

1. ප්‍රගති වාර්ථා පොත -
මේක මගේ ජීවිතේට කරේ පුදුම බලපෑමක්. අපේ ප්‍රාථමික ඉස්කෝලෙ ඉන්න කාලෙ මම මේක ගෙදර ගෙනිච්චී වීරය වගේ. මොකද හැමදාම පන්තියෙ මුල් අංක තුනෙන් එකක් මටත් තිබ්බ නිසා.

ඒත් පස්සෙ ලොකු ඉස්කෝලෙට ගියාම උනේ ඒකෙ අනෙක් පැත්ත. එතන මම වගේ නෙමෙයි වැඩ්ඩො පිරිල. උන් එක්ක නිකන් ටීචර් කියන පාඩම අහගෙන ඉඳල විතරක් ගොඩ එන්න අමාරුයි. ඒකෙන් උනේ මුල්ම අවුරුද්දෙ, ඒ කියන්නෙ හයේදි එක දෙක උන්නු එකා විසි ගණං වලට වැටිච්චි එක. ඉන් පස්සෙ කාලයක් ආඩමබරෙන් ගෙදර ගෙනිච්චි ඒ පොත, පෙරලන්න-පෙන්නන්න භයානක, දකින්න අකමැතිම පොතක් උනා.

ඒ විතරක් නෙමෙයි, ඉස්සර ලොකුවට ලකුණු තිබ්බ ගණිතය වගේ ඒවට තිස් ගනං වෙච්චි ලකුණු අසූ ගනං කරල අම්මට පෙන්නල ජීවිතේ මුල්ම පොටෝෂොප් පාඩම් ඉගෙනගත්තෙත්, ගාන වෙනස් කරාට ප්‍රතිශත වෙනස් කරන්න බැරි නිසා අම්මට බොරුව මාට්ටු උනාම, බොරුවෙන් ජීවිතේ ගොඩ යන්න ට්‍රයි නොකර ඇත්ත කියල පුලුවන් විදියට දියුණු වෙයන් කියන, අම්මගෙ කඳුළෙන් උරච්චි කරල ගිල්ලවපු ඒ වටිනා බෙහෙත ලැබෙන්නත් මුල් උනේ ඔන්න ඔය ප්‍රගති වාර්ථා පොත. ඒ නිසා මගේ ජීවිතේට බලපෑමක් කල පොත් අතරෙ හැමදාම මුලට ඒ පොත තියෙවි.

2. ලිහිණි පොත් - 50 දසකයේදී එම්ඩී ගුණසේන සමාගමේ ගුරුළුගෝමී ලාංඡනය දරා, තනි වර්ණ, රූප කිසිත් නැති කවරයකින් වැසුණු, එතරම් පිටු ගණනකුදු නැති, එහෙත් රස නොඅඩු මේ කෘති, අපටත් කලින් පරම්පරාවල කුඩා උන්ටද කියැවීම හුරුකල, අගනා රසවත් පොත් රැසකින් යුක්තය.

පසුව බොහෝ ප්‍රසිද්ධ ගත් කතුවරුන් තම මුල් පැන්සල් උල් කොටගත්තේ ලිහිණි පොත් ලිවීමෙනැයි මා අසා තිබේ. රැයිපියෙල් තෙන්නකෝන්, සයිමන් නවගත්තේගම වැන්නවුන් ලිහිණි පොත් කතුවරුන් අතර විය.

කවුරුන් කවදා ගෙනාවේදැයි නොදන්නා මුත්, අපේ ගෙදරද මෙයින් කීපයක්ම තිබුනි. ඒවායින් සමහරකගේ ඉතා රසවත් කෙටි කතාද, තවෙක අද බ්ලොග් ලිපි මෙන් ජීවන අත්දැකීම්ද, තවෙක ඉතා රසවත් උපහාසාත්මක ලිපිද තිබිණි.

එකල රට පුරා පැතිරුනු මැලේරියාව වැලඳී පවුලේ සියල්ලන්ම මිය යමින් ඇති මොහොතක, සියලු බර උසුලා සිටි එකම පුතාටද මදුරු ප්‍රහාරයෙන් බේරීමට නොලැබුනු සැටිත්, ඉන් පසු රජයෙන් දෙන ක්විනීන් සමග බොන්නට නියම කරන බාර්ලි වතුර, මෝල්ටඩ් මිල්ක් වැනි ශක්ති ජනක පානයන් මිලට ගැනුමට නොහැකි දුක්පත් තරුණයෙකු ක්විනීන් බෝතලයම විසිකොට දමා තැඹිලි ගෙඩි දෙකක්ද බී සීතල වතුර නා සිය දිවි නසා ගන්නට කල උත්සාහයම ඔහුට මැලේරියාවෙන් ගැලවෙන මගක් වීම වැනි හද තෙත් කල කතාද, එකලද බහුලව පැවති ගුප්ත විද්‍යා කරුවන්ගේ කටයුතු පිළිබඳ උපහාසයෙන් ලියැවුනුණු "පිල්ලුකොටියේ ගුප්ත විද්‍යා සමුළුව" වැනි රසවත් සහ උපහාසයෙන් නොඅඩු කෙටි කතාද වසර තිහකට පමණ පෙර කියැවූ ඒ පොත් වල පිරී තිබුනි. රචකයන් කවුදැයි මතක නැති, අද වන විට පිටපතක්වත් දකින්නට නැති ලිහිණි පොත්, ප්‍රාථමික පන්තිවල සිටි මගේ කියවීමේ පිපාසය ඇතිකිරීමට ප්‍රභලතම සාධකයක් වූ බව මට ඉතා විශ්වාසය

3. රිදී නිම්ණය - 
මට ලැබුනේ අපි අර නැට්ටට කිරි උරනවාය කියන, අවුරුදු දහයෙ දොළහෙ කාලයේය. සිල්ලර එළිය විනාස කරන සොයිසලාට වෛර කරත්දි, කුසලලා, ජෝතිරත්නලා මගේ ලෝකෙ වීරයො විය.

