Sunday, December 26, 2010

ඔබ සැමට නිවන් සුව..!



" ඔව් දැන් මොරටුව ගාලු පාර එකම සුන් බුන් ගොඩක් බවට පත්ව තිබෙනවා. අවට ධීවර නිවාස සියල්ලක්ම පාහේ මහ මඟට වතුරත් සමඟ ගසා ගෙන ඇවිත් බවයි දැන් අපිට පේන්නෙ"

සිංහරාජයෙ වැද්දගල පිවිසුම අසල නවතා තිබූ ලොරි රථයක රේඩියොවෙන් ඇසුන ඒ හඬ අපේ ගමන මදකට නැවතුවා.
දුරකථන නැති, රූපවාහිනී නැති තැනක නිවාඩුව ගතකරන්න හිතපු එකේ මෝඩකම කියල හිතුනෙ මේ ඇහෙන දේවල් කිසිදෙයක් ඇත්තද කියල දැනගන්න ක්රමයක් නැතිබව තේරුනාමයි.

දවස් තුනේ ට්රිප් එක අතරමග නවත්තල වහාම ගෙවල් බලා එන්න පිටත් උනේ තත්වෙ හිතුවට වඩා දරුණු බව එදා රෑ රේඩියෝ එකේ පැයෙන් පැයට මරණ ගාන ඉහල යන විදියටයි වෙලා තීන විනාසෙ විනාඩියෙන් විනාඩිය දරුණු බව වාර්ථා වෙනකොටයි තේරිච්ච හින්දයි.

ගාලුපාර අවුල් කියල ඇහිච්ච හින්ද අපි මහ දුරක් ගෙවං වැද්දගල ඉඳන් රත්නපුරේට ඇවිත් එතනින් රත්මලානට එනකොට මඟ දිගට ලොරි වෑන් පෙළපාලි ආධාර එකතුකරනව "සුනාමි" අනාථයන්ට කියල. වැද්දගල ඉඳල පැය හතක විතර දීර්ඝ ගමනකින් පස්සෙ ගෙදරට ඇවිත් ඉඳගෙන ටීවි එකේ විස්තර බල බල හිටිය.

පැය භාගයක් ගියෙ නෑ, මෙන්න කාගෙන්ද ආව කෝල් එකකට ආන්සකරන්න එහාට ගියාපු හාමිනේ අඬාගෙන දුවං එනව " අනේ ඉන්දික අක්කලගෙන් ආරංචියක් නෑලු....මල්ලි මේ දැං කතා කලේ" කියාගෙන.

අපි ඔක්කොටම පුටුවලින් නැගිටුන නෙමේ උඩ විසිඋනා වගේ උනා. ඇයි හත්දෙය්යනේ මුහුද ලඟ උනාට මේ සොල්දර ගේ උඩටත් වතුර දාල කියල කොහොම හිතන්නද!

"අනේ අපි යමු..." අඬන අතරෙ හාමිනේ....

දුකට සැපට දෙකටම උන්න එයාලගෙ පවුලෙ ඉතාම හොඳම මනුස්සය වෙච්චි පොඩි අක්ක, මොන වෙලාවෙ ගියත් කෙළ උනන කෑමක් හදල උගුරට එන්නම කවල, තව අයිස්ක්රීම් පෙට්ටිවලට දාල ගෙනියන්නත් දෙන පොඩි අක්ක, කිසිම කෙනෙකුට වරදක් කියන්න බැරි, අපි එක්ක බලනකොට මුනිවරයෙක් වගේ හොඳ ගති තීන අය්ය, හික්කඩු වැල්ලෙ නාන්න තමංව එක්ක යන එකම මාම නිසා මං එනව කිව්වොත් පන්තිවත් නොගොහින් මඟ බලන් ඉන්න ඒ දෙන්නගෙ එකම පුතා, ඇල් වතුරත් නිවල බොන ජාතියෙ, ලෝකෙ පෙරලුනත් සුරුට්ටුවක් බිබී ගාළු පාරෙ යන එන ඇත්තො දිහා බලං ඉන්න ලොකු තාත්ත....මේ අයට යමක් උනා කියල කොහොම හිතන්නද!

අපි අහල තීනෙ සොභා දහම දඬුවං කරන්නෙ නරක උන්ට කියල මිසක් මේ වගේ සත් පුරුෂ අහිංසකයන්ට කියල නෙමෙයිනෙ!

සොල්දරේ හිටපු අක්කලගෙන් ආරංචියක් නැත්තං, වැල්ලවත්තෙ ඉන්න මාමලට, පැරෑලියෙ ලොකු අය්යලට,,…… කොහොම හිතන්නද මේ අයටත් කරදරයක් වෙලා කියල.

කොහොම උනත් තත්වෙ දරුණු බව දන්න නිසා කරන්න තිබ්බ හොඳ දේ වෙච්චි වහාම ගිහින් බැලීමේ හාමිනේගෙ තීරනය කවුරුත් එකඟ උනා.

වැද්දගල ඉඳන්ම ඇඳං ආපු සූට් එක පිටින්ම අපි දෙන්න මඟට බහිනකොට ඒ වෙද්දි ට්රිප් එක ගිහින් ඇවිත් අපේ ගෙදර ටී වී බල බල හිටපු අමිලයත් හාමිනේගෙ මල්ලිත් එක්ක ඇවිත් නැග්ග කාරෙකට.

එදා රෑ කලුතර ඉඳන් රන්දොඹේට වෙනකල් ගිය ගමන තමයි මගේ ජීවිතේ අමතක නොවෙනම ඩ්රයිව් එක!

ඒක හරියක හොරර් ෆිල්ම් එකක ජවනිකාවක් වගේ.

අලුත්ගම පහු උනාටපස්සෙ පාරෙ කිසිම වාහනයක් නෑ. කිසිම ගෙදරක එලියක් පේන්න නෑ, පාරෙ ලයිට් තියා, යන එන වාහනේක ලයි එකක්වත් නෑ.

හැබැයි ඒ වෙනුවට ගස් උඩ නැගපු කාර්, වහල නැති ගෙවල් විතරක් නෙමෙයි මළ කුණු ගඳත් වෙලා තීන දේ කොයිතරං දරු ණු ද කියල අපිට කොඳුරන බවකුයි දැනුනෙ!
කොහොම හරි මේ සුන් බුන් මැද්දෙන් අලුත්වෙලට ඇවිත් රතු අම්මලගෙ ගෙදරට ගියාම තමයි දැනගන්න ලැබුනෙ දකුණ උතුර වෙලා තීන වග!

ලොකු අය්ය, අක්ක, පොඩි උන් තුන්දෙනා, ආච්චි, ලොකු තාත්ත, පොඩි අක්ක, අය්ය, පොඩි පුතා විතරක්, හිච්චි මාම, නැන්ද විතරක්ද අර මානසික ලෙඩක් තිබ්බ පොඩී පවා ආගිය අතක් නෑ!

ලොකු අය්ය මේ වෙලාවට පොලේ යන නිසා පොළ ගාව එයාගෙ මස්සිනාගෙ ගෙටවත් පැනල බේරුනාද කියල බලන්න මහන්සි නැතුව ඒ පිටම ගියා හික්කඩු.

හැම තැනම විසිරිච්ච සුන් බුන් එක්ක මිනී කුණු ගඳයි, පාලුවයි, අඳුරයි, මෙලෝ දෙයක් උනේ නැති ගානට හෝ හෝ ගගා ඉන්න මහ මුහුදයි, පාලුම පාලු හික්කඩුව ඒ මහ රෑ මට මතක් කලේ පොඩි කාලේ දහම් පාසලේ විජේවීර සර් මවල පෙන්නපු තුන් බියෙන් විනාස වෙච්චි විසාල මහනුවර!

කිසිම කෙනෙක් ගැන මොනම හෝඩුවාවක්වත් හොයාගන්න බැරු තැන ආපහු එනගමන් දුක කළකිරීම අස්සෙ අපූරු හිනායන දෙයක් දැක්ක.

මහ මූද අයිනෙම, මූදට පිටුපාල තිබ්බ අලුත්ම වයි ස්ටෝර්ස් එකයි ඊට එහා පැත්තෙ කඩයකුයි අතරෙ තිබ්බ පොඩි ඉඩෙ අර දෙකටම සීරිමක්වත් ණතිව මහ තඩි බහුදින යාත්රාවක් ටවුමට කඩා වැදිල පාරෙ අනික් පැත්තෙ බැන්කුවත් කාඩගෙන මීටර් 50 විතර ගම ඇතුලට වැදිල බිත්තියක හේත්ටුවෙල පාඩුවෙ ඉන්නව!

ඒක දැකපු අමිලය " ඇයි යකෝ මෙකට මේ මෙලෝ රහක් නැති බැන්කුව නොකඩ ඔය වයි ස්ටෝර්ස් එක කඩන්න හිත දුන්නෙ නැති හැටි" කියනකොටනං හිනාවක් නොවුනත් පොඩි ඉරක්වත් කට්ටියගෙම මූණුවල පෙනිල නොපෙනිල ගියා.

පහුවෙනිද උදේම කැලෙන් කැලෙන් දාල තෙල්වත්ත කිට්ටුව අතුරු පාරක වාහනේ දාල පයින්ම පොඩි අක්කලගෙ ගේ ගාවට යනකොටත් මඟ දිගට මිනිස්සු තමඟෙ පවුල්වල නැතිඋන උන්දල හොයනව, සමහරු මිනී ගෝනි කෑලිවල දාල ගෙවල් වල ගෙනියනව, තව සමහරු හම්බ වෙච්චි සිරුරු ගාව දණ නමාගෙන අඬනව...

කොහොමින් හරි මේ සේරම මැද්දෙන් අක්කලගෙ ගේ ගාවට යනකොට ඈතටම පෙනව මුලු පැත්තම හූරල අයිංකරල වගේ, අර ගාලුපාර අයිනෙ තෙල්වත්ත දිගටම තිබ්බ ගෙවල් මංඩියෙ ගෙවල් දෙකක් ඇර වෙන එකක්වත් නෑ.

පොඩි අක්කලගෙ අවුරුදු හැට හැත්තෑවක් පරණ අලි සොල්දර ගෙදර ගේට්ටු කණුවයි, කුස්සියෙ සින්ක් එකට දාල තිබ්බ ස්ලැබ් එකයි හැර වෙන මොකවත්ම නැහැ.

මුලු ගමටම ඉතුරුවෙලා තිබ්බෙ ඉස්කෝලෙ මහත්තයගෙ ගෙයයි, අක්කලගෙ ගෙට එහා පැත්තෙ භාගෙට හදන ගේයි විතරයි.

රැල්ලෙ සයිස් එක කොහොමද කියල අපිට හරියටම හිතා ගන්න පුලුවන් උනේ ඒ භාගෙට හදන බ්ලොක් ගල් ගෙයි දෙවන තට්ටුවෙ ජනේලෙ උඩ මට්ටමටම පෙඟිච්ච පාර දවස් දෙකකට පස්සෙත් ඒ විදියටම තීනව දැක්කමයි.
අලියට පැගුනාම ගූ ගියාද කියල හොය වැඩක් නැතිබව ඒ වෙනකොට අපිට තීරිලයි තිබුනෙ.

ඒ නිසා අපි ලොකු අය්යලගෙ ගේ පැත්තට ගියා.

මුලු පැරෑලියටම ඉතුරුවෙලා තිබ්බෙ ඉස්කෝලෙ බිල්ඩින් ටිකයි ලොකු අය්යගෙ මිරිස් මෝලෙ ස්ලැබ් එකයි මැෂින් ටිකයි විතරයි. ගේ දොරකඩම තමයි අර මහ යකඩ යකා පැත්ත දාල වැටිල හිටියෙ.

තවදුරටත් ගෙවල් පැත්තෙ හොයල පලක් නෑ කියල තේරිච්ච නිසා අපි අලුත්වෙල, බටපොල ගෝනපිනූවල හැම අනාතකඳවුරකම ඇවිදල බැලුව කාගැන හරි හෝඩුවාවක් හොය හොය.

එහෙම හොයල හොයල යන්තන් ලොකු අය්යවයි අක්කවයි පුතාවයි හොයා ගත්ත.
පොළේ ඉඳල පළවෙනි රැල්ලට බයට දුවල ඒ ලඟ ගේක උඩ තට්ටුවට නැගපු නිසා ඒ අය බේරිල.

ඒත් අහල පහල බේරිච්ච අය දැකපු කියපු විදියට, පොඩි අක්කයි අය්යයි පුතයි තුන්දෙනාම එකට බදාගෙන ඉන්දැද්දි සොල්දරේම කඩාගෙන ගහගෙන ගිහින්! ලොකු තාත්තනං එතකොටත් සුරුට්ටුවක් උර උර ඉන්න ඇත්තෙ යට තට්ටුවෙ වෙන්ටැති!

ලොකු අය්යගෙ පොඩි උන් දෙන්න පළවෙනි රැල්ලට භය වෙලා ආච්චිත් එක්කංම දුවං ඇවිත් ගේ දොරකඩ නවත්තල තිබ්බ කෝච්චියට නැගල!

අන්තිමේ බටපොල ඉස්පිරිතාලෙ තිබිල හම්බ උනේ ඊට හයමාසෙකට කලින් අපේ මඟුල් දවසෙදි ලස්සන හිනාවක් දාං ඉස්සරහින් උන්න ඔන්න ඔය උඩ පිතූරෙ ඉන්න හන්සි දුවගෙ ( ලොකු අය්යගෙ පොඩි දුව ) ගෙ ඉදිමිච්චි, නිරුවත්, දත්මිටිකාගෙන අතපය මිටිකරගත්තු සිරුරයි, ආච්චිගෙ විරූපි සිරුරයි විතරයි.

අදට මේ හත්දෙනාම අපෙන් වෙන්වෙලා අවුරුදු හයක්!

මේ සේරම ඊයෙ වගේ මතක....කොහොම අමතක කරන්නද...කොහොම අමතක වෙන්නද?

අපේ පවුලේ හොඳම උන් ඩැහගෙන ඒ සතුට නැතිකල සුනාමිය...උඹ පිළිමවලට පෑ සෙනෙහස මිනිසුන්ට නොපෑවේ ඇයි?

ප/ලි

සුනාමියෙන් පසු ලොකු අය්ය සහ අක්ක තවම ඔවුන්ගෙ පැරණි නිවසේ පදිංචියට ගොස් නැත. පොඩි අක්කගේ ඉඩමේ කූඩරම් ගසාගෙ අධාර ගසකෑවො දැන් එහි නැති නිසා ඒ ඉඩම වල් බිහිව ගොසිනි. මාමගේ නිවසෙ කඩා වැටුනු අඩ හදාගන්නට දුන් ආධාරයෙන් හදාගත් වැසිකිලිය අල්ලපු වැටේ සුද්දෙක්ගේ අධාරයෙන් පොදු කාණුවක් ගොඩකර සාදා දුන් සුනාමි නිවාස වලට පින් සුදුවන්නට පොල්ගෙඩියක් වැටුනත් සුනාමි එන තරමේ වතුර විලක් මැදට වී බලා ඉන්නවාය. කඩේ යනගමන් ආ මහ රැල්ලට බියවී පොල්ගසකට නැඟ දිවි බේරාගත් පොඩී පමනක් බෙහෙත් වෙනුවට බලන්නට කෙනෙක් නැති නිසා ( ඔහුව බලා ගත්තේද පොඩි අක්කාය ) කවුරු කවුරුත් දෙන මුදලින් සූර් වෙමින් බොන්න එපායැයි බනිනතුරු එකෙකුගෙ ගෙදර ලගිමින් සතුටින් සාමදානයෙන් දිවි ගෙවන්නේය.

Friday, December 24, 2010

මරු අලුත් ගැජට් එකක්.....



මගේ ගී වාදන යන්තරයට (යන්ත්‍ර සංකීර්නයට) එකතුකරගත්ත අලුත්ම ගැජට් එකයි මේ.

Iomega ScreenPlay Director.

මේ ගැන මට කිව්වෙ මගේ බොසා. මිනිහත් මං වගේම සින්දුවක් නිකං අහන්නෙ නැතිව කැටයං දාගෙන අහන්න කැමති ජාතියෙ පොරක්. ඉතින් නිතර ඔය අලුත් ගැජට් ගැන හොයනව. එහෙම දැනගෙන අරං පාවිච්චි කරල හොඳයි කියල කියපු නිසා තමයි මාත් ගත්තෙ.

මේ බ්රෑන්ඩ් එකෙන් විතරක නෙමෙයි ඔය imation, LG වගේ අයත් මේව මාර්කට් එකට දාල තීනව. ඒත් ඒ අයගෙ ඒවට දෙන්නෙ හය මාසෙක වගකීමක් විතරයි. මේකට අවුරුදු තුනක් ලැබෙනව, ගානෙත් බොහොම පොඩි වෙනසයි තිබ්බෙ.

දැං මේකෙන් ලැබෙන ලොකුම වාසිය සින්දු, ෆොටෝ, ෆිල්ම්ස් මහ ගොඩක් ගබඩා කරගන්නව වගේම ඒව ඉන්න තැන ඉඳන් රිමෝර්ට් එකන් play කරන්න ( පරිගනකයෙන් නොලැබෙන වාසියක් ) වගේම කැමති සින්දු එකතු කරල කැමති අනුපිලිවලට play list හදල play කරවන්න සහ කෙලින්ම අන්තර්ජාලයට සම්භන්ද වෙලා ටොරෙන්ට් එකේ හරි you tube එකේ හරි කැමති වීඩියෝ කෙලින්ම රූපවාහිනියෙන් ප්ලේ කරන්න ලැබීමත් කියන්න පුලුවන්.

ඇත්තටම මේක සාමන්ය external hard drive එකකට වඩා ගොඩක් පහසුයි වගේම, entertainment වැඩ වලට ලැප්ටොප් එකකටත් වඩා ප්‍රයෝජනවත් කියන්න පුලුවං.

මට මේකට වියදං උනේ ලංකාවෙ මුදලින් රුපියල් විසි හත්දසක් විතර!

අද වෙනකොට බදු සහන නිසා සමහරවිට මේ ගානටම හරි අඩුවට හරි මේව ලංකාවෙ ගන්න බැරිවෙන එකක් නෑ.

හැබැයි දැනටමත් hard drive එකක් තීනවනං 500GB හරි 300GB වගේ පොඩි කැපෑසිටි එකක් තීන unit එකක් අරන් ඒකට ඔබේ hard drive එක අමුනගෙන පාවිච්චි කරන එක පිරිමැසුම්දායකයි කියල මට හිතෙනව.


මේ තීන්නෙ යුනිට් එකයි රිමෝර්ට් එකයි.




මේ තීන්නෙ සම්පූර්න ස්පෙක්ස්.

Friday, December 10, 2010

අරාබියෙ හැදෙන අපේ පන්සල




බුදු පිලිමයක් තියා වෙසක් කාර්ඩ් එකක් එවන්න බැරි, කතෝලික නොවන වෙන කිසිම ආගමක කෙනෙක්ගෙන් වතුර උගුරක් බොන්න අකැප ආගමක් අදහන මිනිසුන් ඉන්න රටක පන්සලක්!

ඇන ගිලින්න හිතෙන තරං අපේ උං දුක් වගේම තව කොටසක් ජීවිතේ කවදාවත් නොවින්ද සැපත් විඳින මේ අරාබියෙ පන්සලක්!



ඇත්තටම මේක එක්තරා හීනයක්.

මන් දන්න තරමින් නං ප්රජාතන්ත්රවාදී පාලනයක් සමඟ නාමික රජෙක් ඉන්න කුවේටයෙවත්, ලෝකෙ නැති හැම දේම තීන එමිරේටයෙ වත් මේ වගේ තැනක් නැහැ ( මං වැරදිනං නිවැරදි කරන්න )

මෙතන පන්සලක් කිව්වට පන්සලක්ම නෙමෙයි. මේක හරියට මනමාලි නැති මඟුල් ගේ වගේ හැමදේම තීන, ඒත් හාමුරුනමක් විතරක් නැති පන්සලක්.





මෙහෙ තීන තත්වෙ අනුව හාමුදුරුනමක් ගෙනල්ල දීර්ඝකාලීනව වඩා හින්දුවාගෙන අවශ්ය පහසුකම් දෙන්න මාරුයි. මොකද මාස තුනක වඩා දිගට ඉන්න වීස දෙන්නෙ රැකියාවක් කරන අයෙකුට විතරක් නිසා.

ඒකට තීන එකම විකල්පය පන්සල රාජ්ය නොවෙන ආගමික ආයතනය්ක් හැටියට ලියා පදිංචි කරගෙන ඒ යටතෙ වීස ගන්න එක උනත්, ඒකට විශාල වියදමක් වගේම මහ කාලයක් ( රජයෙ ආයතනවලට පන්සල ගැන හා එහි ක්රියා කාරීත්වය, අනාගත බලපෑම ආදිය විමර්ශනය කිරීමට) අවශ්ය නිසා ඒ ගැන හිතන්න තරන් බහුතරයක් දායකයො ගෙවල්වල මෙහෙකාරකම් කරන අහින්සක ගෑනු උදවිය වෙච්චි මේ පන්සලේ ඇත්තො පොඩි වැඩියි.




ඔය උඩ පින්තූරෙ ඉන්නෙ මේ "පන්සලේ" නිර්මාතෘ (වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්, කැපවීම නිසාම දැන් වැඩ මූලිකයෙක් හැටියට උසස් වෙලා කාගෙත් හිත දිනාගෙන ඉන්න ) සුමිත් ගුණසේකර මහත්මය.

තමංගෙ හිතේ කාලයක් පුරාවට ඇතිවෙලා තිබ්බ හීනෙ තව යාලුවො කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා හැබෑ කරගත්තු මේ පුංචි මිනිහ මෙහෙ ගොඩ දෙනෙකුට ලොකු සේවයක් වගේම පාඩමක් කියල දුන්නයි කියලයි මට හිතෙන්නෙ.

තමංගෙ සල්ලි වලින් වැඩේට හරියන තැනක් කුලියට අරං ( ඒක තමයි අමාරුම වැඩේ, මොකද මෙහෙ අරාබියො ලේසියයකට එහෙම දේකට තැනක් දෙන්නෙ නැති නිසා ) අවදානම අරගෙන අදාල ලොකු තැන්වල ඉන්න්න ලොක්කො ගාව වැඩ කරන පොඩ්ඩො අල්ලං ඒ මාර්ගෙන් අවසර ඇතුව මුලින්ම පිළිම වහන්සෙ නමක් වඩම්මල, රෑට වැඩ ඇරිල ඇවිත් ශොට් එකක් දාල නිදා ගන්න තීන වෙලාවෙ රොටියක් කාල නිදි නැතුව මහ රෑ පුරා විඳපු වෙහෙසක ප්රතිඵලය තමයි මේ තීන්නෙ.



ආගම් ප්රචාරයට යුරෝපෙ වටේම යන්න ඕනි තරං හාමුදුරුවරු හිටියත් මේ සුනාපරන්තයට වඩින්න හිමි කෙනෙක් හොයා ගන්න ලේසි වෙන එකක් නෑ. ඒත් ඉස්සරහට වීසත් ලැබිල අපිට බණ පදයක් දෙසල රොටියක් කාල වේල පිරිමහගන්න පුලුහන් හිමිනමකුත් ලැබිල මේ පන්සල නියම වැලි කාන්තාරෙ තනි වෙලා ඉන්න අපිට සැබෑවටම කෙම්බිමක් වේවා කියල පතනව.


ප/ලි.
මේ පන්සල පටං අරන් ටික දවසකට පස්සෙ මේ වගේ තවත් දෙකක්ම පටං අරං. ඒත් ඒව නිකං මහල් නිවාසයක ගෙයක් අස්සෙ තීන බුදු ගෙයකට වඩා නෑ කියල යි ගියපු අය කිව්වෙ. කොහොම උනත් කොළඹ නගරෙටත් වඩා පොඩි මේ බහරේන් වල ඉන්න 12000ක් ලාංකිකයන්ට පන්සල් මහගොඩක්! හරියට කෙරෙනවනං ඉතින් කොච්චර දෙයක්ද, නිකං හතුවගේ වෙලා වෙලා ආගමත් සවුත්තු නොකර?

Monday, December 6, 2010

මෙන්න තවත් ලෙස්බියන් සින්දුවක්...


තර්කසාස්තරේ විදියටනං මාව බ්ලොග් කාරයෙක් කරපු මහ සූරිය ආරච්චි මහත්තයට නිවන් පුර රුවන් දොරටු දැකගන්න ලැබේවා කියන ගමංම පුත්තරයට පොඩි ඇටෑක් එකක් දෙන්නයි අද ඉඳල ඉඳල ලියන්නෙ.

කතන්දර කියල තිබ්බ විදියට එකම එක සිංහල ලෙස්බියන් ගීතය "ටිකිරි නගා" උනාට, මට අද අහුවුනා තව එකක්.


මේක කියන්නෙ සශිකා නිසන්සලා.

මේ සින්දුවෙ තාලය,තනුව එක්ක මේක ලෙස්බියන් එකක් නේද කියල හිතං ඇහුවම තේරෙන්න හරියට අසම්මත පෙමකට අතවනන කෙනෙකුගෙ විලාපයක් වගේ.

ඔය පහල තීනෙනෙ ඒක තමයි.


සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැනික
තරු එළිය මමයිනම් කුමුදුනිය මගෙ මැනික

ලස්සනට ඔබ ලීව
පෙම් වදන් දකින සඳ
සියොළඟම දැවේවී
අවුලුවා හද ගින්න

සාගරේ තරමටම
උණු කඳුලු සලාලා
ආදරේ දුක තරම
මම කියමි හදාලා

සඳ එලිය මමයිනම්......

මල් පිපෙන තරමටම
හද පැතුම් පිපේවා
තරු දිලෙන තරමටම
ආදරේ දැනේවා

සඳ එලිය...

මෙහෙම පරිස්සමින් ඇහුවොත් මේ වගේ ඒව තව අහු වෙන්න පුලුවන්.

සින්දුවල නොදැක්ක පැත්තක් පෙන්නපු, මේ ගැන හිතන්න පොළඹවපු කතන්දර...ඔබට ස්තූතියි.

LinkWithin

Related Posts with Thumbnails