Sunday, June 20, 2010

පොඩි එකාට වෙච්චි දේ!



පොඩි එකාගෙ අසනීපෙ නිසා සති අන්තෙම ( මෙහේ ඉතින් සති අන්තෙ බ්රහස්පතින්ද සිකුරාද නෙ ) ලොකු බරකින් ගෙවුනෙ. මොකද මීට කලින් උන ගත්ත දෙසැරයකදිම එයාට ෆිට් එක ආව නිසා. ඒ බර යන්තං අඩුවෙලා හුස්මක් ගන්නකොට අද උදේම අහන්න උනේ තව දුක හිතෙන කතාවක්. ඒ අහපු වෙලෙ ඇත්වෙච්චි හැඟීම මුලු දවසම නිකං පාලු කරල දැම්ම.

පළවෙනි පාර පැට්යට අසනීප උනෙ අපේ ගෙදර යාලුවො කට්ටියක් ඩිනර් කන්න ඇවිත් හිටපු දවසක.
නිකං කෙඳිරි ගගා අර ආපු යාලුවො එක්ක සෙල්ලම් කරන්නෙත් නැතුව අම්ම ගාවම දැවටි දැවටි ඉඳල පස්සෙ ඇඬිල්ල වැඩි නිසා පොඩ්ඩක් වඩාගෙන් එලියට එක්ක ගිහින් තප්පර ගානයි ගෙවුනෙ, මෙන්න මහ බෙරිහන්දීමක් ඇහුන ඒ පැත්තෙන්!
ඉස්සරහ ස්ටෙලා වේගෙන ආපු අපි ඔක්කොම දඩ බඩ ගාල දුවගෙන ගිහින් බලනකොට පුත්තරය ගල් වෙල, ඇස් උඩ ගිහින්...හාමිනේගෙ එක විලාපයයි..

මීට කලින් මගෙ යාලුවො වගයක් එක්ක ඇලි හත බලන්න දැරනියගල ගිය වෙලාවෙදි මේ වගේම දෙයක් එයාගෙ දුවට උනාම, එයාගෙ නෝන පොඩි එකීව ඔලුව පහලට අල්ලල වතුර බේසමක් වක් කරපු හැටි මතකෙ තිබ්බ නිසා ( ඒ සිදුවීම කවදාවත් හිතෙන් යන එකක් නෑ..මොකද ජීවිතේ පළ්වෙනි පාරට ම එහෙම දෙයක් අත් විඳෙ එදා සහ අපි හිටියෙ මහපාරකට ලඟා වෙන්න පැය දෙකකට වැඩි කාලයක් 4WD වාහනයකින් විතරක් යන්න පුලුවන් තැනකත් වගේ හේතු කීපයක් නිසා ) මමත් පොඩි එකා ගත්ත ගමන් නාන කාමරේට දුවල ඇල්ලුව ඔලුව පහතට හිටින්න පිට පැත්ත වතුර මලට.

එහෙම තප්පර කීපයක් යනකොට එයා හුස්ම ගන්නව වගේ දැනුන අතට. ඉන් පස්සෙ පැදුරක් දාල බිම තිබ්බම, මෙන්න කොල්ල ටික ටික ඇස් අරිනව..අම්ම හිනා වෙවී අඬනව.

කොහොම හරි ඔය යුද්ද අස්සෙ අපේ යාලුවෙක් ඇම්බියුලන්ස් එකට කතා කරල, ගම දෙවනත් කරන් ආව එකෙක්!

ඒකෙ ආපු පිල්ලට ( පිලිපීන ජාතික හෙද නිලධාරිය ) ඉන්ජෙක්ෂන් එකක් දෙන්න නහරෙ හොයා ගන්නත් බෑ. මූ ගැට ගැහුව, හිලක් දෙකක් විද්ද, හරියන්නෙ නෑ, දාගත්ත අම්මයි බබයි, විද්ද මහ රෝහලටම.

මාත් ඉතින් අර ආපු එවුන් එහෙමම ඉන්දැද්දි ඒ පස්සෙම දිව්ව තව හිතවතෙකුයි මිනිහගෙ නෝනයි එක්ක ඒ කාරෙකේම. වෙලාව මහ රෑ 11ත් පැනල නිසා විනාඩි ගානෙන්ං රෝහලෙ.

පස්සෙ ඩොකා බලල එහෙම බය වෙන්න දෙයක් නෑ කියල, අර බැරි උන ඉන්ජෙක්ශන් එකයි, තව පැනියකුත් දීල උදේ ටිකට් කපල ගෙදර එව්ව.

