Wednesday, December 26, 2012

නාන්න යනවද නාගන්න යනවද?




අද ජාතික ආරක්ෂක දිනයයි. මීට වසර අටකට පෙර සිදුවූ ඒ මහා ව්‍යසනයෙන් වූ හොඳ කීපයක් ඇතිනම් එයින් එකක් වනුයේ ආපදා කළමනාකරනය ගැන වැඩි අවධානයක් ඇතිවීම සහ එහි ප්‍රථිඵලයක් ලෙස ජාතික ආරක්ෂක දිනයක් ප්‍රකාශයට පත්වීමයි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ දහසකුත් එකක් දින වලින් පිරි අපේ කැලැන්ඩරයේ මේ දිනය මඳක් අවධානයට යොමුවන්නේ තවම ඉතුරුව ඇති සුනාමි මතක නිසා පමණක් වීමයි.

ලෝක විනාශය කෙසේ වෙතත් රටේ විනාසයක් ඇති කරමින් මහ ගංවතුරක් සමග නොයෙකුත් හේතු නිසා ජීවිත මහ ගොඩක් නැතිවූ පසුගිය දින කිහිපය අපට තව ටික දිනකින් අමතක වී යනු ඇත. ඉන් පසු දොශාභියෝගයේ හෝ මීලඟ දේශපාලන නාටකයේ විස්තර රූපවාහිනියෙන් බලා මෙගාවකින් සිත පුරවා යලිත් නව වසරේ නින්දට යනු ඇත.

එහෙත් අඩුම තරමේ බ්ලොග් ලියන කියවන සීමිත පිරිස අතරේ හෝ ආරක්ෂාව සහ ආපදා කළමනාකරනය ගැන මීට වඩා එහා ගිය කතිකාවතක් ඇරඹිය යුතු කාලයකි මේ.  එමෙන්ම එය අප සැමගේ කාලීන වගකීමක් ලෙස වඩා අවධානයට යොමුකල යුතුමය.

ලංකාවෙ සෑම දිස්ත්‍රික්කයකම පාහේ සංචාරය කර, නෑමට බැලීමට විඳිමට ඇති තැන් විශාල වශයෙන් ඇසුරුකර ඇති මා, ඒ අතරින් වඩා අවධානයට යොමුවන නාන තොටවල් සම්භන්ධ තොරතුරු සහ දැණුම් බෙදා ගැනීමෙ අරමුනින් ලියු "නාන්න සෙට් වෙන්න ආගිය තැන්" ලිපියෙ දෙවැනි කොටස ලෙස කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නාන තොටවල් කිහිපයක් ගැන සහ දිය නෑමට යාමට ප්‍රථම අවධානය යොමුකලයුතු කරුණු කිහිපයක් මෙහි බෙදා ගැණුමට අදහස් කරමි.

කළුතර සහ රත්නපුර යනු ඇලේ දොළේ නෑමට ප්‍රිය කරන්නන්ට අවශ්‍ය තරම් සම්පත් ඇති ප්‍රදේශ දෙකකි. එහෙත් නෑමට යාමට පෙර සැමගේ සිහියට ගත යුතු,නමුත් පහසුවෙන් අමතක කරන කරුණු කිහිපයක් මුලින්ම අවධානය යොමුකල යුතුයැයි සිතමි.

ඔබ යන්නේ "නාන්නද, සෙට්ව්ලා නාන්නද, නාල සෙට් වෙන්නද, හෝ වෙන ගමනක් අතරතුර නාන්නද යන්න මුලින් තීරනය කල යුතුය.

ගමනෙහි අරමුණ නෑම සහ බීම වීම පමණක් නම් පහත කරුණු පිළ්බඳ ඔබේ අවධානය ගමණ පිටත්වීමට පළමුව යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත.

ඔබ යන තැන වඩා ගැඹුරු නැති ගලා යන දිය පහරක් වීම.  ( උදා; පරෙයි තොට - ඉංගිරිය ) කිසි විටකත් විශාල ජලාශ, ගංගා සහ වේගයෙන් ගලා බසිනා ඇළ දොළ වල බීමට පසු නෑමට නොයන්න.

ගමන් ආරම්භයේ සිට පැය දෙකක් හෝ තුනකින් ලඟා විය හැකි බව.

ආසන්නයේ විහාර අරාම හෝ වෙනත් පොදු ස්ථාන නොමැති තැනක් වීම ( නාච්චිමලේ නෑමට හැකි බීමට නොහැකි එහි ඇති ආරණ්‍ය නිසාවෙනි )

ඉක්මණින් නාන තොටේ සිට ඔබේ වාහනයටත්, එතැනින්  රෝහලකට හෝ ජනාවාසයකටටත් ලඟාවිය හැකි වීම (  ගිණිගත්හේනේ තිබෙන ඇබර්ඩීන ඇල්ල වැනි තැන් බීමට සහ නෑමට සුදුසු නොවේ )

එම ස්ථානයේ අදාල කාර්‍යට මින් පෙර ගිය අයකු නඩයේ සිටීම.


නොබී සිටිය හැකි රියදුරෙකු සහ බිව් විට සතුන් නොවනා හොඳින් දන්නා පිරිසක් සමඟ පමණක් අදාල ගමන යෑම.

මේ සියලු බැළුම් සපුරා ගියද අධිකව බීමත් බව හෝ නොසැකලකිල්ල නිසා ඇද වැටී ගලක උලක හැපීමෙන් වැනි දෙයකින් සිදුවිය හැකි අවධානම ගැන සිතා බීමට සෙට් වීමටනම් බාර් එකකක් හෝ මිතුරෙකුගේ නිවසක් තෝරා ගැනීම ඉතාම ඥානාන්විත වනු ඇත.

ඔබේ ගමනෙහි අරමුණ නෑම පමණක් නම් පහත කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම පහසුවක් වනු ඇත.

නඩයේ සිටින පිරිස සීමිත වීම හෝ පිහිණීමට දන්න බහුතරයක් සිටීම.

යන තැනට මින් පෙර ගොස් අත්දැකීම ඇති ව්ශ්වාසවන්ත සගයකු හෝ කිහිපදෙනකු නඩයේ සිටීම.

නෑමට සුදුසු ඇඳුම් ගෙන යා යුතුය. සමහරු නාන්නට එන්නේ කොට කළිසමක්වත් නොගෙන වන අතර පසුව හිල් පිරුනු හෝ ඉලාස්ටික් ඇදුනු යට ඇඳුම් වලින් දියට බැස අන් අයව අපහසුතාවට පත්කර හෝ ගමේ උන්ගෙන් ගුටිකා එනු සුලභය.

එමෙන්ම තවත් සමහරක් අනුන්ගෙන් ඒ වෙලාවට ණයට කළිසමක් ඉල්ලාගෙන පස්සේ අළුහම් වලට බෙහෙත් හොයන්නට වන අවස්ථාද වේ.

නාන්න යනවිට කළිසමට අමතරව තුවායක් සහ රබර් සෙරෙප්පු දෙකක් ගෙන යාම ඉතා වැදගත්ය. එහෙත් අපේ ට්‍රිප් යන  බුවාලා ඩෙක් ෂූස් දමා කොට කළිසමට යටින් "පටි ජොකා" හැඳ නාන්න සෙට් වෙන්න යන අවස්ථා මා ඇති තරම් අත්විඳ ඇත.

සමහරු නෑමෙන් පසු තෙත බේරෙන ඇඳුම් යන යන එන රථයේ බිම හෝ පිටිපස දැමූ විට දෙපා අස්සෙන් සිහින් දිය දහරා නිර්මාණය වෙයි. එහෙත් කුඩා සිලි සිලි මල්ලකින් මේ වදයෙන් බේරිය හැකි බව බොහෝ විට නොසිතති.