කරුණාසේන ජයලත්ගෙ දේශපාලනය මුහුකොට ලිවූ ඒ සුන්දර නවකතාවෙ චරිතයක් වෙන තරමටම මම සිල්ලර එළිය ගමේ කතාවට ආදර කලේ එය බොහෝ වාර ගනනක් කියැවීමෙනි. හරි සහ වැරදි මිනිස්සු ගැන මගේ හිතේ සැදි රාමුව මුලිම්ම ඇඳුනෙ රිදී නිම්නයෙ අකුරු වලිනි.

නමුත් මා ඒ තම් මෝහනයට පත් කරපු ඒ සුවිශේෂ කෘතියේ නම රිදී නිම්ණය බව මම දැනගන්නෙ ඊට ගොඩක් කාලෙකට පසුවය. හේතුව මා සතුවූ සිල්ලර එළිය ගමේ කතාවේ මුල සහ අග පිටු කිසිවක් නොතිබූ නිසාවෙනි. පසු කලෙක ගල්කිස්ස නාහරික පුස්ථකාල පොත් අස්සට වැද සාමාන්‍යපෙළ ගන්ධබ්බ අවධිය ගෙවන විටයි ඒ  මා මෝහනයට පත කල සිල්ළර එළිය ජනදයෙ කතාව රිදී නිම්ණය බවත්  කතෲ කරුණාසේන ජයලත්ය යන්නත් දැන ගන්නේ.

4. මල්ලසේකර ශබ්දකෝෂය - අපේ ගෙදර තිබ්බ ලොකුම පොත තමයි මේ.

මේ පොතේ අපි මුලිම්ම කෙරුවෙ අන්තිම පිටුවල තිබ්බ කෙටි යෙදුම් පරිවර්ථන කියවපු එක. ඒකෙන් හරි අපූරු දේ අපි ඉගෙනගත්ත.  මලලසේකර ශබ්ධකෝෂය යනු මා හට ඉංග්‍රීසි භාෂාව මොනතරම් යෙදුම්, වදන් පිරිච්චි අපූරු දෙයක්ද කියන හැඟීම ඇතිකරල, එකට තිබ්බ චකිතය මගේ හිතෙන් අයින් කරන්න මූලික වෙච්චි දේ.ඒ වගේම භාෂාවක් කියන්නෙ මොනතරම් සංකීර්ණ දෙයක්ද කියන කුතුහලය ඇතිකරෙත්. ඒ නිසා ජීවිතයට බලපෑමක් ඇතිකල පොත් ගොන්නෙන් මුල්පෙලේ අසුනකට මේ පොත හිමිකම් කියනව.

5. ලෝනිගේ ශුද්ධ ගණිතය පොත - ලෝනිගෙ පොත යනු එස්. එල් ලෝනි නම් විශිෂ්ඨ ගණිතඥයගෙ කුමණ  පොතදදැයි මා තවම හරියට දන්නේ නැත!

එහෙත් මෙය නිසා මාගෙ ශුද්ධ ගණිතයට යන්තම් හෝ තිබූ උනන්දුව හේදීම ගියා බව විශ්වාසය. එයට වගකිවයුත්තේ ඒ වටිනා පොතෙහි කරුණු නොව, එය වැරදි අයකු අත පත්වීමය. එකල අප උසස්පෙළ පන්තියෙ ශුද්ධ ගණිත ගුරු, මා උසස්පෙල හැදෑරූ පාසැලේ උපවිදුහල්පති තැන්පත් මාරයා නම් ලද එතුමන්ට "ලෝනිගෙ පොතෙ" බයිබලයක් වූ නිසා පසුව අප විසින් ඔහුවම "ලෝනි මහතා" ලෙස බෞතීස්ම කෙරිනි.

සුන්දර ගණිතයෙහි ගවේෂනාත්මක හැකියාවන් වර්ධනය කරමින් ගැටළු විසඳනවා වෙනුවට එතුමන් කලේ  ලෝනි මහතාගේ පොතෙහි ඇති පිළිතුර පිටපත් කර දීම හෝ එයට සමපාත වන පිළිතුරක් නොවෙන තැන වැරදි යැයි නම් කිරීම විය. එකල ගණියතයට යන්තම් දක්ෂ අප වැනි අයට ඔහුගේ මේ විකාරය පන්ති වර්ජනය කිරීමට කදිම හේතුවක් සපයා දී තිබිනි. එහි අවාසනාව නම්, තම පන්තිය පමණක් වර්ජනය කිරීම නිසා "ලෝනි මහතා" අප කෙරෙහි ඇතිවූ අප්‍රසාදයෙන් සිටීම හා  අදාල වන හෝ නොවන සියළු විනය චෝදනා මේ "ඇස් ඇල් ලෝනිට" බියේ පැන යන්නන් මත දමා ගැසීමයි.

මෙහි අවසානය ඉතා කණගාටුදායක වූ අතර, ඉතා හොඳ "මිනිසෙකු" වූ "ලෝනි මහතා" නිසා අර තරම් වටිනා "ඇස් ඇල් ලෝනිගෙ" "නම නොදන්නා" ශුද්ධ ගණිතය පොත ජීවිතයට ඉතා විශාල බලපෑමක් කල කෘතියක් බවට විය.

6.
සිංහල සාහිත්‍ය පොත 10/11 වසර- සාහිත්‍ය රසවින්දනය ගැන මුල්ම අත්පොත මෙය විය.