මෙහෙත් නිදහස් සෞක්ය සේවයක් ( හැබැයි අර සමහර ලංකාවෙ ශිශ්යත්ව වගෙ තමයි, ගිය ගමන් admission වලට ඩිනාර් තුනක්, රුපියල් නමසීයක් විතර ගෙවන්න ඕනි ) තිබුන නිසා වියදමක් නැතුවම බෙහෙතුත් අරං ගෙදර ආව.

ඒත් ඉතින් සමහර නෝනල හාමිනේගෙන් අහල මොනවද උනේ කින්ද මන්ද කියල, එයාගෙ ඔලුවට දාල " ඔයා යන්නතිබුනෙ Bahrain Specialist හරි ඇමරිකන් මිෂන් හරිනෙ. ඒවගෙ දොස්තරල නියමයි" අරව මේව.

ඔන්න මේකට ආයි උන ගත්ත දවසක්. දා ගත්ත කාරෙකට, විද්ද ඇමරිකන් මිෂන්.

ඔන්ද ස්පොට් කැඩුව ඩිනාර් 15ක් අතුල්වෙනකොටම, හිටිය ටිකක් ලැගල, ගියා ඩොකා ගාවට. ඇත්තටම රෝහල හරිම ප්රසන්නයි, පොඩි උන්ගෙ පැත්තෙ කාටුන් අලවල, හදල, ටිකක් පෝලිමේ හිටියත් කාලෙ යනව දැනෙන්නෙ නෑ! කොහොමහරි දැන් මේ ඉස්පිරිතාලෙත් බර බලල, ෆයිල් ඕපන් කරල, ගියා ඇතුලට.දොස්තර මහත්තයත් ලෙඩාව බලල කටෙ කෝටු ගහල පොඩි එකාව හොඳටම අඬවල එහෙම කිව්ව " no problem, it’s a throat infection only " කියල. ඉතින් තව ඩිනාර් විස්සක විතර බෙහෙතුත් අරන් ඒ පාර ගෙදර ගියා.

රෑ වෙනකොට මෙන්න පොඩි එකාට උන වැඩියි.

ආයි උස්සන් ගියා එතෙන්ටම. ඒ පාර එතන හිටපු නර්ස් නෝන පොඩි එකාගෙ බර කිරන්න හැදුවම ඇඟේ අමාරුවටද මන්ද අඬල අඬල, දැම්මෙ නැතෑ චූ පාරක්.

ඉන් පස්සෙ නර්ස් නෝන " මොකද ඩයපර්ස් අන්දල නැත්තෙ " අනං මනං කිය කිය එතන සුද්ද කරනව මිස අර කියල ලොකුවට ෆයිල් එකෙ convulsion history කියල ගහල තීන හාදයට නේද මේ 104ට උන නැගල තීන්නෙ කියල බලල ඉක්මනට දොස්තරට පෙන්නන එක අමතක කරල දැම්ම.

විනාඩියක් ගියෙ නෑ, මෙන්න කොල්ල දරදඬු වෙලා ආයි ආව අරක!

ළමයින්ගෙ අම්ම බෙරිහන් දුන්න ඉස්පිරිතාලෙ දෙක වෙන්න. මුලු අහල පහල ඉන්න ඔක්කොම ගල් වෙලා. දඩ බඩ ගාල ඔන්න නර්ස් නෝනලයි, දොස්තරලයි දුවං ඇවිත් පැටියව ඇඳක දාල, ඔක්සිජන් දීල, කටට බට දාල කෙළ අදින්න, ඔය අස්සෙ පිටිපස්සෙන් අර Voltaren රොකට් එකක් ගැහුව. ටික වෙලාවකින් ආයි හුස්ම අරං ළමය සාමන්ය තත්වෙට ආවට විනාඩි දෙකෙන් අහන බෙහෙත, මොන, පැය කාලක් විතර ගියා නෑ කිසි වෙනසක්, උන එහෙමමයි.

මෙන්න තව විනාඩි දහයක් විතර යනකොට ආයි කොල්ල ගැහෙන්න අරං තවපාරක් හැදුන.

දැන් ඉස්පිරිතාලෙ ඇතුලෙදිම දෙපාරක් ළඟ ලඟම fit එක හැදුනම, මගෙයි මල්ලිගෙයි පුස්පෙ අතේ.

