මේ පොත පල කිරීමේ වටිනාකම හෝ නොවටිනාකම ගැනත් එය මිළට ගැනීමට තිබූ අපහසුව සහ උනන්දුව ගැනත් ඇති තරම් ලියා තිබෙනු දුටු මුත් එහි අන්තර්ගතය ගැන කිසියම්ම හෝ කියැවීමක් නුදුටුවෙමි.
මේ සටහන ඒ අඩුව නිසාම නොව මෙය ගැන තවත් කතා කල යුතුයැයි හැඟුණු නිසා ලියූවෙමි.
සමස්ථයක් ලෙස මේ පොත එක දිගට කියවාගෙන යාමට සිතෙන සිදුවීම් වලින් ගහන තරමක් රසවත් පොතකි. එමෙන්ම මෙහි ඇති සියලු සිද්ධීන් අප දන්නා ඒවා උනත් පිටුපස ඇති අප නොදන්නා කතාන්තර කතුවරයා රසවත්ව සහ සවිස්තරාත්මකව විස්තර කරයි.
මෙහි මූලික අඩුපාඩු හෝ අපැහැදිලි අවස්ථාවන් කිහිපයක් මා නිරීක්ෂනය කලෙමි.
1. කතුවරයා තම අතීත අඩුපාඩු, තරුණයෙකු ලෙස කල වැරදි සහ ආවේගාත්මක තීරණ ගැන පසු තැවෙන අතරම වැඩිහිටි ජ්යේෂ්ඨ රාජ්‍ය නිළදාරීන් කරනා ජනප්‍රිය වැරැද්දක් වන රාජ්ය සම්පත් අවභාවිත කිරීම සිදු කොට ඇති බවක් පෙනේ. එහෙත් එහි අවසන් ප්රතිඵලය මෙවන් අගනා පොතක් නිසා "මගේ මතයට අනුව ඒකට සමාවක් දිය හැක".
2. මේ පොතෙහි මූලික අරමුණ යුද්ධය ගැන තම අත්දැකීම් ඉදිරිපත් කිරීමද, යුද්ධයෙන් හා සාමයෙන් ලංකාවට ලද හෝ නොලද දේ ගැන විචාරය කිරීමද, යුද්ධය ගැන අත්දැකීම් සහ ඇසූ කියැවූ කරුණු එක් කර වාර්ථාවක් සැපයීමදැයි පැහැදිලි නැත. මන්ද මේ සියල්ලම එකට කළවම්ව තිබෙන බැවිනි.මේ කළවම සමහරවිට කියවන්නාට ඉතා වෙහෙසකරය.
3. මෙහි 88/89 මර්ධනය සාදාරණීකරනයට අවශ්‍ය පසුබිමක් මිස මර්ධනය ගැන වචනයක් වත් නැත. අනෙක් පසින් බෝම්බ දමා මාලු ඇල්ලූ, රත්තරන් බඩු හොරකම් කෙරූ සෙබළුන් වෙනත් යුධ අපරාද නොකලේදැයි නිතැතින්ම සැක සිතෙහි. නමුත් එවැනි දේ හෝ ඒවාට එරෙහිව ගත් පියවර ගැන කිසිදු සඳහනක් නැති වීමේන්, අපේ හමුදාව ඒවා නොදැක නොසලකා සිටි බවක් දැනේ.
4. සමහර විටෙක ඔහු සහභාගී නොවූ යුධ සැළසුම් ගැන පවා ඉතා දීර්ඝව විස්තර කෙරෙතත්, රටේ අවධානයට සහ ආන්දෝලනයට ලක්වූ පමණක් යුද සටන් ගැන ( උදා ලංකාවට මුල් වරට මල්ටි බැරල් ගෙන ආ සරත් ෆොන්සේකා සහ ජානක පෙරේරා එක්ව ඉටු කල නොනවතින රැල්ල ආපිට ගැසීම, වැඩිම ත්‍රස්ට්ගයින් පිරිසක් මරා දැමූ වැලි ඔය සටන ) හරි හමං විස්තරයක් නැත.
5. කතුවරයාගේ සාම වෑයම ගැන වූ විරෝධතාව දිගින් දිගටම නැවත් නැවතත් සඳහන් කර තිබීම කියවන්නාට වෙහෙසකරය. අනෙක් අතින්, සාම වෑයම් ගැන වූ දේශපාළන තීන්දු නැවත් නැවතත් දැඩිව විවේචනය කරයි. එහෙත් දේශපාළක තීන්දු වලට ඇතිවෙන බාහිර බලපෑම් සහ සාධක සාකච්ඡාවට නොගන්නා සන්දර්භයක මෙය සහමුලින්ම අනවශ්‍ය ලෙස පොත විශාල කිරීමක් පමණක් වී ඇත.
6. කකුලට වෙඩි තබාගෙන ගෙදර ගිය හෝ සියදිවි නසාගත් මාන්කුලමේ සෙබලුන්ට දීනයන් යැයි පවසමින් හමුදා සෙබළෙකු යනු මිනිසෙකුම බව අමතක කරන කතුවරයා , සිය බිරිඳ විසින් බෙල්ලන්විලට බෝධි පූජා තබා ප්‍රභා මරන්නට අවස්ථාව ලබා දෙන්නැයි කී කතා, බෝ ගස මුල සිටි සෙබලුන්ට අනතුරක් නොවූ සැටි ගැන උත්කර්ෂයට නඟයි.
7. කතුවරයා තම ගජබා සේනාංකය සහ එහි සුරු විරු කම් ඉස්මතු කිරීමට ඉතා වෙහෙසක් ගෙන ඇති බවක් දැනේ. මෙවැනි ගැටි සමඟ යුද්දය දිනීම සැබෑවටම විශ්මයකි.
8. කෘතිය පුරාම සරත් ෆොන්සේකා ගැන යම් නොපහන් තරහකින් කරුණු ලියැවී ඇති බව හැඟේ. මේ පොත ගැන ෆොන්සේකාගෙ වෛරයට හේතුවත් මේ පේළි අතර කියනා කතාවම විය හැක.
මේ මා මූලිකව දුටු අඩුපාඩු කිහිපයයි. ඒ හැරුණ විට, මම තමයි පොර න්‍යායෙන් ලියා ඇති වීම අඩුවක් ලෙස නොව, මෙවන් යුද්ධයක සැලකිය යුතු දෙයක් කල මිනිසෙකුගෙන් බලාපොරොත්තුවිය හැකි තත්වයක් බව පිළිගණිමි.
සමස්ථයක් ලෙස ගත් කල මෙය ලියැවිය යුතු සහ කියැවිය යුතු පොතකි. එමෙන්ම මෙවන් පොත් යුදයේ අනේක් පාර්ශවය වන කොටින්ද ලිවිය යුතුය.
මන්ද, විදේශ පුහුණු, රාජ්‍ය අනුග්‍රහය, විශාල මුදල් වැය, නවීන අවි සහිත ත්‍රිවිධ හමුදාවක් සමඟ මෙතරම් හොඳින් සටන් කල ත්‍රස්තවාදීන් හට කියන්නට ඇති දේ මීටත් වඩා විශ්මය ජනක කතාවක් වනු ඇති බැවිනි.
මේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත ගැන විචාරයක් නොවේ. මෙය පාඨක අදහසක් පමණි. මෙහි කරුණු සංවාදයට විවෘතය.