නළ දමයන්ති, සද්ධර්මරත්නාවලිය වැනි ගද්‍යද, ගුත්තිලය සහ අය්යනායක වැනි පද්‍යද රස විඳින්නට,මුසපත් කරන්න හේතු වූ ඒ අපූරු කෘතිය සහ එය අපට පහදා දුන් පීබී දිසානයක නම් ගුරු දෙවියන් අප මේ ලියන කියවන සෑම දෙයකම හොඳක් වෙත්නම් එහි සම හිමිකරුවෝ වෙති.බ්ලොග් ලියන කියන අප සම වයස් බොහෝ වෙත් හෙයින් මේ කෘතිය ගැන වැඩි විස්තර අමුතුවෙන් කියාපෑමට මහන්සි විය යුතු නැත

7. බාලදක්ෂ ලොග් පොත - ලොග් පොතක් යනු කුමක්දැයි හඳුනා ගත්, පිලිවෙලකට කාලයක් පුරා ලියූ සහ පරෙස්සම් කරගත් ජීවිතයෙ එකම පොත මෙය විය.

ජීවිතයෙ ඉතාම සුන්දර වූ අත්දැකීම් සහ කිසි දිනක කල් ඉකුත් නොවෙන දැණුමකින් පිරි, ශිෂ්‍යයෙකු හට අනිවාර්‍යෙන්ම තිබිය යුතුයැයි මා විශ්වාස කරන මෙය මගේ ජීවිතයට සිදුකල බලපෑම අති විශාල විය.  අදටත් නිවාඩුවට මගේ පැරණි පොත් පෙට්ටියෙන් එලියට ගෙන පිටු පෙරලන විට මා ඒ අතීතය හරහා ගෙනගොස් සිහිනයක අතරමංකරවන අපූරු කාළයන්ත්‍රය! මේ ලැයිස්තුවට එක් කිරීම එයට මා කල ගෞරවයක් ලෙසද සිතනෙමි.

8. ගුණසේන සිතියම් පොත - රුපියල් පණහකට අසූ අටේදී පමණ අම්මා මිලට ගෙන දුන් මේ පොත හිමිකරුවෙකු වීම ආඩම්භරයට කාරනාවක් වූයෙ එකල එය අපට විශ්වකෝෂය වූ නිසාවෙනි. කිසි දිනෙක අසා නොතිබූ රටවල් පමනක් නොව, ආහාර බෝග වගාවන්ද, සත්ව පාලනයද ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරය ඉතා සරළව දක්වා තිබූ මේ සුන්දර වෛවර්ණ පොත් රාජයා, අපට ලෝකය මුලින්ම විවර කර දුන් කවුළුවයි.සිත් රූ අඩවියේ රුක්ෂිලා සොයුරිය බුකියේ කියා තිබූ ලෙසට, ද මෙන් ටැබ් සහ ෆෝන් නැති එකල මෙය අපට දැණුම පමණක් නොව "සියයට ගනින්නට පෙර රටක් සොයමු" වැනි ක්‍රීඩා සඳහාද, රට රටවල කොඩි සෙවීමේ තරඟ සඳහාද මෙවලමක් විය.


9. මගේ සරසවි සහ මිනිසුන් අතර කෘති ද්විත්ව. - ගෝර්කිගේ ජීව්ත කතාව ඇසුරෙන් ලියැවූ කෘති ත්‍රිත්වයෙන් එකල මට ලැබුනේ මේ ද්විත්වය පමණි.

සැබැවින්ම මේ කෘති ජීවිත කතාවකට වඩා වීර චාරිකාවක් මැවීය. එය මට එකල කියවන්නට ලැබුනු ඉතාම උසස් නිමාවෙන් යුතු වූ පොත් අතරින් මා සිත් ගත් එකම කෘතීන් කට්ටලය විය. එකල රතු කමිස කාරයකු වූ අය්යා විසින් ගෙන ආ ලෙනින්ගේ වෙළුම් වැනි මෙලෝ දානයක් නොතේරෙන පොත් වලට වඩා මේවාගේ සිටි තරුණයාගේ ජීවිතය මා තුල විශ්මයත් රුසියාව නම් විශාල දේශයට ආදරයයක් සහ අශාවක් ඇති කරන්නටත් හේතු විය.  සැබැවින්ම මට මතක ඇති ඉතිහාසයෙ මුල්ම සුන්දර රුසියානු කියැවීම් වන "මගේ සරසවි සහ මිනිසුන් අතර" යනු ලෙනින්ගේ වෙලුම් වලට වඩා රසවත් බෝහෝ රුසියානු පොත් ඇති බව දැන ගැනීමටත්, ඒවා කියැවීමටත් මා පොළඹවන ලදින්, මා හට බලපෑමක් කල කෘති ගොන්නට මෙයද ඇතුල් විය යුතුමය.



10. ඉතිරිකිරීමේ පාස් පොත - මේ එකල අප සතුව තිබූ වටිනාම පොත වූ අතර ධනපතියකු වීමේ හීනයේ මුල මෙය විය.

නැවත වරක්, නලින් සහ මාතලන්ට ස්තූතියි මේ පොත් අභියෝගයට මට දුන් උත්තේජනයට!

Monday, September 1, 2014

ඔබ මෙය පිළිගනියිද....... A mystery revealed..!!!

අපේ බ්ලොග් පාඨකයෙකුගෙ සහ රචකයකුගෙ හොර හොඳ වැඩක් ගැන දාපු මේ පෝස්ට් එක අනෙක් රෝල්වල අප්ඩේට් වෙලා නෑ වගේ. ඒ හින්ද ඔන්න කුරුබිලියක් හැදුව එන්න.

ඔබ මෙය පිළිගනියිද.......? A mystery revealed..!!!

සත්‍ය ප්‍රබභන්ධයකට වඩා විශමජනකය...............!