ඔබ වෙනත් විනෝද ගමණක් යන විට නාන්නට අදහසක් තිබෙනම් ඒ සඳහා දන්න, සුදුසු ස්ථානයක් ගමනාරම්භයේදීම තෝරා ඒ අනුව ගමන සැලසුම් කිරීම ඉතා වැදගත් වේ. සමහර කතරගම යන නඩ ගාළු කොටු පවුර අයිනේද, පයාගල හෝ අහුන්ගල්ලේ වෙරලේද නානවා ගාළුපාරේ යනවිට දැකිය හැක. එහෙත් හික්කඩුව, උණවටුන පොල්හේන වැනි වඩා ආරක්ෂාකාරී ස්ථාන තෝරා නොගෙන එවැනි අවදානම් කලාප තෝරා ගන්නේ බොහෝ විට නොදන්නාකම නිසාවෙනි. එනිසා නෑමට සුදුසු සහ දන්නා තැන් මුලින් තීරණය කර සැළසුම් සහිත ගමනක් යාම අනතුරු අවධානම බොහෝ සෙයින් අඩු කරයි.

සමහරුන් නාන්න සුදුසු වතුරක් යයි පෙනෙන ඕනෑම වලකට ඇලකට බසින්නෙ දෙවරක් නොසිතාමය. එහෙත් එය ඔබ නොසිතන අවධානමකට මඟ පෑදීමකි.

සමහර ස්ථාන උදෑසන නෑමට සුදුසු වුව සවසට භයානයක. හික්කඩුව වෙරළ එවැනි තැනකි. එමෙන්ම සමහර කුඩා දිය පහරවල් වල අධික රසායන ද්‍රව්‍ය සාන්ද්‍රණය නිසා ඔබට ආසාත්මික විය හැක. තවත් වැව් වල මඩ, වියලි කාලයේ කපන ලද ගඩොල් වලවල් වැනි දේ නිසා එරීමට ඉඩ තිබේ. බෝපත් ඇල්ල වැනි සමහර දිය ඇළි වල ක්ෂනිකව එන වතුර වැඩි වීම නිසා අනතුරට පත් විය හැක. මෙනිසා නොදන්න තැනක නෑමට පෙර ගම් වැසියන් කිහිප දෙනෙකුගෙන් තොරතුරු විමසා සැක හැර දියට බැසීම ඉතාම වැදගත් වේ.

එමෙන්ම සමහර ගම් වල ඇති නාන තොටවල් කාන්තාවන්ට හා පිරිමින්ට වෙන් කර ඇති නිසා ඒ ගැන් අවධානය යොමුකිරීම අනවශ්‍ය ගැටළුු වලින් ඔබ මුදාලනු ඇත. ඔබ නාන්නට යන්නේ පිට පලාතක ඇති පොදු ගඟක, ඇළක හෝ වැවක නම් ඒ සඳහා සුදුසු ඇඳුමින් සැරසීමට මතක තබා ගන්න. සමහර විට සුදු ටී ෂර්ට් ඇඳ දියට බසින නංගිලා නිසා අහක සිටින අයියලා සමඟ නඩයේ උන් ගුටි ඇනගන්නා අවස්ථාද, අති සුන්දර බේදින් කොස්ටියුම් වලින් සැරසී වැව් වලට බසින ආන්ටිලා අවට අයට විකාරයක් වෙන අවස්ථාද විරල නොවෙ. එනිසා ඇඳුම වැදගත් බව මතක තබා ගන්න.

මේ කොතැනක නෑමට ගියද අනිවාර්යෙන්ම අවධානය යොමුකල යුතු පොදු කරුණු කිහිපයක් වෙ.

පළමුවැන්න ඔබේ පිහිණීමේ හැකියාව ගැන කිසිදු විට අධි තක්සේරුවකට නොයෑමය. පිහිණුම් තටාකයේ පෙරලි කෙරුවාට දිය වැලක අසු වූ විට හෝ මඩේ එරුණු විට ඔබ අසරණ වනු ඇත. මුහුදේ යන්තම් ජබු ගසා පිහිණන ඔබ අඩු ඝනත්වයකින් යුත් වැව් ජලයේ ගිලී යෑමට ඉඩ තිබේ. වැවෙහි කිමිදෙන දක්ෂයින් රැල්ලට බිම ගසා වැලි කටේ පුරවා ගොඩට දමන්නට තරම් මුහුද සැහැසිය. එනිසා තමන්ගේ තරම දැන වතුරට බැසීම කාගේත් යහපතට හේතු වේ.

