Monday, September 26, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස!



කතාවෙ මේ කොටස පරක්කු උනේ මෙහෙ රටේ තත්වෙ හොඳ නැති හින්ද කළින් ගෙදර යන්න උනානෙ. අපේ කර්මාන්ත්ශාලාව 4ට වැඩ ඉවරකරන නිසා අනික් උන් ගියාම මං විතරක් පහ මාර විතර වෙනකල් ඉඳල මේකට කොටල යනව, මොකද ගෙදර ගියාම ජාලෙට කොට කොට ඉන්නවට වඩා පොඩි උන් දෙන්න එක්ක සෙල්ළං දාන්න තීන හින්ද.

ඒත් පහුගිය දොහේ මේ චන්දයක් හින්ද කබ්බො ෆෝම් වෙලා පූර්ව සහ පශචාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා හැම තැනම. ඉතින් පාරවල් වහල මහ ලෙඩ ගොඩයි. අද තත්වෙ ටිකක් හොඳ හින්ද ඉඳල ලියලම යනව කියල හිතුව.

...............

ලියුම අතට දුන්න අර තඩි සරීරෙ සුටුස් ගානකොට සෙනඟ ගොඩ අස්සෙ වාෂ්ප උනේ ඇයි එන්න එපා කිව්වෙ කියල අහන්නවත් ඉඩක් නොදී.

මොකද බං සින් එක, වංගෙඩි මොකද කියන්නෙ?

හසිතයටත් දැන් ඉවසං ඉන්න බෑ, මට ඊඩත් වඩා ඉන්න බෑ. ඒත් ඉතින් මේ දෙනෝදාහක් යන එන තැන ඕක කියවන්න පුළුවනෑ! ඒ නිසා උන් දෙන්නවත් ඇදං නැග්ග පනස් හතරට, ඉස්කෝලෙට ගිහිම්ම හිමීට බලනව කියල.

වෙනද වගේම ගාට ගාට ආපු බස් එක හරියට වෙලාව පහු උනාමම ඉස්කෝලෙ ගාවට ආව කිය කිය බැන්නට ඉතින් ඌ මොකෑ කරන්නෙ අපි පරක්කු වෙලා ආපු බස් එකක නැග්ගට!
සාමන්‍යෙන් වෙන ප්‍රාමාදවීම් සඳහා ලැබෙන චාටර් කාල අපි leader උත්තම්යින්ගෙ කර පිටින් පන්තියටත් ආව. දැන් ඉතින් ඉන්ටවල් එක වෙනකල් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියෙ මේ මඟුල බලන්න. මොකද කවුරුහරි තරහකාරයෙක් ඕක හොරෙන් බලද්දි ඔත්තුවක් දුන්නොත් එහෙම ඉතින් කෙලින්ම තව රුපියල් සීයක් හොයාගන්න එපැ‍යි අර දෙහිවල ට්‍රැක්ටර් ඩ්‍රයිවරයට දෙන්න. මිනිහනෙ අපෙ මාම හෙවත් මගෙ භාරකාරය ඉස්කෝලෙට!

ඔන්න අර කණ පිනවණ සීනු නාදෙ දහයමාරට විතර ඇහුන විතරයි අපේ මුළු බාල්දිවත්තෙ කණ්ඩායමම විද්ද පිට්ටනියෙ ඈත කොනකට. ඒ වෙනකොට වෙලා තිබ්බ සීන් එක අන්තිම පේලියෙ හෙවත් බාල්දිවත්තෙ හැමෝම දැනං හිටියෙ. (අපේ මම, රැල්ල, , පොඩි මල්ලි, හසිය, බන්ඩ, වැලිකල, කෝසල වගේ කණ්ඩායමම හිටියෙ පන්තියෙ පස්සෙම පේළිවල. අපි අපිටම බාල්දිවත්ත කියාගත්තෙ මොන ලෙඩක් උනත් කොනක අපි ඉන්නව, සමහරවිට ඇත්තටම නොහිටියත් අපිව අනිවාර්යෙන්ම සැක කරල ඉහල උසාවි නග්ගනවම තමයි. ඉතින් අපේ වත්ත බාල්දි වලින් පිරිල නිසා බාල්දි වත්ත කියල තමයි නම තියල තිබ්බෙ.)


ඔක්කොම එකා වගේ ලියුම බලන්න සෙට්. සහෝදර ප්‍රෙමෙනෙ. ඒ නිසා අපි ඔක්කොම ඔය වගේ විශේෂ ලියුන් බලන්න ලියන්න සෙට් වෙන්නෙ කණ්ඩායමක් හැටියට තමයි ගොඩක් වෙලාවට.

එදත් එහෙම කට්ටියම මගෙ ගැන සහෝදර ප්‍රෙමෙන් වට වෙලා ඉන්දැද්දඉ මම අර සුදු ලස්සන කොලේ හිමීට දිගාරින්න ගත්ත.

පහට හයට නමල උඩින් අලවල තිබ්බ එක පරිස්සමින් දිගෑරියට කවුරුත් කියවන්නෙ සද්ද නැතුව.

මම එක පාරක් කියෙව්ව...තව පාරක් ආයිත් පාරක්..

වෙන්දට මේ වගේ එකක් කියවල ඉවරවෙනකොටම ඇරෙන කටවල් තාම වැහිල මොකද කියල හිතිල වටපිට බලනකොට... මෙන්න උනුත් තාම ආයි ආයි කියෝනවද කොහෙද!

කාටවත් හිතා ගන්න බෑ ලියල තීන දේ! ඇයි එයා ඇයි මට මෙහෙම කියන්නෙ!

"ආදරණීය ඉන්දික අය්යා වෙත,

මම මේ ලිපිය ලියන්නෙ රෑ එකට විතර ගෙදර හැමෝටම හොරෙන්. ඔයාට මෙහෙම ලිපියක් ලියන්න වීම ගැන මුලින්ම දහස් වාරයක් සමාවෙන්න.

