මාතලන් සහ කඳවුරේ ඇත්තනි,
මුලිම්ම කියන්න ඕන, මට නන්දගෙ ගැයුමත් මාතලන්ගෙ ලිවීමත් එකයි. පුද්ගලය වැඩක් නෑ, දක්ෂතාව සහ නිර්මාණය විතරයි වැදගත්. ඒත් මෙතන මේ වෙන දේට මැදිහත්වෙන්නෙ,
මාතලන් කඳවුර මේ කරන්නෙ යම් දුෂ්කර කාලෙක සමාජෙ වැරදි අඩුපාඩු වෙනුවෙන් කෙනෙකු/කන්ඩායමක් නැගී සිටීමක් ඉතාම අවතක්සේරු කරන නිසා අන්න ඒ අසාධාරනයට විරුද්ධව විතරයි. මේ දේ මෙහෙමම වෙන්න ගියොත්, ඇයි නිකන් කතා අහන්නෙ කියල හැමදාම හැමෝම කට පුක වහන් ඉන්න එක තමා ප්රමෝට් වෙන්නෙ.
මාතලන්ලගෙ චෝදනාවෙ කරුණු තුනක් තියෙනව.
1. එදා නන්දා ( මම මේ කියන්නෙ නන්දා, සුනිල්, එච් එම් ඇතුළු පිරිස ) මිනිස්සුන්ගෙ ලේ කෝප වෙන විරෝධාකල්ප ගී කිව්ව.
2. ඒ කියපු සින්දු නිසා තරුණයොන්ගෙ ලේ කෝපවෙලා අරගල වලට පැටළුනා.
3. නන්දල ඒ අරගල වැඩි වෙනකොට දිවි බේර ගන්න පැනල ගියා, කොල්ලො බිලි දීල.
4. අද ඒ නන්දලම, ඒ වගේම මර්ධනයක් තියෙන පිරිහුනු සමාජයෙ කට වහගෙන ඉන්නව, නැතිනම් පවතින රජයට කඩේ යනව.
මෙන්න මේ කරුණු නිසා නන්දල වැරදියි. මාතලන්ගෙ චෝදනාව ඔන්න ඔය විදියට කඩල අරන් අපි ඒ එක එක කරුණු ගැන මාතලන් එහෙම කියන්නෙ ඇයි කියල හොයල බලමු.
චෝදනාව අංක 1 -
1981 දි ඒ වෙනකොට සමාජයෙ තිබ්බ පිරිහීම ගැන "යතුරු කැරළි අඳනය යට ගසාගෙන" එතකොට "පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය" වගේ ගී එක්ක මුලිම්ම "සත්යේ ගීතය" ප්රසංගය ගෙන එනව. ඉන් පස්සෙ 1987 දි "පවන" ප්රසංගය පටන් ගන්නව.
දැන්, 1981 දි සත්යයේ ගීතය පටන් ගන්නකොට වගේම 1987 පවන පටන්ගන්නකොටත් රටේ තිබ්බෙ එකම ආන්ඩුවක්. ඒ මාතලන්ලගෙ UNP උත්තම ආන්ඩුව. ඒ ආන්ඩුව බෝසත් වරු වගේ ධර්මිෂ්ඨ රාජ්යක් කරා යන ගමනෙ, ඉඳ හිට ඔය සරච්චන්ද්රලට ගැහුවට, නඩු කාරයන්ගෙ ගෙවල් වලට හූ කිව්වට, ගෝණවල සුනිල්ලට සමාදාන විනිශ්චයකාරකම් දුන්නට, යාපනේ පුස්ථකාලෙ ගිණි තිව්වට, මැතිවරන සිතියං ඇකිලුවට, නීතිවිරෝධීව ලාම්පු පත්තුකරල බලය රැක ගත්තට, තමන්ගෙ උද්දච්චකම නිසා රට ඉන්දියාව ඉස්සරහ බාල්දු කරල ඇකේ පුරාගත්තට වගේ පොඩි පොඩි නොසලකා හැරිය හැකි වැරදි ටිකක් තිබ්බට නන්දල අරහෙම සින්දු කියල මිනිස්සු කුලප්පු කල එක අන්තිම වැරදියි. එහෙම නේද මාතලන්?
ඒ වෙනුවට නන්දා මාලනීලට තිබ්බෙ, ඔය ප්රශ්ස්තියක් ගයල, සිරිමාවොගෙ ප්රජා අයිති අහෝසියට විරුද්ධව ගහපු අත්සන ඉල්ලා අස් කරගෙන, ධර්මිෂ්ඨ ආන්ඩුවෙන් ගානක් අරගෙන අනෙක් අය වගේම පාඩුවෙ ඉන්නනෙ. නේද මාතලං?
අංක 2 බලමු -
තමන්ගෙ හොරු එලියට ගන්න එන නිසා පප්ප දුන්න චාන්ස් එකෙන් පිනට 78 එළියට ඇවිත්, 1982 ජනාධිපතිවරනෙට තරඟ කරල 3 වෙනි තැන ගත්තු, 83දි එතෙක් මෙතෙක් ඉතිහාසෙ වඩා ආකර්ෂනීයම මැයි පෙළපාලිය තියල තමන්ගෙ ප්රජාන්ත්රවාදී මාවතේ ගමන ගැන ලොකු ඉඟියක් දුන්නු, නීතිවිරෝධී ජනමත විචාරණයට නඩු දාල අභියෝග කරපු, පෙර වැරදි අතහැර ඡන්දෙන් ප්රජාතන්ත්රවාදයෙන් බලය ලබා ගැනීමේ මගට එකතුවෙලා ආදර්ශයක් දීපු පක්ෂයක් තමන්ගෙ සට්ටැඹියො කල ගොන් කන් වහගන්න සහ අනාගතේ එන අභියෝග වලින් පැන යන්න ඕනෙ නිසා තහනම් කරල, උන් විනාස කරන්න පටන් ගත්තම, ඒකට එරෙහිව ඒ කොල්ලො අර ආයුධ ආයි අතට ගත්තු වෙලේ ඒක අස්සෙ නන්දා මාලිනීල මොකට සින්දු කිව්වද නේද මාතලන්?
එහෙම නන්දල සින්දු නොකිව්වනං එදා විජේවීරල 88 පළාත්ස්භා මැතිවරනෙ වර්ජනය කරන එකක් නෑ, ශ්රී ලංකා එක වර්ජනය කරන එකකුත් නෑ, ප්රභාකරන් වර්ජනය කරන එකකුත් නෑ, නියමෙට ප්රජාතන්ත්රවාදය ඇතිවෙලා, රට සුඛිත මුදිත වෙලා මිනිස්සුන්ට චූන් එකේ ඉන තිබ්බ. ඒත් ඉතින් 87 ජූලියෙ පප්ප උන්නාන්සෙ ගිවිසුම ගහල මාසයක් යන්න කලින් මේ සින්දුවක් ගහන්න ගත්තයින් තමා රටේ කොල්ලො විනාස උනේ. එහෙම නේද මහාචාරිය තුමා?
නැතුව රටට පප්ප උන්නාන්සෙවත්, එයාගෙ බෑණ වෙච්චි රනිල් උන්නාසෙවත් අනෙක් උන්වත් නියපොත්තක වැරද්දක් කලේ නෑ, අර කොල්ලොන්ට ඇවිස්සෙන්න, ආයුධ අරන් ගේමට එන්න. මම කියන්නෙ බොරුද මාතලන්?
අංක 3-
තමන් යම් කිසි හේතුවක් නිසා පවතින අසාධාරණයකට විරුද්ධ වෙනකොට ඒකට යම් හෝ හඬක් නගන්න හය්යක් තීන එකා, තමන්ගෙ බඩ වඩා ගන්න හෝ අනාගතේ බලය තහවුරු කරගන්න ඒ හඬ නගනව. කෝම කෝම හරි මේ වැරැද්ද වෙනුවෙන් පෙනී ඉන්න එකා දිහාට මර්ධනය එනකොට ඌ වීරය වගේ ගිහින් වෙඩි කනව මිසක පැනල ගිහින් ජීවිතේ බේර ගන්න එක වැරදියි.
කොටිම්ම අර කොල්ලොත් පොළිසිය එනකොට, අතුරු හමුදා එනකොට පැනල නොගිහින් කෙලිම්ම තුවක්කුට පපුව දුන්න එකේ, කොටිය එනකොට "ලේ පැල්ලම් නෑ පිට පැත්තේ" කියල පපුව දුන්න එකේ ඇයි මේ දෙන්න විතරක් මාරු උනේ. එහෙම නොකර, ඒ දෙන්නත් ජීවිතේ පූජ කරානං, ඒ කාලෙ කට පුක වහගෙන භීෂණයට විරුද්ධව කිසිවක් නොකිය හැංගිල ඉඳල අද පොරවල් වෙලා විතරක් නෙමේ එදා සිල් අරන් උන්න රනිල්ව රජ කරවන්න හීන දැක දැක ඉන්න මාතලන්ලට තිබ්බ නන්දලව වීරයො හැටියට සමරන්න. නේද මචං?
අංක 4 -
මේක තමා මාරම අපරාදේ!
