Tuesday, August 16, 2016

History and His Story

පහුගිය දොහේ නිවාඩුවට ගිහිල්ල ඉන්නකොට අපේ චෙෆාකි මහත්තය අඬ ගැහුව දකුණට ආවොත් උන්දැගෙ දික්වැල්ලෙ නිවාඩු නිවාසෙත් ඉඳල යන්න එන්නය කියල. නිවාඩුවෙදියි ඒ ගමණෙදියි වෙච්චි අති සුන්දර සිදුවීම් ගොන්නක් තියෙත්දි මේ උලව්ව ගැනම ලියල ඉවර කරල ඉන්න ඕන කියල හිතුනෙ ඇයිද මන්ද.

ඉතින් ඔය කියන නිවාසෙ සතුටින් ලැගල උන්න තුන්වැනි දවසෙ අපිට අපූරු මිත්‍රයෙක් හම්බ උනා. උන්දැත් බලත්දි මම ගිය පාසලකටම ගියපු, මට වැඩිය දෑවුරුද්දක් බාල ගැටයෙක්. මේ බ්ලොග් ලියන රචිකාවකගෙ සුවාමියෙක්. මේ හාදයයි, මමයි, චෙෆාකියි, අටමයි කට්ටිය එක්ක එදා රෑ බොන්න ගිහිල්ල අන්තිමට ඒක ගියෙ නැතෑ මහා වාදෙකට.

එතන කතාව මෙහෙමයි.

ඔය මාක්ස් ගොය්ය කියල තීනවනෙ ආගම අබිං කියල. ඒ එහෙම කිව්වෙ ඇයි කියල අපේ පොල්කට්ටෙන් එහා අජිය මෙන්න මෙතන ලස්සනට විස්තර කරල තියෙනව. ඒ මාක්ස්ගෙ ආගම ගැන කිව්ව කතාවම තමා මට අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ ඉතිහාස ප්‍රේමය සහ ඓතිහාසික ලොකුකම් වර්ණනාව ගැනත් කියන්න තියෙන්නෙ.

ඒ කියන්නෙ, වර්ථමානයෙ නිර්මාණාත්මක හැකියාවන් මොට වෙච්චි කම්මැලි සහ පසුගාමී ජාතියක් තමන්ගෙ ඒ තත්වය අමතක වෙන්න, සිදුවෙන ඛේදවාචකයෙන් සසල නොවී සතුටින් ඉන්න භාවිත කරන්නෙ අපේ අතීත ශ්‍රී විභූතිය සහ ඉතිහාසයෙ  සිංලයගෙ තිබ්බ "මාර, පට්ට" දක්ෂතා ගැන කියෝ කියෝ සතුටු වෙන එක. මොකද අතීතෙ අපි මාර ජාතියක් අද මෙහෙම උන්නට කියල සතුටු වෙලා සිද්ධ වෙන ස්ව්යං මෝහනයෙන් තමන් අද ඉන්න කාලකන්නි තත්වයෙ ඛේදවාචකය ගැන අමතක වෙනව. ඒකත් අර අබිං ගහල ගන්න තාවකාලික වින්දනය වගේම තමයි.

මෙන්න මේ කාරණාව නිසා ලංකාවෙ අතීතය මාර පට්ට එකක්ය, අපි තමයි ලෝකෙ පොරවල්ය කියන කොට මට පුද්ගලික ඇතිවෙන්නෙ මහ කණගාටුවක්. මොකද ජාතියක් වශයෙන් තමන්ගෙ ඉතිහාසය සහ වටිනාකම් දැනගෙන ඉන්න එක වටිනව උනත්, ඒ මත්තෙම ඉන්න,  එකෙන් එහාට නොයන එක රටක් හැටියට අපිට වෙලා තීන මහා විනාසයක් නිසා.


අන්න ඒ හැඟීම නිසා කෙනෙක් ඔහොම අපේ අර "මාර ඉතිහාසය" වනන කොට මට ඒකෙ තීන හිල් අඩුපාඩු සහ හිනා යන තැන් ගැන නොසොය ඉන්නම බෑ. එදත් උනේ ඔන්න ඕකයි.