අපි දවසක් පන්තිය් ඉවරවෙලා කතාකරර යනව කවුද දැකල අම්මට කියල. අම්ම ඒක ජයසේන අංකල්ට කියල එයා ඊයෙ මගෙ පස්සෙන් ඇවිත්. අපි දෙන්න මැලිබන් එක ගාව ඉඳන් බස් එකට නඟිනවයි එකට පිටිපස්සෙ ඉඳගෙන එනව, බැහල එනව ඔක්කොම බලන් ඉඳල. පස්සෙ අද උදේ මම ඉස්කෝලෙ ආවට පස්සෙ මේ ගැන අම්ම එක්ක කියල. අම්මට එක ඇහුම්වම අලන්තෙ දාලලු!
ඔයා දන්නවනෙ අම්ම මට මොන තරං ආදරේද කියල. එයා මුළු දවසෙම පිස්සුවෙන් වගේ ඉඳල තීන්නෙ. මං ඉස්කෝලෙ ඇරිල ආවම මගෙන් මේ ගැන ඇහුවම මම නෑ කිව්ව. එතකොට ජයසෙන අංකල්ට කතා කරල එයා ඔක්කොම කිව්වම මගෙ ඇඟ හීතල වෙලා ගියා. මට මුකුත් කියා ගන්න බැරුව හොඳටම ඇඬුන.
අම්ම එතකොට "ඇයි දුවෙ උඹ මට මෙහෙම කරේ කියල අඬ අඬ ඔළුව මහ හය්යෙ බිත්තියෙ ගහ ගත්ත. මම කෑ ගහල අම්මව අල්ලන්න හදනකොට එපා උඹ මාව අල්ලන්න එපා, මං මැරෙනව මීට හොඳයි කියල කෑ ගගහ එළියට යන්න හදනකොට ආයි ජයසේන අංකල් පැනල අම්මව අල්ලගත්ත. අම්ම ඊට පස්සෙ මහ හය්යෙන් පපුවට ගහගෙ ගහගෙන ගියා. ජසේන අංකල් අම්මව ආයි අල්ලගෙන සැටියෙ වාඩිකරල මහ හය්යෙන් බනින්න ගත්ත.
මමත් අඬනව, නංගිත් අඬනව අම්මත් අඬනව. පස්සෙ ජයසේන අංකල් මට ඔයා යන්න කාමරේට කියල එළවගත්ත. මායි නංගිගියි කාමරේට ගිහින් අඬ අඬ ඉන්නකොට අම්ම ආයි ටිකකින් එතන්ට ඇවිත් මට බැනල බැනල "ලොකු දුවේ උඹ ඕක නැවැත්තුවෙ නැත්තං මං අද රෑම ළිඳේ පැනල මැරෙනව කියල මහ හය්යෙන් ආයි පපුවට ගහ ගත්තා.
ඒ එක්කම ජයසේන අංකල් ආයි ඇවිල්ල අල්ලගත්තෙ හින්ද සිහි නැතිවෙලා ගිය අම්මව බිම වැටුනෙ නෑ. පස්සෙ අපි වතුර ගහල අම්මට සිහිය ආවමත් එයා මොනාදෝ තනියෙන් කියව කියව හිටිය මිසක් කාත් එක්කවත් කතා කරෙත් නෑ.
අපි ඔක්කොම අඬ අඬ කාමරවලට වෙලා හිටිය. හවස තාත්ත ආවම අම්ම ආයි අඬ අඬ ඔක්කොම එයා එක්කත් කිව්ව, ඒ කියද්දිත් කිවෙ මේකි මේක නතරනොකලොත් මම ළිඳෙ පැනල මැරෙනව ඇර වෙන කරන්න දෙයක් නෑ...අපි මෙච්චර ලොකු මහත්කරල මේ විභාගෙ ලියන්නත් කලින් මඟුල් නටන්න ගත්තම නංගිත් මොනා නොකරයිද වගේ මහ ගොඩක් කතා තමයි. පස්සෙ අම්මයි තාත්තයි හිමීට මොනා හරි කතා කරල ඉවරවෙලා තමයි කට්ටියම ඕගොල්ලඟෙ ගෙදර ගියෙ.

ඊට පස්සෙ එහෙ මොනා කිව්වද දන්නෙ නෑ. ඒත් ආවට පස්සෙත් කවුරුත් කතා කරේ නෑ. පස්සෙ මට නංගි කිව්ව අංකල් ඇවිල්ල කියල. මට හරි භයයි අය්යෙ. ඔයාට තාත්ත ගහන්න ඇති නේද. මේ ඔකොම මගෙ මෝඩකම වෙන්න ඇති, නැත්තන් අපේ නොලැබීම වෙන්න ඇති. ඇයි ඒ ගොල්ලො මෙච්චර අපි දෙන්නට වෛර කරන්නෙ කියල මට හිතා ගන්න බෑ.
තාත්ත ආයි පස්සෙ රෑ කාමරේටම ඇවිල්ල මට කතා කරා. එයාලගෙ ලොකුම බලාපොරොත්තුව මම හින්ද මේ කාලෙදි කොල්ලෙක් යාළු කරගෙන මගේ ඉගනීම කඩා කප්පල් වෙයි කියල අම්මට හරි භයයි වගේම දුකයි, ඒ නිසා එයා මොනා කරගනීද දන්නෙ නෑ වගේ මහ ගොඩක් දේවල් කිව්ව. ඒ අස්සෙ ආයි අම්මත් ඇවිල්ල මගෙ කොණ්ඩෙන් අල්ලගෙ " උඹ ඕක නැවැත්තුවෙ නැත්තං මගෙ දුවෙ හෙට උඹෙ අම්මව අර ලිංකටින් ගනිං කියල මහ හය්යෙන් මාව තල්ලු කරල පිස්සුවෙන් වගේ දිව්ව. අපි කෑ ගහගෙන එළය ගිහින් අම්මව අල්ලගත්ත. ඔයා එනකොට මේ සේරම වෙලා ඉවරයි. මීට පස්සෙ මට ගමේ අයට මූණ දෙන්නත් බෑ, ගෙදර අයගෙ මූණ බලන්නත් බෑ. ඒත් ඒ ඔක්කොටම වඩා මට අම්ම ගැන හරි භයයි අය්යෙ. එයා මොනාහරි කරගත්තොත් අපි ඉඳල වැඩක් නෑ. අනේ අය්යෙ අපි දෙන්නට විභාගෙන් පස්සෙ ආයි එකතුවෙන්න පුළුවන් වෙයි. ඔයා හොඳට විභාගෙ කරන්න ඒතකොට අපිට කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ නේද?
ඉන්දික අය්යෙ ඔයා මගේම විතරයි, ඒක වෙනස් වෙන්නෙ නෑ. ඒත් අපි ටික දවසකට මේක නවත්තමු. මට අපේ අම්මට මොණව හරි උනොත් ජීවත් වෙලා වැඩක් නෑ. අනික මම දන්නව අම්ම ගැන, එයා කිව්වොත් කරනවම තමයි.

ඒ නිසා මම ගොඩක් ආදරෙන් කියන්නෙ මට බනින්න එපා ඔයාට ද්‍රෝහි උනා කියල, මට ඔයා වගේම අම්මත් නැතුව බෑ. ඒ හින්ද අපි මේ අවුරුදු දෙක තුන ඉවසගෙන ඉමු. අපිට කවදහරි එක් වෙන්න ලැබෙයි කියල හිත හාදාගමු.

තව ලියන්න බෑ මගෙ ඔළුවත් රිදෙනව. අනේ අය්යෙ මාව තේරුන් ගන්න, මින් පස්සෙ විභාගෙ ඉවරවෙනකල් මට කතා කරන්නවත් මාව හම්බවෙන්නවත් හදන්න එපා.

මීට ඔයාගෙම ආදර ගිහාණි.



සුදු ඩ්‍රොවින් පොතකින් ඉරා ගත්තු කොල දෙකක් පුරෝල ලියල තිබ්බ ලියුම දෙතුන් පාරක් කියවල ඉවරවෙනකොට ඉන්ටර්වල් එකත් ඉවරවෙලා. කට්ටියම ආපහු පන්තියට ගියෙ කිසි කතාවක් නැතුව. උන් ඔක්කොටම තේරිල තිබ්බෙ මං හිටිය තත්වෙ!

දිග කතාවක් කෙටි කරන්නං මේක දිගට ලියන එක මට වෙහෙසක් නිසා.

ඔය ලියුමෙන් පස්සෙත් මම ගිහාණිව හම්බ වෙන්න කීප සැරයක්ම ට්‍රයි කරා, ඒත් එයා මාව දන්නෙ නෑ වගේ මඟ ඇරල ගියා. පන්ති ගියෙ අම්ම එක්ක නිසා, පන්සල් යාමක් නැති නිසා වගේ ගොඩක් හේතු නිසා මට එයාට තනියම කතාකරන්න ලැබෙන අවස්ථාවනුත් අඩු උනා. ඒ අතරෙ එයාගෙ යාළුවො අතේ යැව්ව පණිවුඩ වලටත් කියල තිබ්බෙ විභාගෙ ඉවරවෙනකල් එයාට කරදර කරන්න එපා කියල විතරයි. මං යැව්ව ලියුන් නොගෙනම ආපහු හරවල එවල තිබ්බ.

බොහෝ මෝඩයින් වගේ මාත් බීමට සිගරට් එකට හුරු උනා. ඕ ලෙවල් ෆේල් වෙන එක මම දැනං හිටිය පාඩං කියල බීච් එකට වෙලා උඩ බලන් හිටිය නිසා. ඒත් අම්මනං මගෙ රිසල්ස් ආව වෙලාවෙ හරිය ඇඬුව විතරක් නෙමේ ගිහාණිට, මගේ ආදරේට සාප කරා, පන්තියෙ මුල්ම පහ අතරෙ උන්න එකෙක් මේ වගේ තත්ට්වෙට ඇදල දැම්ම කියල.
විභාගෙ ෆේල් නිසා සහ නරක හැසිරීම නිසා ඉස්කෝලෙන් දෙන්නං කාසි වලට ඒ ලෙවල් කරන්න දෙන්න බෑ කිව්ව. මමම අස් වෙලා ජිනරතනෙ ඉලෙක්ට්‍රිකල් වැඩ ඉගෙන ගන්න ගියා. ( එතනදි වෙච්ච පොඩි සිදුවීමක් තමයි ඊට පස්සෙ මාව ආයි වෙනස් කරල මේ තත්වෙට ගත්තෙ. ඒක වෙනම ලියන්නං )
ඔය අතරෙ ගිහාණි ඕ ලෙවල් කරා, ඒත් මාව මඟ ඇරිය. තව ටික කාලෙකින් මට ආරන්චි උනා එයා ට්‍රෙලක් එහෙම තීන මට වඩා හැන්ඩි සහ වැඩිමල් එකෙක් එක යාළුවෙලා කියල. ඌට සල්ලි තිබ්බ හින්දද කොහෙද කමල ඇන්ටි සුවිසයිඩ් කරගන්නව කියල නොතිබ්බත් ඒ ගෙදරටත් ගිහින් වැඩේ නවත්තන්න වගේ දඟලල තීනව කියලත් ආරංචි උනා.
පස්සෙ ඒ ලෙවල් රිසල්ට්ස් එන්න කලින් ගිහාණියි අර යෝධයයි බැන්ද. මම ඒ වෙනකොට ඉහලට අධ්‍යාපනය ආයි පටන් අරන්. මට මඟුල් ගේවත් කියල තිබ්බෙ නෑ. තිබ්බත් මම යන්නෙත් නෑ.

තව ටික දවසකින් ආරන්චි උනා ගිහාණිට බබෙක් ලැබ්න්න යනව කියල. බැඳල මාස හයක් විතර යනකොට බබා ලැබුන කියලත් ඒ ගැන මිනිස්සු එක එක කතා කියනව කියලත් ආයි ආරන්චි උනා.

මම ඔය අතරෙ ඉබ්බ වගේ මගේ ඉලක්ක කරා එනකොට ඒ ලෙවල් ෆේල් වෙච්චි ගිහානි දරුවත් අරන් මොන්ටිසෝරි යනව පාරෙදි කීප දවසක්ම හම්බ උනත් මගෙ මූණවත් බැළුවෙ නෑ!

ඔහොම ගිහිල්ල මම රටිනුත් ඇවිත් අන්තිමට කාලයක් ගියාට පස්සෙ තමයි මල්ලි ඊයෙ පෙරේද අර sms එක එවල තිබ්බෙ. මම හැරෙන තැපෑලෙන් මිනිහට කෝල් එකක් ගත්තම තමයි කිව්වෙ "ගිහාණි වෙන මිනිහෙක් එක්ක යාළුයි කියල මහේන්ද්‍රගෙ ( ඇගේ සැමියා - අර ට්‍රෙල් බයික් කාරයා ) අතටම අහුවෙලා ඒකිට හොඳටම ගහලලු. කමල ඇන්ටිට ඒක ආරන්චිවෙලා තීන්නෙ ගමේ වෙන කෙනෙක්ගෙන්. ඒ ලැජ්ජාවටලු ඒදා රෑ ළිඳෙ පැනල තීන්නෙ කියල මිනිස්සු කියන්නෙ!

…………………

මට මේ කතාවම මුල සිට අගට යළි සිහිවී මා පොඩී ගෙන් අසන්නට හිතා පසුව නෑසූයෙ මෙයයි. “තාත්ත එදා කිව්ව හරි නේද?”

මා මගෙන්ම අසා ගත්තේ මෙයයි. “මගේ ආදරය බිලිදී අම්මාගේ ජීවිතය බේරාගත්තේ මේකටද?”

ප/ලි,
බහුතර ඉල්ලීම මත ප/ලි ය කපා හරින ලදි!

Tuesday, September 20, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...III


කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...II

පුංචි sms එකක් නිසා හිතට ආපු තිගැස්ම දන්නෙම නැතුව මහ දිග කතාවක් ලියන්න පටන් අරන්.
මෙගා එකක් බලන්න වගේ පිරිස නැතුවට හිතේ තීන අමුතු හැඟීම තුනීවෙන්නකල් හරි ලියනව කියල හිතුව.
මතක තියාගන්න මේක ආදරේ හිතෙන ආදර කතාවක් නෙමෙයි, වෙන මොකක් හරි එකක්..

මුල එපිසෝඩ් දෙක ඔන්න පහල තීනව, බැළුවෙ නැති අයට!

වෙනදටත් වඩා පරක්කුවෙලා අම්මගෙ කටේ සද්දෙට නැගිට්ට ඉස්කෝලෙ යන්න ලෑස්තිඋනේ හරකෙක් මස් මඩු ගෙනියන ගානට. වෙනදට උදේට බස් හෝල්ට් එකේ ගිහාණිගෙ සුන්දර මුහුණ දකින්න යන්න කොයිතරන්නං සැරසිලද එළියට බහින්නෙ. ඒත් අර හිත ගුටිකාපු හින්දද මන්ද ඇඟට කිසි ෆිට් එකක් නෑ.

තාත්ත කියපු කතාව ඇත්ත වෙන්න පුළුවන්ද? කොල්ලො පස්සෙ මට විහිළු කරයිද, මම නිකං මොඩයෙක් වෙයිද වගේ ප්‍රශ්ණ ගොඩක් අස්සෙ ගොළුමඩම හන්දියට ආවද එවුනද මන්ද.

බන්ඩාරයයි හසිතයයි මං එනකල් කෙල්ලොන්ගෙ ගවුංවල හැඩ බලනව.

මුන් දෙන්නට ඉස්කෝල් යන කෙල්ලොන්ට වඩා ඔෆිස් යන උන්නෙ පේන්න බැරි. අනික අක්කල මල්ලිලගෙ විහිළුවලට ඇඹරෙනවත් වැඩිනෙ, ඉති හැමදාම උදෙම්ම ඇවිත් ස්කූල් බස් එක එනකල්ම එක එක කෙල්ලොන්ගෙ බ්‍රෙසියර් වල හක් ගලවන විදියයි, කළිසම ඇඳන් චූ කරන හැටියි, හුළං වදින කියුලට් ගැනයි කියෝ කියෝ ඉන්න එක තමයි වැඩිපුරම කරන්නෙ.

වෙන්දට මුන්ගෙ වැඩ අස්සෙ පැණි පිරිච්ච පෙම් බැලුන් බල බල ගිහාණි පස්සෙන්ම එන මං තනියෙං මොකද කියල උන් අහනකල් මටවත් හිතුනෙ නෑ.

“එතකොට එයත් අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද…..?”

මගේ අවුල් වෙච්ච මූණ ටක්කෙටම බන්ඩ කියෙව්වෙ "ගිහාණිලගෙ අම්මට උඹලව මාට්ටුද" කියල!

“ගිහාණිලගෙ විතරක් නෙමෙයි බං අපේ තාත්තටත් මාට්ටු…..!”

“හුxxx...%#$%^$*&^%(^%(”

හසිතයගෙ සොඳුරු සුන්දර වදන් සෙට් එකට මුංගෙන් කිචිකවා ගන්න අක්කල දෙන්නෙක් මල කනේ ගහං හැරිල බැලුවට ඌට වගේ වගක් නෑ!

උඹ අම්බානෙකට කන්න ඇති එහෙනං. ඒකයි මූ මේ වැනි වැනි ආවෙ. කෝ කට ඇරපන් බලන්න දත් අඩුද කියල..

“කෑ ගහන්නෙ නැතුව හිටපන් හුxx...ගුටි කෑවෙ නෑ..”.

“අනේ පළ යකෝ බොරු නොකිය...උඹලගෙ තාත්තගෙන් මෙහෙම එහෙකට ගුටි නොකන්නනං ඉතින් අංකල්ට කොටියෙක් වෙඩි තියල අම්බානෙකට උන වෙන්න ඔනෙ...”

“නැත්තං උඹ ඊයෙ රෑ ගෙදර නෙමෙයිද හිටියෙ...”

දැං මු දෙන්නගෙ පැණ විසඳුම් මුළු හෝල්ට් එකේම උන් අහගෙන...ඇයි ඉතින් දෙන එක දෙන්නෙත් දොඹෙන්නෙ...ඒ උනාට හදිසියෙවත් මුන්ට රැස්වීමක කතා කරන්න කිව්වොත් චන්ඩි කියන ඒව ඇහෙන්න ඈම්ප් දෙක දෙක දාන්න ඕන..!

“මෙහෙම කියන්න බෑ...වරෙන් අපි ගල්කිස්සට යමන්කො සීන් එක කියන්න...”
කියල කිව්වෙ මේ සෙනඟ ගොඩේ මුන් එක්ක මුළු විස්තරේම කියෝන හරි නැතිවේගෙන යනබව තිරුන හින්දයි. තව හිටියොත් මින් පස්සෙ බස් එකට නගින්න කඳවල පාර ගාවට බඩගාන්න වෙනව ෂුවර්, මොකද අපේ කාඩ් අපිමනෙ ඉතින් මේ පොලේ ගහගන්නෙ කුඩු කරගන්නෙ..!

“හරි යමන්කො එහෙනං...”කිව්වට අපිට ඕන ඕන වෙලාවට් සීටීබී බස් තීනවැයි, අනික තිබ්බත් නවත්තන්නෙ උන්ට ඕන විදියට මිසක් අපිට ඕන විදියට නෙමෙයිනෙ.

“ඒ අන්න සයන්ස් එකේ බස් එක එනව ඒකෙ නැගල ගල්කිස්සට යමන්...”හසිතය පාරෙ එහා පැත්තෙ ලේන් එකේ ආව හිස් බස් එක දැකල කෑ ගැහුව විතරයි වැඩි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, සෙට් එකම ෆුල් ස්ටන්ට් පාරක් දාල දඩ බඩ ගාල එල්ලුනා..

බස් එකට නැග්ගට මොකෝ එක ඉස්කෝලෙ ළමයෙක් නෑ, ඔක්කොම පාට පාට සූට් ගහපු ලොකු අය්යල අක්කල...

ඒ අස්සෙ හිටපු කැහැටු පොරක් එකපාරට උගෙ රැවුල් හිටවන්නගත්ත මූණ පුප්පල කියපි... ”ආ..ආ මල්ලි මේක මෙඩිකල් කොලෙජ් බහින්න බහින්න...” කියල..

“හුටා මේක සයන්ස් නෙමෙයි මෙඩිකල්නෙ බං...”හසිතයට කියවුනෙ ඌ දැන් ඉඳල ඉවරයි අපි මේකෙන් බැස්සුවොත්නං කියල හිතල වෙන්නැති..
එකපාරටම මූ...

“හරි හරි අය්යෙ විද්‍යා විද්‍යාලෙ මොකද වෛද්‍ය විද්‍යාලෙ මොකද අකුරු දෙකේ වෙනසනෙ, ඔන්න ඔහේ දාගෙන යන්න...”

කියල කියපු විදියට මුළු බස් එකේම උන්ට හිනා..

අර අය්ය කාරය උගෙ කැහැටු මූණත් අරන් නිකං සජිකල් ස්ප්‍රීට් වගේ වාෂ්ප උනා.

හොඳ වෙලාවට බස් එක අවුල් නිසා අරුන් දෙන්නත් සද්දෙ වහගෙන හිටිය, මගෙන් මුකුත් ඇහුවෙ නෑ, මාත් අර වමාර කන ගොනා වගේ මුළු සීන් එකම රිවයින් කර කර බල බල ගල්කිස්සටම ගියා.

බස් එකෙන් බැහැපු ගමන් සුපර් මාර්කට් එක එහා පැත්තෙ නවත්තල තිබ්බ එකසිය පණස් හතරකට රිංගුවෙ සීන් එක නිදහසේ දිගාරින්න.

කතාව මුල ඉඳල අගටම අරුංගෙ ප්‍රශ්ණ, ගැටපද ලිහ ලිහ කියල ඉවර උන් ගමන් දෙන්නම දුන්නෙ එකම අවවාදය.

“උඹලගෙ තාත්තට පිස්සු බං. උඹට ඒකි ආදරේ එනං ඒකි උඹට ආදරේ නං වෙන මොනාද බං. අනික මේ කමල ඇන්ටිව උඹ කර උඩ තියන් ඉන්නවද. අනික ඔය පරණ කතා මොන මඟුලට ගනං ගන්නවද, පිස්සුද බං ඕගොල්ලො ඔහොම තමයි, මොන බයිල කිව්වත් අන්තිමට අපි සෙට් කරගන්න ඒවට කවදාවත් කැමතිවෙන්නෙ නෑ..ඕව ඔක්කොම හරියනව බං කාලෙත් එක්ක...අම්මල තාත්තල ඔහොමම තමයි උඹ කියපන් තාත්තටත් නැවැත්තුව කියල, ඒකිටත් එහෙමම කියන්න කියල ඕක සීක්‍රට් එකේ කරන්පලයන් පාර දිගේ පැණි හල හල චාටර් වෙන්නැතුව ...”

වගේ බොහොම සිත දිරිගන්වන, කළ්‍යාන මිත්‍ර උපදෙස් ටිකක් සහ අපේ තාත්තගෙ සහ සියළුම තාත්තලාගේ මොඩ වැඩ ගැන් දොෂාරොපන කිහිපයක් තමයි.

මගේ අතිජාත මිත්‍රයන්ගෙන් ලැබිච්ච වටිනා උපදෙස් නිසා හිතට ලොකු ගැම්මක් එක්ක මාර ගටක් ආවෙ.

“හරි..තාත්තටයි උන්ගෙ අම්මටයි xx ගන්න කියල මං මේක කරනව...”එහෙම කියල අපි සෙට් එක බස් එකෙන් බැස්ස යන්න කිට්ටු පනස් හතර සීටීබී එකකට නගින්න හිතං.

ඔන්න ඔය අස්සෙ එකපාරටම හරෝපු දෙසිය පනස් පහක ඉඳල බැහැල එන සුදු ගවුන් ගොඩක් දැකල අරුන් දෙන්න ස්ලෝ උනා, අර පුරුදු දණිස් අමාරුවටදත් මන්ද.

“ආ… ඉන්දික අය්යෙ...මේ...”

කවුද බොලේ ඇලිස් කියල බලනකොට මෙන්න ගිහාණිගෙ යාළුව සුමුදු මං ඉන්න පැත්තට පෙරළෙනව ඇස් බෝල කරකර. පොළව හොල්ලන් ආව අර තඩි සරීඉරෙ යන්තන් මං ගාව නැවතුනා...


කෝ ගිහාණි...

“එයා එනව...අද එහා හෝල්ට් එකෙන් බහිනව කියල පිටකොටු බස් එකක නැග්ග. ඔයාට මේක දෙන්න කිව්ව...දවල්ට එයා එනකල් ඉන්න එපා කියන්නත් කිව්ව...”

කියල පොඩියට නවපු ලස්සන සුදු කොළයක් අර වංගෙඩි කකුල් වහගත්ත ගවුමෙ සාක්කුවකි ඇදල අරන් දුන්න..

ලියුමෙ තිබ්බ ටික හෙට නිද්දට...බනින්න එපාල. අමෙහෙ ආයි කරදර...රෑ වෙන්න කලින් ගෙවල් වල යන්න ඕන...

ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස!

Wednesday, September 14, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...II




කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...I


තාත්ත හිටගෙන් ඉඳැද්දි මං කොහොමද ඉඳගන්නෙ. හිමීට ඇහුණෙ නැති ගානට ජනේලෙ උඩින් එන මදුරුවෙක් දිහා බලාගෙන ඔහේ උන්න.

පුටුවෙ කුෂන් තදවෙන සද්දෙන් තේරුනා තාත්ත ඉඳගන්න බව. මම තාම මදුරුවගෙ ගමන් මාර්ගය නිරීක්ෂනයෙ.

"ඇයි……." මාව ආයි ගැස්සුනා.. …“ගිහින් පොත්වල වැඩක් කරගන්නව”

බලනකොට මට නෙමෙයි ඒ නංගිට. “හොඳ වැඩේ, එනව මෙතන කෝප්ප හෝදන්න”...හිතුවට මම තාම කතා නෑ.

ලොකුපුතේ... මේව ගමට ඇහෙන්න කෑ ගහල කතා කරන්න පුළුවන් ඒව නෙමෙයි. ඒ හින්ද ඔහොම ඉඳ ගනින්... ඒ මාව දැපනෙ වැටනෙ අම්මගෙ වචන...

තාත්ත ඉස්සරහ තනි ලොකු පුටුවෙ මම ඉඳ ගත්තෙ අම්ම දිහා බලං...

"මොකද්ද ලොකු පුතේ මේ මිනිස්සු මේ කියන්නෙ? ඇයිඅපිට මේ වගේ කතා අහන්න දෙන්නෙ..ඔයා කොයිතරං තේරෙන ළමයෙද" අම්මගෙ හැම දාම මගෝඩියක් කලාට පස්සෙ කියවන රෙකෝර්ඩ් එක පටන් ගත්ත...

“ඔයා පොඩ්ඩක් කටපියා ගන්න" ටිකක් තදින් කිව්වට මොකද තාත්තගෙ හඬ අමුතුයි.

“ලොකුපුතේ….." කවදාවත් තාත්ත මට කතා නොකරපු අමුතුම ටෝන් එකක්..තවදුරටත් අහක බලන් ඉන්න හයියක් තිබ්බෙ නෑ, ඒත් කෙළින්ම මුණ බලන්න බැරි කමට තාත්තගෙ පළල් උරිස්ස ලඟින් පේන කණප්පුවෙ කැටයං දිගේ හිමීට උඩට බලං ආවෙ රකුසු මූණ දකින්න හිතං.

කවදාවත් නොදැකපු මහා පරාජයක්ද නැත්තං පහුගිය අවුරුද්දෙ අපි ඔක්කොම මරණව කියල තුණ්ඩුව ආව දවසෙවත් නොතිබ්බ බයක්ද මන්ද ඒ මූණෙ තිබ්බෙ!
කොහොම උණත් තාත්ත එහෙම ඉන්නව දැක්කම මට භයකට වැඩිය දරුණු මහ අමුතුම හැඟිමක් ඇති උනා.

“පුතේ...දන්නවනෙ කමල ඇන්ටි මොනාද කියල යන්න ඇත්තෙ කියල? මට ඔය වයසෙදි තේරුණාට වඩා ගොඩක් දේවල් අද ඔයාට තේරෙනව. මායි අම්මයි කසාද බැන්දෙ අපි දෙන්නගෙ තනි කැමැත්තට නිසාඅපි වින්ද හැම දුකක්ම සතුටක් විදියට භාර අරන් අද ඕගොල්ලොත් එක්ක සතුටින් ඉන්නව. අපි වින්ද දුක අපේ දරුවොන්ට දෙන්නෙ නෑ කියල හිතා ගත්තෙ උඹල උපදින්නත් ගොඩක් කලින්. ඒත් හිතාගන්න බැරි තරං ලොකු පවක් කරල හින්ද වෙන්න ඇති උඹ අද අපිට කැමතිවෙන්න බැරි කෙනෙක් එක්ක සම්භන්ධයක් පටන් අරන්. අම්ම මොනා කිව්වත් මම උඹ කරපු දේට විරුද්ධ වෙන්නෙ නෑ. ඒ උනාට මෙන්න මේක මතක තියා ගනින්. අද මගෙ දරුවො හැටියට උඹලට ලැජ්ජාවක් නැතිව ආච්චි කවුද සීය කවුද කියල මගේ ගමට ගිහින් හරි අම්මගෙ ගමට ගිහින් හරි බලන්න කතා බහ කරන්න පුළුවන්. අපේ නෑයො අහවල්ලු කියල ඕන කෙනෙක්ට කියන්න පුළුවන්.
අම්මයි මායි ගැන කිසි කෙනෙක් කිසි කතාවක් කියන්නෙ නෑ. මම අවුරුද්දට මාස තුනයි ගෙදර ඉන්නෙ කියල උඹලගෙ අම්මට කිසි කෙනෙක් නරක යෝජනා ගේන්නෙ නෑ. ඒ අපි ඉන්න විදිය ගැන හැමෝම දන්න නිසා. හෙට උඹ ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනාවොත් උඹේ යාළුවො ඒ ගෑණිගෙ අම්මට සැක නැතුව අඳුන්නල දුන්නෑකිද? උඹෙ මණමාලිව පෝරුවට නග්ගන්නෙ කමලගෙ මිනිහද නැත්තං අර පිටිපස්සෙ කාමරේ ඉන්න උඹෙ ඔය කෙල්ලට වියදං කරල උගන්නන දෙවනි මිනිහද? කවදහරි දවසක ඒ කවුද කියල උඹේ දරුවෙක් ඇහුවොත් මොකද්ද පුතේ දෙන උත්තරේ…?”

මගේ ඔළුව කැරකෙන්ට පටන් අරන්ද මන්ද! තාත්තට පේන මේ දේවල් නෙමෙයි මට පෙණුනේ ගිහාණිගේ සුන්දර මුහුණ විතරමයි. මම බඳින්නේ ගිහාණිව විතරක්ම විතරක් නෙමෙයි කියල දැන්ද එතකොට මට තේරෙන්නෙ....

“ලොකුපුතේ...උඹ ඕන කුලේක ඕන දිහාවකින් කැමති කෙනෙක් හොයල යාළුවෙයන්...”

මෙය තාත්තා කෙනෙකුගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන් වචනයක්ද? අපේ තාත්තා කලාතුරකින් හම්බවෙන අමුතුම මිනිහෙක් කියල අම්ම කියන්නෙ මේ හින්දද?