බීමත්ව පිහිණීමට නොයා යුතුය. මොන වැඩ කරුවකු වුවද බීමත්ව සිටිනා විට නිසි පාලනයක් නැතිවේ. එනිසා ඇවිදගන්නට බැරි උන් පීනන විට සිදුවිය හැකි දේ ගැන සිතා ගත හැකි වනු ඇත.

වැඩ දැමීමට හා කැටයම් පෙන්වීමට නොයා යුතුය.  අපේ කොල්ලන් වැඩිපුඅරම අනා ගන්නේ මෙතැනදීය. මුහුදේ කෙල්ලන්නට පෙනෙන්නට ඈතට පිහිණීමට යාමෙන්ද, දි ඇලි උඩට බඩගා පොර වීමට යාමෙන්ද දිවි තොර කර ගන්නෝ අනන්තය. එනිසා ඔබ වැඩ කරුවකු නම් එය පෙන්විය යුත්තේ පරිස්සමින් නා ගෙන ගොඩට ඒමෙන් මිස අනවශ්‍ය අවධානමකට ගොස් හොම්බ බිම ඇනගෙන පීචං වීමෙන් නොවේ.

නෑමට බසින වතුරේ උෂ්නත්වය ගැන සැලකලිමත් විය යුතුය. ආසාවට අධික සීතලෙන් යුතු බේකර් ඇල්ලේ නා පසුව ගමනේ ඉතිරිටික සෙම්ප්‍රතිශ්‍යාවෙන් හෝ උනෙන් දුක් විඳීමට වඩා සීතල අඩු නානු ඔය ඇලි වැනි තැනකින් නෑම ඇඟට ගුණය. 

ජලයේ ගැඹුර, සැඩ පහරේ වේගය ගැන ප්‍රමාණාත්මක තක්සේරුවකට එළඹිය යුතුය. විශේෂයෙන්ම වැවක පිටවානක් සම්භන්ධ ඇළකින්, ගඟකින් හෝ දිය බෙදුම් ඇළකින් නාන විට මේ සම්භන්ධයෙන් ඉතා ප්‍රවේසම් විය යුතුය. සමහර වැව් වල ඔබට දකින්න තිබෙන සිලින්ඩරාකාර ගොඩනැගිල්ල ඇති ආසන්නයේ දිය නෑම ඉතා අනතුරුදායකය. එම සිළින්ඩරය සවිකරන්නෙ වැවේ ගැඹුර වැඩිම තැනකින් බීමට ජලය දෙන පද්ධතියකට දිය ගෙන යාමට නිසා එය අවධානම ගැන හොඳ සළකුනකි.   

රබර් ටියුබ්, ලී කොට වැනි පාවෙන දෙයෙහි නැගී වතුරේ ඈතට නොයන්න. සමහරු හුළං පිරවූ ටියුබ මත නැගී සිටිනා විට මුහුදු රළට හෝ දිය වැල් මගින් ඒවා ඈතට ගසාගෙන යයි. නැතහොත් ඒවායින් ලිස්සා වතුරට ඇදගෙන වැටෙ. මෙනිසා බොඩි බෝර්ඩ් එකක්, සර්ෆ් බෝඩ් එකක් නොවන ඉපිලන යමක් මත හිඳ වතුරේ ක්‍රීඩා කරද්දි එය තරම දිග සිගින් රැහැනකින් අතට ගැට ගසා ගෙන සිටීම ඉතා ආරක්ෂිත වේ.

ඔබ යන්නේ විශාල ජලාශයක හෝ ගංගාවක නෑමටනම් හුළං පිරවූ කුඩා රබර් ටියුබයක්, සුළං පිරවූ බෝට්ටුවක් වැනි දෙයක් ගෙන යාම විනෝදයට මෙන්ම හදිසි අනතුරකදී උපකාරයටද වැදගත් වෙනු ඇත. එමෙන්ම කුඩා ළමුන්ට ජීවිතාරක්ෂක කබා හෝ සුළං පිරවූ බාහු පළඳනා පළඳා වතුරට යවන්න. මෙයින් ඔවුන්ගෙ ජීවිත මෙන්ම ඔබේ මානසික සුවයද සුරැකෙනු ඇත.

වතුරට බැසීමට පෙර ඒ අවට ඇති දැන්වීම් හෝ ජීවිතාරක්ෂක ධජ වලින්කියැවෙන පණිවුඩ ගැන අවධානය යොමුකරන්න. අනතුරුදායකයැයි සඳහන් කිසිම තැනක මොනතරම් පරිස්සමින් වුව නෑමට උත්සාහ කිරීම මිනී පෙට්ටි සාප්පුවට ඇඩ්වාන්ස් එකක්දී, අන්තිම කැමැත්ත ලියාදී කිරීම වඩා සුදුසුය.

ඔබ ඉහත කරුණු ගැන තරමක් හෝ අවධානය යොමුකරන්නේ නම් ඕනෑම වතුරක විනෝද වී යහතින් ආපසු ඒමට එය පහසුවක් වනු ඇත.

මීළඟට අවධානය යොමුකල යුත්තේ ඔබට වෙන අකරතැබ්බයකදී එය කළමණාකරනය කරගන්න ආකාරයයි. යම් කිසි වේදියකින් ඔබ දියෙ ගිලීමට යන්නේ නම් කල යුතු මූලිකම දෙය කලබල නොවීමයි. මෙය මෙතන ලිව්වාට ප්‍රායෝගිකව වන්නේ එහි අනික් පස නිසා බොහෝ දෙනෙක් නිරපරදාදේ මිය යයි. එහෙත් වතුරෙහි දියවැලකට හසූවූ විට ගෙම්බකු මෙන් අතපය හසුරවමින් හිස ඉහල තබාගෙන සිටීමට හෝ, කොන්ද සහ බෙල්ල නොනමා වතුරේ පාවීමට ඔබ පුහුණුව තිබේනම් ආධාරයක් ලැබෙනතුරු අල්ලාගෙන සිටීමට එය ප්‍රමාණවත්ය. 

ඔබට පිහිණීමට නොහැකිනම් කිසි විටකත් දියෙහි ගිලෙන්නෙකු බේරා ගැනීමට වතුරට නොබසින්න. එය ඔබේ සමීපතමයා සහ ඔබගෙත් ජීවිතය අනතුරේ හෙලන්නකි. ඒ වෙනුවට උදව් ඉල්ලා කෑ ගැසීමත්, දියෙහි ගිලෙන්නට අල්ලා ගත් හැකි වතුරේ පාවෙන යමක් විසි කිරීමත් තුලින් ඔබට උදව් විය හැක.

දියෙහි ගිලෙන්නෙකු ගොඩ ගැනීමට පිහිනීමට එහා ගිය ජීවිතාරක්ෂාව පිළිබඳ පුහුනුවක් අවැසිය. මන්ද ගිලෙන්නා මරු විකල්ලෙන් ඔබේ ඇඟේ එල්ලීමනිසා ඔබටත් පිහිනීමට නොහැකි වී දෙදෙනා එකට ගසාගෙන යා හැකි බැවිනි. එනිසා ඔබ පිහිනීමට දන්නෙ නම් ජීවිතාරක්ෂාව සහ හදිසියකදි යමෙකු වතුරේදී ඇඟෙහි එල්ලුනහොත් ගැලවෙන උපක්‍රම සම්භන්ධව යමක් දැන සිටීම ඉතා වැදගත් වනු ඇත.