මෙය ප්‍රබභන්ධයක් නොවේ. සමහරවිට ඔබ කිසිසේත් පිළිනොගන්නා තරම් විශ්මයජනක සත්‍ය කතාන්තරයකි. ඉදින් ඔබේ විශ්වාසය ගැන නොසලකා හෝ මා මෙය කිව යුතුමය.

...........

වනයේදී නිහඬ රාත්‍රිය නොව දහවලය.

හිරුගේ දාහයෙන් බේරී අතු අස්සේ සිටිනා සද්දන්ත ඇතුන් කුංචනාදකරමින් දියට බසින්නේද, වවුලන් බස්සන් සහ කුඩා රැහැය්යන් පිරිවරාගත් කුරුළු සහ කෘමී ගනයාගේ පංචතූර්‍යනාදය ඇරඹෙන්නේ ද හිරු බැසයාමත් සමගමය.

එහෙත් එදින බියකරු ගුප්ත වනය වෙනස් වී ගිය සෙයකි. මහලේනම මහ වනයේ සිය අණසක පතුරුවා සිටි වැදි රැහේ සියල්ලන්ටම එය දීර්ඝ නිහඬ රැයක් විය. වෙනදා දොඩමලු වැදි මහල්ලන්, කුඩාවුන් පමනක් නොව, ගුහාවේ අවට රැහැය්යන් බස්සන්ද ත්‍රස්තවී ගොළුවය.

නියපොත්තක් වන් අව පස සඳ හැකි උපරිමයෙන් වනයට එලිය දෙන්නට වෙර යොදමිනි. ඇගේ තනියට එබෙන තරුද වෙනදාට වඩා බොහෝ මලානික පැහැයකින් යුක්ත විය. රෑ අහස හැඩ කල වළාකුළුද කොහෙදෝ පාවි ගොසිනි.


අඳුරු ගල් ගුහාවේ පියස්ස මත රැඳි කුඩා ගස් මතට වෙනදා එන වවුලන්ද නොආ සෙයකි. කුඩා එළි විහිදවූ රෑ බදුල්ලන්, කණාමැදිරියන් මියැදුනා වැනිය.ගුහාවෙන් පහත කුඩා පඳුරු අතරේ මීමින්නෙකුගේ, සාවකුගේවත් සෙලවීමක් නැත. කොටින්ම මෑත පෙනෙනා දිය වළෙහි වෙනදා යන එන මුවකුගේ හෝ අලියකුගේ හඬවත් නැතිවිය.

සත්‍ය වශයෙන්ම එය නිහඬ බියකරු රැයකි. මහ ලේනම මහ වනයෙහි අඳුරෙන් නොවැසුනු සියළු හිස් තැන් බියෙන් සහ නිහඬතාවයෙන් පිරී ගොස් ඇත.

දැවෙන දර කැබැල්ලකින් එන පටස් හඬත් සඟවා ගුහාව දොරකඩ දැල්වෙන මලානික ගි න්න සදන  සෙවනැලි  තැන් තැන් වල ගල් ගෙඩි සේ වකුටුවී සිටින වැද්දන්ගේ සිරුරු මත නටන්නේ දත් විළිස්සාගත් යකුන් මෙනි.

අඳුරේ, නිහඬතාවය හා ගුලිවූ වැද් දෝ, එදින දහවල් දඩයමක ගිය තම රැහේ හය්ය-හත්තිය ඇති නාම්බෙකුගේ අතුනුබහන් ඉරාගෙන කා දමා තිබූ, අත්ගොබ වල මස් හුරාගෙන, හිස පලා මොළ කැබලි පවා හූරාගෙන තිබූ ඒ අතිශය භයංකාර දර්ශණය සිතෙන් දුරු කිරීමේ දුර්වල උත්සාහයක  නිරතවෙමින් සිටියහ.

බොහෝ කලෙකට පසු තමන්ට යලිත් පැමිණි මේ විපත, වැදි රංචුව ත්‍රස්ත කර තිබේ.

තමන්ට වනයේ සිටින ලොකුම සහ භයානකම හතුරා යලිත් වරක් රැහේ උන් මරා කන්නට පටන්ගෙන තිබේ.මෙයට පෙරද වැද්දන්හට තම ගල් ගුහා වෙනස් කරමින් පලා යන්නට සිදුවූ ශාපය නැවත උන් ලඟටම පැමිණ ඇත.

අඩි තුන හතරක පමන උස්වූ ශක්තිමත් දෑත් දෙපා හිමි මේ අමුතු සතුන් නෑ යකුන්යැයි සිතා සිටි කාලය ඉක්ම ගොස් තිබුනද, වැද්දන්ට උන් කෙරේ බිය වීමට බොහෝ හේතු විය.

නූස්, ශක්තිමත් ඇඟ පතින් හෙබි මේ මොවු හු පෙනුමින් මිනිසුනට ඉතා සමාන වූහ. එහෙත් දුටුවන් බිය කරවන තරම් රෝම වලින් වැසී ගිය සිරුරින් යුතු, විසල් ඇස් ගෙඩි දෙකක් හා අඳුරු මුඛයකින් හෙබි දිගැටි මුහුණු ඇත්තෝ නිසා මිනිසෙකුට වඩා උන් යක්ෂයාට කිට්ටු පෙනුමින් යුත් සත්ව කොට්ටාශයක් බව කුඩා වැදි පැටවුන් කල කියා දුන් කතා මෙහි නිදි වර්ජිත නාඹර සහ මහලු වැද්දන් සිත් තුල තවම හොල්මන් කර යි.  මේ සතුන් ගැන නොයෙකුත් බියකරු කතා වැදි රංචුවේ කුඩා පැටව් හොඳින් දැන සිටියහ. කොටින්ම උන් වළහෙකුට හෝ කුළු හරකෙකුට වඩා මේ අමුතු සතුනට බිය වූහ.

