Friday, October 22, 2010

අම්මෙකුගෙ ආදරේ



මේ දවස්වල අම්මට ටිකක් සනීප නෑ. පහුගිය දවස්වලනම් හොඳටම සනීප නැතුව ඉඳල ගිය සතියෙ තමයි ඉස්පිරිතාලෙන් ගෙදර එක්කන් ආවෙ.

ඒ අස්සෙ මගෙ යාලුවෙකුගෙ අම්මටත් ඒ වගේම අමාරුවෙලා, මොකද්ද අමුතු ඔපරේෂන් එකකුත් කරන්න වෙලාලු කැමරාවක් නහර දිගේ යවල.

අපි දෙන්නම (මායි අර යාලුවයි ) ඉන්නෙ රටින් පිට, දෙන්නගෙම පවුලෙ සාමජිකයො හතරයි, ඒත් අන්තිමේ අම්ම බලන්න ලඟ ඉන්නෙ එකයි, අනික් උන් රටෙත් නෑ, ඔක්කොම බයි රිමෝට්!

ඉතින් අද අපි මේ ගැන කතා කර කර ඉඳල කතාව නතර උනේ මව් ගුණ ගැයීමකින්.

ඇත්තටම අපිට මොනව තිබුනත් අම්මෙක්ගෙ ආදරේ තරං යමක් තීනවද කියන තැනින් කතන්දරේ ඉවර උනා. එතෙන්දි මට මතක් වෙලා මගේ යාලුවට කියපු මව් ගුණ ගැන පොඩි ජනකතාවක් මෙතන ලියලම නින්දට යනව කියල හිතුන.

එක කැලයක් ගාව ගෙදරක තාත්ත නැති පුතෙකුයි අම්මෙකුයි බොහොම අමාරුවෙන් ජීවත් උනා.

මේ පුතත් හරිම හිතුවක්කාර , දඟ, නාහෙට නාහන එපාමකරපු ( සමහරවිට තාත්ත වගේ ) චරිතයක්. මේකගෙ අමන වැඩ හින්ද අම්මත් නිතර හිතේ අමාරුවෙන් තමයි උන්නෙ.

දවසක් මේ මදාවි කොලු ගැටය අවේලාවෙ කොහෙදෝ යන්ට හදනව මහ දුර දිහාවක.

මේ හැන්දකොරේ ඔය කැලේ මැද ගමනට අකමැති උන අම්ම පුලුවන්තරං එපා කිව්වත් මේක නෙමේ කනකට ගත්තේ, හිතුමනාපෙටම පිට වෙන්ට එළියට බැස්ස.

මෙච්චර කියලත් කියන දේ නාහන මූ ගැන ආපු තරහටම අර අම්මත්..

" කියන දේ නාහ යන තෝ මඟදි කොටියම කාපිය " කියල කිව්ව.

ඒ මොනවත් කනකට ගත්තු නැති මේ ගොන් නාම්බ යන්නම පිටත් උනා.

චන්ඩිය වගේ පිටත් උනාට මොකද මිනිහට කැලේ ටික ටික වැඩි වෙද්දි පොඩි ගැස්මකුත් ආව. දැන් ඔහොම ටිකක් ඉස්සරහට යනකොට පොඩි සද්ද බද්ද ඇහෙද්දි බයත් ටිකක් වැඩි උනා මිනිහගෙ.

ඔන්න දැන තව ඩිංගක් කැලේ ඇතුලට යද්දි එකපාරටම මහ සද්දයක් එක්ක මෙන්න තඩි කොටියෙක් මිනිහගෙ ඉස්සරහටම කඩං පැන්න...

දැන් කොටිය පුතාගෙ ඇඟට පනින්න කුරුමානං අල්ලලගෙන ඉන්නෙ..

ඔය අතරෙ පුතාට මතක් උනා අම්ම කියපු එක. ඉන් පස්සෙ පුතා අම්ම මතක් කරං වෙව්ල වෙව්ල කොටියට කියනව

"අනේ කොටියො උඹ අම්ම කියාපු එක නෙවේ හිතාපු එක කොරහංකො " කියල.

එතකොට ටික වෙලාවක් අර මෝඩ පුතාගෙ ඇස් දෙක දිහාම බලං උන්න කොටිය තව ටිකක් බලං ඉඳල මෙන්න ආයි හැරිල කැලේ ඇතුලටම රිංගුව.

පිම්මෙ ආපහු හැරිල ගෙදර ආව පුතා එදායිං එදා තමන්ගෙ අම්මගෙ කීමට පිටින් නොයන හොඳ මිනිහෙක් වෙනව කියල වැන්දල පොරොන්දුවෙලා යහපත් මිනිහෙක් විදියට අම්මවත් බලාගෙන් සතුටින් ජීවත් උනා.

4 comments:

  1. :) හුගාක් වෙලාවට අපි අපෙ අම්මලා තාත්තලා කියන දෙවල් ගනන් ගන් නැ තමයි... හැබයි අන්තිමට වෙන්නෙත් එයාලා කියපු දෙවල්... හ්ම්... එ එයාලා හුගක් අපිට වඩා පරිනත හන්ද වෙන්න ඔනා.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අම්මාට විරුද්ධව යන්නේ නැති ළමයින්ට වරදින්නේ නැහැ. ඒ වගේම අම්මාගේ බහට විරුද්ධව ගියත් තමන්ගේ දරුවට අයහපතක් වෙන්න කියලා හිතන අම්මලා හරී අඩුයි

    ReplyDelete
  4. ලොක්කෝ මොකෝ ආයි නිස්සද්ද ?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails