Wednesday, April 30, 2014

සම්භන්ධය!

 පුලුවන්නම් මේ පහත පින්තූර තුන දිහා බලල ඒවගෙ සහ සම්භන්ධයක් තියෙද කියල කියන්න බලන්න.




 .
.
.
.
.
.
.
.
.



 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



හොඳම කමෙන්ටුවට අස්ග්‍රාලි වෙතින් වටිනා සුවඳ කැවූ පුළුන් කෑල්ලක් නොමිලේ!!

Wednesday, April 16, 2014

අපේ මාමා තම්බියෙක් උනානම්...!

මගේ බිරිඳගෙ පවුලෙ පළවෙනි දෙවෙනි වටයෙ වැඩිහිටි ඥාති බොහොම දෙනෙක් ( ඇගේ මව් පියන්ද ඇතුළුව ) එක්කො වයසට, සමහරු අකලට සහ කීප දෙනෙක් සුනාමියටත් අහුවෙලා නැතිවෙලා, අන්තිමේ ඉතුරුවෙලා ඉන්න කීප දෙනයි.

ඒ ඉතුරු අයගෙන් විතරක් නෙමෙයි ගිය අය එක්ක බැලුව උනත් තරමක් ගරු බුහුමන් ලබන, කවුරුත් කැමති හරිම හිත හොඳ මනුස්සය තමයි මාතුපාල මාම.

සුනාමිය නිසා තරමක් තුවාල උනාට උන්දැගෙ හිත තාම හය්යයි. අසූවෙ වර්ජනේට අහුවෙලා රස්සවා නැති උනාට, තමන්ගෙ මහන්සියෙන් සහ අනෙක් අයගෙ උපකාරෙනුත් කොහොම හරි හාමිනේ එක්ක ජීවිතේ ගැට ගහගෙන හික්කඩුවෙ මහ ගෙදරට වෙලා සතුටින් ඉන්නව.

උදේම නැගිටල බුදුපාන තියල, වත්ත පිහිදාල, කුරුල්ලන්ට ලේනන්ට බත් තියල පස්සෙ තමන්ගෙ හීල පිරිමහගන්න, රාහු කාලෙට කලින් ගමන් යන එන, නැකතට වෙලාවට කිරිබත් විතරක් නෙමෙයි හිස තෙලුත් ගාන මාම නියම සිංහල විදියට කේන්දරේ උපරිමයෙම්ම විස්වාස කලාට මොකද හරිම බෞද්ධය.

අහන්නෙ එස් එල් බී සී එක, බලන්නෙ අයි ටී එන් සහ ජාතික රූපවාහ්නිය, කියවන්නෙ දිවයින පත්තරේ, චන්දෙ දෙන්නෙ අතට නැත්තන් පුටුවට, කොටිම්ම මිනිහ මහින්දට වඩා සැර ශ්‍රී ලංකා කාරය, ටිපිකල් සිංහල ජහ මනය.

ඉතින් මේ මාතු මාම අලුත් ව්‍යාපාරයකට අත ගහන්න ලෑස්තිවෙලා.

මාමම මේ වැඩේටත් පොඩි බිස්නස් ප්ලෑන් එකක් එහෙම ගහල අපේ මස්සිනා, ඒ කිව්වෙ මගේ හාමිනේගෙ මලය එක්කත් කතා කරල, එයාගෙයි තව ලඟ ඥාතියෙක් දෙන්නෙක්ගෙ උදවෙනුයි වැඩේ පටන් ගන්නයි යන්නෙ.

මාමගෙ සොයා ගැනීම අනුව තමන් විකුණන්න බලන දේවල් එක තැනකින් ගන්න බැහැලු හික්කඩුවෙ. අනික හොඳ කොලිටි සප්ලයර්ල හැමෝම අඳුනන්නෙ නැති නිසා තැන් තැන් වලින් ගන්න අය ටිකක් අහුවෙනවත්ලු. ඉතින් ඔඅය වගේ කරුණු කීපයක් නිසා මේ ව්‍යාපාරෙට තරමක ඉල්ලුමක්, උනන්දුවක් තියෙයෙ කියලයි මාමගෙ ගණනය කිරීම.

කියපු කරුණු එක්ක හිතල බැලුවම මාමගෙ ඇනලයිස් එකේ වැරැද්දක් නැති තරම්. ඒ කියන්නෙ බිස්නස් එක සරු වෙන්න තියෙන ඉඩ වැඩියි!

හැබැයි ඉතින් මාමගෙ ප්‍රථිපත්ති අනුව නිකම්ම බොහ් ගාල, මාර්කට් රිසර්ච් එක අනුව විතරක් පටන් ගන්න බෑනෙ. ඒ නිසා තැනක් සහ අනෙක් අඩුම කුඩුම හොයා ගත්තට පස්සෙ මාම ගිහින් වැඩේ පටන් ගන්න නැකතක බලන්න.

නැකැත් කාරය නැකැත් පතද බලල මාමට කිව්වලු මේ කෝණ මාසෙ නිසා කිසිම නැකතක් නැතිය, ඒ නිසා මැයි මාසෙ මුලම, ඒ කිව්වෙ දෙවෙනිද හොඳ නැකතක් තීනවය, එකට වැඩේ කරන්න ලෑස්ති කරගන්නය කියල.

ඔන්න ඔතන තමයි කොස්ස. කොටිම්ම මට මාම "තම්බියෙක් උනානම් කොහොම වෙයිද" කියල හිතුන තැන.
  
මොකද, මාම පටන් ගන්න යන කඩේ සිංහල කැවිළි සහ කේක් බිස්කට් වගේ රසකැවිළි විකුණන කඩයක්....!!!
 
ඉතින බලන්න අප්‍රෙල් මුල වෙනකොට කඩෙත්, කඩේට බඩු සප්ලයර්ලත් හොයා ගන්න පුළුවන් උනාට, කඩේට හොඳම කාලෙ ඒක පටන් ගන්න නැකතක් නැති වෙච්චි හැටි!

දැන් මාම ඔය දීපු නැකතට කැවිලි රස කැවිලි වල උපරිම ඉල්ලුම තීන අවුරුදු සීසන් එක පැනල, ඒවගෙ ඉල්ලුම අඩු මැයි මාසෙ පටන් ගත්තම, නැකතෙ බලෙන් ගින්දර වගේ ආයි මිනිස්සුන්ට කැවිලි කන්නවත් හිතෙයිද?

එහෙම නැත්තන් නැකත් කාරයෙ පත හින්ද මාමට මාසයක් දෙකක් අතින් කාල හරක් බලන්න වෙයිද!

හැබැයි මාම සිංහලයෙක් නොවී තම්බියෙක් උනානම් මට හිතෙන්නෙ වැඩේ මෙහෙම වෙයි.

අප්‍රේල් පළවෙනිද උදේම කඩේ අරිනව. අලුත කපපු එළු බෙල්ලකින් ලේ ටිකක් දොරේ ගාල, ඇවිත් ඉන්න ප්‍රභූ කෙනෙකුට මුලිම්ම ටිකක් විකුනල සළු කරගන්නව.

ඉන් පස්සෙ එකා දෙන්න ගානෙ ඇදිල අප්‍රේල්  දහය දොළහ වෙනකොට කට්ටිය වැඩි වෙද්දි පහළවෙ කැවුම විසිපහට විතර විකුණනව. සප්ලයර්ලටත් දහයට දෙන කැවුමට පහළවක් දෙන්නම් කියල ඒ ටික දවසෙ වැඩිපුර බඩු හද ගන්නව.

කොහොම හරි අවුරුද්දට පිස්සුවෙන් වගේ කැවිලි හොයන සිංහලයන්ට පුලුවන් තරමක් දහතුවෙනිද රෑ වෙනකල් විකුණල, නොනගතේට කඩේ වහල ඉතුරු බඩුත් අරන් ගෙදර යනව.

දන්න විදියට ඉතුරු එව්ව රෑ තිස්සෙ හුමාලෙන් තම්බගන්නව. උදේට නැකතෙන් පස්සෙ කඩේ ආයි ඇරල, අහල පහල සිංහල කඩ කාරයන්ට අර ඉතුරු ටිකෙන් කොටහක් නිකනුත් දෙනව. කඩේට එන අයටත් කැවුම් කොකිස් මේසයක් හදල තියනව නිකන් කන්න.

