Saturday, February 11, 2012

මං හිඃඋව!




කැත හිත නැති ඔබා-ම මගේ අර ලිඳේ දාපු කතාවට ලියපු කමෙන්ට් එකක් නිසා මේ කතාව මතක් උනේ. අපි දෙන්නටම මතක් උනේ එකම කතාවනං, ඔන්න ඔබා-මෙ උඹේ කටේ පස්!

එක්තරා ආයතනයක ලොක්කෙක් තමංගෙ ගෙදර වතු වැඩට ආරස්සාවට පිරිමි කෙනෙක් හොයල දෙන්න කියල තමා යටතෙම වැඩ කරපු දුර පළාතක සේවකයෙකුට කිව්වලු.

බොසා ෂේප් කරන් චාන්ස් එකක් ගන්නත් වෙලාව නිසා මිනිහ සති අන්තෙ ගෙදර ගියාම ගමේ කරක් ගහල කෙනෙක් හොයල. වැඩි පඩි කරදර නැති අහින්සක මිනිහෙක් නුදුන්නොත් තීන ලකුණුත් කැපෙන නිසා ෆුල් ට්‍රයක් දාල එහෙම කෙනෙක්වම හොයාගෙන.

පස්සෙ ඒ මණුස්සයටත් බොසා ගැන තෙල බෙදල රස්සාවට කැමති කරගෙන පහුවදා උදේම බොසාට ගිහින් පණිවිඩේ දුන්නලු.

“සර් අර වැඩේට නියම මණුස්සයෙක් ඉන්නව. මිනිහ ඕන බර වැඩක් කරයි. විස්වාසවන්ත වගේම අහිංසක හාදය. ඔය වෙන අවුල් මුකුත් නෑ...හරිම හොඳයි. මීට කලින් කොළඹ ලොකු ගේක ඉඳල ඒ නෝනයි එහෙ එන අනික් නෝනලයි කරදර කරනව කියල අස්වෙලා ඇවිත්..”


“නෑ...එහෙනං මොකද අයිසෙ එක්ක නාවෙ. තමුසෙට බැරිද මිණිහට අද හෙට එන්න කියල පණිවිඩයක්වත් යවන්න.”

“හරි සර් මම හෙටම එන්න කියන්නං..”


“හරි හරි...එහෙනං මේක බස් වියදමට තියා ගන්නව...”

කියල දාහෙ කොල දෙක තුනකුත් පර්ස් එකෙන් ඇදල ගෝලයට දීපු බොසා සතුටු සිතින් ගෙදර ගියාලු දැන් ඉතින් වත්තෙ වල් ගලවන වැඩයි මල් වලට සප්පායං කරන අරවයි මේවයි නිසා නෝනගෙන් සති අන්තවල ලැබෙන බරපතල වැඩ සහිත හිර දඬුවමෙන් වගේම උන්දැගෙ කොන්දයි අතනයි මෙතනයි රිදෙනව කිය කිය කරන ගුණ ගායනා වලිනුයි හෙට ඉඳල මිදෙන්න පුලුවන්නෙ කියල.

පහුවදා උදේම ලොක්ක හරි සතුටෙන් වැඩට යනකොට මෙන්න අර ගෝලයයි උගෙ ගෝලයයි දෙන්නම ඇවිත් කුකුළත් කරේ තියම්ම.


“මේ ඉන්නෙ සර්..මෙයා තමයි මම කිව්වෙ..”

අහින්සක, ඒත් ශක්තිමත් පෙණුමක් තිබ්බ මේ තරුණ හාදය දිහා හොඳට බලපු ලොක්ක, බොහොම සතුටින් වැඩි කතාවක් නැතුවම තව වෙලාව නාස්ති නොකර මිනිහව ගෙදර ගිහින් බස්සල එනව කියල හිතල වැඩි හොඳට රියදුරකු අත නෑර ගෝලයයි ගෙනාපු ගෝලයයි දෙන්නම එක්ක එක්ක පිටත් උනාලු.

ලොක්කගෙ සැප රියේ ගිහින් ඉබේ ඇරෙන ගේට්ටුවෙන් නෝනගෙ මල් උයනට ගෝලයො දෙන්නයි මහත්තයි ඇතුළුවෙනකොට මොකද මේ සැමිය ආ පයිං ආපහු කියල අර හුචක්කු හවුස් කෝට් එක පිටිම්ම නෝනත් මිදුලටම ආවලු.

මහත්තය එක්කම පස්සෙ දොරෙන් බැහැපු නොදන්න හාදය දිහා "මොකාද මේ" කියන එක මූණෙ ලියන් බලන නෝනට කාරෙකෙ අනික් පැත්තෙන් බැහැපු ලොක්කගෙ ගෝලයවවත් නොපෙනුනත් සියල්ල හොඳින් දැකපු මහත්තය

“මේ අපේ ඔෆිස් එකේ ජයවර්ධන, අර එයා අපේ වැඩට උදව්වට ගේනවයි කියපු මනුස්සය...අද ආව. මං ඉතින් මොකට එතන රස්තියාදුකරනවද කියල කෙලිම්ම එක්ක ආව”

කියන ගමන්ම අළුත් සේවකය දිහාට හැරිල

“දන්නවද මේ මගෙ නෝන..”

කියනකොටම පොරත් බග් ගාල

“ඔව් මං හිඃකුව”

කියල කීවලු..

ඉන් පස්සෙ වෙච්චි දේ ඉතින් කියන්න ඕන නෑනෙ.


කැත හිත් ඇත්තන්ටයි මේ කියන්නෙ. මේ මනුස්සයත් අර ඉස්සෙල්ල කතාවෙ ජාතියෙ පොඩි කතාවෙ අවුලක් ඇති එක්කෙනෙක්. මිනිහ කියල තීන්නෙ “ඔව් මං මං හිතුව” කියල.

Sunday, February 5, 2012

ඤ්‍යුද්ත ලිඳේ!




කාලයක් මම ලංකාවෙ බෞද්ධ ශිෂ්‍යන් සඳහා වූ උත්තරීතර ආයතනයෙ උපසභාපති කෙනෙක් වෙලා හිටිය. අද මෙහෙම උන්නට අල්ලට සිඟාවත් නැති කැවිලි කකා රට වටේ යමින් එමින් කැපවීමෙන් ලංකාවෙ බොදු සිසුන්ට කරපු සේවයෙන් ලබාපු අත්දැකීම් තමයි මගේ ජීවිතයෙ නියම විශ්ව විද්‍යාල අධ්‍යාපනය උනේ.

ඒ කාලෙ ගමනෙ දුර හා යොදාගත්ත වැඩ වල හැටියට දවස් ගනන තීරනය කරල, එක දවසකට උදේ කෑමට රුපියල් පහළවයි, දවල් කෑමට විසි පහයි රෑට විසිපහයි අරන් කොළඹින් බස් එකේ නැගල අනුරාධපුරේ වවුනියා කතරගම බිබිලෙ වගේ රට වටේම ශාඛා, රෝහල් සේවාවලට ගිහින් ළමයි වෙනුවෙන් සංවිධානය කරපු නොයෙකුත් ව්‍යාපෘතිවල ප්‍රගතිය හොයල බලල, උපදෙස් දීල අදාල පාසල් දහම් පාසල් වල දරුවන්ට කතා පවත්වල, ගුරුවරුන්ට කතා කරල, දෙමව්පියො ඔතල ( නම්මගන්නව යෙදූ වචනයකි ) ගතකරපු ඒ දුෂ්කර සමයෙ එකම සතුට උනේ මඟ දිගට ලබපු අත්දැකීම්.

ඔය වැඩවලට ආගිය ගමනකදි තමයි මට ලංකාවෙ වැඩිම දුරක් බස් තුනක මාරු වෙවී හොරෙන් ඇවිත් වාර්ථාවක් තියන්න වගේම, අනුරාධපුරෙ ඉඳන් කොළ්ඹට ඇඳිරිනීතිය මැද පැය දාහතරක් තිස්සෙ ගාටපු බඩු කෝච්චියක එන්නත්, පුන්චි බොරැල්ලෙදි කොත්තු වලට පිදුරු දාල හදනව කියල අම්බානෙක කන්නත් වගේම හුම්මාණය, වැව තැන්න වගේ ලංකාවෙ සුන්දර ස්ථාන ගනනාවක්ම එව්ව ප්‍රසිද්ධ වෙලා විනාස වෙන්නට කලින් දැක බලාගන්නත්, මුලතිව් ඇර ලංකාවෙ හැම දිස්ත්‍රික්කෙකම නාන්න හොඳ තැන් ගැන සෑහෙන දැණුමක් ලබාගන්නත් ලැබුනෙ.

ඇවිද්ද පය දහස් වටී කියන කියමන ප්‍රායෝගිකව අත්විඳින්න විතරක් නෙමෙයි, ආයතන පරිපාලනය, ලිපි සැකසුම, කළමනාකරනයේ මූලධර්ම, නායකත්වය, කථිකත්වය ඈ මෙකී නොකී සියල්ලම මුවහත්කරගන්න, ඔප මට්ටම් කරගන්න මහා සරසවියක් වෙච්චි සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයට මම එදත් අදත් ගරු කරන්නෙ බාලදක්ෂ දිවියටත් වඩා ජීවිතයට ලබපු ඒ පන්නරය අදටත් ජීවිතේ මහා බලයක් වෙලා තියෙන නිසයි.

දැං ඇඩ් ඉවරයි කතාවට.

මේ කියනා සිද්ධිය උනෙත් බොදු සිසු සමුළුවේ කැකිරාව රෝහල් සේවයෙ ( මෙය රෝහල කේන්දරකරගෙන ප්‍රදේශයෙ බොදු දරු දැරියන් එක්වන සමාජ සත්කාරයට යොමුවන සමුළුවයි ) පිරිත් පිංකමකටට ගිය විටකදීයි.

බොදු පාසැල් දරු දැරියන් විසින් සංවිධානය කරණු ලබන, ඔවුන්ගේ තරමට මහා ව්‍යාපෘතියක් වන්නා වූ එම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයට එහි පිටුපස සිට මෙහෙයවන්නන් වන අප සහභාගී වන්නේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමන් හා සම වූ විශේශ ගරු සැලකුම් ඇතිවයි.

එනිසාම පුරා රැයක් පිරිත් අසන්නට මෙන්ම ඒ අතරේ සප්පායම් වීමට, ඉසඹුලන්නට අපටද වෙනම කාමරයක් රෝහල් සේවකයින්ගේද අනුග්‍රහය ඇතිව සූදනම් වෙයි. ඒ කොළඹ සිට තකහනියක් එන අය්යලා අක්කලා එළ වනතුරුම පැදුරේ දණගස්සවා තැබීමට තරම් ඒ නංගිලා මල්ලිලා මෙන්ම සේවකයන්ද අකාරුණික නොවන නිසා මෙන්ම අප කෙරෙහි වූ මහත් ගෞරවයක්ද නිසාවෙනි.

මෙහෙම වෙන්වන කාමරය නොයෙකුත් රසකැවිලි, පළතුරු මෙන්ම රසකතා, අපහාස උපහාසයන්ගෙන් පිරුණු එකම රස ගුලාවකි. වෛද්‍යවරුන්, රෝහල් සේවකයන් මෙන්ම අපද තම රසවත් අත්දැකීම් සීනි පැණි එක්කර රසකර බෙදාදෙමින් නිදිමත තුරන් කරගන්නා අතර නැඟෙන උස් සිනා හඬවල් සීමාව ඉක්මවා යන අවස්ථාද නැතිවම නොවේ.

මේ සිදුවීමද එලෙස කැකිරාව රෝහලේදී ඒ කියූ "රස කාමරය" තුලදී එක් තරුණ වෛද්‍යවරයකු වෙනත් රෝහලකදී තම ගිළන් රථ රියැදුරු විසින් කී කතාවක් රඟ දක්වා කීවකි.

මේ කියනා ගිළන්රථ රියදුරා මඳ මුක්කන් කටක් හෙවත් "ග" සහ "ද" වෙනුවට "ඤ" යොදා අමතන්නෙකි. මෙනිසාම ඔහු කියනා සමහර වචන සහ වාක්‍ය බොහෝවිට වී ඇත්තේ දන්නෝ දනිතිය.

දිනක් ඉරුදින අවේලාවේ රෝහලට පැමිණි දොස්තර මහතා තම රියදුරා ඉතා කණස්සල්ලෙන් සහ කේන්තියෙන් සිටිනාබව විසින් නිරීක්ෂනය කර ඇත. හිතෛෂී සේවකයාගේ වෙනස තේරුම් ගත් කාරුණික සේව්‍යකු වූ මෙතුමා තම සිතැඟි සඟවන්නට නොසිතී...

"ඇයි ජයසේකර, අසනීපයක්ද්ද, නැත්තං කරදරයක්ද"

යයි ලෙංගතුව විමැසූ කල ලද පිළිතුර එතුමාම රඟ පා පෙන්වූ අයුරින්...


"ඤෑ../ සර් බලඤ්ඤකො ඥේ අපේ ඤෑනි ඤ්‍යුද්ත ළිඳේ ඥාගෙනනෙ!"

අමාරුවෙන් සිනහව තදකරගත් දොස්තර මහතා..

“ඒ මොනා කරන්න ගිහින්ද ඒ..”

යයි අසා ඇත්තේ මේ ඇසුණු දෙයනම් එසේ ඈ ගොඩ සිටිනා විට තනියම ළිඳට වැටිය හැකි යමක් නොවන නිසා උපන් වික්ෂිප්තයෙන් මෙහි අගමුල වටහා ගැනුමටය...

“ඤවුද සර් ඥන්නෙ.....ඥේ බඹ ඤහයක් ඉඳර එන ළිඳට ඕක ඤා ගත්ත කියල මම මොනා කරඥ්ඥද?

ඤේකි ඒ රජ ඉඤල එඥකොට ඥෙ ආපු ඤ්‍යුද්තලු.....ඉඥින් සර් ඤෙහෙමයි කිඃඅල ඥඃ මොනා කරඤ්ඤ අ.

ඤට පුළුඃඥ ඔය චූටි ඤ්‍යුද්ත ගඥ්ඥ ළිඳේ බඃඉඤ්ඤ..

අඃඉමට ළිඳඃ ඉඥල ඉඥල ඤ්‍යුද්ත ඤිබ්බෙ ඥැත්තං ඤ්‍යුද්තත් ඥෑ...බොඤ්ඤ වඃතුරත් ඥෑ මේ පෑඃඉල්ලෙ"

මේ පවසන්නේ කුමක් ගැනද?
රඟමින්....ඉතා දුකින් තම රියදුරා මේ පවසා ඇත්තේ තම බිරිඳ විසින් විදේශගතව සිට එනවිට ගෙන ආ "මුද්දක්" ළිඳේ වැටුන පුවත බව ඔහුට තේරී තිබෙන්නේ වෙනත් සේවකයකු එහි පැමිණ වටහා දීමෙන් අනතුරුවය. ඒ බව ඔහු විසින්ම කතාව අවසන පවසන තෙක් අපද වැටුනේ කුමක්දැයි සිතාගත් නොහැකිව නොයෙක් කුණුහරුප සිතමින් සිටියෙමු.

පලි
සිංහලය හෝ මලයාලම් බසින් හැර මෙවන්නක් මේ තරමින්වත් ගලපාගැනීමට වෙනයම් බසකින් හැකිවෙදැයි සිතාගත නොහැක.

Monday, January 30, 2012

බ්ලොග් නිසා මරාගමුද, මැරෙමුද, මරාගෙන මැරෙමුද?




කබලේ රස්නෙ පිට නොලියා ටිකක් යන්නට දී මෙය ලියන්නට හේතු ඇත. පළවෙනියෙන්ම මගේ සති අන්ත නිවාඩුව බ්ලොග් කෙරුවාවට යට නොකර පොඩි උන් දෙන්නා හා දේවී සමග ගත කිරීම වටිනා නිසාය. දෙවැන්න වෙරි මතින් සිටින්නවුන්ට, තරහින් පිපිරෙමින් ඉන්නවුන්ට හා බොග තදවී වැසිකිළි සොයන්නන්ට යන තුන් වර්ගයට යමක් කීමට ඒ තත්වයෙන් අත්මිදෙන තෙක් බලා සිටිය යුතු බැවිනි.

ලිංගිකත්වය වල්ලටද මල්ලටද ( මල්ල යනු හදවතයි ) යන මාතෘකාවෙන් පටන්ගෙන අභියාගේ හනුමාන් ඔප් එක හරහා මා කාන්තාවන්ට කල මහා තර්ජනය අවසන කාන්තා බ්ලොග් අඩවි දෙකක් වැසී ගොසිනි. බොහෝ අය හිත් රිදවාගෙනය, සමහරු තරහවී ඇත. එකියක් දිවි නහගන්නා බවටද තර්ජනය කර ඇත.

මෙය මාර කෙළියකි. බ්ලොග් යනු ජීවිතය නොවේ. ජීවිතය යනු බ්ලොග්ද නොවේ! දුකාට අනුව දුමී බ්ලොග් ලියන්නෙ ස්ට්‍රෙස් එක නැතුව යාමටය. උගේ කෙසේ වෙතත් ඒ ලියවිලි නිසා අපේ ස්ට්‍රෙස් එක නැතිවෙ. කතන්දරගේ කතන්දර තෝරාගැනීමම මාර් ස්ට්‍රෙස් වැඩකි. මඩ නැත්තන් අභියාගේ ද නයෙක් නැත්තං රංගගේ ද බ්ලොග් වල මෙලෝ රහක් නැත.ඒ අස්සේ පූසන්ට නොව මීයන්ට කවි ලියනා මහත්වරුන්ය.

මේ කිසිවෙකුත් තම ජීවිකාව හෝ පරම සුවය නිසා නොලියයි. ඔවුනට එය ජීවිතයේ විනෝදයට කරනු ලබන දේවලින් එකක් පමණි.

මගේ බ්ලොගය මට වැඩ අඩු වේලාවන් හි කාලය කා දැමීමට යොදා ගන්නා උපක්‍රමයකි. වැඩ අම්බානකට ඇතිනම් බ්ලොග්ද නැත, කමෙන්ට්ද නැත. මේ නිසා මට හෝ මා දන්න තරමින් ඉහත සඳහන් අයද ඇතුළු තවත් බහුතර බ්ලොග් කරුවන් කමෙන්ට් සහ ලිපි වලට එවැනිම මාධ්‍යන්ගෙන් පිළිතුරු දෙනව මිස කිසිවක් සීරියස් ගන්නා බවක් නොපෙනේ.

නමුත් කැරපොත්තා මරන්නටත් යුධ ටැංකි ඕඩර් කරන ගෑණු ළමයි ඔහොම තමා කියා සිත හදා ගත නොහැක. මන්ද මුන් ඇත්තටම දිවිනසාගතහොත් අපට වෙන පුද්ගලික අවාසියක් නැති වුනද කතාවට කියන්න සේ "ගැරඬි මරා පව් පුර්වාගතයුතු නැති” නිසාවෙනි

මා බ්ලොග් කියවීමට ආ මුල් දිවල ( මගේ අටමගලේ අටවාගන්නට පෙර නොහොත් කකාට පොර සීයලා ගැන ලියූ කාලයේ ) මේ බ්ලොග් අවකාශයේ සිටින ඉතාම දක්ෂ රචකයකු වන දුකාට ඔහු ලියනා ලිපි සුජීව ගේ නවකතා වගේ යැයි කීම නිසා පොඩි වාදයක් ගිය අතර එයින් කල අවිඥානික හෝ සවිඥ්ඥානික බලපෑම නිසා ඉන් මත්තට මා දුකාගෙන් එවැනි ගනයේ ලිපි නොදැක්කෙමි. මා කියු දෙයට දුකාගෙ හිත රිදුනාද විය හැක. එහෙත් විවෙචනය විවෙචනයක් ලෙස බාරගෙන ඒ කතා එතැනින් තබා අප අදද මිතුරන්ව සිටිමු. මූණිච්චාවට මිතුරකු ලෙස නොව දුකා විසින් මෙහි එවන් සටහනක් තබන්නට තරම් ලෙංගතු වී ඇත්තේ සහ මගේ මූණු පොතේ ඉන්නා බ්ලොග් රචකයින් දෙදෙනාගෙන් එකකුද වන්නේ අප කමෙන්ට් පෞද්ගලික පහරගැසීමක් ලෙස නොව එකිනෙකා ලියන දේ ගැන පමණක් වන විවෙචනයක් ලෙස බාර ගත් බැවිනි.

කකාට උගත් පී එච් ඩී ඇති ඇනෝලා ගහන්නේ ෆ්ලයින් කික්ය. සමහර එව්වා "උඹට අචාර්ය කම නැති නිසා කියවන ගොන් කතා" යයි පුද්ගලිකව කරන අවලාදය. එහෙත් බල්ලෝ බුරත්දී කන්ද නොසැලී තවලම ඉදිරියටම ඇදෙයි.

ජීවිතය යනු විඳින්නට ලැබුන දෙයකි. එය නිසි ලෙස විඳින්නට නොදන්නවුන් විඳවනා ආකාරය ගැන කණගාටුය. බ්ලොග් මඩක් නිසා දිවි නැතිකරගන්නවා, බ්ලොග් ලෝකෙ අතෑරල දානව වැනි දේ එක පැත්තකින් තඩි හුරතල් තර්ජනයන් ලෙස හෝ අනික් පැත්තෙන් මිනිසුන් සමඟ ගැටී නැති අඩු අත්දැකීම් ඇති අයගේ කතා ලෙස පිළි ගැනීමට සිදුවේ.
බ්ලොග් නිසා මරාගත යුතුනැත. එහෙත් බ්ලොග් වල මූලික අංගය වන සහ ඕනෑම අඩවියක දියුණුවට මඟ පාදන සංවාද සහ විසංවාදයන්ගෙන් ඈත්විය යුතු නැත. එයින් ඈත්වීමෙන් ඇතිවන්නේ ආන්ඩුවේ පත්තර මෙන් පිටකසා ගැනීමේ කලාවක් මිස බ්ලොග් නම් අනන්‍ය වූ මාධ්‍ය නොවේ.

අවසානයට කිවයුත්තේ කිසිවකු පැරදී නැත. දිනන්නේද නැත. මා මාගේ අදහසද ඔබ ඔබගේ අදහසද පලකිරීමේ වේදිකාවේ විනිසුරුවන් නැත. තෑගිද නැත. නමුත් ඉඳහිට හෝ මෙවන් වාද විවාද මඩ සහ ගුටි නොමැතිනම් මේ කලාව මෙතරම් රසවත් සහ ආකර්ශණීය නොවනු ඇත.

ප්‍රොෆයිල් ඇනෝලා, නන් ප්‍රොෆයිල් ඇනෝලා සහ නමින් ලියන්නන් යන සියල්ලන්ගේම අදහස් විවෙචන එකසේ මේ කෙත සරු කරයි. කිසිවකු කිසිවකුටත් වඩා හොඳ උසස් නැත. කුණුහරුපකාරයන් කුණුහරුප කීවාට කාටවත් බබ්බු ඇතිවන්නේවත් කාගේවත් බිත්තර පුපුරන්නේවත් නැත.උන් වවන දේ කපනු ඇත්තේ උනුන්මය. එනිසා සිදුවියයුත්තේ බ්ලොග් වලට මරාගෙන හෝ නොමැරී ලිපිවලින් පමණක් හැප්පෙන වඩා ආකර්ශණීය බ්ලොග් කළාවක් කරා යාමය.

තේරුම්ගතයුතු සත්‍ය මෙයයි. කිසිවෙක් කිසිවක් පුද්ගලිකව භාර ගැනීමෙන් වන්නේ තමන්ටම පාඩුකරගැනීම පමණක් මිස අනුන්ට බලපෑමක් නම් නොවන බවය.

පින්තූරය මෙතැනින්!

LinkWithin

Related Posts with Thumbnails