එදා අවුරුදු හතලිස් ගනන් වලදි තමන්ගෙ ඇඟේ සහ කටේ හය්ය තිබ්බ කාලෙ මේ අසාධාරන වලට විරුද්ධව කෑ ගහපු ගෑණි, දැන් මේ 71 උනාට පස්සෙ මොකද කට වහගෙන ඉන්නෙ.
අනික නිකන්ද, එදා මේ ගෑණි කෑ ගහපු වෙලාවෙ තමන් එක්ක එක පෙලට හිටපු, තමන්ගෙ පිලේ එදා ඉඳගෙන ඒ මැර කං ජඩකං වලට විරුද්ධව පිටවරටවලට පවා ගිහින් ගතු කියාපු ජනතාවාදිය අද බලයට ඇවිත් එදාට වඩා හොඳින් ඒ මැරකං ජඩකං කරනකොට ඇයි යකෝ මේ අවුරුදු 71 නාකි ගෑණි කටවහගෙන ඉන්නෙ? එහෙම පාලකයට පාට මාරු කරගෙන වෙනස් වෙන එක දේශපාලනයෙ හැටි කියල අපි බාරගත්තට, ඔය සින්දු කියන උන්ට එහෙම ඉන්න බෑ.
අනික තරුණ උන් ඕවට කට දාන්න ඕනෙ නෑනෙ. එදා ඉඳල කෑ ගහපු ඒ ගෑනි විතරයි මේවට විරුද්ධව වෙන්න ඕන. ඕන්නං ඔය ඒ කාලෙ මිනී මරාපු පාලක ස්ටේජ් වල සින්දු කියන බයිල කාරයෙක් දෙන්නෙක් මුන්ව එලෝල ඉක්මනට තමන්ගෙ පක්ෂෙ බලයට ගේන්න ඕන නිසා සපෝට් එකක් දෙයි. හැබැයි ඔක්කොම අරන් පෙල්ගස්සන එක නන්දලගෙ වගකීම. නැතුව මේ නහින දෙහින කාලෙ ඔය රන්ඩු වලට නොගිහින්, "පණාපුත්ර සූරියප්පෙරුමාල්" සෙය්යාවෙන් කඩෙත් නොගිහින් කීයක් හරි හොයාගෙන පාඩුවෙ ඉන්න හදන එක ඉවසන්න පුලුවන්ද, නේද මාතෙ?
කොහොමත් එදා අධ්යාපන ධවල පත්රිකා ගෙනාපු, බටලන්දෙ පාටි දාපු මිනිහව ආයි බලයට ගේන්න උනන්දුවෙන මාතලන් වගේ අයට උදව්වෙන එක අදත් නන්දා මාලනීලගෙ වගකීමක්. එහෙම නේද මාතෙ?
ඉතින්, ඔහොම බැලුවම නන්ද ප්රමුඛ පිරිස කරපු දේ වැරදියි නේන්නං. ඒකට අපි මේ සෙට් එකට මොකද්ද දෙන දඬුවම?
ඔන්න ඉස්සර නන්දා මාලනීගේ සින්දු නිසා ඇවිස්සුනු ආන්ඩුවෙ දඬුවම් ලිස්ට් එක සහ නන්දල එක්ක එකට ඉඳන් ඒ දඬුවම් වලට එරෙහි වෙච්චි රෝහණ පුත්රගෙ සෙට් එක. කැමති එකක් තෝරල දීහන්.
1. ධර්මචක්රය
2. ඇස්ලෝන්බට් මාර්ගයෙන් කටුකම්බි යැවීම
3. හිසට පරාළ ඇන ගැසීම් ( මේවට දස්සයො දැන් එහෙන් මෙහෙට පැනල - ඒකට කාරි නෑ )
4. නියපොතු උගුල්ලවාදැමීම
5. ටයර් සෑය.
6. ආයුධ පෙන්නන්ට එක්ක යාම
7. බන්ධනාගාරය බිඳගෙන එළියට ඒමට ඉඩ දීම
8. සුදු වෑන් එකක සවාරි යැවීම
9. අහඹු රිය අනතුරක්
පලි.
මගේ අතින් මා ඇවිළූ පහනේ
එළියෙන් ලොව දකිමින්
මගේ පහන් වැට නිවන්නෙපා
මා අඳුරේ හෙළමින්......
යන මග ගිමනට සෙවණ සැදීමයි
මා කළ මහ පින්කම්
අතු ඉති බිඳ ගල් මුල් බැට දීමයි
ඔබැ කළගුණ සැලකුම්......
පවසට හදවිල දිය දන් දීමයි
පෙර දින මා කළකම්
පවස නිවාගෙන විලට නිගා දී
කුමටද මේ සරදම්......
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය සහ තනුව - විශාරද නන්දා මාලිනී