අපේ අර මිතුර ඉතිහාසෙ ලංකාවෙ පොරත්වය ගැන කියනකොට මම ඒව ගැන ඔහුගෙන් ප්‍රශ්ණ කරා. අන්තිමට ඒ කතාව සැරට ගිහිල්ල හිමීට නිවුන. හැබැයි හැමෝම හිතුවෙ එදා අපි දෙන්නගෙන් එකෙක් අනිකට බෝතල් පාරක් ඇන්න තමා කියල ගිය සද්දෙටයි තරමටයි. නමුත් ඒක එහෙම වෙන්නෙ නෑ කියල ඌයි මායි දැනගෙන හිටිය, මොකද අපි මතවාද හප්පල චප්ප කරාට මූණු හප්ප නොගන්න තරම් මොළයක් තියෙන උන් නිසා.

දැන් මෙන්න මේකයි ඔය වාද වලට මූලික කාරණාව ( අපේ මිතුර මෙහෙම කිව්වම මම මේකට විරුද්ධත්වය පල කරල කතාව වෙන අනු අංශ හරහා පවා විහිදිල ගියා - ඒව පස්සට ) .


ලංකාවෙ අනුරාධපුර යුගයට පෙර සිටම ඉතාම දියුණු රාජාන්ඩුවක් සහ අධිකරණ ක්‍රමයක් තිබුන. මේක සමකාලීන ලෝකයෙ වෙන කිසිම රටක නොතිබ්බ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ නියම භාවිතාව තිබ්බෙ ලංකාවෙ .


මේ කාරණාව ඔප්පු කරන්න තියෙන සාධක මොනවද කියල මම අපේ මිතුරගෙන් ඇහුවම එයා කිව්වෙ ජ්යෙෂ්ඨ ප්ලීනි ලියාපු නැචුරල් හිස්ටරි කිය්න පොතේ මේ ගැන තියෙනවාය, ඒක තමා හොඳම සහ එකම සාධකය මේ කතාව සනාත කරන්න, කියල.

ඒ වගෙම ඔහු කිව්ව, ඒ පොතේ තියෙනවය ලංකාවෙ රජකම යන්නෙ මිනිසුන් තෝරාගත් රජෙකුටය, ඒ රජුගේ ඇවෑමෙන් රජ පවුලේ ඊලඟට සිටිනා වැඩිමලාට ( රජුගේ පුතාට නොව සහෝදරයන්ට ) බවත්. මේක ඔප්පු කරන්න කියල අපේ මිත්‍රය පණ්ඩුකාභයගෙ ඉඳල සද්ධාතිස්ස වෙනකල්ම රාජ නාමවලියත් නෑ කමුත් කියාගෙන ගියා.

ප්ලීන්ගෙ ඔය පොත මම කියවල නොතිබ්බ නිසාත්, රජ නම් සහ නෑකම් මතකෙ නොතිබ්බ නිසාත් ඒ වෙලාවෙ මට ඒ ගැන වැඩි යමක් කියන්න හැකියාවක් තිබ්බෙ නෑ. නමුත් මම පහුවෙනිද හොයල බලනකොට තමයි දැක්කෙ මේටික.

මෙන්න ප්ලීනිගෙ Natural History කියන පොතේ තැප්‍රොබේන් ගැන කියවෙන පරිච්ඡේදය.








මේ පොත ප්ලිනි ලියල තියෙන්නෙ ක්‍රි.ව 77 කියලයි සැලකෙන්නෙ.ඒ කියන්නෙ අනුරාධපුර යුගය ආරම්භවුනාය සැලකෙන ක්‍රි.පු 360ට එහා ඉතිහාසය සනාත කරන්න මේක ගන්න බැරිවෙනව. ඒ කියන්නෙ අනුරාධපුර යුගයට එහා තිබ්බ මාර රාජ්‍ය මේ පොතෙන් සනාත කරන්න අමාරුයි.