හැකි සෑම විටම ගිලෙන අයකු වතුරේදී ඇදගෙන ආ යුත්තේ ඔහුගේ කොන්ඩයෙන් අල්ලාය. කිසි විටකත් ගිලෙන අයකුගේ අත ඇල්ලිමට උත්සාහ නොකරන්න. ඔහුගේ කොන්ඩය ප්‍රමානවත් නොවන්නේනම් බෙල්ලට අතදමා උඩුබැලි අතට රොගියාගෙ යටින් හිඳ පිහිනිය යුතුය. මේ සියල්ල මනා පුහුණුවකින් තොරව කිරීම අපහසු නිසා වඩා සුදුසු ක්‍රමය වන්නේ ගිලෙන්නාට අල්ලගැනීමට ලී දන්ඩක්, රබර් ටියුබයක් වැනි දෙයක් දමා ඔබ එය ඇදගෙන ගොඩට පිහිණීමයි.

දියෙහි ගිලුනු අයකු ගොඩගත් විගස කල යුත්තේ බිම හාන්සි කරවා ඔහුගේ හිස පැත්තට හරවා පපුව තදකරමින් වතුර එලියට ගැනීමට උත්සාහ කිරීම සහ ඉන් පසු කෘතිම ශ්වසනය දීමයි. මෙය ඒ සම්භන්ද හුරුවක් ඇත්තකු කිරීම වඩා සුදුසුය. එසේ නැතිව ගොඩ ගත්තු විගස කිසිදු ප්‍රථමාධාරයකින් තොරව රෝහලකට අරන් දිවීම රෝගියාගේ ජීවිතය තවත් අනතුරේ හෙලයි.

ඔබ නිතර ජල ක්‍රීඩා අදියෙහි යෙදෙන ඒ ගැන උනදුවක් දක්වන්නෙකු නම් පියදාස සිල්වා  මහතාගේ  දිවි ගැලවීම සහ ජල ක්‍රීඩා පොත සොයාගෙන කියැවීමෙන් මේ ගැන වඩා විශාල දැණුමක් ලබාගත හැකි වනු ඇත.

මේ පෝස්ටුව සිටුවාට වඩා ඉතා දිග වී ඇති හෙයින් කළුතර නාන තොටවල් පිළිබඳව ජනවාරි පළමුවෙනිදාටද,දියෙ ගිලී අනතුරට ලක්වන දරුවන් වලකාගැනීමෙ වැඩිහිටි වගකීම් ගැන ඉන් පසු සතියකද කතාබහ කරමු.



ඔබ සැමට ආරක්ෂාකාරි, සුභ නව වසරක් පතන අතරම මීට අට වසරකට පෙර අප හැර ගිය ඒ සියල්ලන්ටම යලිදු කිසි දිනෙකත් එවන් දුක්ඛිත අකල් මරණයක් ලඟා නොවේවායි ප්‍රාර්ථනා කරමු..! 

Sunday, December 23, 2012

ලංකාවෙදි සේෆ්ටි ට්වෙන්ටි ෆස්ට්ද?





සාමාන්‍යෙන් දියුණු සහ සංවිධිත ඉදිකිරීම්, නිෂ්පාදන ක්ෂේත්‍රවල වැඩ කරන අය නං දන්නව සේෆ්ටි ෆස්ට් කියන සංකල්පය. ඒ වගේම දියුණු රටවල සියළු පොදු සේවා වලදිත් මේ දේ ක්‍රියාත්මක වෙනව. අනික මිනිස් ජීවිතයක තියෙන වටිනාකම්, අනික් සියල්ල කල යුත්තේ ආරක්ෂාවට මුල් තැන දෙමින් බව වගේ කරුණු දියුණු රටවල සංකල්පයක් හැටියටම මුල් බැහැල තියෙනව. ඒත් අවාසනාවකට අපේ අටේ තත්වෙ මොකද්ද. රට දියුණු නැති නිසා ඒ වගේ සංකල්පත් තියෙන්නෙ තාම ප්‍රථමික මට්ටමේම තමයි.

මම මේ ලඟදි දැක්ක ඉක්ටාඩ් එකේ අළුතින් OHSAS (Occupational Health & Safety Advisory Service) පාඨමාලාවක් පටන් ගන්න යනවලු. ඉතාම හොඳ වැඩක්. මොකද ල ංකාවෙ ඉදිකිරීම් වල සේෆ්ටි කියන්නෙ හෙල්මට් එකයි ඕනනං ලුමිනස් වෙස්ට් එකයි දා ගන්න එක විතරක් නිසා. කලාතුරකින් සේෆ්ටි බූට් දෙන ආයතන තිබ්බත් බහුතරය සෙරෙප්පු තමයි දාන්නෙ.ඒත් ඉන් එහා ගිය පුද්ගලික ආර්ක්ෂාවක් ගැන බහුතරයක් නෝ කතා.

එහෙව් රටේ බෝට්ටුවක විසි දෙකක් ගිහින් ගිලිල මැරෙන එක අහන්නත් දෙයක්ද?

මීට කලිනුත් බේරුවල ප්‍රදීපාගාරෙ බලන්න ගිය සණස පිරිසක් ඔය විදියට බෝට්ටුව පෙරලිල ජීවිත ගානක් නැති උනේ බෝට්ටුවෙ තරමට වඩා දා ගත්තු නිසාලු. කාලෙකට ඉස්සර වෙසක් දාක නිල්වලා ගඟේ "ආසයි බයයි" බෝට්ටුවෙ ගිලිල මල දා ඉඳල අද වෙනක්ල් කී දාහක් ඔහොම මැරිල ඇත්තද? ඒත් ඉතින් බල්ලො බලල්ලු වගේ මිණිස්සු මරන රටක බෝට්ටුවක් පෙරලුනාට කාට පාන්ද?

අනෙක් දේ ලංකාවෙ මහා මාර්ග.

මේවගෙ යන බහුතරය හිතන්නෙ ජීවිතේ තමන්ගෙ නෙමෙයි අනුන්ගෙ කියල. මෝටර් සයිකල් වල යන සමහරුන්ගෙ හෙල්මට් එක අතේ. හරිනං දන්න තිබ්බෙ උන්ගෙ පුකට. මොකද මොලේ ආරස්සාවට.

ගිය සුමානෙ කඩුවෙලදි වෑන් එකක් හැපිල හතක් එතනම මැරිල. හේතුව හරියට නොපෙනි ඉස්සර කරන්න ගිහින්. ල ං කාවෙ පාරවල් පටුයි සහ ඔරොත්තු නොදෙන තරන් වාහන තියෙන නිසාමයි රියදුරන් පොඩ්ඩක් විනීතව පරිස්සමින් යන්න ඕන. ඒත් වෙන්නෙ ඒකෙ අනික් එක.

හැමෝම හිතන්නෙ අළුත කාපට් දාපු පාරවල් කියන්නෙ මොනැකෝ වල ෆෝමියුල වන් ට්‍රැක් එක කියල. යන්න හදන්නෙ අනිකට උඩින්. හැබැයි විනාඩි දහයක් කලින් ගෙදරින් එන්න පාන්දර නැඟිටින්න කම්මැලියි. මම ගිය ජූලි මාසෙ ලංකාවට ගිහින් මාසෙයක් තුල කිළෝමීටර් තුන්දාහක් වාහනේ එළවල තිබ්බ, එක දඩ කොළයක්, ඇක්සිඩන්ට් එකක් නැතුව. අපේ මිතුරෙක් මෙහෙ ඉඳන් ගිහින් සති තුනට රුපියල් තුන්දහක දඩ ගෙවල. මිනිහ ඒක කිව්වෙත් හරි ආඩම්බරෙන්.

මගේ මෙහෙ ඉන්න හිතවතෙකුගෙ බෑන අළුතෙම්ම ගත්තු මොන්ටේරො ස්පෝර්ට් එකක තමන්ගෙ බිරිඳයි පුංචි දූයි ඉස්සරහ සීට් එකේම තියාගෙන හැටට හැටෙ ඇවිල්ල මඟ රිවස් කරපු කන්ටේනර් තඩියෙක්ගෙ ඇඟෙ හැපිල. එයර් බෑග් තිබ්බ නිසා ජීවිත හානි නැතත් අර අම්මගෙ කකුල තුනට කැඩිල හය මාසයක් එක තැන් වෙලා උන්න. පොඩි එකාගෙ ඔළුව පැළිල තාම බය ඇරිල නෑලු. වාහනේ කන්ඩම්, බීල කියල ඉන්ෂුවරන්ස් ගෙවන්න බෑ කියනවලු. අන්තිමට මොහොතක සුවයට ලක්ෂ හැටක් වතුරෙ.

එක පාරක් එකෙක් සේෆ්ටි හානස් එක නැතුව ඇල්ලකින් බහින්න ගිහින් වැටුන. පණ්ඩිත කමට එබෙන්න ගිහින් අස්සට වැටිල බර ගානක් මලාට පස්සෙ යන්තම් ඔන්න දැන් හුම්මානෙ වටේ වැටක් ගහලලු. බීල, නාල සතියකට එකෙක්වත් ගල්කිස්සෙ මූදෙ ගහන් යනව. බෝපත් ඇල්ලෙ ඉස්සර හැම සති අන්තෙකම එකෙ දෙන්නෙ අවසන් ගමන යන්න තෝර ගත්තු තැනක්. දැන්නං ටිකක් අඩු වෙලා වගේ.

රට වටේම මූද, යන යන තැන ඇළ දොළ තීන රටේ අති බහුතරයකට පීනන්න බෑ, ඒත් ගෙම්බො වගේ වතුර වළක් දැක්කොත් පණිනව, පස්සෙ එකෙක් දෙන්නෙක් කරෙන් ගොඩ එනව.

ලංකාවෙ කීයෙන් කී දෙනාද දන්නෙ ඔය නාන තැන් වල ආරක්ෂාවට ගහලතියෙන කොඩි වල තීරුම ( කී තැනකද ඇත්තටම කොඩි තියෙන්නෙ කියන එකත් ප්‍රස්නයක් ).

ඉස්කෝලවල ජීවිතාරක්ෂාව ගැන වචනයක් කතා කරන්නෙ නෑ. ඉතින්කොහෙද රටේ ජනතාව දැන ගන්නෙ.

අනික් දේ ගිනි ආරක්ෂාව.

දැං කොළඹ පුරා තතට්ටු පිට තට්ටු බිල්ඩින් ගහනව. ඕවගෙන් කීයෙන් කීයද අදාල සම්මත පිළිපදින්නෙ. හදිසියෙ එකක් හරි ගිණි ගත්තොත් අන්න එදාට කට්ටිය ටිකක් කතා කරයි,  ආන්ඩුවවවත්, නගර සභාවවත් දැම්ම මොකට කලබල වෙන්නද.

මෙහෙම බැළුවම ලංකාවෙ කොහෙද ආරක්ෂාව,මිනිස් ජීවිතවල වටිනාකම පිළිබඳ සැලකිල්ලක් දක්වන්නෙ?

මම හිතන්නෙ "මැරෙන එකා මොනා කලත් මැරෙන, කරුමෙ වලක්වන්න බෑ" කියන අපේ පසුගාමී ආගමික මතය තමයි මේ දේවල් මේ තරම්ම නොසලකා හරින්න මුල කියල.

ඒත් ඉතින් ඔය මොන අඩුපාඩුව තිබ්බත්, නුසුදුසු, භයානක රටක් උනත් අන්තිමට අපි කවුරුත් කවද හරි එන්න තියෙන රට වෙච්චි. අබ්බගාතයි කියල මරන්නද?

ඒ නිසා එළඹෙන අලුත් අවුරුද්දෙවත් මිණිස්සුන්ගෙ ජීවිත වලට මීට වඩා වටිනාකමක් දෙන රටක් ජනතාවක් දකින්නට ලැබේවා කියලවත් පතමු විතරක් නෙමෙයි අපි හැමෝම තම තමන්ට පුළු පුළුවන් විදිය පුංචි එවුන්ට "පුදගලික ආරක්ෂාවට මුල්තැන" කියන සංකල්පය තේරුන් කරල දෙන්න උත්සාහ ගමු.

හැමෝටම ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අළුත් අවුරුද්දක්..!

LinkWithin

Related Posts with Thumbnails