“හැබැයි උඹ් බඳින කෙල්ලගෙ වගේ පවුලෙ උන්ගෙත් චරිතෙ හොඳ නැත්තං උඹට හැමදාම වෙන්නෙ සැකෙන් බයෙන් ජීවත් වෙන්න. ලෝකෙන් වහං වෙලා හැංගිල ඉන්න. මිනිස්සු ඉස්සරහ මෝඩයෙක් විහිළු කාරයෙක් වෙන්න. ඉස්සෙල්ල මං කියපු දේවල් ගැනයි, උඹෙ ගෑණු ළමයගෙ අම්ම ගැනයි තාත්ත ගැනයි අර ජයසේන ගොය්ය ගැනයි මිනිස්සු කියන්නෙ මොනවද කියල හොඳට හොයල, ඒ අය ගැන කවුරුත් හොඳක් කියනවද බලන්න. ඉන් පස්සෙ ඔයාගෙ ගෑණු ළමයගෙන් අහන්න කවුද ජයසේන කියන්නෙ කියල? ඔය දෙකට හිත සතුටුවෙන් උත්තරයක් ඔයාටම හොයා ගන්න පුළුවන් උනොත් මං ඊළඟ නිවාඩුවට ආවම මට කියන්න. මේ මුළු ලෝකෙම උන් අකමැති උනත් මං ඔය දෙන්නට එදාට ආශිර්වාද කරනව. එහෙම සතුටු වෙන්න පුළුවන් උත්තරයක් ලැබුනෙ නැත්තං, ඔයා මං එක්ක මේ ගැන ආයි කතා කරේ නැත්තං මම හිතනව ඔයාට කරුණු කාරණා තේරිල මේ ගැන හරි තීරණයක් ගන්න ඇතියි කියල. එකක් මතක තියා ගන්න. ආයි ඔයා මේ ගැන මා එක්ක කතා කරනකල් අදින් පස්සෙ ආයි මේ ගෙදර කවුරුත් කතා කරන එකකුත් නෑ… ඔයා මම කියපු විදියට පිටින් ගියොත් ඉන් පස්සෙ කවුරුත් ඔයා එක්ක කතා කරන එකකුත් නෑ...එච්චරයි!”

දහයෙ වසරෙ අග හිටිය මට බොහොම වැඩිද මන්ද ඒ කියපුව! ඒත් මහා බරක් පිරිච්ච හඬකින් තාත්ත කියපුව මගෙ බොක්කටම වැදුන කියල තේරුනේ ඒදා රෑ මට නින්ද නොගිය හින්දමද නැත්තං රෑට කන්නවත්, අඩු ගානෙ රේඩියෝ එකේ කතාවක් සින්දුවක් අහන්නවත් හිතුනෙ නැති හින්දමද මන්ද!

ඒ දවටම අම්ම, නංගි පොඩී, චූටි, කවුරුත් කතා කරේ නෑ. හරියට මල ගෙයක් වගේ. මට කිසි කෙනෙකුට ට මූණ දෙන්න බැරි මහ ලැජ්ජාවක් උන් ගානයි. මටම හිතා ගන්න බැරි උනා මම මොනා කරන්ද කියල. කිසි දවසක බණ නොකියන තාත්තගෙන් පළවෙනි පාරම අරහෙම කතාවක් ඇහුවම දරා ගන්න පුළුවන් කාටද! මොලේ විකාර වෙලා මූණවත් හෝදන්නෙ නැතුව ඇඳ උඩ උඩ බලං හිටපු මට අන්තිමට නොකාම නින්ද ගිහින්.

ප/ලි.

අද සිංහබාහු ඉස් ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය දවස. විශේෂය ඉස්කෝලෙ යාමටත් වඩා ඒක මම මීට අවුරුදු ගාණකට කලින් අනූ එකේදි දැකපු හීනයක්, හදා ගත්ත ටාර්ගට් එකක් ඇචීව් කිරීමක් නිසා. ඒ ගැන විස්තර හෙට පත්තරේ.

කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...III

Saturday, September 10, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...


ලොකු අය්යෙ කමල ඇන්ටි ළිඳේ පැනල මැරිල!

උදේ පාන්දර පොඩී ඒවපු එස් එම් එස් එක කියවල එතනම ඉන්දවුනෙ, ඒ පණිවිඩෙන් මං මේ තරන් ෂොක් උනේ අවුරුදු විස්සක් ගිහිල්ලත් තාම ඒ මතකය හිතේ හිරවෙලා තිබ්බ හින්දද නැත්තං හිතවත් කෙනෙක් නැති උන දුකටම විතරක්ද.


….............

අපි ඕ ලෙවල් පන්තියෙත් නෑ එතකොට.

කමල ඇන්ටිගෙ ලොකු දුව එක පාරට හත්තක් වගේ පිපිල ආවෙ ගමේ කොල්ලො කාටවත් හිතාගන්න බැරි විදියට.

මුළු පලාතෙම අපේ වයසෙ කොල්ලො එකපාරට මේ අලුත් කෑල්ලට ට්‍රයි කරේ හරියට වෙන කෙල්ලො දැකල නෑ වගේ! ඒත් අල්ලපු වැටේ හිටපු මම ගේමට බැහැල හිටියෙ ඊට හුඟක් කලින්!

……….

ඒ ලොකු අය්යෙ මේ මෙහෙ එනව පොඩ්ඩක්......අපේ බාලය නොහොත් නමට නංගිගෙන් කැඳවුමක්..

ඇය් මොකෝ...මම මේ පොතක් බලනව පේන්නැද්ද.. කිව්වෙ කම්මැලි කමට වඩා ලොකු කමට වගේ...

ආ එහෙනං ඔතනම ඉඳං අහගන්නවකො...

කියනව ඉතින්...

මේ මට අර ගිහානි අක්කලගෙ පන්තිය ගාවින් යන්න බෑ හලෝ....

ඇයි මොක්ද උන් එතන චූ කරලද?

ඉකේ මෙයා කියන ඒව..ඒ කොල්ල ංගෙ ඉස්කෝල වල වෙන්නැති...අපි එහෙම කරන්නෑ මෝඩයො...

එහෙනං ඉතිං.

ඒ ගොල්ලො මාව පන්තියට ඇදන් ගිහින් ඔයා ගැන විසතර අහනව, එක එක ඒව කියවනව.

මොනාද බං ඒ වට්ටි අම්මලට මං ගැන කියවන්න තීන්නෙ?

ඔරොප්පුවට වගේ ඇහුවට මාර සතුටුයි හිත යටින්. ඇයි යකඩො කෙල්ලො ගොඩක් මා ගැන හොයනව කියන්නෙ!

තමුසෙ ගිහානි අක්ක එක්ක යාළුයිද?

හපෝ මේකිගෙ කට….……පොත දාල අඩි දෙකට ලඟට පැන්න බෝම්බෙ නිෂ්ක්‍රිය කරන්න හිතන්...

ඒයි හිමීට බූරුවො අම්මට ඇහුනොත් ඉඳල ඉවරයි...

හරි හලෝ..අම්ම ළිඳ ලඟ, ඇහෙන්නෙ නෑ. ඇත්ත කියනවකො ඉතින්...

තාම නෑ හලෝ මං තාම ට්‍රයි...මේකිව විස්වාස කරන්න බැරි බව මං දන්නෙ අද ඊයෙකයැ!

එහෙනං අර අක්කල කියන්නෙ..

ඒ උන් කිව්වට තාම ගිහානි මට කියල නෑනෙ...

හරි එහෙනං මං ඒ ගොල්ලන්ට කියන්නංකො අය්ය තාම එහෙම දෙයක් දන්නෙ නෑ කියල…..
මල කෙළියක් වෙයි වගේ...යන තැනකට යන්න රත්තරං කියල මං සද්ද නැතුව හිටිය.

ඔන්න දැන් සුන්දර පෙම් කතාව නොහොත් මගේ පළමු පෙම ( අපේ පළමු පෙම ) බස් පස්සෙ, පිට්ටනිය පාරෙ ගලාගෙන යනව.

මගේ අතිජාත මිත්‍රයො මිදි කඩා ගන්න බැරුවට ගහපු මඩ, දීපු ලණු වලින් අඩුවක් නෑ.

ඒයි මුගෙ බඩුවට මූට වඩා රැවුල තීනවනෙ බං...

ඒකි ඇවිදිනකොට නිකං ගමටම ගහන්න වගේනෙ එන්නෙ...

උඹට වඩා ඒකි උසද බං?

මොනාද යකෝ බාල අපරාධ කරන්නෙ, තාම ඒකි අටේ පන්තියෙ නේද?

මේ දැන් උඹල බඳිනකොට ඒකිව පෝරුවට නග්ගන්නෙ සුමනෙ අංකල්ද ජයසේන ගොය්යද?

මේ කියන්නෙ ඒ කෙල්ලටම ලියුන් දෙන්න ඉල්ලගත්ත මෝට බයිසිකල් වල පස්සෙන් ගිය උන්, බස් හෝල්ට් එකේ තැපපු අය්යල, තව ගිහානිගෙ යාළුවො යාළුවෙලා උන්න උංගෙ යාළුවො එහෙම. දැං මුන්ට පරණ ට්‍රයි අමතකයි, හදන්නෙ මට කෙළවන්න!

මොන බාධක ආවත් බයෙන් බයෙන් වගේ අතින් අල්ලං බස් එකේ කොනේ මුකුළු කර කර ගිය ප්‍රථම ප්‍රේමය නැගල යනව.

දවසක් මං නුගේගොඩ පන්ති ගිහින් හයට විතර ගෙදර එනකොට උඩ ගෙදර නිරෝෂනය එක්ක පොඩී ඉන්නව බෝ ගහ ගාව මං එනකල්.

ලොකු අය්යෙ තමුසෙ දැම්ම යන්න එපා...

ඇයි.???

තාත්තත් ගෙදර ඇවිත් ..

ඉතිං...මට මොකද...මොනා හරි කන්නත් ගෙනත් ඇතිනෙ හලෝ...

කන්න හම්බවෙයි...අන්න කමල ඇන්ටියි සුමණෙ අංකලුයි හවස ඇවිත් සීන් එක ඔක්කොම කියල...තාත්ත ඉන්නෙ තමුසෙ එනකල්...

කකුල් පණ නැතුව යනව තෙරුනෙත් නෑ, මව එහෙමම තාප්පෙට හේත්තු උනා..

හමුදා නිළධාරියෙක් වෙච්චි තාත්තගෙ සිනිදු සංග්‍රහය කාලෙකින් නොලැබුනාට කොහොම අමතක වෙන්නද.....

දවල්ට හරිකට කාලවත් උන්නං ගුටි කන්න ෆිට් එකක් තියෙන්න තිබ්බ...ඒකත් නෑ, කන්නෙ කොහෙද ඉස්කෝලෙන් පන්තිනෙ කෙලින්ම...

අද පුතෝ උඹ ඉවරයි... කමල ඇන්ටි පැය ගානක් අඬ අඬ විස්තරේ කියල තීන්නෙ..

නිරෝෂනයත් නිකන් හිටිය වගේ කියන්නෙ...මුං යකෝ මේ ඇවිලෙන එන්ජිමටමනෙ අඟුරු දාන්නෙ...පර බල්ලො....

ඒක අතකට කමක් නෑ...මිනිස්සු ආදරේ වෙනුවෙන් ජීවිතය පූජ කරල තීන්නෙ...වෙන මඟුලක් වෙන්නැතෑ..

කමක් නෑ පොඩී එනවකො යන්න...ගැහුවොත් අද විතර නෙ...

පොඩිත් පස්සෙන් වැටුනට මාත් ඌත් බයෙන් බයෙන් වගේ ගේ ලඟටම ආව.

සද්දයක් නෑ, එළියෙ ලයිටුත් දාල. හිමීට ගෙට වැදිනකොටම කාමරෙන් එළියට එන නංගි මාව දැක ආයි ඇතුලට වැදුනෙ ගුලට වැදුන තලගොයා වගේ!

එයා එක්කම මැසේජ් එකත් ඇතුලට ගිහින්ද කොහෙද මම කාමරේ පහු කරනකොටම...

ලොකුපුතේ මෙහෙ එනව...

තාත්තගෙ අර ගොර්හැඩි සද්දෙ..
දැං මුලින් කොයි කණට වැදෙයිද ෂුවර් නැතුව හැරුනට මොකද තාත්තගෙ මූණ හිතුව තරම්මනරක නෑ වගේ...

මෙහෙං ඉඳගන්නව........

පන්තියෙ එකෙක්ගෙ පැනසලක් හොරෙන් ගෙනත් උන්ගෙ අම්ම ඇවිත් කොම්ප්ලේන් කරාම කෙහෙල් ගහක බැඳල ගහපු, හොරෙන් තැඹිලි කඩල ඒ ගෙදර ඇන්ටි ඇවිත් කිව්වම අත පැලෙනකල් වේවැලෙන් ගහපු ඒ තාත්තමද මේ! ඉඳගන්නව කියන්නෙ, මං හිතුවෙ දැම්මම දොට්ට දායි කියල...


…………………..
දැන් ගෙදර යන්න තීනව...හාමිනේයි පොඩි උන් දෙන්නයි එනකල් බලන් ඉන්නව...ඉතුරු ටික හෙට අනිද්දට......

----------------------------------------------------

කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...II

LinkWithin

Related Posts with Thumbnails