ඉන් පස්සෙ ඉතින් මැයි වෙනකල් නෑ ගම් යන උන්ට කේක් පෙට්ටියක් දෙකක් විකුණගෙන මාසෙ ඉතුරු ටිකත් කවර් කරගන්නව.

ඔන්න ඔහොම මුලදිම නැගල ගත්තු ගැනිල්ල නිසා එන ප්‍රසිද්ධියෙන් මැයි මාසෙ මගුල් ගෙවල් කීපෙකටත් කැවිලි විකුණල, අහල පහල කඩ කාරයො අල්ලපු එකෙන් අප්‍රේල් අවුරුදු කාලෙ ආපු කප්පරක් කස්ටමර්ලගෙන් ලැබෙන ප්‍රසිද්ධියෙන් තවත් බිස්නස් අල්ලගෙන, අර කියපු කෝණ මාසෙ, බිස්නස් එකේ ස්ප්‍රින්ට් එක වගේම ටර්නින් පොයින්ට් එක කරගන්නත් වග බලා ගන්නව.

අනේ ඒත් ඉතින් සිංහල බෞද්ධය උන අපේ අහිංසක මාතු මාම....උන්දැට සිංහල රාවයෙයි, බොබසෙයි රාවණා බලයෙයි පිහිටවත් ලැබෙන්නෙ නැතෑ බිස්නස් වලදි!

කොහොම උනත් හිත හොඳ අහින්සක මනුස්සය වෙච්චි මාතුමාමගෙ ව්‍යාපාරෙ ජයෙන් ජයම වේවා කියල බෑණ ඉත් සිතින් පතනව....!

ප/ලි
මම නරක තම්බින්ට හම්බයාද හොඳ උන්ට තම්බියාද කියමි.

Wednesday, April 2, 2014

දවස් හයක් රෑ පහක්..Journey to Moon with My Honey..!


ඇත්තටම අද බලපුවම හිතෙනව ඒක මහ පුදුම ගමණක් කියල.

අපි පටන්ගත්තෙ දෙදාස් තුනේ ජූලි විසි හය.

 24 තමයි අපේ හෝම් කමින් තිබ්බෙ. විසි පහ ඉරිද හති ඇරල ලැහැස්ති උනා. 26 උදේම පිටත් උනා. පටන් ගත්තෙ පානදුරේ, දේවිගෙ ගෙදරින් උදේට කාල.

දවස් කීපෙකට ඇඳුනුයි වතුර බෝතල් දෙක තුනකුයි. තව ඩිජිටල් නොවුන කැමරාවයි, සී ඩී තොගේකුයි..යන්නෙ කොහෙද, ඉන්නෙ කොහෙද දන්නෙ නෑ.  එන්නෙ කවද්ද, බලන්නෙ මොනාද, කිසිම සැළසුමක් නෑ. මහරගම,කොට්ටාව, පහත්ගම හරහ වෙදගම පැත්තෙන් නුවර පාරට ඔහේ ගියා.

"අපි සීගිරි යමු…" 

"හරි යමු."

නොකා නොබී කෙලිම්ම සීගිරියට. වෙලාව මද්දහන දොළහට විතර! සීගිරි කාර් පාර්ක් එකේ කඩේකින් දොඩං වීදුරු දෙකක් බිව්ව. හපන්න ඉරිඟු කරල් දෙක තුනක් ගත්ත. සාක්කුවල බිස්කට් තිබ්බ.

ඉර ඔලුව උඩ හිටවල වගේ..හෙහ්.. ඒත් ඉතින් අපිට තේරෙයිද ඒකෙ සැර? සීගිරි යෝධය ඉස්සරහට අර ගල් අල්ලපු පාරෙන් නෙමෙයි වටේන් අපි ඇවිදගේ යනව. තණ බිස්සෙ දුවන නාටු බල්ලො සන්තෝසෙන්..උලාකන හරක් ඉන්නෙ සැහැල්ලුවෙන්..හුළඟ අපිව ආපස්සට අදිනව..

කාෂ්‍යප කොහොම සතුටින් ඉන්නැද්ද!!!!

