Wednesday, December 31, 2014

සමාන්තර විශ්වයක ගැයෙන සමුගැනීමේ ගීය...! Good bye Mr.


උපනෙමි ඔබගෙ කුස මෙලෙසින් පිරි රුසිරු
දැරුවෙමි කිරුළ විදිමින් සැම රජ ඉසුරු
සුරකිමි ඔ‍බගෙ දරු කැල බිදිමින් සතුරු
හැරයමි අද දුකින් ඔබ ලක් මවුණි ගරු

නොවහිම් යසස් දැරු සිරිලක් මෑණියනි
නමදිමි මහත් ගුණ ඔබ සිහිකර නිතිනි
රජකම් කලත් කලකම් පලදෙන බැවිනි
මෙතරම් දුකක් සිදුවිය මගෙ පෙර පවිනි

අහෝ! ගනදුරයි අද පෙරදිග මැණික
හො හෝ හඩ නැගෙයි හදවතෙහි ටික ටික
සහෝදර පිරිසගෙන් පැමිණි මේ දුක
කොහෝමත් විදිමි මම සතුටින් නිසැක

විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිදෙන තුරු
නෙතින් කදුලු නොහෙලමි දිවි ති‍බෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුණි ගරු



ස්වකීය අව රාජ්‍යතාන්ත්‍රික දැණුම සහ අත්දැකීම් මඳකම නිසාම සිංහලද්වීපය සහ රාජ්‍ය පාළනය අවුලෙන් අවුලට පත්කරමින්, බ්‍රිතාන්‍යන්ගේ පිහිටෙන් පණ බේරාගත් සිංහලේ අවසන් රජුට සිතුනායැයි හැඟෙන මේ කතෘ අඥාත කවි පන්තිය ඔබ මෙයට පෙර අසා ඇතිබවට සැකයක් නැත!

නුදුරේදීම කැබලි වී, තවත් එක් මුස්ලිම් කොදෙව්වක් වන්නට තිබූ රටක්, ඒ විනාසයෙන් බේරීමේ දෛවෝපගත සිදුවීම් පෙළකට මඟ හෙලිකරමින්, මෙම කවි සිතින් ගයමින් ඒ අමන රජු ලංකාවෙන් පිටව යන මොහොතේ සමාන්තර විශ්වයේ වෙනත් තැනෙක අපූරු සිදුවීමක් සිදුවෙමින් තිබින.

ඒ සින්ග්ලංකා නම් දූවක, 2015 ජැනුවරි 13 නම් දිනක් දැක්වෙන සන්ධ්‍යාවෙකි. බැසයන හිරුත් සමගම එරටෙහි දකුණු දිග වෙරලාසන්නයෙන් ඈතට ඇදෙන, තරු ලකුන ගත් යුධ නෞකාවෙක ආරක්ෂාව සහිත සුඛෝපභොගී යොට් යාත්‍රාවෙක තට්ටුව මත, මඳක් බමණ මතින්, මධුවිතක් අතැතිව සිටින අඳුරු වතින් යුත් ප්‍රතාපවත් පුරුෂයෙකි.

ඔහුට මඳක් ඈතින් බිළාලයකු සිහිකෙරෙන වතින් යුත්, හඬමින් සිටින කාන්තාවට පමණක් නොව ඈතින් පාවෙන නෞකාවේ සිටිනා නූස් කහපැහැති මිනිසුන්ටද ඇසෙන සේ හේ යම් ගීයක් බෙරිහන් දෙයි.


සැයු. මේ අපට සමාන්තර විශ්වයක 1816 ජනේරු දිනෙක සිදුවූ සිදුවීමක් බව නැවත සිහිතබාගන්න.


මෛත්‍රී........ මෛත්‍රී........
ඔබව අමතක වෙන්නෙ නෑ
මෛත්‍රී........ මෛත්‍රී........
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ....

ඔබෙ රට සිරි ලංක දූවයි හරිම අලංකාරයි
මගේ රට දැන් සුවාලන්තය මට හරිම ආසයි

දිනල යුද්ධය, ඔබේ රට හැර - ආවෙ මෙහේ රටටයි
ගහපු සල්ලිත්.. තියල ආවෙ මම -  දිනෙක යළි එන්නයි

දැන් යුද්දෙ අවසාන උනා...
මට යලි එහෙ යන්න උනා

මෛත්‍රී...මෛත්‍රී.....

පිල්ලු කොටියෙදි සවස් කාලෙට - පවුල එකතුවෙලා
අනාගතෙ ගැන සිහින මැව් හැටි - දුකයි මතක් වෙලා

රටේ බූරුවො, ඔබට හැර රට - දෙන්න බැහැ කියලා
කිව් නිසයි මගෙ, ආදරියෙ මම -  යන්නෙ ඔබ දාලා

දැන් යුද්දෙ අවසාන උනා....
මට ඔබ හැර යන්න උනා...

මෛත්‍රී...මෛත්‍රී...