ඒ නිසා අපි කතාවෙ ඊලඟ කොටසට, ඒ කියන්නෙ රාජ්‍යත්වය කියන එක බලමු.

මේ පොතේ 130 පිටුවෙ අග ප්ලිනි කියල තියෙනව මෙන්න මෙහම.

"ඔවුනට උසාවියක් නැති අතර නීතියක්ද නොවේ. හර්කියුලිස් දෙවියන් වන්දනා කරයි. ඔවුන්ගෙ රජ මිනුසුන් විසින් තෝරාගන්නේ ඔහු වැඩිහිටි, කරුණාවන්ත, සහ දරුවන් නැති අයෙකුනම් පමණි. යම් හෙයකින් රජුට දරුවන් ලැබෙන්නට ඇතිනම් එවිට ඔහු සිoහාසන්යෙන් පහ කෙරෙන්නෙ රාජ්‍ය්ත්වය පරම්පරාවෙන් පරම්පරාවට නොයනු පිණිසය".

දැන් මේ ටික මෙහෙම දැක්කම හිතෙන්නෙ මගේ මිත්‍රය හරි කියල නේද? කලබල නොවෙන්න කියන්නෙ මේ වෙලාවටයි.

 මේ පොතේම තියෙන විදිහට ලoකාව ගැන විස්තර හොයාගෙන තියෙන්නෙ ඒ වෙනකොට මේ රටට ආ ගිය තානාපතිවරු සහ වෙළෙන්දන්ගෙන්. එහෙම බැලුවම ප්ලිනිට ලැබිල තියෙන විස්තර ක්‍රිස්තු පූර්ව යුගයෙ වෙන්න බෑ, මොකද ප්ලිනි ඉපදුනෙත් ක්‍ර.ව 23 කියල කියැවෙන නිසා.

නමුත් අපි ගමු ක්‍රිස්තු පූර්ව 20 ඉඳල ක්‍රිස්තු වර්ශ 113 වෙනකල් ලoකාවෙ හිටපු රජවරු සහ ඒ අයගෙ උරුමය.

ක්‍රි.පු - 20 සිට ක්‍රි.ව 9 දක්වා භාතිකාභය අභය - ඉන් පෙර සිටි කූටකන්නතිස්ස රජුගේ පුතා

ක්‍රි.ව - 9 සිට ක්‍රි.ව 21 දක්වා මහදැළියාමානා (මහා දාඨික මහානාග) - භාතිකාභයගෙ සොයුරා

ක්‍රිව. 21 සිට 30 දක්වා - අඩගැමුණු - මහදැලියමානගේ පුතා

ක්‍රි.ව 30 සිට 34 දක්වා - කණීරජානුතිස්ස - අඩගැමුණුගේ සොයුරා

ක්‍රි.ව 34 සිට 35 දක්වා - චූලාභයතිස්ස - අඩගැමුණුගේ පුත්

ක්‍රි.ව 35 සීවලී රැජින - අඩගැමුණුගේ දියනිය

ක්‍රි.ව 35 සිට 44 දක්වා - ඉළනාග

ක්‍රි.ව 44 සිට 52 දක්වා - චන්ද්‍රමුඛ - ඉළනාගගේ පුත්

ක්‍රි.ව 52 සිට 60 දක්වා - යසළාලකතිස්ස - චන්ද්‍රමුඛගේ සහෝදරයා

යසළාලකතිස්සගෙන් පස්සෙ සුභ කියන ලම්භකර්ණ වන්සික දොරටුපාලය එනව කරළියට, රජකමට. සුභගෙන් පස්සෙ එයාගෙ පරපුරේ වසභත්, ඉන් පස්සෙ වසබගෙ පුතා වoකනාක තිස්සත්, එයාගෙ පුතා පළවෙනි ගජබාහුත් වෙනකල් පිලිවෙලින් රජවෙනව. නමුත් ඒ වෙනකොට ප්ලිනි මේ ලෝකෙ නෑ.