ඔන්න අපිත් සීගිරි නගින පෝළිමේ.ලඳුනුත් බලාන, කැටපත් පවුරත් පහු කරා.

සිංහ පාද ගාවින් උඩට යන්න බෑ. ඉස්කෝලෙ ළමයි බර ගානක් පෝළිමෙ. ආයි බැස්ස. කැලේ පැතිවල තිබ්බ නයි පෙන සිංහාසන සේරම බැලුව.

අපි දෙන්නයි කුරුල්ලොයි...තව හිටිය. ඉස්කෝලෙ නඩ වලින් මග හැරිල පෙම් කරපු සුදු ඇඳපු ජෝඩු…!
රෝල ඉවර වෙනකල් ෆොටෝ ගත්ත. අත් අල්ලන් ගුහා අස්සෙන් ඇවිද්ද. කුරුල්ලොන්ගෙ සද්ද පස්සෙ උන් හොයන් ගියා. බලු පැටවුන්ට බිස්කට් දුන්න. ඉස්කෝලෙ කොල්ලො එක්ක විහිළු කරා. දාඩිය යනකල් තන ගොල්ලෙ නිදා උන්න.

මහන්සි හිතුන. බඩගිනි දැණුන. අපි ආයෙ කාරෙකට ආව…

හතරට කිට්ටුයි. ආයි දොඩං බිව්ව. බඩගින්නට කන්න පැණි රහ දොදොලුයි අලි ආනමාලු කෙසෙලුයි ගත්ත. බොන්න ක්‍රීම් සෝඩයි නෙක්ටොයි.

ආයි අපි ගමනෙ..

දඹුලු විහාරෙ ගාවට එනකොට කන්න ගත්තුව ඉවරයි. ඒ උනාට බඩ ගින්න එහෙමමයි. ආයි අපිට කන්න කඩලයි වඳුරන්ට දෙන්න රටකජුයි ගත්ත.

දිග කළිසම් ඇඳල, පිළිවෙලට පෙලගැහිල පොඩි කාලෙ නැගපු දඹුලු ගල. අද නගිනව දණිහ ගාවට කොට කලිසමුයි රබර් සෙරෙප්පු දාගෙන. අන්තිම නිදහසේ..….

ඊයෙ නොදුටුව ලස්සන ලෝකය අද කොයින්හෝ......... ජීවිතේ….. සුන්දරද මෙතරම්....

සින්දු කිව්වෙ නෑ මුමුණ මුමුණ නැග්ග...

දිගටම රිළව්. පොරකනව මැණික් ගඟේ මාලු වගේ. කන්ද මගක් නගිද්දි රටකජු ඉවරයි. ඉන් පස්සෙ කඩල ටිකත් උන්ටම දුන්න. හරියට කලින් නොලැබුන කෑමක් වගේ කඩල, කජු කෑවෙ. උන් කන විදිය දැක්කම අපෙයි බඩ පිරුණෙ.

ගල දිගේ වෝටර් කමින් තඹ හැලියට ටාං ටාං....සිතුවම් බලද්දි බෙල්ලත් උළුක්කු වෙනව...
 
සතියෙ දවසකනෙ, සෙනග නෑ. ඒත් ඉතින් කැමරාව තනම්නෙ. ඒ හින්ද ඇතිවෙන්න ඇස්වලින් බැලුව. ගෙනිච්ච නෙළුම් මල් හතර එක ලඟම තිබ්බ මල් ආසනේ..

ඒ මල් තියල ජීවිතේ අනියත කියන්න වෙලාවක් නෙමෙයි. අපි බුදු හාමුදුරුවො දිහා බලාගෙන...උන්නාන්සෙ අපේ දිහා බලාන.....කිසි කෙනෙක් කතා නෑ. වෙලා ගියා තේරුනෙත් නෑ.

"රෑ වෙනව...අපි කොහෙද යන්නෙ?"

"ඇසළ පෙරහර කාලෙලු. රේඩ්යෝ එකේ කිව්වෙ."

"ඉතින්?"

"නුවර ගිහින් පොඩි පෙරහරහක් බලමු.."

"අන්න වැඩේ..සෙනග ඉඳීයි.. ද?"

"බලමු!"

"හරි ගිහින් බලමු.."

බුදු හාමුදුරුවො විතරක් අහගෙන අපේ කතාව...

අත් අල්ලගෙන සෙරෙප්පු ගලෝල, රත් උන ගලේ උඩ පැන පැන පහලට ආව. පව්...අර රිළව් බලාගෙන ඉන්නව. මොනා කරන්නද, කන්නත් නෑ, ගන්නත් නෑ. ඒක හින්ද දෙන්නත් බෑ.

"ඕගොල්ලන්ගෙ නෑයොනෙ...ඒකයි බලන් ඉන්නෙ."

"ඔව් වෙන්නැති. හැබැයි දැන් ඉතින් ඕගොල්ලන්ගෙත් නෑයෝනෙ..."

හිනාව දෝංකාර දෙනව.

"ඒයි..හය්යෙන් හිනාවෙන්නෑ, තාම පන්සල් බිම..."

"පන්සල් බිම නෙමෙයි උඩ...අපි බිම.."

"ම්හ්..."

ලොකු ලිඳකින් වතුර ඇදල අරන් අරලිය කිරි හෝදගත්ත.මල් ටික කාරෙකට දාගත්ත. කරුවල වැටීගෙන එනකොට අපි පිටත් උනා.

හීතල හුලඟ ඇරපු වීදුරු වලින් ඇතුල ඇවිත් රත්වෙලා ආපහු  යනව...අපි මාතලේ පාරෙ නුවරට යනව..

අකුරළ හුණුද අකුරණ හුණුද? තම්බි පැටව් පාර පුරාම...මුස්ලිම් උන්ගෙ පිරිමි ටවුම පහුකරල බිංගේ පැටිය යටින් කටුගස්තොට පාරටත් කතාවෙන් කතාවෙන් ඇවිත්..

පාර දෙපැත්තෙම කාර් සේල්. වහන පාර දිහා බලාන ඉන්නව.අපි දෙන්න නුවර පාර දිහා බලන් ඉන්න වාහනවල මූණු කියෙව.

සමහරු බුම්මගෙන, සමහර මූණු මූසල මූණු. තව එව්ව හිනාවෙලා. සමහරු ගිරා වගේ. බතල තොල්, ඇයි අලි ඇස්?

ඒගොල්ලන්ගෙ හැඩ බල බල නුවරට ඇවිත් දන්නෙම නැතුව. මිනිසුන් පිරි නුවර..වාහන පිරි නුවර..

වෙලාව නමයට කිට්ටුයි. පාරවල් එහෙත් වහල, මෙහෙත් වහල...ෆ්සූ... ෆ්සූ...සද්දෙ.  යන යන තැන පොළිස් විසිල්. කොහොම හරි කොනක් හොයාගෙන නවත්තගත්ත.

එතනම කරත්තෙක බූන්දි...පැණි වළලු..

කොහොම අහක බලන් යන්නද? කඩදාසි මල්ලක් පිරෙන්න වළලුයි බූන්දියි. මලුදෙකක්ම ගත්ත. මම බූන්දි කනව. දේවි පැණි වළලු කනව, ඉඳ හිට වළල්ලක් කඩල මගේ කටෙත් ඔබනව. ලයිට් දාපු පාරවල් දීගේ මිනිස්සු ගිය පැත්තට අපිත් ඔහේ යනව.

බෙර සද්දෙ ඈතින් ඇහෙන්න ගත්ත. එන්න එන්න සෙඟ ඝනකම වැඩි උනා.

"හැප්පි හැප්පි ක්‍රිස්මස් වගේ. අපි මෙහෙන් නවතිමු..ඔය යසට පේන්නෙ"

ඇත්තටම පෙනුනෙ නෑ යසට. ඒත් ඇයි බෑ කියන්නෙ? අපිට තරහවෙනවට, රන්ඩු වෙනවට, තර්ක කරනවට වඩා වැඩ තිබ්බ. ඒ රස විඳින්න. ඇත්තටම අපි ආවෙ ලඟ ඉඳන් අලි බලන්න නෙමෙයි, පෙරෙහර බලන්න. ඉතින් පෙනුන ඇති. අපි දෙන්න ඈත ඉඳන්, කඩේක පඩියක නැගල පෙරහරේ හැඩ බැලුව.

ඇත්තටම ලස්සනයි. අපි පැණිරස කකා තුරුල්වෙලා ඉඳන් බලපු පෙරහර හරිම ලස්සනයි. කාටවත් එච්චර ලස්සනට පේන්න නැතුව ඇති! ඒත් අපිට පෙනුන. පැණි රස උනත් වැඩිය කනකොට තිත්ත වෙනවලු. ඊට කලින් අපි ආව. පෙරහර ඉවර වෙන්න කලින් පඩියෙන් බැස්ස. තව කඩචෝරු කරත්තයක්.

බැදපු මය්යොක්ක, ටේස් කඩල වගේ සැර ජාති!

නොගෙන ඉඳී! තව මලු දෙකක් අපි අතේ. එයා මට කවනව, මගේ එකෙනුත් කනව, එයාගෙ එකත් කනව. පාරවල් ටිකාක් පාලුයි. අපි එන හින්ද වෙන්නැති! නිදහසේ හඳ එළිය තීන රෑක තරමක් සීතලේ පාරෙ කඩල කකකා ඕහේ ඇවිදගෙන යන ඊයෙ බැඳපු ජෝඩුවක්..!

හිතාගතෑකි නේද?

අපි අමාරුවෙන් කාරෙක හොයා ගත්ත. වාහනේට නැග්ගම තමයි ඊලඟ පියවර ගැන හිතුවෙ.

"නවතින්නෙ කොහෙද?"

"බලමු, මෙහෙ බැරි නම් නුවරට පිටින් බලමු, ඒත් නැත්තන් නුවරඑළි යමු."

"හා..."

අපිට ලොකු හෝටල්වල ඉන්න ඕනෙකමක් තිබ්බෙ නෑ. ඇයි වැඩිය සල්ලි යනවනෙ. සුවපහසු ආරක්ෂිත ලාභ තැනක් හෙව්ව. නුවර නුවර ඇතුලෙ ඔක්කොම පිරිල. යන්තම් යාලුවෙකුට කෝල් කරල තැනක් අහගත්ත.

අර රකුසු මූණු හිනා මූණු වාහන බලන් ඉන්න පාරෙ ආයි කටුගස්තොට ගියා. මහවැළි ගඟ අයිනෙ පොඩි හෝටලයක්.

බත් අහුරක් නොකා, කඩචෝරුවලින්ම ගෙවපු අලුත් ජීවිතේක මුල්ම දවසෙ අවසානය..!

මේ අපි කසාද බැඳල ගිය මුල්ම ට්‍රිප් එකේ පළවෙනි දවස. මේ විදියට අපි එක දිගට දවල් හයක්, රෑ පහක් ගියා.

ඒ නුවරින් පස්සෙ නුවර එළිය, නුවර එළියෙන් මහවැලි රජමාවත, රන්දෙනිගල රන්ටැඹේ හරහ මයියංගනේ, මහියංගනෙන් ලොග්ගල් ඔය, දුන්හිඳ හරහ බදුල්ල, බදුල්ලෙන් බන්ඩාරවෙළ හපුතලේ හරහ වැල්ලවාය, වැල්ලවායෙන් ඇඹිලිපිටිය, ඇඹිලිපිටියෙන් මිද්දෙනිය හරහ නෝනගම, නෝනගමින් ගාළු පාර දිගේ රත්මලානට එක දිගට දවස් හයක්!

මේ කතාවෙ එක දවසක් පින්තූර නැතිව මෙහෙම ලියන්න හිතුනෙ බින්දි හෙන්රිගෙ කෝච්චි පෝස්ට් එකේ දාපු කමෙන්ට් එකක් නිසා.

ආයි කවදහරි ළමයි ලොකු මහත් උනාම මෙහෙම යන්න පුළුවන් වෙයි කියල හිතනව. එතකල් මේ අතීතෙ පින්තූඅර බලල සැනසෙනව.


ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ අපි දෙන්න මංගල ගමන පිටත් උන අපූරුව!

LinkWithin

Related Posts with Thumbnails