කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...I
තාත්ත හිටගෙන් ඉඳැද්දි මං කොහොමද ඉඳගන්නෙ. හිමීට ඇහුණෙ නැති ගානට ජනේලෙ උඩින් එන මදුරුවෙක් දිහා බලාගෙන ඔහේ උන්න.
පුටුවෙ කුෂන් තදවෙන සද්දෙන් තේරුනා තාත්ත ඉඳගන්න බව. මම තාම මදුරුවගෙ ගමන් මාර්ගය නිරීක්ෂනයෙ.
"ඇයි……." මාව ආයි ගැස්සුනා.. …“ගිහින් පොත්වල වැඩක් කරගන්නව”
බලනකොට මට නෙමෙයි ඒ නංගිට. “හොඳ වැඩේ, එනව මෙතන කෝප්ප හෝදන්න”...හිතුවට මම තාම කතා නෑ.
ලොකුපුතේ... මේව ගමට ඇහෙන්න කෑ ගහල කතා කරන්න පුළුවන් ඒව නෙමෙයි. ඒ හින්ද ඔහොම ඉඳ ගනින්... ඒ මාව දැපනෙ වැටනෙ අම්මගෙ වචන...
තාත්ත ඉස්සරහ තනි ලොකු පුටුවෙ මම ඉඳ ගත්තෙ අම්ම දිහා බලං...
"මොකද්ද ලොකු පුතේ මේ මිනිස්සු මේ කියන්නෙ? ඇයිඅපිට මේ වගේ කතා අහන්න දෙන්නෙ..ඔයා කොයිතරං තේරෙන ළමයෙද" අම්මගෙ හැම දාම මගෝඩියක් කලාට පස්සෙ කියවන රෙකෝර්ඩ් එක පටන් ගත්ත...
“ඔයා පොඩ්ඩක් කටපියා ගන්න" ටිකක් තදින් කිව්වට මොකද තාත්තගෙ හඬ අමුතුයි.
“ලොකුපුතේ….." කවදාවත් තාත්ත මට කතා නොකරපු අමුතුම ටෝන් එකක්..තවදුරටත් අහක බලන් ඉන්න හයියක් තිබ්බෙ නෑ, ඒත් කෙළින්ම මුණ බලන්න බැරි කමට තාත්තගෙ පළල් උරිස්ස ලඟින් පේන කණප්පුවෙ කැටයං දිගේ හිමීට උඩට බලං ආවෙ රකුසු මූණ දකින්න හිතං.
කවදාවත් නොදැකපු මහා පරාජයක්ද නැත්තං පහුගිය අවුරුද්දෙ අපි ඔක්කොම මරණව කියල තුණ්ඩුව ආව දවසෙවත් නොතිබ්බ බයක්ද මන්ද ඒ මූණෙ තිබ්බෙ!
කොහොම උණත් තාත්ත එහෙම ඉන්නව දැක්කම මට භයකට වැඩිය දරුණු මහ අමුතුම හැඟිමක් ඇති උනා.
“පුතේ...දන්නවනෙ කමල ඇන්ටි මොනාද කියල යන්න ඇත්තෙ කියල? මට ඔය වයසෙදි තේරුණාට වඩා ගොඩක් දේවල් අද ඔයාට තේරෙනව. මායි අම්මයි කසාද බැන්දෙ අපි දෙන්නගෙ තනි කැමැත්තට නිසාඅපි වින්ද හැම දුකක්ම සතුටක් විදියට භාර අරන් අද ඕගොල්ලොත් එක්ක සතුටින් ඉන්නව. අපි වින්ද දුක අපේ දරුවොන්ට දෙන්නෙ නෑ කියල හිතා ගත්තෙ උඹල උපදින්නත් ගොඩක් කලින්. ඒත් හිතාගන්න බැරි තරං ලොකු පවක් කරල හින්ද වෙන්න ඇති උඹ අද අපිට කැමතිවෙන්න බැරි කෙනෙක් එක්ක සම්භන්ධයක් පටන් අරන්. අම්ම මොනා කිව්වත් මම උඹ කරපු දේට විරුද්ධ වෙන්නෙ නෑ. ඒ උනාට මෙන්න මේක මතක තියා ගනින්. අද මගෙ දරුවො හැටියට උඹලට ලැජ්ජාවක් නැතිව ආච්චි කවුද සීය කවුද කියල මගේ ගමට ගිහින් හරි අම්මගෙ ගමට ගිහින් හරි බලන්න කතා බහ කරන්න පුළුවන්. අපේ නෑයො අහවල්ලු කියල ඕන කෙනෙක්ට කියන්න පුළුවන්.
අම්මයි මායි ගැන කිසි කෙනෙක් කිසි කතාවක් කියන්නෙ නෑ. මම අවුරුද්දට මාස තුනයි ගෙදර ඉන්නෙ කියල උඹලගෙ අම්මට කිසි කෙනෙක් නරක යෝජනා ගේන්නෙ නෑ. ඒ අපි ඉන්න විදිය ගැන හැමෝම දන්න නිසා. හෙට උඹ ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනාවොත් උඹේ යාළුවො ඒ ගෑණිගෙ අම්මට සැක නැතුව අඳුන්නල දුන්නෑකිද? උඹෙ මණමාලිව පෝරුවට නග්ගන්නෙ කමලගෙ මිනිහද නැත්තං අර පිටිපස්සෙ කාමරේ ඉන්න උඹෙ ඔය කෙල්ලට වියදං කරල උගන්නන දෙවනි මිනිහද? කවදහරි දවසක ඒ කවුද කියල උඹේ දරුවෙක් ඇහුවොත් මොකද්ද පුතේ දෙන උත්තරේ…?”
මගේ ඔළුව කැරකෙන්ට පටන් අරන්ද මන්ද! තාත්තට පේන මේ දේවල් නෙමෙයි මට පෙණුනේ ගිහාණිගේ සුන්දර මුහුණ විතරමයි. මම බඳින්නේ ගිහාණිව විතරක්ම විතරක් නෙමෙයි කියල දැන්ද එතකොට මට තේරෙන්නෙ....
“ලොකුපුතේ...උඹ ඕන කුලේක ඕන දිහාවකින් කැමති කෙනෙක් හොයල යාළුවෙයන්...”
මෙය තාත්තා කෙනෙකුගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන් වචනයක්ද? අපේ තාත්තා කලාතුරකින් හම්බවෙන අමුතුම මිනිහෙක් කියල අම්ම කියන්නෙ මේ හින්දද?
“හැබැයි උඹ් බඳින කෙල්ලගෙ වගේ පවුලෙ උන්ගෙත් චරිතෙ හොඳ නැත්තං උඹට හැමදාම වෙන්නෙ සැකෙන් බයෙන් ජීවත් වෙන්න. ලෝකෙන් වහං වෙලා හැංගිල ඉන්න. මිනිස්සු ඉස්සරහ මෝඩයෙක් විහිළු කාරයෙක් වෙන්න. ඉස්සෙල්ල මං කියපු දේවල් ගැනයි, උඹෙ ගෑණු ළමයගෙ අම්ම ගැනයි තාත්ත ගැනයි අර ජයසේන ගොය්ය ගැනයි මිනිස්සු කියන්නෙ මොනවද කියල හොඳට හොයල, ඒ අය ගැන කවුරුත් හොඳක් කියනවද බලන්න. ඉන් පස්සෙ ඔයාගෙ ගෑණු ළමයගෙන් අහන්න කවුද ජයසේන කියන්නෙ කියල? ඔය දෙකට හිත සතුටුවෙන් උත්තරයක් ඔයාටම හොයා ගන්න පුළුවන් උනොත් මං ඊළඟ නිවාඩුවට ආවම මට කියන්න. මේ මුළු ලෝකෙම උන් අකමැති උනත් මං ඔය දෙන්නට එදාට ආශිර්වාද කරනව. එහෙම සතුටු වෙන්න පුළුවන් උත්තරයක් ලැබුනෙ නැත්තං, ඔයා මං එක්ක මේ ගැන ආයි කතා කරේ නැත්තං මම හිතනව ඔයාට කරුණු කාරණා තේරිල මේ ගැන හරි තීරණයක් ගන්න ඇතියි කියල. එකක් මතක තියා ගන්න. ආයි ඔයා මේ ගැන මා එක්ක කතා කරනකල් අදින් පස්සෙ ආයි මේ ගෙදර කවුරුත් කතා කරන එකකුත් නෑ… ඔයා මම කියපු විදියට පිටින් ගියොත් ඉන් පස්සෙ කවුරුත් ඔයා එක්ක කතා කරන එකකුත් නෑ...එච්චරයි!”
දහයෙ වසරෙ අග හිටිය මට බොහොම වැඩිද මන්ද ඒ කියපුව! ඒත් මහා බරක් පිරිච්ච හඬකින් තාත්ත කියපුව මගෙ බොක්කටම වැදුන කියල තේරුනේ ඒදා රෑ මට නින්ද නොගිය හින්දමද නැත්තං රෑට කන්නවත්, අඩු ගානෙ රේඩියෝ එකේ කතාවක් සින්දුවක් අහන්නවත් හිතුනෙ නැති හින්දමද මන්ද!
ඒ දවටම අම්ම, නංගි පොඩී, චූටි, කවුරුත් කතා කරේ නෑ. හරියට මල ගෙයක් වගේ. මට කිසි කෙනෙකුට ට මූණ දෙන්න බැරි මහ ලැජ්ජාවක් උන් ගානයි. මටම හිතා ගන්න බැරි උනා මම මොනා කරන්ද කියල. කිසි දවසක බණ නොකියන තාත්තගෙන් පළවෙනි පාරම අරහෙම කතාවක් ඇහුවම දරා ගන්න පුළුවන් කාටද! මොලේ විකාර වෙලා මූණවත් හෝදන්නෙ නැතුව ඇඳ උඩ උඩ බලං හිටපු මට අන්තිමට නොකාම නින්ද ගිහින්.
ප/ලි.
අද සිංහබාහු ඉස් ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය දවස. විශේෂය ඉස්කෝලෙ යාමටත් වඩා ඒක මම මීට අවුරුදු ගාණකට කලින් අනූ එකේදි දැකපු හීනයක්, හදා ගත්ත ටාර්ගට් එකක් ඇචීව් කිරීමක් නිසා. ඒ ගැන විස්තර හෙට පත්තරේ.