මං විද්ද මහ දොස්තරයගෙ කාමරේටම, දුන්න කනේ ඇඟිලි ගහගන්න ( හැබැයි ඒ විදියට කතා කලානං ලංකාවෙ ඉස්පිරිතාලෙකදි, ඒ වෙලාවෙම අපි සේරම එලියෙ )
මිනිහ අපරාදෙ කියන්න බෑ ටක් ගාල ඇවිත්, බැලුව, ගැහුව පස්සට බටයක්, දුන්න Brufen ඉන්ජෙක්ශන් පාරක්, මෙන්න බලන් ඉඳි උන බහිනව.

දැන් අන්තිම පැය දෙකට පොඩි එකාට පැරසිටමෝල්, Voltaren , Brufen තුනම දීල, මට දැන් හිතාගන්න බෑ මුගෙ අක්මාවට මොනා වෙලාද කියල.

මොනව උනත් ඉතින් අන්තිමට ඩොකා කියදේනෙ අහන්න වෙන්නෙ, ඉතින් ගොනා සේ කරබාගෙන බලන් හිටිය. ටික වෙලාවකින් සේලයින් එහෙම ගහල, වැඩි පරීක්ෂාවට කියල දවස් දෙකක් ඉස්පිරිතාලෙ තියාගෙන අර Voltaren පස්සෙන් බස්ස බස්ස උන්න antibiotic එක වැඩ කරල උගුර සනීප වෙනකල්ම.

අන්තිමේද් ඩිනාර් 600ක විතර බිලකුත් ගෙවල කරපු උදව්වට තැන්කූ කියල ආව අර එතන රෙකමන්ඩ් කරපු අම්මණ්ඩිලාටයි උන්දැලගෙ පරම්පරාවටයි ස්තූති කර කර.

ඉන් පස්සෙනං ඒ පැත්ත පලාතෙ ගියෙ නෑ, දැං මේ වෙන හොඳ ඉන්දියන් වයසක ඩොකෙක් හම්බ උනා, මිනිහට පෙන්නනුවම, ලෙඩා අමාරුකාරය හින්ද ටිකක් සැර antibiotic එකක් දෙනව වන් ෂොට්, මොකද නැත්තං Voltaren , Brufen දිදී ඉන්න එක ඊට වඩා නරක නිසා.

මෙහේ දොස්තරල කිව්ව විදියට උන අඩු වෙන්නෙ නැත්තං මුලුන්ම පැරසිටමෝල්, පැය දෙකකින් වෙනසක් නැත්තං Voltaren, ඒත් පැයක් යනකොට එහෙමමනං Brufen. ඊට පස්සෙත් වෙනසක් නැත්තන් මොකද්ද කියල අහන්න සිද්ධ උනේ නැත්තෙ අපි කාගෙත් වාසනවාකට කියල හිතෙනව.

කොහොම උනත් මේ විස්තරෙ කිව්වම ලංකාවෙ "කරුණාතිලක" දොස්තර මහත්තය ඔලුවෙ අතගහගත්ත විතරක් නෙමේ බැන්න පලු යන්න. මොන මඟුලක් උනත් අවමය පෑ හයක් යනකල් තෙම තෙමම ඉන්න කිව්ව.

ඉතින් එදායින් එදා උන ගත්තොත් පොඩ්ඩක් හරි අපි මාර වොච් එකේ තමා ඉන්නෙ. මොකද වනේ වන හතුරෙකුඅටවත් ඒ වගේ දෙයක්නං වෙන්න එපා කියලයි අපි හිතන්නෙ. ඒක එච්චරටම භය හිතෙන දෙයක්!

දැන් ඔය උඩ පින්තූරෙ කමිසෙ නැතුව ඉන්නෙ සිංහ බාහුව, මීට හය හත් මාසෙකට කලින් ඕක ගත්තෙ අපේ හාම්නේලයි හිකක්ඩුවෙ මහගෙදර ගියාම.

කොලු පැටියට එහෙ ගියාම කමිසයක්වත් නැතුව අර අපි පොඩි කාලෙ වගේ වත්ත පුරාම දුවන්නයි, වැලි මඩ අල්ලන්නයි, උදේවරුවෙ පැය දෙකතුන මුහුදු වෙරලෙ ඇවිදින්න නාන්නයි පුලුවන් නිසා මිනිහ කැමති එහෙ ඉන්නම තමා.

ඔය එයාගෙ එහා පැත්තෙ ඉන්නෙ සිංහබාහුගෙ ගමේ යාලුව, පොඩ්ඩක් වැඩිමල් උනාට හරි අහිංසක කොලු පැටිය. අපේ පුත්තරය හැමදාම යනකොට ( ගිය අවුරුද්ද්ටම ඉතින් හතර පාරක් ගියානෙ ) යාලුවට මෙහෙන්ම සෙල්ලම්බඩුවක් එහෙම අරන් යන්නෙ.

දෙන්න පුදුම විදියට එකතුයි.

අපිත් ඒකට හරි ආදරෙයි, මොකද ඒ අහිංසකයටයි, ඒකගෙ නංගිටයි ඉන්නෙ අම්ම විතරයි, තත්ත සුනාමියට අහුවෙලා හික්කඩුවෙ පොළෙ වෙළඳාමෙ ගිහින් ඉන්දැද්දි.

අවුරුදු 28ක් වෙච්චි අම්මටත් රස්සාවක් කරගන්න බෑ, පපුවෙ පිලිකාවක් හින්ද. ඔක්කොම යැපුනෙ අර පොඩි උන්ගෙ ආච්චි රෙදි මහල හම්ම්බවෙන සල්ලි කීයෙන් හරි තමයි.

ඉතිං අද උදේම මාම මිස් කෝල් කරල තීනව දැකල කතා කරාම කිව්වෙ, ඊයෙ රාත්තිරියෙ ඔය පොඩි එකාගෙ අම්ම නැතිඋනාලු.

පොඩි එකාට තාම ගානක් නැතුව ඔහේ කියව කියව ඉන්නවලු, ඒකගෙ නංගිනං අඬ අඬ ඉන්නවලු අම්මව කාරෙකේ දාන් ගෙනිච්ච කියල.

ගමේ මිනිස්සු කොහොමහරි මළගේ වැඩේ එකතුවෙලා කරයි, ඉතින් ඊට පස්සෙ අර පොඩි උන්ව කවුද බලා ගන්නෙ. ආච්චි ඉන්නකල් හොඳයි.

ඒත් අපේ හාමිනේ කිව්ව මාම හිමීට වැඩ ටික ඉවරඋනාම ආච්චිට කියන්න ළමයි දෙන්න දිගටම ඉස්කෝලෙ යවන්න කියල, යන වියදම අපි ( නෝනයි එයාගෙ මල්ලියි ) බලාගන්නං කියල. ( මොකද ඒ දෙන්නටත් ඕකමනෙ උනෙ, හැබැයි එතකොට අක්ක ඒ ලෙවල්, මල්ලි දහයෙ පන්තියෙ ), ඉතින් අම්ම තාත්ත නැතුව ජීවත් වෙන එකේ දුක දෙන්නම දන්නව.

ඒ උනත් කවුද ඒ පොඩි උන්ට අම්මගෙ අඩුව, තාත්තගෙ රැකවරනය දෙන්නෙ.

ඊයෙ රෑ තිස්සෙ මට හිතුනෙ ඇයි මේ පුන්චි එවුන්ටම මෙහෙම උනේ කියල. උන් දෙන්න ටිකක් මැරෑටියො, මදාවියො වගේ උනානං අපිට මේක මෙච්චර දැනෙන ඒක නෑ සමහරවිට.

ඒත් දෙමාපිය ආදරෙ මේතරම් පොඩි කාලෙදිම නැති උනාම උන් එහෙම නොවෙයි කියලත් කාටද කියන්න පුලුවන්?

12 comments:

  1. හතුරෙක්ටවත් ඔහොම වෙන්න එපා අයියේ.......
    පවු පොඩි දෙන්නා......... තේරෙන්නැති වයසක ඉන්න ඒදෙන්නට ඔයාල කරන උදවුව නම් ගොඩාක් වටිනව.....

    අයියගේ පුතාට දැන් හොඳද????

    ReplyDelete
  2. පව්.. අසරණ ලමයි දෙන්නා... ඇත්තමයි ඔයාලා කරන ඔය උදව්ව ගොඩක් පින්,,, වචන නැ අයියේ...

    ReplyDelete
  3. හිතුවෙවත් නැති වෙලාවක
    හීනෙකින් නොපැතූ ලෙස..
    ඔබේ වස්තුව හා ඔබේ/''''
    ආදෙරේ දිනු වස්තුව,,.
    ගෙනගිහින් ඔබ ඈතක...

    ReplyDelete
  4. අනේ මචං සමාවෙයන් පොඩි එකා අසනීපෙන් බව දැනගෙනත් කෝල් එකක් දීල අහන්න බැරි උනාට . . . දැන් සනීපයි කියලා දැක්කාම සතුටුයි . . . ෆිට් එක හැදුනු අවස්ථාවක ක්‍රියාකරන්න ඕන විදිහ ගැන ලියපු දේවල් අපි වගේ දෙමාපියෝ වුනු අයටයි වෙන්ට දෙමාපියන්ටයි ගොඩාක් ප්‍රයෝජනවත් වේවී . . .

    අනේ අර පුංචි එවුන් දෙන්නා ගැන හරිම දුකයි මචෝ . . . ඒත් මේ වෙලාවේ කමින්ට්මන්ට් ගොඩකට හිරවෙලා නිසා දුක්වෙනවා හැර වෙන යමක් කරන්න බැරි එක ගැන ඊටත් වැඩිය දුකයි . . . වෙලාවක අපි කතා කරමු . . .

    ReplyDelete
  5. මිට මාස 4 කට කලින් ඔයා මගෙ බ්ලොග් එකට ඇවිත් කියන වා " මල්ලි බලපන් Autograph කියන Tamil/Malayalam film එක."

    මම එක හිතෙ තියාගෙන හිටියා කවද හරි හම්බ වුණොත් බලනවා. කියලා. මම ඉතින් අමාරුවෙන් ටොරන්ට් එකක් හොයාගෙන, හිමිට හිමිට බැලුවා. මම එකට ස්තුති කරන්න මෙතන සටහනක් තියන්නෙ. ඔයා ගැටුනු වටිනා නිර්මාණ මෙ වගෙ චිත්‍රපටි, සිංදු ගිත අපිත් එක්ක බෙදා හදාගන්න. අමතක කරන්න එපා. හරිම ලස්සන චිත්‍රපටියක් එක. ස්තුති අයියට නැවතත්..

    ReplyDelete
  6. හරිම දුකයි සිද්ධියට. දිගටම ලියන්නකො

    ReplyDelete
  7. @ හා පැටික්කී & හිතුවක්කාර සිත ...... ,
    හා හා පුරා කියල මේ පැත්තෙ ගොඩ වැදුනට මුලින්ම ස්තූතිය!
    ඒ පොඩි උන්ට ලොකු අවශ්යතා නෑ නෙ නංගි. උන්ට මාසෙකටම තීන පුංචි පුංචි උවමනාවල් සමහරවිට අපි කීපදෙනෙක්ට restaurant එකක කෑම වෙලකට යන ගානටත් අඩුයි!
    දැන් නං පුතාට ටිකක් හොඳයි. ගේ අනිත් පැත්ත පෙරලං ඉන්නෙ ඔය.

    @ indi,
    කවි පද දෙකට බොහොම ස්තූතියි.

    @ දුකා,

    මචං, උඹ කතා නොකරට, කොල්ලට අසනීපයි කියල දැනගත්තම හිතන්නෙ අනේ පව් පොඩි එකා කියල මිසාක් හොඳ වැඩේ ඕකට කියල නෙමෙයි බව මන් දන්නව. ඉතින් එහෙව් එකේ ඇයි බං මං තරහ ගන්නෙ!
    ඇත්තටම fit එක හැදුනම මුලින්ම කරන්න ඕන කලබල නොවෙන එකයි, ළමයගෙ කෙළ එයාටම ගිලෙන්න නොදී කට පහතට, පැත්තට කරන එකයි, තෙමන එකයි තමයි. ඒත් මචන් උඹටවත්, දන්න යාලුවෙකුටවත් ඒක කරන්න අවස්තාවක් නොලැබේවා කියන එකයි මං හැම තිස්සෙම හිතන්නෙ.
    දුකා, මන් මේ විස්තරේ මෙතන ලිව්වෙ, ඒ පොඩි උන්ට වැඩිපුර යමක් අර්න් දෙන අදසින්වත්, තව කාටවත් කරදරයක් වෙන හිතකින්වත්, අඩුම තරමෙ අපි කරන වැඩේ ගැන ප්‍රිස්ද්ධියට පත් කරන්නවත් නෙමේ. එහෙම ඕනෑවට වඩා ලැබෙනකොට කාටත් ඒකෙ අගයක් නැත් වෙනව, අනික එතකොට මිනිස්සු නිකං කන්න පුරුදුවෙනව. අපි කරන්නෙ ඒ පොඩි උන්ට කවදහරි "තනියෙන් මාලුවෙක් බා ගන්න" පුලුවන් වෙන තැනට එන්න ඕන අවම සම්පත් සපයන එක විතරයි. නැත්තං උන් දෙන්නත් ඉගෙනීම කඩා කප්පල් වීම ගැන සාධාරන හේත් පෙන්නල වැල්ලෙ සුද්දොන්ගෙ පස්සෙ වැටෙයි කියන බයට . ඒ නිසා මේ වෙලාවෙ අපිට තනියෙන් කරගන්න පුලුවන්. ඒත් එහෙම බැරි අවස්තාවක් උදා උනොත්, එදාට මන් හැමෝටම කියන්නං එකතුවෙන්න.