එපමණක් නොව කැළයට නුදුරු ගම්මාන වල සහ වැද්දන් හා ගණුදෙනුවට යන එන තම්බි නානලාද කැළයේ කිසි දින දැක නැති මේ අභූත සතුන් ගැත දක්වන්නේ ඉමහත් බියෙකි .

ඉතින් මෙතෙක් කල් තමන් විසින් වනයේ ගල් මත වේලෙන්නට ද මන ලද මස් කුට්ටි යක් හෝ ගස් බෙනෙයක සඟවා තිබූ මීපැණි ලූ මස් ගාතයක් හොරා කෑමකට එහා නොගිය ඒ අමුතු බියකරු සතුන් ක ලකට පසු නැවත වැද්දෙකු මරා මස්කර ඇත.

මෙය වැදි රැහේ පැවත්මට එල්ලවූ දරුණු තර්ජනයකි!

තව දුරටත් නිහඬව සිටීමෙන් මේ අමුතු සතුන් ගෙන්  සිදුවිය හැකි හානිය ගැන වැද්දන්ට අමුතුවෙන් පහදා දීමට අනවශ්‍යය. දැන් මේ එළඹ ඇත්තේ ක්‍රියාත්මක වීමට සුදුසු සහ අවශ්‍යම කාලයයි.

තම රැහේ ආරක්ෂාව සලසාදීම වැදි රැළක නායකයා සතු පරම වගකීමකි. එමෙන්ම සියලු වැද්දන් මෙවැනි අවස්ථාවක බලාපොරොත්තුවන්නේද නායකායාගේ උපදෙස් සහ මඟපෙන්වීමයි.

මින් පෙර සිදු වූ ලෙසින් පලා යාමට හෝ මෙම අනතුරට එරෙහි නොවීමට මෙවර නායක වැද්දාටද් ඉඩක් නැති සෙයකි. එය තම තැනට එන්නට බලා සිටින්නන්ට හෝ දැනටමත් බලයට අභියෝග කරනා නහෙට නහන වැදි නාම්බන්ට ඉණිමං බැඳීමකි.

මෙනිසා නායක වැද්දාට සිය තීන්දුව ගැනීමට එම නිහඬ රාත්‍රිය බලකරමින් තිබිනි.

මලානික ගිණි මැලයේ අඳුරු සෙවණලි අතරේ කිසිවෙකු නැගී සිටි දෙසට සියලු නෙත් යොමුවිය. විධාන අනවශ්‍යය. නායකයා පසුපස අනෙක් වැද්දන්ද එක්විය. සියල්ලෝ ගිණිමැලය අසලට එක්වූයේ මුහුණු හොඳින් දැක ගැනීමට එහා ගිය කාරියක් වෙනුවෙනි.

නිහඬබව වෙලා ගත් බියකරු අඳුරු අත් මෑත්වෙමින් තිබේ. තළතුනා වැද්දන් සහ නාම්බන් සියල්ලෝ රැහේ නායකයා සමඟ ඒ ඓතිහාසික සාකච්ඡාවට එක්ව සිටිති.

මෙතෙක් නිහඬව සිටි රැහැය්යොද, ගල්වී සිටි අලිද මේ දැන් ඇහැරුනේදැයි පසෙක සිටි වැදි-ලියන්ට නොසිතුනා නොවේ.ඇකයේ සිටි කුඩා පැටව් සැපට නිදත්දී අම්මලාගේ සමාගමයද රැහේ පසෙකින් රැස්විය.

සාකච්ඡාව ගිණි මැළයද උණුසුම් කරවයි.නායක වැද්දාගේ හඬ විටෙක දැඩිය, විටෙක වේගවත්ය.

තම මහළු සැමියා සිටි ගමන් කෝපයෙන් කෑ ගසන දෙස බියෙන් බලා සිටිනා ඔහුගේ සහකාරිය තම කුඩා පැටවුන් තවත් තුරුළු කරගෙන බියපත් දෑසින් බලා උන්නාය.

ඈත අහසේ අඳුරු කලු පැහැය ලා දම් පැහැයට හැරෙන තෙක්ම වාදය ඇදී ගියේය. අවසන මහල්ලන්නගේ උපදෙස් සහ නාම්බන්ගේ පාරම්බෑම්, පූචානම් මැද සියළුදෙනම එක් සැළසුමකට එකඟව, උදා හිරුත් සමඟින් ගුහා දොර නැගී සිටියහ.

එය තරමක් අමුතු උදෑසනකි. පාන්දරම වට පොද වැස්සකින් පසු කුරුළු නාද කිසිදිනෙක නැති තරම් උස්ව නැගෙන්නට විය. වැද්දන්ගේ ගුහාව පාමුල දිය කඩිත්තේ මුවන් කිහිප දෙනෙකුම අං පටලවාගෙනය. දිය බොන්නට නොව දියට පනින්නට මෙන් දිව එන ඇතුන් දෙසවත් උන් නොබැලුවා වැනිය.

මේ අතර වැදි රැහේ නාම්බන් සැළසුමට අනුව සූදානම් වෙමින් සිටියහ.

විජිතපුර සටනට පෙලගැහෙන සේනාව තරම් සෙනගක් නුවූවද, පිරිසේ සූදානම ඊට නොදෙවෙනිය. සැවොම එක සීරුවට නිහඬවම තම කාරිය කෙරෙහිම එබීගෙනය. තැනෙක දුණු දිය ඇද බලා, වරපට තද කරන නාම් බෝ ආඩ්ම්බරයකින් තම වැඩෙහි යෙදෙති. උන් අසලම සිටි විශ ගෙඩි තැලූ දියෙහි හී ඔබන කැකුලියන්ගෙ වෙනදා එන සිනා කෝලිත්තන් විෂ ගෙඩිත් සමඟම තලා දමූ සේය. තලතුනා වැද්දන් තම දිගු හෙලි වැනි ශක්තිමත් දඬු උල් කරමින්, මී පැණි දී මිලට ගත් පිහි තල මුව තබමින් සුරුවෙති.

ඉර දෙවියන් ආපසු යෑම ඇරඹීමත් සමඟම මඟට බැසීම වැද්ද්දන්ගෙ අරමුණ විය. සියල්ල සුදානමිනි. නායක වැද්දා පෙරටුකර නාම්බන් සහ තලත්තෑනි වැද්දන් විසිපහක් තිහක් රැහේ විය. හැම අතම දුණු හී අඩු නැතිව තිබිනි. උල් පිහි, උල් වූ ලී දඬු ඈ සියලු වැදි ආ යුධ දැරූ තරුණ වැඩිහිටි සියළු වැද්දො කකියන ලෙයින් රත්වූ ජවයෙනි.

මද්දහනේ සෙවනැලි දෙතුන් වියතක් තරම් දික්වීමට පෙර ගස් පඳු රු අතර සෙවණැලි අතරින් වැදි රැහේ නායැකයා සහ පිරිස මගට වැටුනි.

සිතියම්, කඩදාසි කිසිවක් නැත. සියල්ල එකිනෙකාගේ සිත් තුල පමණි.

සැළසුම් කල ලෙසම වැදි හමුදාව වෙනදා දඩයමේ ගොස් ඉසිඹු ලන වැදිගල අසල ගල් ගස් අතරට මුවා විය. කැළයේ ඉපිද කැළයේම මියන වැද්දන් ගස් අතර නොපෙනීම අමුතුවෙන් කියාපෑ යුත්තක් නොවෙ. නමුත් අද කාරිය ඊට වෙනස් එකකි. තමන්ට සැඟවීමට ඇත්තේ තවත් කැළයේම වෙසෙන මෘග ගති සහ මිනිස් ගති මුහුවූ තම පරම සතුරාට නොපෙනීය. තමන් තරම් නොව ඊටත් වඩා වනයේ සෙවණැලි හඳුනන මේ සතුරාගෙන් සැඟවී සිටීම වෙන දිනෙක ලෙහෙසි නොවිය හැකි මුත්, වෙනදා නැති පෙර සූදානම මෙවර එය එතරම් අපහසු කර නැති සෙයකි.

සියළු රැළ වහංව සිටිත්දී, දුණු හී ගත් වැද්දන් දෙදෙනෙකු වැදි ගල මතට ඇදෙන්නට විය.

වැරදීමක් නොවේ! මෙය සැළසුමේහිම අංගයකි. තමන් දඩයමේ ගොස් වෙහෙසවී මෙම ගලට පැමිණ මදක් ඉසිඹු ලන බව උන් දන්නා බව වැද්දෝ ද දනිති. මේ නාම්බන් රඟන්නේ එලෙස වෙහෙසවූ වැදි කැකු ළන් දෙදෙනෙකුගේ ජවනිකාවයි.

මද්දහන ඉක්ම යමින්, කෙටි සෙවනැලි දික් වෙමින් තිබුනි. වනයේ දිවා කල කුරුලු රංචු තම දවසේ මෙහෙය නිම වන නද පතුරන්නට වූහ. ගිණි ගහන හිරු රැසින් සැඟවී සිටි අලි රංචු උස් ගස් අතරින් මෑත් වෙමින් මගට බසිමින් සිටියහ.

සියල්ල විය යුතු ලෙසම සිදුවෙත්දී වැද් දෝ පමණක් ගස් යට ගල් වී සිටිති.

එක්වරම වැදිගල අසල උස් ගස් මත වඳුරු රංචු කලබල විය. මෙය ගල මත සිටි වැදි නාම්බන්ටද නොදැනුනා නොවේ. කලබල විය යුතු නැත. සිතට බිය ගතිය දැණුනද, තම නිදි වෘතය රැක ගෙන සිටිය යුතුය. හෝරාවක් දිගු සේ දැනෙන තවත් මිනිත්තුවකට දෙකකට පසු, සිහින් අතු අතරින් කෑ ගසමින් වඳුරන් පලා යත්දී වෙනත් අමුත්තන් පිරිසක් වැදිගලට සේන්දුවෙමින් සිටියහ.

අඳුරු පඳුරු ගොන්නක් අතරින් හිස නැතිව වුවද රත් පැහැ ගත් කුඩා දෙපා සතරක් මෑත් විය. ඒ වන විටත් වඳුරන් පලා ගොස් නිහඬ බව ගස් අතු අරක්ගෙන තිබිනි.

පඳුරු අතරින් සීරුවේ මෑත්වූවන් දෙස  යොමුවූ නෙත් පණහකට ආසන්න පිරිස නලියමින් සිටියහ. නමුත් ඉවසිය යුතුය. මේ පැමිනෙන්නේ තමන් බලා පොරොත්තු වූ පිරිසෙන් දෙදෙනෙක් පමණි. රැයක් පුරා නිදි වරා, දිනක් පුරා සූදානම් වූ යුද්ධය ඇරඹුමට මුන් දෙදෙනා දුටුවන කලබල වීම නොමනා බව වැද්දන් හොඳින් දනී. ගල් තවත් ගස් අස්සටම ගුලි වෙත්දී, ගස් අතරින් සිහින් සුළඟක් පමණක් හමා යමින් තිබුනි.

පඳුරු අතරින් දුටු පා යුග්මයන් ජෝඩුව තවත් මඳ වෙලාවක් එහි රැඳුනේ වැදි බාන නිදි බව සැක හැර ගන්නට විය යුතුය.

වැද්දන් ගොර නින්දෙය. මී පැණි කැටයට මැස්සන් ඇදෙන වගක්වත් උන්ට නැති ලෙසකි. සියල්ල පැහැදිලිය. වැද්දන් නිදි බවට සැක හැර ගත් රුදුරු මෘග යෝ, නැවත සෙව ණැලි අතරට බටහ.

අහස රත් පැහැ ගනිමින් තිබුනද, ගස් අතරේ සිටි තරුණ වැද්දන්ට එය තම දිවියේ ඉතාම දිගු සන්ධ්‍යාව විය. කුරුල්ලන් බෑඟිරි ගාමින් කරදර නොකර කැදලි කරා නොයන්නේ මන්දැයි සිතමින්, ඉර දෙය්යන්ට යන්නට කිසි ඕනෑකමක් නැති කම ගැන දෙස් දෙමින් උන් සිටියේ අසහනයෙනි..

ඉතා දිගු හෝරාවකට පමණ පසු සෙමින් සෙමෙන් අඳුරු රැජින ගස් මුදුන් අතරින් පාවී එන්නට විය. ඉර දෙවියන් ඇයට පැරද, අහස පුරා ලේ වගුරුවමින් එක්වරම සැඟව ගිය මුත් තවම ඉතිරි රශ්මි සේනා අඳුරු රැජිනිය සමඟ දුර්වල සටනකය.

දිවියන් තම ගොදුරු වෙතද, සාවුන් තම කෙළියට ද මගට බසින, රැහැය්යන් හා වවුළන්ගේ සිත් තුටු කරවන රත්‍රිය එමින් සිටියේ තනිව නොවේ.

ගස් අතරේ සිටි වැද්දන්ගේ ඇස් දිළිසෙමින් යොමුව තිබුනේ වැදි ගල වෙතය. ඒ වනවිට නින්දෙන් අවදි වූ සෙයක් පෙන්වූ වැදි නාම්බන් දෙදෙනාගේ මී පැණි වලට ආ දිමියන් සහ කඩියන්ට අමතරව තවත් අමුත්තන් පිරිසක් ඇදෙමින් සිටියහ.

පෙර කිසිවෙකුත් නොදුටු, කොහෙන් ආවාදැයි සිතා ගත නොහැකි වූ ඒ කුඩා අමණුස්සයින්ද මණුස්සයින්දැයි සිතාගත නොහැකි ජීවීන් තම දෑස් ඉදිරිපිට දිලෙන රස මසට කුරුමාණම් අල්ලමින් එය වට කරමින් තිබුනි.

අඳුර හත්පස වෙලා සිටිමුත් සියල් ලෝම සියල්ලම හොඳින් දකිමින් සිටියහ. වැදි නාම්බන් දෙදෙනට නාසය හරහා දැනුනු අමුතු කුයිල මරණයේ පණිවුඩය ගෙනැවිත් තිබුනි. ඈතින් ඇතෙකුගේ කුංචනාදය ඇසෙත්දී මෑත බියෙන නිසලව සසලව ගිය මොහොතක් විය. දෑස් ඉදිරි පිට දිලෙන රස මසට කුඩා නූස් වකුටු තවත් මිනිස් රූප පෙලක් වට වෙමින් තිබුනි.

තමන් ඉදිරිපිට කෑමක් ඇති විට බොහෝ දෙනෙකුට වෙන්නාක් මෙන්, මෙහිදීද තමන් පසුපස ඇති අව දානම ගැන උන්ට නොදැනුනි. මේ වාමන රූප වැදි ගල මතට ලං වෙන අඩියක් පාසා තමන් තවත් මිනිස් පවුරකින් වට වෙමින් සිටි බව උන්ට නොදැනුනි.

වට කිරීම් ඉතාම ආසන්නයට එළඹෙමින් තිබුනි. තමන් වහන් වී සිටි තැනින් මෑත් නොවූවත් එකිනෙකාගෙ හුස්ම හඬ අනෙක් පිරිසට ඇසෙන තරමින් ඔවුන් ලංව සිටියහ.

මෙතෙක් ගත සීතල කල ඒ බියකරු නිහඬ බව බිඳිමින් එක්වරම උගුර යටින් නැගෙන අමිහිරි නාදයක් සමඟ අඳුරු ගස් සහ පඳුරු අතරින් කුඩා ගුලි කිහිපයක් මතුවිය. ගල මතුපිට සිටි කැකුලන් දෙදෙනාට සිතන්නටත් පෙර ඒ බියකරු හන්ඩ නැගූ සත්වයින් උන් වෙත කඩා පනිමින් තිබුනි. තව එක් මොහොතකින් තවත් මෘගයින්ට රස බොජුනක් වීමට තිබූ බිය හිසේ සිට විදුලියක්ව යත්දී වැදි කැකුලන් දෙද්නාම බියෙන් සහ කෝපයෙන් කෑ ගසමින් තමන් වෙත එන සතුරන්ට කඩා පැන්නේය..


......................................................


මෙතනින් පස්සෙ මොනා වෙන්න ඇතියි කියලද හිතන්නෙ? වැද්දො මේ වටකරේ කාවද, අන්තිම යුද්දෙන් දින්නෙ කවුද, සතුරන්ට මොකද උනේ වගේ ගොඩක් දේවල් මේ කතාවෙ තව ඉස්සරහට තියෙනව. ඒත් ඒ ටික මෙහෙම මම කියනවට වඩා, විස්තරාත්මකව දැනගන්න තියෙනවනම්?
ඇත්තටම ඒ මම නොකියපු ටික දැනගන්න ක්‍රමයක් තියෙනව. මේ කතාවෙ වැද්දො සටන් කරපු ඒ අපූරු සතුරන් ගැන ලියාපු පොතක. වැදගත්ම දේ ඒ පොත විතරක් නෙමෙයි, ඒක ලියපු කෙනත් අපි හොඳින් දන්න අයෙක් වීමත්.

Pra Jay කියන්නෙ ඉතාම රසවත් කමෙන්ටුවලට ප්‍රසිද්ධ, සිංහල බ්ලොග් වලට ආගන්තුක නැති, අපි හැමෝගෙම සුහද මිතුරෙක්. ප්‍රා ලියල තියෙන පොත් දෙකෙන් ( මම දන්න තරමට ) එකක් මෙන්න මේ මම කිව්ව වැද්දන්ගෙ සතුරො ගැන.


මහන්සිවෙලා කරුණු හොයල ප්‍රා ලියාපු පොතේ මේ අමුතු මිනිසත්තුන්ගෙ ඉතිහාසය, උන් ගැන කරපු අතීත පර්යේෂන සහ මේ සත්තු පිළිබඳ හැදෑරීමේ අවශ්‍යතාව සහ වැදගත් කම විතරක් නෙමෙයි මේ අය අපේ ගැන යටත්විජිත කාලෙත් ඉන් පස්සෙත් ලියපු පුදගල්යින්  සහ ඒ අයගෙ අදහස් ගැනත්, මේ එක්ක බැඳිච්ච ජනකතා, ජනශෘති ගැනත් සාකච්ඡා වෙලා තියෙනව.

එච්චරක් විතරකුත් නෙමෙයි ලංකාවේ මේ මිනිසත්තුන්ගෙන් එහාට ගිහින් ලෝකෙ හිටපු මේ වගේ හැංගිච්චි පිග්මි වරු සහ ඉතිහාසයේ හිටිය කියල කියන  වනචාරී මිනිස් වර්‍ග ගැන, ඉතිහාසයේ කතාවෙන අද්භූත මිනිසත්ව වර්‍ග් ගැනත් සෑහෙන තදට ප්‍රා සාකච්ඡා කරනව.


අපි මේ කියන අපේම සැඟවුන පරපුරේ උන්දැල ඇත්තටම කවුද කියන එක ගැන තියෙන වැටහීම අවුල් කරල, උන්ට තිබ්බෙ නැති ලෝම පිරිච්චි වළස් පෙනුම, ගිජුලිහිණියන්ගේ නියපොතු එහෙමත් දීල මේ අය මිනිස්සු මරල මස් කන සත්තු ජාතියක් කියල හංවඩු ගහල තියෙන එකේ ඇත්ත නැත්ත විතරක් නෙමෙයි ප්‍රාගෙ පොතේ කදිමට විස්තර කරල තියෙනව මේ අය ගැන කියවෙන කතාවල නිතර කියන දිගු නිය, ඇඟ පුරා පිරිච්චි දිගු ලෝම වගේ  විශ්මයජනක දේ ජනප්රවාද දෙකක් එකට මුහුවෙලා කපුටු පිහාට්ට හත උන වගේම වෙච්චි නොදන්නාකම නිසා ඇතිකරගත්තු මිත්‍යා මතයක් කියන එක. ඒ එක්කම තාර බර ඇරියහම නිට්ටෑවුන් කියන්නෙ තවත් දරුණු කැලෑ මිනිස් ගෝත්‍රයක් නැත්තං අනෙක් මිනිසුන්ගේ වෙන් වෙලා ගියපු අපි වගේම මිනිස් කණ්ඩායමක්ම තමයි කියන එකත් අවධාරනය කරන්නත් උදව්වෙන හුඟක් කරුණු මේ පොතේ පැහැදිලිවම පෙන්නල තියෙනව.

ඇත්තටම කිසිම සාක්කියක් නැති මනංකල්පිත රාවණා ගැන හොයන අපේ බොහෝ දෙනෙක්ට මෑතක රටේ හිටපු වගේම රවණාට වඩා ජෛව විද්යාත්මක වටිනාකමක් තියෙන අපේම නෑ පරපුරටත් ගැන මෙලෝ දැනුමක් විතරක් නෙමෙයි උනන්දුවකුත් නෑ. ඒ එක්කම අපේම තවත් අය්යල ටිකක් මේ මිනිසත්තු ටිකත් බොරුවයි මිත්යාවයි එක්ක එකට පැක් කරල පිටසක්වලට අයිති කරන්න ට්‍රයි කරනව.

එහෙම කාලෙක ප්‍රා ලියපු මේ පොතේ වටිනාකම කොයිතරම් උනත් අනෙක් හැම වතාවෙම වගේම මේ කාරණාව ගැනත් දුරට හොයන්න රටේ පුරාවිද්‍යාවට දැනෙන්නෙ අවසාන සාක්කිකාරයො වෙච්චි වැද්දො ටිකත් වඳ වෙලා ගියාමම තමයි.

ඒ වගෙම මේ ගැන උනන්දු අයට තවත් වටින ආරංචියක් තියෙනව. ඒ තමයි, මේ වගේ වැදගත් කාරනාවක් ගැන දැණුම ඉංග්‍රීසියෙන් විතරක් ලියැවිල තියෙන එකත් මේ ගැන අවධානයට සහ සාකච්ඡාවට ලක් නොවෙන්න මූලික හේතුවක් කියල තේරුම් ගත්තු නිසා  ඔන්න අපේ කුරුන්ද අඩවියෙ සෙන්නා මහත්තය විසින් කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි නම් මහතෙකු එක්ක එකතුවෙලා ප්‍රාජේ ගෙ පොත සිංහලට පරිවර්ථනය කරමින් ඉන්නව කියන එක. තව මාස කිහිපයකින් එතකොට සෙන්නත් පොත් ලියන්නෙක් කියන එක අපි නිට්ටාවට කියන්න පුලුවනි.

Picture from

LinkWithin

Related Posts with Thumbnails