ඔබ වගේ මම, මගේ මව්පියො - දෙගුරුන් සලකනවා
ඔබ වගේ මම, මගේ රටටත් - ජීවිතේ දෙනවා
ඔබ වගේ මම,  මමත් ඔබ ගැන - කඳුලු වගුරනවා
ගඟට කැපු ඉනි, දිහා බලලා - පසුතැවිලි වෙනවා

දැන් යුද්දෙ අවසාන උනා....
මට ඔබ හැර යන්න උනා...

මෛත්‍රී...මෛත්‍රී...
මෛත්‍රී...මෛත්‍රී...


ආස්චර්‍යකින් මෙන් ඒ ගීයෙ තනුවට හා පදවලට සමාන තවත් ගීයක්, ඊට වසර එකසිය පණහකට පමන පසු එළඹෙන දිනෙක, එවකට සිලෝන් නම් ලත් දිවයිනෙහි MS නම් ගායකයෙක් ගයන්නේය. ඒ MS ගේ ගීතය ඔහුගේ පුතෙකු විසින් ඊටත් පසුව ගැයූ අයුරුයි මේ.


ඔබ සැමට එළඹෙන 2015 වසර සුභ නව වෙනසක් වේවා....!

Friday, December 26, 2014

කළවානට ආ සුනාමිය....How Tsunami hits Sinharaja rain forest…!




 ජීවිතය යනු පුදුමයන්ගෙන් පිරුණු තැනකි!

අදින් වසර දහයකට පෙර ආ සුනාමිය ගැන, එයින් වූ හානි ගැන පොදුවේ සහ පුද්ගලිකවම වූ බලපෑම ගැන ඇති පදම් ලියැවී තිබේ. මමද ලිව්වෙමි.

මේ එවන් සුනාමිය නිසා වූ සෘජු හානියක් ගැන විස්තරයක්, කථාන්තරයක් නොවේ.

හරි පුදුම ජීවිතයේ සමුගැනීම් මෙන්ම හමුවීම්ද ඇතිවන්නේ නොසිතන විදිහටමය.

මෙයට දස වසරකට පෙර, යම් කිසි පිනකින් සුනාමි ව්‍යසනයෙන් ගැලවීමට හැකිවීම ගැන මා පෙරත් කීවෙමි. ඒ, වාර්ෂික විනෝද චාරිකාව යාමට දකුණු ලක මුහුදු තීරයේ හෝටලයක් සොයා ගන්නට නොහැකි වීම නිසාම, අකමැත්තෙන් මුත් සිංහරාජ මායිමේ වැද්දාගල ඉකෝ ලොජ් එකකට ගාල් වූ කථාවයි.
 
අප ගිය මේ සුන්දර ස්ථානය, සැබැවින්ම නිවාඩුවකට කියාපු තැනකි. එහි බාහිර කරදර, රූපවාහිනි මලදාන, විදුලිය පමණක් නොව එකලනම් ජංගම දුරකථන සඥාද නොතිබුනි. එපමණක් නොව, ප්‍රධාන මාර්‍ගයේ වාහන නවතා, සොඳුරු අඳුරු වනපෙතක් මැදින් කිලෝමීටර භාගයක් පමණ ඇතුලට වන්නට, පාගමනින් පමණක් යා හැකි තැනෙක ඉතා සිහිල් ගලා යන දොළ පහරක් අසබඩ මේ කදිම නවාතැන පිහිටා තිබුනි.


ඒ දොළ පහරෙහිද මඳක් විශාල වක්කලමක් සෑදී තිබූ නිසා එය තවත් අගනා ස්වභාවික තටාකයක් විය. දොළ පහරින් එගොඩ වූ ගසක් හරහා කඹයක් බැඳ, ඒ මතින් යන්නට, ගස් අත්තක් උඩ සිට වතුරට පනින්නට, ගෙන ගිය රබර් ටියුබයන්ට බැස දොලේ පාවෙන්න්ට, ඈ මෙකී නොකී ජල ක්‍රීඩාවන්ට ඉතාම ආරක්ෂිත සහ ආකර්ෂනීය එවන් ස්ථාන මට හමුවී ඇත්තේ කිහිපයක් පමණි.


එපමණක් නොවේ! දොළට  ඉහලින්, කන්ද කපා සාදා තිබූ පිටිය දහවල ක්‍රිකට් ක්‍රීඩාවටත් රාත්‍රයියේ ගිණිමැලයක් වටා වාඩිවී ගී ගයා නැටීමටත් කදිම තැන්නකි. අසල අපේ හඬ අසන්නට ඇත්තේ වල් සතුන් පමණක් නිසා, අපි වල් සතුන් මෙන් එහි ගී කියමින් සතුටු වුනෙමු.


සරළ, එහෙත් අවශ්‍ය සියළු පහසුකම් සහිත වූ, කන්ද උඩට වී තිබූ කාමර, ඉතාම අගනා සහ වෙනත් තැනෙක නුදුටු කළාත්මක සිවිලිමක් සහිත පිහිටි ගල් මේස සහ පුටු බවට පත්කල භෝජනාගාරය, ගං ඉවුරේ වූ ටෙන්ට් සහිත කෑම්ප් සයිට් එක, ඒ සියල්ල සමඟ ආ රසවත් ගමේ කෑම...! මොන අඩුවක්ද?

අකමැත්තෙන් මෙන් සුනාමිය නිසා හනික ආවා මිස, හැකිනම් වැඩිපුරත් රැයක් එහි සිට එනතරමට අප කා හටත් හිතට ඇල්ලූ ඒ අති සොඳුරු නවාතැනට නැවත යාමට මම බොහෝ කල් සිට සිතා සිටියෙමි.

එදින, අප එම නවාතැනේ සිටියදීම එහි පැමිණි, සිහින් උස සිරුරක් සහිත් සුහද පුදගලයකු වූ එහි හිමිකරු, අප සිංහරාජ නැරඹීමට ගොස් එන අතරතුර, සුනාමි ආරංචිය නිසාම පිටව ගොස් තිබුනි.



පසුදින අපද ඉන් පිටවිය.

ඉන් පසුත් "සිංහරාජ ඉකෝ ලොජ්" පිළිබඳ මතක ගිලිහුනේ නැති වූද, එය සොයා එහි යාමට අවස්ථාවක් නොලද්දෙමි. නමුත් එහි අසිරිය, රසය අප සමග එහිගිය මා, නාළක ඇතුළු අප සැම සිත්තුල සදා රැඳී තිබුනි.

දස වසරකට පසු, එදා කඩිමුඩියේ පිටව ගොස් තිබූ, දිනෙක හමුවන්නට බලා සිටි හිමිකරු යළි හමුවිය.

සත්‍යලෙසම කිවහොත්, අප හමුවී බොහෝ දිනක්, කතාබස් කලද මේ මා ආශාවෙන් සිහිපත් කල ඒ සොඳුරුනවාතැනේ හිමිකරු තමා යැයි ඔහු කීවේ නැත.

නමුත් එක් අහඹු කතාවක් ඇදී ගොස්, අවසන ඔහු ඒය තමාගේ යැයි කීහ.

එය සත්‍ය ලෙසම සතුට ගෙන දෙන ආරංචියක්ම වන්නේ නොවේද? නැත, ඉන් මොහොතකට පසු ඔහු කී දෙයින්, ඒ සතුට සුණු විසුණු විය!

ඒ, සිංහරාජ රේන්ෆොරස්ට් ඉකෝලොජ් හි අවසාන අමුත්තන් අප වූ බැව් ඇසීමෙනි!

සුනාමිය, කළුතර පයාගල මුහුදුවෙරළට ඔබ්බෙන්, කළවාන වැද්දාගලට වැදී ඇති බව කෙලෙස සිතන්නද? සුනාමිය පැමිණ තලා පෙලා දමා තිබුනේ සිය පයාගල නිවස පමණක් නොව, ඒ සමග බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය විසින් ඒ වනවිට පීදෙමින් තිබූ සිංහරාජ ඉකෝ ලොජ් පවා තලා දැමීයයි ඇසීමම දැඩි කම්පනයක් ඇතිකල පුවතක් විය!

දැන් මේ සමස්ථ කතාව ඔබට වැදගත්වන්නේ ඇයි? එහි ඇති මාකියූ පුදුමය කුමක්ද?

පුදුමය, ඔහු මට දසවසරකට පසු හමුවන්නේ බ්ලොග් පිටු අතරින් වීමයි!

පිරුණු කලේ හඬ නැත. ඉතා නිහඬ නමුත් හොඳ හඬක් ඇති, සංචාරක ක්ෂේත්‍රයේම රජයේ ඉහල තනතුරක් දරන මේ සොඳුරු මිනිසා, දම්පාට දේදුන්න ලියූ ජීවන, මේ දෙසැම්බර් 26 දින සටහන උඹ වෙනුවෙන්මයි.!

පුලුවන්නම් අපි ආයි ඉකෝ ලොජ් එක පටන් ගමු, මේ බ්ලොග් වල, මූණු පොතේ, හොරකම වෙනුවට හොඳනම විකුණන්න හැකි උඹට උදව් කරන්න බොහොමයක් මිනිස්සු ඉන්නව.

හැබැයි, ඒ සේරටම කලින් ආයි බ්ලොග් එක ලියහන්...මොකද සිංදු ගැන ලිව්වට සංගීතෙ ගැන ලියන්නෙ නෑ කවුරුත්.

මේ පින්තූර සිංහරාජ ඉකෝ ලොජ් එකේදි මා ගත් ඒව නොව ජීවනගේම මූණුපොතේ ඇලබමයෙන් හොරාගත් ඒවාය.

LinkWithin

Related Posts with Thumbnails