එකල බම්බලපිටියේ සිරිසඳ නම් ලැගුම් හලක් විය. 1952 වසරේ දින කිහිපයක් සුනිල් සාන්තයන් එහි නේවාසිකව විසූ අතර, එක් උදෑසනක ඔහු ස්නානය අතර තම ගීයක් වූ "වරෙන් හීන් සැරේ" නම් ගීය ගුවන්විදුලියේ වාදනය වනු අසා සිටියේය.
තමන්ට කිසි කලෙකත් සිදුවූවායැයි මතකයක් නැති සුළු අඩුපාඩු කිහිපයක් වරින් වර ගායනයේ මතුවීම නිසා වික්ශිප්ත වූ සුනිලුන් ස්නානය හැර දමා වඩා හොඳින් ගීය අසන්නට විය.
මොහොතකින්, මේ නම් තමා නොවෙන බව වටහාගත්තද කටහඬේ ඇති සමානාත්වය සහ ගැයුමේ අපූර්වත්වය ඒ වනවිටත් ඔහුව විශ්මයට පත්කර තිබිනි.
තවත් තත්පර කිහිපයකින් ගීය හමාරවූ පසු නිවේදකයා "ඒ ගායනය සීදුවේ අයිවෝ ඩෙනිස් ගෙනි" යැයි අත්පොළසන් නාදයක් මැද පැවසීය.
තම හඬට අතිශයින් සම හඬක් හිමි මේ තරුණ ගායකයා දැක ගන්නට සුනිලුන් තුල මහත් ආශාවක් වැඩිනි.
ඔහු තම සිසු පැට්‍රික් දෙණිපිටිය මේ බැව් සලකල සිටියහ.
කිහිප දිනෙකින් පැට්‍රික් මේ කෙසඟ උස් තරුණයා සුනිලුන් වෙත කැඳවාගෙන පැමිණියේය.
ආධුනිකයාගේ වත ගොත දැණ ගැනුමින් පසුව, ඔහුට තම සංගීත පන්තියට එක්වන්නැයි ඇරයුම් ලැබිනි.
මඳක් විළියෙන් මෙන් තරුණයා ඒ ඇරයුම බැහැර කලේ "මාස්ටර් මට ඒකට සල්ලි නෑ"යැයි පවසමිනි.
"මුදල් අවශ්‍ය නෑ, ඔය ළමය එන්න" මේ එදා සුනිල් ශාන්තයන්ගේ පිළිතුර විය.
එවක සුනිලුන්ගේ සෙවනෙහි සංගීතය හැදෑරූ නිමල් ගුණරත්න, රෝහිත ජයසිංහ ( පසුව සියැක් වාද්‍ය වෘන්දයේ නායක ) , තිලක සුධර්මන්, එච්. එම් ගුණසේකර, පැට්‍රික් දෙණිපිටිය ආදීන්ට අයිවෝ ඩෙනිස්ද එතැන් පටන් එක් විය.
ටික කලෙකින්ම සිසු අයිවෝ තම ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මානය වන, සහෝදර සිසු තිලක සුධර්මන් ලියූ සහ සිය ගුරු සුනිලුන් සංගීතවත් කල " කුරුළු පරාදීසයේ, කුරුළු සිහින සාගරේ " නම් ගීතයද ගැයීය.
මේ ගුරු ගෝල සබඳතාවය කෙතෙක් දැඩිව වැඩුනේ සහ අයිවෝ කෙතරම් හොඳින් ශිල්ප හදාලේදැයි කිවහිත්, රේඛාව චිත්‍රපටයේ ගායනා සහ සංගීත වෘන්දයන් මෙහෙයවීමට සුනිලුන් තමන් වෙනුවට අයිවෝ ඉන්දියාවට යැවීය. මෙය රේඛාව නයු ලෙස්ටර් මඳක් වික්ශිප්ත සහ කණස්සලට ලක් කල කරුණක් වුව සුනිලුන්ට ඒ ගැන සැකයක් නොවීය. එහි ගිය අයිවෝ තම රාජකාරිය අකුරටම කලා පමණක් නොව " අනුරාපුර පොලොන්නරුව " නම් ගීයද කදිමට ගැයූහ.
මෙලෙස සුනිල් සාන්තයන් ඇසුරේ එහි වැඩුනු අයිවෝ කේමදාසයන් වෙත ගෙනයන්නේ ටී. එම් ජයරත්නයන්ය. ඒ "අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන" නම් ප්‍රෙමදාස ශ්‍රී අලවත්තගේ ලියූ ගුවන්විදුලි පර්‍යේෂන ගීයට ගැඹුරු හඬක් ඇති ගායකයකු සොයමින් සිටි මොහොතේදීය. ඉන් පසුව කේමදාසයන්ටද අයිවෝ නැතුවම බැරි විය.
කේමදාස අයිවෝ සුසංයෝගය බිහිකල සියලු ගීත අතර " උදුම්බරා " සහ " පිනට උපන් මිනිසුන් සිටිනා රට" යන ගී ද්විත්වය අති සුවිශේෂය. එමතු නොව කේමදාසයන්ගේ කැන්ටාටා, ඔපෙරා සියල්ලටම අයිවෝ නැතුවම බැරි විය.
තම සංගීත ඉදිරිපත්කිරීම් උදේසා අයිවෝගෙන් ලැබුන මනා පිටිවහලට ක්‍රතගුණ දක්වනු වස් කේමදාසයන් විසින් අයිවෝ උපහාර උළෙලක්ද පවත්වන්නට යෙදුනු අතර, එය මෙරට සංගීතඥයෙකු විසින් ගායකයකු වෙනුවන් කල එකම උපහාර උළෙල විය හැක.
එමතුද නොව, ෂෙල්ටන් ප්‍රෙමරත්න, මකුළොලුව, අමරදේව ඈ සියළු මුල් පෙලේ සංගීතඥයන් හා එක්ව උසස් නිර්මාණ කල අයිවෝ ඩෙනිස්, කලාතුරකින් දකින්නට අසන්නට ලැබෙන ගැඹුරු සහ මිහිරි හඬකි.
සුනිල් සාන්තයන් තව හෝ කේමදාසයන් තව ටික කලක් සිටියේනම් අපිට මෙයට වැඩි රසවත් නිර්මාණ අයිවෝ හඬින් අසන්නට වාසනාව ලැබෙන්නට ඉඩ තිබුණි.
එහෙත්, තනිව මේ බොල් පිළිම සමඟ අසූ හය වියැති ඔබ කුමක් කරන්නද? ගොස් ගුරු සාන්තයන් හා එක්ව දෙව්ලොව සනසන්න. මෙතෙක් අප වෙනුවෙන් කියූ දෑට නොවක් තුති!
ඉන්දික උපශාන්ත.
(ලිපියට උපකාර - සුලින් සාන්ත, හෙළ ගීයේ මුදුන් මල් සර - විජිත් කුමාර් සේනාරත්න)
Picture from here