Sunday, July 31, 2011

සිංහ බාහුගේ සිංහ ටෝක්!




අපේ ලොකු බාහුගෙ කතා වලින් මෙගා එකක් ලියන්න ඇහැක් වෙයි වගේ යන විදියට.

ඒත් ඉතින් නිකන් මොකටද හාමිනේගෙන් ලෙඩක් දා ගන්නෙ! මේව තැන් තැන් වල කියල ළමයටයි හොඳ නැත්තෙ කියල කිව්වොත්. ඒ හින්ද අද මේ කතා දෙකට පස්සෙ කාලයක් ලියන්න හිතන් ඉන්න ලිපි සේරීස් එක පටන් ගන්න බලනව.

ලොකු බාහු ගෙ මහලොකු කතා 1.

සාමාන්‍යෙන් අපේ සිකුරාද වේල කඩෙන්.

මොකද නෝන ඕෆ්! මම වැඩ ( සුද්ද කරන අස් කරන තණකොළ කපන, මල් ගස් වලට සාත්තු කරණ, වැසිකිළි හෝදන වගේ බර වැඩ )

පහුගිය සිකුරාදාවක ඔහොම මායි අපේ ලොකු බාහුයි දෙන්න රෙස්ටුරන් කඩේකට ගිහින් කන්න යමක් උස්සන් ආව පුරුදු විදියටම.

වෙනදට ගෙනා ගමං කනව උනත් එදා පුත්‍රය නාල නොහිටි නිසා අම්ම කිව්ව මෙයාව නාවලම ඉමු කියල. ඉතින් අරූට මල! කෑම කන්නමයි පොරේ. ටිකක් වෙලාවත් පැනල.

ඇත්තටම මාත් මිනිහගෙ පැත්තෙ තමයි. ඒත් සද්ද නැතුව උන්න (බඩට මිස කණට කන්නෙ මොකැයි කියල)

කොහොමහරි වදෙන් පොරෙන් නාවල ගත්ත බාහු ක්‍රීම උලල භාරදුන්න මට අන්දවන්න.

මූ බඩ ගින්නට එක එක විකාර කරනව, කලිසම කකුලට දාන්නම දෙන්නෙ නෑ. මටත් බඩගින්නෙ. හොඳම එකෙන් තද උන පාර අල්ල ගත්ත පොඩි අත් දෙකෙන්.

මම - ඉක්මනට මේක ඇඳගන්නවද නැත්ද?

බාහු; හිකිහිකි ... (කෑම කොහොමත් ඉල්ලපු වෙලාවට නොදීපු එකේ තව ටිකක් පරක්කු කරන්න කියල හිතල වගේ )

හිනා වෙලත් බෑ නොවිත් බෑ... ඒ විකාර මූණ නොබලම ස්ද්දෙ ටිකක දාල....

මම; දැන් ඉක්මනට මේක ඇඳගෙන කන්න ආවෙ නැත්තන් අද කෑම නෑ….මගෙන් මුලු දවසෙම ගුටි තමයි කකා ඉන්න වෙන්නෙ!

බාහු; එහෙනං ඉතින් තාත්තටත් කන්න වෙන්නෙ නෑනෙ!


මේ මොකාටද මූ එන්න හදන්නෙ. ඒ වෙලාවෙ ඇත්තටම තද උනා. ඇයි යකෝ අර කෑම එක සුවඳ ගගහ ඉන්දැද්දි මං කන එක මොකා නවත්තන්නද?

මම; ඒ මොකද ඒ. හුහ් ..

බාහු; ඇයි ඉතින් තාත්තට කන්න වෙන්නෙත් නෑනෙ..දවසෙම බබාට ගුටි කව කව ඉන්නකොට...

#@#%^%$*%^$&^%)&*(^)*&)(*&)(&*)



මහ ලොකු කතා 2.


මම දවල් කෑමට ගෙදර ගිය වෙලාවෙ මිනිහ දුවගෙන ඇවිත් දොර අරිනව අතේ පුංචි ජීප් පැට්ටෙකුත් තියාන.

ගෙට ගොඩවෙලා ඉඳගන්නත් කලින්

බාහු; තාත්තෙ, මොකද්ද තාත්තෙ මේ මේකෙ යට ලියල තීන්නෙ


මම; ඒ පුතේ හමර් H2 කියලනෙ.

බාහු; නෑ නෑ, මේ චූටියට මෙතන තීන්නෙ.

මම; ඒ ටීම් ජී එම් කියල..

බාහු; ඒක බබා දන්නව...මොකද්ද ටීඑම් ජීඑම් කියන්නෙ කියල අහන්නෙ?

මම: ටී එම් කියන්නෙ පුතේ ට්‍රේඩ් මාර්ක්...ජී එම් කියන්නෙ ජෙනෙරල් මෝටර්ස්..

මේ සමර් එකෙන් පස්සෙ අලුත් අවුරුද්දට හාදය ඉස්කෝලෙ යන්න පටන් ගන්න නිසා ඒ වැඩේට උනන්දුව වැඩි වෙන්නත් එක්ක කියල හිතල

"ඒකනෙ තාත්ත කියන්නෙ හැම තිස්සෙම බබාට ඉක්මනට ලොකුවෙලා ඉස්කෝලෙ යන්න කියල, ඉස්කෝලෙ ගියාම ඕව ඔක්කොම දැන ගන්න පුලුවං"

කියල මං තව සීනි ටිකක් අතිනුත් දැම්ම..

මගේ කතාව අහගෙනම පොඩි එකා දිව්ව කුස්සියට...ගිහින් මෙන්න මූ අම්මගෙන් අහනව..

"අම්මෙ අම්ම ඉස්කෝලෙ ගියෙ නැද්ද?"

අම්මත් ආදරෙන්..( මං කියපු කතාව උන්දැට ඇහෙන්න නැතුව වෙන්ටැ )

"ගියා මගෙ පුතේ..." කියල නලවලම කිව්ව..

එතකොට බාහු.."එහෙනං ඇයි අම්ම මේඑකෙ ටී එම් ජී එම් කියන එක දන්නෙ නැත්තෙ?"

කාල වරෙංකො...

(මේක කලින් අම්මගෙන් අහල දන්නෙ නැතුවට අම්මයි තාත්ත එනකල් ඉන්න කියල තීන්නෙ!)

අම්මව බේරගන්න පරම පවිත්‍ර සිතින් (එහෙමම විතරයි ඇත්තටම අප්ප ) මං ටක් ගාල මැදට පැනල කොල්ලට කිව්ව

"අම්ම ඉතින් තාත්ත තරම්ම ඉස්කෝලෙ ගිහින් නෑනෙ පුතේ"

$#@^$#@&^%$&^%&%^$&^%&)(*)_(+_+_((&^&$@#$@#$!@$

එදා දවල්ට කාල ගියෙ මොනාද කියල කැමති විදියට හිතා ගන්න!

Wednesday, July 27, 2011

ඕවත් වැඩද...මල්ලි ඕවත් වැඩද?



ඊයකින් ආපු කතාවක්. පරිවර්ථනය කරොත් රස මැරෙනව. ඒ නිසා එහෙමම දැම්ම!


"When a lady is pregnant, all her friends touch the stomach and saying "Congrats".
But, none of them come and touch the man's ..... and say "Good job".
Moral of the story:
"Hard work is never appreciated”

Saturday, July 23, 2011

පුතා තාත්තාට පැම්පර් ඇන්දවූ හැටි!



පොඩි උං ලොකු කතා කියන්න දස්සයිනෙ. සමහරවිට පොඩි ඈයො කියන කතා වලට ලොකු අපිට කට උත්තර නැතිව යනව. මේත් ඒ වගේ අපේ පොඩි බාහු මාව අන්තිම අමාරුවෙ දාපු අවස්ථාවක්.

මාසෙකට විතර ඉස්සෙල්ල දවසක් ලොකු බාහුයි මමයි කබඩ් එකක් අස් කරනකොට මෙන්න අම්මගෙ අර සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් බිම වැටුන!

බාහු; මේ මොකද්ද තාත්තෙ මේ? ( මිනිහට සාමන්‍යෙන් ඕන්නැති මඟුලක් නැහැනෙ )

මම; ඒ පුතේ මේ...

ඔන්න එතකොටම කොහෙද ඉඳල එතන්ට පොඩි එකාගෙ අම්ම කඩන් පාත් උනා.

හාමිනේ; මේ පුතේ අම්මගෙ ටිෂූ ජාතියක්….

ඒක අහල ලොකු බාහුට හෙන සතුටුයි..

බාහු; ආඃ එහෙනං මටත් ඒව ඕන...බබත් ඒවගෙන් තමයි එහෙනං පිහ දාන්නෙ...

වැඩේ පිට පොට යනබව තේරුණ නිසා මම මැදට පැන්න...

මම; නෑ නෑ පුතා ඒ ටිෂූ කිව්වට ටිෂූම නෙමෙයි, ඒව අම්මලගෙ පැම්පර්...

පොඩි උන්ට බොරු කියලදෙන්න බෑනෙ! මෙන්න එතකොට හාමිනේ මට රවාගෙන කාමරෙන් එළියට යනව...එක අතකට ඒක කොහොමත් ලොකු උදව්වක්නෙ.

අම්ම ගියාට පුතාගෙ ප්‍රශ්ණ ඉවර නෑ..

බාහු: ඇයි අම්මල පැම්පර් අඳින්නෙ?

දීපංකො උත්තර..!

මම: ඇයි පුතේ ඉතින් මල්ලිට කුක්කු දෙනකොට එහෙම අම්මට ටොයිලට් යන්න බෑනෙ, ඉතින් ඒ වගේ වෙලාවට තමයි ඕව අඳින්නෙ.

මං හිතුව මට ගණදෙවි ණුවන ආව කියල, මොන...

බාහු; ඉතිං ඇයි අම්මගෙ පැම්පර් පොඩි? අම්ම ලොකුයිනෙ බබාටත් වැඩිය? ( මේ ගල් ඇම්ඩ කතාව අස්සෙ අර පැකට් එක කඩල ...මේක දැක්කොත් මට අද පූසොත් එක්ක කාර් පාක් එකේ තමයි නිදියන්න වෙන්නෙ..)

මම; එහෙම තමයි පුතේ, අම්මල වගේ ඔක්කොම ගෑණු අය අඳින පැම්පර් පොඩියි...

බාහු: කවුද ගෑණු අය කියන්නෙ?

මිනිහගෙ ප්‍රශ්ණ ඇහිලි ඔහොමමනෙ, එකක් ඉවර වෙනකොට තව එකක්...

මම: ගෑණු කියන්නෙ පුතේ අම්මල, නැන්දිල, පුංචිල, අර චරිනිඅක්කල, ෂයිමි නංගිල වගේ අය තමයි ගෑණු කියන්නෙ...

වැඩේ යන පොට හරි නැති හින්දහ කොහෙද කුස්සියෙ ඉඳන් හාමිනේ කෑ ගහනව..

"පුතා මේ මේ එන්න මෙන්න පූසෙක් මිදුලෙ කක්ක දානවද කොහෙද"...මිනිහට පූසො වත්තෙ කැත කරනවට වඩා තදවෙන වැඩක් නෑ...ඉතින් දිව්ව කඩාගෙන බිඳගෙන කුස්සිය පැත්තට...

යන්තං ගැලවුනා කියල හිතල කරපු වැඩෙත් ඉවර කරල වෙන වැඩකට පැන්න...පස්සෙ ඉතින් එළියට පැනපු එකා ආවම අර කතා මතක නෑ...වැඩේ ගොඩ..

ඔන්න ඊයෙ අපේ මෙහෙ හිතවතෙක් එයාගෙ නෝනයි පොඩි දුවයි එක්ක ආව පොඩි බාහු හෙවත් අපේ අළුත් සාමජිකය බලන්න කියල.

කට්ටිය ඇවිත් බබාවත් විනාඩියක් දෙකක් බලල අර කෑල්ල මගේ මේ කෑල්ල නෝනගෙ අරව මේව කියල පොඩි එකාට දන්න අපහාස සේරමත් කරල එහෙම සෙට් උනා කුණු අතුල්ලන්න.

මාත් ඉතින් හිතවතා එක්ක හීනියට අඩියක් පොලේ ගහනව, ගෑණු දෙන්න හෝදනව, පොඩි උන් දෙන්න එළියෙ නැටිල්ල දාඩිය දාගෙන.

ඔහොම ගිහින් රෑ කෑමට සෙට්වෙන්න කියල අර මිතුරගෙ නෝන මහත්තය පොඩි කෙළීව එක්ක ගියා බාතෲම් එකට පොඩ්ඩක් හෝදං එන්න. අපේ ලොකු බාහුත් ඉතින් යාළුව පස්සෙම එතන්ටත් ගිහින් දොරකඩ ඉඳන් බලං ඉන්නව නංගිගෙ ඇඳුන් අයින් කරල නාවර හෝදන හැටියි, පස්සෙ කාමරේකට එක්ක ගිහින් පිහදල කරල වෙන ඇඳුම අන්දන හැටි එහෙම.

පොඩි නංගිගෙ කෝස් එක යන අතරෙම හාමිනෙත් බාහුවව වදෙන් පොරෙන් ඇදගෙන ගිහින හැව ඇරල ගත්ත කෑම මේසෙට. දැන් කට්ටිය කනව හීනියට, පොඩි බයිල රහ ගුණ වර්ණනා කර කර.

ඔය අස්සෙ අපේ ලොකු බාහු..

"තාත්තෙ ඇයි තාත්තෙ මේ නංගිටත් බබාගෙ ජාතියෙ පැම්පර් ඇන්දුවෙ"?

මූ මොකාටද එන්න හදන්නෙ..මගෙ කං රත් උනා..

“ඇයි පුතා පොඩි අය ඔක්කොම අඳින්නෙ එක විදියෙ පැම්පර් තමයිනෙ" ඒ අර මිතුරගෙ කටකාර නෝන. එයාටත් කට පියං ඉන්න බැරි හැටි...තාත්තගෙන්නෙ ඇහුවෙ අනික.

"එහෙනං එදා තාත්ත කිව්වෙ ගෑණු අය අඳින්නෙ අම්මගෙ වගේ පොඩි පැම්පර් කියල..මේ නංගි ගෑණු නෙමෙයිද එතකොට...?”

මේ වයස අවුරුදු හතරෙදි! තව ටික කලක් යනකොට කොහොමට හිටීද? මං වගේ අහිංසක පාටක් ගෑවිලාවත් නෑනෙ යකෝ බලනකොට...ඔන්න මට හිතුන ඒව..

Monday, July 11, 2011

ගෑණුන්ට බැන්නාට ගෑණිගෙන් තෑග්ගක්..!



දිනය..ජූනි විසි එකවන දින පාන්දර තුනට ආසන්නය..

තඩි ලේලන්ඩ් බස් නලාවක සද්ද සමඟ කුචිම කුචි කිහිල්ල හිල්වෙන්නට ඇණුනු පාරකින් මා උඩ නොගොස්ම බිමට වැටිනි.

“...මේ..මෙහෙ එනව....නැඟිටල එනව ...”

ලයිට් එලියට තවම ඇස් නිලංකාර වී ඇතත් නියොගය පිළි පැදිය යුතුමය.. ඒ නිසා ඔහේ අත ගා ගෙන හෝ යන්නට ( බිත්ති හොඳේ ) පස්සෙං වැටුනෙමි (ඇවිදං ).

“පේනවද?...බලනව මේ ලියල තීන ඒව..!”

ඇස් පෙනෙනට පටං අරන් තුබූ නිසා ගමණාන්තය වූයේ මේ ජාමේ මැද හීනෙනුත් නොසිතූ කම්පීතර රාජයා අභිමුඛව බව වැටහුනි. ඒත් කියන අණ්ඩර දෙමළනම් තාම තේරෙන්නේ නැති තරම්ය.....!

"හොඳට බලනව ඔය කබ කඩල...මොනාද අනේ මේ කියල තීන කතා..."

ඇස් පිසදමා බැලූ විට දේවයන් සිහිවුනි...දැන්නම් චාන්ස් එකක් ඇත්තේම නැති ගානය. වැඩේ කර මුලටම හිරවී ඇති නිසා කියන්නට කටට උත්තර එන්නේත් නැත.

“මට තව තප්පරයක්වත් මෙතන ඉන්න බෑ.. මාව දැම්මම එක්ක යනව..මේව බල බල මෙහෙම කටපියන් (මාර කට පියා ගැනීම ) හිටියොත් මට මොනවයින් මොනා වෙලා නවතීද දන්නෙ නෑ.. ඒ නිසා මාව වහාම ගිහින් දාන්න.."

ඉල්ලීම් නැති අණ කිරීමකි. එහි මටද ඉල්ලීම් වලට ඉඩක් නැතිබව දන්නා නිසා කට පියාගෙන ටොයිලට් එක පැත්තට ඇදුනේ කට රැකගන්නට දත් ටිකවත් මැදගෙන එන්නය.

“කෝ...මොකද ඔතන පැළ වෙලාද...ඉක්මනට එනව මෙහෙට.."

ආෆ්ටර් ෂොක් නම් එමටය..!

දත කෙසේ වෙතත කට නම් යන්තං මැද කාමරයට වැදී බිත්තියේ හේත්තු කර තිබූ ඩෙනිමට පැන්නෙමි. යන්තම් කොන්ඩයට පනාව පෙන්නා ටී ෂර්ටයත් සපත්තුත් දා විනාඩියෙන් එලියට පැන්නද කෙඳිරිය නම් අඩුවක් නැත..

“හා හා යං මෙතන හරියට එහෙ ගෑණු ඉන්නව වගේ මෙයාව ඉඹල පිළිගන්න"

මේව වචන නෙමි උල් කටු...මොනා කරන්නද..වරද මගෙනෙ...ඒ නිසා කටපියාගෙන මගේ දඬු පෝඩයේ දොර ඇයට ඇර දුන්නෙමි.

ගෙදර සිට මහ මගට යන පාරේ පළවෙනි හම්ප් එක පසුකලා පමණි..

“මොකද මේකෙ තව පොඩ්ඩක් හෙමින් යන්න බැරිද ඒ වගේ තැන් වල..”

උත්තරය යුත්තේ ඊළඟ හම්ප් එකේදි වැඩ පෙන්වීම බව අත්දැකීමෙන් දන්න නිසා තේක පීරිසියට දා බී හැකි පමණට ලාවට පන්න ගතිමි. ප්‍රශන්සා නැත. කමක් නැත් මන්ද ගෝසාද නැති බැවිනි..මට ඒ ඇතිය.

පාරේ බලු බල්ලෙක් නැතිය. මෙහෙ පාරවල් වල බල්ලෝ යනු ස්වදේශිකයන් මිස අපේ වැනි දඩාවතේ යන කකුල් හතරේ උන් නොවේ...පාන්දර හතරයි චුට්ටයි වගේ වනවිට ඇයට උවමනා තැනට ළඟා විය..

දොර ඇරියා පමණි ඇගේ සනුහරේ උන්ටික දිව විත් මා පැත්තකට දමා ඇයව බදා වැළඳගෙනම වාහනයෙන් පිටටහ්ට ගත්තෝය.

වාහනය දොරකඩි මෑත් කර නවතා දමා මමද පස්සෙන් වැටෙන්නට වීමි.

“ඔයා ඔහොම ඉන්න...ඇතුලට නාවට කමක් නෑ...” මේ පාර සනුහරේ එකියක්ය..

මේ සේරම මගෙම වැරදියයි කියා හිත හදාගෙන ඔහේ දොරකඩම නැවතුනෙමි..

කමක් නෑ ඒත් මෙතනින් නං එලෙව්වත් නොයමියි සිතා ඔහේ බලා උන්නෙමි.




පැයකට විතර පස්සෙ මෙන්න ඔය වගේ ලොකු දොරක් ඇරගෙන මල් සූට් එක ඇඳපු සිස්ටර් වීදුරු පෙට්ටියක් තියපු ට්‍රොලියකුත් තල්ලුකරන් එළියට එනව..

Congratulations..! this is your son..!

මිනිහෙකුට මීටත් වඩා සතුටදෙන යමක් අහන්නට තිබේද?

ජරා, සම තැන් ඉල්ලා කරදර කරන, තෝරා ගෙන මිස ලඟට නොගත යුතු, චපල ගැහැණු ජාතියේ මගේ බිරින්දෑ මා වෙනුවෙන් දස මසක් කුසේ දරා උන් මැණික පැය තුනකටත් වඩා වෙදනාවෙන් තටමමින් උත්සාහ කලද බැරි උන තැන සිය බඩ කප්පවා එළියට ගෙන මා වෙත එවා ඇත. සහතික ඇත්තය. ගෑණු නම් ජරාම ජාතියකි. ඒ උන් අම්මලා වන විට දින තමන් ගැන නොසිතන නිසාවෙනි.



මේ ඉන්නෙ අපේ කැදැල්ලෙ අලුත්ම සාමාජිකය වෙච්චි "තෙනුක් තේමිය" පුංචි පැටිය උපන් දවසෙ. ( කැමරාවෙ ලියවෙන දින ගැන හිතන්න එපා )



මේ අයිය මෙච්චර කල් ආසාවෙන් බලන් ඉඳපු මල්ලි බබාට තමංගෙ වැඩ පෙන්නනව.

ප/ලි

හාමිනේ මාව ඇහැරුවෙ එයාගෙ වෝටර් බෑග් එක ලීක් වෙන්න ගත්ත නිසා.

අර කොම්පීටරේ ගාවට ගෙනිහින් පෙන්නුවෙ මට කියන්න කලින් එයාම ගිහින් ඕපන් කරල බලපු "ඒ වගේ අවස්ථාවක මොකද කරන්නෙ" යන්න ගැන තිබ්බ සයිට් එකක්. ඒ අනුව අවශ්‍ය පියවර අරගෙන අපි වහාම රෝහලට ගියා.

LinkWithin

Related Posts with Thumbnails