දැන් ඔබට මොකද හිතෙන්නෙ? ප්ලිනි කිව්ව දරුවො නැති රජුගෙ කතාව සහ රජකම එක පවුලකට හිමිවීමට ඉඩ නොදීම කියන එක ලන්කාවෙ පිළිගත් රාජ පරම්පරාව විමසල බැලුවම බොරු වෙනව නේද?

මේ ලිපිය දිග වැඩියි. දැනට මෙතනින් නවතනව. අපේ මිතුර හෝ වෙනත් කෙනෙක් මේ ගැන සාකච්ඡාවට ආවොත් තව ලියන්නත්, නැතිනම් මෙහෙමම අල්ලල දාන්නත් පුලුවන්.

මම මේක ලිව්වෙ එකම එක කාරනාවක් නිසා.

පිරිසක් ඉදිරියෙ නම් සහ පොත්වල ඇති දේ කියල කෙනෙක් ක්වෝට් කරහම අනෙක් අය ඒ දේ වැරදියි කියල ඔප්පු කරන්න කරුණු මතකෙන් හොඳ හැටි නොදන්නවනම්, අර පුද්ගලය කියන දේ නිවැරදියැයි අවශේශ බහුතරය හිතා ගන්නව. විශේශයෙන්ම මේ වගේ කාරණාවලදි අඳින අය හිතනව, අනේ අරූ අර පැහැදිලි කරේ නියමෙට, බලනකොට සිරි ලoකාවෙනෙ පොරවල් ඉන්නෙ කියල.

හැබැයි මේ කතාව නිසා තව එක හොඳක් උනා. ඒ තමයි මට ප්ලිනිගෙ මේ පොත කියවන්න සිදුවීම. ඒකට දසුනට ස්තූති නොකර බෑ.

33 comments:

  1. පොතේ මොනව තිබුණත්, අපට අවශ්‍ය විදියට තමයි කියවන්න ඕනෑ. අපට අවශ්‍ය විිදියට තමයි තේරුම් ගන්න ඕනෑ. අපට අවශ්‍ය විදියට තමයි ඒ විස්තර උපයෝගී කර ගන්න ඕනෑ.

    කොයි ඉස්කෝලෙට බං ගියේ?

    ReplyDelete
    Replies
    1. මතවාදේ ගියේ නම් ආනන්දේ ඩිබේට් ටීම් එකයි තරුණ බෞද්ධ සංගමයයි අතරේ..දෙන්නම එක ඉස්කෝලේ නිසා වෙන්නැති ෂේප් උනේ....!

      Delete
    2. රසික, මිනිස්සු පොත පෙරලන්නෙ එහෙමනෙ.

      Delete
  2. මුලින්ම පොත හොයාගෙන කියවන්න් ඕන, ඔය අතීත ශ්‍රී විභුතිකාරයෝ අනනත මුණ ගැහෙනවා , ඒ වෙලාවට කට වහගෙන ඉන්නවා කරන්නම දෙයක් නැති නිසා

    ReplyDelete
    Replies
    1. දැන් වැඩි එහෙම උන් තමා. හැබැයි උඹ ඉතින් කොහොමත් වාද කොරන්න යන එකායැ?

      Delete
  3. අපේ ඉතිහාසේ..... පුඃහ්..... මම උන්නා නම් නියම්ට කියා දෙනවා...

    ඌට කියපන් ජර්මනිය පැත්තේ රවුමක් ගහලා මාලිගා එහෙම බලන්නෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අපේ එවුන් ඉන්දියාවෙත් පාළු හිඟන පලාත්වල වන්දනාවේ යනව වගේ, ජර්මනියෙත් ආලපාළු පලාතක ඇවිදල එයි.

      Delete
    2. මාත, උගෙන් මම ඇහුව, උඹ කොහොමද ප්ලිනි කියන දේවල් ඇත්තය කියල පිළිගන්නෙ, මොනාද ඒව සනාත කරන්න තීන සාක්කි කියල. මූ අහනව මගෙන්, උඹ කොහොමද උඹගෙ තාත්ත උඹෙ තාත්තමයි කියල පිළි ගන්නෙ කියල. එහෙම උන්ට කොහෙද බං ජර්මනිය ගැන කියන්නෙ.