    @ රවා,
    සන්තොසයි මලේ උඹ මෙච්චර දවසක් මතක තියාගෙන ඉඳල මට ස්තූති කරපු එකට.
    හැබැයි පුතෝ මමනං ඔන්න විස්කි ගේන්නෙ නෑ, කොල්ලො නරක් කරන්න. තව දන්න චිත්‍රපටි, ඒවගෙ කතාවට අදාල සිදුවීමක් උනොත් කියන්නං ඔන්න දැන් මේක බලපං කියල.

    @ Thariya,

    මල්ලි, මං මේ ටික හරි ලිව්වෙ ඒ වෙලාවෙ හිතට දැනුන කම්පනය බෙදා ගන්නයි. මං ආයෙ මේ ගැන කවදාවත් ලින්නෙ නැති වෙයි, ඒක ඒ පොඩි එකාටත් කරන අසාධාරනයක් අනිත් පැත්තෙන්. අනික මගේ ගෙදර උන්දැ මේක දැක්කොත්, මේ එකම මෙතනින් ගලවල දාන්න වෙනව සිකුරුයි..හික්ස්

    ReplyDelete
  8. උණ වැඩිවෙන්න දෙන්නම එපා. ඉස්සර ඕඩිකොලෝන් දාන්නේත් ඕක හින්දයි. සියළු දෙනාටම නීරෝගි සුව පතමි.

    ReplyDelete
  9. දෙමව්පියන්ගේ සම්පත තමා දරු සම්පත කියන්නේ. දරුවාව පුලුවන් තරම් පරිස්සම් කරන්න අයියේ. පොඩි කාලේ තමා හුඟක් සැලකිල්ලෙන් ඇද ගන්න ඕනේ නේ.

    කෝකටත් හැන්දෑවට වගේ පුතණ්ඩියාත් එක්ක බුදුන් වදින එක, මෛත්‍රී භාවනාව කරන එක වගේ ධර්මානුකූල වැඩ ටිකකුත් කරන්න. ඒකත් දරුවාට ආශිර්වාදයක් වෙයි.

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසිනි ආරක්ෂා කරනවානේ :)

    ReplyDelete
  10. හම්මේ මාල සීන් කෝන් එකක්නෙ වෙලා තියෙන්නෙ. එක හුස්මට කියෝගෙන ගියා එකම එක පර්තනාවක් එක්ක. අනේ අන්තිම වෙනකොට මේපොඩි එකාට හොඳවෙලා තිය්න්න් කියල. හම්මේ ඇතියන්තම් හිතපුදේ වෙලා.

    එත් ඉතින් ඒදුක පොඩ්ඩක් අඩුවෙනකොට තවත් සිදුවීමක් මේ ජීවිතේ හරි පුදුමයි නේද අයියා........

    අපේ ලොකුඅම්මටත් ඔය ෆිට් එක කියන ලෙඩි තිබ්බා ( එයා දැන් අවුරුද්දකට කලින් මැරුණා " ෆිට් එක හින්දනම් නෙමෙයි " ). ඒක හන්ද මම දන්නව ඔය ලෙඩේ තරම.

    ඇති ඔයින් බේරුනා පොඩි එකා. ඔයාල අර පොඩි එවුන්ට කරන උපකාරෙ වටිනාකම නම් වචනෙන් කියල නිමකරන්න බෑ අයියා.

    ReplyDelete
  11. හැම තිස්සෙම උණ ක‍ටුවකින් උණ බලන්න. අත තියල උණ බලන්න එපා. 100F ට වඩා වැඩි නම් අවශ්්‍ය ප්‍රතිකාර කරන්න. (Eg. තෙත මාත්තු කිරීම් පැරසිටමෝල් දීම වගේ ඒවා)

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails