Sunday, May 29, 2011
රණවිරු රිඅල ස්ටාර් බැලුවෙමි!
ශ්‍රී ටීවී සැලා සමඟ ගැසූ අලුත්ම ගිවිසුමට පින්සිද්ද වෙන්නට රණවිරු රිඅල ස්ටාර් ලයිව් නරඹමින් සිටින්නෙමි.
මගේ තාත්තාද, සහෝදරියක්ද, බාප්පාද, තවද පළවෙනි පන්තියේ ඥාති සහෝදරයෙක් සහ දෙවනි තෙවනි පෙළ ඥාතී හමුදා නිළධාරීන් රැසක්ද, හමුදා නිලධාරී මිතුරන් රැසක් සිටින සහ සිටි බොහෝසෙයින් හමුදාකරණය වුනු පවුලක සාමාජිකයකු හැටියට මට හමුදා නිළ ඇඳුම ගැන තිබුනේ අභිමානයෙන් යුතු, විනයකින් හෙබි වීරයන් පිළිවෙලටකට හඳිනා ඇඳුමක චිත්‍රය මිස ගී ගයමින් වේදිකාව පුරා උඩ පැන නටනා කෝළමකුගේ අර බෝල වැටුන කලිසම හා බෝරිච්චි අත් හැට්ටය ගැන හැඟුම නම් නොවීය.
පොඩි කාලෙ තාත්තා මට මසා දුන් හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම හැඳ මා කෙතරම් අභිමානයකින් සිටියේද? එහෙත් මේ වේදිකාවේ වෙන දෙය දැක හමුදා සාමජිකයකු නොවුනද ඇති වන්නෙ දුකකි.
සැබෑ හමුදා වීරයන් යනු යුද්ධයේදී දක්ෂතා දකවනෝමය. එය එසේ නොවන්නේ ගැලවීමේ හමුදාවේ හෝ සාන්ත ජෝන්ගේ ගිලන් රථ හමුදාවේ පමණි.
අපේ ත්‍රිවිධ හමුදා සාමජිකයන්ගේ විශේෂ හැකියාවන් එළියට ගත යුතුය. උන්ටද තැනක් දිය යුතුය. නමුත් ඒ සම්පූර්ණ නිල ඇඳුමින් මෙලෙස වේදිකාවේ උඩ පන්නවා නොව තම හමුදාව නියෝජනය වෙන ගැලපෙන ඇඳුමකින් බව මගේ අදහසයි.
එමෙන්ම හමුදාවේ සිටින ගායකයන් පමණක් නොව වෙනත් නොයෙක් දක්ෂතා ඇත්තවුන්ද එළියට ගත යුතුය. කරණ වැඩේ නරක නැත, වරද ඇත්තේ එය කෙරෙන විදියේය.
සියල්ලට වඩා පිළිකුල් දනවන කාරණය වන්නේ විනිශ්චය මණ්ඩලය හා ඉදිරිපත් කරන්නන්ගේ විකාරයන්ය.
කමල් අද්දර ආරච්චි වීමට වේට්ටිය මෙන් දණිහ ගාවට සරම හැඳි කාන්චනට කිසිදිනක නොහැකි බව තේරුම් නොයාම ඔහුගේ උරුමය හා අපගේ කරුමය විය හැක! අහෝ මීට වසර ගනනකට පෙර තිබූ පිබිදෙන ගායක පරපුරේ නිවෙදනය මීට වඩා හොඳයැයි සිතෙන තරම් ඉහලින් තම ශූරකම් පෙන්වන නම නොදන්නා නිවේදිකාව තම වොකැබුලරිය නම් පෝෂනය කරගත යුතුමය.
විනිශ්චය මණ්ඩලය ජනපති හා ආරක්ෂක ලේකම් ඉදිරිපිට හිඳ හෝ ගා ලකුණු දමා ගනිමි සිටී. ජනමූල ජැක්සන් පුරුදු බයිලාවද, චම්පාගේ හින්දි ගී හා භාෂා දැනීම පෙන්වීමද, එඩ්වඩ් ජනපතිට යොජනා පිට යෝජනා කිරීමද තරඟයේ අලස ගතිය මඟ හැර පොඩි ජෝක් මූඩ් එකක් ගෙන ඒම විටෙක මල පැන්නද එක අතකට නරකම නැත.
මේවා දැක සිනහවෙනවාද මළ පැන රූපවාහිනියට පොල්ලකින් ගසනවාද? ඔබේ තේරීම 199 වලට ර.අල. යනුවෙන් ටය්ප් කර යටින් කැමති කුණුහරුපයක්ද ලියා ලියුමකින් දන්වන්න.
පළි. වෙසක් නාට්‍යක් සිහිකල මේ අනර්ඝ වේදිකා නිර්මාණය කල එකා මොකා වුව ඒකාටනම් කාළතුවක්කු උන්ඩයක් මත හිඳවා සම්මාණයෙන් පිදිය යුතුමය!
Thursday, May 26, 2011
මේ මඟුලට අවුරුද්දයි!
මීට අවුරුද්දකට කලින් වෙසක් පෝය දවසක පටං ගත්තු මේ මඟුලට දන්නෙම නැතුව අවුරුද්දකුත් උනා.
ලක්බිමේ තිබ්බ කතන්දරගෙ තිබ්බ ලිපියක් දැකල හොයාගෙන ආව බ්ලොග් අවකාශෙ අන්තිමට මමත් සාමාජිකයෙක් වෙලා දන්නෙම නැතිව. ආර්ථික අවපාතයට පින්සිද්ධ වෙන්න කලින් උන්න කොම්පැනියෙ වැඩ අඩුවෙන් ඇතිවෙච්ච කම්මැලි කම මකා ගන්න බ්ලොග් ලියන්න ගත්තට ටික කලකින්ම රස්සාව මාරු කරපු නිසා හිතපු තරම් හොඳින් මේ වැඩේ කරගෙන එන්න බැරි උනත් මේ විදියට හරි අවුරුද්දක් ඇදගෙන එන්න පුලුවන් වෙච්චි එක ගැනනං හරිම සතුටුයි.
අර දුමීත් කියල තිබ්බ වගේ කොමෙන්ටුවක් නැති පෝස්ට් එකක් හරියට මනමාලි නැති මඟුලක් වගේ තමයි.
මේ බ්ලොග් කෙරුවාවෙ ඉන්න වැඩි දෙනෙක් මෙතන රඳවල තියන විශ්වකර්ම බෙහෙත ඔය හොඳ සහ නරක අදහස් කියලයි මට හිතෙන්නෙ. ඒත් ඉතින් මගේ පෝස්ට් හතලිහටම ඒ හැටි මහ ගොඩක් නැතත් මේ තරමින් හරි යමක් කමක් කට්ටිය කියල තීන එක ගැන නං අවංකවම හරිම සතුටුයි.
ඒ වගේම මුලින්ම කොමෙන්ට් එකක් දාපු නිශාචරයටත්, මාව දිරිමත් කරපු මකර, හසිත මලය, දුකා, වත්, මාරය, වැම්පයර් සහ ඊයෙ පෙරේද ඉඳල නිතර මේ පැත්තෙ එන යන පිණිබිඳු නගා, අන්තිම පේලියෙ පිසාචය, හරී, ඕනය සහ අමතක කරන්නම බැරි කාලයක් වහං වෙලා උන්න මාතලං ගොය්ය, ඔබා ම වගේ නිතර මේ පැත්තෙ යන එන නම කියපු නොකියපු ඔය හැමෝටමත් මට මේ මඟුල ජෝඩු කරපු කතන්දර තුමාටත් මෙච්චර කල් දීපු සහයෝගයට බොහොමත්ම ස්තූතියි.
ඒ වගේම මෙතන කමෙන්ට් කරන හැමෝගෙම අඩවි වලට හොරෙන්ම ගොඩවැදිල ගොඩක් දවසට හිමින්ම පැනල යන්නෙ ලොග්වෙවී කමෙන්ට් කරන එක කන්තෝරුවෙ සහසක් ඇස් සහ දහසක් වැඩ මැද්දෙ කර ගන්න්න එක හරි අමාරු හින්දයි.
පෝස්ට් එකක් දාන්නෙ රෑ නමය හමාරෙන් පස්සෙ, ඒත් ගොඩක් වෙලාවට සති අන්තෙ බ්‍රහ්ස්පතින්ද. මොකද මේ මඟුලට ඉස්සෙල්ල කරගත්ත තව මඟුලක් තීනව ඒ ගැන බලන්න එපැයි ඉස්සෙල්ලම. අද මේ ලියනකොටත් 12.20යි, ඒත් තාම කන්වර්ටරේට කොටන මකණව, මොකෝ සිංහල ටයිප් කරන්න දන්න එකක්යැ වන් ෂොට් වර්ඩ් එකේ ඇදල අරින්න. ඒ අතිං බැලුවම එකේ උන්ටත් පින් දෙන්න එපැයි. මෙහෙම ගියාම මේක අර "මයික් ටයිසන් " ලගෙ ස්තූති කතා වගේ වෙන්නයි යන්නෙ, ඔන්න ඔහේ ඒ හින්ද ඔය ඇති!
මෙහෙම අමාරුවෙන් කොරගෙන යන හින්ද වෙන්න කතා කීයක් තීනවද කියල තාම ප්ලෑන් නොකරත් සෑහෙන්න ගානක් තීන බව දැනෙනව. ඉඩ තීන විදියට ඒව ගලපන්නං, එතකල් අපි හැමෝම "ඔහොම යං"
ඔය උඩ පින්තූරෙ ඉන්නෙ අපේ සිංහබාහු. හාදයට අවුරුදු හතරයි දවස් දෙකයි වෙනකොට තාත්තගෙ දෙවනි මඟුලට අවුරුද්දයි!
Tuesday, May 24, 2011
අල වගේද ගෝව?
කකා තුමා මාංශ භකෂකද ශාක භක්ෂක කියල කතාවක් ලියල තිබ්බනෙ
එතන දාල තිබුන පිතූරෙ උන්නු ළමයි දෙන්න අල්ලං උන්නු බෝඩ් ලෑල්ලෙ තිබ්බෙ Vegetarians-Taste-Better කියල. ඒ කියන්නෙ ශාක භක්ෂකයොන්ගෙ මස් මාංශ භකෂකයින්ගෙ ඒවට වඩා රසයි කියලද කියන්නෙ කියල මං ප්‍රශ්නයක් අහල තිබ්බට උත්තරයක් කවුරුත් දීල තිබ්බෙ නෑ. අනික ඒ පින්තූරෙ උන්නු දෙන්නව දැක්කම මට එහෙම හිතුනෙත් නෑ!
ඒත් අද හවස මගේ නඟා එවල තිබ්බ ඊයක තිබ්බ මේ පින්තූර දැක්කමනං මටත් හිතුන කොළ කෑම ඉන්ටරෙස්ටින් වැඩක් වෙයි හැබැයි ඒක මස් කෑමකට අනිවාර්ය මඟ තමයි කියල.
කොහොම උන්ත මේ වගේ අය කෑම බෙදනවනං ඊළඟ ආත්මෙවත් ශාක භක්ෂකයෙක් වෙන්ව වෙනවමයි ඔන්න. ( මේ ආත්මෙ බෙල්ලෙ එල්ලං මස් කන්න පටං අරන් ඉවරයි )
මේ කට්ටියගෙ තව පින්තූර තිබ්බ ඒත් ගෝව මිස අල දාල වැඩේ අල කරගන්න බෑනෙ, මේ සයිට් එකත් අර සුචරිතයන්ගෙ ගුටි පූජාවකට ලක් උනොත් එහෙම!
Sunday, May 22, 2011
පොඩිඑකාට කූඩු, තාත්ත කුඩු
ගිය පාර වෙසක් එකට ඊටත් කලින් පාර හදපු කූඩුවම අලුතෙන් කොල අලවල එල්ලුවට මේ පාර පැටව් එක්ක ලස්සන කූඩුවක් හදමු මාත් උදව් කරන්නං කියල හාමිනෙත් කියාපු හින්ද අවුරුදු ඉවරවෙනකොටම වැඩේට බැස්ස.
කෝටු ටික ෆැක්ටරියෙ කොල්ලෙක්ට කියල කපාගෙන ඇවිල්ල දවසට දෙක ගානෙ කොටු ගැට ගහන් ඊට පස්සෙ ඒ වේගෙන්ම කූඩුත් ගැටගහද්දි අර හාමිනේගෙ දෙන්නං කාසි ඔය නිකං කතුර ලඟට ගෙනල්ල දෙනව වගේ ලොකු වැඩ වලට විතරක්ම සීමා උනත් පොඩි එකා වැඩේට උනන්දු සහ ආස උන නිසාම අමාරුවෙන් හරි ඇදගෙන ගියා.
කොහොම කොහොම හරි වෙසක් දවස වෙනකොට ලොකු කූඩුවයි පැටව් හතරයි ඉවර කරගන්න පුලුවන් උනා.
පස්සෙ ගේ දොරකඩ රට ඉඳි ගහට ලණුවක් ගැටගහල වයර් ඇදල ලයිට් දාල කූඩු පහම එල්ලුවම අහල පහල කොලු කුරුට්ටොටත් මෙන්න මැජික් වගේ ඇවිත් බලන් ඉන්නව. ඇයි ඉතින් කවද දැකපු වෙසක් කූඩුද මෙහෙ!
මේ තීන්නෙ පොඩි මෑන්ගෙ කූඩු රාජය.
වැඩේ බැලුවම නිකන් කජු කනව වගේ කියල හිතුනට දෙන්නම වැඩට ගිහිල්ල හවසට ගෙදර ඇවිත් අනික් වැඩත් එක්ක මේතරමින් ගොඩ දා ගත්ත එකත් ලොකු දෙයක්!
අට පට්ටං හැට පට්ටං වෙනව වගේ පොඩි පොඩි තාක්ශනික දෝශ තිබ්බට එල්ලුවම නිකං ටීවි එකේ ටෙලි නිලියො වගේ ඔය බැබලුනේ එළට.
කූඩු එල්ලල රෑ වෙලා සුමිත්ගෙ පන්සලට ගිහින් තොරනත් බලල දන්සැලත් වැඳල ගෙදර ආවෙ පහුවෙනිදට තොරනෙ විස්තරේ කට්ටියට කියන්න හිතන්. ඒත් පහුවෙන්ද ලැබිච්චි ආරංචියෙන් පස්සෙ මොන හිතකින් කූඩුවල වරුණ ලියන්නද?
මේ තීන්නෙ සුමිත්ගෙ තොරණ
මෙන්න මහා බත් දන්සැල.
මේ දෙකේම වටිනාකම වැඩි වෙන්නෙ මෙහෙ හදිසි තත්වයක් ප්‍රකාශ කරල දහයකට වැඩි පිරිසකට රැස්වෙන්න තහනම් කරල හමුදා නීතිය යටතෙ සිවිල් ජනතාව පාලනය කරණ කාලෙකදි කරපු එකයි.
Thursday, May 19, 2011
සුවඳ සොඳුරු මල් නැත රැඳෙන්නේ බෝ කල්
වෙසක් මස වාසනාවන්
දුකකි අද නුඹ ගියායින්
සහෝ උඹ කල පින් බෙලෙන්
මිදේවා සසරේ දුකින්
අනේ පෙර කළ පින් මඳින්
ගියද හනිකට සමු අරන්
යලිදු කිකලක මේ ලෙසින්
නොයනු ඇත නුඹ කෙටි ගමණ්
ලොවේ තැන තැන විසිර උන්
නොයෙක් විදියේ අලි නයින්
සැමට එක අරමුණක් දුන්
පිනම ඇති යන්නට නිවන්
ලොවේ අනියත ජීවිතෙන්
දිනක පිටවිය යුතු බව දනින්
එහෙත් ගල් තව ගල් වෙමින්
කිම්ද මල් පමණක් ඉතින්?
Tuesday, May 10, 2011
ස්වයං වින්දනයේ යෙදීමෙන් ශරීරය කෘෂ වේද?
මෙය අපට පාසැල් කාලයේදී ඉතාම වද දුන් පැණයකි!
එකල තරමක් කෙසඟ සහ කතාවේ දක්ශයින් නොවන්නන් හට "මූ කෝට්ට වගේ ඉන්නෙ ඉතිං අල්ලෙ රේඛා මැකෙනකල් උදෙ හවස වැඩ අල්ලනවනෙ" යැයි පැවසූ විට පාන්තිරවලට වඩා කදිමට ඇඹරෙති. නමුත් කටකාරයින්ට මේ චෝදනාව නොකරන්නට පරිස්සම් වූයේ අහිංසක සහෝදරියන්, දෙමව්පියන් පවා ගාවා දෙන උත්තර ඇසීමෙන් චෝදනා කාරයාම ඉල්ලං කෑමට සමහරවිට සිදුවනබව අන්තිම පේලිවල උන්නම් දන්නා කාරණයකි.
මේ කෙට්ටුවීම, අල්ලේ රේඛා මැකීයාම සහ අල්ලේ වල පැදීම සත්යදැයි කිසිවකු නොදැන සිටි අතර අන්තර්ජාල නැති ඒ අවධියේදී මෙයට නිවැරදි පිළිතුරක් සෙවීම අපහසු කාර්යක් වූ බැවින් සහ වැඩිහිටියෙකුගෙන් ඇසීමටත් හය්යක් නොතිබූ නිසාවෙන් බොරුව ඇත්තක් ලෙස පිළිගත්තා නොගත්තා ලෙස සිටියෙමු.
මේ අතර දිනක අපට පැපිලියානේ සුනේත්රාදේවි පිරිවනෙහි විද්යා දිනයකට ඇරයුම් ලැබිනි.
සාමන්යෙන් බාලිකා පාසලක් හෝ ජනප්රිය පාසලක් නොවන නිසා එම ආරාධනාව බැහැර කිරීම විද්යාසංගමයේ සිරිත උනද ( මෙය හොඳ දෙයකැයි මම අද නොකියමි ) මේ අවස්ථාව එළෙස බැහැර කිරීමට නොසිතුනේ එහි පැමිණෙන ආරධිත අමුත්තා නිසාවෙනි. ඉතාම සිත්ගන්නා ලෙසත් කිසිදු කුණුහරුප දෙඩවීමකින් තොරව විහිළු කරමින් ජීවිතයට වටිනා අවවාද දෙමින් විද්යා කරුණුද පැහැදිලි කරදෙන " නන්දදාස කෝදාගොඩ" නම් අප ආදරය කල වියතාගේ දේශනයක් මඟ හැරීමට නොහැකිවූ නිසා සහ කම්මැලි පාසැලෙන් නීත්යානුකූලුව එළියට ගොස් වැදගත් පළක් ඇති වැඩක යෙදීමටද තිබුනු අවස්ථාව ගැන සිතාමය.
සිතූ ලෙසම ආරාධනා ලද්දවුන් මහ ගොඩක් නොපැමිණ සිටි මුත් මිශ්ර පාසැලක් නිසාදෝ සිසු සිසුවියන්ගෙන් අඩුවක්ද නොවිනි.
පුරුදුලෙසම තරමක් මැද වැඩි අවධානයක් ඇති නොවෙන මුත් සියල්ලට පහසු තැනක අපට ඉඳගැනීමට සැලස්වීමට ඒ සිසුන් කාරුණිකවිය.
කම්මැලි කතා, සිසුන්ගේ සිත්ගත් ඉදිරිපත්කිරීම් කිහිපයකට පසු බලාපොරොත්තු වූ දේශනය ඇරඹිනි.
මට මතක හැටියට එදා දේශනයේ මාතෘකාව වූයේ ජනගහන වර්ධනය තුලින් ලොව මුහුණදෙන පාරිසරික හා සෞක්ය ගැටලු හෝ සමාන යමකි!
හරබර දෙසුම අවසන ප්රශ්න ඇසීමේ වාරයයි. නොයෙක්දෙනා තම නැණ පමණින් ලියා යවන චිට් අතරේ ලියා යැවීමට යමක් සිත සිතා ඉන්න අපට හදිසියේම කඩ ඉම ප්රශ්ණය ගැන මතක් කලේ "සුනිමල්" විසිනි (පොතක් ලිවියහැකි චරිතයකී).
පිළිතුර දේදැයි ඇති සැකය හා චිට් එක ට්රැක් කර ගැනීමේ පහසුව තකා වහා අත තිබූ සමරු කළඹේ කවරයෙන් කොටසක් ඉරා "මිලියන් ඩොලර් ප්රශ්නය" පැහැදිලි අකුරින් " පොඩි මල්ලී" විසින් ලියන ලදි.
මිසයිලය අතිනත යෑමට පටන්ගති. අප ඉදිරියෙන් සිටි කොල්ලන් අතටගත්විට සිනාවෙමින්ද පසුපස බලමින්ද, ගෑනු ළමුන් කියවා සිනා තදකර සර්පයෙක් අතට ආ වේගයෙන් ඉදිරි පෙලට යැවූ බැවින් සිතුවාට වඩා වේගයෙන් මිසයිලය ඉලක්කය කරා යන ලදි.
අවසන ඉදිරිපෙළ සිටි සිසුවිය කෝදාගොඩ මහතාගෙ මුහුන මඟහැර සිනාව තදකර එය එතුමා අතට පත්කල ආකාරය, අහෝ එය අපේ සිනහව එළියට පැන්නීමට සමත් වුවද සිටි දුර නිසා යන්තම් වැඩේ වන නොවී කට වසා ගැනීමට වෙලා තිබිනි.
අතට ලද සැනින් එහි ඇති විශේෂ ගුණය නිසාදෝ චිට් එක කියැවීමට වෙදැදුරුතුමා නොසිතීම අපේ අවසානයද ජයග්රහනයදැයි බියෙන් ලප් ඩප් හඬ ඉහල ගොස් සිටින අතරේ කිසිවක් නොවූවා සේ අනෙක් සියලු පැණයන්ට පිළිතුරු දී එතුමා දේශනය හමාරකිරීමට සැරසෙන බවක්ද පැවසිනි.
“අනේ අපේ ප්රශ්නෙ ආයි යට ගහන්නද හදන්නේ” යැයි සිතන විටම අර ශාන්ත ගැඹුරු හඬ ශ්බ්දවිකාශන තුලින් යලි මතුවිය.
සභාවට චිට් එකෙ අන්තර්ගතය උස්සා නොපෙන්නුවද මඳක් පෙනෙන ලෙස ඉස්සූ එතුමා
"මේක ලියපු අය සහ මඟදි කියවපු අය දන්නව ඇතිනෙ මොකක්ද කියල" දැන් බිය වැඩිවී ඇත.
" මට මේ ගැන කියන්න තීන්න්නෙ එහෙම දෙයක් වෙනවනං මං මෙතන නෑ කියල විතරයි"
ඉන් පස්සෙ එතන ආපු සිනා සද්දෙයි අපිට කොච්චර සැහැල්ලුවක් දැනෙන්න ඇතිද කියලයි හිතා ගන්න පුලුවන්නෙ!
Thursday, May 5, 2011
වැරදුන කුරුමාණම හෙවත් නිවා දැමූ දහයියා කන්ද!
අහුමුලු වල හැංගිච්ච ලස්ස සිංදු අපට මතක කරල දෙන තිස්ස දොඩංගොඩ සහෝදරය ඉල්ල තිබ්බ බහරේන් වල තත්වය ගැන යමක් ලියන්නෙයි කියල.
තිස්ස කියන්නෙ තවත් අරාබි රටකම විතරක් නොවී මේ අර්බුදය වෙලාවෙ මෙහේ ආන්ඩුවට සෘජුවම සහය දීපු රටක වැසියෙක් වෙලත් උනේ මොකක්ද කියල හරියටම හිතා ගන්න බැරි වෙන්නැති සමහරවිට!
ඇත්තටම විදෙශීය මාධ්ය කාරයො කියන්නෙ කවුද කියල ලංකාව ආශ්රයෙන් අත්දැකීම් තීන අපිට මේක අමුතු දෙයක් නොවුනත් අඩු තරමෙ මෙහෙ ඉන්න සුද්දො ටික සහ එහෙ ඉන්න උංගෙ පවුල් වල උදවියවත් ස්කයි නිව්ස්, බීබීසී, සී එන් එන් වල කැටයං ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තු එක මේ අවුලෙ එක හොඳ අතුරුඵලයක් කියන්න පුලුවන්.
ටියුනීසියාවෙ අහම්බෙන් වගේ ඇතිවෙච්චි තත්වෙ ප්රයෝජනේට අරං ඊජිපිත්තු මෝඩයො මුබාරක්ව එලවනකොට ඒ ගින්නෙම්ම ලිබියන් මස් කෑල්ලත් පුච්චගන්න හදන ඇමරිකාව වගේ ගේමක් තමයි ඉරානයත් දෙන්න හැදුවෙ!
හොඳ ළමයෙක් වෙලා ඉන්න ගඩාපිට ගහන්න හේතුවක් නැතිව හිටපු බටහිර තෙල් බඩගිනි කාරයොන්ට පෑදුන "මහජන නැඟිටීම" කියන අවිය ලස්ස්නට ඔපදාල "බෙන්ගාසි"යෙ සුලු පිරිසක් අතට දුන්නු ආකාරයටම ඉරානෙන් ඒක මෙහෙ "ෂියා" මුස්ලිම් කණ්ඩායමට ගෙනත් දුන්න.
පාර්ලිමේන්තු ක්රමය (ඒකට පාර්ලිමේන්තුව කියලම කියන්න බෑ එක අතකට, ලංකාවෙ ප්රායොගිකව වෙන දේ දැක්ක්කම නොකියත් බෑ!) හඳුන්වල දීල අවුරුදු දහයක් ගියත් තාම බහුතර ෂියා ජනකොටස සුළුතර සුන්නි අතින් සුන්නත් වෙනව කියන සටන් පාඨය පෙරට දාගෙන සම අවස්ථා ඉල්ලං තමයි මුලින් කට්ටිය පාරට බැස්සෙ!
ඇත්තටම විහිලුවක් වගේ පෙනෙන සටන් පාඨ තමයි ඔක්කොම තිබ්බෙ. මෙහෙ අවස්ථ ගැන මම මුලිනුත් පෝස්ට් එකක කියල තිබ්බනෙ! අනික ඉතින් අවස්ථා නැත්තං මොකටද රටේ ජනගහනයට වඩා පොඩ්ඩක් වැඩිවෙන තරමටම විදීශිකයො ගෙනත් තීන්නෙ. ඒ අයවත් ගේන තරමක් ගෙනත් තීන්නෙ ඔය නැහැයි නැහැයි කියල කෑ ගහන ෂියා වරුම වෙච්චි එක තමයි අනික් විහිලුව!
මේ අය හිතුවෙ බටහිරයො ටියුනීසියාවෙදි ඊජිප්තුවෙදි ගත්තු තැන මෙහෙදිත් ගනීවි කියල. අනික බටහිර මාධ්ය කියන්නෙ ලෝක ජන මතය කියන මිත්යාවත් මෙතන තිබුන.ඒ මෝඩ අදහස් එක්ක ඉරාන පිදුරුවලින් ඇවිලිච්චි "ෂියා" බහරේනියො පෙබරවාරි දොළොස්වෙනිද පාරට බැහැල මෙහෙ තිබ්බ ඉතාම ලස්සන වට රවුමක් වෙච්චි "G.C.C Roundabout" එක වටකරගත්ත.
ඔවුන්ගෙ අදහසට අනුව එය බහරේනයේ "තහීර් චතුරස්රය" සහ කොරහේ කිඹුලන් හදන් විදේශීය මාධ්යන්ට අනුවනං ඒ වටරවුම "පර්ල් චතුරස්රය" උනා...
ප්රසිද්ධ මහා මාර්ගයක තිබ්බ වටරවුම චතුරස්රයක් කරපු ඔය මහ ලොකු මාධ්ය කාරයො තව කොයිතරන්නං දේවල් වෙනස් කරන්න ඇතිද කියල හිතා ගන්න පුලුවන්නෙ? ( අද වෙනකොට මේ වටරවුම සහ එහි තිබූ අලංකාර සිහිවටනය කඩා දමල විදුලු සඥා යොදපු මංසන්ධියක් කරල. තාම මහජනයට ඒත් වහල, හමුදාව පමණයි )
මෙහෙම පාරට බහින්න පටන් ගත්තෙ රැකියා අනවශ්ය ( මේක මෙහි විශේශිත තත්වයකි - ඔවුනට රැකියා අවශ්ය නැත. පොලොවෙන් නිකම් ලැබෙන තෙල් වලින් රජ පවුල පමණක් නොව තමන්ද සැප විඳිය යුතුයැයි අදහන නිසා එම ආදායමෙන් කොටසක් නිකම් ගෙදර සිටින මුත් ලැබිය යුතුය ) පිරිස.
පස්සෙ පස්සෙ මේ රවුම් චතුරස්රයට ගුරුවරු, කම්කරුවො, රියදුරෝ වගේම අන්තිමට අන්තිමට ගල්ෆ් එයාර් ඇල්බ වගේ ඉතාම ඉහල වැටුප් ලබන ආයතනවල සේවකයොත් ඒකතු උනා. මොලේ තීන සුළු පිරිසක් විතරක් තමන්ගෙ රාජකාරිය ඉවරවෙලා ගෙදර ගිහින් නාල කරල රෑ කෑමට එතන්ට සෙට්වෙලා "ශිශා" එකක් උරාගෙන් කය්යක් ගහල මහ රෑ වෙලා නිදා ගන්න ආයි ගෙවල් වලට ගියා, අර ගේ ලඟ මල ගෙවල්වල නයිට ගහනව වගේ!
ඇත්තටම මේ රවුං චතුරස්රෙ මාර කානිවල් එකක් වෙලා ත්බ්බෙ පස්සෙ පස්සෙ. එතන පොප් කෝන් කාරයො, අයිස්ක්රීම් කාරයො විතරක් නෙමේ මැජික් කාරයොත් වැඩ පෙන්නල ගාන හොයා ගත්ත විතරක් නෙමේ විස්සකට වැඩිය තරුන ජෝඩු කසාද බැන්ද, නැත්තං විවාහ ගිවිසීමෙ උත්සව තිබ්බ. වෙනදට සීත කාලෙ කාන්තාරෙට වෙලා සති අන්තය ගත කරන්න පාවිච්චි කරන කූඩාරම් ටික එතන අටෝගෙන, හරියට රජා දැං ගෙදර යයි අගමැති දැං පිලිපීනෙට පැනල යයි වගේ තත්වයක් තමා එතන තිබ්බෙ.
මෙහෙම නැගල ගිය ඉරාන බහරේන් ෂියා මධු සමයට කෙළ උනේ මාර්තු මාසෙ 15 වෙනිද මෙහෙ තියෙන උසම සහ වැදගත්ම ගොඩනැගිල්ල උන Bahrain Financial Harbour එක වට කෙරීමෙනුයි. රටේ රජුගෙ මාමා වෙච්චි අල් කලීෆා අගමැති තුමන්ට අයිති මේ ගොඩනැගිල්ලෙ තමයි කලාපෙ ධනවත්ම බැංකු කීපයකම මූලස්ථාන තිබ්බෙ. මේ වට කිරීමෙන් උද්ඝෝෂකයො බලාපොරොත්තු වුනේ ඒ වෙනකොටත් ලොකු ගැටලුවක් නැතිව ස්ඵන්ධනය උන රටේ හදවතට දන්වන්නයි.
ඒත් ඒ තරං දුරට මේ ප්රශ්ණෙ යනවට පාලක පවුල කැමති උනේ නෑ. මොකද එහෙම උනොත් ඒ ගොල්ලන්ට යන එන මං නැතිම වෙන බව දන්න නිසා.
ඒනිසා මෙච්චර කල් මානුෂික තිරෙන් වහං හිටිය යක්කු එළයට දාන්න රජ පවුල පසුබට උනේ නෑ කිව්වොත් හරි.
ඒ වගේම කාගෙත් හයියට දවසක් රෑ රොබට් බ්ලේක් මහත්තය හොරාම ඇවිත් රජ පවුලම හම්බුවෙලා ගිහින්, හැමෝම දන්නෙ පහුවෙන්ද මිනිහම ඇමරිකාවෙ ඉඳල මීඩියා රිලීස් එකක් දුන්නමයි!
ඉතින් මේ සුපිරි බල සෙවණ සහතික කරගත්තු සුන්නි රජවරු වහාම යුධ ටැංකි සහ යුධ ගුවන් යාන දාල අර නිරායුධ පෙළපාලි කාරයො ගෙවල් වලටම ගහල එලෙව්ව. ඒ වගේම මේ අතරෙදි ඔටුන්න හිමි කුමාරය තත්වයෙ බරපත්ලකම සහ ඇමරිකාණු සහය ගැන කියල අසල්වැසි ගල්ෆ් රටවලින් උදව් ඉල්ලු, හරියට අර සිරිමාවො 71දි කරා වගේ.
නිය පොත්තෙන් කඩන්න ඕන දේ වැවුනොත් කාට කාටත් ගෙදර යන්න වෙන බව තේරුන නිසා සවුදි රජතුමා තමංගෙ රටේ පිහිටුවල තිබ්න ඒත් මුලු ගල්ෆ් සාමජිකයන් හයදෙනාගෙම සහයෝගයෙන් නඩත්තුවෙන "ගල්ෆ් කලාපීය ආරක්ෂක හමුදාවෙ" භටයො සීයක් එක්ක අවශ්ය සියලුම ගොඩබිම් උපකරණ වහාම එව්ව තත්වය පාලනයට බහරේන් හමුදාවට උදව්වට.
ඒ එක්කම එක්සත් අරාබි එමීරයෙන් පොලිස් භටයො සීයක් සහ කුවේටය තමංගෙ නාවික බල ඇනියක් මුහුද වටේ මුර සංචාරයටත් එව්ව. මේ සේරම අතුරු හමුදා එක්ක හදිසියෙම පකිස්ථානෙන්ං බඳවගත්ත තවත් හිටපු පකිස්ථාන් හමුදා භටයො පන්සීයක් එක්ක එකතුවෙලා අපි 89දි දැක්කට වඩා අඩු මරණ ගානකින්, ඒත් ඊට වඩා බොහොම දරුණු විදියෙ මර්ධනයක් මුදා හැරිය!
මාස එකහමාරකටත් අධික කාලයක් තුල ඉතාම සංවිධානාත්මකව සහ සූක්ෂමව නීතියේ ආවරණයන්ට බොහෝවිට යටත්ව කෙරෙණ මේ මර්ධනය විදෙශිකයො හැටියට අපිට එතරම් දැනෙන්නෙ නැති උනාට අර සිංහයො වගේ උන්න උද්ඝෝෂකයො බලු ගානට දාල තීන්නෙ. අද ඔවුන්ට නින්දක් නෑ, කෑමක් නෑ, රෑ 7න් පස්සෙ පාරට බහින්න බෑ, කොයි වෙලාවෙ උස්සන් යයිද කියල. ඉස්සුවත් මරන්නෙ නෑ, ඒත් ආයි ජීවත් වෙලත් වැඩක් නෑ!
මේ වෙනකොට සිය ගානක් වෛද්යවරු සහ හෙදියො, ඉහල වැටුප් ලද රජයේ සේවකයො විතරක් නෙමෙයි ප්රභල ව්යාපාරිකයොත් ගානක් ඇතුලෙ. ඒ අයගෙන් එක එකා දානව පොන්සේකා තාලෙ යුධ අධිකරනවලට.
එදා කතා කරපු වෙලේ රජ පවුල එක්ක සාකඡාවට ගියානං යමක් දිනාගන්න තිබ්බ උන්ට මෙදා රජ ගෙදර පිළිකන්නත් නෑ. එහෙම උනේ තමං ගැන අධි තක්සේරුවකින් කටයුතු කල නිසා සහ ඉරානෙ ලණුව කාපු නිසයි. මුලින් උද්ඝෝෂන වලට උදව්කරපු රටවලුත් ඉරානෙ ගෑවුන නිසා අහක බලා ගත්ත. අද අන්තිමට ලබපු දිනුමකුත් නෑ, කරපු රස්සාවලුත් නෑ, හිතේ සතුට සහනයත් නෑ තමුංගෙ දරුවොත් නෑ!
උද්ඝෝෂනය ඉවරකරපු ආන්ඩුව දැං ඒ උද්ඝෝෂකයන්ගෙ කොඳු බිඳින්න පටන් අරන්. ඒකෙ පළ්වෙනි පියවර උනේ එදා උද්ඝෝෂනයට ඇවිත් එලවපු උන්ගෙ කාර් කුඩු කරපු එක. ඒ විනාසකරපු කාර් තොගේ පින්තූර ගන්න බැරි උනා හැමතැනම ඔත්තු කාරයො නිසා. ඒත් ඒකත් හරිම දුක හිතෙන දර්ෂනයක්. අලුත්ම ටොයෝට, ෂෙව්ලෙ, බීඑම්, රෙනෝල්ට්, නිසාන් මෙකී නොකී සියලුම වර්ගවල වාහන සිය ගානක් යුධ ටැංකිවලින් චප්ප කරල, ආයි පාවිච්චියට ගන්න බැරිම වෙන්න.
දෙවනි පියවර තමයි ( මුලු මුස්ලිම් ලෝකයම නිහඬයි මෙ වැඩේදි, ඒත් අපි කරානං හැබැයි බලන්න තිබ්බ )මේ පහල තීන පිතූරවලින් පේන්නෙ පහුගිය දවස්වල කඩා දාපු ෂියා පල්ලි සහ ආගමික ගොඩනැගිලි කීපයක්!
මේ කරණ දේ ගැන මට පෞද්ගලිකව තීන්නෙ පැහැදීමක්. ඒ මේ මෝඩ අරමුණක් නැති "උද්ඝෝෂකයො" හින්ද මීට අවුරුදු විසිදෙකකට කලින් අමතක කරපු ඒ හැඟීම එලියට ඇදුන නිසා! එදා තාත්ත හමුදාවෙ නිළධාරියෙක් නිසා හැංගිල ඉඳගෙන වේලපු බත් ( අපිට තාත්ත එවපු බත් එහෙට එනකොට හැමදාම පිළුනු වෙලා, ඉතිං අපි ඒවගේ එළවලු විසිකරල බත් වේලල සීනි දාල කබලෙ බැදං කනව ) කාපු හැටි මත් උනා, මෙදා විදේශ ශ්රමිකයෙක් නිසා එළියට බහින්න බැරුව තුන්වේල පරිප්පුයි බතුයි කනකොට.
අවසානෙ හැම ද්යක්ම සාමන්ය තත්වෙට පත්වෙයි කියල හිතනව. මේ වෙනකොටනං අපිට කිසි වෙනසක් නොදැනෙන ගානට සියල්ල සාමණ්ය වෙලා ඉවරයි. ඒත් ෂියා තරුණයන්ගෙ හිතේ තීන ගින්න කවදහරි යටි ඇදිල ගිහින් එළියට නෑවිදින් තියෙයිද?
Subscribe to:
Posts (Atom)