      ඇණය, දවසේ කතාව

      Delete
  4. //හැබැයි හැමෝම හිතුවෙ එදා අපි දෙන්නගෙන් එකෙක් අනිකට බෝතල් පාරක් ඇන්න තමා කියල ගිය සද්දෙටයි තරමටයි. නමුත් ඒක එහෙම වෙන්නෙ නෑ කියල ඌයි මායි දැනගෙන හිටිය//

    අප්පෝ මං නං දන්නවා එහෙම වෙන්නේ නැ කියල ...අර ගෑනු ලමයි දෙන්නට කියුවා ඕකුන් දෙන්නා ඕක ඉවර කරන්නේ බතුත් කවාගන කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ මුන් දෙන්නා උදේ කවාගත්තනේ හබුං...!

      Delete
    2. අටං, අපේ හාමිනේ මගේ පාරෙ මරාගන්න වාද මිසක් ශාස්ත්‍රීය කාරණාවක් ගැණ වාද කරනව ඔය දැක්කමයිනෙ. ඒකයි උන්දැ භය වෙලා තීනෙ අර වගේ වෙයිද කියල මේකත්.

      Delete
  5. Replies
    1. මොන පිස්සුද. දැක්කෙ නැද්ද සහන් සහ සැහැල්ලුව මහා වාදෙ :D

      Delete
  6. මට තියෙන්නෙ එකම ප්‍රශ්නයයි. කෝ උඹේ බිංදුව?

    ReplyDelete
    Replies
    1. ඒ මේ කම්පීතරේ අවුලක් බං. හිටි ගමන් මේකෙ \ එක ටයිප් කොරනකොට # වදිනව. ඉතිං බිංදුව ගහන්න බෑනෙ කන්වටරේ, ඒකයි o දාල ගොඩ යන්නෙ.

      Delete
  7. ඇති යංතං ලංකාව කියල හරි ගස්සපු එක...මුලු පෝස්ට් එකටම කෙල වෙනවනේ තව ඩිංගෙන්...
    අනේ අම්මේ මම නම් දෙකක් දාලා නිදාගත්තා මෙයාලා දෙන්නා ඇවිලෙන කොට...නැද්ද හා..ඔව්..ඉතින්...!

    ReplyDelete
    Replies
    1. දැන් බිංදුව වදිනව, ඒක නිසා ඔක්කොම හදන්න ඕන. උඹ එක්කත් වාද කොටයක් තීනව. බෝ ගහ ලාංකික ගහක් නෙමේ කියල, මතකද? හොයා ගත්තද සීතලට කොල හැලිල අලුතෙන් දලු දාන වෙන ආවේනික ගහක් ලංකාවෙ?

      Delete
    2. ලංකාව ස්වභාවිකවම 'නිවර්තන සදාහරිත' වනාන්තර කලාපයට නේද අයිති වෙන්නෙ? 'නිවර්තන පතනශීල' ශාඛ පසු කාලීනව හඳුන්වලා දුන්නු ඒවා වෙන්න ඕන නේ. බෝ (ඇසතු) උතුරු ඉන්දියාවෙන් මෙහාට හඳුන්වලා දුන්නු එකක් විය හැකියි බොහෝ විට..

      Delete
  8. බොන වෙලාවට සිංදු කියනවට වැඩිය දෙයක් කරන්ඩ නරකයි.
    උඹලගෙ වාදෙ හින්ද අර අහිංසක චෙෆයි , අටමයි දෙන්න බයවෙන්ඩ ඇති .

    ReplyDelete
    Replies
    1. උං අහිංසක.? හැබැයි පස්සෙ හිතුන අපරාදෙ සුන්දර හැන්දෑවක් නාස්ති උනා කියල.

      Delete
  9. තව පම්පෝරියක් තමයි අපි එහෙම ඉන්නකොට සුද්දො කොල අතු ඇඳගෙන ඉන්නවය, උන්ට පෙන්නන දෙයක් නෑ කියන එක.

    අපේ අනුරාධපුර ශිෂ්ඨාචාරය කැඩුනා ආක්‍රමණ හා අනිත් හේතූන් නිසා. හරියට අවු 5000කට ඉස්සර පටන් ගත් ඊජිප්තු ශිෂ්ඨාචාරය කැඩුනා වගේ. සංස්කෘතික වශයෙන් නුවර යුගය හා අනුරාධපුර යුගයන් අතර නොකැඩී ගලා ආ සම්බන්ධයක් නැති තරම්.


    දකුණු යුරෝපයේ ග්‍රීක හා රෝම ශිෂ්ඨාචාර අපි ලංකාව තරම් හෝ ඊටත් වඩා පැරණි වුනත් ඒවාද එක්තරා දුරකට කැඩීමකට පත්වුනා.
    ඒවාගෙන් ආභාශය සෑහෙනදුරකට ලැබුනු (අපේ පම්පෝරිකාරයින් ඔය ඉතිහාසයක් නොමැති සුද්දො කියන )බටහිර යුරෝපයේ වුනත් නොකැඩී දියුණුවුන ශිෂ්ඨාචාරය අවු 1000කට වැඩියි. ඉන්ගලන්තයේ ප්‍රජාතන්තවාදී දියුණුව මැග්නා කාර්ටා සිට වුනත් ( ඊට කලිනුත් සැක්සන් Witan වගේ මූලයන් තිබුනා ) නොකැඩී අවු 800ක සිට පරිණාමය වුනා. (උතුරු යුරෝපයේ අවු 1086 ක් පැරණි අයිස්ලන්ත පාර්ලිමේන්තුව හා ස්වීඩනයේ ව්‍යවස්ථාදායක ආයතන ගැනත් කියවල බලන්න)

    අනුරාධපුරයේ කොහොම තිබුනද දන්නෙ නෑ. කොහොම තිබුනත් ඒක අභාවයට ගියා මිසක් ක්‍රමයෙන් පරිණාමය වී දියුණුවුනේ නෑ. නුවර යුගය වෙනකොට ඉතා පරිහාණියට පත්වූ ක්‍රමයක් තමයි තිබුනෙ. දැන් අපිට අනුරාධපුර යුගයෙන් පරිණාමය වී ලැබුනු ක්‍රමයක් නෑ.
    අවු දාහකට ආසන්න කාලයක් තිස්සේ ඉන්ගලන්තෙ ක්‍රමයෙන් දියුණු වී හදා ගත්ත ක්‍රමයක් අපිට දඩස් ගල හම්බවෙලා ඒ පිලිබඳ ක්‍රමයෙන් දියුණු වූ සම්ප්‍රදායක් නොතිබුනු අපි ඒක අපි දැනගෙන හිටිය නුවර /කෝට්ටේ කාලයේ තිබුනු නොදියුණු වැඩවසම් මානසිකත්වයකින් mutate කරගත් එකකට පත්කරගෙන තියනවා.

    කොහොමවෙතත් රටක දැන් ශිෂ්ඨාචාරය ලෙස සැලකීමේදී වැදගත් වන්නේ අතීතයේ තිබිලා නැතිවෙලා තියන vanished civilizations නොව නොකැඩී දියුණුවී ඇත්තේ මොකක්ද කියන ඒවාය.

    (මට ලියන්න පුලුවන් විදිහට තමයි ලිව්වෙ. පැහැදිලි අඩුබව ගැන සමාවෙන්න. සාකච්චා කරන්න ඕනෙ දෙයක් මෙහෙම කමෙන්ට් වලින් බෑ :-D )

    ReplyDelete
    Replies
    1. මගෙ හිතේ ලාවට තිබ්බ අදහසක් මටම පැහැදිලි කරගන්න පුළුවන් වුණා මේක කියෙව්වහම. අපේ ඉතිහාසයේ තියනවනේ පොත් ලියවිච්ච, සෙල්ලිපි ලියවෙච්ච, සීගිරි බලකොටුව නිර්මාණය කල, මහා වැව් දාගැබ් නිර්මාණය කල කාල වකවානු. මට වුණේ ඉන්දිකට වෙච්ච දේ අනිත් පැත්ත. මට හම්බ වුණේ අපේ දියුණු ශිෂ්ටාචාර තිබිලා තියනවා කියපු ගමන්, එක අදහසට හේතු විරහිතව පහර දෙන කෙනෙක්. මම අතීත ශ්‍රී විභූතිය වන්දනා නොකලට, යම් යම් කාල වල ලංකාවේ දියුණු කියල සැලකිය හැකි දැනුම් පද්ධති තිබ්බ බව පිළිගන්න කෙනෙක්. අනිත් පුද්ගලයාගේ තර්කයක් වුණේ අපේ උඩරට ගිවිසුම ලියලා තියන ආකාරය පවා හරිම ලාමකයි කියලා. ඉතිං ඊට කලින් අපිට ඉතා හොඳ භාෂා දැනුමක් තිබුණා කියලා කියන්නේ කොහොමද කියන එක. හේතුව තමා ඔබ කිවූ විදිහට නොකඩවා පැවතෙන ශිෂ්ටාචාරයක් නැතිකමෙන් ඒ දැනුම අඛණ්ඩව ඉදිරියට නොයාම. හැබැ‍යි ශිෂ්ටාචාරයේ අඛණ්ඩ පැවැත්ම ඒ සඳහා උවමනා වුණත්, එපමණින්ම දැනුම දියුනු වෙන්නේ නෑ කියල නම් කියන්න පුළුවන් අද තත්වය සලකලා. යහපාලනය ගේන එක වුණත් දැන් ආයෙ මුල ඉඳලම කරන්න වෙනවනේ :)

      Delete
    2. අපේ රටට දෙයක් කරපු රජවරු ඉඳලා තියෙන්නේ බොහෝම ටිකයි... ඒත් රටට නෙමෙයි තම රාජධානියට. ඒ කියන්නේ බල ප්‍රදේශයට. අනික් උන් ඔක්කෝම පනසල්වල පඹයෝ. උන් පන්සල රැක්කා. පන්සල් මේ පව් කාරයෝ රැක්කා. ඇත්තම කියනවා නම් අපේ රටේ ඉඳලා තියෙන්නේ ප්‍රාදේශීය පාතාල නායකයන් පිරිසක්. මාෆියාව තමයි පන්සල.. මහින්දගේ කාලේ උනේ ඒක නැවත මේ මහපොලොව මත පතිතවීම. මහින්ද වගේම දරුණු මහීපාල කියලා එකෙක් සපරගමුව පාලනය කරන්නෙත් ඒ වගේ.

      Delete
    3. ප්‍රා, සම්පූර්ණයෙන් එකඟයි. ලංකාවෙ තියෙන්නෙ ඉන්දියානු මහා සම්ප්‍රදායෙන් බිඳිල වෙනම වර්ධනය වෙච්චි චූල සම්ප්‍රදායක් කියන එකයි මගෙ අදහස. ඒක එක එක කාලවල බිඳිල, ආයි ඉන්දියාවෙම වෙනත් ප්‍රාදේශීය ශිශ්ඨාචාර වලින් ආ දේ එක්ක වෙනස් වෙලා තීනව. ඒකයි අනුරාධපුර යුගවල නොතිබ්බ සිංහල අවුරුද්ද වගේ දේ නුවර යුගයෙ ඉස්මතුවෙන්නෙ.

      සමස්ථයක් වශයෙන් ගත්තම ලංකාව වගේ පුංචි රටක උනත් ඉතා ඉහල ශ්ෂ්ඨාචාරයක් තිබීම අපි ආඩම්භර වෙන්න ඕන දෙයක් තමා, නමුත් ඒක තමයි ලෝකෙ එක, හෝ හොඳම එක කියන අතොශයෝක්තියට අපි යා යුතු නෑ. ඒකෙන් වෙන්නෙ අර මම උඩ කිව්ව වගේ මත් වෙන එක විතරයි.

      තිසර, නුවර යුගය වෙනකොට ලංකාවෙ රජවරු දෙමළ. ඒ නිසා ප්‍රභූ බස සිංහල නෙමේ දෙමළ. හරියට අර සාර් කාලෙ රුසියාවෙ ප්‍රංශ බස වගේ, අද ඉංග්‍රීසිය වගේ. උඩරට ගිවිසුමේ සිංහල බැරියාව ගැන හිතන්න ඕන ඒ පදනමේ ඉඳලයි. නැත්තං සංදේශ කාව්‍ය ලිව්ව කෝට්ටෙ සිංහල අර තරං දියුණු රසවත් ඒක වෙද්දි ඊට ශතවර්ෂ දෙක තුණක් යනකොට සිංහල බැරි වෙන්න විදිහක් නෑ.

      Delete
  10. බොනකොට කවුද බං ඉතිහාසෙ ගැන කතා කරන්නෙ. ඉතිහාසෙ කන්නද. හැක්..
    චෙෆාකිය මිනීමැරුමකට සාක්කි දෙන්නත් උනානං තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. තව ටිකෙන් අටමා එක දවසක් මාව මරණවා ඔතනදීම...

      Delete
    2. ප්‍රසා, එහෙනං උඹෙ සම්මනෙත් ලැබ්බෙනැතුව යනව...හැක්..

      මාත, අටම ගෙඔණුස්සෙක්වත් මරන්නෙ නැති මිනිහ වෙච්චි උඹව මක්කට මරන්නද?

      Delete
    3. //චෙෆාකිය මිනීමැරුමකට සාක්කි දෙන්න//

      රෙද්ද තමා ඔය කියන දවස් දෙකේම කලින් නිදාගත්තා , හොරට නිදියන උන්ව කොහොම ඇහැරවන්ඩද , උසාවි ගිහින් කියයි

      ‘‘ මම මොකුත් දන්නැ ස්වාමිනි මං තද නින්දේ හිටියේ , මහා හයියෙන් අඩන සද්දයක් ඇහිල බලනකොට මගේ ගෙමැද්දේ එකෙක්ගේ බොකු එලියට ඇදල කියල ‘‘

      Delete
    4. පොඩි කාලේ ඇති තරම් බී ගත් මිනිස්සුන්ගේ රංඩු සරුවල් ඇසා ඇත්තෙමි...එබැවින් ඔවැනි තැන්වල තෙල් නොපුච්චමි...ඕනවට වඩා සහ පෙරේතකමට බොන ඈයොන්වත් අප්පිරිය කරමි...!

      Delete
  11. සහතිකෙන්ම "මොකද ජාතියක් වශයෙන් තමන්ගෙ ඉතිහාසය සහ වටිනාකම් දැනගෙන ඉන්න එක වටිනව උනත්, ඒ මත්තෙම ඉන්න, එකෙන් එහාට නොයන එක රටක් හැටියට අපිට වෙලා තීන මහා විනාසයක්"

    ReplyDelete
    Replies
    1. ආවම නේද මේ පැත්තෙ? ඔව්, අපි ඉතිහාසෙ සුන්දරත්වයෙන් මත්වෙලා වර්ථමානෙ ඛේදවාචකය දකින්නෙ නෑ.

      Delete
  12. ඉතිහාසය ගැන පොර ටෝක් දෙන්න කවුරුත් ආසයි. ඉතිහාසය දැන් උගන්නන එකත් නවත්තලා හන්දා තවත් ලේසියි. සමාන්තර ඉතිහාසය ඉගැන්නුව නම් ඔය හුඟක් ප්‍රශ්ණවලට යම් විසඳුමක් ලැබෙනවා. මට මතකයි කොහෙ හරි එහෙම උගන්නනවා. උදාහරණයක් විදියට ලංකාවෙ සිද්දියක් ගැන කියනකොට මාතෘකාව යටින් ඒ වකවානුවෙ ලෝකයෙ අනිත් තැන්වල මොන යුගයද මොන පාලකයොද හිටියෙ වගේ එකක්.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails